හඳුනාගන්න මෙන්න ස්ත්‍රිය....

ඒ විදියට තවත් අතීත කථාවක් විවර කළ කුණාල රජතුමා පූර්ණ මුඛ කෝකිල රජතුමාට මේ විදියට කිව්වා.

“යහලු පූර්ණමුඛ, ස්ත්‍රී ජාතිය කියන්නේ දුස්සීල පිරිසක්, බොරුකියන සුලු පිරිසක්, නොයෙක් සඨකපටි මායා ප්‍රයෝග දන්නා පිරිසක්.

යහලු පූර්ණමුඛ, මේ මහා පොලොව රන් රුවන් මුතු මැණික් වලට ත්, වෘක්ෂ පර්වත ආදියට ත් නොයෙක් සුගන්ධවත් දේවල් වලට ත් දුර්ගන්ධවත් දේවල් වලට ත්, උත්තම දේවල් වලට ත් අධම දේවල් වලට ත් පැවතීමට පිහිට වෙන දෙයක්. ස්ත්‍රීනුත් අන්න ඒ වගේ ම තමයි. කෙළෙස් වසඟයට ගිය ස්ත්‍රිය, සියලු රජ බමුණු වෙළඳ ගොවි ආදී උතුම් පිරිසට ත්, කෙවුළු කීඩ පනා ආදී නොයෙක් අධමයින්ට ත් යන හැම දෙනාට ම කාමරතියේ යෙදෙන්නට පිහිට වෙනවා.

ඒ වගේ ම යහලු පූර්ණමුඛ, ඔබ දැකල ඇති සැඩ පරුෂ සිංහයින්. ඒ සිංහයින් තමන් ගේ නියපොතු සහිත දෑත් දෙපා හතරෙන් සහ, උල්දත් තිබෙන කටින් කියන පස් තැනින් මුවන් ආදී සිවුපාවුන් අල්වාගෙන ලේ මස් අනුභව කරනවා. අන්න ඒ වගේ ම යි මේ ස්ත්‍රීන්. ඔවුන් රූප ශබ්ද ගන්ධ රස පහස කියන මේ පස් තැනින් ස්වර්ණදාස වැනි පුරුෂයන් ව පවා අල්ලාගෙන ඔවුන් ගේ ශීල සංවරය කියන ලේ මස් අනුභව කරනවා.

“යථා චෝරෝ යථා දිද්ධෝ වාණිජෝව විකත්ථනී

ඉස්සසිංගමිවාවට්ටා දුජිව්හා උරගෝ යථා”

පින්වත් පූර්ණමුඛ, විශාල වනාන්තර මැදින් වැටී තිබෙන මාර්ග තිබෙනවා. මේ මාර්ගවල පංචායුධ සන්නද්ධ වූ හොරු සිටිනවා. ඒ හොරු ඒ මාර්ගයේ ගමන් කරන, මිනිසුන් පසු පස පන්නාගෙන ගොස් ඔවුන් ගේ ඇඳුම් පැළඳුම් ආදී වස්ත්‍රාභරණ පැහැර ගන්නවා. ස්ත්‍රීනුත් අන්න ඒ වගේ ම තමයි, තමන් ගේ රූප ශබ්ද ගන්ධ රස පහස යන මේ පංචකාමයන්ගෙන් පුරුෂයන් පොළඹවාගෙන ඔවුන් සතු වස්තුව පැහැර ගන්නවා.

විෂ මිශ්‍ර රා වගෙ යි...

ඒ වගේ ම යහලු පූර්ණමුඛ, විෂ මිශ්‍ර රා අනුභව කළ බේබද්දෝ විනාශයට පත් වෙනවා. අන්න ඒ වගේ ම තමයි පංචකාමය නැමති විෂ රා පිරුණු ස්ත්‍රීන්ට වසඟ වූ පුරුෂයෝ කළයුතු දේ නො කළ යුතු දේ හඳුනන්නේ නැහැ. කළ යුත්ත අතහරිනවා. නො කළයුතු දේවල් ම බොහෝ සෙයින් සිදු කරනවා.

යහලු පූර්ණමුඛ, මේ ලෝකයේ සිටින වෙළෙන්දෝ තමන් ගේ භාණ්ඩ ගැන ම යි වර්ණනා කරන්නේ. මේ ලෝකයේ සිටින ස්ත්‍රීනුත් ඒ වගේ ම තමයි. ඔවුන් තමන් තුළ තිබෙන නුගුණ සියල්ල සඟවා ගෙන නැති ගුණ වර්ණනා කරනවා.

ඉස්ස කියල මුව ජාතියක් සිටිනවා. ඒ මුවන්ට කරකැවී ඉහළට එසවුනු අඟක් තිබෙනවා. අන්න ඒ වගේ ම ස්ත්‍රීන් ගේ සිත ත් ඉස්ස මුවා ගේ අඟ වගෙයි. ඉතා ඉක්මණින් කැරකැවී පෙරලෙන සුලු යි. බොරු කීම ම ස්වභාවය කරගෙන සිටින ස්ත්‍රීන් දිව දෙකක් ඇති සර්පයන් වැනි යි. සොයා ගන්නට දුෂ්කර විදියට සඟවපු අසුචි වලක් වගෙයි. වස්ත්‍රාභරණ වලින් සුන්දර විදියට සැරසිලා ඇවිදින මේ ස්ත්‍රීන් කසල පිරුණු වලක් වගෙයි.

මේ මහා සාගරයට ලක්ෂ ගණන් ගංඟා ගලාගෙන බසිනවා. ඒ ගංගාවලින් මොහොතක් වත් නො නැවතී විශාල ජල ප්‍රමාණයක් සමුදුරට එක් වෙනවා. ඒ වුනත් මහ සමුදුර නම් පිරෙන්නේ නැහැ. ඒ වගේ ම ස්ත්‍රී ජාතිය ත් කාම සේවනයෙනුත්, දරුවන් වැදීමෙනුත්, සැරසීමෙනුත් යන කරුණු තුනෙන් කිසි දිනෙක පිරෙන්නේ නැහැ. තෘප්තියට පත් වෙන්නේ නැහැ.

මස් කන රකුසියන් පිරිසක්...

මේ ලෝකයේ සිටින රකුසියන් මස් අනුභව කරන්නට ම යි ගිජුවෙලා ඉන්නේ. ඒ නිසා කිසි දිනෙක වෙනත් සම්පත් දීමෙන් තෘප්තියට පත් කරන්න බැහැ. මස් මාංශ ම බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ස්වරූපයක් තමයි ස්ත්‍රීන්ට ත් තිබෙන්නේ. ඔවුන්ට කාම සේවනය කිරීම පිණිස ඉතා දැඩි ගිජු බවක් තිබෙනවා. ඒ නිසා බොහෝ සැප සම්පත් ඇති කෙනෙක් සමඟ ජීවත් වුනත් කාම සේවනය කිරීමට ම කැමැත්ත ඇතුව තමයි ජීවත් වෙන්නේ.

මාරයා කියන්නේ ගුණ අගුණ පරීක්ෂා කරන්නේ නැති ව සියලු ම සත්වයින් ව මරණයට පමුණුවන කෙනෙක්. ස්ත්‍රීනුත් ඒ වගේ ම යි. කාම සේවනය කරන්නට ජාති කුල ගෝත්‍ර කිසි දෙයක් පරීක්ෂා කරන්නේ නැහැ. ඉස්සෙල්ලා ම කෙලෙසුන්ගෙන් වසඟ කරලා පුරුෂයන් ගේ සීලය බිඳ දමනවා. ඉන් අනතුරු ව ඒ පුරුෂයන් වගේ ම තමනුත් අපායේ ගිහින් උපදිනවා.

ගින්නට ඇත් කුණක් හසු වුනත්, අස් කුණක් හසු වුනත්, මීනීකුණක් හසු වුනත්, බලු කුණක් හසු වුනත්, ගැරඬි කුණක් හසු වුනත්, ඒ හැම දේ ම කිසි ම භේදයකින් තොර ව පුච්චල දමනවා. ස්ත්‍රීනුත් උත්තම අධම භේදයක් නැති ව පුරුෂයින් ව කෙලෙස් නැමැති ගින්නෙන් පුච්චා දමනවා.

ස්ත්‍රිය ත් නදියක්...

ගලා ගෙන යන නදිය හැම දෙයක් උසුලාගෙන යනවා. ස්ත්‍රීනුත් ඒ වගේ ම තමයි. හැම දෙනාව ම ඇසුරු කරනවා.

හමා ගෙන යන සුළඟට මේ අසූචි ගඳ මේ මල් සුවඳ කියල වෙනසක් නෑ. ගඳ සුවඳ හැම දෙයක් ම රැගෙන තමයි කැමති තැනකට සුළඟ හමා ගෙන යන්නේ. ස්ත්‍රිය ත් අන්න ඒ සුළඟ වගෙයි. චණ්ඩාල කෙනෙක් සමඟ වගේ ම කුලවත් කෙනෙක් සමඟ ත් කාම සේවනය කරන්නට එක වගේ කැමති යි.

නේරුව අවිසේසා ච

විසරුක්ඛෝ විය නිච්චඵලා

නාසයන්ති ඝරේ භෝගං

රතනානන්තකරිත්ථියෝ

මේ ස්ත්‍රීන් සිනේරු පර්වතය වගෙ යි. තමන් වෙත එන හැම පුරුෂයෙක් ව ම සමාන විදියට දකිනවා. සමහර වනාන්තර වල අඹ ගස් වගේ ගස් වර්ගයක් තිබෙනවා. ඒවා අඹ ගෙඩි වගේ ම සටහන් තිබෙන ගෙඩි වර්ගයකින් හැමදා ම පිරිල යි තිබෙන්නේ. ඒ වගේ ම මලුත් අඹ මල් වගේ ම යි. දකින කෙනෙකුට හිතෙන්නේ ‘මේ නම් බොහොම මිහිරි ඵල තිබෙන සුන්දර අඹ ගසක්’ කියල යි. නමුත් ඒ අඹ හලාහල විෂෙන් යුක්ත යි. යම් කිසි කෙනෙක් ඒ අඹ අනුභව කළොත් එසැනින් ඔහු ගේ ජීවිතය කෙළවර වෙනවා. අන්න ඒ වගේ ම සුන්දර විදියට පෙනෙන විෂ අඹ ගෙඩියක් වගේ ස්වරූපයෙන් යුක්ත ස්ත්‍රීන් ගේ පස්කම් ගුණයන්ට යම් කෙනෙක් වසඟ වුනොත් ඒ කෙනා වහා විනාශ වෙලා යනවා.

ඒ විතරක් නෙමෙයි යහලු පූර්ණමුඛ, තමන් ගේ ස්වාමිපුරුෂයා කාම සේවනයේ යෙදෙන්නට බැරි තරමට වයසට ගියා ම, ඒ ස්වාමිපුරුෂයාගේ ම ධනය වෙනත් මිනිසෙකු කරා යවා ඒ ධනය විනාශ කොට ඔහු සමඟ අනාචාරයේ හැසිරෙමින් ප්‍රීති වෙන්නට ත් මේ ස්ත්‍රීන් දක්ෂ යි.

මාර තොණ්ඩුවක්....

පින්වත් පූර්ණමුඛ, සමහර වැද්දෝ මුවන් වැනි සත්තුන් ව අල්ලා ගන්නට රහස් තැන්වල මල පුඩු තබනවා. අන්න ඒ වගේ මේ ස්ත්‍රී ජාතිය කියන්නේ මුලු ලෝකය ම අල්ලා ගැනීමට මාරයා එලපු සොර මල පුඩුවක් වගෙයි. අන්න ඒ නිසා ඒ වගේ ස්වරූපයෙන් යුක්ත ස්ත්‍රී ජාතිය ගැන යම් කිසි කෙනෙක් ලෝබ කරනවා නම් ඒ කෙනා සතෙක් වගෙයි.

ඒ විතරක් නො වෙයි, මේ ස්ත්‍රීන් කියන්නේ ශෝකය ම උපද්දවන ස්ථානයක් වගෙයි. රෝගයන්ට වාසස්ථානයක් වගෙයි. උපද්‍ර‍ව ඇති කරන්නට මාරයා වගේ දක්ෂ යි. ඒ වගේ ම දඩුවම් දීල බැඳ දමන දඟ ගෙයක් වගෙ යි. දහසකුත් එකක් මායාවන් සැඟවිලා තිබෙන ගුහාවක් වගෙයි. ඉතින් ඒ වගේ ගති ගුණ ඇති ස්ත්‍රීන් ගැන යම් කිසි කෙනෙක් විශ්වාස කරනවා නම් ඒ කෙනා සත්වයන් අතර අධම කෙනෙක් කියල යි, ඉස්සර කාලෙ ජීවත් වුන සත්පුරුෂයන් ප්‍රකාශ කළේ.

යහලු පූර්ණමුඛ, මේ විදියට මේ ලෝකයේ ස්ත්‍රීන් ගේ නුගුණ බොහොම යි. නමුත් බ්‍රහ්ම ලෝකයේ හැරෙන්නට වෙනත් කිසි ම තැනක ස්ත්‍රීන් ව නො දකින්නට ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා ඔවුන් ගැන පරිස්සමින් කටයුතු කළ යුතු යි.

ඉතින් මේ විදියට නොයෙක් ආකාරයෙන් ස්ත්‍රීන් ගේ නුගුණ ප්‍රකාශ කළ කුණාල රජතුමා තව දුරට ත් ස්ත්‍රීන් ගේ නුගුණ දක්වන්නට වුනා.

බැහැර නො තැබිය යුතු වස්තු හතර...

යහළු පූර්ණමුඛ, වෙනත් ගෙදරක නො තැබිය යුතු දේවල් හතරක් තිබෙනවා. ඒ තමයි කරත්තය, ගොනා, ගවදෙන, සහ භාර්යාව. යම් කෙනෙකුට කරත්තයක් ණයට දුන්නොත් ඒ කෙනා සීමාව ඉක්මවල ඒ කරත්තය ධාවනය කිරීම නිසා ඒ කරත්තේ රෝද කඩල දානවා. ඒ වගේ ම ප්‍රමාණය ඉක්මවලා බර ඇද්දවීමෙන් ගොනා ව මරල දානවා. පැටවු ඉන්න දෙනුන්ගෙන් ප්‍රමාණය ඉක්මවලා කිරි දෙවීම නිසා ඒ පැටවුන් ව මරලා දානව. ඒ වගේ ම තමයි හොඳට පතිවත රකින ස්ත්‍රියක් වුනත් ඤාති කුලයකට ගිහිල්ලා කාලය ගත කරන්නට පටන් ගත්තොත් පාපමිත්‍ර සේවනය නිසා දූෂණය වන්නට පුලුවන්. අන්න ඒ නිසා නුවණැති පුරුෂයා මේ කාරණා ගැන සැළකිලිමත් වෙලා ස්ත්‍රිය ඒ ස්ථානයන්ගෙන් ආරක්ෂා කරනවා.

පූර්ණමුඛ, ඒ වගේ ම අවශ්‍යතාවයක් යෙදුන විට දී ප්‍රයෝජනයට ගත නො හැකි වස්තූන් හයක් තිබෙනවා.

ඒ තමයි, දුනුදිය රහිත මින්න, නෑ කුලයෙහි සිටින බිරිඳ, පරතීරයේ තිබෙන නැව, කඩ ඇණය බිදුනු කරත්තය, දුර සිටිනා මිතුරා, පවිටු මිතුරා යන හය.

කරුණු අටකින් පහත් කරනවා...

ඉතින් පූර්ණමුඛ, ස්ත්‍රිය තමන් ගේ ස්වාමිපුරුෂයා ව කරුණු අටක් සම්බන්ධයෙන් පහත් කොට සිතනවා. තමන් ගේ ස්වාමිපුරුෂයා දිළිඳු නම්, රෝගී නම්, වයසට ගිහිල්ලා නම්, බේබදු කමට වැටිලා නම්, මෝඩ නම්, ගෘහ කටයුතු වල ප්‍රමාදී ව ඉන්නවා නම්, හැම වැඩක දී ම තමන්ට යටත් ව ඉන්නවා නම්, හැම ධනයක් ම තමන්ට දෙනවා නම්, යන කරුණු අටෙන් පහත් කොට සළකනවා. පහත් කොට සළකා අතහැර දමනවා.

ඒ වගේ ම මේ ස්ත්‍රීන් කරුණු නවයකින් තමන් තුළ ඇති ද්වේශය ප්‍රකට කරනවා. තමන් ගේ ස්වාමියාට නො දන්වා මල් වතු ආදියට යනවා, උද්‍යානවලට යනවා, ගංතොටට යනවා, නැදෑ ගෙවල්වලට යනවා, අනෙකුත් ගෙවල්වලට යනවා, කැඩපතින් බලමින් වස්ත්‍රාභරණයන් ගෙන් සැරසීමෙහි ම යෙදී සිටිනවා, මත්පැන් පානය කරනවා, කවුලු ආදියෙන් ඉවත බලාගෙන සිටිනවා. අඟපසඟ දක්වමින් දොරකඩ සිටගෙන සිටිනවා. මේ කරුණු නවය උපයෝගී කරගෙන සොර සැමියන් සමඟ ඇසුරට වැටෙන්නට ත් ඔවුන් දක්ෂ යි. ඒ මෙහෙම යි.

ඒ ස්ත්‍රීන් තමන් ගේ ස්වාමිපුරුෂයාට දන්වන්නේ නැතුව මල් වතු, ඵලවැල වතු ආදියට යනවා. ගිහිල්ලා ඒ ස්ථානවල දී සොර මිනිසුන් සමඟ වාසය කරනවා. ඊළඟට තමන් ගේ ගෙදරට ආපසු ඇවිල්ල, ‘මම මේ අහවල් වෘක්ෂ දේවතාවාට යාගයක් කරන්ට ගියා. බලි තොවිල් කරන්ට ගියා’ ආදී වශයෙන් බොරු කියමින් තමන් ගේ ස්වාමිපුරුෂයා ව සනසවනවා. ඒ වගේ ම ‘මට මෙන්න මෙයා මේ උදව්ව කරල දෙන්න එන්ට කිව්වා. දීපු ණයක් ඉල්ලාගන්ට තියෙනවා. මම මේ ඒක ඉල්ලගන්ට යනවා.’ ආදී වශයෙන් තමන් ගේ ස්වාපුරුෂයන්ට බොරු කියා, සොර සැමියන් කරා යනවා. ගිහිල්ලා තමන් ගේ කටයුතු ඉටු කරගන්නවා. ඊට පස්සේ ආපසු තමන් ගේ ගෙදරට ඇවිල්ලා, දොරකඩ හරි, ජනේලයක් ළඟ හරි සිටගෙන තමන් ගේ අඟපසඟ, බාහිර අයට පෙන්වනවා.

මෙන්න හතළිස් මායම්...

ඒ වගේ ම මේ ස්ත්‍රීන් ස්වාමිපුරුෂයා ව ඉක්මවා හැසිරීම පිණිස පර පුරුෂයන්ට ස්ත්‍රී ලීලා හතළිහක් පමණ දක්වනවා. යහලු පූර්ණමුඛ, ඒ ස්ත්‍රී ලීලා හතළිහ මෙන්න මෙහෙම යි.

සමහර ස්ත්‍රීන්, “අද ස්වාමිපුරුෂයා ගෙදර සිටිනවා නම් මේ සඤ්ඤාව දෙන්නම්, නො සිටිනවා නම් මේ සඤ්ඤාව දෙන්නම්” ආදී වශයෙන් තමන් ගේ සොර සැමියන් සමඟ කලින් ම කථා බස් කරගන්නවා. ඉන් අනතුරු ව ඔහු පැමිණි විට ඈනුම් ඇරීම ඇඟ මැලි කැඩීම (විජම්භති) ආදී ඒ සඤ්ඤා ලබා දෙනවා.

මේ ස්ත්‍රීන් යම් කිසි දෙයක් බිමට දමලා, ඒ දේ අරගන්නට නැමෙනවා වගේ බිමට නැමිලා (විනමති) තමන් ගේ පිට පැත්ත පෙන්වනවා. යාම් ඊම් ඉඳීම් සිටීම් සක්මන් කිරීම්, පැළඳගෙන සිටින ආභරණ ගැනීම් ආදී වශයෙන් විවිධාකාර විලාස දක්වනවා (විලාසති).

මේවා බොරු නො වේ....

(පර පුරුෂයන් ඉදිරියේ) අත් පා ඇඟිලිවලින් බිම ඉරි අඳිනවා (විලිඛති). එක වර ම තමන් ගේ ඇඳුම් ආදිය සකස් කරගෙන, පොරෝගෙන බිත්ති ජනේල, දොර කවුලු ආදියට හේත්තු වෙමින් ලැජ්ජාවට පත් වුනා (විලජ්ජති) මෙන් හඟවනවා. නියපොතු වලින් නියපොතු ගටනවා (නඛේන නඛං ගට්ටේති). එක් පයකින් අනෙක් පය පිරිමදිනවා (පාදේන පාදං අක්කමති). ලී කෝටුවලින් බිම ඉරි අඳිනවා (කට්ඨේන පඨවිං ලිඛති). තමන් ගේ හෝ අනුන් ගේ හෝ දරුවන් වඩාගෙන උඩට ඔසවනවා (දාරකං උල්ලංඝේති). නැවත පාත් කරනවා (ඕලංඝාපේති). ඒ දරුවන් සමඟ තමන් සෙල්ලම් කරනවා (කීළති). තමන් සමඟ ඔවුන්ට සෙල්ලම් කිරීමට අවස්ථාව ලබා දෙනවා (කීළාපේති). දරුවන් ව සිඹිනවා (චුම්භති). තමන් ව සිඹවාගන්නවා (චුම්භාපේති). ඒ දරුවන්ට කවනවා (භුඤ්ජති). ඒ දරුවන් ලවා තමන්ට කවාගන්නවා (භුඤ්ජාපේති). ඒ වගේ ම බාල දරුවන් අතට යම් කිසි මලක් හෝ ඵලයක් හෝ දෙනවා (දදති). නැවත එය ඉල්ලනවා (ආයාචති). කුඩා දරුවන් සෙල්ලමට යම් කිසි දෙයක් කළ විට තමනුත් එය නැවත කරනවා (කතමනුකරෝති). උස් හඬින් කියනවා (උච්චං භාසති). පහත් හඬින් කියනවා (නීචං භාසති). සිදු වූ යම් කිසි දෙයක් පිරිස මැද දී වසන් කොට කියනවා (අවිවිච්චං භාසති). පසු ව හුදෙකලාවේ විවේකයෙන් සිටින විට විවෘත කොට කියනවා (විවිච්චං භාසති). නැටීමෙන් (නච්චේන), ගී කීමෙන් (ගීතේන), වාදනය කිරීමෙන් (වාදිතේන), හැඬීමෙන් (රෝදිතේන), විවිධ විලාසිතා දැක්වීමෙන් (විලසිතේන), විවිධ ලෙස සැරසීමෙන් (විභූසිතේන) නිමිති දක්වනවා. මහ හඬින් සිනාසෙනවා (ජග්ඝති), හොරැහින් බලනවා (පෙක්ඛති). උකුල නටවනවා (කටිං චාලේති). රහස් පෙදෙස නටවනවා (ගුය්හභණ්ඩකං සඤ්චාලේති). කලවා පළල් කරනවා (ඌරුං විවරති). නැවත ඉක්මනින් හකුලා ගන්නවා (ඌරුං පිදහති). පියයුරු පෙන්වනවා (ථනං දස්සේති). කිහිල්ල ඔසවා පෙන්වනවා (කච්ඡං දස්සේති). ඇඳුම් බුරුල් කොට පෙකණිය පෙන්වනවා (නාභිං දස්සේති). ඇස් පොඩි කරනවා (අක්ඛිං නිඛණති). ඇහි බැම නටවනවා (භමුකං උක්ඛිපති). තොල සපනවා (ඔට්ඨං පලිඛති). දිව සොලවනවා (ජිව්හං නිල්ලාලේති). ඇඳුම් ලිහනවා (දුස්සං මුඤ්චති). නැවත අඳිනවා (දුස්සං පටිබන්ධති). කොණ්ඩය ලිහනවා (සිරසං මුඤ්චති). නැවත බඳිනවා (සිරසං බන්ධති).

ඉතින් පින්වත් පූර්ණමුඛ, මෙන්න මේ කරුණු හතළිහෙන් ස්ත්‍රිය ස්වාමිපුරුෂයා ව ඉක්මවා යෑම පිණිස (වෙනත් පුරුෂයන්ට) ලීලා දක්වනවා.

ද්වේශයෙන් යුතු ස්ත්‍රිය ‍හඳුනාගන්න....

ඒ වගේ ම යහලු පූර්ණමුඛ, කරුණු විසි පහකින් ද්වේශයෙන් යුතු ව සිටිනා ස්ත්‍රිය ‍හඳුනා ගත යුතු යි.

තමන් ගේ ස්වාමියා ව, ‘අහවල් ගමට දුන්න ණය ඉල්ලවාගෙන එන්න, අහවල් කටයුත්ත කරගෙන එන්න’ ආදී වශයෙන් කියා බැහැර යවනවා. ඒ වගේ ම ස්වාමිපුරුෂයා ගේ බැහැර වාසය කිරීම වර්ණනා කරනවා (පවාසං වණ්ණේති). ස්වාමිපුරුෂයා ව බැහැරට යවා සොර සැමියන් සමඟ අනාචාරයේ හැසිරෙනවා. ඒ වගේ ම බැහැරට ගිය තමන් ගේ ස්වාමිපුරුෂයා ව සිහිපත් කරන්නේ වත් නැහැ, (පවුත්ථං න සරති). බැහැර කටයුත්තකට ගිය ස්වාමිපුරුෂයා ආපසු පැමිණෙන විට ඒ පිළිබඳ කිසි ම අයුරකින් සතුටු වන්නේ නැහැ, (ආගතං නාභිනන්දති). තමන් ගේ ස්වාමිපුරුෂයා ගේ නුගුණ කියනවා, (අවණ්ණං තස්ස භණති). ඔහු ගේ කිසි ම ගුණයක් කියන්නේ නැහැ, (වණ්ණං තස්ස න භණති). ස්වාමිපුරුෂයාට අවැඩ සිදු කරනවා, (අනත්ථං තස්ස චරති). ඔහුට යහපතක් වන දෑ සිදු කරන්නේ නැහැ, (අත්ථං තස්ස න චරති). ඔහු වෙනුවෙන් නො කළ යුතු දෑ සිදු කරනවා, (අකිච්චං තස්ස කරෝති). කළ යුතු දෑ සිදු කරන්නේ නැහැ, (කිච්චං තස්ස න කරෝති).

බෝසත් නුවණ පුදුම යි...

තදට ඇඳුම් ඇඳගෙන නිදා ගන්නවා, (පරිදහිත්වා සයති). ඒ වගේ ම තමන් ගේ ස්වාමිපුරුෂයාට පිටුපා නිදා ගන්නවා, (පරම්මුඛී නිපජ්ජති). ඒ මේ අත පෙරලෙනවා, නපුරු වචන තෙපලනවා, (පරාවත්තකජාතා ඛෝ පන හෝති කුංකුමියජාතා). දීර්ඝ ව සුසුම් හෙළනවා, (දීඝං අස්සසති). ‘මට ඉසරදෙයි, මගේ බඩ රිදෙනවා’ ආදී වශයෙන් නොයෙක් ප්‍රලාප කියමින් තමන් වේදනාවෙන් පෙළෙන බව අඟවනවා, (දුක්ඛං වේදයති). නිතර නැගිටිමින් මල මූත්‍රාපහ කිරීම පිණිස පිටතට යනවා, (උච්චාරපස්සාවං අභිණ්හං ගච්ඡති). මේ විදියට කටයුතු කරමින් (පරපුරුෂ අපේක්ෂාවෙන්) සිය ස්වාමිපුරුෂයා ගේ කාම සේවන අදහස නැති කොට දමනවා.

ඒ වගේ ම තමන් ගේ ස්වාමිපුරුෂයා උණු භෝජන අවශ්‍ය බව කියූ විට සීතල ආහාර ලබා දෙනවා. සීතල දෙයක් කැමති වූ විට උණු භෝජන ලබා දෙනවා. මේ විදියට ස්වාමිපුරුෂයා ගේ අදහස් වලට විරුද්ධ දෑ ම සිදු කරනවා, (විලෝමං ආචරති). වෙනත් පුරුෂයෙකු ගේ ශබ්දයක් ඇසුණු සැණින් එයට තමන් ගේ කණ යොමු කරනවා, (පුරපුරිසසද්දං සුත්වා කණ්ණසෝතවිවරමෝදහති).

ඇවිදින දෙපා....

සිය ස්වාමිපුරුෂයා බොහෝ ම දුක් මහන්සි වී උපයා සපයා ගන්නා ධන ධාන්‍ය විනාශ කොට විසුරුවා දමනවා, (නිහතභෝගා ඛෝ පන හෝති). අසල්වැසියන් සමඟ අනවශ්‍ය ලෙස කෙලෙස් වැගිරෙන ආකාරයේ හිත මිතුරුකම් ඇති කරගෙන වාසය කරනවා, (පටිවිස්සකේහි සන්ථවං කරෝති). ඇවිදින කකුල්වලින් ම යුතු ව නිරන්තරයෙන් සොර සැමියන් මුණ ගැසීම පිණිස සංචාරයේ යෙදෙනවා, (නික්ඛන්තපාදා ඛෝ පන හෝති විසිඛානුචාරනී). තමන් ගේ සැමියා කෙරෙහි ද්වේශයෙන් යුතු ව නො සතුටු සිතින් යුතු ව ඔහු ඉක්මවා අනාචාරයේ හැසිරෙනවා, (අතිචාරිනී ඛෝ පන හෝති සාමිකේ අගාරවා පදුට්ඨමනසංකප්පා). නිරන්තරයෙන් දොරකඩට වී සිටිනවා, (අභිණ්හං ද්වාරේ තිට්ඨති). එසේ සිටගෙන කිහිලි වගේ ම අනෙකුත් අවයව ත් පියයුරු ආදිය ත් බැහැරට පෙනෙන සේ කටයුතු කරනවා, (කච්ඡානි, අංගානි, ථනානි දස්සේති). ඒ වගේ ම නිතර නිතර ඔබ මොබ ගොස් වටපිට බලනවා, (දිසෝදිසං ගන්ත්වා පෙක්ඛති).

ඉතින් පූර්ණමුඛ මෙන්න මේ කාරණාවලින් තමයි ද්වේශයෙන් යුතු ව සිටින ස්ත්‍රිය හඳුනාගත යුත්තේ.

‘සබ්බානදී වංකගතී සබ්බේ කට්ඨමයා වනා

සබ්බිත්ථියෝ කරේ පාපං ලභමානේ නිවාතකේ’

යහලු පූර්ණමුඛ, හැම ගංඟාවක් ම වක් වූ ගමනක් තමයි යන්නේ. හැම වනාන්තරයක් ම කොළ අතු ආදී කාෂ්ටමය දේවල්වලින් තමයි සෑදී තිබෙන්නේ. අන්න ඒ වගේ ම අවස්ථාවක් ලැබුනොත් හැම ස්ත්‍රියක් ම පාපී ධර්මයේ හැසිරෙනවා.

ඉතින් කථා බස් කරන්නට සුදුසු අවස්ථාවක් හෝ අනාචාරයේ හැසිරෙන්නට සුදුසු රහස් තැනක් හෝ ලැබෙනවා නම්, හැම ස්ත්‍රියක් ම වෙනත් පුරුෂයෙක් නැන්නම් කුණු ශරීරයක් ඇති, සහමුලින් ම දෑත් දෙපා නැති කුදෙක් සමඟ හෝ අනාචාරයේ හැසිරෙනවා.

මේ කාන්තාවන් කියන්නේ මිනිසුන් ගේ සිත් වල ඇල්ම ඇති කරවන පිරිසක්. නොයෙක් පුරුෂයින් පිළිබඳ ව හිත හිතා ඉන්නා පිරිසක්. නිග්‍රහ කරලා දොස් පෙන්වලා දීල හික්මවන්න බැරි පිරිසක්. මේ ස්ත්‍රීන් ව මුලු හිතින් ම සතුටු කළ ත්, ඔවුන් හැසිරෙන්නේ වෙසඟනන් වගෙයි. අන්න ඒ නිසා නුවණැති මිනිසුන් ඔවුන් ව විශ්වාස කරන්නේ නැහැ. ස්ත්‍රීන් කියන්නේ හැම දෙනාට ම පොදු තොටුපොලවල් වගෙයි.

ඉතා මත් පිළිකුල් ස්වරූපයෙන් යුක්ත කොර මිනිසුන් ගැන දැඩි සෙනෙහසින් කාලය ගත කළ ස්ත්‍රීන් පිළිබඳ ව බොහෝ විස්තර දැන ගන්නට පුලුවන්.

යහලු පූර්ණමුඛ දැන් මම ඔබට කියන්ට යන්නේ ඒ වගේ කථාවක්.....