14. නගර ප්‍රවේශය

star_outline
මිශ්‍රක පර්වතය සහ රජුගේ දඩයම

1 ඒ දේවානම්පියතිස්ස රජතුමා නුවර වැසියන්ට දිය කෙළි සංවිධානය කරවා, 2 තමන් වහන්සේ මුව දඩයමේ ගියහ. හතළිස් දහසක් මිනිසුන් පිරිවරා ගත් එතුමා පයින්ම දිව යමින් මිශ්‍රක පර්වතය වෙත ගියේය.

3 ඒ පර්වතයෙහි වසන දෙවියා රජතුමාට තෙරුන් වහන්සේව දක්වනු කැමතිව, ගෝනෙකුගේ වෙස් ගෙන තණ පඳුරක් කමින් සිටියාක් මෙන් පෙන්නුම් කළේය.

4 රජතුමා එය දැක, “පමාවූවෙකුට (නොසැලකිලිමත්ව සිටින සතෙකුට) විදීම සුදුසු නැතැ” යි සිතා දුනු දිය ඇද ශබ්ද කළේය. එවිට ගෝනා 5 පර්වතය දෙසට දිව ගියේය. රජතුමා ද ඌ ලුහුබැඳ ගියේය. මුව වෙස් ගත් ඒ දෙවියා තෙරුන් වහන්සේ වෙත ගොස්, රජු විසින් තෙරුන්ව දුටු කල්හි අතුරුදහන් විය.

මිහිඳු හිමි සහ රජු අතර හමුව

ස්ථවිරයන් වහන්සේ, “අප බොහෝ දෙනෙකු දුටුවහොත් මොහු වඩාත් බිය වනු ඇතැ” යි 6 සිතා තමන් වහන්සේව පමණක් පෙනෙන්නට සැලැස්වූ සේක. රජතුමා ඒ තෙරුන් දැක 7 බියපත්ව සිටියේය.

ස්ථවිරයන් වහන්සේ ඔහුට, “තිස්ස, මෙහි එන්න” යැයි වදාළ සේක. 8 තිස්ස කියා නමින්ම ඇමතූ බැවින් රජතුමා, “මොහු යක්ෂයෙකැ” යි සිතුවේය.

ස්ථවිරයන් වහන්සේ, “මහරජතුමනි, අපි ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රමණ ශ්‍රාවකයෝ වෙමු. ඔබ කෙරෙහි අනුකම්පාවෙන්ම දඹදිව සිට මෙහි පැමිණියෙමු” යි 9 වදාළ සේක.

ඒ අසා රජතුමා පහව ගිය බිය ඇත්තේ වී, තම මිතුරාගේ (අශෝක රජුගේ) 10 හසුන් පත සිහිපත් කොට, ‘මේ ශ්‍රමණයන් වහන්සේලා ය’ යි නිශ්චය කරගෙන, දුනු ඊතල බිම දමා ඒ තෙරුන් වෙත එළඹ, ඒ තෙරුන් හා සමග සතුටු වෙමින් උන්වහන්සේ අසල හිඳගත්තේය.

11 එකල්හි මහරජුගේ පිරිස පැමිණ රජු පිරිවරා ගත්හ. එවිට මහා ස්ථවිරයන් වහන්සේ තමන් සමග පැමිණි සෙසු සදෙනා ද පෙනෙන්නට සැලැස්වූ සේක.

රජතුමා 12 උන්වහන්සේලා දැක, “මොවුන් කවදා පැමිණියෝදැ” යි ඇසීය. “මා සමගම ය” යි 13 තෙරුන් විසින් වදාළ කල්හි, නැවතත් රජ තෙමේ, “මෙබඳු වූ වෙනත් යතීහු දඹදිව සිටිත්දැ” යි විචාළේය.

ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළ සේක: “ජම්බුද්වීපය කාෂාය වස්ත්‍රයෙන් බබළයි. එහි වනාහි ත්‍රිවිද්‍යා ඇත්තා වූ ද, සෘද්ධි ප්‍රාප්ත වූ ද, පරසිත් දන්නා වූ ද, දිව්‍ය ශ්‍රෝත්‍ර ඇත්තා වූ ද බුද්ධ ශ්‍රාවක වූ 14 බොහෝ රහතන් වහන්සේලා වැඩ සිටිති.”

රජතුමා, “කුමකින් (කෙසේ) වැඩම කළ සේක්දැ” යි 15 විචාළේය. “දියෙන් හෝ ගොඩින් හෝ නොපැමිණියෙමු” යි වදාරන ලද්දා වූ කල, ඒ රජතුමා උන්වහන්සේලා අහසින් වැඩම කළ බව දැනගත්තේය.

අඹ පැනය සහ නෑ පැනය

මහත් ප්‍රඥා ඇති ඒ මහා ස්ථවිරයන් වහන්සේ, රජුගේ නුවණ විමසනු පිණිස ඔහුගෙන් ප්‍රශ්න විචාළ සේක. විචාරන ලද ඒ ඒ ප්‍රශ්නයට රජතෙමේ පිළිතුරු දෙමින් උන්වහන්සේගෙන් ප්‍රශ්න විචාළේය.

16 “මහරජතුමනි, මේ ගස කුමක්දැ” යි විචාළ සේක. රජතුමා, “මේ ගස අඹ ගසකැ” යි කීය.

“මේ හැර වෙනත් අඹ ගස් තිබේදැ” යි 17 විචාළ සේක. “බොහෝ අඹ ගස් ඇත්තේය” යි කීය.

“මේ අඹ ගස ද, ඒ (වෙනත්) අඹ ගස් ද හැර වෙනත් ගස් තිබේදැ” යි 18 විචාළ සේක. “ස්වාමීනි! බොහෝ ගස් ඇත්තේය. ඒ ගස් අඹ නොවේ” යැයි කීවේය.

“ඒ අඹත්, නොඅඹත් හැර වෙනත් ගස් තිබේදැ” යි 19 විචාළ සේක. “ස්වාමීනි, (ඒ ඇත්තේ) මේ අඹ ගස ය” යි කීවේය. “නරේෂ්වරය! ඔබ පණ්ඩිතයෙකි” යි වදාළ සේක.

“මහරජ, 20 ඔබගේ නෑයෝ සිටිත්දැ” යි විචාළ සේක. “බොහෝ දෙනෙක් සිටිති” යි 21 කීවේය.

“නොනෑයෝත් සිටිත්දැ” යි විචාළ සේක. “බොහෝ නොනෑයෝ සිටිති” යි කීවේය.

“ඒ නෑයනුත්, නොනෑයනුත් හැර වෙනත් අයෙකු සිටීදැ” යි 22 විචාළ සේක. “මම ම සිටිමි” යි කීවේය.

“මහරජ! මැනවි, ඔබ පණ්ඩිතය” යි වදාළ සේක. “මහත් නුවණැත්තෙකැ” යි වදාළ සේක.

ප්‍රථම ධර්ම දේශනාව සහ භණ්ඩුක කුමරු පැවිදි වීම

මහ නුවණැති ස්ථවිරයන් වහන්සේ මේ රජු පණ්ඩිතයැ යි දැන රජුහට ‘චූලහත්ථිපදෝපම සූත්‍රය’ 23 දේශනා කළ සේක. දේශනාව අවසානයෙහි ඒ රජතෙමේ හතළිස් දහසක් වූ ඒ මිනිසුන් සමග තෙරුවන් සරණ ගියේය.

එදින සවස් කාලයෙහි රජුට ආහාර ගෙන එන ලදී. “දැන් උන්වහන්සේලා නොවළඳති” යි 24 දන්නා නමුත් රජතෙමේ, “විචාරීමම සුදුසු ය” යැයි සිතා ඒ තෙරුන් වහන්සේලාට බතින් (ආහාර ගැනීමට) ඇරයුම් කළේය.

“අපි (රාත්‍රී කාලයේ) දන් නොවළඳමු” යි 25 වදාළ කල්හි, “එසේනම් නුවරට යමු” යි මෙසේ කීවේය. “මහරජ! ඔබ යන්න, අපි මෙහි 26 වසන්නෙමු” යි වදාළ සේක.

එසේ නම්, “කුමාරයා අප සමග 27 යේවා” යි රජු කීවේය. “මහරජතුමනි, මොහු වනාහි මාර්ග ඵල ලැබූ අයෙකි; බුදු සසුන දන්නා අයෙකි. පැවිද්ද බලාපොරොත්තුවෙන් අප වෙත වසයි. දැන් මොහු පැවිදි කරන්නෙමු. මහරජතුමනි! 28 ඔබ යන්න” යැයි වදාළ සේක.

“පෙරවරු කාලයේ රථය එවන්නෙමි. නුඹ වහන්සේලා එහි නැගී පුරයට වඩින සේක්වා” යි කියා, 29 තෙරුන් වැඳ, භණ්ඩුක නම් කුමාරයාව පසෙකට කැඳවා තෙරුන්ගේ විස්තර විචාළේය. 30 ඒ කුමාරයා රජුහට සියල්ල කීවේය.

තෙරුන් වහන්සේ කවුරුන්දැයි හඳුනාගෙන ඉතා සතුටු වූ ඒ රජ තෙමේ, “මේ මාගේ 31 ලාභයැ” යි සිතුවේය. භණ්ඩුක නම් කුමාරයා ගිහි බැවින්, රජතුමා (උන්වහන්සේලා ගැන තිබූ) සැක දුරුකර ගෙන උන්වහන්සේලා මනුෂ්‍යයන් බව දැනගත්තේය.

ඒ ස්ථවිර තෙමේ, “මොහු පැවිදි කරන්නෙමු” යි 32 එකෙනෙහිම ග්‍රාම සීමාව තුළ දී භණ්ඩුක නම් කුමාරයාගේ පැවිද්දත් උපසම්පදාවත් සිදු කළ සේක. 33 ඒ ක්ෂණයෙහි දීම උන්වහන්සේ රහත් බවට ද පැමිණි සේක.

දෙවියන්ගේ පැමිණීම

ඉක්බිති මහා ස්ථවිර තෙමේ 34 ඒ සුමන සාමණේරයන් වහන්සේට, “ධර්ම ශ්‍රවණ කාලය ඝෝෂා කරවන්න (දන්වන්න)” යි වදාළ සේක. “ස්වාමීනි, ඇසෙන ලෙස මම කොපමණ තැනකට 35 අඬගසන්නම් දැ” යි විචාළ සේක. තෙරුන් විසින්, “මුළු තාම්බපණ්ණි දිවයිනටම” යි වදාළ කල්හි, ඍද්ධිමත් වූ සාමණේරයන් වහන්සේ ඍද්ධි බලයෙන් මුළු 36 ලක්දිවට ඇසෙන සේ දහම් කාලය ඝෝෂා කළේය.

ඒ රජතෙමේ නාග චතුෂ්ක නම් 36 ගල් කෙමෙහි හිඳගෙන බත් අනුභව කරමින් සිටියේ, ඒ ශබ්දය අසා ඇමතියන් යැවූයේය. ඔවුහු ගොස්, “උපද්‍රවයක් ඇද්දෝ” යි ඇසූහ.

“උපද්‍රවයක් නැත්තේය. සම්බුද්ධ වචනය ඇසීම සඳහා කාලය ඝෝෂා කරන ලද්දේ යැ” යි 37 වදාළ සේක.

සාමණේරයන්ගේ හඬ අසා භූමාටු දෙවියෝ 38 ඝෝෂා කළහ. පිළිවෙළින් ඒ ශබ්දය බඹ ලොව දක්වා නැඟුනේය. ඒ ඝෝෂාව හේතුවෙන් 39 දෙවියන්ගේ මහා සමාගමයක් විය.

ස්ථවිර තෙමේ ඒ සමාගමයෙහි 40 ‘සමචිත්ත සූත්‍රය’ දේශනා කළ සේක. අසංඛ්‍ය ගණන් දේවතාවුන්ට 41 ධර්මාභිසමය විය. බොහෝ නාග, සුපර්ණ ආදීහු තෙරුවන් සරණෙහි පිහිටියෝය. සැරියුත් තෙරුන් විසින් මේ සූත්‍රය දෙසන කල යම් සේ වී නම්, එසේම මහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේ දෙසන කල ද දිව්‍ය සමාගමය වූයේය.

අගනුවරට වැඩම කිරීම

රජතෙමේ පසුදා උදෑසන රථය එවූයේය. ඒ රියදුරා එහි 42 ගොස්, “රථයට නැඟුණ මැනව, නුවරට යමු” යැයි උන්වහන්සේලාට කීවේය.

“රථයට නොනඟින්නෙමු. තොප යව. තොපට පසුව එන්නෙමු” යැයි 43 මෙසේ වදාරා, යහපත් අදහස් ඇති, ඒ මහා ඍද්ධි ඇති තෙරුන් වහන්සේලා රියැදුරා යවා, අහසට නැඟී නුවරට නැගෙනහිර දිශාවෙහි වූ පළමු 44 සෑය පිහිටි තැනට වැඩම කළ සේක. තෙරුන් විසින් පළමුවෙන් බසින ලද තැන කළ සෑය එහෙයින් ‘පඨමක චේතිය’ (පළමු සෑය) යැයි මෙසේ අද වනතුරුත් කියනු ලැබේ.

45 යම් හෙයකින් සියලු අන්තඃපුර ස්ත්‍රීහු රජුගෙන් තෙරුන්ගේ ගුණ අසා තෙරුන් දකිනු කැමති වූවාහු ද, එහෙයින් මිහිපල් තෙමේ රාජ 46 මාලිගාව තුළම රම්‍ය වූ මණ්ඩපයක් කරවීය. එය සුදු වූ වස්ත්‍රයෙන් හා මලින් වසන ලද්දේ විය. එසේම අලංකාර කළේය.

47 තෙරුන් වෙත උස් ආසන තහනම් බව ඇසූ බැවින්, ‘ස්ථවිර තෙමේ උස් අසුනෙහි හිඳින්නේ හෝ නොවේ දෝ’ යි සැකයක් ඇති විය. 48 ඒ අතර රථාචාරියා එහි සිටියා වූ සිවුරු පොරවන්නා වූ තෙරුන් දැක ඉතා විස්මිත සිත් ඇත්තේ ගොස් 49 රජුට දැන්වීය.

රජ තෙමේ සියල්ල අසා, “උන්වහන්සේලා පුටුවල හිඳීම නොකරන්නාහ” යි 50 නිශ්චය කරගෙන, “ඉතා මනා කොට බුමුතුරුණු පණවන්න” යැයි කියා පෙර ගමන් කොට, 51 සකසා තෙරුන් වැඳ, මහා මිහිඳු තෙරුන්ගේ අතින් පාත්‍රය ගෙන සත්කාර පූජා කරමින් පුරයට තෙරුන්ව ප්‍රවේශ කළේය.

52 නිමිති ශාස්ත්‍ර දන්නෝ මෙසේ අසුන් පනවා තිබෙනු දැක (බිම අසුන් පනවා තිබූ හෙයින්), 53 “මුන්වහන්සේලා විසින් මහ පොළොව ගන්නා ලද්දීය. මොවුහු මේ දිවයිනෙහි ඊශ්වර වන්නාහ (පාලනය කරන්නාහ)” යි කීවුහ.

රජ මාලිගාවේ සහ ඇත් හලේ ධර්ම දේශනා

නරේන්ද්‍ර තෙම ඒ තෙරුන් පුදමින් අන්තඃපුරයට 54 වැඩම කරවීය. ඒ තෙරුන් වහන්සේලා එහි සුදුසු පරිද්දෙන් පනවන ලද අසුන්හි හිඳ ගත්හ. 55 නරේන්ද්‍ර තෙමේ ඒ තෙරුන් කැඳ, අවුළු හා භෝජනයෙන් සන්තර්පණය (සතුටු) කළේය.

බත් කිස නිම වූ කල්හි, තෙමේ 56 උන්වහන්සේ වෙත හිඳගෙන, මහානාග නම් යුවරජුගේ මෙහෙසිය වූ ද, රජ ගෙහිම වසන්නා වූ ද අනුලා නම් බිසව කැඳවීය. 57 ඒ අනුලා දේවිය පන්සියයක් ස්ත්‍රීන් හා පැමිණ තෙරුන් වැඳ පුදා එකත්පසෙක හිඳ ගත්තාය.

ස්ථවිර තෙමේ 58 ‘පේතවත්ථු’, ‘විමානවත්ථු’ සහ ‘සච්ච සංයුක්තය’ දේශනා කළ සේක. 59 ඒ ස්ත්‍රීහු ප්‍රථම ඵලයට (සෝවාන් ඵලයට) පැමිණියෝය.

නුවර වැසියෝ ඊයේ (තෙරුන්) දුටු මිනිසුන්ගෙන් බොහෝ වූ තෙර ගුණ අසා, තෙරුන් දකිනු කැමැත්තාහු රැස්ව 60 රජ ගෙදර දොරටුව අසල මහත් ඝෝෂාවක් කළෝය. රජතෙමේ ඒ අසා විචාරා දැන, ඔවුන්ට හිත කැමැත්තේ, “සියල්ලන්ට මෙහි ඉඩකඩ මදිය. 61 මඟුල් ඇත් හල පිරිසිදු කරවන්න. නුවර වැසියෝ එහි දී මේ තෙරුන් දකිත්වා” යි කීවේය.

62 එකෙණෙහි ඒ ඇත් හල පිරිසිදු කරවා වියන් ආදියෙන් 63 අලංකාර කොට සුදුසු පරිද්දෙන් ආසන පැනවූහ. ඒ මහා ස්ථවිර තෙමේ (අනෙක්) තෙරුන් සමග එහි පැමිණ වැඩ හිඳ, මහා කථික වූ සේක් 64 ‘දේවදූත සූත්‍රය’ වදාළ සේක. රැස් වූ නුවර වැසියෝ ඒ අසා පහන් වූහ. ඔවුන් අතුරෙන් දහසක් ප්‍රාණීහු සෝවාන් ඵලයට පැමිණියෝය.

65 ලංකාව (බුදු සසුනෙහි) පිහිටුවීමෙහි හෝ, අධික කොට තැබීමෙහි ශාස්තෘ කෙනෙකුන්ගේ ආකාර ඇති, ලක්දිවට පහනක් බඳු වූ ඒ මහා ස්ථවිර තෙමේ, මෙසේ දෙතැනක දී හෙළදිව් බසින් දහම් වදාරා ලක්දිව වැසි ජනයා කෙරෙහි සද්ධර්මයාගේ බැස ගැනීම කරවූ සේක. හෙවත් සද්ධර්මයෙහි ජනයා පිහිටුවූ සේක.

මෙසේ හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස කළ මහවංශයේ “නගරප්පවේසන” (නගරයට ප්‍රවේශ වීම) නම් වූ දහහතර වෙනි පරිච්ඡේදය නිමි.