1 ඉහත සඳහන් කළ පරිදි රුවන්වැලි මහා සෑයේ කොත් පැළඳවීමේ සත්කම් සහ හුනු පිරියම් කිරීම් නිම නොවී තිබියදී, මහරජතුමාට මාරාන්තික රෝගයක් වැළඳී ගිලන් විය. 2 රජතුමා දිගා වැවෙහි සිටි මල් තිස්ස කුමාරයාව කැඳවා, “සෑයෙහි නිම නොවූ කර්මාන්තයන් නිම කරවන්න” යැයි පැවසීය. 3 ඒ කුමාරයා තම සහෝදරයා වූ රජු දුර්වල තත්වයේ සිටින බැවින්, සන්නාලියන් ලවා සුදු රෙදිවලින් සැට්ටයක් කරවා ඒ සැට්ටයෙන් චෛත්‍යය ආවරණය කරවූ අතර, සිත්තරුන් ලවා එහි කොත් කැරැල්ල ද, පූර්ණ ඝට පංක්තීන් ද සිතුවම් කරවීය. 4 එසේම පස් ඇඟිලි සලකුණු පංක්තිය ද මනාකොට සිතුවම් කරවීය. තවද ඔහු උණ දඬු භාවිතයෙන් ඡත්‍රයක් (කොතක්) ද සෑදවීය.
5 සත්කරුන් ලවා මුදුන් කොතෙහි කරදාසිවලින් සඳ සහ හිරු ද කරවීය. 6 මෙසේ සකස් කළ සෑය ලාකඩ සහ කුංකුමවලින් මැනවින් සිතුවම් කරවා, “සෑයෙහි කළ යුතු කටයුතු නිම කළෙමි” යැයි රජතුමාට දැන්වීය. එවිට රජතුමා සිවි ගෙයක (දෝලාවක) හාන්සි වී සිවි ගෙයින් ම සෑය වටා පැදකුණු කොට, සෑය වැඳ, දකුණු දොරටුවෙහි බිම එලන ලද සයනයක හාන්සි විය.
7 ඒ රජතුමා දකුණු ඇලයෙන් සයනය කරමින් උතුම් මහා සෑය ද, වම් ඇලයෙන් සයනය කරමින් උතුම් ලෝවාමහාපාය ද දකිමින්, 8 භික්ෂු සංඝයා විසින් පිරිවරා ගනු ලැබූයේ පහන් සිත් ඇත්තේ විය. ගිලන් බව විචාරීම පිණිස ඒ ඒ දිශාවන්ගෙන් පැමිණියා වූ අනූ හය කෝටියක් භික්ෂූන් වහන්සේලා ඒ සමාගමයෙහි 9 වූහ. භික්ෂූන් වහන්සේලා වග වශයෙන් කණ්ඩායම් ගැසී පිරිත් සජ්ඣායනා කළහ. 10 මිහිපල් තෙමේ ඒ සමාගමයෙහි ථෙරපුත්තාභය නම් මහා තෙරුන් වහන්සේව නොදැක මෙසේ සිතුවේය.
11 “අටවිසි මහා යුද්ධයෙහි දී මා සමඟ යුද්ධ කරමින් පරාජය නොවූ මාගේ මහා යෝධයෙකු වූ, 12 වසී වූ ථේරපුත්තාභය නම් ස්ථවිරයන් වහන්සේ, දැන් මා මාර යුද්ධයට පැමිණි කල්හි මා වෙත 13 නොපැමිණෙන සේක. උන්වහන්සේ මාගේ පරාජය දැක නොවඩිනා සේකැයි සිතමි” යැයි රජතුමා සිතුවේය. 14 ඒ ස්ථවිරයන් වහන්සේ කිරිඳි ඔය මුල පංජලි නම් පර්වතයේ වෙසෙමින්, රජුගේ සිතිවිලි දැන පන් සියයක් රහතන් වහන්සේලා පිරිවරා ගෙන ඍද්ධි බලයෙන් අහසින් අවුත් රජු අබියස පෙනී සිටි සේක.
15 රජතුමා උන්වහන්සේ දැක පහන් වූයේ, තමා ඉදිරියෙන් හිඳුවා ගෙන, 16 “මම පෙර කලෙක දස මහා යෝධයන් නම් වූ ඔබ වහන්සේලා සමඟ එක්ව යුද්ධ කළෙමි. 17 දැන් හුදකලාවම මරුවා සමඟ යුද්ධය පටන් ගත්තෙමි. එහෙත් මේ මාර සතුරා පරදවන්නට නොහැක්කෙමි” යැයි පැවසීය.
18 එවිට ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළ සේක: “ජන ප්‍රධාන වූ මහා රජාණෙනි! ඔබ බිය නොවිය යුතුය. ක්ලේශ සතුරා පරාජය නොකොට මාර සතුරා පරාජය 19 කළ නොහැක්කේය. සියලු සංස්කාරයෝ අනිත්‍යය හ යි ශාස්තෲන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේමය. ලජ්ජා භය රහිත වූ මේ අනිත්‍යතාව බුදුරජාණන් වහන්සේ කරා ද එළඹෙයි. 20 එහෙයින් සංස්කාරයෝ අනිත්‍යය, දුඃඛය, 21 අනාත්මය යැයි සිතා සිහිය පවත්වා ගත යුතුය.”
“මීට පෙර දෙවන 22 ආත්මභාවයේ සිටියදී ඔබගේ කුසල් කිරීමේ අභිප්‍රාය මහත් බැවින්, දෙව්ලොව සිටි ඔබ ඒ දිව්‍ය සැප හැර මෙහි අවුත් නොයෙක් ආකාරයෙන් 23 බොහෝ පින්කම් කළහ. ඔබ විසින් ලක්දිව එක්සේසත් කර රාජ්‍ය කිරීම පවා සසුන් බැබළවීම පිණිස ය. 24 එබැවින් මහා පින් ඇත්තාණෙනි! අද දවස තෙක් ඔබ විසින් කළ පින් සියල්ල මෙනෙහි කරන්න. 25 මේ උපායෙන් ඔබට එකෙණෙහි සුව වන්නේ ය” යැයි තෙරුන් වහන්සේ වදාළ සේක.
තෙරුන් වහන්සේගේ වචන අසා රජතුමා පහන් සිත් ඇති විය. 26 “ඔබ වහන්සේ මාර යුද්ධයේදීත් මට අතිශයින් උපකාර වන සේකැ” යි උන්වහන්සේට කීවේය. පහන් සිත් ඇති රජතුමා එකෙණෙහි පින් පොත ගෙන්වා එය කියවන ලෙස ලියන්නා මෙහෙයවීය. ඒ ලියන්නා ඒ පොත මෙසේ කියෙව්වේය:
27 “මහරජතුමා විසින් අනූ නවයක් විහාරයෝ කරවන ලද්දාහුය. එයින් මිරිසවැටිය විහාරයම දහනව කෝටියක ධනයක් වැය කොට නිම කරන ලදී. උතුම් වූ ලෝවාමහාපාය තිස් කෝටියක් වැය කොට නිම වන ලදී. 28 මහරජාණෙනි! මනා බුද්ධි ඇති ඔබ විසින් මහා සෑයෙහි ඇතුලත කරවන ලද ගණන් කළ නොහැකි සූවිස්සක් දේ හැර, සෙසු මහා සෑ කර්මාන්තයෝ දහස් කෝටියක් අගනාහ” යි කීවේය.
29 “කොත්මලේ නම් මලය රට බුළු සහල් අනුභව කළ දුෂ්කර සාගත සමයේදී, 30 ඉතා වටිනා මැණික් කුණ්ඩලාභරණ යුගල විකුණා, ඉන් මුදල් ගෙන පන් සියයක් ක්ෂීණාශ්‍රව මහා තෙරුන් වහන්සේලාට පහන් සිතින් උතුම් වූ ඇඹුල් සහිත තණ සහල් බත් පිණ්ඩපාතය දෙන ලද්දේය. 31 චූලංගනිය යුද්ධයේදී පැරදී පලා යන්නා වූ ඔබ විසින්, කාල ඝෝෂා කරවා අහසින් වැඩියා වූ එක්තරා ක්ෂීණාශ්‍රව 32 යතිවරයන් වහන්සේ නමකට, තමා නොකා තමා සතු රන් තැටියෙහි බත් දෙන ලද්දේය.”
33 මෙසේ කී කල්හි රජතුමා තවදුරටත් මෙසේ විස්තර කළේය: “වෙහෙර විහාර පූජා සතියෙහි ද, එසේම ප්‍රාසාද පූජා සතියෙහි ද, මහා සෑය ඉදි කිරීමේ ආරම්භක සතියෙහි ද, 34 එසේම ධාතු නිධානෝත්සවයෙහි ද, සතර දිගින් වැඩියා වූ මහත් වූ උගත් මහා සංඝයා වහන්සේලාට මා විසින් ඉතා වටිනා වූ අවිශේෂ මහා දානය පවත්වන ලද්දේය. සූවිස්සක් මහත් වූ වෙසක් පූජා ද කරවීමි. ලක් දිව සියලු සංඝයාට 35 තුන් වරක් තුන් සිවුරු පූජා කරවීමි. පහන් සිත් ඇති මම සත් සත් දවස බැගින් ලක්දිව මේ රාජ්‍යය පස් වරක් සසුන විෂයෙහි පූජා කළෙමි.”
36 “නිරන්තරයෙන් දොළොස් මහ තැනක පිරිසිදු මැටියෙන් කළ පහන් වල ගිතෙලින් ම පහන් තිර දමා බුදුන් පුදමින් පහන් දහසක් දැල්වීමි. 37 තව ද මම අනවරතයෙන් අටළොස් තැනක වෙදැදුරන් විසින් නියම කරන ලද්දා වූ ගිලන් බත් හා බෙහෙත් 38 ගිලන්ව සිටි අයට ලබා දුනිමි. 39 හතළිස් හතර පොළක සකස් කළ කිරිබත ද දුනිමි. 40 එපමණ තැන්හිම තෙල් කැවුම් ද, එපමණ තැන්හිම ගිතෙලෙහි බැඳි මහා දෑ කැවුම් ද, එසේම බත් සමඟ නිත්‍යයෙන් දුනිමි. 41 මාසයක් පාසා පොහොය දවස්හි ලක්දිව අටමස්ථාන විහාරයන්හි පහන් තෙල් පූජා කළෙමි.”
42 “ආමිස දානයට වඩා ධර්ම දානය උතුම් යැයි අසා, ලෝවාමහාපාය පහත මාලයෙහි සංඝයා මැද ධර්මාසනයෙහි හිඳ ගත්තා වූ මම, 43 මහා මංගල සූත්‍රය සංඝයාට දේශනා කරන්නෙමැයි සිතා සිටියද, සංඝ ගෞරවයෙන් සිත චංචල වී එය කරගත නොහැකි විමි. 44 එතැන් පටන් ලක්දිව ඒ ඒ තැන විහාරයන්හි ධර්ම දේශකයන්ට සත්කාර කොට දහම් දෙසවීමි. 45 ධර්ම කථික එක් එක් නමකට ගිතෙල් සහ උක් සකුරු නැළිය බැගින් ද, 46 සතරඟුල් දිග වැල්මී මිට බැගින් ද පූජා කරවීමි. එසේම සිවුරු රෙදි 47 යුගල බැගින් ද පූජා කළෙමි.”
රජතුමා තවදුරටත් මෙසේ පැවසීය: “මේ කියන ලද රාජ අයිශ්චර්යයේ පිහිටා දුන් සියලු දානයන් මෙතරම් මා සිත නොපහදවයි. නමුත් දිවි නොබලා දුර්ගතව සිටියදී ම මා විසින් දෙන ලද යම් දන් දෙකක් වේ නම්, එයම මා සිත පහදවයි.” 48 ඒ අසා අභය ස්ථවිරයන් වහන්සේ, දුෂ්කර අවස්ථාවේ දුන් දාන දෙකම රජුගේ සිත පැහැදීම පිණිස නොයෙක් ආකාරයෙන් වර්ණනා කරන සේක.
“49 ඒ තෙරුන් වහන්සේලා පස් දෙනා අතුරෙන් ඇඹුල් සහිත තණ බත් ගත් මලියදේව මහා ස්ථවිර තෙමේ සමන්කුළු පව්වෙහි දී නව සියයක් භික්ෂූන්ට 50 බෙදා දී වැළඳූ සේක. පෘථිවි පාලක ධර්මගුප්ත ස්ථවිර තෙමේ ඒ පිණ්ඩපාතය 51 කැලණි විහාරයෙහි දී පන් සියයක් භික්ෂූන් සමග බෙදා ගෙන තෙමේත් වැළඳූ සේක. තලගුරු වැසි ධම්මදින්න ස්ථවිර තෙමේ පුවගු දිවයිනෙහි 52 දස දහසක් භික්ෂූන්ට බෙදා දී එය වැළඳූ සේක.”
“53 මංගන වැසි මහා ඍද්ධි ඇති කුඩා තිස්ස ස්ථවිර තෙමේ කෛලාශ විහාරයෙහි සැට දහසක් දෙනාට බෙදා දී වැළඳූ සේක. මහා ව්‍යාඝ්‍ර ස්ථවිර තෙමේ ද 54 උක්කා නුවර විහාරයෙහි සත් සියයක් භික්ෂූන්ට දී තෙමේත් පරිභෝග කළ සේක. 55 රන් තැටියෙහි බත් ගත් (කුටුම්බික පුත්‍ර) මහා ස්ථවිර තෙමේ දොළොස් දහසක් භික්ෂූන්ට දී ඒ වැළඳූ සේක.” 56 අභය ස්ථවිර තෙමේ මෙසේ කියා රජුගේ සිත පහන් කරවූ සේක.
රජ තෙමේ සිත පහදවා ගෙන ඒ තෙරුන්ට මෙසේ සැල කළේය. 57 “සූවිසි වසරක් මුළුල්ලෙහි සංඝයාට උපකාරක වූයෙමි. මෙම කය ද සංඝයාට උපකාර වේවා. මහා සෑයට පෙනෙන්නට වූ සංඝයාගේ 58 පොහොය කර්ම කරන මාලකයෙහි සංඝ දාස වූ මාගේ සිරුර ආදාහනය කළ මැනව” යි කියා, තම සොහොයුරු මල්තිස්ස කුමරුට මෙසේ කීවේය.
59 “තිස්ස! ඔබ මහා සෑයෙහි නිම නොවුණා වූ 60 සියලු කර්මාන්තය සකසා යහපත් ලෙස නිමවන්න. උදේත් සවසත් මහා සෑයෙහි මල් පූජා කරවන්න. දවසට තුන් වරක් මහා සෑයට පෙරහැර පවත්වන්න. 61 ප්‍රිය සහෝදරය, ඔබ මා විසින් සුගත් සසුනෙහි යම් පුද සිරිත් හා වෘත්තියක් පිළියෙළ කරන ලද නම් ඒ සියල්ල නොපිරිහෙලා පවත්වන්න. 62 තව ද ප්‍රිය සහෝදරය, හැම කල්හිම සංඝ කෘත්‍යයක්හි අතපසු නොකරන්න” යැයි මෙසේ රජ තෙමේ ඔහුට අනුශාසනා කොට 63 නිහඬ වූයේය.
64 එකෙණෙහි භික්ෂූන් වහන්සේලා පිරිත් සජ්ඣායනා කළ සේක. දෙවියෝ දිව්‍ය ලෝක හයකින් රථ හයක් එවූහ. රථයෙහි සිටියා වූ ඒ දෙවියෝ වෙන් වෙන්ව රජතුමාට, “මහරජාණෙනි! සිත්කලු වූ අප අපගේ දෙව් ලොවට ඔබ පැමිණිය මැනව” යි ආරාධනා කළෝය. 65 රජ තෙමේ ඔවුන්ගේ බස් අසා, “මම යම් තාක් බණ අසම් ද ඒ තාක් කල් ඉවසන්න” යැයි අතින් සංඥා කොට ඔවුන් වැළැක්වූයේය.
භික්ෂූහු රජු අතින් කළ සංඥාව දැක, “රජතුමා පිරිත් සජ්ඣායනාව නවත්වන්න යැයි කියන්නේය” යි සිතා, 66 දේශනාව නැවැත්වූහ. රජ තෙමේ ඒ නැවැත්වීමට හේතු විමසීය. 67 එවිට ඒ භික්ෂූහු “නවත්වන්න යැයි සංඥා දුන් බැවිනැ” යි වදාළෝය. 68 රජ තෙම, “ස්වාමීනි, ඒ එසේ නොවේ” යි කියා තමන් දෙවියන්ට දැන්වූ බව ප්‍රකාශ කළේය. ඒ අසා සමහර දෙනෙක්, “මරණ බියෙන් භය වූ මේ රජ තෙමේ බියෙන් දොඩවන්නේය” යි සිතූහ.
69 ඔවුන්ගේ සැක දුරු කරනු පිණිස ඒ අභය ස්ථවිර තෙමේ රජුට වදාරණ සේක්, “මහ රජ, ඔබට රථ පැමිණි බව කෙසේ නම් අන් අයට දැන්විය හැකි ද?” යැයි මෙසේ විමසූ සේක. 70 පණ්ඩිත වූ රජ තෙමේ මල් දම් අහසට වීසි කරන ලෙස දැන්වීය. ඒ මල් දම් අහසෙහි වෙන් වෙන්ව තිබූ අදෘෂ්‍යමාන රිය හිස්හි ලැගුණාක් මෙන් එල්ලුනේය. 71 මහාජන තෙමේ අහසේ එල්ලෙන්නා වූ ඒ මල් වඩම් දැක සැක දුරු කළේය.
රජ තෙමේ, “ස්වාමීනි! කවර දෙව් ලොවක් වඩා රම්‍ය දෝ?” යි ඒ තෙරුන්ගෙන් විමසීය. 72 ඒ ස්ථවිර තෙමේ, “මහරජාණෙනි! තුසිත පුරය සිත්කලු යැයි ද සත්පුරුෂයන් විසින් අභිමත යැයි ද සැලකේ. මහා කරුණා ඇති මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ද බුදු බව පිණිස කල් බලමින් 73 තුසිත පුරයේ වෙසෙන සේක” යැයි වදාළ සේක.
74 මහා ප්‍රඥා ඇති රජ තෙමේ තෙරුන්ගේ බස් අසා මහා සෑය දෙස බලමින්ම වැතිර සිට ඇස් පියා ගත්තේය. 75 එකෙණෙහිම මෙයින් චුතව තුසිත පුරයෙන් එවූ රියෙහි උපත ලබා සිට ගත්තේය. දිව්‍ය දේහ ඇත්තේ තමා කළ පින්කම්වල ඵල දුටුයේය. 76 මොනවට සරසන ලද තමා දිව්‍ය ආත්මයක් ලබා ගත් බව මහජනයාට දක්වනු සඳහා, රථයෙහි සිට ගෙනම මහා සෑය වටා තුන් වරක් 77 පැදකුණු කොට සෑයත් සංඝයාත් වැඳ තුසිත පුරයට ගියේය.
78 නාටක ස්ත්‍රීන් මෙහි අවුත් යම් තැනකදී මළ රජුගේ ඔටුන්න ගැලවූවාහු ද, ඒ මෙහි කළ ශාලාව “මකුට මුක්ත ශාලා” යි නම් විය. 79 රජුගේ සිරුර දර සෑයෙහි තැබූ කල්හි මහාජන තෙමේ යම් තැනකදී හඬා වැලපුනේ ද, එහි ශාලාව “රාව වර්තී” නම් විය. 80 යම් නිස්සිම මාලකයෙක රජුගේ සිරුර ආදාහනය කළේ ද, මෙහි එම මාලකය “රාජ මාලක” යැයි කියනු ලැබේ.
81 රාජ නාමයට බැබළෙන්නා වූ ඒ දුටුගැමුණු මහරජ තෙමේ අනාගත මෛත්‍රී බුදුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක වන්නේය. රජුගේ පියාණන් (කාවන්තිස්ස) ඒ බුදුන්ගේ පියාණන් ද, මව (විහාරමහා දේවිය) මව ද 82 වෙති. මල් සැදැහැතිස් (සද්ධාතිස්ස) රජ දෙවන ශ්‍රාවක වන්නේය. 83 ඒ දුටුගැමුණු රජුගේ පුත් වූ ප්‍රසිද්ධ සාලිය රාජ කුමාරයා මෛත්‍රී බුදුන්ගේ පුත් කුමරු වන්නේය.
84 යමෙක් මේ ආකාරයෙන් කුසල්ම උතුම් යැයි සිතා ගෙන පින් කෙරේ නම්, ඒ තැනැත්තා බොහෝ වූත් අනියම් පාපයන් යටපත් කරමින්, තම නිවසට යන්නාක් මෙන් දෙව් ලොවට යයි. එහෙයින් නුවණැත්තෝ පින්කම්හි නිතර ඇලුනේ විය යුතුය.
මෙතෙකින් හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස කළ මහාවංශයෙහි ”තුසිත පුර ගමන” නම් වූ තිස් දෙවෙනි පරිච්ඡේදය නිමි.