26. මිරිසවැටි විහාර පූජාව

star_outline
ථේරපුත්තාභය යෝධයාගේ පැවිදි වීම

1 මහා කීර්තිමත් වූ ඒ දුටුගැමුණු මහ රජතුමා මුළු ලංකා රාජ්‍යයම එක්සේසත් කොට, තමන් වෙනුවෙන් සටන් කළ යෝධයන්ට සුදුසු තනතුරු හා වරප්‍රසාද පිරිනැමුවේය. 2 එහෙත්, ථේරපුත්තාභය නම් යෝධයා තමන්ට ලබා දුන් එම තනතුර භාරගැනීම ප්‍රතික්ෂේප කළේය. රජතුමා පුදුමයට පත්ව “එසේ ප්‍රතික්ෂේප කරන්නේ කුමක් නිසාද?” යි විමසූ විට, ඔහු “මට තවත් යුද්ධයක් ඇතැ” යි පැවසීය. එවිට රජතුමා “යුද්ධ කොට මුළු රාජ්‍යයම එක්සේසත් කළ පසුව තවත් කිනම් යුද්ධයක්ද?” යි නැවත විමසූ කල්හි, “කෙලෙස් සොරුන් හා කරන්නා වූ අතිශයින් ජය ගැනීමට අපහසු 3 ආධ්‍යාත්මික යුද්ධයක් කරන්නෙමි” යි ඔහු පිළිතුරු දුන්නේය.

රජතුමා ඔහුව නැවත වරක් වැළැක්වීමට උත්සාහ කළේය. 4 එහෙත් හෙතෙම නැවත නැවතත් රජුගෙන් ඉල්ලා සිටි බැවින්, රජුගේ කැමැත්ත පරිදි පැවිදි බව ලබා ගත්තේය. එසේ පැවිදි වී විදර්ශනා වඩා නොබෝ කලකින්ම රහත් බවට පත් වූ උන්වහන්සේ, 5 රහතන් වහන්සේලා පන් සියයක් පිරිවර කොට ඇත්තෙක් ද වූයේ ය.

ජල ක්‍රීඩාව හා කුන්තායුධයේ ප්‍රාතිහාර්යය

6 විජයග්‍රහණයෙන් පසු සේසත් ඔසවන මංගල්‍යය පවත්වා දින හතක් ගත වූ කල්හි, නිර්භීත වූ අභය (දුටුගැමුණු) රජතුමා ජල ක්‍රීඩා උත්සවය සඳහා පිටත් විය. 7 රජතුමා තමන් ලැබූ රාජාභිෂේකය නිමිත්තෙන් ජල ක්‍රීඩා කරනු පිණිසත්, ක්ෂත්‍රියයන්ගේ චාරිත්‍ර ඉටු කරනු පිණිසත්, මහා පෙරහැරකින් හා විවිධ සැරසිලිවලින් අලංකාර කරන ලද තිසා වැව වෙත සම්ප්‍රාප්ත වූයේය. 8 රජුගේ සියලු පරිභෝග භාණ්ඩ ද, ගෙන එන ලද සිය ගණන් පඬුරු ද වර්තමානයේ මිරිසවැටි වෙහෙර පිහිටි ස්ථානයෙහි තැබූහ.

9 එසේම එම ස්ථානයේම අනාගතයේ ථූපය පිහිටන තැන, කුන්තායුධය උසුලන්නා වූ රාජ පුරුෂයෝ සර්වඥ ධාතු සහිත වූ රජුගේ ජය කොන්තය (කුන්තායුධය) කෙළින් සිටුවා තැබූහ. මහා රජතුමා අන්තඃපුර කාන්තාවන් සමඟ දහවල් කාලය මුළුල්ලෙහි දිය කෙළියේ යෙදී සවස් කාලයෙහි ගොඩට පැමිණියේය. 10 ඉන්පසු රජතුමා “භවත්නි! අප දැන් යන්නට කැමැත්තෙමු, කුන්තායුධය ඔසවා ගෙන එව්” යැයි අණ කළේ ය.

11 එහෙත් රාජ පුරුෂයන්ට ඒ කුන්තායුධය පොළොවෙන් සොලවන්නටවත් නොහැකි විය. 12 එය දැක රැස් වූ රජුගේ සේනාවෝ මවිත වී සුවඳ මලින් ඊට පුද සත්කාර කළහ. 13 රජතුමා ද ඒ මහත් වූ ආශ්චර්‍යය දැක බලවත් සතුටට පත්ව, එම ස්ථානයේ ආරක්ෂාව සංවිධානය කොට නගරයට පිවිසියේය.

මිරිසවැටි විහාරය ඉදිකිරීම හා පූජා කිරීම

14 පසුව රජතුමා නැවත එහි පැමිණ, කුන්තායුධය මැදි කොට එය වට කරවා චෛත්‍යයක් කරවූයේය. 15 එම ස්තූපය වටා විහාරයක් ද කරවීය. 16 එම විහාරයේ කටයුතු නිම කිරීමට අවුරුදු තුනක් ගත විය. ඒ නරේශ්වර තෙම විහාරය පූජා කිරීමේ උත්සවය සඳහා මහා සංඝයා වහන්සේලා රැස් කරවූයේ ය. එදින එහි රැස් වූ භික්ෂූන් වහන්සේලා ලක්ෂයක් ද, භික්ෂුණීන් වහන්සේලා අනූ දහසක් ද වූහ.

17 මිහිපති වූ රජතුමා ඒ භික්ෂු සමාගමයේ දී මහා සංඝයා අමතා මෙසේ ප්‍රකාශ කළේ ය. “ස්වාමීනි! මම එක් දිනක් සංඝයා වහන්සේලා සිහි නොකොට මිරිස් වැටියක් (මිරිස් ව්‍යාංජනයක්) අනුභව කළෙමි. ඊට දඬුවම් පිණිස චෛත්‍යය සහිත වූ, අතිශයින් සිත්කළු වූ මේ මිරිසවැටි වෙහෙර කරවීමි. 18 සංඝයා වහන්සේලා මෙය පිළිගන්නා සේක්වා!” යි පවසා බලවත් සතුටට පත් රජතුමා, 19 දක්ෂිණෝදකය වත්කොට විහාරය භික්ෂු සංඝයාට පූජා කළේ ය.

මහා දානය සහ පින්කමේ වටිනාකම

එම වෙහෙර මළුවෙහි ද, ඒ වෙහෙර අවට ද අලංකාර වූ මහා මණ්ඩප කරවා, 20 එහි සංඝයා වහන්සේලාට මහ දන් පැවැත්වූයේය. අභය වැවේ ජලය මැද ද කුළුණු සිටුවා ඒ මණ්ඩපය කරවන ලද්දේ විය. 21 ඉතිරි වූ සෙසු ඉඩකඩ ඇති තැන්හි කළ මණ්ඩප ගැන කියනුම කවරේද? නරේශ්වර තෙම සත් දිනක් මුළුල්ලෙහි ආහාර පානාදිය සංඝයාට පූජා කොට, ශ්‍රමණ සාරුප්‍ය වූ ඉතා වටිනා සියලු පිරිකර ද 22 පූජා කළේ ය. එහි දී පූජා කරන ලද ප්‍රථම පරිෂ්කාරයම ලක්ෂයක් වටිනා විය. මහා සංඝයා වහන්සේලා ඒ සියල්ල ලබා ගත් සේක.

23 යුද්ධයෙහි මෙන්ම දානයෙහි ද දක්ෂ වූ, නැණවත් වූ, රත්නත්‍රය කෙරෙහි පැහැදුණු නිර්මල සිතක් ඇත්තා වූ, බුදු සසුන බබළවනු කැමති, කළ උපකාර දන්නා 24 ඒ නරනිඳුන් විසින්, රත්නත්‍රය පිදීම සඳහා ථූපය කරවීමේ පටන් විහාර පූජාව අවසන් වන තෙක් මෙහි පරිත්‍යාග කරන ලද ධනය, 25 මිල කළ නොහැකි අනර්ඝ වස්තූන් හැර, ඉතිරි වියදම පමණක් එකුන් විසි කෝටියක් (දහනව කෝටියක්) වේ.

26 ගින්න ආදී පංචවිධ දෝෂයෙන් විනාශ විය හැකි ස්වභාවයෙන් යුක්ත වූ භෞතික සම්පත්, ප්‍රඥාවන්ත ජනයා වෙත පැමිණි කල්හි, ඔවුහු දන් දීමෙන් ලැබෙන ‘බහුජන ප්‍රියතාව’ ආදී වූ පංච ගුණයන් ලබා ගනිති. එසේ සිතා, නැණවත් තැනැත්තා භෞතික සම්පත්වල සාරය (පින්) ලබා ගැනීමට උත්සාහ කරන්නේ ය.

සත්පුරුෂ ජනයාගේ ප්‍රසාදය හා සංවේගය පිණිස කරන ලද මහා වංශයෙහි මිරිසවැටි විහාර පූජාව නම් වූ විසිහය වෙනි පරිච්ඡේදය මෙසේ නිම විය.