ශාක්‍ය කෝලිය ගැටුම

ගලන ගඟකි ජීවිතේ....

අපේ ජීවිතේ කියන්නේ ගලාගෙන යන නදියක් වගේ එකක්. බොහෝ ම ශාන්ත ව සුදෝ සුදු වැලි තලා අතරින් ලැසි ගමනේ ගලා ගෙන බසින නදී දිය කඳ සමහර තැන් වල දි සැඩ පරුෂ විදියට වේගයෙන් ගලාගෙන යනවා. ගල් මුල් වල හැපිලා රිදී පාට පෙණ බුබුලු ඇති කරනවා. එක පාරට ම කඩාගෙන හැලෙනවා.

ජීවිතෙත් ඒ වගේ ම තමයි. අපේ ජීවිත සමහර කාලවල දී සුන්දර විදියට ලැසි ගමනින් ගලා ගෙන යනවා. සමහර අවස්ථාවල දී ගල් මුල් වල හැප්පෙනවා. තවත් අවස්ථාවල දී කඩාගෙන වැටෙනවා. ඒ අවස්ථා හැම එකක දි ම එක වගේ සතුටින් ඉන්න අපි හැමෝට ම බැහැ. නමුත් ඒ හැකියාව ලබා ගන්න ක්‍රමයකුත් තියෙනවා.

සොඳුරු නදියක් වගේ ගලාගෙන යන ජීවිතේ, හැමදා ම සතුටින් ගත කරන්න නම්, ඒ ජීවිතය ගැන හැම දෙයක් ම අපි දැන ගන්න ඕනේ. අවබෝධ කරගන්න ඕනේ. නමුත් ජීවිතේ අවබෝධ කරගන්න එක විශාල අභියෝගයක්. ඉතින් මේ ඔබ කියවන්න හදන්නෙත් ඔබේ ජීවිතේට අවබෝධයක් එකතු කරගන්න පුලුවන් දෙයක්. ඉතින් ඒ නිසා මේ සුන්දර වගේ ම යථාර්ථවත් සිදු වීම බොහෝ ම අවධානයෙන් යුතු ව කියවන්න.

රෝහිණී....

‘රෝහිණී’ කියන්නේ ලස්සන නමක්. ඉන්දියාවේ තිබෙන රෝහිණී නදිය ත් ඒ වගේ ම ලස්සන යි. සුවිසල් වැලි තලා මැද්දෙන්, ගල් කුළු අතරින්, ගලා ගෙන යන රෝහිණී ගංඟාව, දකින දකින හැමෝගෙම නෙත් සිත් වලට සතුට කැන්දගෙන ආවා. ඒ විතරක් නෙමෙයි මේ ගංඟාවට කිට්ටුව පිහිටල තිබුණ කිඹුල්වත් නුවර ත් දෙවුදහ නුවර ත් වාසය කරපු මිනිසුන් ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ත් මේ රෝහිණී ගංඟාවෙන් ලබා දුන්නේ අපමණ දායකත්වයක්. කිඹුල්වත් නුවර ශාක්‍ය පිරිස ත් දෙව්දහ නුවර කෝලිය පිරිස ත් තමන් ගේ නගර අතරෙ දී අමුණු බැඳල, මහ සමුදුර කියල වල්ලභයා සොයා ගෙන යන මේ සුන්දර නදී ලලනාව ගේ ඒ ගමනට යම් කිසි බාධාවක් එල්ල කළා.

ඒ වෙන දේකට නෙමෙයි තමන් ගේ ගොවිතැන් බත්වලට නදී දිය කඳේ සහයෝගය ලබා ගන්න. මේ ශාක්‍ය කෝලිය දෙපිරිසේ ම ගොයම් පැසුනේ, කුඹුරු සරුසාර වුනේ එක ම නදියේ ජලයෙන්. හැම දෙනා ම බොහෝ ම සමඟියෙන්, ‘දිය වර’ ක්‍රමයට ජලය බෙදාගෙන පරිහරණය කළා. නමුත් හැම දේ ම වෙනස් වෙන්න වැඩි කාලයක් ගත වෙන්නෙ නෑ නෙ...

නදී දිය කඳ තරහ වුනා....

එක කාලෙක පොසොන් මාසෙ නියඟයක් ඇති වුණා. තමන් ගේ ගමනට බාදා කරපු නිසා ද මන්ද, නදී දිය කඳ මිනිසුන් එක්ක තරහ වුනා. සුන්දර රෝහිණී නදියේ ජලය අඩුවෙලා ගියෙ බලාගෙන ඉඳිද්දි. වගා කරල තිබුණ ලා දලු ගොයම් මැරෙන්නට පටන් ගත්තා. ඒත් එක්ක ම මිනිසුන් ගේ සිත් සතනුත් මැලවෙන්න පටන් ගත්තා. දුක ශෝකය ඒ හිත්වලට රිංගගන්න වැඩි කාලයක් ගත වුනේ නැහැ. තමන් බොහෝ ම මහන්සි වෙලා වගා කරපු, නිල්පාටට කිරි වැදී ගෙන එන ගොයම් ටික මැරිල යනකොට මිනිස්සුන්ට හිතුනේ තමන් ගේ ජීවිතේ නැතිවෙලා යන්න හදනවා කියල යි. තම තමන් ගේ ගොයම බේරගන්න දෙපිරිස ම උනන්දුවෙන්න පටන් ගත්තා. ඒ අතරෙ ම කාටත් හොරෙන් ඊරිසියාවත් සිත්වලට රිංගුවා. තමන් ගෙ කුඹුරුයාය පහුකරගෙන අනිත් පිරිස ගේ කුඹුරුවලට ඇදිල යන වතුර ටික දැක්කා ම කාට කාට ත් ඉවසන්න ටිකක් අමාරු වුනා.

තණ්හාව යුද්ධයට මුල යි....

ඉතින් දෙහ නුවර ගොවි මහත්තුරු ටික කිඹුල්වත් නුවර ගොවි මහත්තුරුන්ට මෙහෙම කිව්වා.

“ඒයි... මේ අහපල්ලා. මෙහෙම ගියොත් අපි දෙගොල්ලන්ට ම වෙන්නේ එකට මැරෙන්න. මේ වතුර ටික අපි දෙගොල්ලො බෙදා ගන්ට ගියොත් දෙගොල්ලන් ගෙ ම කුඹුරු ටික මැරිලා යනවා. අපේ කුඹුරු පැහෙන්නේ එක දිය වරකින්. ඒක හින්ද අපිට ඉස්සෙල්ලා වතුර දීපල්ලා. ඊ ළඟට බැරියැ උඹල ගෙ ඒව පස්සගන්ට.”

මේ වගේ යෝජනාවකට ශාක්‍ය පිරිස කැමතිවෙන්නෙ නෑ කියන එක කියන්ට ත් දෙයක් නො වෙයි. ඉතින් ශාක්‍ය පිරිස මෙහෙම කිව්වා...

“ආ... ඒක හරි වැඩක් නෙව.. උඹල ගෙ ගොයම් පැහුණා ම, උඹල හොඳට අටුකොටු පුරවා ගනියි. එතකොට අපි රන් රිදී මුතු මැණික් පොදි බැඳගෙන, මලු උස්සගෙන උඹල ගෙ ගෙවල් ගානේ ඇන්ට එන්න ඕනෙ. අපිට නම් පුලුවන් කමක් නෑ ඒක කරන්ට. අපේ ගොයම් පැහෙන්නෙත් එක ම දිය වරකින්. ඕන නම් ඉස්සෙල්ලා අපිට වතුර ටික දීපල්ලා. ඊට පස්සේ උඹලා කැමති දෙයක් කරගනිල්ලා.”

මේ යෝජනාවට කෝලිය පිරිස ත් එකඟ වුනේ නෑ. දෙගොල්ලන්ට ම ඕන වුනේ තම තමන් ගේ ගොයම් ටික රැකගන්ට යි.

ඉතින් කෝලිය පිරිස, ‘අපි වතුර දෙන්නෙ නෑ’ කියල ශාක්‍ය වංශිකයන්ට කිව්වා. ශාක්‍ය පිරිස ත්, ‘අපි ත් වතුර දෙන්නෙ නැහැ’ කියල කෝලිය පිරිසට කිව්වා. මේ විදිහට ශාක්‍ය කෝලිය දෙපිරිස එකිනෙකාට බැණගන්ට පටන් ගත්තා. රණ්ඩුව ටිකක් දුරදිග ගියා.

එක්කෙනෙක් නැගිටලා අනිත් පැත්තේ කෙනෙකුට ගැහුවා. පහරකාපු කෙනා ත් පෙරලා පහර දුන්නා. මේ විසියට මේ දෙපිරිස ගහ මරා ගන්ට පටන් ගත්තා. එකිනෙකාට ජාති කුල ගෝත්‍ර කියමින් බැණ ගන්ට පටන් ගත්තා.

ශාක්‍ය වංශයේ මූලාරම්භක රජ කුමාරවරු තමන් වෙනත් ගෝත්‍රයක් එක්ක මිශ්‍ර වෙයි කියල බයෙන් තමන් ගේ ම සොහොයුරියන් සරණ පාවාගෙන තමයි ශාක්‍ය වංශය බිහි කරල, රැකගෙන ආවේ.

මේ කාරණය මතක් කරපු කෝලිය වංශිකයෝ කිඹුල්වත් නුවර වාසීන්ට මෙහෙම බණින්ට වුණා.

“බොලතොපේ මහ එවුන් හිවල්ලු, බල්ලො වගේ උන් ගේ ම සහෝදරියො ත් එක්ක එකට හිටපු ජාතියක් නෙ. එවුන් ව ලොකු කරගෙන ද අපිට ගොරවන්ට එන්නේ. ඒ වගේ ජාතියක් තියෙන තොපි ඇත්තු අරගෙන ආවත්, අස්සයො අරගෙන ආවත්, කඩු පිහි අරගෙන ආවත් අපිට මොකක් කරන්ට ද?”

ගස් බෙනයක් තුළ බිහි වුන පරපුර....

මේ විදියට කිව්වට මොකද කෝලිය වංශිකයන් ගේ මූලාරම්භය සිදු වුනෙත් හරි ම අපූරු විදියකට.

කිඹුල්වත් නුවර හිටිය, එක්තරා බිසවක්. ඒ බිසවට කුෂ්ට රෝගයක් වැළඳුනු නිසා ඇය ව ඒ නුවරින් පිටමං කළා. කුෂ්ට රෝගයක් වැළඳීම නිසා ම තමන් ගේ නගරයෙන් පිටමං වෙලා ගස්බෙනයක වාසය කරමින්, තමන් ගේ රෝගයට ප්‍රතිකාර සිදු කරගත්ත රජ කෙනෙක් මේ බිසව ව දැක්කා. ඉන් පස්සේ ඇයට ත් ප්‍රතිකාර කරල ඇය ගේ කුෂ්ට රෝගය ත් සුවපත් කරපු ඒ රජතුමා ඒ බිසව තමන් ගේ මෙහෙසිය කරගෙන අර ගස් බෙනේ ම වාසය කළා. ඉතින් ඔවුන් ගේ පරපුර බිහිවුනෙත් ඒ ගස් බෙනේ ම යි.

ඉතින් ශාක්‍ය වංශිකයින් මේ සිදුවීම සිහිපත් කරල කෝලිය වංශිකයින්ට මෙහෙම දොස් කියන්ට වුනා.

“තොපේ එවුනුත්, තිරිසනුන් වගේ ඉන්ට තැනක් නැතිව, ගස් බෙනයක හිටපු එවුන් නෙ. ඒ කුෂ්ට කොල්ලන් ව ලොකු කරගෙන ද අපි ව භයගන්වන්ට එන්නේ. උඹල සිවුරඟ සෙනඟ අරගෙන ආවත් අපිට මොකක් කරන්ට ද?”

මේ විදියට මේ ශාක්‍ය වංශික හා කෝලිය වංශික ගොවිපිරිස් එකිනෙකා සමඟ රණ්ඩු දබර කරගෙන, ඊට පස්සේ ඒ ගැන අදාළ ඇමතිවරුන්ට කිව්වා.

ඇමතිවරු ඒ පුවත රජ දරුවන්ට කිව්වා. එතකොට ශාක්‍ය රජදරුවො, “නංගිල ත් එක්ක හිටපු එවුන් ගේ හැටි පෙන්වන්නම්” කියල සටනට සූදානම් වෙලා කිඹුල්වත් නුවරින් නික්මුණා.

කෝලිය රජදරුවනුත්, “කොළොම් ගස් බෙනේ හිටවු එවුන් ගේ හැටි පෙන්වන්නම්” කියල සටනට සැරසිලා දෙව්දහ නුවරින් නික්මුණා.

මේ විදියට මේ දෙනුවර වාසීන් හැන්දෑ කාලෙ සටන් කරන්ට රෝහිණී ගංඟාගෙං ඉවුරට එක් රැස්වුණා.

බුදු දෙනෙත යොමු වුනා....

ඉතින් මේ ශාක්‍ය කෝලිය දෙපිරිස යුද්ධයකට සූදානම් වෙද්දි, ඈත හිටපු අසිරිමත් කෙනෙක් ගේ නෙත් දෙක මේ සිදුවීමට යොමු වෙලා තිබුණා. ඒ තමයි ලෝක ශාන්තිදායකයාණන් වූ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ගේ මහා කරුණාවෙන් පිරී ඉතිරී ගිය බුදු නෙත් දෙක.

ඇත්තට ම ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ මේ මුලු තුන් ලෝකයට ම තිලකයක් වගෙ යි. උන්වහන්සේ සියලු ඤාණ සාගරයේ පරතෙරට පත් වුනා. ඒ වගේ ම අනන්ත ගුණ දරාගෙන වැඩ සිටියා. ඒ භාග්‍යවතුන් වහන්සේ තුන් ලෝකයේ ම සිටින සත්වයින්ට යහපත ඇති කරගැනීමට අනුශාසනා කරනවා. ජාති ජරා මරණ ආදී දුක් වලින් පිරුණු සංසාර සාගරයෙන් සත්වයින් ව එතෙර කරවලා නිර්වාණ ක්ෂේම භූමියට පත්කරවන්නෙ ත් ඒ බුදු සමිඳුන් ම තමයි.

ඉතින් ඒ වෙනකොට බුදු රජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමා විසින් කරවපු ජේතවන ආරාමයේ යි.

මහාකාරුණිකෝ නාථෝ....

වෙන දා වගේ ම එදත් උදැසන අපේ භාග්‍යවතුන් වහන්සේ සුවිසි කෙළ ලක්ෂයක් නයින් සපිරුණු මහා කරුණාසමාපත්තියට සමවැදිල පිහිට වෙන්ට ඕනෙ කාට ද කියල විමසල බැලුවා. ඒ විදියට මහාකරුණා සමාපත්තියට සම වැදුනු තථාගතයන් වහන්සේ ගේ කරුණා ජාලයට හසු වූයේ මේ සටනට සැරසී සිට ශාක්‍ය කෝලිය දෙපිරිස යි. ද්වේශය කියන නියඟය නිසා ශාක්‍ය කෝලිය දෙපිරිසේ සිත් සතන් වල ඇවිලුනු විහිංසා ගිනි දැල් නිවා දාන්න, රෝහිණී නදියේ විතරක් නෙමේ මුලු මහ සමුදුරේ ම ජලය අරගෙන ආවත් බෑ කියන එක බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගේ බුදු නුවණින් දුටුවා. නමුත් තමන් වහන්සේගෙ බුදු හඳමඬලින් ගලාගෙන යන අමාදම් වැස්සෙන් නම්, ඒ සිත් සතන් නිවා සනසන්න පුලුවන් කියල ත් බුදු රජාණන් වහන්සේ දුටුවා.

ඉතින් එදා පෙරවරුවේ භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරට පිඬු සිඟා වැඩියා. පිඬු සිඟා වැඩල, දන් පැන් වළඳල, අනේපිඬු සිටුතුමා ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතු ව සම්පූර්ණයෙන් ම සඳුන් ලී වලින් කරවපු ගඳ කිළියේ, භාවනා සුවයෙන් වැඩ සිටියා.

ඊට පස්සෙ හවස් කාලෙදි, රත් ගල් ගුහාවකින් නික්මිලා යන කේෂර සිංහ රාජයෙක් වගේ, පාත්තර සිවුරු ත් අරගෙන ගන්ධ කුටියෙන් නික්මුණු භාග්‍යවතුන් වහන්සේ, රෝහිණී නදී තීරයේ ශාක්‍ය කෝලිය දෙපිරිස රැස් වෙලා සිටින තැනට වැඩම කොට වදාළා.

එතැනට වැඩ ම කළ බුදු රජාණන් වහන්සේ දෙපිරිස මැද ආකාසයේ පළඟක් බැඳ ගෙන වැඩ සිටියා. ශාක්‍ය කෝලිය දෙපිරිස බුදු රජාණන් වහන්සේ ව දකින්ට කලින් ඒ දෙපිරිස සංවේගයට පත් කරන්ට ඕනෙ කියල භාග්‍යවතුන් වහන්සේ තීරණය කළා.

අසිරිමත් ය ඒ බුදු ගුණ....

ඊට පස්සේ ඒ මහර්ෂී වූ තථාගතයන් වහන්සේ සිදු කළේ අපි කාටවත් හිතා ගන්ටවත් බැරි තරම් ආශ්චර්යවත් දෙයක්. බුදු රජාණන් වහන්සේ ක්ෂණයකින්, ‘නීල කසිණ’ සමාපත්තියට සමවැදුනා. දෙතිස් මහා පුරුෂ ලකුණු වලින් ශෝභමාන වුන ඒ ශාක්‍ය සිංහ බුදු රජාණන් වහන්සේ ගේ නිල්වන් වූ කේෂ ධාතූන් ගෙන් ඉතාමත් ඝණ නිල් පාටින් යුක්ත රශ්මාලාවක් හාත්පස ම පැතිරෙන්නට පටන්ගත්තා.

ඒ රශ්මිය මේ ලෝකධාතුව පුරා ම පැතිරයන්නට ඇසිපිය හෙළන තරම් කාලයක් වත් ගත වුනේ නැහැ. අහස් කුස ඝණ නිල් පාට නිසා මුලුමනින් ම අන්ධකාර වුනා.

සටනට සැරසිලා හිටපු ශාක්‍ය කෝලිය දෙපිරිසට සිදු වුනේ මොකක් ද කියල හිතා ගන්ට වත් බැරි වුනා. ඔවුන් අතිශයින් බියට පත් වුනා. සංවේගයට පත් වුනා.

ඉන් පස්සෙ භාග්‍යවතුන් වහන්සේ ඝණදුර බිඳලමින් පර්වතයක් මුදුනින් උදාවන ළහිරු මඬලක් වගේ, තමන් වහන්සේ ගේ ශ්‍රී ශරීරයෙන් සවණක් ඝණ බුදු රැස් විහිදුවමින් ශාක්‍ය කෝලිය දෙපිරිසට ම තමන් වහන්සේ ව දර්ශනය වෙන්නට සැළැස්වුවා.

භාග්‍යවතුන් වහන්සේ කියන්නේ ශාක්‍ය වංශිකයින් ගේ ශ්‍රේෂ්ඨතම ඤාතිවරයා යි. ඉතින් බුදු රජාණන් වහන්සේ ව දැකපු ශාක්‍ය වංශිකයින් මෙහෙම කල්පනා කළා.

“අපේ ශ්‍රේෂ්ඨ ඤාතිවරයාණන් වහන්සේ මෙතැනට වැඩම කළේ අපි මේ කරන්ට සූදානම් වුන යුද්ධය දැකල, අපි ගැන අනුකම්පාවෙන් ම යි. බුදු රජාණන් වහන්සේ වැඩ සිටිද්දී තවත් කෙනෙකු ගේ ශරීරයක් විනාශ කරන්නට අපිට නම් බැහැ.”

කෑලි කැපුවත් කමක් නෑ....

එහෙම හිතපු ශාක්‍ය වංශික රජදරුවො හැම දෙනා ම තම තමන් ගේ ආයුධ බිම දැම්මා. දෙව්දහ නුවර කෝලිය රජදරුවනුත්, “අපි ව පැරදුවත් කමක් නෑ. කැපුවත් කමක් නෑ. පිච්චුවත් කමක් නෑ. අපි නම් කිසි ම දෙයක් කරන්නෙ නැහැ” කියල තම තමන් ගේ ආයුධ ත් බිම දැමුවා.

ඊට පස්සෙ දෙපිරිස ම බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතු ව භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ දෙසට ඇඳලි බැඳ ගෙන නිශ්ශබ්ද ව සිටියා.

ඒ අවස්ථාවේ බුදු රජාණන් වහන්සේ ආකාසයෙන් බිමට වැඩම කොට වදාළා. ශාක්‍ය කෝලිය දෙපිරිස ඉක්මණින් ම රෝහිණී ගංගා තීරයේ සුන්දර වැලි තලාවක් මත්තෙ බුදු රජාණන් වහන්සේට වැඩ සිටින්නට ආසනයක් පැණෙව්වා.

අප ගේ භාග්‍යවතුන් වහන්සේ අවරන්ගිර මුදුනේ බබළන සූර්ය මණ්ඩලය වගේ, උපමාකරන්නට බැරි තරම් බුද්ධශ්‍රීයෙන් විරාජමාන වෙමින් ඒ ආසනයේ වැඩ සිටියා. ශාක්‍ය කෝලිය රජදරුවන් දෙපිරිස ත් බුදු රජාණන් වහන්සේට වන්දනා කරලා ඒ සුන්දර වැලි තලාවේ ම එකත් පසෙකින් හිඳ ගත්තා.

වතුරට ත් යුද්ධ කළා....

ශාක්‍ය කෝලිය දෙපිරිස මේ විදියට රැස් වුනේ ඇයි කියල දැන ගෙන හිටියත්, බුදු රජාණන් වහන්සේ ඔවුන්ගෙන් රැස් වූනේ ඇයි කියල විමසා වදාළා.

එවිට ඔවුන් මෙහෙම පිළිතුරු දුන්නා.

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අපි රැස් වුනේ යුද්ධ කරන්ට යි”

“ඔබලා ගේ යුද්ධය කුමක් නිසා ද?” බුදු රජාණන් වහන්සේ අසා වදාළා.

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, රෝහිණී ගංඟාවේ වතුර ලබා ගන්ට යි.”

“රජදරුවනි, වතුර කොයි තරම් වටිනව ද?”

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, වතුර නම් එච්චර වටින දෙයක් නෙමෙයි. අල්ප වටිනාකමකින් යුක්ත දෙයක්”

“රජදරුවනි පොළොව කොච්චර වටිනව ද?”

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, පොළොව අනර්ඝ දෙයක්.”

“රජදරුවනි, රජදරුවන් කොයි තරම් වටිනව ද?”

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, රජ දරුවන් නම් බොහෝ ම වටිනවා.”

“රජදරුවනි, අල්ප වටිනාකමක් ඇති ජලය නිසා යුද්ධ කරල, මහා අනර්ඝ රජ දරුවන් වන ඔබලා විනාශයට පත් වෙන්නට සූදානම් වෙන්නේ ඇයි? රජදරුවනි, කිසි ම දවසක රණ්ඩු කිරීමෙන් ආශ්වාදයක් නම් ලැබෙන්නේ නැහැ.”

මේ විදියට දේශනා කරපු බුදු පියාණන් වහන්සේ, රජවරුන් ගේ කලහය සංසිඳවන්නට ජාතක කථාවන් තුනකුත් දේශනා කොට වදාළා.

වෛරයෙන් වෛරය නො සන්සිඳේ....

එතන දි ඉස්සෙල්ලා ම දේශනා කළේ ‘ඵන්දන’ ජාතකය යි. ඵන්දන ජාතකයෙන් බුදු රජාණන් වහන්සේ දේශනා කළේ, කරුණු රහිත දෙයක් මුල් කරගෙන ඇති කරගත් විවාදයක් නිසා එක වළහෙකුත් වෘක්ෂ දේවතාවෙකුත් අතර ඇතිවුනු බද්ධ වෛරයක් මේ කල්පය පුරාවට ම පවතින ආකාරය යි.

ඒ වගේ ම එක්තරා හාවෙක් ගේ වචනය විශ්වාස කරපු නිසා යොදුන් තුන් දාහක් විතර විශාල හිමාල වනාන්තරයේ හිටපු මුව, සිංහ, ව්‍යාඝ්‍ර වගේ හැම සතෙක් ම මුහුදු බත් වෙන්ට පටන් ගත් හැටි විස්තර වෙන ‘දද්දභ’, ජාතකය තමයි බුදු රජාණන් වහන්සේ දෙවෙනියට දේශනා කළේ. එතන දි බුදු රජාණන් වහන්සේ, අනුන් ගේ වචන විමසීමක් නැතිව පිළිගැනීමේ අනතුර රජදරුවන්ට පෙන්වල දුන්නා.

එක කැට කිරිල්ලියක් තුන් තැනකින් මද වැගිරෙන ඇත් රජෙක් ව විනාශ කළ හැටි කියැවෙන ලටුකික ජාතකය ත් දේශනා කොට වදාළ බුදු රජාණන් වහන්සේ, සමහර කාලවල දී වල සත්වයින් පවා විශාල සත්වයින් ගේ සිදුරු දකින බව රජ දරුවන්ට පැහැදිලි කරලා දුන්නා.

ඉතින් මේ විදියට ශාක්‍ය කෝලිය දෙපිරිසේ කළහය සංසිඳවන්නට ජාතක කථා තුනක් ම දේශනා කළ බුදු රජාණන් වහන්සේ ඒ දෙපිරිස තව දුරට ත් සමඟි කරවන්නට වෘක්ෂ ධර්ම ජාතකය ත්, වට්ටක ජාතකය ත් කියන ජාතක කථා දෙක ත් දේශනා කොට වදාළා. ජාතක කථා ඇසුරු කරගෙන දේශනා කරපු ඒ සුමධුර දහම් කථාව අහගෙන හිටපු රජ දරුවන් බොහෝ ම සතුටට පත් වුනා.

දහම් ගඟ ගලා.....

ඊළඟට බුදු රජාණන් වහන්සේ ඒ රජ දරුවන් ගේ සිතේ ඇති වෙලා තිබුණ ද්වේශය දුරු කරවන්ට අත්තදණ්ඩ සූත්‍ර දේශනාව දේශනා කොට වදාළා. ඒ සූත්‍ර දේශනාව ශාක්‍ය කෝලිය රජ දරුවන් ගේ දෙසවන් අතරින් සිත් සතන් තුළට ගලාගෙන ගියේ ලැවු ගිනි නිවා සනසවමින් මිහිකත මතට ඇදහැලෙන ආකාශ ගංඟා ප්‍රවාහයක් වගෙ යි.

සියලු සත්වයන්ට ම උතුම් වූ ඒ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ ගේ මේ උතුම් ධර්මයට සවන් දුන්න රජ දරුවෝ හැම දෙනා ම අතිශයින් ම සතුටින් සොම්නසින් පිණාගියා. ඒ වගේ ම මේ විදියට ත් හිතන්නට පටන් ගත්තා.

“අනේ....! අපේ බුජාණන් වහන්සේ මෙතෙන්ට නො වැඩියා නම්, අපි හැම දෙනා ම, එකිනෙකා ව මරාගෙන මෙතන ලේ ගඟක් කරගන්නවා. භාග්‍යවතුන් වහන්සේ නිසා තමයි අපි ජීවිතය ලබා ගත්තේ.

අපේ මේ බුදු රජාණන් වහන්සේ ගිහි ගෙදර හිටියා නම්, දෙදාහක් කොදෙව් තියෙන මේ මුලු පෘථිවියේ ම අසදිස රජතුමා හැටියට අභිෂේක ලබනවා. ඒ වගේ ම තමන් වහන්සේට සමාන බලයෙන් යුක්ත පුතුන් දහසකුත් ලබනවා. එහෙම වුනා නම් අපි හැම දෙනාට ම ත් පිරිවර රජවරු වෙන්නට තිබුණා.

බුදු කරුණාව අනන්ත යි....

අනේ ... ඒ වුනත් සත් දවසකින් පහළ වෙන්නට තිබුණු ඒ සක්විසි රජකම ත් අපේ භාග්‍යවතුන් වහන්සේ අත හැරියා. ඒ වගේ ම ජය භූමියක් වගේ තිබෙන කිඹුල්වත් නුවර ත් අතහැරියා. පමණ කරන්නට බැරි සත්රුවන් නිධාන හතරක් වගේ වන රාජ්‍යය ත් අතහැරියා. මේ හැම දේ ම අතහැර දමලා ගිහින් බුදු රජාණන් වහන්සේ සර්වඥතා ඥානය ලබා ගත්තේ අපි ගැන ම අනුකම්පාවෙන් ම යි.”

මේ විදියට හිතපු ශාක්‍ය කෝලිය රජ දරුවෝ, දෙපිරිසෙන් ම දෙසිය පණහ බැගින් කුමාරවරු පන්සියයක් පැවිදි කරන්ට බුදු රජාණන් වහන්සේට භාර දුන්නා.

බුදු රජාණන් වහන්සේ ඒ පන්සියයක් කුමාරවරුන් ව උතුම් පැවිදි බිමට ඇතුළත් කළා.

ඊට පස්සේ බුදු රජාණන් වහන්සේ ඒ පන්සියයක් ස්වාමින් වහන්සේලා ත් සමඟ කිඹුල්වත් නුවර සමීපයේ තිබුණු හිමාලවනය ත් එක්ක ඒකාබද්ධ වුනු මහාවනයට වැඩම කළා.