ගොඩාක් ඉස්සර කාලේ දඹදිව කසී රටේ බ්‍රහ්මදත්ත කියල රජ්ජුරුකෙනෙක් වාසය කළා. ඒ රජතුමා කොසොල් රටේ කොසොල් රජතුමා ව මරණයට පත් කරල ඒ රාජ්‍ය තමන් ගේ යටතට ගත්තා. ඒ වගේ ම ගර්භනී ව හිටපු කොසොල් රජතුමා ගේ අග්‍ර මහේෂිකාව, ගර්භනී බව දැන දැන ම තමන් ගේ අගමෙහෙසිය බවට පත් කර ගත්තා.
ඒ බිසව දසමසක් ගත වුනාට පස්සේ රන් රූපයක් වගේ සුන්දර පුත් කුමරෙක් බිහි කළා. ඒ කුමරා ව දැකපු රජ බිසව මෙහෙම කල්පනා කළා. “මේ පුතා වැඩිවියට පත් වුනා ම, මේ මගෙ හතුරගෙ පුතා නෙ කියල, බරණැස් රජතුමා මේ දරුවා ව මරන්නට පුලුවන්. අනුන් අතින් මැරෙනවාට වැඩිය මගේ පුතා, නිකම්ම මැරිල යනවා නම් හොඳ යි.”
එහෙම හිතපු රජ බිසව, කිරි මවකට කථා කරල, දරුවා ව රෙදි කැබැල්ලක නිදි කරවල, සොහොනට ගිහින් දමන්න කියා ඇයට භාර දුන්නා.
ඇය ත් ඒ විදියට ම වැඩ කටයුතු සිදුකළා.
මියගිය කොසොල් රජතුමා ඒ වෙනකොට දෙවිකෙනෙක් වෙලා තමයි ඉපදිලා හිටියේ. ඉතින් ඒ දේවතාවා තමන් ගේ දරුවා සොහොනට දමනවා දැකල, ඒ වෙලේ ම ගිහින් ආරක්ෂාව පිණිස රැකවල් දමා ගත්තා.
ඉතින් ඒ ආරක්ෂක දේවතාවා ගේ ආනුභාවය නිසා, ගොපල්ලෙකුට අයිති එලුවන් රංචුවකින් එක්තරා එළු දෙනක් අර පුංචි කුමාරයා ව තමන් ගේ කකුල් අතර තබා ගෙන දණ බිම ඇණගෙන කිරි පොවන්නට පටන් ගත්තා. මේ විදියට දවසට තුන් හතර වතාවක් ම කිරි පොවා, එතැනින් බැහැර නො වී සමීප ස්ථානවල ම ඇවිදිමින් ගොදුරු කනවා. එළුවන් බලා ගන්නා ගොපල්ලා එළු දෙන ගේ මේ ක්‍රියාව දැක්කා. ඉන් පසු ළඟට ගිහින් විපරම් කොට බැලුවා.
එවිට එතැන වැතිර සිටි රන් රුවක් මෙන් සුන්දර ළදරුවා ව මේ එළු ගොපල්ලාට දැක ගන්නට ලැබුණා. ඉතින් ඔහුට මේ පුංචි කුමාරයා ගැන දරු සෙනෙහසක් ඇති වුනා. ඊට පස්සේ ඒ ගොපල්ලා මේ දරුවා ව තමන් ගේ නිවසට රැගෙන ගිහින් භාර්යාව අතට පත් කළා. නමුත් ඒ භාර්යාව වඳ ස්ත්‍රියක්. ඒ නිසා දරුවාට කිරි දෙන්නට ඇයට හැකියාවක් තිබුනේ නැහැ. කිරි දීම භාර වුනේ අර එළු දෙනට ම යි. මේ දරුවා ව ගොපලු ගෙදරට ගෙනා දවසේ පටන් පුදුම දෙයක් සිදුවන්නට පටන් ගත්තා. ඒ ගොපල්ලා ගේ එළු පට්ටියේ සිටිය එළු දෙනුන් දවසට දෙතුන් දෙනා බැගින් මිය යන්නට පටන් ගත්තා. මේ සිදුවීම ගැන විමසිලිමත් වුන ගොපල්ලා මේ විදියට කල්පනා කළා. “මේ කොල්ලව ගෙට ගෙනාපු දවසේ ඉඳන් මගේ එළු දෙන්නු දෙන්න තුන්දෙනා එක දවසට මැරෙනවා. මේ කොල්ලගෙන් මට මොන ප්‍රයෝජනයක් ද?”
ඒ විදියට කල්පනා කළ ගොපල්ලා, මේ පුංචි කුමාරයා ව හැලියක් ඇතුළට දමල, ඇතුලට ජලය නොයන විදියට ත් වාතය පමණක් යන විදියට ත් පියනකින් වහල, ගංගාවේ පාකොට හැරියා. ඉතින් මේ හැළිය ගංගාවේ පාවෙලා යනකොට බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් ගේ රජමාළිගාවේ අලුත්වැඩියා කටයුතු කරන චණ්ඩාල වංශිකයෙක් තමන් ගේ භාර්යාව ත් සමඟ මුහුණ සෝදන්නට ගංතෙරට ගොස් සිටියා. ඔහු මේ පාවෙලා යන හැළිය දැක්කා. දැකල වේගයෙන් පීනාගෙන ගොස් එය ඔසවාගෙන ගොඩට ගෙනාවා.
පියන ඇරල බැලුවා ම ඇතුලේ හිටපු කුමාරයා ව දැක්කා. චණ්ඩාල වංශිකයාට ත් භාර්යාවට ත් දෙන්නාට ම ඒ පුංචි දරුවා ගැන සෙනෙහසක් ඇති වුණා. ඉන් පස්සේ ඒ දරුවා ව තමන් ගේ ගෙදරට ගෙනැවිත් පෝෂණය කරන්නට පටන් ගත්තා. ඉතින් කාලය ගත වුනා. දැන් මේ කුමාරයා ගේ වයස අවුරුදු හතක් අටක් පමණ ඇති. ඒ දරුවා තමන් ව හදා වඩා ගත් දෙමව්පියන් සමඟ රජ මාළිගාවට යන්නට පටන් ගත්තා. පසු ව අවුරුදු දහසයක් පමණ වූ විට තනිව ම රජ මාළිගාවට ගොස් එහි කළ යුතු කටයුතු සිදු කරන්නට ත් මේ කුමාරයා පුරුදු වුනා.
ඉතින් මේ රජතුමා ගෙ වෙනත් බිසවුන් වහන්සේ කෙනෙකු ගෙ ‘කුරඟවී’ කියල දුවක් සිටියා. මේ දියණිය ඉතා ම ලස්සන යි. කුමාරය ත් සැඩොල් නිවසක හැදී වැඩුනත් රජ කුලයේ ම ඉපදුනු නිසා ඉතාමත් විශිෂ්ට රූප සෝභාවකට හිමිකම් කිව්වා. ඒ වගේ ම මිහිරි වචන තමයි මේ කුමාරයා කථා බහ කරන්නේ.
එක දවසක් අර කුරඟවී රාජ කුමාරියට මේ කුමාරයා ව දකින්නට ලැබුනා. දැක්ක අවස්ථාවේ පටන් ඒ කුමාරියට මේ කුමාරයා ගැන කැමැත්තක් ඇති වුනා. වෙන කිසි කෙනෙක් ගැනවත් ඇලුම් කරන්නේ නැතිව මේ කුමරිය, කුමාරයා වැඩ කටයුතු කරන තැනට පැමිණ බලාගෙන සිටිනවා. මේ විදියට මේ දෙන්නා එකිනෙකා ව නිරන්තරයෙන් දැකීම නිසා ඔවුන් අතර සම්බන්ධයක් හට ගත්තා. ඉන් පසු රජ මාළිගාවේ ආවරණය වූ ස්ථාන වලට වෙලා අනාචාරයේ යෙදෙන්නට පටන් ගත්තා. මේ විදියට මාසයක් විතර ගත වුනා. කොහොම හරි මේ සිදුවීම කුරඟවී කුමාරි ගේ පරිවාර ස්ත්‍රීන්ට දැක ගන්නට ලැබී රජතුමාට සැළ කළා. රජතුමාට හොඳට ම තරහා ගියා. අර කුමාරයා ව අත්අඩංගුවට ගත්තා. ඉන් පස්සේ ඇමතිවරු රැස්කරලා, මේ විදියට කිව්වා.
“ඇමතිවරුනි මේ චණ්ඩාල පුත්‍රයා මේ වගේ නො කටයුතු වැඩක් සිදු කළා. මොහුට දිය යුතු දඬුවම කුමක් ද?”
“මහ රජතුමනි මොහු විසින් සිදු කරල තිබෙන්නේ උග්‍ර අපරාධයක්. මොහුට වෙන කිසිවෙකුට ත් නො දෙන ආකාරයේ නොයෙක් වද දීල පසු ව මරණයට පත් කරනවා නම් හොඳ යි.” ඇමතිවරු පිළිතුරු දුන්නා.
ඒ ක්ෂණයේ ම, ඒ කුමාරයා ගේ ආරක්ෂක දේවතාවා රාජ මහේෂිකාව ගේ ඇඟට ආවේශ වුනා. ඇය වහා ම රජතුමා ළඟට ගියා. ගිහිල්ලා මේ විදියට කියා සිටියා.
“මහ රජතුමනි, මේ දරුවා සැඩොල් දරුවෙක් නොවෙයි. කොසොල් රජ්ජුරුවන්ට දාව මගේ කුසේ පිළිසිඳගෙන ඔබ වහන්සේ ගේ මේ රජමාළිගාවේ දී මා වදපු දරුවා තමයි මේ. එදා මම දරුවා මරාදමයි කියා සිතා, ඔබට දරුවා මැරුණු බවට බොරු කියා අමු සොහොනේ දැම්මා. එතන දී එළු ගොපල්ලෙක් ගෙන ගොස් පෝෂණය කළා. ඔහු තමන් ගේ එළු දෙනුන් මැරෙන නිසා සැළියක දමා පා කොට යැව්වා. එවිට අපේ මේ මාළිගාවේ අලුත් වැඩියා වැඩ කරන චණ්ඩාලයා ඒ හැළිය දැකල කුමාරයා ව රැගෙන පෝෂණය කළා.”
මෙහෙම කිව්වත් රජතුමා එය විශ්වාස කරන පාටක් පෙනෙන්නට තිබුනේ නැහැ. එවිට දේවතාවා බිසව ලවා මෙසේ කියවූවා. “මේ කාරණය ඔබ වහන්සේට විශ්වාස නැත්නම්, ඒ හැම දෙනා ම ගෙන්වා විමසා බලන්න.”
මේ කථාව අහපු රජතුමා, කිරිමව ත් එළු ගොපල්ලා ත්, චණ්ඩාල වංශිකයා ත් යන තුන් පක්ෂය ම ගෙන්වා කරුණු විමසා සිටියා. කථාව සත්‍යයක් බව දැන ගත් රජතුමා, කුමාරයා ජාති සම්පන්න අයෙක් නිසා සුවඳ පැන් කළ දහසයකින් හිස සෝදා නහවා ආභරණවලින් සරසා කුරඟවී කුමාරිකාව ඔහුට ම සරණ පාවා දුන්නා.
මේ කුමාරයා ව මුලින් ම හදා වඩාගත් ගොපල්ලා ගේ එළුවන් මියැදුන නිසා මේ කුමාරයාට ‘ඒළක’ කුමාරයා කියා නමක් ද තැබුවා. ඉන්පසු ව බ්‍රහ්මදත්ත රජතුමා ඒළක කුමාරයා ගේ පිය රජ්ජුරුවන් වූ කොසොල් රජතුමා සතු සේනා වාහන ආදිය ලබා දී පිය රජතුමා සතු රාජ්‍ය ද ලබා ගන්නා ලෙස ප්‍රකාශ කළා.
ඉතින් ඒ ඒළක කියන කුමාර රජතුමා කුරඟවි කියන බිසවුන් වහන්සේ වත් රැගෙන තමන්ට උරුම රාජ්‍ය කරා ගොස් ඒ රාජ්‍යයේ පාලන කටයුතු පටන් ගත්තා.
මේ ඒළක රජතුමා අනාථ ව හැදුනු වැඩුනු නිසා කිසි ම ශිල්පයක් දැන ගෙන හිටියේ නැහැ. මේ බව දැනගත් බ්‍රහ්මදත්ත රජතුමා ඒළක කුමාර රජතුමාට ශිල්ප උගන්වන්නට ‘ජලග’ නම් කුමාරයෙකුට ගුරු තනතුර දී පිටත් කොට හැරියා.
ඉතින් ඒළක කුමාරය ත් ඒ ජලග කුමාරයාගෙන් ශිල්පාදිය ඉගෙන ගෙන, ‘අනේ මේ මගේ ආචාර්යයන් වහන්සේ නේ...’ කියා ඔහුට තමන් ගේ රාජ්‍යයේ සෙනෙවිරත් තනතුර ලබා දුන්නා.
ටික කාලෙකින් අර කුරඟවී කියන බිසව මේ ජලග ත් සමඟ සම්බන්ධයක් ඇති කරගෙන අනාචාරයේ හැසිරුනා. ජලග සෙනෙවියා මේ කුරඟවී බිසවට වස්ත්‍රාභරණ ආදිය හොරෙන් යවනවා. ඒ යවන්නේ තමන් ගේ ධනන්තේවාසික කියන ගෝලයා අත යි. ඉතින් මොකද වුනේ අර කුරඟවී බිසව මේ ධනන්තේවාසිකයා සමඟ ත් අනාචාරයේ හැසිරුනා.”
ඉතින් අන්න ඒ විදියට කුරඟවී නම් අංඟනාව සිදු කරන්නට යෙදුනු අනාචාරයන් පිළිබඳ ව එදා කුණාල රජතුමා තමන් ගේ ධර්ම දේශනාවේ දී රැස්වී සිටිය පිරිසට පැවසුවා.
තවදුරට ත් ස්ත්‍රීන් ගේ අනාචාරයන් ගැන ප්‍රකාශ කරන කුණාල රජතුමා තව ත් සිදුවීමක් පැවසුවා.