ශ්‍රී ලංකාද්වීපයේ රාජ්‍ය කළ දේවානම්පියතිස්ස රජතුමා, මහා බෝධීන් වහන්සේ ද සංඝමිත්‍රා නම් වූ රහත් මෙහෙණින් වහන්සේ ද ලංකාවට වැඩම කරවා ගැනීම සඳහා මිහිඳු මහා රහතන් වහන්සේ විසින් වදාරන ලද වචනය සිහිපත් කළේ ය. 1 වස් කාලය තුළ එක් දිනක් රජතුමා ස්වකීය මාළිගයෙහි තෙරුන් වහන්සේ සමීපයෙහි හිඳ, ඇමතිවරුන් සමඟ ද සාකච්ඡා කොට, ඒ කාර්යය සඳහා තමාගේ බෑණා වූ ‘අරිට්ඨ’ නම් ඇමතියා යෙදවීමට තීරණය කර කරුණු මෙනෙහි කළේ ය. 2
රජතුමා අරිට්ඨ ඇමතියා තමා වෙත කැඳවා, “දරුව! නුඹට ධර්මාශෝක මහා රජතුමා වෙත ගොස් මහා බෝධිය ද සංඝමිත්‍රා නම් වූ මෙහෙණින් වහන්සේ ද මෙහි වැඩමවා ගෙන එන්නට හැකි වේ ද?” යැයි විමසා සිටියේ ය. 3-4
එවිට ජනයාට සතුට උපදවන්නා වූ හෙතෙම, “දේවයන් වහන්ස! ඉදින් මම මෙහි පැමිණි විට පැවිදි වන්නට ලබන්නේ නම්, ඒ උතුම් වස්තූන් දෙනම (බෝධිය සහ තෙරණිය) පැළලුප් නුවරින් වැඩමවා ගෙන එන්නට මට හැකිය” යි කීවේ ය. 5
එවිට රජතුමා “එසේ වේවා” යැයි පවසා ඔහුව එහි පිටත් කර යැවුවේ ය. හෙතෙම තෙරුන් වහන්සේගේ ද රජතුමාගේ ද හසුන්පත් ගෙන, ඔවුන් වැඳ, වප් මස පුර පක්ෂයේ දෙවන දිනයේ දී පිටත් විය. රජතුමාගේ කාර්යයෙහි යෙදුණු හෙතෙම දඹකොළ පටුනට ගොස් නැව් නැඟී මහා මුහුද තරණය කළේ ය. 6-8 ඉන්පසු තෙරුන් වහන්සේගේ අධිෂ්ඨාන බලයේ යෙදීම හේතුවෙන්, ඔහු පිටත් වූ දිනයේ දී ම රමණීය වූ පැළලුප් නුවරට ළඟා විය. 9
එකල්හි සෝවාන් ඵලයට පත් වූ අනුළා දේවිය, පන්සියයක් කන්‍යාවන් සහ අන්තඃපුර වාසී වූ ස්ත්‍රීන් පන්සියයක් ද සමඟ දස සිල් සමාදන්ව සිටියා ය. ඕ තොමෝ කසාවත් හැඳ, පිරිසිදු වූවා, පැවිද්ද අපේක්ෂාවෙන් සංඝමිත්‍රා තෙරණියගේ පැමිණීම බලාපොරොත්තුවෙන් නුවර එක් පෙදෙසක රජතුමා විසින් කරවන ලද සිත්කලු වූ මෙහෙණ අසපුවක යහපත් ව්‍රත ඇතිව වාසය කළා ය. 10-11
ඒ උපාසිකාවන් විසූ මේ මෙහෙණවර, ඒ කරුණු කොට ගෙන ‘උපාසිකා විහාරය’ යැයි ලක්දිව ප්‍රසිද්ධ විය. 12
රජතුමාගේ බෑණා වූ මහාරිට්ඨ නම් ඇමතියා, රජුගේ සන්දේශය ධර්මාශෝක රජතුමාට භාර දී අනතුරුව තෙරුන් වහන්සේගේ සන්දේශය ද සැළ කළේ ය. 13
“රාජශ්‍රේෂ්ඨයන් වහන්ස! ඔබ වහන්සේගේ මිත්‍ර රජතුමාගේ සහෝදරයාගේ දේවිය (අනුළා දේවිය) පැවිද්ද පතමින් නිබඳ සංයම ඇතිව වාසය කරන්නී ය. ඒ දේවිය පැවිදි කරනු පිණිස සංඝමිත්‍රා නම් මෙහෙණින් වහන්සේ ව පිටත් කර හරිනු මැනව. ඒ මෙහෙණින් වහන්සේ සමඟ මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ද එවනු මැනව” යි මිහිඳු මහා තෙරුන් වහන්සේගේ වචනය වූ එම කාරණය අරිට්ඨ තෙමේ තෙරණියට ද කීවේ ය. 14-16
ඒ තෙරණීන් වහන්සේ පිය මහා රජතුමා වෙත එළඹ තෙරුන් වහන්සේගේ අදහස ප්‍රකාශ කළ සේක. එවිට රජතුමා, “මෑණියනි! ඔබව නොදක්නා වූ මම, දරු මුණුබුරන්ගේ වෙන්වීමෙන් ඇති වන ශෝකය කෙසේ නම් දුරු කර ගනිම් ද?” යි ඇසුවේ ය. 17
එවිට ඕ තොමෝ, “මහා රජතුමනි! මාගේ සහෝදරයාණන්ගේ වචනය මට ගෞරවණීය ය. එසේම එහි පැවිදි විය යුත්තෝ ද බොහෝ ය. එහෙයින් මා විසින් එහි යා යුතු ය” යැයි පැවසුවා ය. 18
“ආයුධ පහරක් දීමට නුසුදුසු වූ මහා බෝධි වෘක්ෂයෙන් ශාඛාවක් කෙසේ නම් ගනිම් දැ” යි රජතුමා කල්පනා කළේ ය. 19 ඒ රජතුමා මහාදේව නම් ඇමතියාගේ උපාය මාර්ගයෙන් භික්ෂු සංඝයාට ආරාධනා කර දන් පිළිගන්වා, “ස්වාමීනි! ලංකාවට මහා බෝධිය යැවිය යුතු ද?” යි විමසා සිටියේ ය. 20
එවිට මොග්ගලීපුත්ත තිස්ස මහා රහතන් වහන්සේ, “යැවිය යුතුය” යි වදාරා, පසැස් ඇත්තා වූ සර්වඥයන් වහන්සේ විසින් කරන ලද මහා අධිෂ්ඨාන පහ රජතුමාට පහදා දුන්හ. 21-22 ඒ රජතුමා එය අසා සතුටු වී මහා බෝධිය වෙතට යන්නා වූ සත් යොදුන් මග ශුද්ධ කරවා, සකස් කොට, නොයෙක් ආකාරයෙන් අලංකාර කරවූයේ ය. එසේම බෝධිය වැඩමවීමට කටාරමක් (පාත්‍රයක්) සාදනු පිණිස රත්රන් බැහැර කරවූයේ ය. 23
තුලාධාරයෙකුගේ (රන්කරුවෙකුගේ) වෙස් ගත් ඒ විස්කම් දෙව්පුත් තෙමේ එතැනට අවුත්, “කොපමණ ප්‍රමාණයක කටාරමක් සාදම් දැ” යි රජතුමාගෙන් විචාළේ ය. රජතුමා “නුඹම ප්‍රමාණය දැන කරව” යි කී කල්හි, රන් ගෙන අතින් පිරිමැද එකෙණෙහිම කටාරමක් නිර්මාණය කොට අතුරුදහන් වී ගියේ ය. 24-26
ඒ කටාරම වනාහි වට ප්‍රමාණයෙන් නව රියනක් ද, ගැඹුරෙන් පස් රියනක් ද, විෂ්කම්භයෙන් (පළලින්) තුන් රියනක් ද, ඝනකමින් අට අඟලක් ද, තරුණ ඇතෙකුගේ සොඬ ප්‍රමාණ මුව විටක් ඇත්තා වූ ද, තරුණ සූර්යයා සමාන කාන්තියක් ඇත්තා වූ ද යහපත් නිර්මාණයක් විය. 27-28
රජතුමා ඒ කටාරම ගෙන්වාගෙන සත් යොදුනක් දිගු වූ ද, තුන් යොදුනක් පළල වූ ද සිව් රඟ සෙනඟ හා මහා භික්ෂු සංඝයා ද සමඟ මහා බෝධිය වෙත ගමන් කළේ ය. 29 ඒ මාර්ගය ප්‍රසන්න වූ ජනයාගේ පූජා සංඛ්‍යාත නානාවිධ අලංකාරයෙන් සැරසුණා වූ ද, අනේක ප්‍රකාර රත්නයෙන් විචිත්‍ර වූ ද, නානා ප්‍රකාර ධජ මාලා ඇත්තා වූ ද, නානාවිධ මල්වලින් ගැවසුණා වූ ද, නානාවිධ තූර්ය නාදයන් පවත්වනු ලබන්නා වූ ද එකක් විය. 30-31
රජතුමා මහා බෝධි වෘක්ෂය කරා එළඹ, සේනාවෙන් පිරිවරා, තිරයකින් ආවරණය කොට, මහා ගණප්‍රධාන වූ දහසක් මහා ස්ථවිරයන් වහන්සේලාගෙන් ද, අභිෂේක ලත් දහසකට වැඩි රජ දරුවන්ගෙන් ද පිරිවරා ගෙන, තමන් ද මහා බෝධිය මොනවට පිරිවරා ගෙන, ඇඳිලි බැඳ මහා බෝධිය දෙස බැලුවේ ය. 32-33 එකල්හි ඒ මහා බෝධියෙහි දක්ෂිණ ශාඛාව සම්බන්ධ වූ සතර රියන් පමණ කඳ කොටස ඉතිරි වී අනෙක් ශාඛාවෝ නොපෙනී ගියහ. 34
ඒ පෙළහර දැක සතුටු වූ රජතුමා, “මම රාජ්‍යයෙන් මහ බෝධිය පුදමි” යි කියා මහා බෝධිය මහා රාජ්‍යයෙහි අභිෂේක කළේ ය. 35 රජතුමා මල් ආදියෙන් මහා බෝධිය පුදා, ප්‍රදක්ෂිණා කොට, අට තැනක දී ඇඳිලි බැඳ නමස්කාර කොට, නොයෙක් රත්නයෙන් සරසන ලද රනින් නිමවන ලද පීඨයක් මත රන් කටාරම තබ්බවා ගත්තේ ය. මනා කොට නැඟිය හැකි පරිදි ශාඛාවන් දක්වා උස් වූ පීඨයක් මතට නැඟී, උතුම් වූ ශාඛාව ගන්නා පිණිස රන් තෙල්ලෙන් රත් සිරියෙල් (රත් හිරියල්) ගෙන ශාඛාවෙහි රේඛාවක් ඇඳ සත්‍ය ක්‍රියාවක් කළේ ය: 36-40
“ඉදින් මේ මහා බෝධිය ලංකාද්වීපයට යා යුතු වේ ද, ඉදින් මම සර්වඥයන් වහන්සේගේ ශාසනයෙහි සැක නැත්තෙක් වෙම් ද, මේ යහපත් වූ දක්ෂිණ මහා ශාඛාව තොමෝ ම සිඳී මේ රන් කටාරමෙහි පිහිටාවා!” 41
එවිට ඒ මහා බෝධි ශාඛාව රේඛා කළ තැනින් තමා ම සිඳී, සුවඳ මඩින් (සුගන්ධ කර්දමයෙන්) පිරුණා වූ කටාරම මත්තෙහි පිහිටියා ය. 42-43 නරේශ්වර තෙම මුල් රේඛාවට මත්තෙන් තුනඟුලෙන් තුනඟුල රත් සිරියෙලින් නව තැනක රේඛා අඳිමින් වෙන් කළේ ය. ආදී වූ රේඛාවෙන් මහත් වූ මුල් ද, අනිකුත් රේඛාවලින් කුඩා මුල් ද දසය දසය බැගින් නික්ම ගෙන දැල් කවුළුවකට සමාන ව පහතට බැස්සාහු ය. 43-45
ඒ ප්‍රාතිහාර්යය දැක අතිශයින් ම සතුටු වූ රජතුමා එහි ම සිට ප්‍රීති ඝෝෂා කළේ ය. හාත්පස සිටි පිරිස ද සතුටු ඝෝෂා කළහ. සතුටු සිත් ඇති භික්ෂු සංඝයා වහන්සේ ‘සාධු’ නාදය පැවැත්වූ සේක. හාත්පස දහස් ගණන් පිළි දවටා සිසාරා ලෙලවන්නට වූ හ. 46-47 ඒ මහා බෝධිය මෙසේ මහජනයා පහදවමින් මුල් සියයකින් ඒ රන් කටාරමෙහි වූ සුවඳ මඩෙහි පිහිටියා ය. 47
ඒ බෝධි කඳ දස රියනක් විය. මනරම් වූ ශාඛා පහ සතර රියන් බැගින් දිග වූ අතර, ඒවා පස් පලයකින් (ගෙඩි පහකින්) යුක්ත විය. ඒ ශාඛාවන් හා සම්බන්ධ වූ කුඩා ශාඛාවන් දහසක් ද විය. මෙසේ මහා බෝධිය මනෝහර ශ්‍රී ධාරණයෙන් (අලංකාරයෙන්) බැබළුණා ය. 48-50
කටාරමෙහි මහා බෝධිය පිහිටි කෙණෙහි පොළොව කම්පා විය. නානා ප්‍රකාර ප්‍රාතිහාර්යයන් ද සිදු විය. දෙවියන් හා මිනිසුන් අතර තූර්යයන්ගේ ස්වකීය නාදයෙන් ද, දෙව් බඹ සමූහයාගේ සාධුකාර නාදයෙන් ද, මේඝයන්ගේ (වලාකුළු වල) ශබ්දයෙන් ද, මෘග පක්ෂීන්ගේ ද යක්ෂාදීන්ගේ ද ශබ්දයෙන් ද, පෘථිවි කම්පා ශබ්දයෙන් ද ඒක කෝලාහල විය. 50-52
බෝධි වෘක්ෂයේ ඵල සහ පත්‍රයන්ගෙන් සවනක් රැස් නික්ම මුළු සක්වළ බැබළවූහ. කටාරම සහිත වූ මහ බෝ තොමෝ එතැනින් අහසට පැන නැඟී, දර්ශනය වෙමින් ම සත් දවසක් හිම ගර්භයෙක්හි (හිම වලාකුළක් තුළ) පිහිටියා ය. 53-54
රජතුමා පීඨයෙන් බැස ඒ සත් දවස එහි වෙසෙමින්, නොකඩවා නොයෙක් ආකාරයෙන් මහ බෝධියට පුද පූජා කළේ ය. ඒ සත් දවස ඉකුත් වූ කල්හි, සියලු ඒ තුෂාර ජලයෙන් යුක්ත වූ මේඝයෝ ද, එක් රැස් වූ රශ්මි ධාරාවෝ ද මහා බෝධියට ඇතුළු වූහ. කටාරම සහිතව පිහිටියා වූ මනරම් වූ මහ බෝ තොමෝ, සියලු මහජනයාට පෙනෙන පරිදි ශුද්ධ වූ ආකාශයෙහි ප්‍රකාශ වූවා ය. 55-57
නානාවිධ වූ ප්‍රාතිහාර්යයන් පැවැති කල්හි, මහ බෝ තොමෝ ජන සමූහයා විස්මයට පත් කරවමින් පොළෝ තලයට බැස්සා ය. 58 නොයෙක් ප්‍රාතිහාර්යයන් හේතුකොට ගෙන පීන පිනා ගියා වූ ඒ මහා රජතුමා නැවත ද මහා බෝධිය මහා රාජ්‍යයෙන් පිදුවේ ය. ඒ රජතුමා මහ බෝධිය මහා රාජ්‍යයෙන් අභිෂේක කොට, නා නා පූජාවෙන් පුදමින් නැවත සත් දවසක් එහිම වාසය කළේ ය. 59-60
දෙසතියක් ඇවෑමෙන්, වප් මස පුර පසළොස්වක පොහෝ දින මහා බෝධිය එතැනින් වඩා ගත්තේ ය. වප් මස අව පක්ෂයේ චාතුර්දශී (දාහතර වන) පොහෝ දින රජතුමා බෝධිය ස්වකීය පුරයට (නගරයට) වැඩමවාගෙන ආවේ ය. 61-62
බොහෝ සෙයින් අලංකාර කොට යහපත් වූ මණ්ඩපයක් කරවා, කාර්තික (ඉල්) මස පුර පක්ෂයේ පළමු වන දින ම මහා බෝධිය එහි නැගෙනහිර දිසාවේ පිහිටි ශුභ වූ මහා සල් ගසක් මුල වඩා හිඳුවා, දවසක් පාසා නොයෙක් පූජාවන් කරවූයේ ය. 62-64
ඒ බෝධිය භාර ගත් දින සිට දාහත්වන දවසේ දී එක විට ම අංකුර නවයක් හට ගත්තේ ය. එයින් සතුටු වූ රජතුමා නැවත ද මහ බෝධිය රාජ්‍යයෙන් පිදුවේ ය. භූමිපති තෙම මහා බෝධිය රාජ්‍යයෙහි අභිෂේක කොට නානාවිධ වූ මහා බෝධි පූජා ද කරවූයේ ය. 65-67
විලක් හා සමාන වූ පුෂ්ප පුරයෙහි (පැළලුප් නුවර), මෙසේ රශ්මි සහිත වූ ද, නානාවිධ මනරම් වූ ධජවලින් ගැවසුණා වූ ද, විශාල වූ ද, අතිශයින් සිත්කලු වූ ද උතුම් වූ මහා බෝධි පූජාව දෙවි මිනිසුන්ගේ සිත් ප්‍රබෝධ කරවන්නී විය. 68
සුජනයන්ගේ පහන් සංවේගය පිණිස කරන ලද මහාවංශයේ ‘මහා බෝධි ග්‍රහණය’ නම් වූ දහඅට වැනි පරිච්ඡේදය මෙසේ නිම විය.