කින්නරා දේවියගේ කථාව

බොහෝ ඉස්සර අතීතයේ බරණැස් නුවර කණ්ඩරී කියල රජ කෙනෙක් සිටියා. ඒ රජතුමා වසවර්තී දිව්‍ය පුත්‍රයා වගේ අති මනරම් රූප ශෝභාවකින් යුක්ත යි. මේ රජතුමා නිරන්තරයෙන් ම පංචකාම සම්පත් අනුභව කරමින් තමන් ගේ කාලය ගත කළා. මේ රජතුමාට ආහාර පිසින්නේ පවා සුවඳ දර යොදාගෙන යි. ඉතින් මේ කණ්ඩරී රජතුමාට වර්ණනා කරන්නට බැරි තරම් සුන්දර රූ සපුවකින් යුක්ත කින්නරා දේවි කියල අග්‍රමහේෂිකාවක් සිටියා. ඒ වගේ ම මේ රජතුමාට තමන් ගේ වයසේ, එකට ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගත්ත දැන උගත් පංචාල චණ්ඩ නම් පුරෝහිතයෙක් සිටියා.

මේ රජතුමා ගේ මාළිගා පවුර ළඟ, දඹ ගසක් තිබුණා. මේ දඹ ගසේ අත්තක් රජ මාලිගාවේ පහතින් තිබුණු වහළයකට දික් වෙලයි තිබුණේ. මේ දඹ ගස යට ඉතා පිළිකුල් වූ බැලිය නො හැකි ශරීර අවයව ඇති සතර ගාතය ම කොර වූ එක්තරා කොරෙක් සිටියා. එක් දවසක් කින්නරා දේවිය සීමැදුරු කවුලුවෙන් පිටත බලන විට මේ කොරා ව දැක්කා. දුටු සැනින් ඒ පිළිකුල් සහගත කොර මිනිසා ගැන කින්නරා දේවිය ගේ සිතේ රාගයක් හට ගත්තා.

ඉන් පසු එදින රාත්‍රී කාලයේ රජතුමා ගේ කෙළෙස් දාහය සංසිඳවා ඔහු නිදා ගැනීම පිණිස යහනට ගිය විට, මේ කින්නරා දේවිය සෙමින් නැගිට ගොස්, හොඳ රස මසවුලෙන් යුක්ත ආහාර භාජනයක් ද සකස් කරගත්තා. අනතුරු ව ජනෙල් කවුලුවේ කඹයක් බැඳලා, හෙමීට මාලිගාවේ පහත වහලයට නැමී තිබුණු දඹ අත්තට බැස්සා. ඒ දඹ අත්ත දිගේ ගොස් අර කොර මිනිසා සිටින තැනට බැස්සා. ඉන්පසු ඒ කොර මිනිසාට තමන් සකස් කරගෙන ගිය කෑම ටික කැව්වා. ඉන් පසු ඔහු සමඟ පාප ක්‍රියාවේ යෙදුනා. ඊළඟට බිමට බැස්ස ක්‍රමයට ම ප්‍රාසාදයට නැග්ගා. තමන් ගේ ඇඟේ තැවරී තිබුනු කුණු දුහුවිලි ආදිය සෝදාගෙන ඇඟෙහි සඳුන් තවරාගෙන රජතුමා සමඟ ඒ යහනේ ම සැතැපුනා. ඉතින් කින්නරා දේවිය මේ ක්‍රියාව පුරුද්දක් කරගත්තා. ඇය නිතර ම අර කොරා සමඟ අනාචාරයේ හැසිරෙන්ට යනවා. නමුත් රජතුමා මේ පිළිබඳ ව වගක්වත් දන්නේ නැහැ.

ඉතින් එක දවසක් රජතුමා තමන් ගේ නගරයේ චාරිකාවේ ගිහිල්ල නැවත රජ ගෙදරට එනකොට මේ දඹ ගස් සෙවනේ වැතිරී සිටි පිළිකුල් වූ කොර මිනිසා ව දුටුවා. දැකලා පුරෝහිත බමුණා ගේ මුහුණ බලා මෙහෙම කිව්වා. “මේ බලන්න පුරෝහිත, මනුස්ස ප්‍රේතයෙක් ගෙ හැටි. ඈ...යාලුවා.. මේ වගේ පිළිකුල් එකෙක් එක්ක ත් එකට ඉන්න ගෑනු මේ ලෝකෙ ඉන්නව ද දන්නෑ...?”

අසනු මැන දෙවියනේ....

ඒ කතාව අහපු ඒ කොර මිනිහා ලොකු ආඩම්බරයක් ඇති කරගෙන දොහොත් මුදුන් දී ගෙන රජතුමාට ඇසෙන්නට මෙහෙම කිව්වා. “අනේ මේ දඹ ගසට අධිගෘහිත දේවතාවුන් වහන්ස, අසනු මැන ඔබ වහන්සේ ම තමයි ඒ ගැන දන්නේ...”

ඉතින් කොරා කරපු මේ ක්‍රියාව දැක්ක රජතුමා ගේ පුරෝහිත බමුණා, කල්පනා කළා ‘එකත් එකට ම රජතුමා ගේ අග බිසවුන් මේ දඹ ගහ දිගේ ඇවිල්ලා මේ කොරා සමඟ අනාචාරයේ හැසිරෙනවා වෙන්ට ඕනෑ’ කියලා. එහෙම හිතපු පුරෝහිත බමුණා රජතුමාගෙන් මෙහෙම ඇසුවා.

“රජතුමනි, රාත්‍රියේ දී බිසවුන් වහන්සේ ගේ ශරීර පහස මොන වගේ ද?”

“යාලුවා.. හේතුවක් නම් දන්නේ නැහැ. නමුත් රාත්‍රියේ දී බිසවුන් වහන්සේ ගේ ශරීර පහස උණුසුම් නැහැ. සීතල යි.”

මේ වගේ දේවලු ත් වෙන්ට පුලුවන් ද..?

“එහෙනම් රජතුමනි, වෙන ගෑනියෙක් නො වෙයි, ඔබ වහන්සේ ගේ අගමෙහෙසිය ම මේ පුද්ගලයා ත් සමඟ අනාචාරයේ හැසිරෙනවා.”

“ඈ... පුරෝහිත, මෙච්චර ශෝභමාන ශරීරයක් තිබෙන, ඒ උත්තමාංගනාව මේ පිළිකුල් එකා ත් සමඟ කොහොම ඉන්න ද?”

“රජතුමනි, මාගේ වචනය විශ්වාස කරන්නේ නැත්නම්, අද ඉඳන් හොඳ පරීක්ෂාවෙන් ඉන්ට”. පුරෝහිත බමුණා රජතුමාට අවවාද කළා. රජතුමා ත් ‘හොඳයි පුරෝහිත’ කියා පිළිතුරු දුන්නා.

ඉතින් රජතුමා එදින මෙහෙසිය සමඟ සැතැපී, ‘අද නම් මේක හොයල බලන්ට ඕනෑ’ යැයි සිතා, නිදා ගන්නා වේලාවට නින්ද ගිය අයෙක් මෙන් සිටියා. බිසව ත් රජ තුමා කොයි වෙලේ නිදා ගනී ද කියල හිත හිතා තමයි සිටියේ. ඉතින් රජතුමා බොරුවට නිදා ගත්තාම, ඇත්තට ම නිදා ගත්තා කියල හිතපු මෙහෙසිය කෑම පාර්සලයකුත් අරගෙන හිමීට ම කලින් වගේ ම පහළට බැස්සා.

අතට ම අහු වුනා....

එවිට රජතුමා ත් වෙන පාරකින් හිමීට පහළට බැහැල අඹ ගසේ සෙවනැල්ලට මුවා වෙලා බලා ගෙන සිටියා. එදා බිසවුන් පිලා ළඟට යන්නට ටිකක් පරක්කු වුනා. ඉතින් මේ නිසා ඒ කොර මිනිසාට බිසවුන් ගැන තරහක් ඇතිවුනා. ඔහු “මොකද ගෑනියෙ මෙච්චර පරක්කු වුනේ..?” කියල රජ බිසවට තමන් ගේ කොර අතින් කණේ පාරක් ගැසුවා. “අනේ ස්වාමීනි.... ඉතින් රජතුමා නිදා ගන්න කම් ඉන්ට එපැයි. ඕකට ඉතින් තරහ ගන්ට ඒපා. කොහොම හරි මම ආවනෙ...” කියල, මේ බිසව නොයෙක් වචන වලින් ඒ කොරා ව සනසන්නට වුනා. ඒ වෙලාවේ මේ රජ බිසව හැසිරුනේ කොරා ගේ ගෙදර ඔහු යටතේ ඉන්න ඔහු ගේ ම භාර්යාව වගෙයි.

අර කොරා ගහපු කණේපාර නිසා බිසවුන් ගේ එක කුණ්ඩලාභරණයක් ගැලවිලා රජතුමා ළඟට වැටුනා. රජතුමා ඒ කුණ්ඩලාභරණය අහුලා ගෙන, ‘මේ ටික හොඳට ම ඇති.. ඊළඟට මුන් කරන දේවල් බලන්ට ඕනෙ නැහැ.’ කියා සිතා රජ ගෙදරට ආපසු ගියා.

ඉතින් රජ බිසව එදා ත් ඒ කොර මිනිසා සමඟ අනාචාරයේ යෙදිල, කලින් දවස්වල වගේ ම ආපසු ඇවිල්ලා රජතුමා ගේ ඇඳේ නිදා ගන්නට හැදුවා. නමුත් එදා රජතුමා ඒකට ඉඩ දුන්නේ නැහැ.

පසු දා රජතුමා, ‘මම දීපු හැම ආභරණයකින් ම සැරසිලා එන්න’ කියා කින්නරා දේවියට අණ කළා.

ඉතින් රජබිසව තමන් ගේ කුණ්ඩලාභරණය රන් කරුවා ගේ ගෙදර යැයි කියා නො පැමිණ සිටියා. එවිට රජතුමා බිසවුන්ට සැරසී එන්න කියා දැඩි ලෙස ම අණ කළා. ඉතින් කින්නරා දේවී එම කුණ්ඩලාභරණය නොමැති ව රජතුමා ළඟට පැවිසියා. එවිට රජතුමා බිසවුන් ගෙන් මෙහෙම ඇසුවා.

“දේවිය.. කෝ ඔබේ කුණ්ඩලාභරණය”

“අනේ ස්වාමීනි, එක තැනක් පලුදු වුන නිසා, අලුත්වැඩියා කරන්ට රන් කරුවා ගේ ගෙදරට යැව්වා”

එතකොට රජතුමා රන්කරුවා ගෙන්නුවා. ගෙන්වා, ‘මේ බිසවුන් ගේ කුණ්ඩලාභරණය ගෙන ගොස් බොහෝ දවසක් තබා ගෙන නොදී ඉන්නට හේතුව කුමක් ද?’ කියා ඔහුගෙන් ඇසුවා. එවිට රන්කරුවා හොඳට ම භය වෙලා, ‘අනේ දේවයන් වහන්ස, මම නම් ගත්තේ නැහැ.’ කියා කිව්වා.

මම යි රත්තරන් කාරයා...

ඉතින් රජතුමා බිසවට ම වැරද්ද පවරා, මේ විදියට කිව්වා. “ඒයි චණ්ඩාල ගෑනියේ.. උඹ ගේ කුණ්ඩලාභරණය ගත්ත රත්තරන් කාරයා මම ම යි.” කියා තමන් අත තිබූ කුණ්ඩලාභරණය බිසවුන් ගේ දෙපා මුලට විසිකළා. එවිට රජ බිසව හොඳට ම භය වුනා. ඊට පස්සේ රජතුමා පුරෝහිත බමුණා ගෙන්වා, ‘යාලුවා, ඔබ කියපු දේ ඇත්තක් ම තමයි. මේ ස්ත්‍රිය අර කොර මිනිසා සමඟ අනාචාරයේ හැසිරෙනවා.’ කියා, බිසව රැගෙන ගොස් හිස ගසා දමන්නට අණ කළා.

ඉතින් පුරෝහිත බමුණා බිසව රැගෙන ගොස් රජ ගෙදර එක්තරා තැනක සැඟවුවා. සඟවා රජතුමා වෙත පැමිණ, රජතුමාට මෙහෙම කිව්වා.

එන්න... මම පෙන්වන්නම්...

“මහරජතුමනි, බිසවුන් ගැන කිපෙන්ට එපා. හැම ස්ත්‍රියක් ම ඔය වගේ තමයි. ඉතින් ඔබ වහන්සේ ස්ත්‍රීන් ගේ නුගුණ ත් සටකපටි ප්‍රයෝග ත් දකින්ට කැමති නම්, වෙස්වලාගෙන මාත් සමඟ මේ ජනපදයේ චාරිකාවේ යන්න එන්න. මම ඔබ වහන්සේට පෙන්වන්නම්.”

මේ අදහසට එකඟ වුන රජතුමා, තමන් ගේ මෑණියන් වහන්සේට රජය පවරා දී, වෙස්වලාගෙන පුරෝහිත බමුණා ත් සමඟ පිටත් ගියා. යොදුනක් පමණ ගොස් එක්තරා මාර්ගයක් අයිනේ නිදාගෙන සිටියා.

ඒ වෙලාවේ. එක්තරා ගෘහපතියෙක් තමන් ගේ පුත්‍රයාට භාර්යාව කරදීම පිණිස කුමාරිකාවක් කැඳවාගෙන එනවා. විශාල මංගල උත්සවයක් පවත්වලා මහා පෙරහැරකින් තමයි මේ කුමාරිකාව කැඳවාගෙන එන්නේ. මේක දැකපු පුරෝහිත බමුණා රජතුමාට මෙහෙම කිව්වා.

“මහරජතුමනි, ඉතින් ඔබ වහන්සේ කැමති නම්, කලින් වෙනත් මිනිසුන් සමඟ ඉඳල නැති මේ කුමාරිකාව ඔබ වහන්සේ ත් සමඟ සතප්පවන්ට මට පුලුවන්”

එතකොට රජතුමා මෙහෙම කිව්වා.

“යාලුවා... මේ මොනව කියනව ද? මහ පෙරහැරකින් එන මේ ස්ත්‍රිය කොහොම ලබා ගන්ට ද? ඕක නම් කරන්ට පුලුවන් දෙයක් නෙමෙයි.”

“එහෙනම් රජතුමනි, මගේ වැඩ බලන්න” මෙහෙම කියපු පුරෝහිත බමුණා, ඉක්මණට ම පාරෙන් ටිකක් ඇතුළට වෙන්ට, වටේට තිර ඇදල රජතුමා ව ඒ තිර ඇතුලේ තැබුවා. ඉන්පසු පාර අයිනට වෙලා හඬමින් සිටියා.

ඉතින් අර ගෘහපතියා එතැනට ඇවිල්ල, අඬන්නට හේතුව සුවා. පුරෝහිත බමුණා මේ විදියට පිළිතුරු දුන්නා.

ඕක සුළු දෙයක් නේ...

“අනේ පින්වත්නි, මගේ බිරිඳ ගර්භනී වෙලයි ඉන්නේ. ඉතින් උදව්වට කවුරු ත් නැති නිසා, මම ඇය ව ඇගේ දෙමව්පියන් ගෙ නිවසට ගෙනිහිං අරින්ට හිතා ගෙන එක්කගෙන ආවා. මේ අතර මඟ දි ම ඇයට විලිරුදාව හැදුනා. අර පේන තිරය ඇතුළෙ මහ දුකක් විඳිනවා. ඒත් මට කරන්ට දෙයකුත් නැහැ. මට එතෙන්ට යන්ට ත් බැහැ. අනේ පුලුවන් නම් එක ගෑනු කෙනෙක් දෙන්න.”

“ඕක සුළු දෙයක් නෙ. අපි ත් එක්ක ගොඩක් කාන්තාවෝ ඇවිල්ලා ඉන්නවා. එතනින් එක්කෙනෙක් දෙන්නම්”. ගෘහපතියා එහෙම කිව්වහ ම පුරෝහිත බමුණා මේ විදියට කිව්වා.

“ඒත් පොඩි ගැටලුවක් තිබෙනවා. අපේ කුල චාරිත්‍රයක් තිබෙනවා. කන්‍යා ස්ත්‍රියක් තමයි දරුවෙක් වදන්න උදව් කරන්ට ඕනෙ. එහෙම උදව් කරන කන්‍යාවට ගොඩාක් යස ඉසුරු ත් ලැබෙනවා.”

පුරෝහිතයා එහෙම කිව්වහම අර ගෘහපතියා හිතුවේ ඒක ඇත්තක් ම තමයි කියල යි. ඉතින් ඔහු හිතුවා, ‘මේක නම් බොහොම සුභ නිමින්තක්. මගේ මේ ලේලිට හොඳට දරුමුණුපුරන් ලැබිල අපේ ගෙදර ස්ථීර වේවි. මේක මේ බමුණ හොඳට දැන ගෙන ම යි කියන්න ඇත්තේ.’ ඉතින් ඒහෙම හිතපු ඔහු තමන් ගේ පුතාට සරණ පාවාදෙන්නට කැඳවාගෙන යන අර කුමාරිකාව ව උදකිරීම පිණිස යැව්වා.

අනංගයා වගෙ යි....

කුමාරිකාව ත් ඇදල තිබුණු තිරය ඇතුළට ගියා ම, අනංගයා ගේ වගේ සුන්දර රූපයක් තිබෙන රජතුමා ව දැක්කා. දැක්ක ගමන් රාගය ඇති වුනා. ඉන් පසු ව ඒ රජතුමා ත් සමඟ අනාචාරයේ හැසිරුණා. රජතුමා ත් ‘මැගේ අභිනව ක්‍රියාව පවා මේ වගේ නෙ’ කියල බොහොම සතුටට පත් වෙලා, තමන් ගේ ලක්ෂයක් වටින පේරැස් මුද්ද ගලවලා ඒ කුමාරිකාව ගේ ඇඟිල්ලේ පැළදුවා. ඉන්පසු ඇය පිටත් වුනා.

ගෘහපතිතුමා, ඒ කුමාරිකාව ගෙන් වදපු දරුවා ගැන විමසුවා. එ ඒ කුමාරිකාව පිළිතුරු දුන්නේ, රන්වන් පුතෙක් වැදුවා කියල යි. ගෘහපතිතුමා ත් ඒ ගැන බොහො ම සතුටට පත් වෙලා ඇය රැගෙන පිටත් වුනා.

ඉතින් ඒ වෙලාවේ පුරෝහිත බ්‍රාහ්මණයා රජතුමා ගාවට ගියා. ගිහිල්ලා රජතුමාට මෙහෙම කිව්වා.

“දැක්ක ද රජතුමනි, කලින් පුරුෂයන් සමඟ වාසය නො කරපු කන්‍යාස්ත්‍රී කුමාරිකාවන් ගේ පාපී ක්‍රියා මේ වගේ නම්, අනිත් ස්ත්‍රීන් ගේ පව්කම් ගැන කවර කථා ද?”

මේ වෙලාවේ පුරෝහිතයා රජතුමා ගේ පේරැස් මුද්ද නැති බව දැක්කා. ඉන් පසු රජතුමා ගෙන්, ‘රජතුමනි, කුමාරිකාවට කිසියම් දෙයක් දුන්නා ද’ කියා ඇසුවා. පේරැස් මුද්ද ලබාදුන් බව රජතුමාගෙන් දැන ගත් පුරෝහිතයා, “අයියෝ.. රජතුමනි ඒ හොර කෙල්ලට ඒ වගේ වටිනා දෙයක් දුන්නේ ඇයි...?’ කියා පසුපසින් ලුහු බැඳගෙන ගොස් ඒ කුමාරිකාව නැගී යන කරත්තය අතින් අල්ලගෙන නවත්වනු ලැබුවා.

ගෘහපතිතුමා පැමිණ කාරණාව විමසුවා. එවිට පුරෝහිතයා මෙහෙම කිව්වා.

මොකක් ද හොරකම...?

“මේ කුමාරිකාව, මගේ බැමිණිය ළඟ තිබුණු මුද්ද හොරකම් කරගෙන, ඇවිල්ලා. එක ලබා ගන්න යි මම මේ ආවේ.”

ඒ වෙලාවේ ඒ කුමාරිකාව, “අනේ උඹ කරපු හොරකමක මහත” කියා ඔහුට අඟවනු පිණිස පුරෝහිතයා ගේ අල්ල කොනිත්තා මුද්ද ආපසු ලබා දුන්නා.

ඉතින් මේ විදියට ඒ පඤ්චාල චණ්ඩ නම් පුරෝහිත බමුණා ස්ත්‍රීන් ගේ නුගුණ නොයෙක් ක්‍රමවලින් රජතුමා ගේ සිතට ඒත්තු ගැන්වූවා. ඉන්පසු තවදුරට ත් නුගුණ පරීක්ෂා කිරීමට දඹදිව චාරිකාවේ පිටත් වන්නට සූදානම් වුනා.

එවිට රජතුමා මෙහෙම කිව්වා.

“යාලුවා... මුලු දඹදිව ම ඇවිද්දත් මේ ස්ත්‍රීන් ගේ නුගුණ මේ වගේ ම නම්, තවදුරට ත් ඒ දේවල් දැකීමෙන් අපිට මොන ඵලක් ද? මේ දැක්ක ටික හොඳට ම ඇති” කියා ආපසු බරණැස් නුවරට ම ආවා.

ඉන්පසු පුරෝහිත බමුණා, ‘සියලු ස්ත්‍රීන් ගේ නුගුණ මේ වගේ තම යි, ස්ත්‍රී ජාතිය පාපී අදහස් ඇති පිරිසක්. ඒ නිසා කින්නරා දේවියට සමාව දෙන්න කියා’ රජතුමාගෙන් ඉල්ලා සිටියා. රජතුමා ත් ඇයට සමාව දී අගබිසෝ තනතුරින් පහකළා. වෙනත් බිසවුන් වහන්සේ නමක් අග බිසව බවට පත් කරගත්තා.

අර කොරාව ත් ඝාතනය කළේ නැහැ. ඔහු ව එතැනින් ඉවත් කොට, රජ ගෙදර පැත්තට නැමුණු දඹ අත්ත ද කපා ඉවත් කළා. ඉන්පසු ව පුරෝහිතයා ගේ අනුශාසනා පරිදි රාජ්‍ය පාළන කටයුතු සිකළා.

ඉතින් මේ විදියට ස්ත්‍රීන් ගේ නුගුණ ප්‍රකාශ කළ කුණාළ රජතුමා තවදුරට ත් ඒ ගැන සඳහන් වන කථාවක් මේ විදියට ඉදිරිපත් කළා.