1. තථාගතාභිගමනය

star_outline
ග්‍රන්ථාරම්භය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!

1 මහා සම්මත නම් වූ ශුද්ධ වංශයෙහි උපන්, සියලු ක්ලේශයන්ගෙන් දුරුවූ හෙයින් අතිශයින්ම 2 පිරිසිදු වූ සර්වඥයන් වහන්සේ වැඳ, කිසිදු අඩුවක් නොමැතිව නොයෙක් පරිච්ඡේද ඇත්තා වූ මහාවංශය මම ප්‍රකාශ කරන්නෙමි.

3 මේ වංශ කථාව පුරාතනයන් විසින් කරන ලද්දේ නමුත්, සමහර තැන්හි ඉතා අනවශ්‍ය ලෙස විස්තර කරන ලද්දේය. සමහර තැන්හි නොයෙක් පුනරුක්ත දෝෂ (නැවත නැවත කීම) ඇත්තේය. එම දෝෂයන්ගෙන් තොර කරන ලද්දා වූ හෙයින්ම පහසුවෙන් තේරුම් ගත හැකි වූ ද, මතක තබා ගත හැකි වූ ද, සිතට සතුට හා සංවේගය 4 ඇති කරන්නා වූ ද, පරම්පරාවෙන් පැවත එන්නා වූ ද ඒ මහා වංශය මම ප්‍රකාශ කරන්නෙමි. සජ්ජනයෙනි, තොප සිතෙහි ප්‍රසාදය උපදවන්නා වූ තැන්හි එසේම ද, සංවේගය උපදවන්නා වූ තැන්හි පහන් සිත් හා භයෙන් කම්පා වන සිත් ඇතිව මෙය ශ්‍රවණය කරව්.

සූවිසි බුදුවරු සහ බුද්ධත්වය

5 මහාවීර වූ අපගේ සර්වඥයන් වහන්සේ පෙර දීපංකර නම් වූ සම්බුදුරජාණන් වහන්සේ දැක, ලෝක සත්වයා දුකින් මුදවනු සඳහා උතුම් වූ සම්‍යක් සම්බෝධිය (බුද්ධත්වය) ප්‍රාර්ථනා කළ සේක.

6 ඉක්බිතිව එම දීපංකර සම්බුදුන් වහන්සේ ද, කොණ්ඩඤ්ඤ 7 නම් බුදුන් ද, මංගල නම් බුදුන් ද, සුමන නම් බුදුන් ද, රේවත නම් බුදුන් ද, සෝභිත නම් බුදුන් ද, අනෝමදස්සී නම් බුදුන් ද, පදුම නම් බුදුන් ද, නාරද නම් බුදුන් ද, පදුමුත්තර නම් බුදුන් ද, සුමේධ නම් බුදුන් ද, සුජාත නම් බුදුන් ද, පියදස්සී නම් බුදුන් ද, අත්ථදස්සී නම් බුදුන් ද, ධම්මදස්සී නම් බුදුන් ද, සිද්ධත්ථ නම් බුදුන් ද, තිස්ස නම් 8 බුදුන් ද, එසේම ඵුස්ස නම් බුදුන් ද, විපස්සී නම් බුදුන් ද, සිඛී නම් 9 බුදුන් ද, වෙස්සභූ නම් බුදුන් ද, කකුසන්ධ නම් බුදුන් ද, කෝණාගමන 10 නම් බුදුන් ද, කාශ්‍යප නම් බුදුන් ද යන සූවිසි සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේලා 11 ආරාධනා කොට, උන්වහන්සේලා හමුවෙහි “මම සමතිස් 12 පෙරුම් දම් පුරා, උතුම් වූ සම්‍යක් සම්බෝධියට පැමිණ, උතුම් ගෞතම නමින් බුදුව සත්වයන් දුකින් මුදවන්නෙමි” යි සම්‍යක් සම්බෝධිය පිණිස ප්‍රකාශ කරන ලද්දේය.

ඒ මහා මුණි තෙමේ මගධ රට උරුවෙල් 13 දනව්වෙහි බෝ මැඩ දී වෙසක් මස පුර පසළොස්වක දින උතුම් වූ සම්බෝධියට පැමිණියේය. ඒ සර්වඥවරයන් වහන්සේ උතුම් වූ විමුක්ති සුවය විඳිමින් ද, ධර්මයේ මධුර භාවය ලොවට දක්වමින් ද සත් සතියක් මුළුල්ලෙහි එහි වාසය 14 කළ සේක. ඉක්බිති බරණැසට වැඩම කොට ධර්ම චක්‍රය පැවැත්වූ 15 සේක. එහි වස් වසන සේක්ම සැට නමක් රහතන් වහන්සේලා බිහි කළ සේක.

සර්වඥයන් වහන්සේ ධර්ම දේශනා කරනු පිණිස ඒ භික්ෂූන් වහන්සේලා පිටත් කර යවා, ඉක්බිතිව ඔවුනොවුන් යහළු වූ භද්‍රවර්ගික රජදරුවන් තිස් 16 දෙනා සෝවාන් ඵලාදිය ලබා දීමෙන් හික්මවා, කාශ්‍යප ආදී ජටිලයන් දහස දමනය කරනු පිණිස ඔවුන්ගේ නුවණ මුහුකුරා යවමින් හේමන්ත (දුරුතු) කාලයෙහි උරුවෙල් දනව්වෙහි වාසය කළ සේක.

ප්‍රථම ලංකා ගමනය - මහියංගනය

17 කෙලෙස් සතුරන් මර්දනය කරන සුළු වූ සර්වඥයන් වහන්සේ, උරුවෙල් කාශ්‍යප නම් ජටිලයාගේ මහා යාගය එළඹ සිටි කල්හි, තමන් වහන්සේ එතැනට නොපැමිණීම පිළිබඳව 18 වූ ඔහුගේ කැමැත්ත දැන, උතුරුකුරු දිවයිනෙන් පිණ්ඩපාතය ගෙනවුත් අනවතප්ත නම් විල සමීපයෙහි දී වළඳා, එදින සවස් 19 වේලෙහි, එනම් සම්‍යක් සම්බෝධියෙන් නව වන මස දුරුතු පුර 20 පසළොස්වක දින ලංකාද්වීපය ශුද්ධ කරනු පිණිස ලක්දිවට පැමිණි සේක. සර්වඥයන් වහන්සේ විසින් “ලංකාව ශාසනය බබළන තැනෙකැ” යි ද, “යකුන් විසින් පිරුණු ලක්දිව යක්ෂයන් බැහැර කටයුතු ය” යි ද 21 දන්නා ලදී.

ලංකාද්වීපයෙහි මනරම් වූ ගං ඉවුරෙහි, තුන් 22 යොදුන් දිගු වූ ද එක් යොදුන් පුළුල් වූ ද රම්‍ය වූ මහානාග වන නම් උයනෙහි, යක්ෂයන්ගේ යුද්ධ භූමියෙහි ලක්දිව වැසි යකුන්ගේ මහා යක්ෂ සමාගමය එකල්හි ප්‍රසිද්ධව පැවතුණි.

23 ඒ මහා යක්ෂ සමාගමයට පැමිණි සර්වඥයන් වහන්සේ, එම සමාගම 24 මැද ඔවුන්ගේ හිස් මතුයෙහි, දැන් මහියංගන ථූපය පිහිටි ස්ථානයෙහි 25 අහස් කුස වැඩ සිටි සේක. ඔවුන්ට භය උපදවන්නා වූ වර්ෂාව, වාතය හා අන්ධකාරය ආදිය මැවූ සේක. බියෙන් පෙළුණා වූ ඒ යක්ෂයෝ නිර්භය වූ 26 තථාගතයන් වහන්සේගෙන් අභය ඉල්ලා සිටියහ.

අභය දායක වූ තථාගතයන් වහන්සේ ඉතා භයින් පීඩිත වූ ඒ යකුන්ට මෙසේ වදාළ සේක:

27 “යක්ෂයෙනි, තොපගේ මේ භය හා දුක් මම පහ කරන්නෙමි. තොපි සියලු දෙනා සමගිව, මෙතැන මට හිඳ ගැනීම සඳහා තැනක් දෙන්නහුද? 28 නොදෙන්නහුද?”

“නිදුකාණෙනි, නුඹ වහන්සේට මේ සියලුම ලක්දිව වුවද දෙන්නෙමු. අපට අභය දෙනු මැනවැ” යි ඒ සියලුම යක්ෂයෝ තථාගතයන් වහන්සේට 29 කීහ.

ඔවුන්ගේ බිය ද, ශීතල ද, අන්ධකාරය ද නැති කොට, ඔවුන් දුන් භූමියෙහි පත්කඩ (සම් කඩ) අතුරා එහි වැඩ හුන් සර්වඥයන් වහන්සේ, 30 එතැනින් ඒ පත්කඩ ගිනි ගෙන දිලියෙන්නක් කොට හාත්පසින් විශාල කළ සේක. ග්‍රීෂ්මයෙන් පීඩිත වූ ඒ යක්ෂයෝ බියපත්ව ලක්දිව අන්තයෙහි (වෙරළාන්තයෙහි) හාත්පසින් රැස්ව සිටියෝය.

ඉක්බිති සර්වඥයන් 31 වහන්සේ ඔවුන්ට රම්‍ය වූ ගිරි දිවයින මෙහි ළඟා කළ සේක. ඔවුන් ඊට ඇතුළු වූ කල්හි එය තිබූ තැනම තැබූ සේක. ඉන්පසු සර්වඥයන් වහන්සේ ඒ පත්කඩ හකුලා ගත් සේක. එකල්හි දෙවියෝ සර්වඥයන් වහන්සේ කරා පැමිණියෝ 32 ය. ඒ සමාගමෙහි ශාස්තෲන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කළ සේක. නොයෙක් කෝටි ගණන් සත්වයන්ට සෝවාන් ඵලාදියෙන් ධර්මාවබෝධ වූයේය. ගණන් කළ නොහැකි තරම් සත්වයෝ තිසරණ සහිත පන්සිල්හි පිහිටියෝය.

මහියංගන සෑයේ ඉතිහාසය

33 සමන්තකූට පර්වත වාසී වූ මහා සුමන නම් දෙව් රජතෙම සෝවාන් 34 ඵලයට පැමිණ, පූජාවට සුදුසු වූ සර්වඥයන් වහන්සේගෙන් පූජා කිරීම පිණිස කිසිවක් 35 ඉල්ලා සිටියේය. සත්වයන් කෙරෙහි හිත වූ, නිල් වූ නිර්මල කේශ කලාපයක් ඇත්තා වූ සර්වඥයන් වහන්සේ, හිස පිරිමැද කේශ ධාතු මිටක් පමණ ප්‍රදානය කළ සේක.

ඉක්බිති 36 හෙතෙම එය රන්මය වූ උතුම් කරඬුවකින් ගෙන, සර්වඥයන් වහන්සේ වැඩහුන් තැන්හි කරන ලද්දා වූ, දිගින් පළලින් සත් රියන් වූ ද, වට ප්‍රමාණයෙන් විසි එක් 37 රියන් වූ ද, නන් වැදෑරුම් රුවන් රැසක් මත තබා, ඉන්ද්‍රනීල මැණිකෙන් කළ 38 ථූපයකින් වසා නමස්කාර කළේය.

පසුව සර්වඥයන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ශිෂ්‍ය වූ, මහත් ඍධි ඇති සරභූ නම් ස්ථවිර තෙම, දර සෑයෙන් සර්වඥයන් වහන්සේගේ ග්‍රීවා ධාතුව (බුදුරදුන්ගේ ගෙල පෙදෙසේ අස්ථි ධාතුව) රැගෙන, 39 මෙහි ගෙනවිත් එම චෛත්‍යයෙහිම තබා, භික්ෂූන් විසින් පිරිවරා ගන්නා ලද්දේ, මේදෝවර්ණ පාෂාණයෙන් වස්වා දොළොස් රියන් උස දාගැබක් කරවා වැඩි සේක.

පසු කාලයක 41 දෙවනපෑතිස් මහරජතුමාගේ සහෝදර වූ උද්ධ චූළාභය නම් කුමාර තෙම, අද්භූත වූ ඒ චෛත්‍යය දැක එය වසා තිස් රියන් උස් වූ 42 චෛත්‍යයක් කරවීය. ඉන්පසු එහි සිට දෙමළුන් මඩිනා (පරාජය කරන) දුටුගැමුණු රජතෙම ඊට අසූ රියන් කඤ්චුක චෛත්‍යයක් (හැට්ටයක් මෙන් පිටතින් බැඳි චෛත්‍යයක්) කරවීය. ඒ මේ මහියංගන 43 ථූපය මෙසේ පිහිටියේය.

නිර්විකාර ප්‍රඥා සම්පන්න වූ, මහත් වීර පරාක්‍රම ඇති, ධර්මයට ඊශ්වර වූ සර්වඥයන් වහන්සේ මෙසේ මේ ද්වීපය මනුෂ්‍යයන්ට යෝග්‍ය වන ලෙස සකස් කොට උරුවෙල් දනව්වට වැඩි සේක.

මහියංගන ගමන පිළිබඳ කථාව නිමි.

දෙවන ලංකා ගමනය - නාගදීපය

44 පස්මරුන් දිනූ, මහත් කරුණා ඇත්තා වූ, සියලු ලෝ වැසියන්ගේ 45 යහපතෙහි ඇලුනා වූ ශාස්තෘ වූ සර්වඥයන් වහන්සේ, සම්‍යක් සම්බෝධියෙන් පස් වෙනි වර්ෂයෙහි ජේතවන විහාරයෙහි වැඩ වසන සේක්, මහෝදර නාගයා ද 46 එසේම චූලෝදර නාගයා ද යන පිරිස් සහිත වූ නාගයන් අතර මිණි පළඟක් 47 හේතු කොට ගෙන එළඹ සිටියා වූ යුද්ධය දැක, බක් මස අමාවක් පොහෝ දින 48 උදය කාලයෙහිම උතුම් වූ පා සිවුරු ගෙන නාගයන්ට අනුකම්පා පිණිස නාගදීපයට වැඩි සේක.

එකල්හි මහත් ඍධි ඇති ඒ මහෝදර 49 නම් නාග තෙමේ මුහුදේ පන් සියයක් යොදුන් විහිදුනු නාග භවනයෙහි රජ විය. ඔහුගේ නැගණිය කන්වඩමන් නම් පව්වෙහි නා රජහට 50 සරණ පාවා දෙන ලද්දීය. ඇයගේ පුත්‍ර තෙම චූලෝදර නම් විය. ඔහුගේ මෑණියන්ගේ පියා 51 වූ නා රජතෙම (මහෝදරගේ පියා) උතුම් වූ මිණි පළඟ සිය දියණියට (චූලෝදරගේ මවට) දී කාලක්‍රියා කළේය. 52 එසේ හෙයින් (එම මැණික් පුටුව අයිති කර ගැනීම සඳහා) මාමා වන නා රජු හා බෑණනුවන්ගේ යුද්ධය එළඹ සිටියේය.

පර්වත වාසී වූ ඒ නාගයෝ ද මහත් ඍධිමත් වූහ. සමිද්ධි සුමන නම් 53 දෙවි තෙමේ ද ජේතවනයෙහි පිහිටි තමන්ගේ යහපත් භවනය (විමානය) වූ කිරිපලු රුක, 54 බුදුරදුන්ගේ අවසරයෙන්ම ගෙන ඡත්‍රයක් මෙන් සර්වඥයන් වහන්සේට ඉහළින් දරමින්, පෙර තමා විසූ ස්ථානය වූ ඒ නාගදීපයට ආයේය. ඒ දෙවි තෙම මීට පෙර භවයක 55 නාගදීපයෙහි මනුෂ්‍යයෙක් විය. හෙතෙම කිරිපලු රුක පිහිටි තන්හි බොජුන් වළඳන පසේ බුදුවරයන් වහන්සේලා දුටුවේය. ඒ දැක සිත් පහදවා පාත්‍රයන් 56 පිරිසිදු කිරීම සඳහා කිරිපලු ශාඛාවන් (කොළ) උන්වහන්සේලාට දුන්නේය. ඒ පුණ්‍ය කර්මයෙන් හෙතෙම මනරම් වූ ජේතවනයෙහි දොරටු කොලොන් ගස අසල වූ ඒ කිරිපලු රුකෙහි උපන්නේය. 57 හෙතෙම පසුව ඉන් පිටවූයේය. දේවාති දේව වූ සර්වඥ තෙම ඒ 58 දෙවියාගේ අභිවෘද්ධිය ද බලා, හිත පිණිස ඒ දෙවියා ද, වෘක්ෂය ද මෙහි (නාගදීපයට) පැමිණවූ සේක.

මෝහය නමැති අන්ධකාරය නසන්නා වූ සර්වඥ තෙම එහි යුද්ධ මධ්‍යයෙහි අහසෙහි වැඩ හුන්නේය. ඒ නාගයන්ට භය ඇති කරන්නා 59 වූ අන්ධකාරයක් මවා පෑ සේක. ඉන්පසු බියෙන් පෙළුණ ඒ නාගයන් 60 අස්වසාලනු පිණිස ආලෝකයක් පැතිරවූ සේක. සර්වඥයන් වහන්සේ දැක සතුටු වූ ඒ නාගයෝ උන්වහන්සේගේ පා වැන්දෝය. පස් මරුන් දිනූ සර්වඥ තෙම ඔවුනට සමගිය ඇති කරන්නා වූ ධර්මයන් දේශනා 61 කළ සේක. සතුටු වූ ඒ දෙදෙනාම (මහෝදර හා චූලෝදර) මිණි පළඟ සර්වඥයන් වහන්සේට 62 පූජා කළහ. ලෝක නායක වූ ශාස්තෘ තෙම එහි බැස එම ආසනයෙහි වැඩ හිඳ, ඒ නාග රාජයන් විසින් පිරිනමන ලද දිව්‍ය ආහාර පානයෙන් සැනසීමට පත් 63 සේක්, දිය වැසි වූ ද ගොඩ වැසි වූ ද අසූ කෝටියක් නයින් තිසරණයෙහි ද පන්සිල්හි ද පිහිටවූ සේක.

මහෝදර නම් නාගයාගේ මාමා (මයිල්) වූ, මණිඅක්ඛික නම් වූ කැලණියෙහි නා රජ තෙම යුද්ධ කරනු පිණිස එහි 64 ගොස් සිටියේය. සර්වඥයන් වහන්සේ පළමු වරට (මහියංගනයට) මෙහි වැඩි කල සද්ධර්ම දේශනාව අසා සරණ සීලයෙහි පිහිටි හෙතෙම, එහි දී මෙසේ තථාගතයන් වහන්සේට 65 ආයාචනා කරන්නේය:

“ස්වාමීන් වහන්ස! මේ තෙමේ (නුඹ වහන්සේගේ පැමිණීම) නුඹ වහන්සේ විසින් අපට කරන ලද මහත් වූ අනුකම්පාවකි. නුඹ වහන්සේ මෙහි නොපැමිණි සේක් නම් අපි සියල්ලෝ අළු වී යන්නෙමු. 66 මහා පුණ්‍යවන්ත වූ තථාගතයන් වහන්සේ මා කෙරෙහි ද වෙන් වශයෙන් කරුණාව දක්වන සේක්වා! 67 නැවත වරක් මෙහි පැමිණීමෙන් මාගේ වාස භූමියට (කැලණියට) වඩිනා සේක්වා!” යි කීයේය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් (නිශ්ශබ්ද වීමෙන්) එම ඇරයුම ඉවසා වදාළ සේක.

68 ඉක්බිති බුදුරජාණන් වහන්සේ රාජායතන චෛත්‍යය (කිරිපලු රුක) එහිම පිහිටවූ සේක. 69 ලෝක ස්වාමී තෙම ඒ කිරිපලු රුක ද, මහරු මිණි පළඟ ද නමස්කාර කරනු පිණිස නා රජුන්ට ප්‍රදානය කළ සේක.

“නාග රාජයෙනි! මාගේ 70 පරිභෝග චෛත්‍යය වඳිවු. නාගයෙනි! එය තොපට යහපත පිණිස ද, සැප පිණිස ද වන්නේය” යන මේ ආදී වූ අනුශාසනා නාගයන්ට වදාරා, ලෝකානුකම්පාකාරී වූ සර්වඥයන් වහන්සේ නැවත ජේතවනයට ම වැඩි සේක.

නාගදීප ගමනය නිමි.

තෙවන ලංකා ගමනය - කැලණිය හා සමනළකන්ද

71 එයින් තුන් වෙනි වර්ෂයෙහි ඒ මණිඅක්ඛික නම් නාග රාජ තෙම ජේතවනයට එළඹ, සංඝයා වහන්සේ සහිත වූ තථාගතයන් වහන්සේට දානයට ආරාධනා කළේය. 72 සර්වඥ තෙම සම්‍යක් සම්බෝධියෙන් අට වෙනි වර්ෂයෙහි ජේතවනයෙහි 73 වාසය කරන සේක්, ලෝක ස්වාමී වූ පස්මරුන් දිනූ මුනීශ්වර තෙමේ භික්ෂූන් වහන්සේලා පන් සියයක් විසින් පිරිවරන ලද්දේ, දෙවෙනි දවස (වෙසක් පුර පසළොස්වක දා) දාන වේලාව 74 දැනුම් දුන් කල්හි, සිවුර පොරවා පාත්‍රය ශ්‍රී හස්තයෙන් ගෙන ඒ කැලණි දෙස වූ මණිඅක්ඛික නා රජුගේ නිවසට වැඩි සේක.

දැන් කැලණි සෑය පිහිටි තන්හි කරන ලද රත්න මණ්ඩපයෙහි සංඝයා වහන්සේලා ද, 75 76 මහා වටිනාකමක් ඇති පළඟෙහි තමන් වහන්සේ ද වැඩහුන් සේක. පිරිස සමඟ වූ නා රජ තෙමේ සොම්නස් වූයේ දිව්‍ය වූ ආහාර පානයෙන් සංඝයා සහිත වූ 77 සර්වඥයන් වහන්සේ සන්තර්පණය (පිනවූ) කළේය. ලෝකානුකම්පා ඇත්තා වූ ලෝක නායක වූ සර්වඥ තෙම එතැන දී ධර්ම දේශනා කොට, අහසට නැගී වැඩම කර සමනළ කඳු මුදුනෙහි සිරිපා සටහන දැක්වූ සේක.

ඉන්පසු සංඝයා වහන්සේ සහිත වූ සේක් ඒ 78 පර්වත පාදයෙහි (දිවා ගුහාවෙහි) සැපසේ දවල් කාලය ගත කොට දිගාවැවට වැඩි සේක. ලෝක ස්වාමී තෙම සංඝයා සමඟ වූ සේක් එහි (දීඝවාපී) චෛත්‍යය ඉදිවන ස්ථානයෙහි 79 වැඩ හිඳ, එම ස්ථානය ගෞරවයට පැමිණීම පිණිස සමාධියට සමවැදුණු සේක. 80 සුදුසු නුසුදුසු තැන් දැනීමෙහි ප්‍රවීණ වූ මහා මුණි තෙමේ එතැනින් නැඟිට 81 (අනුරාධපුර) මහමෙවුනා උයන පිහිටි තැනට වැඩි සේක. ශ්‍රාවක සංඝයා සහිත වූ ලෝක ස්වාමී තෙම මහ බෝධිය පිහිටි තැන ද එසේම සමාධියට සමවැදීම කළ සේක. එසේම ථූපාරාමයෙහි දාගැබ පිහිටි තැන ද සමාධියට සමවැදුණු සේක.

82 ඉක්බිතිව සමාධියෙන් නැගිට ශෛල චෛත්‍යය (මිහින්තලේ) පිහිටි 83 තැනට වැඩම කළ, ගණාධිපති වූ, අවබෝධ කළ යුතු සියල්ල අවබෝධ කළ සර්වඥ තෙම, තමන් වහන්සේ සමඟ ආවා වූ දෙවි සමූහයාට අනුශාසනා කොට, එතැනින් දෙව්රම් වෙහෙරට වැඩි සේක.

84 මෙසේ ඉතා මහත් දයා ඇත්තා වූ, ලෝකයට ප්‍රදීපයක් බඳු වූ, ප්‍රමාණ කළ නොහැකි ප්‍රඥා ඇති ලෝක ස්වාමී තෙම, ලංකාවාසී ජනයාගේ අනාගත අර්ථය (යහපත) බලමින්, එකල්හි ලංකාවෙහි වූ දේව නාග සමූහාදීන්ගේ යහපත ද සිදු කරමින්, මේ යහපත් දිවයිනට තුන් වරක් වැඩි සේක. ඒ කරණ කොට ගෙන මේ ද්වීපය ධර්ම නමැති පහනින් බැබළීම ඇත්තා වූ සජ්ජනයන් විසින් බුහුමන් කරන ලද්දේය.

කල්‍යාණී ගමනය නිමි.

මෙතෙකින් හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස කළ මහාවංශයෙහි තථාගතාභිගමන නම් වූ පළමු වෙනි පරිච්ඡේදය නිමි.