16. චේතිය පර්වත විහාර පූජාව

star_outline
සෑගිරිය බලා වැඩම කිරීම

ඒ මහා මහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේ පිණ්ඩපාතය පිණිස නගරයේ හැසිරෙමින් ජනතාවට සංග්‍රහ කරමින් ද, රජමාලිගයෙන් දානය වළඳමින් රජුට අනුග්‍රහ කරමින් ද සවිසි දිනක් මහමෙවුනා උද්‍යානයෙහි වාසය කළ සේක 1. මහා ප්‍රඥාවන්ත වූ ඒ ස්ථවිරයන් වහන්සේ ඇසළ මස පුර පක්ෂයේ තෙළෙස් වන දින රජ මැදුරෙන් දානය වළඳා, මහ රජතුමාට ‘අප්පමාද සූත්‍රය’ දේශනා කළ සේක 2.

ඉන්පසුව උන්වහන්සේ එහි චේතිය පර්වතයෙහි විහාර කර්මාන්තයක් කරවීමට කැමති වෙමින්, නගරයේ නැගෙනහිර දොරටුවෙන් නික්ම සෑගිරිය (මිහින්තලය) බලා වැඩම කළ සේක 3. තෙරුන් වහන්සේ එසේ වැඩම කළ බව අසා රජතුමා රියකට නැඟී දේවීන් දෙදෙනෙකු ද කැටුව තෙරුන් වහන්සේ ගිය මග ඔස්සේ පසුපස ගියේය 4, 5.

මහාරිට්ඨ ඇමතිතුමා ඇතුළු පිරිස පැවිදි වීම

ස්ථවිරයන් වහන්සේලා එහි නාගචතුෂ්ක නම් ස්ථානයෙහි වූ විලෙන් දිය නාගෙන පර්වතයට නැගීම පිණිස පිළිවෙළින් වැඩ සිටියෝ ය 6. එකල්හි රජතුමා රථයෙන් බැස සියලුම ස්ථවිරයන් වහන්සේලාට වැන්දේය 7. එවිට ඒ ස්ථවිරයන් වහන්සේලා, “මහරජාණෙනි! මේ දැඩි අව් රශ්මියේ ක්ලාන්ත වෙමින් ඔබ පැමිණියේ කුමක් නිසාදැ” යි විචාර වදාළාහු ය.

එවිට රජතුමා, “නුඹ වහන්සේලාගේ මෙම ගමන පිළිබඳව සැක සිතී (නුඹ වහන්සේලා වැඩම කරතැයි බියෙන්) මම මෙහි පැමිණියෙමි” යි පැවසීය. ඛන්ධක විනයෙහි දක්ෂ වූ ස්ථවිරයන් වහන්සේ, “අප මෙහි පැමිණියේ මෙතැනම වස් විසීම සඳහා ය” යි වදාරා, වස් විසීමේ විධික්‍රම ඇතුළත් ‘වස්සුපනායික ඛන්ධකය’ රජුට වදාරා සිටි සේක 8, 9.

එකල රජුගේ බෑණා වූ මහාරිට්ඨ නම් මහා අමාත්‍යවරයා ද රජු ඉදිරියෙහි සිටියේය 10. හෙතෙම ඒ ධර්මය අසා පැවිදි වීමට අවසර ඉල්ලා සිටි අතර, සිය වැඩිමහල් සහ බාල සොහොයුරන් පනස් පස් දෙනෙකු සමඟ ස්ථවිරයන් වහන්සේ සමීපයෙහි එදිනම පැවිදි වූහ. මහත් ප්‍රඥා ඇත්තා වූ ඒ සියලු දෙනා හිසකෙස් බා නිමවෙත්ම (කරකම් අවසානයෙහි) අර්හත් ඵලයට පැමිණියහ 11, 12.

චේතියගිරි විහාර පූජාව සහ සීමා බන්ධනය

ඒ නරේන්ද්‍රයා එදිනම කණ්ඨක නම් චෛත්‍ය ස්ථානය අවට අටසැටලෙන් (හැට අටක් ලෙන්) පූජා කිරීමේ කර්මාන්තය ආරම්භ කරවා නැවත නගරයට පැමිණියේය 13. ලෝකයාට අනුකම්පා කරන්නා වූ ඒ ස්ථවිරයන් වහන්සේලා පෙරවරු කාලයෙහි පිණ්ඩපාතය පිණිස නුවරට වැඩම කර දන් වළඳා නැවත එහිම (මිහින්තලයේ) විසූහ 14.

රජතුමා ලෙන් සකස් කරවා නිම වූ පසු, ඇසළ මස පුර පසළොස්වක පොහෝ දින එහි ගොස් තෙරුන් වහන්සේලාට විහාර පූජාව සිදු කළේය 15. කෙලෙස් බරින් නිදහස් වූ ස්ථවිරයන් වහන්සේ ඒ විහාරයට ද, ඒ මහාරිට්ඨ ඇතුළු පිරිසට ද, මින් ඉදිරියට පැවිදි අපේක්ෂාවෙන් පැමිණෙන්නන්ට ද ප්‍රයෝජනය පිණිස සීමා මාලක දෙතිසකට එදිනම සීමා බන්ධනය කළ සේක. උන්වහන්සේ විසින්ම බැඳ සම්මත කරන ලද තුම්බුරු මාලක නම් ඛණ්ඩ සීමාවෙහි ඒ සියලු දෙනාගේ උපසම්පදාව පළමුවෙන්ම සිදු කළ සේක 16.

මේ සියලුම හැට දෙනමක් වූ රහතන් වහන්සේලා ඒ සෑගිරියෙහි (මිහින්තලයෙහි) වස් සමාදන්ව රජුට සංග්‍රහ (අනුග්‍රහ) කළ සේක 17. දෙවි මිනිස් සමූහයා තමන් වෙත පැමිණියා වූ ඒ ගණ ප්‍රධාන වූ තෙරුන් වහන්සේ ද, ගුණයෙන් පැතිර ගියා වූ කීර්තිමත් ඒ මහා සංඝරත්නය ද පුදමින් මහත් වූ පින් රැස් කර ගත්හ 18.

මෙතෙකින් සත්පුරුෂ ජනයාගේ ප්‍රසාදය හා සංවේගය පිණිස කරන ලද මහාවංශයේ ‘චේතිය පබ්බත විහාර පටිග්ගහණ’ නම් වූ දහසය වන පරිච්ඡේදය නිම විය.