ඉන්පසු ඒ පෘථිවි පාලක රජතුමා ලක්ෂයක් වියදම් කොට උදාර වූ, උතුම් මහා බෝධි පූජාවක් කරවූයේය. ඉන් අනතුරුව නුවරට ඇතුළු වන විට, සෑය පිහිටුවන ස්ථානයේ පිහිටුවා තිබූ ගල් ටැඹ දැක, තමන් කළ යුතු කාර්යය පිණිස පෙර ලියා තබන ලද්දෙන් දැනගත් පුවත සිහිපත් කොට, “මම මහා සෑය කරවන්නෙමි” යි සිතා සතුටට පත් විය. හෙතෙම මහා ප්‍රාසාද තලයට නැඟී බොජුන් අනුභව කොට රාත්‍රියෙහි නින්දට ගොස් මෙසේ සිතුවේය. 1-3
“දෙමළුන් මර්දනය කරන මා විසින් මේ ජනතාව බොහෝ සේ පීඩාවට පත් කරන ලද්දේය. එබැවින් නැවතත් ජනතාවගෙන් බදු අය කර ගත නොහැකිය. ජනතාවගෙන් ගන්නා ඒ අයබදු ගැනීම අතහැර දමා, සෑය කරවන මම කෙසේ නම් ධර්මානුකූලව ගඩොල් උපයම් දැයි?” මෙලෙස කල්පනා කරන්නා වූ රජුගේ සිතිවිල්ල සේසතෙහි වසන දේවතාවිය දැනගත්තාය. ඒ හේතුවෙන් දෙවියන් අතර කෝලාහලයක් ඇති විය. 4-5
ශක්‍ර දේවේන්ද්‍ර තෙම ඒ බව දැන විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට මෙසේ අණ කළේය. 6
“ගැමුණු රජතෙම චෛත්‍යයට ගඩොල් ලබා ගැනීම පිණිස කල්පනා කළේය. තොප ගොස් අනුරාධපුරයෙන් යොදුනක් දුර, ගම්භීර නම් නදිය සමීපයෙහි වූ ස්ථානයෙහි ගඩොල් මවව.” 7
සක් දෙව් රජු විසින් අණ කරන ලද විශ්වකර්ම තෙම මෙහි පැමිණ, එතැන ගඩොල් මැවූයේය. පසුදා අලුයම් කාලයෙහි එහි වැද්දෙක් බල්ලන් ද සමඟ වනයට ගියේය. එහිදී එක් භූමාටු දේවතාවියක් තලගොයි වේශයෙන් වැද්දාට තමා දැක්වූවාය. 8
ඒ තලගොයා ලුහුබැඳ ගිය වැද්දා ගොස් ගඩොල් ද, තලගොයා අතුරුදන් වූ බව ද දුටු කල්හි, එහි සිට ඔහු මෙසේ සිතුවේය. 9
“අපගේ රජතුමා මහා සෑයක් කරවීමට කැමැත්තෙන් සිටියි. මේ ගඩොල් උන්වහන්සේට පඬුරක් වන්නේය.” 10
ඔහු එසේ සිතා ගොස් රජුට ඒ බව සැළ කළේය. ජනතාවගේ යහපතෙහි ඇලුනු රජතෙම ඔහුගේ ඒ ප්‍රිය වචනය අසා, සතුටු සිත් ඇත්තේ ඔහුට මහත් වූ සත්කාර කරවූයේය. 11-12
පුරයෙන් ඊසාන දෙස තුන් යොදුනකින් ඔබ්බෙහි, ආචාරවිට්ඨි නම් ගමෙහි සොළොස් කිරියක් (අක්කර 64ක් පමණ) වූ භූමි ප්‍රදේශයෙහි, විවිධ ප්‍රමාණයේ රන් බීජ (රන් අංකුර) උපන්නේය. ඒවා උසින් වියත් පමණ ද, මිටි මට්ටමින් අඟල් පමණ ද වූහ. 13
රනින් පිරුණා වූ ඒ භූමිය දුටු ඒ ගම්වැස්සෝ රන් තලියක් පුරවාගෙන ගොස් රජතුමාට සැල කළහ. 14-15
පුරයෙන් නැගෙනහිර දෙස සත් යොදුනකින් ඔබ්බෙහි ගඟෙන් එතෙර තඹවිට නම් ගමෙහි තඹ ලෝහය උපන්නේය. ඒ ගම්වැස්සෝ ද තලියකින් තඹ ලෝහ බිජු වටා ඇති පස් සමඟ ගෙන රජු වෙත පැමිණ ඒ කාරණය ද සැළ කළහ. 16-17
පුරයෙන් ගිනිකොන පෙදෙසෙහි සතර යොදුනක් දුර සමන්වැව නම් ගමෙහි බොහෝ මැණික් උපන්නේය. ඒ ගම්වැස්සෝ උපුල් කුරුවින්ද ගල් හා මිශ්‍ර වූ ඒ මැණික් තලියකින් ගෙනැවිත් රජුට සැළ කළහ. 18-19
නුවරින් දකුණු පස අට යොදුන් දුර අම්බට්ඨකොල නම් දනවුවෙහි ලෙනක රිදී උපන්නේය. නුවර වැසි වෙළෙන්දෙක් බොහෝ කරත්ත රැගෙන මලය රටින් ඉඟුරු ආදිය ගෙනෙන පිණිස ඒ දෙසට යන අතරතුර, ලෙනට නුදුරු තැනක කරත්ත නවතා, කෙවිටක් සොයමින් ඒ පර්වතයට නැංගේය. 20-22
එහිදී සැළියක් පමණ විශාල වූ, බරින් නැමුණු කොස් ගෙඩියක් ද, ගලක් මතුපිට පිහිටි ඒ ගෙඩිය ද දැක, ඔහු එහි නට්ට පිහියෙන් කපා ගත්තේය. 22-23
“මම අග්‍ර වූ දානයක් දෙන්නෙමි,” යි සිතා හෙතෙම ශ්‍රද්ධාවෙන් සතුටු වූයේය. එවිට රහතන් වහන්සේලා සතර නමක් වැඩියහ. 24
ඔහු උන්වහන්සේලා වැඳ ආදර සහිතව වැඩ හිඳුවා, පිහියෙන් කොස් ගෙඩියේ නට්ට වටා හාත්පස සිවිය කපා, කොස් මැලියම් ඉවත් කොට, වලක් සාදා එහි පිරී තිබූ යුෂ, කොළ පතින් ගෙන යුෂ පිරවූ ඒ පාත්‍ර සතර උන්වහන්සේලාට පූජා කළේය. 25-26
උන්වහන්සේලා ඒ පිළිගෙන වැඩියහ. ඉන්පසු ඒ වෙළෙන්දා නැවතත් කාල ඝෝෂා කළේය (අන් අයටද දන් දීම පිණිස ශබ්ද කළේය). එවිට වෙනත් රහතන් වහන්සේලා සතර නමක් එහි වැඩියහ. හෙතෙම උන්වහන්සේලාගේ පාත්‍රයන් ගෙන වරකා මදුලෙන් පුරවා පිළිගැන්වූයේය. 27-28
උන්වහන්සේලා අතුරෙන් තුන් නමක් බැහැරට වැඩියාහුය. එක් වහන්සේ නමක් නොවැඩි සේක. ඒ ස්ථවිරයන් වහන්සේ ඔහුට රිදී පෙන්වීම පිණිස එතැනින් බැස, ලෙණ සමීපයෙහි වැඩ හිඳ ඒ මදුළු වැළඳු සේක. 29
වෙළෙන්දා ඉතිරි වූ මදුළු කුස පිරෙන තෙක් අනුභව කොට, ඉන් ඉතිරි කොටස පොදියක් ලෙස බැඳගෙන, ස්ථවිරයන් වහන්සේ දැක වතාවත් ද කළේය. ස්ථවිර තෙමේ ද ලෙණ දොරින් ඔහුට මාර්ගයක් මැවූ සේක. හෙතෙම ස්ථවිරයන් වහන්සේ වැඳ ඒ මගින් යන්නේ ලෙණ දුටුයේය. 30-31
ඒ උතුම් වෙළෙන්දා ලෙණ දොර සිට රිදී ද දැක, පිහියෙන් ගසා එය රිදී යැයි දැන ගත්තේය. ඔහු එක් රිදී පිඩක් ගෙන කරත්ත තිබූ තැනට ගොස් කරත්ත එහිම තබවා, ඒ රිදී පිඩ ගෙන වහා අනුරාධපුරයට අවුත් නරේන්ද්‍රයන්ට රිදී පෙන්වා ඒ කාරණය දැන්වූයේය. 32-35
පුරයෙන් බටහිර දෙස පස් යොදුනකින් ඔබ්බෙහි උරුවෙල් පටුනෙහි, මහ නෙල්ලි ගෙඩි පමණ වූ මුතු ඇට අතරතුර පබළු සමඟ මුහුදින් ගොඩ ගැසුවේය. 36
ඒ මුහුදුබඩ වැසි ධීවරයෝ ඒ දැක පබළු සහ මුතු එකතු කොට ගෙන තලියකින් ගෙනැවිත් රජු වෙත පැමිණ ඒ කරුණ ද සැල කළහ. 37
නුවරින් උතුරු පස සත් යොදුනකින් ඔබ්බෙහි පෙළවැව්ව නම් ගමෙහි වැවට ජලය එන ඇළෙහි, වැලි පොළොව මතුපිට ඇඹරුම් ගල් පමණ ප්‍රමාණයේ වූ, දියමෙරලි මල් වන් පැහැ ඇති යහපත් උතුම් මැණික් වර්ග හතරක් උපන්නේය. 38-39
දඩයම්කරුවෙක් ඒ දැක රජු වෙත අවුත්, “මා විසින් මෙබඳු මැණික් රත්නයන් දකින ලදී” යයි සැල කළේය. 40
මහත් ප්‍රඥා ඇති, මහත් පින් ඇති ඒ රජතුමා මහා සෑය පිණිස උපන් ගඩොල් ආදී මේ ද්‍රව්‍යයන් ගැන එදිනම අසන්නට ලැබුණේය. සතුටු සිත් ඇති රජ තෙමේ සුදුසු පරිද්දෙන් තොරතුරු දැන්වූ ඔවුන්ට සත්කාර කොට, ඔවුන්ම ඒ වස්තූන්ගේ ආරක්ෂකයන් ලෙස පත් කොට ඒ සියලු ද්‍රව්‍යයන් ගෙන්වා ගත්තේය. 41-42
කයෙහි උපන් නොඉවසිය හැකි වූ වෙහෙස ද නොසලකා, පහන් සිත් ඇත්තා විසින් මෙසේ රැස් කරන ලද්දා වූ පින්, සැපයට ආකර වූ උපකරණ සියයක් සිදු කෙරේ. එබැවින් මෙසේ පහන් සිත් ඇත්තේ පින් කරන්නේය. 43
මෙතෙකින් හුදී ජනයා පහන් සංවේගය ඇති කරනු පිණිස කළ මහාවංශයේ ‘මහා ථූප සාධන ලාභ’ නම් වූ විසි අට වන පරිච්ඡේදය නිම විය.