15. මහා විහාරය පිළිගැනීම

star_outline
නන්දන උයනේ ධර්ම දේශනාව

1 එහි පැමිණි ගෞරව සහිත වූ ඒ නුවර වැසියෝ ඇත් ගාල ඉඩ මදි බව දැක, 2 නුවර දකුණු දොරටුවෙන් පිටත පිහිටි, සිසිල් සෙවණ ඇති, නිල් පැහැති තණකොළවලින් යුක්ත වූ, සිත් ඇදගන්නාසුලු, සිසිල් වූ ‘නන්දන’ නම් රජ උයනෙහි තෙරුන් වහන්සේලාට ආසන පැනවූහ.

3 ඒ මහා ස්ථවිරයන් වහන්සේ නුවර දකුණු දොරටුවෙන් පිටත්ව එහි වැඩම කොට වැඩ සිටි සේක. ශ්‍රේෂ්ඨ කුලවත් වූ බොහෝ කාන්තාවෝ ද එහි පැමිණ උයන 4 පුරවමින් තෙරුන් වහන්සේට නුදුරින් වාඩි වූහ. ස්ථවිරයන් වහන්සේ ඔවුනට 5 ‘බාලපණ්ඩිත’ නම් වූ සූත්‍ර ධර්මය දේශනා කළ සේක. ඔවුන් අතරින් දහසක් කාන්තාවෝ පළමු වන මාර්ග ඵලය වූ සෝවාන් ඵලයට පැමිණියහ. මෙසේ ඒ නන්දන නම් උයනෙහිම සවස් කාලය උදා විය.

ඉන්පසු ස්ථවිරයන් වහන්සේලා “අප නැවත මිස්සක පර්වතයට යන්නෙමු” යැයි පවසා 6 පිටත් වූහ. මනුෂ්‍යයෝ ඒ බව මහ රජතුමාට දැන්වූහ. රජතුමා 7 වහාම එතැනට පැමිණියේ ය. පැමිණ, “ස්වාමීනි, දැන් සවස් වී ඇත. පර්වතය ද දුර ය. මේ නන්දන වනයෙහිම වැඩ සිටීම පහසු ය” යැයි ස්ථවිරයන් වහන්සේට 8 ප්‍රකාශ කළේය.

“මෙය නගරයට ඉතා ළඟ බැවින් නුසුදුසු ය” යැයි තෙරුන් වහන්සේ වදාළ කල්හි, රජතුමා, “මහමෙවුනා උයන නගරයට ඉතා ළඟත් නොවේ, ඉතා දුරත් නොවේ, එය සිත්කලු ය; 9 සෙවණ සහ ජලයෙන් ද සමන්විත ය. එහි වැඩ සිටීමට කැමති වන සේක්වා! ස්වාමීනි, එහි වැඩ සිටිනු මැනවි” යැයි කී කල්හි ස්ථවිරයන් වහන්සේ එහි නතර වීමට කැමති වූ සේක.

10 උන්වහන්සේලා නතර වූ, කොළොම් ඔය සමීපයෙහි වූ ඒ ස්ථානයේ කරන ලද 11 චෛත්‍යය ‘නිවත්තක චේතිය’ (පෙරළා වැඩි තැන කළ සෑය) යැයි කියනු ලැබේ.

මහමෙවුනා උයනට වැඩම කිරීම

රජතුමා ම නන්දන නම් වූ උයනින් පිටත්ව, දකුණු දොරටුවෙන් මහමෙවුනා උයනට 12 ස්ථවිරයන් වහන්සේලා කැඳවාගෙන ගියේය. එහි රමණීය වූ රාජ මණ්ඩපයෙහි යහපත් වූ 13 ඇඳ පුටු මනා කොට අතුරුවා, “මෙහි සුවසේ වාසය කරන සේක්වා” 14 යි පවසා, නරේන්ද්‍රයා ස්ථවිරයන් වහන්සේට වැඳ ඇමතිවරුන් විසින් පිරිවරා ගන්නා ලද්දේ නගරයට ඇතුළු වූයේය. ඒ ස්ථවිරයන් වහන්සේලා එදින රාත්‍රිය එහි ගත කළ සේක.

රජතුමා උදෑසනම මල් ගෙන්වා ගෙන ස්ථවිරයන් වහන්සේලා වෙත පැමිණ, වැඳ, මලින් ද පුදා, “කිමෙක් ද, සුවසේ වාසය සිදු වී ද? උයන 15 යතීන්ට පහසු දැ?” යි විමසුවේ ය.

“මහ රජ! සුවසේ වාසය සිදු විය. උයන 16 තපස්වීන්ට පහසු වේ” යැයි උන්වහන්සේ වදාළ සේක.

ඒ නරේන්ද්‍රයා, “වහන්ස! 17 ආරාමය (උයන) සංඝයාට කැප දැ?” යි විමසුවේ ය. කැප හා නොකැප දේ දැනීමෙහි 18 දක්ෂ වූ ස්ථවිරයන් වහන්සේ, “එය කැප ය” යි වදාරා වේළුවනාරාමය පිළිගැනීමේ සිද්ධිය ගෙනහැර පාමින් එය වදාළ සේක. එය අසා මහ රජතුමා ඉතා සතුටු වූයේය. මහජනතාව ද තුටු පහටු විය.

අනුලා දේවිය පැවිද්ද ඉල්ලීම

ස්ථවිරයන් වහන්සේ වැඳීම පිණිස පැමිණියා වූ අනුලා දේවිය 19 පන්සියයක් කාන්තාවන් සමඟ සකෘදාගාමී ඵලයට පත් වූවාය. ඒ පන්සියයක් කාන්තාවන් සහිත වූ අනුලා දේවිය ද, “දේවයන් වහන්ස! අපි පැවිදි වන්නෙමු” යි කීවා ය. රජතුමා මොවුන් පැවිදි කරන ලෙස ස්ථවිරයන් වහන්සේට ඉල්ලා සිටියේ ය.

20 ස්ථවිරයන් වහන්සේ, “මහ රජතුමනි! අපට ස්ත්‍රීන් පැවිදි කිරීම කැප නැත්තේ ය. මාගේ නැගණිය වූ සංඝමිත්තා නමින් ප්‍රසිද්ධ වූ, බහුශ්‍රැත වූ 21 මෙහෙණින් වහන්සේ නමක් පැළලුප් නුවර වසන්නීය. නරේන්ද්‍රය! ඇය 22 ශ්‍රමණේන්ද්‍ර වූ සර්වඥයන් වහන්සේගේ මහා බෝධි වෘක්ෂ රාජයාගෙන් දක්ෂිණ ශාඛාව ද, එසේම උත්තම වූ භික්ෂුණීන් ද කැටුව වඩින සේක්වා යි 23 අප පිය මහ රජතුමා වෙත හසුන් යවන්න. ඒ ස්ථවිරිය මෙහි පැමිණ මේ ස්ත්‍රීන් පැවිදි කරන්නීය” යැයි රජතුමාට වදාළ සේක.

මහමෙවුනා උයන පූජා කිරීම

24 රජතුමා ‘යහපතැ’ යි කියා උතුම් වූ රන් කෙණ්ඩිය ගෙන, “මේ මහමෙවුනා උයන සංඝයාට දෙමි” යි කියා මිහිඳු මහ තෙරුන් වහන්සේගේ 25 අතෙහි දක්ෂිණෝදකය (පූජා කිරීමේදී වක් කරන ජලය) වැගිරවූයේ ය. ජලය පොළොවට වැටුණු 26 කල්හි මහ පොළොව කම්පා විය.

“කුමක් හෙයින් පෘථිවිය කම්පා වන්නී දැ?” යි රජතුමා ඒ තෙරුන් වහන්සේගෙන් විමසුවේය. 27 ඒ ස්ථවිර තෙමේ, “ලංකාද්වීපයෙහි බුදු සසුන පිහිටි බැවිනැ” යි වදාළ සේක.

ජාති සම්පන්න වූ රජතුමා ස්ථවිරයන් වහන්සේට දෑසමන් මල් 28 පිළිගැන්වූයේය. ස්ථවිරයන් වහන්සේ එය පිළිගෙන ඊට දකුණු පස වැඩ සිට, මල් 29 මිටවල් අටක් හිඹුල් ගසක් මුල විසිර වූ සේක. එහි දී ද පොළොව කම්පා විය. රජතුමා විසින් කරුණු විමසන ලදුව, උන්වහන්සේ, “නරේන්ද්‍රය, කකුසඳ ආදී තුන් බුදුවරයන්ගේ කාලයෙහි ද මෙහි සංඝ කර්ම (පොහොය කිරීම් ආදිය) පිණිස මාලක සීමාව විය. මේ කාලයෙහි ද 30 එසේ ම වන්නීය” යැයි රජතුමාට කරුණු වදාළ සේක.

ශුද්ධ වූ ස්ථාන හඳුනා ගැනීම

ස්ථවිරයන් වහන්සේ රජතුමාට උතුරු දෙසින් පිහිටි මනරම් වූ පොකුණක් කරා වැඩම කොට, එපමණම මල් ප්‍රමාණයක් එහි ද විසිර වූ සේක. ඒ මල් පිදීමේ දී ද පොළොව කම්පා විය. කරුණු 31 විමසන ලද්දා වූ ස්ථවිර තෙම, “මහ රජාණෙනි! මේ පොකුණ සංඝයාගේ ජන්තාඝර (ගිනිහල් ගෙය හෙවත් උණු පැන් නාන ස්ථානය) පොකුණ වන්නීය” යැයි ඊට හේතු වදාළ සේක.

32 මිහිඳු මහ රහතන් වහන්සේ එම රාජ මන්දිරයේ දොරකොටුවට වැඩම කොට, එපමණම මලින් ඒ ස්ථානය පිදූ සේක. එහි දී ද පොළොව 33 කම්පා විය. අතිශයින් ලොමුදැහැගැනීම් ඇති වූ ඒ රජතුමා ඒ කරුණ ස්ථවිරයන් වහන්සේගෙන් විමසුවේය.

ස්ථවිර තෙම, “මහීපාලය! 34 මේ කල්පයෙහි තුන් බුදුවරයන්ගේ බෝධි වෘක්ෂයන්ගෙන් දක්ෂිණ ශාඛාවන් ගෙනැවිත් මෙහි රෝපණය කරන ලදහ. මහීපාලය, අප 35 තථාගතයන් වහන්සේගේ බෝධි වෘක්ෂයේ දක්ෂිණ ශාඛාව ද මේ ස්ථානයෙහි ම පිහිටන්නීය” යි ඔහුට කරුණු වදාළ සේක.

36 මහා ස්ථවිරයන් වහන්සේ එතැනින් මහා මුචල නම් ගස් සෙවණට වැඩම කොට එපමණම මල් ඒ ස්ථානයෙහි විසිර වූ සේක. එහි දී ද පොළොව කම්පා විය. රජතුමා විසින් විමසන ලදුව ස්ථවිර තෙම, “භූමි පාලය! මෙහි 37 සංඝයාගේ පොහෝ ගෙය වන්නේ ය” යි ඔහුට කරුණු වදාළ සේක.

පැණඹ මළුව සහ අඹ වෘක්ෂ ප්‍රාතිහාර්යය

38 මහ රජතුමා එතැනින් ‘පැණඹ මළුව’ට සම්ප්‍රාප්ත වූයේය. යහපත් සේ ඉදී ගියා වූ, වර්ණ, ගන්ධ සහ රසයෙන් සම්පූර්ණ වූ මහත් වූ අඹ ගෙඩියක් උයන්පල්ලා 39 විසින් මහ රජතුමාට එවන ලද්දේ ය. ඉතා සිත්කලු වූ ඒ අඹ ගෙඩිය නරේන්ද්‍ර තෙම ස්ථවිරයන් වහන්සේට පූජා කළේ ය. ජන සමූහයා කෙරෙහි 40 වැඩ කැමති වූ ස්ථවිරයන් වහන්සේ වැඩ හිඳීමට කැමති ආකාරයක් රජතුමාට දැක්වූ සේක. නරේන්ද්‍ර තෙම එහි ම උතුම් ඇතිරිල්ලක් ඇතිරවූයේ ය.

41 එහි වැඩ සිටි තෙරුන් වහන්සේට නරේන්ද්‍ර තෙම අඹය පිළිගැන්වූයේය. 42 ස්ථවිරයන් වහන්සේ එය වළඳා, අඹ ඇටය රෝපණය කරනු පිණිස මහ රජතුමාට දුන් සේක. නරේන්ද්‍ර තෙම එම අඹ ඇටය එහි රෝපණය කළේ ය. ස්ථවිර තෙම එය පැළ වී 43 වැඩෙනු පිණිස ඒ මත අත් සේදූ සේක. එකෙනෙහි ම ඒ අඹ ඇටයෙන් අංකුරයක් නැගී, ක්‍රමයෙන් වැඩී, කොළ සහ ගෙඩි දරන ඉතා මහත් ගසක් විය.

රජු සහිත වූ ඒ පිරිස ඒ ප්‍රාතිහාර්යය දැක 44 හටගත් ලොමුදැහැගැනීම් ඇති ව ස්ථවිරයන් වඳිමින් සිටියහ.

45 ස්ථවිර තෙම එකල්හි මල් අට මිටක් එහි විසිර වූ සේක. එහි දී ද පොළොව කම්පා විය. රජහු විසින් විමසන ලදුව ස්ථවිර තෙම, “නරේශ්වරයාණෙනි, මේ 46 ස්ථානය සංඝයාට උපන් නොයෙක් ලාභයන් සමගි ව බෙදන ස්ථානය (ලහබත් ගෙය) වන්නේ ය” යි ඒ රජතුමාට කරුණ වදාළ සේක.

47 එතැනින් චතුස්ශාලාව පිහිටන තැනට වැඩම කොට එපමණම මල් එහි විසිර වූ සේක. එහි දී ද පොළොව කම්පා විය. නරේන්ද්‍ර තෙම ඒ කම්පා 48 වීමේ කරුණ විමසුවේ ය.

ස්ථවිරයන් වහන්සේ, “මහ රජාණෙනි, පෙර වූ කකුසඳ ආදී තුන් බුදුවරයන් මේ උයන පිළිගත් කල්හි, ලක්දිව වැසියන් විසින් 49 සියලු දිශාවලින් ගෙන්වා ගන්නා ලද දාන වස්තූන් මෙහි තබා සංඝයා සහිත වූ තුන් බුදුවරයන් වැළඳවූහ. මේ කාලයෙහි ද මෙහි ම චතුස්ශාලාව (දාන ශාලාව) 50 වන්නීය. නරශ්‍රේෂ්ඨය, මෙහි සංඝයාගේ භක්ත භෝජන ස්ථානය (දන් වළඳන තැන) වන්නේ ය” යි කාරණය ප්‍රකාශ කළ සේක.

මහා ස්තූපය පිහිටන භූමිය

51 කරුණු කාරණා දැනීමෙහි දක්ෂ වූ, ලක්දිව බබළවන්නා වූ මහින්ද නම් මහා ස්ථවිර තෙම එතැනින් මහා සෑය පිහිටිය යුතු තැනට 52 වැඩම කළ සේක. එකල්හි රජ උයනට ඇතුළත් වූ තැන ‘කකුධ’ නම් වූ කුඩා වැවක් විය. ඒ වැවට ඉහළින්, ජලය කෙළවර සෑයක් පිහිටුවීමට යෝග්‍ය වූ 53 උස් තැනක් විය. ස්ථවිරයන් වහන්සේ එහි වැඩිය කල්හි රජතුමාට සපු මල් 54 පෙට්ටි අටක් ගෙනාවාහු ය.

නරේන්ද්‍ර තෙම ඒ සපු මල් ස්ථවිරයන් වහන්සේ වෙත පූජා කළේය. ස්ථවිරයන් වහන්සේ ඒ සපු මලින් ඒ උස් වූ ස්ථානය 55 පිදූ සේක. එහි දී ද පොළොව කම්පා විය. රජ තෙම ඒ කම්පා වීමේ 56 කාරණය විමසුවේය. ස්ථවිර තෙම පිළිවෙළින් ඒ කම්පා වීමේ කාරණය වදාළ සේක.

“මහාරජාණෙනි, මේ ස්ථානය සිව් බුදුවරයන් විසින් සෙවනය කරන ලද්දේ ය. සත්ත්වයන්ට හිත පිණිස ද සැප පිණිස ද සෑයකට සුදුසු වන්නේ ය.

කකුසඳ බුදුරදුන්ගේ ලංකාගමනය

57 මේ කල්පයෙහි පළමුවෙනුව සියලු ධර්මයන් දත්තා වූ, සියලු ලෝකයට අනුකම්පා කර වූ, ශාස්තෘ වූ කකුසඳ නම් 58 සර්වඥවරයෙක් වූ සේක. එකල මේ මහමෙවුනා උයන ‘මහා තීර්ථ’ නම් විය. මෙයින් නැගෙනහිර දිශාවෙහි කොළොම් ඔයෙන් එතෙර ‘අභය’ නම් නගරයක් 59 විය. එහි අභය නම් රජෙක් විය. එකල මේ දිවයින ‘ඕජදීප’ නම් විය.

60 එකල්හි රාක්ෂසයන් නිසා මෙහි ජනයාට උණ රෝගයක් (අභූත රෝගයක්) 61 ඇති විය. කකුසඳ නම් වූ සර්වඥ තෙම ඒ උවදුර දැක, එය නැති කොට මේ ද්වීපයෙහි 62 සත්ත්වයන් හික්මවීම ද, ශාසනයාගේ පැවැත්වීම ද කරනු පිණිස කරුණා 63 වේගයෙන් මෙහෙයනු ලත් සේක්, සතළිස් දහසක් රහතුන් විසින් පිරිවරන 64 ලද්දේ අහසින් වැඩම කොට දේවකූට නම් පර්වතයෙහි වැඩ සිටි සේක.

මහරජාණෙනි, එකල්හි සර්වඥයන් වහන්සේගේ ආනුභාවයෙන් මේ 65 මුළු දිවයිනෙහි ජ්වර රෝගය සංසිඳී ගියේ ය. නරේශ්වරය, එහි වැඩ සිටි මහා මුනි වූ සර්වඥ තෙම, ‘අද ඕජද්වීපයෙහි සියලු මනුෂ්‍යයෝ මා දකිත්වා! මා කරා එනු කැමති වූ සියලු මනුෂ්‍යයෝ වහාම නිදුකින් එත්වා!’ යි අධිෂ්ඨාන කළ සේක.

66 රැස් වළල්ලෙන් බබළන්නා වූ සර්වඥයන් වහන්සේ ද, රැස් වළල්ලෙන් බබළන්නා වූ පර්වතය ද දැක රජතුමා ද නුවර වැසියෝ ද වහා 67 ළඟට පැමිණියෝය. දෙවියන්ට බිලි දෙන පිණිස එහි ගියා වූ මනුෂ්‍යයෝ සංඝයා සහිත වූ ලෝක ස්වාමීන් වහන්සේ දේවතාවන් යැයි සිතූහ.

68 අතිශයින් සතුටු වූ මහීශ්වර වූ ඒ රජ තෙම ඒ සර්වඥයන් මනා කොට 69 වැඳ, දානයට ආරාධනා කොට, නුවර සමීපයට වඩා ගෙනැවිත්, ’සංඝයා සහිත වූ මුනීශ්වරයන් වහන්සේට වැඩ සිටීමට යෝග්‍ය වූ, සිත්කලු වූ මේ ස්ථානය 70 අවහිර නැත්තේ ය (ඉඩ පහසුකම් ඇත)’ යි සිතා, මෙහි කරවන ලද මනරම් වූ මණ්ඩපයෙහි උතුම් 71 වූ ආසනයන්හි සංඝයා සහිත වූ සම්බුදුන් වැඩ හිඳුවූයේ ය. මෙහි වැඩ උන්නා වූ සංඝයා සහිත වූ ලෝකනාථයන් වහන්සේ දක්නා වූ ලංකාද්වීපයෙහි මනුෂ්‍යයෝ හාත්පසින් පඬුරු ගෙනාවෝ ය.

72 ඒ නරේන්ද්‍ර තෙම තමන් සතු වූ ද, ඒ ඒ මිනිසුන් විසින් ගෙනෙන ලද්දා වූ ද 73 ආහාරපාන වර්ගවලින් ඒ සංඝයා සහිත වූ ලෝක ස්වාමීන් වහන්සේ සන්තර්පණය කළේ ය. මෙහි ම දානයෙන් පසු කාලයෙහි, වැඩ සිටියා වූ සර්වඥයන් වහන්සේට ඒ ‘මහා තීර්ථ’ නම් වූ උයන ඒ රජ තෙම උතුම් 74 වූ දක්ෂිණාවක් කොට පූජා කළේ ය. එකල අකාලයේ පිපුණු මලින් අලංකෘත වූ මහා තීර්ථ නම් වූ උයන සර්වඥයන් වහන්සේ විසින් පිළිගත් කල්හි 75 මහ පොළොව කම්පා විය.

ඒ සර්වඥ තෙම මෙහි ම වැඩ හිඳ ධර්ම 76 දේශනා කළ සේක. සතළිස් දහසක් මනුෂ්‍යයෝ මාර්ග ඵල ප්‍රාප්ත වූහ. පස් මරුන් දිනූ ඒ සර්වඥ තෙම මහා තීර්ථ නම් වූ උයනෙහි දවල් කාලය ගත කොට, සවස් වේලෙහි 77 බෝධිය පිහිටීමට යෝග්‍ය වූ පෘථිවි ප්‍රදේශයට වැඩම කොට, එහි වැඩ හිඳ සමාධියට සමවැදී, එයින් නැගී, 78 ’ලක්දිව වැසියන්ට යහපත පිණිස මාගේ සිරිස (මහරි) බෝ රුකෙන් දක්ෂිණ ශාඛාව රැගෙන මෙහෙණින්නන් සහිත වූ රූපනන්දා නම් මෙහෙණිය 79 පැමිණේවා’ යි සිතූ සේක.

මහරජාණෙනි, ඒ මහත් සෘද්ධි ඇති රූපනන්දා නම් තෙරණිය උන්වහන්සේගේ ඒ සිත දැන, ඊට අනතුරුව එහි (දඹදිව) නරේන්ද්‍රයාණන් කැඳවාගෙන ඒ බෝධි වෘක්ෂය කරා 80 එළඹ, දක්ෂිණ ශාඛාවෙහි රත් සිරියෙලින් රේඛාවක් ඇඳ, එතැනින් සිඳී රන් බඳුනෙහි පිහිටියා වූ ඒ බෝධි ශාඛාව සෘද්ධියෙන් ගෙන, පන්සියයක් 81 මෙහෙණින්නන් සහිත ව මෙහි ගෙනැවිත්, දේවතාවුන් විසින් පිරිවරන ලද්දී, රන් බඳුන සහිත වූ ඒ බෝධි ශාඛාව සර්වඥයන් වහන්සේ දිගු කළ 82 දකුණු අතෙහි තැබුවා ය. තථාගතයන් වහන්සේ ඒ බෝධිය රැගෙන පිහිටුවන පිණිස අභය නම් රජුට දුන් සේක. පෘථිවීශ්වර 83 තෙම මහා තීර්ථ නම් වූ උයනෙහි ඒ බෝධිය පිහිටුවූයේය.

සම්යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ එතැනින් වැඩම කොට, මෙයින් 84 උතුරු දෙස මනරම් ‘සිරිස මාලකයෙහි’ (මහරි මළුවෙහි) වැඩහිඳ ජනයාට ධර්ම දේශනා 85 කළ සේක. මහ රජාණෙනි, එහි විසි දහසක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය 86 වූයේ ය. ඒ සම්යක් සම්බුද්ධ වූ සර්වඥයන් වහන්සේ එතැනින් ද උතුරු දෙසට වැඩම කොට, එහි ථූපාරාම චෛත්‍යය පිහිටන ස්ථානයට වැඩ, සමාධියට සමවැදී වැඩ සිට, එයින් නැගී පිරිසට ධර්ම 87 දේශනා කළ සේක. එහි වනාහි දස දහසක් ප්‍රාණීහු 88 මාර්ග ඵලවලට පැමිණියහ.

පස් මරුන් දිනූ සර්වඥයන් වහන්සේ ස්වකීය ධමරකය (පැන් බොන බඳුන) වඳිනු පිණිස මිනිසුන්ට දී, පිරිවර සහිත වූ ඒ මෙහෙණින් වහන්සේලා මෙහි රඳවා, මහාදේව නම් ශ්‍රාවකයාණන් ද භික්ෂූන් දහසක් සමඟ මෙහි 89 රඳවා, එයින් නැගෙනහිර දෙස රත්න මාලකයෙහි වැඩ සිට ජනයාට මැනවින් අනුශාසනා කොට සංඝයා සමඟ අහසට නැග දඹදිවට 90 වැඩි සේක.

කෝණාගම බුදුරදුන්ගේ ලංකාගමනය

91 මේ කල්පයෙහි දෙවනුව බුදු වූ, සියලු ලෝ වැසියන්ට අනුකම්පා කර වූ, සියලු ධර්මයන් අවබෝධ කළා වූ, ශාස්තෘ වූ කෝණාගම නම් 92 සර්වඥ කෙනෙක් වූහ. එකල්හි මේ මහමෙවුනා උයන ‘මහානාම’ නම් විය. 93 දකුණු දිශාවෙහි ‘වඩ්ඪමාන’ නම් නගරයක් විය. එකල එහි සමිද්ධ නම් වූ නරේන්ද්‍රයෙක් වූයේ ය. එකල මේ ද්වීපය ‘වරදීප’ 94 නම් විය.

එකල්හි මේ වරදීපයෙහි වැසි නොලැබීමෙන් වූ (දුර්භික්ෂ) උවදුරක් විය. කෝණාගම නම් සර්වඥයන් වහන්සේ ඒ උපද්‍රවය දැක, ඒ උවදුර නැති කර 95 මේ ලක්දිව ජනයාගේ හික්මීම ද ශාසනයාගේ පැවැත්ම ද කරනු පිණිස කරුණා බලයෙන් මෙහෙයනු ලත් සේක්, රහත් වූ තිස් දහසක් 96 භික්ෂූන් විසින් පිරිවරන ලද්දාහු අහසින් වැඩම කොට සුමනකූට නම් පර්වතයෙහි වැඩසිටි සේක. සර්වඥයන් වහන්සේගේ ආනුභාවයෙන් 97 ඒ වර්ෂා හානිය (නියඟය) ක්ෂය වී ගියා ය. එකල්හි ශාසනය අතුරුදහන් වන තෙක් යහපත් වර්ෂාව ම විය.

නරේන්ද්‍රයාණෙනි! එහි වැඩ සිටි මහා මුනි වූ මුනීන්ද්‍රයාණන් වහන්සේ, 98 “අද වරදීපයෙහි සියලු මනුෂ්‍යයෝ මා දකිත්වා! මා කරා එනු කැමැත්තා 99 වූ සියලු මනුෂ්‍යයෝ නිදුකින් වහාම එත්වා!” යි අධිෂ්ඨාන කළ සේක. පර්වත රශ්මියෙන් බබළවන්නා වූ ඒ මුනීන්ද්‍රයන් වහන්සේ ද, බබළන්නා 100 වූ පර්වතය ද දැක, මහ රජ තෙමේත් නුවර වැසියෝත් වහාම උන්වහන්සේ සමීපයට පැමිණියහ.

101 දේවතාවන්ට බිලි දෙන පිණිස එහි ගියා වූ මනුෂ්‍යයෝ ද සංඝයා සහිත වූ සර්වඥයන් වහන්සේ දේවතාවෝ යැයි සිතූහ. අතිශයින් 102 සතුටු වූ පෘථිවීශ්වර වූ රජ තෙම ඒ මුනීන්ද්‍රයන් වැඳ, දානයට ආරාධනා කර, වඩ්ඪමාන නම් පුරය සමීපයට වඩා ගෙනැවිත්, “මේ ස්ථානය සංඝයා 103 සහිත වූ මුනීන්ද්‍රයන්ගේ වාසයට යෝග්‍ය ය, සිත්කලු ය, ඉඩ පහසුකම් ඇත” යැයි සිතා, මෙහි කරවන ලද රම්‍ය වූ මණ්ඩපයෙහි උතුම් වූ ආසනයන්හි 104 සංඝයා සහිත වූ ඒ සම්යක් සම්බුදුන් වහන්සේ වැඩහිඳුවූයේ ය.

105 මෙහි වැඩ උන්නා වූ ද සංඝයා සහිත වූ ලෝක ස්වාමීන් වහන්සේ 106 දක්නා වූ ද වරද්වීපයෙහි මනුෂ්‍යයෝ හාත්පසින් පඬුරු ගෙනාවෝ ය. ඒ නරේන්ද්‍ර තෙම තමන් සතු වූ ද, ඒ ඒ මනුෂ්‍යයන් විසින් ගෙනෙන ලද්දා වූ 107 ද ආහාරපානවලින් සංඝයා සහිත වූ ලෝක ස්වාමීන් වහන්සේ සන්තර්පණය කළේ ය. ඒ නරේන්ද්‍ර තෙම දානයෙන් පසු කාලයෙහි, 108 මෙහි ම වැඩහුන් සර්වඥයන් වහන්සේට මහානාම නම් වූ ඒ උයන උතුම් දක්ෂිණාවක් කොට පූජා කළේ ය. එකල අකාල පුෂ්පයෙන් අලංකෘත වූ මහානාම නම් උයන සර්වඥයන් වහන්සේ විසින් පිළිගත් කල්හි මහ 109 පොළොව කම්පා විය.

ඒ සර්වඥ තෙම එහි ම වැඩ හිඳ ධර්ම දේශනා 110 කළ සේක. එකල්හි තිස් දහසක් මනුෂ්‍යයෝ මාර්ග ඵල ප්‍රාප්ත වූහ. සර්වඥයන් වහන්සේ මහානාම නම් උයනෙහි දවල් කාලය ගත කොට, සවස් වේලෙහි පෙර මහා බෝධිය පිහිටි භූමියට වැඩම කොට එහි සමාධියට සමවැදී, 111 එයින් නැගී සිට, “සම්යක් සම්බුද්ධයන් වහන්සේ ලක්දිව වැසියන්ගේ යහපත පිණිස මාගේ උදුම්බර බෝධි වෘක්ෂයෙන් දක්ෂිණ 112 ශාඛාව රැගෙන භික්ෂුණීන් සහිත වූ කණකදත්තා නම් මෙහෙණිය 113 පැමිණේවා!” යි සිතූ සේක.

මහත් සෘද්ධි ඇත්තා වූ ඒ තෙරණිය ඊට අනතුරුව උන්වහන්සේගේ ඒ සිත දැන එහි රජු කැඳවාගෙන ඒ 114 බෝධි වෘක්ෂය කරා එළඹ, රත් සිරියෙලින් දක්ෂිණ ශාඛාවෙහි රේඛාවක් ඇඳ, “මහරජාණෙනි! එතැනින් සිඳුණු රන් බඳුනෙහි පිහිටියා වූ ඒ ශාඛා බෝධිය සෘද්ධියෙන් රැගෙන, මෙහෙණින් පන්සියයක් සහිත 115 වූවා, දේවතාවන් විසින් පිරිවරන ලද්දී මෙහි පැමිණ, රන් බඳුන සහිත වූ ඒ ශාඛා බෝධිය සම්යක් සම්බුද්ධයන් විසින් දිගු කළ දක්ෂිණ හස්තයෙහි 116 තැබුවා ය.”

තථාගතයන් වහන්සේ ඒ බෝධිය භාරගෙන පිහිටුවන පිණිස 117 සමිද්ධ නම් රජුට දුන් සේක. ඒ මිහිපල් තෙම ඒ බෝධිය එහි මහානාම නම් උයනෙහි පිහිටුවූයේ ය. සම්යක් සම්බුද්ධයන් වහන්සේ එතැනින් නික්ම, මහරි මළුවට උතුරින් පිහිටි නාග මාලකයෙහි වැඩ හිඳ, 118 ජනයාට ධර්ම දේශනා කළ සේක. පෘථිවිපාලයා! ඒ ධර්ම දේශනාව 119 ඇසීමෙන් එහි විසි දහසක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය වූයේ ය.

නගරයෙන් 120 උතුරු දෙස පෙර බුදුවරයන් වැඩහුන් තැනට (ථූපාරාම භූමියට) වැඩම කොට, එහි සමාධියට සමවැදී වැඩ හිඳ, එයින් නැගී සර්වඥයන් වහන්සේ පිරිසට 121 ධර්ම දේශනා කළ සේක. එහි වනාහි දස දහසක් ප්‍රාණීහු මාර්ග ඵල 122 ප්‍රාප්ත වූහ. පස් මරුන් දිනූ ඒ සර්වඥයන් වහන්සේගේ කාය බන්ධන ධාතුව (ඉණ බැඳි පටිය) මනුෂ්‍යයන් විසින් වඳිනු පිණිස ප්‍රදානය කොට, පිරිවර සහිත 123 වූ ඒ මෙහෙණින් වහන්සේලා මෙහි රඳවා, භික්ෂූන් දහසක් සමඟ මහාසුම්ම නම් ශ්‍රාවකයන් වහන්සේ ද මෙහි රඳවා, රත්න මාලකයෙන් මෙපිට සුදර්ශන 124 නම් මාලකයෙහි වැඩ සිට ජනයාට අනුශාසනා කොට, සංඝයා සමඟ අහසට නැගී දඹදිවට වැඩම කළ සේක.

කාශ්‍යප බුදුරදුන්ගේ ලංකා ගමනය සහ ජයන්ත රජුගේ යුද්ධය සංසිඳවීම

125-126 මේ මහා භද්‍ර කල්පයෙහි තුන්වෙනුව බුදු බවට පත් වූ, කාශ්‍යප ගෝත්‍රයෙහි උපන්, සියලු ධර්මයන් අවබෝධ කළා වූ, සියලු ලෝකවාසීන්ට අනුකම්පා කරන්නා වූ ශාස්තෘන් වහන්සේ නමක් පහළ වූ සේක. එකල්හි මේ මහමෙවුනා උයන ‘මහා සාගර’ නම් විය. බටහිර දිශාවෙහි ‘විශාල’ නම් වූ නගරයක් විය.

127-129 එකල එහි ජයන්ත නම් වූ රජෙක් රාජ්‍යය කළේය. එකල මේ ලංකාද්වීපය ‘මණ්ඩදීප’ නම් විය. ඒ සමයෙහි ජයන්ත නම් රජුගේ සහ ඔහුගේ බාල සොහොයුරු මණ්ඩ කුමාරයාගේ ද අතර භයානක වූත්, සත්ත්වයන්ට පීඩා දෙන්නා වූත් මහා යුද්ධයක් ඇති වී තිබුණි. මහා කරුණා ගුණ ඇති, දශබලධාරී වූ කාශ්‍යප සර්වඥයන් වහන්සේ, 130 ඒ යුද්ධය හේතුවෙන් සත්ත්වයන්ට සිදු වන්නා වූ මහත් විපත දැක, එම ගැටුම සංසිඳවීම පිණිසත්, මේ ද්වීපයෙහි සත්ත්වයන් හික්මවීම හා ශාසනයෙහි පැවැත්ම පිණිසත් කරුණු සලකා වදාළ සේක.

131 උන්වහන්සේ මහා කරුණා බලයෙන් මෙහෙයවන ලදුව, විසි දහසක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන අහසින් වැඩම කොට ‘සුභකුට’ නම් පර්වතය මතුපිට වැඩ සිටි සේක. එහි වැඩ සිටි මහා මුනි වූ සර්වඥයන් වහන්සේ මෙසේ අධිෂ්ඨාන කළ සේක:

132-133 අද මණ්ඩපයෙහි සිටින සියලු මනුෂ්‍යයෝ මා දකිත්වා! මා වෙත පැමිණීමට කැමති වූ සියලුම මනුෂ්‍යයෝ නිරායාසයෙන් (වෙහෙසක් නැතිව) වහාම මෙහි පැමිණෙත්වා!”

134-136 පර්වතය මත රැස් විහිදුවමින් බබළන්නා වූ ඒ සර්වඥයන් වහන්සේ ද, විරාජමාන වූ පර්වතය ද දැක, රජතුමා ද නුවර වැසියෝ ද වහා එහි පැමිණියහ. තමන්ට ලැබුණු ජයග්‍රහණය වෙනුවෙන් දෙවියන්ට බිළි පූජා දීම සඳහා බොහෝ ජනයා එම පර්වතයට පැමිණියාහු, මහා සංඝයා වහන්සේ සමඟ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ දැක මොවුන් දේවතාවුන් යැයි සිතූහ. රජතුමා ද, මණ්ඩ කුමාරයා ද විස්මයට පත් වී යුද්ධය අතහැර දැමූහ.

මහා සාගර උයන පූජා කිරීම සහ බෝධි රෝපණය

137-140 ඉන්පසු ඉතා සතුටට පත් වූ පෘථිවිශ්වර වූ ඒ ජයන්ත රජතෙමේ, ඒ මුනින්ද්‍රයන් වහන්සේට වැඳ නමස්කාර කොට දන් වැළඳීමට ආරාධනා කළේය. උන්වහන්සේව නගරය සමීපයට වැඩම කරවා ගෙන පැමිණි රජතුමා, ‘සංඝයා සහිත වූ මුනි රාජයන් වහන්සේට වැඩ සිටීමට මේ ස්ථානය යෝග්‍ය ය, උතුම් ය, සිත්කලු ය, පටු බවින් තොර ය’ යැයි සිතා, එහි කරවන ලද රම්‍ය වූ මණ්ඩපයෙහි වූ උතුම් ආසනයන්හි සංඝයා වහන්සේ සමඟ සර්වඥයන් වහන්සේව වැඩ හිඳුවූයේය.

141 මෙහි වැඩ සිටියා වූ ද, සංඝයා සහිත වූ ද ලෝක ස්වාමීන් වහන්සේව දුටු ද්වීපයෙහි මනුෂ්‍යයෝ හාත්පසින් පඬුරු ගෙනාවෝ ය. ඒ රජතෙමේ තමන් සතු වූ ද, ඒ ඒ ජනයා විසින් ගෙනෙන ලද්දා වූ ද ඛාද්‍ය භෝජ්‍යයෙන් (ආහාර පානවලින්) සංඝයා සහිත වූ ලෝක ස්වාමීන් වහන්සේව සතපවාලූයේ ය.

142-143 දන් වැළඳීමෙන් පසුව වූ පස්වරු කාලයෙහි, මෙහිම වැඩ සිටියා වූ සර්වඥයන් වහන්සේට ඒ රජතෙමේ ‘මහා සාගර’ නම් වූ ඒ උතුම් උයන පැන් වඩා පූජා කළේය. අකාලයෙහි පිපුණු පුෂ්පයන්ගෙන් අලංකෘත වූ මහා සාගර නම් උයන සර්වඥයන් වහන්සේ විසින් පිළිගත් කල්හි මහ පොළොව කම්පා විය.

144 ඒ සර්වඥතෙමේ එහිම වැඩ සිට ධර්ම දේශනා කළ සේක. එකල්හි විසි දහසක් මනුෂ්‍යයෝ මාර්ග ඵල ලබා ගත්හ.

145-148 සර්වඥයන් වහන්සේ මහා සාගර නම් උයනෙහි දිවා විහරණය කොට, සවස් කාලයෙහි පෙර බුදුවරයන්ගේ බෝධි වෘක්ෂයන් පිහිටි භූමියට වැඩම කර, එහි සමාධියට සමවැදී වැඩ සිට, එයින් නැගී සිටි සේක. අනතුරුව සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේ සිතූ සේක:

“දිවයිනේ වැසියන්ගේ යහපත පිණිස සුධර්මා නම් මෙහෙණින් වහන්සේ මාගේ න්‍යග්‍රෝධ බෝධි වෘක්ෂයෙහි දක්ෂිණ ශාඛාව රැගෙන තවත් භික්ෂුණීන් සමඟ දැන් මෙහි පැමිණේවා!”

149 ඉක්බිති මහත් ඍද්ධි බල ඇති ඒ සුධර්මා තෙරණිය උන්වහන්සේගේ සිතිවිලි දැන, එහි සිටි (දඹදිව) රජතුමන් කැඳවාගෙන ඒ බෝධි වෘක්ෂය වෙත ගොස්, රත් සිරියෙලින් දක්ෂිණ ශාඛාවෙහි රේඛාවක් ඇඳ, එතැනින් වෙන් ව රන් බඳුනක පිහිටියා වූ ඒ බෝධි ශාඛාව ඍද්ධියෙන් රැගෙන, 150-151 පන්සියයක් භික්ෂුණීන් පිරිවරාගෙන මෙහි පැමිණියා ය. දේවතාවුන් විසින් පිරිවරා ගන්නා ලද, රන් බඳුන සහිත වූ ඒ බෝධි ශාඛාව සර්වඥයන් වහන්සේ විසින් දිගු කරන ලද දකුණු අතෙහි තැබුවා ය.

152-153 තථාගතයන් වහන්සේ එය පිළිගෙන, එහි පිහිටුවීම පිණිස ජයන්ත රජුට ප්‍රදානය කළ සේක. ඒ රජතෙමේ ශාඛා බෝධි වෘක්ෂය ඒ මහා සාගර නම් උයනෙහි රෝපණය කළේය. සර්වඥයන් වහන්සේ එතැනින් වැඩම කර නාගමාලකයට උතුරින් පිහිටි අශෝකමාලකයෙහි වැඩ හිඳ ජනයාට ධර්ම දේශනා කළ සේක.

කාශ්‍යප බුදුරදුන්ගේ ධර්ම දේශනාව සහ පිටව යාම

154 නරේන්ද්‍රයාණෙනි! එහි ඒ ධර්ම දේශනාව අසා සාර දහසක් (4000) ප්‍රාණීන්ට ධර්මාවබෝධය ලැබුණේ ය. 155 නැවත සර්වඥයන් වහන්සේ උතුරු දිග පිහිටි, පෙර බුදුවරයන් වහන්සේලා වැඩ සිටියා වූ ස්ථානයට වැඩම කර, එහි සමාධියට සමවැදී වැඩ සිට, ඒ සමාධියෙන් නැගී සිට පිරිසට ධර්ම දේශනා කළ සේක.

156-159 එහි දී දස දහසක් (10,000) ප්‍රාණීහු මාර්ග ඵලයන්ට පැමිණියාහු ය. පස් මරුන් දිනූ ඒ සර්වඥයන් වහන්සේ මිනිසුන් විසින් වැඳුම් පිදුම් කිරීම පිණිස තමන් වහන්සේගේ ‘ජලසාටීකා’ ධාතුව (දිය නාන කඩකඩ) ප්‍රදානය කොට, පිරිවර සහිත වූ ඒ සුධර්මා භික්ෂුණිය මෙහි නවතාලූ සේක. එසේම භික්ෂූන් දහසක් සහිත වූ ‘සබ්බනන්දි’ නම් ශ්‍රාවකයන් වහන්සේ ද මෙහි නවතා, නදියෙන් මෙපිට සුදර්ශන නම් මාලකයෙන් බැහැර වූ ‘සෝමනස්ස’ නම් මාලකයෙහි දී ජනයාට මැනවින් අනුශාසනා කොට, සංඝයා වහන්සේ සමඟ අහසට නැඟී දඹදිව බලා වැඩම කළ සේක.

ගෞතම බුදුරදුන්ගේ ලංකා ගමන

160-161 මේ මහා භද්‍ර කල්පයෙහි සිව්වෙනුව සියලු ධර්මයන් අවබෝධ කළා වූ, සියලු ලොවට අනුකම්පා කරන්නා වූ ශාස්තෘ වූ ගෞතම නම් සර්වඥයන් වහන්සේ පහළ වූ සේක. ඒ සර්වඥයන් වහන්සේ පළමුවරට මේ ලක්දිවට වැඩම කර යක්ෂයන් දමනය කළ සේක. නැවත දෙවන වරට වැඩම කර නාගයන් දමනය කළ සේක. නැවත තුන්වන වරට පස් මරුන් දිනූ මුනීන්ද්‍රයන් වහන්සේ වැඩම කළහ.

162-165 කැළණියෙහි මණිඅක්ඛික නම් නාග රජු විසින් කරන ලද ආරාධනාවෙන් එහි වැඩම කොට, එහි දී සංඝයා වහන්සේ සමඟ දන් වැළඳූ සේක. ඉන්පසු පෙර බුදුවරයන්ගේ බෝධීන් පිහිටි ස්ථානය ද, මේ (රුවන්වැලි) චෛත්‍ය ස්ථානය ද, පරිභෝග ධාතු ස්ථාන වූ ථූපාරාමය පිහිටන ස්ථානය ද වැඩ හිඳීමෙන් පරිභෝග කළ සේක. පසුව, පෙර විසූ කාශ්‍යප සර්වඥයන් වහන්සේ වැඩ සිටි සෝමනස්ස මාලක නම් ස්ථානයෙන් මෙපිට ප්‍රදේශයට වැඩම කර ලෝකයට ප්‍රදීපයක් වූ සේක. එකල ලංකාද්වීපයෙහි මනුෂ්‍යයන් නොසිටි බැවින්, ද්වීපයෙහි සිටියා වූ දේව සමූහයාට ද නාගයන්ට ද මැනවින් අනුශාසනා කොට, සංඝයා වහන්සේ සමඟ අහසට නැඟී දඹදිව බලා වැඩම කළ සේක.

මිහිඳු මාහිමියන් සහ රුවන්වැලි සෑය පිළිබඳ අනාවැකිය

166-167 (මිහිඳු මාහිමියෝ මෙසේ වදාළහ:) “නරේන්ද්‍රයාණෙනි! මෙසේ මේ ස්ථානය සතර බුදුවරයන් වහන්සේලා විසින් සේවනය කරන ලද්දේය. මහරජාණෙනි! මේ ස්ථානයෙහි අනාගත කාලයෙහි සර්වඥ ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් ද්‍රෝණයක් පමණ ධාතූන් නිදන් කළා වූ, එක්සිය විසි රියන් උස ඇති ‘ස්වර්ණමාලී’ (රුවන්වැලි) යැයි ප්‍රසිද්ධ වූ මහා සෑයක් ඉදි වන්නේය.”

168 එවිට පෘථිවිශ්වර වූ රජතෙමේ, “ඒ ස්තූපය මම ම කරවන්නෙමි” යි කීවේය.

169-172 (එවිට තෙරුන් වහන්සේ මෙසේ වදාළ සේක:) “පෘථිවි පාලයෙනි, මෙහි තොපට අන්‍ය වූ බොහෝ කටයුතු ඇත්තේය. ඒ කටයුතු කරව. තොපගේ මුණුබුරෙක් මේ ස්තූපය කරවන්නේ ය. එහි පරම්පරා පිළිවෙළ මෙසේ ය: ඔබගේ සහෝදර වූ මහා නාග නම් යුව රජුගේ පුත්‍ර වූ, ‘යටාලතිස්ස’ නමින් ප්‍රකට වූ නරේන්ද්‍රයෙක් අනාගතයෙහි වන්නේය. ඔහුගේ පුත්‍රයා ‘ගෝඨාභය’ නම් නරේන්ද්‍රයෙක් වන්නේය. ඒ රජුගේ පුත්‍රයා ‘කාවන්තිස්ස’ නම් රජෙක් වන්නේය. නරේන්ද්‍රය! ඒ රජුගේ පුත් වූ ‘දුට්ඨ ගාමිණී’ යන නාමයෙන් ප්‍රකට වූ ‘අභය’ නම් මහා රජෙක් වන්නේය. මහත් වූ තේජස් හා ඍද්ධි වික්‍රමයෙන් යුක්ත වූ ඒ මහා රජතෙමේ මෙහි ස්තූපය කරවන්නේ ය” යි ස්ථවිරයන් වහන්සේ වදාළ සේක.

173 ස්ථවිරයන් වහන්සේගේ වචනය අසා රජතුමා ඒ පුවත ලියවා මෙහි ගල් ටැඹක් පිහිටුවූයේ ය.

මහමෙවුනා උයන පිළිගැනීම සහ ධර්ම දේශනා

174-175 මහත් ප්‍රඥා හා මහත් ඍද්ධි ඇත්තා වූ ඒ මහා මහේන්ද්‍ර නම් ස්ථවිරයන් වහන්සේ මහමෙවුනා උයනෙහි වූ සිත්කලු තිස්සාරාමය පිළිගත් සේක. කිසිවකින් කම්පා නොවන ගුණ ඇති ස්ථවිරතෙමේ අට තැනක දී පොළොව කම්පා කරවා, සයුර හා සමාන වූ නුවරට පිඬු පිණිස වැඩම කොට, 176 රජ ගෙයි දන් වැළඳීම සිදු කළ සේක. මන්දිරයෙන් නික්ම නඳුන් වනයෙහි වැඩ හිඳ, එහි දී ‘අග්ගික්ඛන්ධෝපම’ නම් වූ සූත්‍රය ජනයාට දේශනා කොට, 177 එහි දී මිනිසුන් දහසක් මාර්ග ඵලවලට පමුණුවා මහමෙවුනා වනයෙහිම වැඩ විසූ සේක.

178-179 ස්ථවිරයන් වහන්සේ තුන් වෙනි දවසෙහි රජ ගෙයි දන් වළඳා, නඳුන් වනයෙහි වැඩ හිඳ ‘ආශිර්විෂෝපම’ සූත්‍රය දේශනා කළ සේක. මහා ස්ථවිරයන් වහන්සේ දහසක් පුරුෂයන් මාර්ග ඵල අවබෝධයට පමුණුවා එතැනින් තිස්සාරාමයට වැඩම කළ සේක.

සීමා බන්ධනය සඳහා සූදානම් වීම

180 දේශනාව අසන ලද ඒ රජතෙමේ ද පැමිණ තෙරුන් වහන්සේ සමීපයෙහි හිඳ, “වහන්ස! බුද්ධ ශාසනය මෙහි පිහිටියේ දෝහෝ?” යි විමසුවේය.

181 මහා ස්ථවිරයන් වහන්සේ, “නරේන්ද්‍රය, තවම නොපිහිටියේය. ජනාධිපතිය, උපෝසථාදි විනය කර්ම කිරීම පිණිස බුද්ධාඥාවෙන් මෙහි සීමාවක් බැඳි කල්හි ශාසනය පිහිටන්නේය” යි වදාළ සේක.

182-183 රජතෙමේ උන්වහන්සේට මේ වචනය සැල කළේය: “ශාන්තිධරයන් වහන්ස, මම සර්වඥයන් වහන්සේගේ ආඥාව ඇතුළත වාසය කරන්නෙමි. එහෙයින් මාගේ නගරය ද ඇතුළත් කොට එකවරම මහා සීමාව බඳින සේක්වා!” යි ඉල්ලා සිටියේය.

184-185 ස්ථවිරයන් වහන්සේ ඒ රජුට, “පෘථිවීශ්වරය! එසේ නම් ඔබ විසින් සීමාව යන ස්ථාන පෙන්වූ කල්හි අපි එය බඳින්නෙමු” යි වදාළ සේක. පෘථිවිශ්වරයා “මැනවැ” යි කියා නඳුන් වනයෙන් නික්මෙන දේවේන්ද්‍රයා මෙන්, රම්‍ය වූ මහමෙවුනා උයනෙන් නික්ම තම මන්දිරයට ඇතුළු වූයේය.

186-187 ස්ථවිරයන් වහන්සේ සිව් වෙනි දවසෙහි රජ ගෙයි දන් වළඳා, නඳුන් වනයෙහි වැඩ හිඳ ‘අනමතග්ගිය’ නම් සංයුක්තය දේශනා කළ සේක. ඒ මහා ස්ථවිරයන් වහන්සේ එහිදී දහසක් පුරුෂයන්ට දහම් අමා පැන් පොවා මහාමේඝවනාරාමයට (මහමෙවුනා උයනට) වැඩි සේක.

188-189 උදය බෙර හසුරුවා පුරවරය ද, විහාරයට යන මාර්ගය ද, විහාරය හාත්පස ද සරසවා, ඒ නරේන්ද්‍රතෙමේ රථයෙහි නැඟී, සර්වාභරණයෙන් සැරසුණු ඇමතියන් සහ අන්තඃපුර කාන්තාවන් ද, සිව් රඟ සේනාව ද සහිතවූයේ, මහත් පිරිවරින් තම ආරාමය (තිස්සාරාමය) වෙත පැමිණියේය. එහි වන්දනාවට යෝග්‍ය වූ ස්ථවිරයන් වහන්සේ වෙත එළඹ වැඳ, ස්ථවිරයන් වහන්සේ සමඟ ගං තොටට ගොස් රන් නගුලක් අතට ගෙන එතැන් පටන් සීමාව සලකුණු කරමින් ගියේය.

සීමා ලකුණු කිරීමේ පෙරහැර

191-193 ‘මහා පදුම’ සහ ‘කුඤ්ජර’ යන නම් ඇත්තා වූ අතිශයින් ශෝභමාන වූ ඇතුන් දෙදෙනා ස්වර්ණමය වූ නගුලෙහි යොදන ලදහ. පළමුවෙනි වූ ‘කුන්ත මාලකයෙහි’ රජු සිටියේය.

194-198 සිවුරඟ මහා සේනාව ඇත්තා වූ රජු, මැනවින් සරසන ලද පුන්කලස්, නොයෙක් වර්ණ ඇති කොඩි, යහපත් වූ සඳුන් කුඩු සහිත තැටි, රන් රිදී දඬු ඇති කැඩපත්, මල්වලින් බර වූ මල් වට්ටි, මල් ඇඟෑ, තොරණ්, කෙහෙලි ආදිය ද අතින් ගත් කාන්තාවන් විසින් පිරිවරන ලද්දේය. නොයෙක් තූර්ය වාදනයන්ගෙන් ඝෝෂා කරන ලද්දේ, සේනා සමූහයා විසින් පිරිවරන ලද්දේ, ස්තූති හා මංගල ගීතයෙන් සිව් දිශාවන් පුරවමින්, සාධුකාර නාදයෙන් හා දහස් ගණන් පිලි වැනීම්වලින් ද, මහත් වූ උත්සව පූජාවෙන් ද යුක්ත වූයේ, නගුල රැගෙන සීවිට (සීමා ඉර) අඳිමින් ගියේය.

199 විහාරය හා නගරය ද ප්‍රදක්ෂිණා කරමින් ගං තොටට පැමිණ සීමාව යන තැන් සමාප්ත කළේය.

සීමා මායිම් විස්තරය

එහි සීමාව කවර නිමිති (සලකුණු) ඔස්සේ ගියේ දැයි සීමාව ගිය තැන් දැන ගනු කැමැත්තෙනි, එය මෙසේ අවබෝධ කරගනු මැනවි:

200-201 ‘කොළොම් හොය’ (මල්වතු ඔය) පාශාණ තොටේ (පහන් තොට) පහණෙහි කුඩා වළට ද, එතැනින් ‘කුම්බල’ නම් වළ අගට ද, එතැනින් ‘මහ දුවට’ ද ගියාය. එතැනින් ‘කුඹුක් පෙළට’ ගියේය. එයින් ‘මහ මලුවට’ ගියේය. එයින් ‘කුඳුමී’ රුකට ද, එතැනින් ‘මුරුත පොකුණට’ ද ගියේය. ‘විජයාරාම’ නම් උයනෙහි උතුරු දොරටු කොටුවට ගියේය.

202-203 ‘ගජකුඹු’ නම් ගලට ද, ‘තුසවැටිය’ මැදින් අබා උයනෙහි ‘තොත් ගලට’ ද ගොස් ‘මහ සොහොන්’ මැදට ගියේය. ‘දිගු පහණට’ ගොස් කර්මාර දෙවියාගේ බඩහැලට වම් පසින් ‘නුගමලුවට’ ගොස්, ‘හියගල’ සමීපයෙහි ගිනිකොණ දිශාවේ වූ දියවස් බමුණාගේ දේවාලයට ද ගියේය.

204-206 එතැනින් ‘තෙලුම්පෙළට’ ගියේය. එතැනින් ‘තාලචතුෂ්කය’ (තල් ගස් හතර) යටට ගියේය. එතැනින් ‘අස් මඬුල්ලට’ වමින් ‘සසවානයට’ ගියේය. එතැනින් ‘බොරළුතොටට’ ගියේය. එතැනින් මත්තෙහි නදියට ගියේය.

207-208 පළමු සෑයෙන් නැඟෙනහිර දිශාවේ කොළොම් ගස් දෙකක් විය. ‘සෙනින්දගුත්ත’ රාජ්‍යයෙහි ‘උදක ශුද්ධික’ ද්‍රවිඩයෝ නදිය දුර යැයි සිතා බැමි බැඳ එය නුවරට ආසන්න කළහ. එහි ජීවමාන වූ කොළොම් රුක සීමාවට ඇතුළත් කොට ගියේය. මළ කොළොම් රුක පිහිටි ඉවුරෙන් සීමාව මළ කොළොම් රුකෙන් ඉහළට ගියාය.

209-210 ස්ථවිරතෙමේ ‘සිංහ ස්ථාන’ නම් තොටින් ඉහළට පැමිණ ඉවුරෙන් වඩින්නේ, ‘පහන් තොටට’ පැමිණ (ආරම්භක) නිමිත්ත හා ගැළපූ සේක. නිමිත්තෙන් නිමිත්ත ගැළපූ කල්හි සසුන මැනවින් පිහිටියේ යැයි දෙවි මිනිස්සු සාධුකාර පැවැත්වූහ.

211-213 රජු විසින් සීවිට (සීමා මායිම) දුන් කල්හි, මහත් ප්‍රඥා ඇති ඉන්ද්‍රිය දමනය කළා වූ මහා ස්ථවිරයන් වහන්සේ, හාත්පස නිමිති කීර්තනය (ප්‍රකාශ) කළ සේක. විධි වූ පරිද්දෙන් තිස් දෙකක් ඛණ්ඩ සීමාවන් පිණිස ද, ථූපාරාමය පිණිස ද සීමාන්තරික නිමිත්තයන් කීර්තනය කොට, එම දවසෙහිම සියලු සීමාවන් බන්ධනය කළ සේක. සීමා බන්ධනය සමාප්ත කළ කල්හි මහ පොළොව කම්පා විය.

සත් දිනක් තුළ ධර්ම දේශනා සහ ගොඩනැගිලි ඉදි කිරීම

214-215 ස්ථවිරයන් වහන්සේ පස්වන දවසෙහි රජ ගෙයි දන් වළඳා, නඳුන් වෙනෙහි වැඩ හිඳ ‘ඛජ්ජනියක’ නම් වූ සූත්‍රාන්තය මහා ජනයාට දේශනා කොට, එහිදී දහසක් මිනිසුන්ට දහම් අමා පැන් පොවා මහමෙවුනා උයනෙහි වාසය කළ සේක.

216 දේශනා දන්නා වූ ස්ථවිරයන් වහන්සේ සයවෙනි දවසෙහි රජ ගෙයි දන් වළඳා, නඳුන් වෙනෙහි වැඩ හිඳ ‘ගෝමය පිණ්ඩික’ නම් සූත්‍රය දේශනා කොට, දහසක්ම මිනිසුන් මාර්ග ඵල අවබෝධයට පමුණුවා මහමෙවුනා උයනෙහිම වැඩ විසූ සේක.

217-219 ස්ථවිරයන් වහන්සේ සත්වෙනි දවසෙහි ද රජ ගෙයි දන් වළඳා, නඳුන් වෙනෙහි වැඩ හිඳ ‘ධර්මචක්කප්පවත්තන’ නම් වූ සූත්‍රාන්තය දේශනා කොට, මිනිසුන් දහසක්ම මාර්ග ඵල අවබෝධයට පමුණුවා මහමෙවුනා උයනෙහි වැඩ විසූ සේක.

220 මෙසේ කාන්තිධර වූ ස්ථවිරයන් වහන්සේ දින හතක් තුළ අට දහස් පන්සියයක් (8500) මනුෂ්‍යයන්ට මාර්ග ඵල අවබෝධ කරවා ඒ මහ නඳුන් උයනෙහි වාසය කළ සේක. ඒ මහ නඳුන් වනය, ඒ ශ්‍රේෂ්ඨ වූ රහතන් වහන්සේ විසින් ශාසනය බැබළවූ ස්ථානය යන අර්ථයෙන් ‘ජෝතිවන’ යැයි කියනු ලැබේ.

221-222 රජතෙමේ ඉතා ඉක්මනින් ගිනිසුලින් (පන්දම්වලින්) මැටි වියළවා, පළමුවෙන්ම තිස්සාරාමයෙහි ස්ථවිරයන් වහන්සේට පිරිවෙනක් කරවූයේය. ඒ ප්‍රාසාදය කළු පැහැති විය. එහෙයින් එම මන්දිරය ‘කාල ප්‍රාසාද පිරිවෙන’ යන නමට පත් විය.

223-224 ඉන්පසුව මහ බෝ ගෙයක් ද, ලෝවා මහ පාය ද, ලහබත් ගෙයක් ද, බත් හලක් ද මැනවින් කරවූයේය. බොහෝ පිරිවෙන් ද, යහපත් වූ පොකුණු ද, රාත්‍රී ස්ථාන (රැය ගත කරන තැන්) සහ දිවා ස්ථානාදිය ද කරවූයේය.

225-226 පාපයන් ධෝවනය කළා වූ උන්වහන්සේගේ ස්නානය සඳහා පොකුණු තෙර (ඉවුරේ) කළා වූ පිරිවෙන ‘සුන්හාත පිරිවෙන’ යැයි කියනු ලැබේ.

227 ලංකාද්වීපයට ප්‍රදීපයක් වූ ඒ උත්තමයන් වහන්සේ සක්මන් කළ තැනෙහි කරන ලද ඒ පිරිවෙන ‘දීඝචංකමණ’ (දිගු සක්මන් මළුව) යැයි කියනු ලැබේ.

228 ඒ ස්ථවිරයන් වහන්සේ යම් තැනක අග්‍ර වූ ඵල සමාපත්තියට සමවදින සේක් ද, එහෙයින් එය ‘ඵලග්ගපරිවෙණ’ යැයි කියනු ලැබේ.

229 යම් තැනක බොහෝ වූ දේව සමූහයෝ උන්වහන්සේ වෙත පැමිණ උපස්ථාන කළාහු ද, එහෙයින්ම එය ‘මරු ගණ පිරිවෙණ’ යැයි කියනු ලැබේ.

230 ඒ රජුගේ සෙනෙවි වූ ‘දික්සඳ’ ඇමතිතෙමේ මහ ටැම් අටකින් කුඩා පහයක් කරවූයේය. එය ඒ වෙහෙරෙහි ‘දික්සඳ සෙනෙවියා පිරිවෙණ’ යැයි කියනු ලැබේ. ඒ පිරිවෙන ප්‍රධාන වේ.

231-232 ප්‍රධාන වූ ස්ථවිරයන්ට ‘දේවානම්පිය’ (දෙවියන්ට ප්‍රිය වූ) යන වචනයෙන් අමතන ලද නාමයක් ඇත්තා වූ, යහපත් ප්‍රඥා ඇති ඒ රජතෙමේ, නිර්මල බුද්ධි ඇත්තා වූ මහා මහේන්ද්‍ර නම් ස්ථවිරයන් වහන්සේ වෙත පැමිණ, ලංකාද්වීපයෙහි පළමුවෙනි වූ මේ මහා විහාරය මෙහි කරවූයේය.

මෙතෙකින් හුදී ජනයා පහන් සංවේගය ඇති කරවීම පිණිස කරන ලද මහාවංශයෙහි ‘මහා විහාර පටිග්ගහණ’ නම් වූ පසළොස් වන අදියර නිම විය.