1 මහා මුනිවරයාණන් වහන්සේ හෙවත් සර්වඥයන් වහන්සේ උපත ලැබුවේ මහා සම්මත රජුගේ වංශයෙහිය. 2 මේ කල්පය ආරම්භයේදී මහා සම්මත නමින් නරේන්ද්‍රයෙක් පහළ විය. 3 රෝජ, වරරෝජ, එසේම කල්‍යාණ නම් ඇත්තා වූ කල්‍යාණ හා වරකල්‍යාණ යන දෙදෙනා ද, උපෝසථ, මන්ධාතු, චර, උපචර යන දෙදෙනා ද, චේතිය, මුවල, මහා මුවල නමැත්තා ද, මුචලින්ද ද, 4 සගර, සාගර දේව නමැත්තා ද, භරත, භාගිරථ, රුචි, සුරුචි, ප්‍රතාප, මහා ප්‍රතාප, එසේම පණද නම් වූ පණාද හා මහා පණාද යන 5 දෙදෙනා ද, එසේම සුදර්ශන-නේරු නමැත්තා වූ සුදර්ශන, මහාසුදර්ශන, නේරු, මහානේරු යන පශ්චිම වූ දෙදෙනා බැගින් වූ සිව් දෙනා ද, 6 යනාදී වශයෙන් මහා සම්මත රජුගේ දරු මුනුබුරු රජ දරුවෝ වූහ. අසංඛ්‍ය වූ ආයුෂ ඇති 7 මේ විසි අටක් වූ රජවරු කුසාවතිය, රජගහනුවර සහ මිථිලාව යන නගරයන්හි වාසය කළහ.
8 ඉන්පසුව ඒ රජුන්ගේ පරම්පරාවෙන් පැවත ආ රජ දරුවන් සියයක් ද, පනස් හය දෙනෙක් ද, හැට දෙනෙක් ද, අසූ හාර දහසක් ද, ඉන් මෑත කාලයේ වූ 9 තිස් හය දෙනෙක් ද, තිස් දෙදෙනෙක් ද, විසි අට දෙනෙක් ද, ඉන් මෑත වූ විසි දෙදෙනෙක් ද, දහඅට දෙනෙක් ද, දාහතක් ද, පහළොස් දෙනෙක් ද, 10 දහහතර දෙනෙක් ද, නව දෙනෙක් ද, සත් දෙනෙක් ද, දොළොස් දෙනෙක් ද, ඉන් අන්‍ය වූ විසි පස් දෙනෙක් ද, යළිත් විසි පස් දෙනෙක් ද, දොළොස් දෙනෙක් ද නැවතත් දොළොස් දෙනෙක් ද, නව 11 දෙනෙක් ද, මඛාදේව ආදී වූ රජුන් අසූ හාර දහසක් ද, කලාර ජනක ආදී වූ රජුන් අසූ හාර 12 දහසක් ද, ඔක්කාක රජු දක්වා සොළොස් දෙනෙක් ද යන මේ මුනුබුරු රජවරු රාශි වශයෙන් වෙන් වෙන් වූ පුරවරයන්හි තම කැමැත්ත පරිදි රාජ්‍ය අනුශාසනා කළහ.
ඔක්කාක රජුගේ වැඩිමහල් පුත්‍රයා වූයේ උක්කාමුඛ නම් රජු ය. නිපුර, 13 චන්දිමන්තු, චන්ද්‍රමුඛ, සිරි සංජය, වෙස්සන්තර මහරජ, චාලි, සිංහ වාහන හා සිංහ ස්වර යන මොවුහු ඔහුගේ දරු මුනුබුරෝ ය. සිංහ 14 ස්වර රජුට දරු මුනුබුරු රජුන් දෙයාසූ දහසක් විය. ඔවුන්ගේ අන්තිම රජු ජයසේන නම් විය. 15 මොවුහු කිඹුල්වත් පුරයෙහි ශාක්‍ය රජවරු යැයි ප්‍රසිද්ධ වූහ. 16 සිංහහනු නම් මහ රජ තෙම ජයසේන රජුගේ පුත්‍රයා වූයේය. ජයසේන රජුගේ දියණිය යසෝධරා නම් විය. 17 (එක්තරා රජ කෙනෙකුට) දාව අංජන නම් කුමාරයෙක් විය. ඒ රජුට අංජන නම් කුමාරයෙක් ද, යළිත් කච්චානා නම් වූ කුමාරියෙක් ද යැයි දරු දෙදෙනෙක් වූහ. ඒ කච්චානා කුමාරිකාව සිංහහනු නම් රජුගේ මෙහෙසිය 18 වූවාය. ඒ යසෝධරා නම් කුමාරිකාව අංජන නම් ශාක්‍ය රජුගේ මෙහෙසිය වූවාය. 19 අංජන නම් ශාක්‍ය රජුට මායා සහ ප්‍රජාපතී යැයි දූවරු 20 දෙදෙනෙක් වූහ. දණ්ඩපාණි ශාක්‍ය සහ සුප්‍රබුද්ධ ශාක්‍ය යැයි පුත්‍රයන් දෙදෙනෙක් ද වූහ.
සිංහහනු නම් ශාක්‍ය රජුට වනාහි පුත්‍රයෝ පස් 21 දෙනෙක් ද, දූවරු දෙදෙනෙක් ද වූහ. සුද්ධෝදන, ධෝතෝදන, සුක්කෝදන, අමිතෝදන (මෙහි එක් පුත්‍රයෙකුගේ නම ගාථාවෙහි නොකියන ලදී) යයි මේ පංච පුත්‍රයෝ ය. අමිතා සහ 22 ප්‍රමිතා යයි මේ දියණියෝ දෙදෙනා ය. අමිතා තොමෝ සුප්‍රබුද්ධ නම් ශාක්‍ය රජු හට මෙහෙසිය වූවාය. ඒ මෙහෙසියට භද්දකච්චානා සහ දේවදත්ත 23 යයි දරු දෙදෙනෙක් වූහ.
මායා සහ ප්‍රජාපතී යයි සුද්ධෝදන රජුගේ මෙහෙසියන් දෙදෙනෙක් වූහ. සුද්ධෝදන මහ රජුට දාව ඒ බිසවගේ (මායා දේවියගේ) පුත්‍ර තෙම ඒ සර්වඥයන් වහන්සේ වූයේ ය. මහා මුනි වූ සර්වඥ තෙම සියලු ක්ෂත්‍රියයන්ගේ මුදුන් මල්කඩක් බඳු වූ, ආවාහ විවාහාදියෙන් අසම්භින්නව (මිශ්‍ර නොවී) මෙසේ පැවතගෙන ආ මහා සම්මත වංශයෙහි අන්තිම ජාතියෙහි උපන් සේක.
24 බෝධිසත්ව වූ සිද්ධාර්ථ නම් කුමාරයාට භද්දකච්චානා නම් කුමාරිකාව මෙහෙසිය වූවාය. ඒ මෙහෙසියගේ පුත්‍ර තෙම රාහුල 25 නම් වූයේ ය. බිම්බිසාර කුමාරයා සහ සිද්ධාර්ථ කුමාරයා ද යහළුවන් වූහ. ඒ දෙදෙනාගේ පිය රජවරු දෙදෙනා ද යහළුවන්ම වූහ. බෝධිසත්වයන් වහන්සේ බිම්බිසාර රජුට වඩා පස් අවුරුද්දක් වැඩි වයස් ඇත්තේ 26 විය. වයසින් විසිනම අවුරුද්දක් වූ බෝධිසත්ව තෙම බුද්ධත්වය පිණිස අභිනිෂ්ක්‍රමණය කළේ ය. හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කොට 27 ක්‍රමයෙන් සම්‍යක් සම්බෝධියට පැමිණියේය. ඉක්බිත්තෙන් වයසින් තිස්පස් අවුරුද්දක් වූ සේක් බිම්බිසාර රජතුමා කරා පැමිණි සේක.
28 ඉක්බිත්තෙන් මහා ප්‍රඥා ඇති බිම්බිසාර රජ තෙම පහළොස් අවුරුදු වයස් ඇත්තේ සිය පියා විසින් අභිෂේක කරන ලද්දේ රාජ්‍යයට පත් විය. සොළොස් වෙනි වස (දහසය වන වර්ෂය) පැමිණි කල්හි ශාස්තෘ වූ සර්වඥ තෙම ඔහුට 29 ධර්ම දේශනා කළ සේක. හෙතෙම වනාහි දෙපනස් (52) අවුරුද්දක්ම රජ 30 කරවීය. ඔහුට සර්වඥයන් වහන්සේ පැමිණෙන්නට පළමු රාජ්‍යයෙහි අවුරුදු පහළොවක් ගත වී තිබුණි. තථාගතයන් වහන්සේ ජීවමාන කාලයෙහි 31 තිස් හත් අවුරුද්දක් ඔහු රජකම් කළේය. බිම්බිසාර රජුගේ පුත්‍ර වූ, මහා මිත්‍ර ද්‍රෝහී අජාතශතෘ කුමාර තෙම ඒ බිම්බිසාර රජු මරවා තිස් දෙ අවුරුද්දක් 32 රාජ්‍යය කරවූයේය. අජාසත් රජුට අට වෙනි වර්ෂයෙහි තථාගතයන් වහන්සේ පිරිනිවී සේක. පරිනිර්වාණයෙන් පසු හෙතෙම විසි හතර අවුරුද්දක් 33 රජ කරවීය.
සියලු ගුණයෙන් අග තැන් පැමිණි, ක්ලේශයන්ට වසඟ නොවූ තථාගත තෙම මරණ වසඟයට (මරණයට) පත් වූ සේක. මෙසේ මේ ලෝකයෙහි යමෙක් තෙම භය උපදවන්නා වූ අනිත්‍යතාව නුවණින් දකින්නේ ද, හෙතෙම දුකෙහි පරතෙරට පැමිණියේ යැයි කියනු ලැබේ.
මෙතෙකින් හුදී ජනයාගේ ප්‍රසාදය හා සංවේගය පිණිස කළ මහාවංශයේ මහා සම්මත නම් වූ දෙවෙනි පරිච්ඡේදය නිමි.