31. ධාතු නිධාන

star_outline
ධාතු ගර්භයේ වැඩ නිමවීම සහ සෝණුත්තර හිමියන් තෝරා ගැනීම

1 නරේන්ද්‍රයාණෝ ධාතු ගර්භයෙහි කටයුතු නිමවා සංඝයා වහන්සේලා රැස් කරවා ගත්හ. 2 “ස්වාමීනි, ධාතු ගර්භයෙහි කළ යුතු කර්මයෝ මා විසින් නිම කරන ලද්දාහු ය. හෙට දිනයේ ධාතු නිධාන කරන්නෙමි” යි රජතුමා මෙම වචනය සැල කළේ ය. මහරජ තෙමේ මේ වචනය පවසා නුවරට පිවිසියේ ය.

3 ඉක්බිත්තෙන් භික්ෂූ සංඝයා වහන්සේ ධාතූන් වහන්සේලා වැඩමවා ගෙන ඒමට හැකි යතිවරයන් වහන්සේ නමක් ගැන සිතා බලා, 4 පූජා පිරිවෙණෙහි විසූ ෂඩ් අභිඥා ප්‍රාප්ත වූ සෝණුත්තර නම් යතිවරයන් වහන්සේව ධාතු වැඩමවා ගෙන ඒමේ කාර්යයෙහි යෙදවූ සේක.

සෝණුත්තර හිමියන්ගේ අතීත ප්‍රාර්ථනාව

5 ලෝක ස්වාමී වූ සර්වඥයන් වහන්සේ ලෝවැඩ පිණිස ලොව සැරිසරා වඩින කල්හි, ගංගා නම් නදී තීරයෙහි විසූ නන්දුත්තර නම් මානවකයෙක් සංඝයා සහිත වූ සම්බුදුන් වහන්සේට ආරාධනා කොට දන් වැළඳවූයේ ය. 6 ශාස්තෲන් වහන්සේ පයාග පතිට්ඨාන නම් තොටුපළේ දී සංඝයා වහන්සේලා සහිතව නැව් නැගි සේක. 7 එකල්හි එහි වැඩහුන් ෂඩ් අභිඥා ඇති මහත් සෘද්ධිමත් වූ භද්‍රජි නම් 8 ස්ථවිර තෙමේ ගඟ මැද දිය කැළඹෙන තැනක් දැක භික්ෂූන් වහන්සේලාට මේ වචනය වදාළේ ය.

“මහාපණාද නම් රජ වූ මා විසින් වසන ලද පස්විසි යොදුන් ප්‍රාසාදය මෙහි වැටුණේ ය. 9 ගංගාවේ ජලය ඒ පහයට පැමිණ මෙහි දී කැළඹෙයි.” භික්ෂූහු එය නොඅදහමින් ශාස්තෲන් වහන්සේට 10 එය සැල කළාහු ය. “භික්ෂූන්ගේ සැකය දුරු කරව” යි සර්වඥයන් වහන්සේ වදාළ සේක. ඉක්බිත්තෙන් ඒ ස්ථවිරයන් වහන්සේ 11 බඹ ලොව ද තමන්ගේ වශයෙහි පවත්වන බවට ඇති සමර්ථ භාවය හඟවනු පිණිස සෘද්ධියෙන් අහසට නැඟී සත් තල් රකක් උසින් වැඩ සිටි සේක. 12 උන්වහන්සේ දිගු කරන ලද හස්තයෙහි බඹ ලොව සළුමිණි සෑය තබා ගෙන මෙහි පැමිණ ජනයාට දක්වා, එය නැවත එහි තිබූ තැනම තබා සෘද්ධියෙන් ගංගාවට පැමිණි සේක.

13 උන්වහන්සේ පය මාපට ඇඟිල්ලෙන් ප්‍රාසාදයේ කොත් කැරැල්ල අල්වා ගෙන ඔසවා ජනයාට දක්වා එය එහිම බහාලූ සේක. 14 නන්දුත්තර නම් මානවක තෙමේ ඒ ප්‍රාතිහාර්‍ය්‍යය දැක, “මම අනුන් සතු වූ ධාතූන් වහන්සේලා ගෙන එන්නට පොහොසත් වෙම්වා” යි ප්‍රාර්ථනා කළේ ය. 15 එහෙයින් සංඝයා වහන්සේ සොළොස් වසක් වුව ද මේ සෝණුත්තර නම් භික්ෂුව ඒ කර්මයෙහි යෙදවූ සේක.

ධාතූන් වහන්සේලා පිහිටි ස්ථානය සහ ඉතිහාසය

සෝණුත්තර යති තෙමේ 16 “කොතැනකින් ධාතු ගෙන එම් දැ” යි සංඝයාගෙන් විමසුවේ ය. සංඝ තෙමේ ඒ ස්ථවිරයන්ට ඒ ධාතු ඇති තැන ගැන මෙසේ වදාළ සේක.

17 “පරිනිර්වාණ මංචකයෙහි සැතපුණා වූ ලෝක ස්වාමීන් වහන්සේ, ධාතූන් මගින් ද ලෝ වැඩ කරන්නට සිතා ශක්‍ර දේවේන්ද්‍රයාට මෙසේ වදාළ සේක. 18 ’දේවේන්ද්‍රය, මාගේ ශරීර ධාතු ද්‍රෝණ අට අතුරෙන් එක් ද්‍රෝණයක් රාම ගම කෝලිය රජුන් විසින් ද සත්කාර කරන ලද්දේ වෙයි. 19 එය එතැනින් නාලොවට ගෙන යන ලද්දේ නයින් විසින් පුදන ලද්දේ වෙයි. එය එතැනින් 20 ලක්දිව මහා ථූපයෙහි නිධානය පිණිස වන්නේ ය.’ දීර්ඝ දර්ශී වූ මහා කාශ්‍යප මහාස්ථවිර තෙමේ ද, ධර්මාශෝක නරේන්ද්‍රයන් විසින් ධාතු 21 පතුරුවන කාරණයෙන් රජගහ නුවර සමීපයෙහි අජාසත් රජු ලවා මහා ධාතු නිධානය කරවන සේක්, ධාතූන් සම්බන්ධ වූ ද්‍රෝණ හතක් 22 ගෙන්වා යහපත් සේ රැස් කොට ධාතු නිධාන කරවූ සේක. උන්වහන්සේ සර්වඥයන් වහන්සේගේ 23 සිත දන්නා බැවින් රාමගම තිබූ ද්‍රෝණය නොගත් සේක.

ධර්මාශෝක මහීපාල තෙමේ ද ඒ මහා ධාතු නිධානය දැක අටවෙනි වූ ද්‍රෝණය ද 24 ගෙන්වන්නට අදහසක් කළේ ය. එහි සිටි රහත් භික්ෂූහු ’සර්වඥයන් වහන්සේ විසින් එය මහා ථූපයෙහි නිධානය පිණිස නියම කරන 25 ලද්දේ ය’ යි ධර්මාශෝක නරේන්ද්‍රයන් වැලැක්වූ සේක. රාමගම්හි වූ ථූපය වනාහි ගං ඉවුරෙහි කරන ලද්දේ ය. එහෙයින් ගංගාවෙහි මහා ජල ප්‍රවාහයෙන් එය බිඳී ගියේ ය. ඒ ධාතු කරඬුව වනාහි සමුද්‍රයට පිවිස 26 එහි ජලය දෙබෑව බිඳුණු කල්හි, නානාවිධ රත්නයන් හිස් මුදුනෙහි 27 රශ්මියෙන් ගැවසී සිට ගත් නාගයෝ ඒ කරඬුව දැක මාඤ්ජරික නම් නාග 28 භවනයට ගොස් කාල නම් නා රජහට දැන්වූහ. ඒ නාග රජ තෙම දස කෙළ දහසක් නාගයන් හා සමග එහි ගොස් ඒ ධාතූන් විශේෂයෙන් 29 පුදමින් ස්වකීය භවනයට පමුණුවා, සියලු රත්නයෙන් නිම කළ ථූපයක් ද එසේම ඒ මත්තෙහි ගෙයක් ද නිර්මිත කොට ආදර සහිත වූයේ නාගයන් 30 සමග සැම කල්හි පුදයි. එහි ආරක්ෂාව මහත් ය. ඔබ එහි ගොස් ධාතූන් මෙහි 31 ගෙන එව. හෙට දින මහීපාල තෙම ධාතු නිධානය කරන්නේ ය.”

ඒ යති තෙම වනාහි මෙසේ වදාරන ලද්දා වූ සංඝයාගේ ඒ වදනය අසා “යහපතැ” යි කියා යා යුතු කාලය බලමින් ස්වකීය වූ පිරිවෙණට වැඩම කළ සේක.

නගර අලංකරණය සහ පෙරහැර

32 මිහිපති තෙම “හෙට ධාතු නිධානය වන්නේය” කියා නුවර බෙර හැසිරවූයේ ය. 33 සියලු කටයුතු විධාන කොට මුළු නුවර ද මෙහි එන්නා වූ මාර්ගය ද සකස් කොට සැරස වූයේ ය. නුවර වැසියන් ද 34 අලංකාරවත් කරවූයේ ය. සක්දෙව් රජ තෙමේ ද විස්කම් දෙව් පුත් කැඳවා මුළු ලක්දිව නොයෙක් පරිද්දෙන් සැරස වූයේ ය. නරේශ්වර තෙම 35 නගරයේ සතර දොර මහ ජනයාගේ ප්‍රයෝජනය පිණිස නොයෙක් ආකාරයෙන් බත් හා වස්ත්‍ර තැබ්බ වූයේ ය.

රාජ කෘත්‍යයන්හි දක්ෂ වූ නරේන්ද්‍ර තෙම පසළොස්වක් 36 පොහෝ දින සවස් වේලෙහි යහපත් සිත් ඇත්තේ සර්වාභරණයෙන් සැරසුණේ, සියලු නාටිකාවන් විසින් ද ආයුධ සහිත වූ යෝධයන් 37 විසින් ද, මහත් වූ සේනා සමූහයා විසින් ද, ඇත් අස් රථ සේනාවන් 38 විසින් ද නානා ප්‍රකාර වූ ආභරණයෙන් ද සියලු දෙසින් පිරිවරන ලද්දේ ය. 39 යහපත් වූ ධවල සෛන්ධව අශ්වයන් හතර දෙනෙකු යොදන ලද යහපත් වූ රථයට නැඟුණු රජතෙම, සරසන ලද්දා වූ යහපත් කඬුලැතු පෙරටු කොට 40 රන් කරඬුවක් ගත්තේ ධවල ඡත්‍රය යට සිටියේ ය.

එක්දහස් අට දෙනෙක් පුරුෂයෝ ද, යහපත් පුන් කලස් හා ආභරණ ඇත්තා වූ යහපත් ස්ත්‍රීහු ද ඒ රථය 41 පිරිවැරූහ. ඒ ඒ ප්‍රමාණ වූ නානාවිධ මල් කරඬු ද එසේම දඬුවැට 42 පහන් ද දරාගෙන ස්ත්‍රීහු පිරිවැරූහ. මැනවින් සරසන ලද්දා වූ එක්දහස් අටක් දරුවෝ නානා වර්ණ වූ යහපත් ධ්වජයන් ගෙන 43 පිරිවැරූ හ. ඒ ඒ තන්හි නානාවිධ තූර්‍ය්‍ය ශබ්දයෙන් පොළෝ තල බිඳිනු ලබන සේ වූ කල්හි, ශෝභාවෙන් යුක්ත ව මහමෙවුනා උයනට 44 යන්නා වූ ඒ මහා යසස් ඇති නරේන්ද්‍ර තෙම නඳුන් වනයට පිවිසෙන සක් දෙව් රජහු මෙන් බැබළීය.

සෝණුත්තර හිමියන් නා ලොවට වැඩමවීම

45 පිරිවෙන වැඩහුන් සෝණුත්තර යති තෙම රජතුමාගේ පිටත්වීම ආරම්භ වීමත් සමඟම නගරයෙහි ඇති වූ මහත් වූ තූර්‍ය්‍ය ශබ්දය 46 අසා, පොළොව කිමිද වහා නාග භවනයට වැඩම කර එහි නා රජහු ඉදිරියෙහි පහළ වූ සේක. 47 නා රජ තෙම හුනස්නෙන් නැඟී වැඳ උන්වහන්සේ ආසනයෙහි 48 හිඳුවා සත්කාර කොට වැඩම කළා වූ දේශය ගැන විමසුවේ ය. එය වදාළ කල්හි නැවතත් තෙරුන් වහන්සේ වැඩිය කාරණය විමසුවේ ය. ඒ ස්ථවිර තෙම සියලුම කරුණු කියා සංඝයාගේ පණිවිඩය වදාළේ ය.

49 “සර්වඥයන් වහන්සේ විසින් මහා ථූපයෙහි නිධාන කරනු පිණිස නියම කර වදාරන ලද්දා වූ ධාතූහු මෙහි ඔබගේ හස්තයට පැමිණ ඇත. ඒ ධාතූන් ඔබ මට දුන මැනව.”

50 ඒ අසා අතිශයින් නො සතුටු වූ සිත් ඇත්තා වූ නාග රාජ තෙමේ, “මේ ශ්‍රමණ තෙම බලාත්කාරයෙන් වුව ද ගන්නට සමර්ථය. එහෙයින් 51 ධාතූහු අන් තැනකට පැමිණවිය යුතුය” යි සිතා, එහි සිටි බෑණනුවන්ට 52 ඉඟියකින් දැන්වූයේ ය. නමින් වාසුලදත්ත නම් වූ හෙතෙම ඔහුගේ අදහස දැන ඒ චෛත්‍ය මන්දිරයට ගොස්, ඒ කරඬුව ගිල මේරු පර්වතය 53 පාදයට ගොස් රවුමට දරණ ලා (කුණ්ඩලාවර්තව) ශයනය කළේ ය. හෙතෙම තුන් සියයක් යොදුන් දීර්ඝ වූ ශරීර ඇත්තෙක් විය. දරණය යොදුනක් වට ඇත්තේ ය. නොයෙක් 54 දහස් ගණන් පෙණ ද මවන ලද්දේ ය. ඒ මහත් සෘද්ධිමත් තෙම ශයනය 55 කොට දුම් පිට කරන්නේ ය. ගින්නෙන් ප්‍රජ්වලිත වන්නේ ය. නොයෙක් දහස් ගණන් තමන් සමාන වූ නයින් මවා හාත්පස පිරිවර කොට ශයනය කරවූයේ ය.

56 එකල්හි බොහෝ වූ දෙවියෝ ද නාගයෝ ද “නාගයන් දෙදෙනාගේ (නා රජු සහ භික්ෂුව අතර) යුද්ධය අපි බලන්නෙමු” යි එහි රැස් වූහ. මයිල් වූ නා රජ තෙම 57 බෑණනුවන් විසින් ඒ ධාතූහු ගෙන යන ලද්දාහු යයි සිතා, “මා ලඟ ධාතු නැතැ” යි ඒ ස්ථවිරයන්හට කීයේ ය. 58 ස්ථවිරයන් වහන්සේ ඒ ධාතූන්ගේ ගමනය මුල පටන් දැන 59 “ධාතු දෙව” යි ඒ නා රජහට කී සේක.

ධාතු ලබා ගැනීම සහ නාගයන්ගේ විලාපය

නා රජ තෙම අන් ආකාරයකින් හඟවන පිණිස ඒ තෙරුන් ගෙන චෛත්‍ය මන්දිරයට ගොස් උන්වහන්සේට 60 එය වර්ණනා කළේ ය. “නොයෙක් රත්නයෙන් නොයෙක් පරිද්දෙන් සකස් කරන ලද්දා වූ මැනවින් නිර්මිත කරන ලද චෛත්‍යය 61 ද සෑ ගෙය ද ශ්‍රමණය බලව. මුළු ලක්දිව සියලු රත්නයෝත් මේ හිනි මුල ඇති සඳකඩ පහණටත් අගය නොවන්නාහ. 62 අන්‍ය වූ වස්තූන් කෙරෙහි කවර වර්ණනාවක් ද? ශ්‍රමණය, නුඹ වහන්සේලා විසින් මහා සත්කාර පවත්නා තැනකින් ස්වල්ප සත්කාර පවත්නා තැනකට මේ ධාතූන් ගෙන 63 යාම නම් අයුත්තෙකි.”

“නාගය, තොපට සත්‍යාවබෝධය නැත්තේ ය. 64 ධාතූන් සත්‍යාවබෝධය ඇත්තා වූ තැනකට ගෙන යා යුතු ය. 65 තථාගතයෝ තුමූ සසර දුක් මිදීම පිණිස ම උපදිති. සර්වඥයන් වහන්සේගේ මේ අදහසක් ඇත. ඒ හේතු කොට ගෙන ධාතූන් ගෙන 66 යන්නෙමු. ඒ රජ තෙම වනාහි ධාතු නිධානය අදම කරන්නේ ය. එහෙයින් ප්‍රමාද නොකොට වහාම මට ධාතූන් දෙව” යි තෙරුන් වහන්සේ කී සේක.

“වහන්ස! 67 ඉදින් නුඹ වහන්සේ ධාතූන් දකින්නේ නම් ගෙන යව” යි නාග තෙම කීයේ ය. 68 ස්ථවිර තෙම ඒ වචනය ඔහු ලවා තුන් වරක් කියවා ගෙන, එහි වැඩ සිටියේම සියුම් අතක් මවා එකෙණෙහිම නා රජහු බෑණනුවන්ගේ 69 මුඛයෙහි අත බහා දා කරඬුව ගෙන “නාගය, නවතින්න” යි කියා පොළොව 70 කිමිද ගෙන පිරිවෙණෙහි නැගී සිටි සේක.

නාග රාජ තෙම “අප විසින් රවටන ලද භික්ෂු තෙම ගියේය” යි සිතා ධාතූන් ගෙනෙන 71 පිණිස බෑණනුවන්ට පණිවිඩ යැවීය. ඉක්බිති බෑණ තෙමේ කුසෙහි කරඬුව 72 නො දැක හඬමින් අවුත් මාමාට දැන්වූයේ ය. එකල ඒ නා රජ තෙමේ ද “අපි රවටන ලද්දෙමු” යි සිතා හැඬුවේ ය. පෙළුණා වූ සියළුම 73 නාගයෝ හැඬූහ. රැස් වූ දෙවියෝ භික්ෂූ ශ්‍රේෂ්ඨයන්ගේ ජයග්‍රහණය ගැන සතුටු 74 වූවෝ ඒ ධාතූන් පුදමින් උන්වහන්සේ සමග පැමිණියෝ ය. නාගයෝ හඬමින් අවුත් ධාතු ගෙන ඒමෙන් දුකට පත් වූවෝ සංඝයා සමීපයෙහි බොහෝ සෙයින් හැඬූහ. සංඝ තෙම අනුකම්පාවෙන් ඔවුන්ට ධාතු 75 ස්වල්ප මාත්‍රයක් ලබා දුන්නේ ය. එයින් සතුටු වූ ඔව්හු ගොස් පූජා භාණ්ඩයන් ගෙන ආවෝ ය.

දිව්‍යමය පූජාවන් සහ ධාතු නිධානය

76 සක් දෙව් රජ තෙම රුවන් පලඟක් හා රන් කරඬුවක් ගෙන දෙවියන් හා සමග ඒ ස්ථානයට ආයේ ය. 77 තෙරුන් වහන්සේ පැමිණි තන්හි විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ලවා කරවන ලද්දා වූ යහපත් වූ රත්න මණ්ඩපයෙහි පලඟ පිහිටුවා, ඒ තෙරුන් වහන්සේ 78 අතින් දා කරඬුව ගෙන තමන් ගෙනා කරඬුවෙහි තබා උතුම් පලඟෙහි තැබූයේ ය.

මහා බ්‍රහ්මයා ඡත්‍රය දැරුවේ ය. සන්තුසිත දෙව් තෙම වල් විදුනාව දැරුවේ ය. සුයාම දේව තෙමේ මිණි තල්වැට දැරුවේ ය. ශක්‍ර තෙම 79 දිය සහිත වූ සංඛය දැරුවේ ය. සතර වරම් දෙවි මහ රජ දරුවෝ 80 කඩු ගත් අත් ඇතිව සිට ගත් හ. මහත් සෘද්ධි ඇත්තා වූ තෙතිස් දෙව් පුත්හූ මල් කරඬු ගත් අත් ඇත්තාහු පරසතු මලින් පුදමින් එහි සිට 81 ගත්හ. දෙතිස් දෙව් කුමරියෝ දඬුවැට පහන් දරමින් සිටියෝ ය. විසි අටක් වූ යක්ෂ සේනාධිපතීහු වනාහි දුෂ්ට වූ යකුන් පලවා ආරක්ෂා 82 කරමින් සිට ගත්හ. පංචසිඛ නම් දේව පුත්‍ර තෙම වීණා වයමින් එහි 83 සිටියේ ය. තිම්බරු දෙව් පුත් තෙම නෘත්‍ය භූමියක් මවා තූර්‍ය්‍ය ඝෝෂා ඇතිව සිටියේ ය. නොයෙක් නා රජවරු සහ නොයෙක් දේව පුත්‍රයෝ 84 සාධු ගීතිකා ගයන්නෝ වූහ. මහාකාල නම් නා රජ තෙම නොයෙක් පරිද්දෙන් ස්තුති කරමින් සිටින්නේ ය. දිව්‍ය තූර්්‍යයන් වයනු ලබති. දිව්‍ය සංගීතය ද වයති. දේවතාවෝ දිව්‍ය සුගන්ධ ඇත්තා වූ වැසි ද වස්වති.

85 ඒ ඉන්දගුත්ත නම් වූ ස්ථවිර තෙම වනාහි මරුන් පසුබස්වන්නා වූ ලෝහමය ඡත්‍රයක් සක්වළ හා සමාන කොට මැවූ සේක. ධාතූන්ගේ ඉදිරියෙහි 86 ඒ ඒ දිශාවන්හි පස් තැනක හිඳ සියලු භික්ෂූහු ගණ සජ්ඣායනා කළහ.

87 අතිශයින් සතුටු වූ දුටුගැමුණු මහ රජ තෙම එහි පැමිණියේ, හිසින් දරා 88 ගෙන ආවා වූ ස්වර්ණමය වූ කරඬුවෙහි දා කරඬුව තබා අසුනෙහි පිහිටුවා 89 දා පුදා වැඳ දොහොත් මුදුන බැඳගෙන එහි සිටියේ ය. ක්ෂත්‍රිය තෙම මෙහි පවත්නා වූ දිව්‍ය ඡත්‍ර ආදිය ද, දිව්‍ය ගන්ධ ආදිය ද දැක, දිව්‍ය තූර්‍ය ආදියෙහි ශබ්දයන් අසා ද, නමුත් බ්‍රහ්මයන් හා දෙවියන් නො දැක ආශ්චර්‍ය්‍ය 90 අද්භූත සිත් ඇතිව සතුටු වූයේ ධවල ඡත්‍රයෙන් ධාතූන් පිදුවේ, ලංකා රාජ්‍යයෙහි 91 අභිෂේක ද කළේ ය. ඒ නරේන්ද්‍ර තෙම දිව්‍යමය ඡත්‍රය ද, මානුෂික ඡත්‍රය ද, විමුක්ති ඡත්‍රය ද යන ඡත්‍රත්‍රය දරන්නා වූ ලෝක ස්වාමී වූ ශාස්තෲන් 92 වහන්සේට “තුන් වරක්ම මාගේ රාජ්‍ය දෙමි” යි කියා සතුටු සිත් ඇත්තේ ලංකා රාජ්‍යය තුන්වරක් ධාතූන්ට පිදුවේ ය.

ක්ෂත්‍රිය තෙම 93 මිනිසුන් සමග ඒ දා පුදමින් කරඬු හා සමග ධාතුන් වහන්සේලා හිසින් ගෙන භික්ෂු 94 සංඝයා විසින් පිරිවරන ලද්දේ, චෛත්‍යය ප්‍රදක්ෂිණා කොට පෙරදිගින් ගෙනවිත් ධාතු ගර්භයෙහි බැස්සේ ය. අනූ හය කෙළක් රහතුන් 95 වහන්සේලා උතුම් ථූපය හාත්පසින් පිරිවරා කරන ලද ඇඳිලි ඇතිව 96 වැඩ සිට ගත්හ.

ධාතුන් වහන්සේලාගේ ප්‍රාතිහාර්යය

ධාතු ගර්භයට බැස ප්‍රීතියෙන් පූර්ණ වූ නරනිඳුහු, 97 “මාහැඟි වූ යහපත් යහනෙහි තබන්නෙමි” යි සිතන කල්හි, ධාතු සහිත වූ දා කරඬුව 98 තෙම ඔහුගේ මස්තකයෙන් අහසට නැගී සත් තලක් පමණ අහස් කුසෙහි පිහිටි සේක. ඉක්බිති කරඬුව තෙමේ විවෘත විය. ධාතූහු එයින් අහසට නැඟී 99 දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් හා අසූවක් අනුව්‍යඤ්ජනයෙන් බබළන්නා වූ බුද්ධ වේශය රැගෙන, ගණ්ඩබ්බ රුක මුලෙහි සර්වඥයන් වහන්සේ මෙන්, ජීවමාන වූ සම්බුදුන් විසින් දක්වන ලද්දා වූ යමා මහා 100 පෙළහර පෑවාහු ය. ඒ පෙළහර දැක ප්‍රසන්නව එකඟ සිත් ඇත්තා වූ 101 දොළොස් කෙළක් දෙවි මිනිස්සු රහත් බවට පත් වූහ. සෝවාන් ආදී වූ 102 ඵල තුනට පත් වූ සෙස්සෝ ගණන් කළ නොහැකි තරම් වූහ.

103 ඉක්බිත්තෙන් ඒ ධාතූහු බුද්ධ වේශය හැර කරඬුවෙහි පිහිටියහ. කරඬුව එයින් පාත බැස රජුගේ මස්තකයෙහි පිහිටියේ ය. ඒ රජ තෙම වනාහි ඉන්ද්‍රගුප්ත නම් ස්ථවිරයන් හා නාටිකාවන් සමග ධාතු ගර්භයෙහි 104 ඇවිදිමින් යහපත් යහන කරා පැමිණ, කාන්ති ධර වූයේ රුවන් පලඟෙහි කරඬුව තබා නැවත සුවඳ කවන ලද ජලයෙන් හස්තයන් ධෝවනය 105 කොට ගෞරව සහිත වූයේ සිවු දෑ ගඳ ගල්වා කරඬුව විවෘත කොට ඒ ධාතූන් ගත්තේ ය. මහ ජනයා කෙරෙහි වැඩ කැමැති පෘථිවිශ්වර තෙම 106 මෙසේ සිතුවේ ය. “ඉදින් ධාතූහු කිසිවකුන්ගෙන් උපද්‍රවයක් නොවන්නාහු ද, ඉදින් ධාතූහු ජනයාට පිහිට වී සිටියන්නාහු ද, මනා කොට පණවන ලද මහරු වූ යහනෙහි ශාස්තෘන් වහන්සේ පරිනිර්වාණ මංචකයෙහි 107 සැතපුණා වූ ආකාරයෙන් ශයනය කෙරෙත්වා!”

ඒ රජ තෙම මෙසේ 108 සිතා උතුම් යහනෙහි ධාතූන් තැබූයේ ය. ධාතූහු ද ඒ ආකාර ඇතිව උතුම් යහනෙහි ශයනය කළහ. ඇසළ මස ශුක්ල පක්ෂය සම්බන්ධිත 109 වූ පසළොස්වක් හි වූ උතුරුසල නැකතින් මෙසේ ධාතු පිහිටියාහු ය. 110 ධාතූන්ගේ පිහිටීම හා සමග මහ පොළොව කම්පිත වූවා ය. 111 නොයෙක් ආකාරයෙන් විවිධ ප්‍රාතිහාර්‍ය්‍යයෝ ඇති වූහ.

ප්‍රසන්න රජ තෙමේ ඒ ධාතූන් ධවල ඡත්‍රයෙන් පිදුවේ ය. ලංකාවෙහි සියලු රාජ්‍යය 112 සත් දවසක් පූජා කළේ ය. දේහයෙහි පැලඳි සියලු ආභරණ දාගැබෙහි පුද කළේ ය. නාටිකාවෝ ද අමාත්‍යයෝ ද පිරිස ද දේවතාවෝ ද එසේ 113 කළහ. මිහිපති තෙම වස්ත්‍රයන් හා උක් සකුරු ගිතෙල් ආදිය සංඝයාට 114 දී මුළු රැය භික්ෂූන් ලවා ගණ සජ්ඣායනා කරවූයේ ය. ජන සමූහයා කෙරෙහි වැඩ කැමැති වූ නරේන්ද්‍ර තෙම “සියලු ජනයෝ මේ සත් දවස ධාතූන් වඳිත්ව” යි 115 දෙවෙනි දවස නගරයෙහි බෙර හැසිර වූයේ ය.

මහජන පූජාව සහ ගර්භය වැසීම

116 “ලක්දිව දා වඳිනු කැමැත්තා වූ යම් මනුෂ්‍ය කෙනෙක් වෙත් නම් එකෙණෙහිම මෙහි අවුත් දා වැඳ කැමති සේ සිය ගෙට යෙත්වා” යි ඉන්දගුත්ත නම් වූ මහත් සෘද්ධිමත් වූ ස්ථවිර තෙම අධිෂ්ඨාන කළ 117 සේක. එය ප්‍රාර්ථනා කරන ලද පරිද්දෙන්ම සිදු විය. ඒ මහා යසස් ඇත්තා වූ මහ රජ තෙම මහා සංඝයාට ඒ සත් දවස නිරතුරු කොට මහ දන් පවත්වා, 118 “මා විසින් ධාතු ගර්භයෙහි කටයුතු නිමවන ලද්දේ ය. ධාතු ගර්භය වැසීම දැන ගන්නට සංඝයා සුදුස්සේ ය” යි කීයේ ය.

සංඝ තෙම සාමණේර 119 දෙනමක් ඒ කර්මයෙහි යෙදවූයේ ය. ඔව්හු ගෙනෙන ලද මේඝවර්ණ 120 පාෂාණයෙන් ධාතු ගර්භය වැසූහ. “මෙහි මල් නොමැලවෙත්වා, මේ ගන්ධයෝ නො වියලෙත්වා, පහන් ද නොනිවෙත්වා, කිසිවක් නොනසීවා, 121 මේඝවර්ණ ෂට් පාෂාණයෝ අතරක් නැතිව ගැළපෙත්වා” යි රහතන් 122 වහන්සේලා මේ සියල්ල අධිෂ්ඨාන කළහ.

වැඩ කැමැති වූ මහරජණෝ 123 “මහාජන තෙම මෙහි ශක්ති පමණින් ධාතු නිධානයන් කෙරේව” යි අණ කළේ ය. මහාජන තෙමේ මහා ධාතු නිධානයට පිටතින් ද දහස් ගණන් ධාතූන් සම්බන්ධ වූ නිධානයන් ශක්ති පමණින් කළේ ය. 124 නරේන්ද්‍ර තෙම ඒ සියල්ල පියවා ථූපය සමාප්ත කරවූයේ ය. මෙහි චෛත්‍යයෙහි සතරැස් කොටුව ද නිම කරවූයේ ය.

125 මෙසේ පිරිසිදු සිත් ඇත්තා වූ චේතෝ ඛිල රහිත වූ සත්පුරුෂයෝ සියලු සම්පත්තීන් අතුරෙන් උතුම් වූ නිර්වාණ සම්පත්තිය හේතු කොට නිර්මල වූ පින්කම් තුමූම කරති. නානා ප්‍රකාර විශේෂ ඇත්තා වූ ජන සමූහයා පිරිවර කිරීමට හේතු වූ පින් කරවන්නාහු ද වෙති.

මෙතෙකින් හුදී ජනයා පහන් සංවේගය පිණිස කළ මහාවංශයෙහි ‘ධාතු නිධානය’ නම් වූ එක්තිස් වන පරිච්ඡේදය නිමියේ ය.