17. ධාතු ආගමනය

star_outline
මිහිඳු මා හිමියන්ගේ අදහස

1 මහත් වූ ප්‍රඥා ඇති මහා මහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේ වස් කාලය නිමවා, පවරා, ඉල් මස පුර පසළොස්වක පොහෝ දින මහරජතුමාට මෙසේ වදාළ සේක. “නරේන්ද්‍රයාණෙනි! අපගේ ශාස්තෘ වූ සම්බුද්ධයන් වහන්සේ අප විසින් 2 බොහෝ කලකින් පූර්වයෙහි දක්නා ලද්දේ ය. අපි දැන් අනාථ වූ වාසයෙන් වසන්නෙමු. අපට වන්දනාමාන කිරීම සඳහා මෙහි පූජනීය වස්තුවක් නොමැත්තේ ය.”

එවිට රජතුමා මෙසේ කීවේ ය. “ස්වාමීනි! සර්වඥයන් වහන්සේ පිරිනිවන් පෑ සේකැයි ඔබ වහන්සේ මට වදාළා නොවේ ද?” එවිට ස්ථවිරයන් වහන්සේ, “ධාතූන් වහන්සේලා දුටු කල්හි සර්වඥයන් වහන්සේ දුටුවා නම් වෙයි,” යැයි වදාළ සේක.

3 එවිට නරේන්ද්‍රයාණෝ මෙසේ කීහ. “සෑයක් කරවීමෙහි ලා වූ ඔබ වහන්සේලාගේ අභිප්‍රාය මා විසින් දන්නා ලද්දේ ය. 4 මම ථූපයක් කරවන්නෙමි, ඔබ වහන්සේලා ධාතූන් වහන්සේලා සොයා දැන වදාරණ සේක්වා!”

ස්ථවිරයන් වහන්සේ රජතුමාට, “සුමන සාමණේරයන් වහන්සේ සමඟ සාකච්ඡා කළ මැනව,” යැයි වදාළ සේක. 5 එකල්හි රජතුමා, “ධාතූන් වහන්සේලා කොතැනින් ලබා ගනිමු දැ?” යි ඒ හෙරණපාණන්ගෙන් විචාළේ ය. සුමන හෙරණපාණෝ සතුටු සිත් ඇතිව රජතුමාට මෙසේ වදාළහ. “නරේන්ද්‍රයාණෙනි! නුවර සහ මාර්ගය සරසවා, පෙහෙවස් සමාදන්ව, පිරිවර සහිතව, මංගල හස්තියා පිට නැඟී, 6 සේසත් දරවමින්, තූර්ය වාදනයන් සහිතව, සවස් වේලෙහි ‘මහානාග වන’ නම් උයනට යනු මැනවි. 7 නරේන්ද්‍රය! ධාතු ප්‍රභේදයන් පිළිබඳ අවබෝධය ඇත්තා වූ සර්වඥයන් වහන්සේගේ ධාතූන් වහන්සේලා ඔබට එතැන දී ලැබෙන්නාහ.” 8

සුමන සාමණේරයන්ගේ දූත ගමන

9 ඉක්බිත්තෙන් මහා ස්ථවිරයන් වහන්සේ රජ මාළිගයෙන් නික්ම චේතිය පර්වතයට (මිහින්තලයට) වැඩම කොට, යහපත් මනෝ ගති ඇත්තා වූ සුමන නම් හෙරණපාණන්ට, “යහපත් වූ සුමනය, මෙහි එව,” යැයි 10 කැඳවා මෙසේ නියම කළ සේක. “නුඹ උතුම් වූ පුෂ්පපුරයට (පැළලුප් නුවරට) ගොස් නුඹගේ මුත්තණුවන් වූ මහරජතුමාට (ධර්මාශෝක රජුට) අපගේ වචනයෙන් මෙසේ කියව.”

11 “මහරජාණෙනි! ඔබගේ යහළු වූ, දෙවියන්ට ප්‍රිය වූ, දේවානම්පියතිස්ස නම් මහරජ තෙමේ බුද්ධ ශාසනයෙහි ප්‍රසන්න වූයේ ථූපයක් කරවනු කැමැත්තේ ය. 12 ඔබ වහන්සේ ළඟ සුගතයන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා ඇත්තාහ. එබැවින් සර්වඥයන් වහන්සේගේ ධාතූන් වහන්සේලා ද, ශාස්තෘන් වහන්සේ විසින් පරිභෝග කරන ලද්දා වූ පාත්‍රය ද දුන මැනව.”

“මෙසේ කියා, පාත්‍රය පුරා ඒ ධාතූන් ගෙන, සක් දෙවිඳුගේ උතුම් පුරයට (තව්තිසා දෙව්ලොවට) ගොස්, ඒ ශක්‍ර දේවේන්ද්‍රයාට අපගේ වචනයෙන් මෙසේ කියව. 13 ’දේවේන්ද්‍රයාණෙනි! තුන් ලෝ වැසියන්ගේ පූජාවට සුදුසු වූ, 14 සර්වඥයන් වහන්සේගේ දකුණු දළදාව ද, දකුණු අකු ධාතුව (අකු දළදාව) ද ඔබ සමීපයෙහි ඇත්තාහ. 15 ඉන් දකුණු දළදාව ඔබ පුදනු මැනව. එහෙත් ශාස්තෘන් වහන්සේගේ අකු ධාතුව අපට දුන මැනව. සුරේන්ද්‍රය! ලක්දිව වැසියන්ගේ කටයුත්තෙහි ප්‍රමාද නොවේවා!’ යැයි කියව.”

16 ඒ මහත් ඍද්ධිමත් වූ හෙරණපාණෝ “වහන්ස! එසේ ය,” යැයි කියා එකෙණෙහි ම ධර්මාශෝක මහරජු වෙත වැඩම කළ සේක. 17 එහි දී ශාල වෘක්ෂ මූලයෙහි තබන ලදුව, කාර්තික උත්සවයෙන් පුදනු ලබන්නා වූ යහපත් වූ මහා බෝධිය ද උන් වහන්සේ දුටු සේක. 18 ස්ථවිරයන් වහන්සේගේ වචනය රජුට ප්‍රකාශ කොට, රජුගෙන් ලද්දා වූ ධාතූන් පාත්‍රය පුරා ගෙන හිමාලයට වැඩි සේක. 19 ධාතු සහිත වූ ඒ උතුම් පාත්‍රය හිමාලයෙහි තබා, ශක්‍ර දේවේන්ද්‍රයා වෙත ගොස් ස්ථවිරයන් වහන්සේගේ පණිවිඩය ප්‍රකාශ කළ සේක.

20 ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ සිළුමිණි සෑයෙන් දකුණු අකු ධාතුව ගෙන හෙරණපාණන්ට දුන්නේ ය. 21 සුමන සාමණේරයන් වහන්සේ ඒ අකු ධාතුව ද, ධාතු පාත්‍රය ද ගෙන එතැනින් සෑගිරියට (මිහින්තලයට) පැමිණ මහා ස්ථවිරයන් වහන්සේට ඒවා භාර දුන් සේක.

ධාතූන් වහන්සේ වැඩමවීම

22 සවස් වේලෙහි රාජකීය සේනාව විසින් පෙරටු කරනු ලැබූ නරේන්ද්‍ර තෙමේ, කියන ලද විධියෙන් ‘මහානාග වන’ නම් උයනට ගියේ ය. 23 ස්ථවිරයන් වහන්සේ ඒ පර්වතයෙහි ම සියලු ධාතූන් තැබූ සේක. එහෙයින් එතැන් පටන් ‘මිශ්‍රක පර්වතය’ යන්න ‘චේතිය පර්වත’ යන නමින් ප්‍රසිද්ධ විය. 24 ස්ථවිරයන් වහන්සේ ඒ ධාතු පාත්‍රය සෑගිරියෙහි තබා, අකු ධාතුව රැගෙන සාමණේරයන් වහන්සේ විසින් ලකුණු කරන ලද ස්ථානය වූ මහානාග වනයට වැඩම කළ සේක.

25 නරේන්ද්‍ර තෙමේ, “ඉදින් මේ සර්වඥයන් වහන්සේගේ ධාතුවක් නම්, මාගේ ඡත්‍රය ධාතූන් වහන්සේ දෙසට ඉබේ ම නැමේවා! 26 හස්තියා දණින් හිඳ ගනීවා! මේ ධාතු කරඬුව ධාතුන් සමඟ අවුත් මාගේ හිස මත පිහිටාවා!” යැයි සිතුවේ ය. 27 සිතන ලද ඒ සියල්ල ඒ ආකාරයෙන් ම සිදු විය. මිහිපති තෙමේ අමෘතයෙන් අභිෂේක ලද්දෙකු මෙන් අතිශයින් සතුටට පත් විය.

28 හෙතෙම ඒ ධාතු කරඬුව හිසින් ගෙන ඇතුගේ පිට මත තැබුවේ ය. සතුටු වූ හස්ති තෙමේ කුංචනාද කළේ ය. 29 මහ පොළොව කම්පා විය. හස්ති තෙමේ එතැනින් හැරී, ස්ථවිරයන් වහන්සේලා සහ සේනා වාහන සහිත ව, පෙරදිග දොරටුවෙන් යහපත් වූ අනුරාධපුරයට ඇතුළු වී, 30 නැවත දකුණු දොරටුවෙන් පිට වී, ථූපාරාමයේ චෛත්‍යය ඉදිවන ස්ථානයෙන් පිටුපස කරනු ලබන්නා වූ ‘ප්‍රමෝජ වස්තු’ නම් ස්ථානයට ගොස්, 31 බෝධි ස්ථානයෙහි නැවතී නැගෙනහිර දිශාවට මුහුණලා සිටියේ ය.

ථූපාරාමය ඉදිකිරීම සහ ප්‍රාතිහාර්ය පෑම

එකල්හි ස්තූපය ඉදිකිරීමට නියමිත වූ ඒ ස්ථානය හිඟුරු වැල් සහ හිය වැල්වලින් වැසී තිබුණි. 32 නරදේව තෙමේ දෙවියන් විසින් රක්නා ලද පවිත්‍ර වූ ඒ ස්ථානය එකෙණෙහි ම මනා කොට පිරිසිදු කරවා අලංකාර කරවා, ඇතුගේ පිටෙන් ධාතූන් වහන්සේ පහළට වැඩම කරවීම පිණිස 33 ආරම්භ කළේ ය. නමුත් හස්ති තෙමේ ඊට කැමති නොවුණේ ය (ධාතූන් පහළට ගැනීමට ඉඩ නොදුන්නේ ය).

රජතුමා ඒ ඇතුගේ අදහස පිළිබඳව ස්ථවිරයන් වහන්සේගෙන් විචාළේ ය. 34 එවිට ස්ථවිර තෙමේ, “හස්තියා තමාගේ කුම්භය (පිට) හා සමාන උස් තැනක ධාතූන් තැබීමට කැමති වෙයි. ධාතූන් වහන්සේ පහත් තැනකට වැඩමවීම ඌ විසින් අභිමත නොකරන ලදී,” යැයි වදාළ සේක.

35 රජතෙමේ එකෙණෙහි ම අණ කොට, සිඳී ගිය අභය වැවෙන් වියළි මැටි ගෙන්වා, ඒ හස්ති කුම්භයට සමාන උසට ගොඩැල්ලක් කරවා, ථූපයක් සේ නිමවා, 36 ඒ උත්තම ස්ථානය බෙහෙවින් සරසා, ඒ ධාතූන් වහන්සේ ඇත් කුඹෙන් බා එහි වඩා හිඳුවීය. ධාතු ආරක්ෂා කිරීම සංවිධානය කොට එහි ඇතු රඳවා තැබීය.

37 ධාතු චෛත්‍යය ඉදිකිරීමෙහි ඉක්මන් සිත් ඇති රජ තෙමේ, වහා ගඩොල් නිමවීම පිණිස බොහෝ මිනිසුන් යොදවා, 38 ඇමතියන් සහිත ව ධාතු කෘත්‍යය ගැන ම සිතමින් නුවරට ඇතුළු විය. 39 සංඝයා වහන්සේ සහිත වූ මහා මහේන්ද්‍ර ස්ථවිර තෙමේ යහපත් වූ මහමෙවුනා උයනට වැඩම කොට එහි වාසය කළ සේක.

40 ඒ හස්ති තෙමේ රාත්‍රියෙහි ධාතු සහිත වූ ඒ ස්ථානය වටා ආරක්ෂාව පිණිස හැසිරෙයි; දවල් කාලයේ ධාතූන් වහන්සේ කුම්භස්ථලයෙහි තබාගෙන ධාතු මන්දිරය සහිත 41 බෝධි ස්ථානයේ ශාලාවෙහි සිටියි. ස්ථවිරයන් වහන්සේගේ උපදෙස් අනුව කටයුතු කළ නරේන්ද්‍ර තෙමේ, ඒ චෛත්‍ය ස්ථානය මතුපිට කෙණ්ඩයක් පමණ (දණහිස දක්වා) උස් වූ ථූපයක් කීප දිනකින් බඳවා නිම කළේය. 42 එහි ධාතු පිහිටුවන බව නුවර පුරා අඬබෙර ලවා ප්‍රකාශ කරවා ථූපාරාමයට පැමිණියේ ය. හාත්පස නොයෙක් තැන්වලින් මහා ජනකාය රැස් වූහ.

43 ඒ ජන සමාගමෙහි දී, ඇත් කුඹු තෙලෙන් (ඇතුගේ පිටින්) අහසට නැංගා වූ ධාතූන් වහන්සේ, සත් තල් රඹක් (තල් ගස් හතක්) පමණ උස අහසෙහි පෙනෙමින් වැඩ සිටි සේක. 44 ජන සමූහයා විස්මයට පත් කරමින්, ගණ්ඩම්බ නම් රුක් මුල දී සර්වඥයන් වහන්සේ ප්‍රාතිහාර්ය කළ පරිද්දෙන්, ජනයාගේ ලොමු දැහැගන්වන්නා වූ යමා මහ පෙළහර (ගිනි සහ ජලය එකවර විහිදුවන ප්‍රාතිහාර්යය) පෑ සේක. 45 එයින් නොයෙක් වර නිකුත් වූ ගිනි දැලින් සහ ජල ධාරාවෙන් සකල ලංකා පෘථිවිය ආලෝකවත් වූ අතර තෙමී ගියේ ය.

බුදුරදුන්ගේ අධිෂ්ඨාන පස

46 පිරිනිවන් පානා මංචකයෙහි සැතපී සිටියා වූ පසැස් ඇති සර්වඥයන් වහන්සේ විසින් ‘මහා අධිෂ්ඨාන පසක්’ කරන ලද්දේ ය. 47 “අශෝක නම් රජු විසින් ගනු ලබන්නා වූ මහා බෝධි දක්ෂිණ ශාඛාව ඉබේ ම සිඳී රන් කටාරමෙහි පිහිටාවා! ඒ බෝධි ශාඛාව එහි පිහිටා සියලු දිශාවන් රඳවමින්, බෝ පත්වලින් 48 යහපත් වූ ෂඩ් වර්ණ රශ්මි මාලාවන් විහිදුවා, සිත්කලු වූ ඒ බෝධිය රන් කටාරම ද සහිත ව 49 අහසට නැගී, සත් දිනක් ඇසට නොපෙනී හිම ගර්භයක් තුළ වැඩ සිටීවා!” යනු පළමු හා දෙවන අධිෂ්ඨානයයි.

50 “ථූපාරාමයෙහි පිහිටන්නා වූ මාගේ දකුණු අකු ධාතුව අහසට නැඟී යමා මහ පෙළහර කෙරේවා!” යනු තුන්වන අධිෂ්ඨානයයි. 51 “ලංකාවට ආභරණයක් බඳු වූ රුවන්වැලි සෑයෙහි පිහිටන්නා වූ, ප්‍රමාණයෙන් ද්‍රෝණයක් පමණ වූ ධාතූන් වහන්සේලා, බුද්ධ වේශය මවාගෙන 52 අහසට නැඟී අහසේ සිටියාහු ම වී, යමා මහ පෙළහර කොට පිහිටත්වා!” යි යන මේ අධිෂ්ඨාන පස තථාගතයන් වහන්සේ විසින් ඉටා වදාරන ලද්දේ ය. 53 එහෙයින් ඒ අකු ධාතු තොමෝ එකල්හි ඒ පෙළහර පෑ සේක.

ඒ ධාතූන් වහන්සේ අහසින් බැස, මිහිපල්හුගේ (රජතුමාගේ) හිස මුදුනෙහි පිහිටි සේක. 54 අතිශයින් ම සතුටු වූ රජ තෙමේ ඒ ධාතුව චෛත්‍යයෙහි තැන්පත් කළේ ය. එසමයෙහි ඒ ධාතුව 55 චෛත්‍යයෙහි පිහිටි කල්හි ලොමු දැහැගන්වන්නා වූ අද්භූත වූ භූමිකම්පාවක් ඇති විය.

56 “මෙසේ සර්වඥවරයෝ අචින්ත්‍ය වන්නාහ (සිතා නිම කළ නොහැකි ය). බුද්ධ ධර්මයෝ ද අචින්ත්‍ය වන්නාහ. අචින්ත්‍ය වූවන් කෙරෙහි ප්‍රසන්න වූවන්ට 57 ලැබෙන විපාකය ද අචින්ත්‍ය වන්නේ ය.” ඒ ප්‍රාතිහාර්යය දැක ජනයෝ සර්වඥයන් වහන්සේ කෙරෙහි පැහැදුණාහ.

රාජකීයයන් හා ජනයා පැවිදි වීම

58 රජුගේ සොහොයුරු වූ මත්තාභය නම් රාජ කුමාර තෙමේ ද මුනීන්ද්‍රයන් වහන්සේ කෙරෙහි පැහැදී, නරේන්ද්‍රයාගෙන් අවසර ඉල්ලා 59 පුරුෂයන් දහසක් හා සමඟ බුදු සසුනෙහි පැවිදි වූයේ ය.

චේතාපි නම් ගමින් ද, දොරමඬුල නම් ගමින් ද, විභිරබීජ නම් ගමින් ද, එසේ ම ගල්පිටියෙන් ද, උපතිස්ස නම් ගමින් ද, සතුටු වූ පන්සියයක් බැගින් වූ ගම් දරුවෝ 60 තථාගතයන් වහන්සේ කෙරෙහි හටගත් ශ්‍රද්ධාව ඇත්තෝ වී පැවිදි වූහ. 61 මෙසේ පුරයෙන් බැහැරව ද එකල බුදු සසුනෙහි පැවිදි වූ 62 සියලු භික්ෂූන් වහන්සේලා තිස් දහසක් වූහ.

මිහිපති තෙමේ ථූපාරාමයෙහි උතුම් වූ ථූපය නිමවා, නොයෙක් රත්නාදියෙන් සැම කල්හි පූජා කළේ ය. 63 රජුගේ අන්තඃපුර වාසීහු ද, ක්ෂත්‍රියයෝ ද, අමාත්‍යයෝ ද, එසේ ම නුවර වැසියෝ ද, සියලු ම දනව් වැසියෝ ද 64 වෙන් වෙන් වශයෙන් පූජා පැවැත්වූහ. නරේන්ද්‍ර තෙමේ ථූපය මුල් කොට ගෙන එහි විහාරයක් කරවූයේ ය. මේ විහාරයේ නාමය එතැන් පටන් “ථූපාරාමය” යැයි ප්‍රකට විය.

65 පරිනිර්වාණයට පත් වූ ලෝක ස්වාමීහු පවා ස්වකීය ශාරීරික ධාතූන් මගින් මෙසේ ජන සමූහයාට බොහෝ ආකාරයෙන් වැඩ ද, සැප ද මනා කොට සලසා දුන් සේක. එසේ නම් සර්වඥයන් වහන්සේ ජීවමාන කල කළ සේවය ගැන කියනු ම කවරේ ද?

මෙතෙකින් හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස කළ මහාවංශයේ ‘ධාතු ආගමනය’ නම් වූ දහහත්වන පරිච්ඡේදය නිමි.