“යහලු පූර්ණමුඛ, ගොඩක් ඉස්සර මේ දඹදිව ම බරණැස් කියලා නුවරක් තිබුනා. ඒ නුවර ‘බක’ කියන රජතුමා ඉතාමත් දැහැමින් සෙමෙන් රාජ්‍ය පාලනය සිදු කරමින් වාසය කළා.
ඒ නුවර නැගෙනහිර වාසල් දොරටුවෙන් පිටත වීදියක එක්තරා දුප්පත් ගෙදරක ‘පංචපාපා’ යන නම තිබෙන දියණියක් වාසය කළා.
ඇය පෙර ජීවිතයක ත් දුප්පත් ගෙදරක යි ඉපදී සිටියේ. ඉතින් ඒ පෙර ජීවිතයේ එක දවසක ඇය තමන් ගේ නිවසට මැටි ගැසී ම පිණිස මැටි අනාගෙන ගසමින් සිටියා. එදින ම පසේ බුදු රජාණන් වහන්සේ නමකට තමන් වහන්සේ වාසය කරන පර්වත ගුහාවේ මැටි ආලේප කරගැනීමේ අවශ්‍යතාවයක් ඇති වුනා. ඒ පසේ බුදු රජාණන් වහන්සේ මැටි ලබා ගන්නේ කෙසේ දැ යි කියා කල්පනා කොට, බරණැස් නුවර සමීපයට වැඩිය හොත් ලබා ගැනීමට හැකි වේ යැයි සිතා, පාත්තර සිවුරු රැගෙන අර ස්ත්‍රිය සිටින නිවස අසලට ගොස් වැඩ සිටියා.
එම ස්ත්‍රිය සිතුවේ පසේ බුදු රජාණන් වහන්සේ පිණ්ඩපාතය පිණිස වැඩම කොට සිටිනවා කියා යි. නමුත් නිවසේ ආහාර පාන තිබුනේ නැහැ. එම නිසා ඇය ඒ බව පසේ බුදු රජාණන් වහන්සේට අඟවා සිටියා. නමුත් පසේ බුදු රජාණන් වහන්සේට අවශ්‍ය වන්නේ මැටි නිසා පසේ බුදුජාණන් වහන්සේ ආපසු වැඩියේ නැහැ. එතැන ම වැඩ සිටියා.
මේ බව දුටු අර ස්ත්‍රියට පසේ බුදු රජාණන් වහන්සේ ගැන ද්වේශයක් ඇතිවුනා. මුහුණ පුලුටු කරගෙන පසේ බුදු රජාණන් වහන්සේ දෙස රවා බැලුවා. ඉන්පසු ව, “මේ හාමුදුරුවන්ට, මැටි ත් පුදුම දෙයක් වගේ යි..” කියා සිතා විශාල මැටි පිඩක් ගෙනැවිත් පසේ බුදු රජාණන් වහන්සේ ගේ පාත්‍රයට දැම්මා. පසේ බුදු රජාණන් වහන්සේ ත් එම මැටි රැගෙන ගොස් තමන් වහන්සේ වැඩ වසන පර්වත ගුහාවේ මැටි ආලේප කළා.
ඉතින් අර ස්ත්‍රිය, පසු කලෙක ආයුෂ ගෙවී යෑමෙන් කලුරිය කළා. අවශ්‍ය කුමක් දැ යි නො දැන, නො සිතා නමුත් මැටි පිළිගැන්වූ නිසා ඒ කුශල කර්මයේ විපාකයක් වශයෙන් දිව්‍යමය පහසක් බඳු ශරීර පහසක් ඇතුව බරණැස් නුවර සමීපයේ මුලින් සඳහන් කළ ස්ථානයේ ඇය ඉපදුනා. පසේ බුදු රජාණන් වහන්සේ දෙස කිපී බැලූ නිසා මුහුණ ත්, අත් දෙක ත්, කකුල් දෙක ත් යන ස්ථාන පහ විරූපී ව තමයි ඇය ඉපදුනේ. මේ කාරණය නිසා තමයි ඇයට පංචපාපා යන ලැබුනේ.
ඉතින් දිනක් බරණැස් රජ්ජුරුවෝ රාත්‍රී කාලයේ අප්‍රසිද්ධ ව වෙස්වලාගෙන තමන් ගේ නුවර පරීක්ෂා කිරීම පිණිස පිටත් වුනා. නුවර පරීක්ෂා කරමින් ඇන අතරතුර පංචපාපා ගේ නිවස ඇති දිසාවට ත් පැමිණුනා. පංචපාපා ත් තමන් ගේ සොහොයුරු සොහොයුරියන් සමඟ කෙළිදෙලෙන් කාලය ගත කරමින් තමයි සිටියේ. ඇය එකවර ම නො දැන ගොස් රජතුමා ගේ අතින් ඇල්ලුවා. ඒ ස්පර්ශය ත් සමඟ ම දිව්‍යමය ස්පර්ශයක් ලැබූ කෙනෙක් මෙන් රජතුමාට ප්‍රකෘති ස්වරූපයෙන් සිටින්නට නො හැකි වුනා. ඒ කුමාරිකාව ගැන දැඩි කැමැත්තක් ඇති වුනා.
ඇය විරූපී වුනත් රජතුමා ඇගේ අත අල්වාගෙන, ‘ඔබ කාගේ දියණියක් දැ’යි කියා විමසා සිටියා. එවිට ඇය, තමන් අසවල් වීදියේ ජීවත් වන දුප්පත් තැනැත්තියක් බව රජතුමාට ප්‍රකාශ කළා. ඉන්පසු රජතුමා ඇගෙන් විවාහ වී සිටින තැනැත්තියක් ද නැද්ද යන වග විමසා සිටියා. ඇය විවාහ දිවියට පත් නො වූ තැනැත්තියක් බව දැන ගත් රජතුමා, “මම කැමති යි ඔබ ව විවාහ කරගන්නට. ඒ බව ඔබ ගේ දෙමව්පියන්ට ඉක්මණින් ගොස් කියන්න” කියා ඇය ව පිටත් කොට හැරියා.
ඇය ත් තමන් ගේ නිවසට ගොස් තම දෙමව්පියන්ට ඒ බව පවසා කළ යුත්තේ කුමක් ද කියා විමසා සිටියා. එවිට දෙමව්පියන් මෙසේ පවසා සිටියා.
“අනේ ඔහු අපිට ත් වඩා දුප්පත් කෙනෙක් වගෙයි. කමක් නෑ. දෙන්න ම කැමති නම් මේ විවාහයට අපි ත් කැමති යි”
ඇය රජතුමා වෙත ගොස් ඒ බව ඔහුට ප්‍රකාශ කළා. රජතුමා ත් එදින ඇගේ නිවසේ සැතපී පාන්දරින් ම රජමාලිගාවට පිටත් වුනා. එදින පටන් රජතුමා නිරන්තරයෙන් ම රජගෙදරින් පිටත් වී වෙස්වලාගෙන පංචපාපා ගේ නිවසට ගොස් ඇය ත් සමඟ සැතපෙනවා. වෙන කිසි ම ස්ත්‍රියක ගේ මුහුණවත් බලන්නේ නැහැ.
මේ විදියට ටික කාලයක් ගත වුනා. හදිසියේ ම පංචපාපා ගේ පියාණන්ට ලේ ග්‍රහණි රෝගයක් වැළදුනා. වෛද්‍ය වරුන්ගෙන් ඒ ගැන අහපුවා ම ඔවුන් පැවසුවේ. කිරි, මීකිරි ගිතෙල් හකුරු යොදා දිය මිශ්‍ර නො කොට සාදන ලද කිරිබතක් අනුභව කළොත් ඒ රෝගය සුව වන බව යි. නමුත් ඔවුන් දුප්පත් නිසා එවැනි ආහාරයක් සකස් කරගන්නට හැකියාවක් තිබුනේ නැහැ. ඒ නිසා පංචපාපාවන් ගේ අම්මා ඇයට මෙහෙම කිව්වා.
“දුවේ, උඹේ මනුස්සයාට වත් කියල බලපං. උන්දැට වත් පුලුවන් වෙයි ද කියල මේ කිරිබත ගෙනත් දෙන්ට.”
“අනේ අම්මේ.. එයා අපිට ත් වඩා දුප්පත් කෙනෙක් කියල යි මට හිතෙන්නේ. ඒ උනත් මම කියල බලන්නම්. අම්මා දුක් නොවී ඉන්නකො..” පංචපාපා පිළිතුරු දුන්නා.
එදා රජ්ජුරුවෝ එන වෙලාවට පංචපාපා කථාබස් නො කර දුකින් වගේ හිටියා. රජතුමා ඒ ගැන විමසූ විට කාරණය ඔහුට කියා සිටියා. එවිට රජතුමා, “සොඳුරිය, මේක නං පෝසතුන් ගේ බෙහෙතක්. අනේ ඉතින් මම කොහොම ද මේ වගේ බෙහෙතක් ලබා ගන්නේ..” කියා කිව්වා. ඒ වගේ ම රජතුමා මෙහෙම ත් කල්පනා කළා.
“මම මේ විදියට හැම දවසක ම මේ ගෙදරට එන්නට පටන් ගත්තොත් ඒක මට අනතුරුදායක යි. මේ තැනැත්ති ව අන්තඃපුරයට ගෙනිච්චොත්, ‘අපේ රජ්ජුරුවෝ යකින්නක් ගෙනල්ල අන්තඃපුරයට දැම්මා’ කියල බිසවුන් වහන්සේලා මට විහිලු කරන්ට පුලුවන්. ඒක හින්ද මේ නගරයේ ඉන්න හැම දෙනාට ම මැය ගේ ශරීර පහස පෙන්වල, නින්දාවෙන් මිදිල, අන්තඃපුරයට අරගෙන යන්ට ඕනෙ”
එහෙම හිතපු රජතුමා, ‘හොඳයි සොඳුරිය, මම කොහොම හරි ඒ වගේ කිරිබතක් අරන් එන්නම්. ඔබ ශෝක කරන්ට එපා.” කියල ඇය ව සැනසෙව්වා. ඉන් පසු රජතුමා එදා පංචපාපා සමඟ ගතකොට, පසුවෙනිදා උදේ ම රජගෙදරට ගියා. ගිහිල්ලා සුදුසු අකාරයෙන් කිරිබතක් සකස් කරවා ගත්තා. කොලපත් ගෙන්වා ගෙන බත්මුල් දෙකක් බඳින්ට පටන් ගත්තා. ඒ බඳින අතරතුර එක් බත්මුලක් ඇතුළට තමන් ගේ හිස පළඳින මැණික දමා බත් මුල එතුවා.
ඉතින් එදා හැන්දෑවේ මේ බත් මුල් දෙක ත් අරගෙන පංචපාපා බලන්ට ගිය රජතුමා ඒ බත් මුල් දෙක ඇගේ අතේ තබල මෙහෙම කිව්වා. “මම බොහොම දුප්පත් කෙනෙක්. මේ බත් මුල් දෙක ත් බොහොම අමාරුවෙන් තමයි හොයා ගත්තේ. අද මෙන්න මේ බත් මුල කන්ට කියන්න. හෙට මේ බත් මුල කන්ට කියන්ට.” ඒ විදියට කියපු රජතුමා මැණික දාපු බත් මුල පසුවදාට අනුභව කරන විදියට කටයුතු යොදා බත් මුල් දෙක වෙන වෙන ම පංචපාපා අත තැබුවා.
පංචපාපා ත් රජු පැවසූ ලෙසට ම පවසා පියාණන්ට බත් මුල දුන්නා. ඉතින් ගොඩාක් රසවත් විදියට, බොහොම පෝෂණ ගුණයකුත් ඇතිව හදපු බතක් නිසා, ටිකක් අනුභව කරපුවා ම ඒ පියා ගේ අසනීපය අඩු වුනා. ඒ බත් මුලෙන් ඉතුරු බත් පංචපාපා ගේ මව ත් අනුභව කළා. මැණික දාපු බත් මුල පහුව දා අනුභව කරන්නට තබා ගත්තා.
රජ්ජුරුවොත් පහුවදා රජ මාලිගාවට ගිහිල්ලා, මුහුණ කට සෝදාගෙන, තමන්ට පැළඳීම පිණිස චූඩා මාණික්‍ය රැගෙන එන්න කියා සේවකයෙකුට පැවසුවා. සේවකයා මැණික තබන තැන බැලුවත් එය එතැන නැති නිසා රජතුමාට ඒ බව පැවසුවා.
ඉතින් රජතුමා ඇතුල් නුවර රැකවල් යොදා වහා ම පරීක්ෂා කරන්න කියා අණකළා. ඒ විදියට පරීක්ෂා කළත් මැණික සොයා ගන්නට ලැබුණේ නැහැ. එවිට ‘පිටිනුවර දිළිඳු නිවෙස්වල පවා, සැළිවලං ආදියේ ත් කොළවල ඔතන ලද ආහාර පාන ආදියේ ත් පරීක්ෂා කරන්ට’ කියා රජතුමා ගෙන් අණ ලැබුනා.
ඉතින් ඒ විදියට පරීක්ෂා කරන විට පංචපාපා ගේ ගෙදර බත් මුල ඇතුළේ තිබී මැණික ලැබුණා. රාජ පුරුෂයින් ඇගේ දෙමව්පියන් අත්අඩංගුවට ගෙන ‘මෙන්න දේවයන් වහන්ස හොරු’ කියා රජතුමා ළඟට රැගෙන ආවා. රැගෙන විත් කරුණු විමසා සිටියා.
එවිට පංචපාපා ගේ පියා රජතුමාට මෙහෙම කිව්වා.
“අනේ රජතුමනි, මේ මැණික ගත්තේ අපි නම් නොවෙයි. ඕක බත් මුලක් අස්සේ දාලා අපිට ගෙනත් දුන්නේ වෙන කෙනෙක්”.
“එහෙනම්, කවුද මේ මැණික හොරකම් කරල ගෙනත් දුන්නේ...?”
“දේවයන් වහන්සේ ඔය බත් මුල අපිට ගෙනත් දුන්නේ අපේ බෑණා කෙනෙක්”
“දැන් කොහෙද ඒ බෑණා ඉන්නේ..?”
“අනේ දේවයන් වහන්ස අපි නම් දන්නේ නැහැ. අපේ දියණිය නම් දන්නවා.”
දෙමව්පියන් ඒ විදියට කිව්වා ම පංචපාපාගෙන් ඒ පිළිබඳ ව අසා දැන ගන්නා ලෙස රජතුමා අණකළා. ඇයගෙන් ඒ ගැන ඇසූවිට ඇය පැවසුවේ. තමන් ගේ ස්වාමිපුරුෂයා රාත්‍රියේ ම පැමිණ රාත්‍රියේ ම පිටත් වන නිසා තමන් ඔහු හඳුනන්නේ නැති බව යි.
රාජ පුරුෂයින් ඒ බව රජතුමාට දැන්නුවා. එවිට රජතුමා අමුතු ම උපක්‍රමයක් යෙදුවා. පංචපාපා ව රාජාංගනයට ගෙන්වා, අත දමන්නට පමණක් හැකි කවුලුවක් සහිත තිරයකින් ඇය ව වට කරන ලෙස ත්, ඉන් පසු ව මුලු ප්‍රදේශයේ ම මිනිසුන් රැස් කරවා ඔවුන් ගේ අත් අර කවුලුවෙන් ඇතුළට දැමූ පසු එම අත් අල්ලා බලා ස්පර්ශයෙන් තමන් ගේ ස්වාමිපුරුෂයා ව අල්ලා දෙන ලෙස ඇයට පවසන ලෙස ත් රජතුමා රාජ පුරුෂයන්ට අණකළා. ඉන්පසු රාජ පුරුෂයෝ ත් පංචපාපා සිටින තැනට ගොස් ඇගේ රූපය දැක, නො සතුටු ඉතා පිළිකුලෙන් යුතු ව අතින් නො අල්ලා ම රාජාංගනයට ගෙනැවිත් කවුලුවක් ඇති තිරයකින් වට කළා. ඉන් පසු ව ප්‍රදේශයේ මිනිසුන් රැස් කරවා කවුලුවෙන් ඇතුළට අත දමන්නට අණ කළා.
පංච පාපා ත් තිරය ඇතුළේ සිට දමන දමන අත අල්ලා බලා ‘මොහු නො වෙයි, මොහු නො වෙයි’ කියා හැර දමනවා. ඉතින් ඇගේ ඒ ස්පර්ශය ලැබූ හැම මිනිසෙක් ම දිව්‍ය පහසක් බඳු ඒ හස්ත ස්පර්ශයට ඇලී ඈතට නො ගොස් ළඟ ම සිටිනවා.
‘මේ ස්ත්‍රියට දඩ නියම කරනවා නම්, ඒ දඩය ගෙවා හෝ, මැයට වහල් හෝ මගේ භාර්යාව කරගන්නවා කියා’ සිතමින් හැම මිනිහෙක් ම දුර නො ගොස් සිටින්නට වුණා. වචනයෙන් කියා ඔවුන් ව ඉවත් කරන්නට නො හැකි වූ නිසා රාජපුරුෂයින් පොලු මුගුරු ගෙන පහර දෙමින් ඔවුන් ව බැහැර කරන්නට පටන් ගත්තා. සියලු ම සෙනෙවිවරු, ඈපාවරු, මාපාවරු, ඇතුලු ව යුවරජ්ජුරුවෝ පවා වියරු වැටුනවුන් මෙන් එතැන ම කැරකෙන්නට වුනා.
සියලු ම නගර වාසීන් විමසා බලා නිම වුනත් සොරා සොයා ගන්නට හැකි වුනේ නැහැ. ඉතින් අවසානයේ ඉතිරි වුනේ රජතුමා පමණ යි. රජතුමා ත්, “මම ද එහෙනම් හොරා” යනුවෙන් පවසමින් ගොස් කවුලුවෙන් ඇතුළට අත දැම්මා.
රජතුමා ගේ අත අල්ලාගත් පංචපාපා, ‘මෙන්න හොරා, මෙන්න හොරා’ කියා, රජු ගේ අත අල්ලාගෙන ම මහ හඬින් කෑගැසුවා. ඉතින් රජතුමා ඇය අත අල්ලගෙන සිටිද්දී ම, ඇමති වරුන්ගෙන් ඔවුන් සිතන්නේ කුමක් ද කියා විමසුවා. ඒ ඇමතිවරු ත් තමන්ට හිතුණු හිතුණු දේවල් කිව්වා.
ඉතින් රජතුමා, ඇමතිවරුන්ට මෙහෙම කිව්වා.
“ඇමතිවරුනි, මැය ගේ පහස නො දන්න ඔබලා සියලු දෙනා ම මට නින්දා කරයි කියා මම බය වුනා. මගේ අන්තඃපුරයට මැය ඇතුල් කරගන්නා අදහසින් තමයි මම මෙය සිදු කළේ. ඉතින් දැන් මට කියන්න, මේ තැනැන්තිය වඩා ත් සුදුසු කාට ද?” එ සියලු දෙනා ම ‘ඔබ වහන්සේට යි සුදුසු’ කියා රජතුමාට පිළිතුරු දුන්නා.
ඊට පස්සේ රජතුමා ඇය ව සත්රුවන් ගොඩක් උඩ සිටුවා පැන් වත්කොට තමන් ගේ අගබිසවුන් බවට පත් කරගත්තා. ඇගේ දෙමව්පියන්ට ත් මහත් වූ සැප සම්පත් ලබා දුන්නා.
ඉන් අනතුරු ව සිදු වුනේ හරි ම පුදුම දෙයක්. පංචපාපා ව අගමෙහෙසිය කරගත් දා පටන් රජතුමා නඩු විසඳන්නේ වත්, වෙන කිසි ම රාජකාරියක් කරන්නේ වත් නැහැ. ඒ විතරක් නොවෙයි අන්තඃපුරයේ සිටින දහසය දහසක් පමණ බිසෝවරුන්ගෙන් එක් බිසවක් දෙසවත් රාගයෙන් යුක්ත ව බලන්නේ නැහැ. ඉතින් ඒ අනෙකුත් බිසෝවරු ඉරිසියාවෙන් යුතු ව තොරතුරු පරීක්ෂා කරමින් සිටියා.
එක් දිනක් මේ පංචපාපා නම් බිසව, තමන් සුදු පැහැති ඇතෙක් පිට නැඟී සඳමඩල පිරිමදිනවා සිහිනයෙන් දුටුවා.
ඉතින් මේ සිහිනය ගැන රජතුමාට පැවසූ විට රජතුමා නිමිති ශාස්ත්‍ර දන්නා නිමින්තපාටකයින් ගෙන්වා ඒ ගැන විමසුවා. ඒ සිහිනයේ සැබෑ අරුත වන්නේ ඇය රජවරුන් දෙදෙනෙකු ගේ බිසව බවට පත් වෙනවා යන්න යි. නමුත් නිමින්තපාටකයින් අනෙකුත් බිසෝවරුන්ගෙන් කලින් ම අල්ලස් ලබා ගෙන යි සිටියේ. ඒ නිසා ඔවුන් බොරුවක් ගොතා මෙසේ කිව්වා.
“මහරජතුමනි, බිසවුන් සුදු ඇතෙක් පිට සිටීමේ අර්ථය නම් ඔබ වහන්සේ මරණයට පත් වෙන බව යි. සඳමඬල පිරිමැදීමේ අර්ථය වන්නේ නුඹ වහන්සේ සතුරු රජු අතට හසුවන බව යි.”
ඉතින් මේ කථාව අහපු රජතුමා බොහොම භයට පත් වුනා. බය වෙලා ඔවුන් ගෙන් කළ යුතු දේ ගැන විමසුවා. එ ඒ නිමින්ත පාටකයින් මෙහෙම කිව්වා.
“රජතුමනි ස්ත්‍රීන්ට වද දෙන එක සුදුසු දෙයක් නො වෙයි. එය කළ නො හැකි දෙයක්. නමුත් කළ හැකි එක දෙයක් තිබෙනවා. බිසවුන් වහන්සේ ව නැවකට නංවා ගංගාවේ පාකොට හරින්න.”
ඉන්පසු රජතුමා බිසවුන් වහන්සේ ව නැවකට නංවා, ඒ නැවට ප්‍රමාණවත් පරිදි කෑම බීම වස්ත්‍රාභරණ ආදිය ත් දමා මධ්‍යම රාත්‍රියේ දී ගංගාවට මුදා හැරියා.
ඉතින් පසුවදා ඒ නැව පාවරිය කියන රජතුමා ගේ රාජධානිය අසලින් ගමන් කරන්නට පටන් ගත්තා. එදා පාවරිය රජතුමා පිරිවර ත් සමඟින් නැඟී ජල ක්‍රීඩාදියෙහි යෙදේ සිටියා. ඉතින් පංචපාපා බිසවුන් වහන්සේ ව රැගත් නැව ඉස්සෙල්ලා ම දැක්කේ පාවරිය රජතුමා ගේ සෙනෙවිරත්තුමා යි. ඔහු ඒ නැව දැකලා නැව මා සතු යි කියා කිව්වා. රජතුමා එය අසා නැවේ තිබෙන දේ මා සතු යි කියා කිව්වා.
නැව සමීපයට ආවා. නැවේ සිටි යකින්නක් බඳු පංචපාපා බිසව දුටු රජතුමා, ‘ඔබ කවුරුන් ද..?’ කියා ඇසුවා. එ ඒ බිසව සිනා සී, ‘බක නම් රජු ගේ පංචපාපා බිසව කියන්නේ මට තමයි’ ආදී වශයෙන් සිහිනයක් දැකීමේ පටන් සියලු විස්තර ඒ රජතුමාට පැවසුවා.
මේ බිසව ගේ නම ඒ වනවිට ප්‍රසිද්ධ එකක් වී තිබුණා. ඉතින් පාවරිය රජතුමා, “එහෙනම් ඔබ ද පංචපාපා බිසව කියන්නේ” කියා බිසවුන් ගේ අතින් ඇල්ලුවා.
අත ඇල්ලූ පමණින් ම ඒ ශරීර පහස ගැන පවාරිය රජු ගේ සිතේ දැඩි රාගයක් හට ගත්තා. ඒ රජතුමා ත් පංචපාපා බිසව තමන් ගේ අග මෙහෙසිය බවට පත් කරගත්තා. ඉතින් එදා පටන් පාවරිය රජු ත් වෙන කිසි ම බිසවක ගේ මුහුණවත් බලන්නේ නැහැ. ඒ පංචාපාපා තොමෝ පාවරිය රජු ගේ ජීවිතය බඳු වුනා. මේ විස්තරය බක රජතුමාට අසන්නට ලැබුණා. ඉතින් බක රජතුමා මොකද කළේ, ‘මගේ බිසව පාවරිය රජු ගේ අග මෙහෙසිය කරගෙන සිටීමට ඉඩ දෙන්නේ නැහැ කියා’, සේනාව රැස් කරගෙන මහත් අභිමානයක් උපදවාගෙන පාවරිය රජු ගේ නුවරට මෙගොඩින් නුවරක් තනාගෙන, “එක්කෝ බිසව එවනව ද? නැත්නම් යුද්ධ කරනව ද?” කියා පණිවිඩයක් යැව්වා.
ඒ පණිවිඩය ඇසූ පාවරිය රජතුමා ත් යුද්ධයට සූදානම් වුනා. මේ සිදුවීම දැකපු රජවරු දෙන්නා ගේ ම මන්ත්‍රීවරු මේ විදියට එකිනෙකා සමඟ කතාබස් කළා.
“පළමු ස්වාමියා බක රජු නිසා, මේ බිසව බක රජතුමා සතු යි. නැවින් යන විට ලබා ගත් නිසා මේ බිසව පාවරිය රජතුමා ත් සතු යි. ඉතින් අන්න ඒ නිසා මේ බිසව එක රජකෙනෙක් ගාව දවස් හත බැගින් රජවරු දෙදෙනා ගාව ම සිටිය යුතු යි”. එසේ කතිකා කරගත් ඇමතිවරු එය රජවරුන්ට ත් දැනුම් දී ඔවුන් ව සංසිඳවෙව්වා.
ඉතින් මේ පංචපාපා දැන් රජවරු දෙදෙනාට ම අයිති යි. ඇය දවස් හතක් බක රජතුමා ළඟ සිටිනවා. ඉන්පසු ව ඔරුවක නැඟී පවාරිය රජතුමා ළඟට ගොස් ඔහු ළඟ දවස් හතක් සිටිනවා. මේ විදියට එතෙර මෙතෙර යන අතරේ ගඟ මැදට පැමිණි විට, එම රජවරුන් දෙදෙනා ත් මදි වී, ඔරුව පදින කබර හැදුනු කොර මාලුකාරයා සමඟ ත් මේ පංචපාපා අනාචාරයේ හැසිරෙන්නට පටන් ගත්තා.”