ක්‍රිෂ්ණා කුමාරිකාවගේ කථාව

star_outline

ඉතින් කුණාල රජතුමා සාදුකාර මැද්දේ තමන් ගේ ධර්ම දේශනාව පටන් ගත්තා. කලින් සඳහන් කළා වගේ ම ධර්ම දේශනාවට මාතෘකාව වුනේ ස්ත්‍රී පාර්ශවයේ නුගුණ යි. කුණාල බෝධිසත්වයන්ට ඒ ජීවිතයේ දී ජාතිස්මරණ ඤාණය පහළ වී තිබුණා. ඉතින් උන්වහන්සේ තමන් ඉස්සර ජීවිතවල දැකපු ස්ත්‍රීන් ගේ දෝෂ පූර්ණමුඛ කියන ඵුස්ස කෝකිල රජ්ජුරුවන්ට කියන්ට පටන් ගත්තා.

“පින්වත් යහලු පූර්ණමුඛ, බොහෝ ඉස්සර කාලේ මේ දඹදිව ම පියවරුන් දෙදෙනෙක් ඇති ස්වාපුරුෂයන් පස් දෙනෙක් ඇති කණ්හා කියල රාජකුමාරිකාවක් ඉපදුනා.

යහලු පූර්ණමුඛ, මම දැන් කියල දෙන්න හදන්නේ අන්න ඒ කුමාරිකාව ගේ විස්තරය යි.

බොහෝ ම ඉස්සර කාලේ කසී රටේ බ්‍රහ්මදත්ත කියල රජකෙනෙක් වාසය කළා. ඉතින් මේ රජතුමා විශාල සේනාවක් අරගෙන ගිහිල්ල කොසොල් රටේ හිටපු කොසොල් රජතුමා ව මරණයට පත් කරලා ඒ රජතුමා ගේ රාජ්‍ය අල්ලා ගත්තා. ඒ වගේ ම කොසොල් රජ්ජුරුවන් ගේ අග්‍ර මහේෂිකාව තමන් ගේ අග බිසව බවට පත් කරගත්තා. ඒ දේවිය බ්‍රහ්මදත්ත රජතුමාට දාව දියණි කෙනෙක් බිහි කළා. බ්‍රහ්මදත්ත රජතුමාට කලින් දරුවන් සිටියේ නැහැ. ඉතින් මේ දරු උපතෙන් සතුටට පත් වුන බ්‍රහ්මදත්ත රජතුමා තමන් ගේ අග බිසවට කැමති වරයක් ලබා ගන්නා ලෙස දැනුම් දුන්නා.

ඒ බිසව, එම වරය ගැනීම තමන්ට සුදුසු අවස්ථාවක දී සිදුකිරීමට අවසර ගෙන එය කල් තැබුවා. ඒ ඉපදුණු කුමාරිකාවට ක්‍රිෂ්ණා යන නම තැබුවා. ඉතින් මේ ක්‍රිෂ්ණා කුමාරිකාව ක්‍රමයෙන් වැඩිවියට පැමිණුනා. එක් දිනක් අග බිසවුන් වහන්සේ තමන් ගේ ක්‍රිෂ්ණා දියණිය තමන් වෙත කැඳවා මෙහෙම කිව්වා.

“දුවේ.. ඔයා පුංචි කාලේ, ඔයා ගේ පියා ඔයා වෙනුවෙන් කැමති වරයක් ගන්න කියල මට කිව්වා. දැන් ඔයාට කැමති වරයක් ලබා ගන්න.”

ලැජ්ජ නැතිකමේ තරමක්...

ඊට පස්සේ ඒ ක්‍රිෂ්ණා කුමාරිකාව තමන් ලබා ගත යුත්තේ කුමන වරයක් ද කියා කල්පනා කරන්නට වුනා. ඇය රජ කුමරියක් නිසා කිසි දෙයක අඩුවක් ඇයට තිබුණේ නැහැ. නමුත් ඇය ඉතා ම ත් රාගාදික තැනැත්තියක්. ඒ නිසා ඇය තමන් ගේ ලැජ්ජා බය නැති කරගෙන මෙහෙම කල්පනා කළා.

“මට ස්වාපුරුෂයෙක් හැර වෙන කිසි දෙයකින් අඩුවක් නෑ. ඒ නිසා මම මගේ වරය හැටියට ස්වාපුරුෂයෙක් ව ඉල්ලන්නට ඕනෑ.”

එහෙම හිතපු ඇය ඒ බව තමන් ගේ මෑණියන්ට කිව්වා. අග බිසව ත් ඒ කරුණ තමන් ගේ ස්වාමිපුරුෂයා වූ බ්‍රහ්මදත්ත රජතුමාට සැලකළා.

බ්‍රහ්මදත්ත රජතුමා ත්, ‘එහෙනම් කැමති පුරුෂයෙක් තෝරාගන්න’ කියා නුවර පුරා අණබෙර යවා පුරුෂයන් රැස් කරවූවා. ක්‍රිෂ්ණා කුමාරිකාව ත් කැමති පුරුෂයෙක් ව තෝරාගැනීම පිණිස, මල් මාලාවන් ද රැගෙන, සර්වාභරණයන් ගෙන් සැරසී උතුරු සීමැදුරු කවුලුව අසල සිට බලා ගෙන සිටියා.

රැස්වෙලා හිටපු හැම පුරුෂයෙක් දිහා ම බැලුවත් ඇය ගේ හිතට හරියන කෙනෙක් ඒ පුරුෂයන් අතර සිටියේ නැහැ. ඒ නිසා ඇය අපේක්ෂා භංගත්වයෙන් යුක්ත වූ බැල්මෙන් යුතු ව බලා ගෙන සිටියා.

ඒ දවසේ ම පාණ්ඩව රාජ ගෝත්‍රයේ අර්ජුන, නකුල, භීමසේන, යුධීෂ්ධීර, සහදේව කියන රාජ කුමාරවරු පස් දෙනා තක්සලා නුවර දිසාපාමොක් ආචාර්යයන් වහන්සේ ඇසුරෙන් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගෙන, ගුණ දොස් පරීක්ෂා කිරීම සඳහා දඹදිව පුරා චාරිකායෙන අතරතුර බරණැස් නුවරට ත් පැවිසියා.

පස් දෙනා ම ඕනෙ....

ඉතින් මේ කුමාරවරුන්ට ත් අර අණබෙරය අසන්නට ලැබුණා. ඒ පිළිබඳ ව විමසා දැනගත් මේ පස්දෙනා ත් ක්‍රිෂ්ණා කුමරිය ගේ ස්වයංවර උත්සවය පැවැත්වෙන තැනට ගියා. පාණ්ඩව ගෝත්‍රයේ මේ කුමාරවරු පස්දෙනා ගෙ ශරීර රත්තරන් පිළිම වගේ ඉතාමත් සුන්දර යි. මේ කුමාරවරු පස් දෙනා දැකපු ක්‍රිෂ්ණා කුමාරිට ඒ පස් දෙනා ගැන ම දැඩි රාගයක් ඇති වුනා. ඊට පස්සේ තමන් ගේ මෑණියන්ට මේ විදියට කිව්වා.

“මෑණියනි, අර රන්පිළිම වගේ බැබලෙන කුමාරවරු පස් දෙනාට ම මම කැමති යි. මට ඒ පස් දෙනා ම විවාහ කරගන්නට ඕනෑ.”

එහෙම කියපු ක්‍රිෂ්ණා කුමාරිකාව ඒ කුමාරවරු පස්දෙනාට ම මල් මාලා දැමුවා. රජ බිසවුන් වහන්සේ මේ ගැන බ්‍රහ්මදත්ත රජතුමාට පැවසුවා. ඒ පුවතට සවන් දුන්න බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් ගේ සිතේ ඒ ගැන කැමැත්තක් ඇති වුනේ නැහැ. නමුත් තමන් වරයක් ලබා දී තිබුනු නිසා රජතුමාට කිසි ම දෙයක් කරගන්නට නො හැකි වුනා. ඔහුට සිවුනේ ක්‍රිෂ්ණා කුමාරි ගේ අදහසට ඉඩ දෙන්නට පමණ යි.

අහෝ ! මෙවැනි ජීවිත...

ඉතින් රජතුමා ඒ කුමාරවරුන් කවරෙකු ගේ පුතුන් දැ යි කියා විමසා සිටියා. ඔවුන් පාණ්ඩව රාජ කුමාරවරුන් බව දැනගත් බ්‍රහ්මදත්ත රජතුමා තමන් ගේ සිතේ ඇති වුන නොසතුට නැති කරගෙන සතුටට පත් වුනා. ඒ කුමාරවරුන්ට මහත් වූ සත්කාර සම්මාන කරල රාජ කුමාරවරුන් පස් දෙනා ට ක්‍රිෂ්ණා කුමාරිය ව සරණපාවා දුන්නා.

ඒ කුමාරිකාව ත් තමන් ගේ සත්මහල් ප්‍රාසාදයේ ඒ කුමාරවරුන් පස් දෙනා සමග කාමසේවනයේ යෙදෙමින් වාසය කරන්නට වුනා.

ඒ දවස්වල එම සත්මහල් ප්‍රාසාදයේ ප්‍රධාන දොරටුව අසල විසිලු මුහුණක් ඇති, අත් පා කොර වූ, පපුවේ මුහුණ තිබෙන්නාක් සේ පෙනෙන, එක්තරා විරූපී කුදු මිනිසෙක් සිටියා. මේ කොර මිනිසා දුටු සැණින් ක්‍රිෂ්ණාවන් ගේ සිතේ ඔහු ගැන ත් ඉතා දැඩි රාගයක් හට ගත්තා. ඉතින් රාජ කුමාරවරුන් පස්දෙනා ප්‍රාසාදයෙන් පිටතට ගිය අවස්ථාවක තමන් ගේ රාගය ඉවසා ගත නො හැකි වී ඒ ඇය කොර මිනිසා සමඟ අනාචාරයේ හැසිරුනා. ඉන් පසු ඔහුට මෙසේ කිව්වා.

කපටි රැජිණ....

“මම ඔයාට තරම් වෙන කාටවත් ආදරේ නෑ. මේ රජකුමාරවරුන් පස්දෙනා මරල උන් ගේ බෙල්ලෙන් ගලන ලේ වලින් ඔයා ගේ සිරිපතුල් හෝදන්ට මම කැමති යි”. මේ ආදී වශයෙන් ඒ කොර මනුස්සයාට චාටු බස් කියන්න පටන් ගත් ක්‍රිෂ්ණා, රජ කුමාරවරු අතරින් වැඩිමහලු කෙනා සමග එක් වූ ඔහු ගේ සිත ගන්නට මෙසේ කියනවා.

“ස්වාමීනි, මේ අනිත් කුමාරවරුන්ට වඩා මම ගොඩාක් ම ආදරේ ඔබ වහන්සේට යි. ඔබ වහන්සේ වෙනුවෙන් මගේ ජීවිතේ උනත් පරිත්‍යාග කරන්ට මට පුලුවන්. මගේ පිය රජතුමා කලුරිය කළා ම මම මේ රාජ්‍ය ඔබට ලබා දෙනවා.”

වැඩිමහලු කුමාරයා ගාව දී මෙහෙම කියන ක්‍රිෂ්ණා අනිත් කුමාරවරුන් සමඟ එකතු වූ විට ත් වෙන වෙන ම ඒ විදියට ම කියනවා.

ඉතින් ඒ කුමාරවරු ත් මේ චාටු බස් වලට රැවටිලා, ‘මේ තැනැත්තිය මට ම යි වැඩිපුර ආදරය කරන්නේ, මැය නිසා තමයි ඉදිරියේ දී මට රජ වෙන්න ත් පුලුවන් වෙන්නේ’ යැ යි වෙන වෙන ම සිතා ඇයට වඩ වඩා ත් සෙනෙහස දක්වනවා.

මේ විදියට ටික දවසක් ගතවෙන කොට මේ ක්‍රිෂ්ණා කුමාරිකාවට අසනීපයක් හැදුනා. වැඩිමහලු රජ කුමාරයා ක්‍රිෂ්ණා කුමාරිකාව ගේ හිස තමන් ගේ ඔඩොක්කුවේ තබා ගෙන සිටියා. අනිත් කුමාරවරු සතර දෙනා ක්‍රිෂ්ණා කුමාරි ගේ දෑත් දෙපා පිරිමදිමින් සිටියා. අර අත් පය කොර වූ මිනිසා ත් එතැන පාමුල වැතිරී හිඳගෙන සිටියා.

මේ අවස්ථාවේ.දී ක්‍රිෂ්ණා කුමාරිකාව, හිස අල්වාගෙන සිටි වැඩිමහලු රජ කුමාරයාට, “ස්වාමීනි, ඔබ වහන්සේ තරම් ප්‍රිය කෙනෙක් තව ත් නම් මට නැහැ. ඔබ වහන්සේ මැරෙන තැන මම ත් මැරෙනවා. ඉතින් මට සුවසේ ජීවත්වෙන්ට පුලුවන් වුනොත් මගේ පිය රජතුමා ගෙන් පසු ව ඔබ වහන්සේට මේ රාජ්‍ය ලබා දෙනවා.” යන අදහස ඒ කුමාරයාට තේරුම් යන පරිදි තමන් ගේ හිසින් සඤ්ඤාවක් කළා. ඒ විදියට කිරීමෙන් වැඩිමහලු රාජ කුමාරය ගේ සිතේ තමන් කෙරෙහි කැමැත්තක් ඇති කෙරෙව්වා.

දිවෙනුත් සළකුණු කළා....

ඒ විදියට ම, ඒ අදහස ම ඇති වෙන ආකාරයට අනිත් කුමාරවරුන් හතර දෙනාට ත් අත් පා වලින් වෙන වෙන ම සඤ්ඤා කළා. පාමුල සිටි කුදාට ත්, “ඔබ මට ඉතා ම ප්‍රිය යි. ඉතින් ජීවත් වුනොත් ඔබට තමයි මම වැඩිපුර ම සෙනෙහස දක්වන්නේ” කියා දිවෙන් සඤ්ඤාවක් කළා.

මේ හය දෙනා ම කලින් වෙන වෙන ම ක්‍රිෂ්ණා සමඟ කථාබස් කරගෙන සිටි නිසා මේ සිදු කළ සඤ්ඤා තේරුම් ගත්තා. වැඩිමහලු අර්ජුන කුමාරයා දෑත් දෙපාවලින් හා දිවෙන් මේ ස්ත්‍රිය කළ විකාරය දුටුවා. දැකලා “මේ ස්ත්‍රිය මට සඤ්ඤාවකින් යමක් ඇඟෙව්වා නම්, මේ කුදා ඇතුලු අනිත් අයට ත් ඇඟෙව්වේ ඒක ම යි. එකත් එකට ම මේ ස්ත්‍රිය මේ කුදා එක්ක ත් සම්බන්ධයක් ඇති කරගෙන සිටිනවා” කියා තේරුම් ගත්තා.

ඉන් පසු ව තමන් ගේ බාල සහෝදරයන් සතර දෙනාට කථා කොට පිටතට කැඳවාගෙන ගියා. කැඳවාගෙන ගොස් මෙසේ ඇසුවා.

“ක්‍රිෂ්ණාවන් මට හිසින් කළ සඤ්ඤාව ඔබලා දැක්කා ද?”

“එසේ ය, අය්යණ්ඩි, අපි දැක්කා.”

“ඒ සඤ්ඤාවෙන් අදහස් කළේ කුමක් දැ යි කියා දන්නවා ද?”

“නෑ අපි දන්නේ නැහැ.”

මෙන්න සළකුණේ තේරුම....

ඉන් පසු ව අර්ජුන කුමාරයා ඒ සළකුණේ තේරුම තමන් ගේ සහෝදරයින් සතර දෙනාට පැහැදිලි කොට දුන්නා. ඒ වගේ ම ඒ කුමාර වරුන්ගෙන් ඔවුන්ට කළ සඤ්ඤාවල තේරුම ද අසා දැන ගත්තා. අනතුරු ව කුදු මිනිසාට කළ සඤ්ඤාව දුටුවා ද කියා ත් කුමාරවරුන්ගෙන් අසා සිටියා.

ඒ කුමාරවරුන් එම සඤ්ඤාව දැක තිබුනේ නැහැ. ඉතින් ඒ කුදාට කළෙත් තමන්ට කළ සඤ්ඤාව වැනි එකක් ම බව පැහැදිලි කර දුන් අර්ජුන කුමාරයා, ඒ පිළිබඳ ව නිසැක භාවයට පත් වීම පිණිස කුදා ව ගෙන්වා ඒ ගැන ප්‍රශ්න කළා. කුදු මිනිසා එය සත්‍යයක් බව හෙළි කළා.

මේ විදියට මේ රාජ කුමාරවරු පස් දෙනා ඒ ස්ත්‍රිය ගේ අනාචාර ක්‍රියා සියල්ල ප්‍රත්‍යක්ෂ ලෙස ම තේරුම් ගත්තා. තේරුම් අරගෙන මේ විදියට කල්පනා කළා.

කැණහිල් බැල්ලියක් වගෙ යි....

“අපි වගේ උතුම් රජ පෙළපතකට අයිති, ඉතා ම කඩවසම් කුමාරවරු පස් දෙනෙක් එක්ක ත්, මේ වගේ ඇදකුද තිබෙන, විහිලු ශරීරයක් තිබෙන, දැලි කුණු පෙරා ගත්ත කුදෙක් එක්ක ත් අනාචාරයේ හැසිරෙන්න තරම් ලැජ්ජාවක් නැති මේ ගෑනි, මීනි කුණකට ඉව අල්ලන කැණහිල් බැල්ලියක් වගෙයි. මේ වගේ අනාචාරයේ හැසිරෙන ස්ත්‍රීන්ට මොලේ තිබෙන මොන මිනිහ ද ආදරය කරන්නේ.”

මේ විදියට ස්ත්‍රීන්ට නින්දා කළ කුමාරවරු පස් දෙනා, ‘දැන් ඉතින් මේ ගිහි ජීවිතයේ ආදීනව අපි හොඳට තේරුම් ගත්තා. තව දුරට ත් මේ ගිහි ගෙදර ගත කරන එක කිසි ම තේරුමක් ඇති දෙයක් නො වෙයි.’ කියා කතා බස් කරගෙන ආපසු නො බලා ම හිමාල වනය බලා පිටත් වුනා. හිමාල වනයට ගොස් සෘෂිප්‍රවෘජ්‍යාවෙන් පැවිදි බිමට පත් වුනා. ඉන් පසු අප්‍රමාදී ව බණ භාවනා කොට ධ්‍යාන සමාපත්තීන් උපදවාගෙන, කිසි දිනෙක කාමයන් තුළින් ලැබිය නො හැකි උත්තරීතර සැපතක් විඳිමින් ජීවත් වී කලුරිය කොට බ්‍රහ්මලෝකයේ ඉපදුනා.”

ඉතින් ඒ අර්ජුන කුමාරයන් තමයි පසු ව කුණාල රජ වී උපන්නේ.