කෝසල බිසවගේ කථාව

වයසට ගියාට කෙළෙස් අඩු වෙන්නේ නෑ...

“යහළු පූර්ණමුඛ, බොහෝ ම ඈත අතීතයේ බරණැස් නුවර බඹදත් නමින් රජ කෙනෙක් සිටියා. ඒ රජතුමා ගේ පියා වුනේ කෝසල දේශයේ කොසොල් රජතුමා යි. ඉතින් මේ කොසොල් රජු ගේ බිසවට, ඒ කියන්නේ බඹදත් රජු ගේ මෑණියන්ට තමන් ගේ පුතා වූ බඹදත් රජු ව දකින්නට බරණැස් නුවරට යන්නට අවශ්‍ය වුනා. ඉතින් ඇය රජතුමා ගේ ද අවසර අරගෙන මහ පෙරහැරකින් බරණැස් නුවරට පිටත් වුනා. ඒ යන අතර තුර කොසොල් රටට ත් බරණැස් නුවරට ත් අතරතුර එක්තරා නියම් ගමක ලැගුම් ගත්තා. ඒ බ්‍රාහ්මණ ගමේ ඉතාමත් කඩවසම් පඤ්චාල චණ්ඩී යන නමින් යුත් කුමාරයෙක් සිටියා. මේ කුමාරයා ඒ බිසවුන් වහන්සේට තෑගි බෝග යවා තමන්ට ඇය ත් සමග කාමසේවනයේ යෙදෙන්නට අවශ්‍ය බව දන්වා සිටියා. බිසවුන් වහන්සේ ත් ඒ පඬුරු පිළිඅරගෙන කුමාරයා ගේ කඩවසම් භාවය ත් දැක බලා ගත්තා. ඉන් පස්සේ ඒ කුමාරයා කෙරෙහි රාගයෙන් යුතු ව ඔහු ත් සමඟ කාමසේවනයේ යෙදෙමින් එහි ම කිහිප දවසක් කාලය ගත කළා. පසු ව කොසොල් රටට ගොස් තමන් ගේ පුතණුවන් බැහැ දැක, නැවත එම ගමට පැමිණ, එහි දවස් කිහිපයක් අනාචාරයේ හැසිරෙමින් ගතකොට බරණැස් නුවරට ගියා.

ඉතින් මේ බිසව එතැන් සිට නිරන්තරයෙන් ම නොයෙක් හේතු දක්වමින් තමන් ගේ පුත් රජු බලන්නට යනවා. ඒ යන එන අතරතුර අර ගමෙහි දවස් කිහිපය බැගින් නැවතී සිටිමින් බ්‍රාහ්මණ කුමාරයා සමඟ අනාචාරයේ හැසිරෙනවා.....