ඇරඹුමට පෙර වදනක්

උන්මාදිනී යනු

01. ස්ත්‍රිය පිළිබඳ ව බෝධිසත්වයන් වහන්සේ විසින් අතීතයේ දි සිදුකරන්නට යෙදුනු දහම් දෙසුමක කරුණු ඇතුළත් කොට අප ගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද කුණාල ජාතක දේශනාව පාදක කරගනිමින් සකස් කරන ලද ග්‍රන්ථයකි. මෙහි සඳහන් සිදු වීම් සියල්ල මේ සසර සයුරේ අතීතයේ යම් දිනයක දී සිවූ සත්‍ය ඒවා ම වේ.

02. මෙය ස්ත්‍රීන් කෙරෙහි ද්වේශයෙන් ලියන ලද ග්‍රන්ථයක් නොවේ. ස්ත්‍රීන් ගේ නුගුණ ඉස්මතු කොට ඔවුන්හට පහර ගැසීම උදෙසා ලියන ලද්දක් ද නො වේ. ස්ත්‍රීන් ව සමාජය තුළ හීන තත්වයකට ඇද දමා පුරුෂාධිපත්‍ය පතුරුවන්නට ලියන ලද්දක් ද නො වේ.

උන්මාදිනී සකස් කිරීමේ අරමුණු

01. සංසාර සාගරය වනා හී කෙළවරක් පැන නො හැකි තරම් දීර්ඝ වූ ත් අති භයානක වූ ත් ඝෝර කටුක දුක් වලින් පිරී ඉතිරී ගිය එකකි. ඒ සසර සයුරින් නිදහස් විය හැක්කේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක ගේ උතුම් ධර්මය ශ්‍රවණය කරන්නට ලැබීමෙන් පසු ඒ ධර්මයට අනුව ධම්මානුධම්මපටිපදාවේ නිරත වීමෙන් ය. ඒ බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරම දුර්ලභ ධර්මය දැන් අපට අසන්නට ලැබේ. ඒ අනුව ධම්මානුධම්මපටිපදාවේ හැසිරීමේ අවස්ථාව අපට නැවත ත් උදාවී තිබේ.

එනිසා වීරියවන්ත කුල පුත්‍රයන් විසින් කළ යුත්තේ සසරේ සැම දා ම කරමින් පැමිණි කාම සම්පත් භුක්ති විඳීම මදකට හෝ පසෙක දමා, වහ වහා නිවන් මග සම්පූර්ණ කිරීමට උත්සාහ කිරීම යි. නිවන් මඟ පරිපූර්ණ කරන්නට නම් ඔහුට බඹසර ජීවිතයක් ගත කරන්නට සිදුවේ.

නමුත් බඹසර ජීවිතයක් ගතකරන්නට සිතට ඉඩ ලබා නො දෙන, ගිහි ජීවිතය තුළ ම සිත අලවා තබන දේවල් අතරින් ස්ත්‍රියට හිමි වන්නේ ප්‍රධාන තැනකි. ඇය කෙරෙහි ඇල්ම අත්හැරගත නො හැකි ව සිටිනා පුරුෂයා නැවත නැවතත් උපතක් කරා ම යන්නේ මව් වැස්සිය කරායන කුඩා වසු පැටවෙකු සේ යැයි බුදු රජාණන් වහන්සේ වදාළ සේක. එම නිසා උන්මාදිනී සකස් කිරීමේ එක් අරමුණක් වන්නේ ස්ත්‍රී වසඟයට පත් ව සිටින දහම් අවබෝධ කිරීමේ වාසනාව ඇති කුල පුත්‍රයන් ව නිවන් මගේ අප්‍රමාදී කිරීම යි.

02. තව ද බඹසර ජීවිතයක් ගත කරන උතුමන්ට පවා ස්ත්‍රිය කෙතරම් සම්බාධ පිණිස පවතින්නේ ද යන කරුණ බුදු සමිඳුන් ගේ උතුම් දේශනා ඇසුරින් අපට සාධක සහිත ව දැක්විය හැක.

ස්ත්‍රිය බඹසර ජීවිතයට මලකඩයක් (ඉත්ථි මලං බ්‍රහ්මචරියස්ස) බව දේශනා කොට වදාළ තැන් කිහිපයක් ම සූත්‍ර පිටකයේ දක්නට ලැබෙන අතර ස්ත්‍රිය කළු සර්පයෙකුට උපමා කොට වදාළ දේශනයක් ද කණ්ණසප්ප සූත්‍රය යන නමින් සූත්‍ර දේශනා අතර වේ.

පැවිදි ජීවිතයක් ගත කරන ස්වාමින් වහන්සේලා ස්ත්‍රිය සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේ ද යන කරුණ ගැන බුදු රජාණන් වහන්සේ පිරිනිවන් මඤ්චකයේ දී වදාළ මෙම දහම් කරුණු දෙස බලන්න.

ධර්මභාණ්ඩාගාරික ආනන්ද ස්වාමින් වහන්සේ බුදු රජාණන් වහන්සේ ගෙන් මෙසේ අසා වදාළ සේක.

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ස්ත්‍රීන් කෙරෙහි අනුගමන කළ යුත්තේ කුමක් ද?”

“ආනන්දය, නො දැක සිටින්න, (අදස්සනං ආනන්ද).

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස දක්නට ලැබුනහොත් අනුගමනය කළ යුත්තේ කුමක් ද?”

“ආනන්දය, කථා නො කර සිටින්න, (අනාලාපෝ ආනන්ද).

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස යම් හෙයකින් කථා කරන්නට සිවුවහොත් කටයුතු කළ යුත්තේ කෙසේ ද?”

“ආනන්දය, (සතර සතිපට්ඨානය තුළ) සිහිය පිහිටුවාගත යුතු ය, (සති ආනන්ද උපට්ඨාපේතබ්බා).

(මහා පරිනිබ්බාන සූත්‍රය)

මූලික ව ම ස්ත්‍රිය දැකීමෙන් වළකින ලෙස ස්වාමින් වහන්සේලාට දේශනා කරන්නට නම්, ස්ත්‍රිය බඹසර ජීවිතයට කෙතරම් සම්බාධකයක් ද යන්න අපට පැහැදිලි වේ.

නමුත් වර්තමාන සමාජ ක්‍රමය අනුව ස්ත්‍රීන් සමග කටයුතු කිරීමකින් තොර ව දහමේ හැසිරීමක් ද බලාපොරොත්තු නො හැකි නිසා ස්ත්‍රිය ගේ ආදීනව හොඳින් තේරුම් ගෙන සිටීම බඹසර ජීවිතය සාර්ථක කරගැනීමට හේතුවක් වන්නේ ය.

විශේෂයෙන් ම ස්වාමින් වහන්සේලා ගේ පැවිදි බව ආරක්ෂා කරගැනීමට නම් ස්ත්‍රියගෙන් ප්‍රවේසම් වීම අවශ්‍යයෙන් ම සිදු විය යුතු කරුණකි. එම නිසා මෙය ස්වාමින් වහන්සේලාට ද ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

03. දහමේ හැසිරීම සඳහා ඇත්ත වශයෙන් ම පුරුෂයන්ට වඩා ස්ත්‍රියට ඇත්තේ අපහසු පරිසරයකි. හුදෙකලාවේ වනාන්තරයකට ගොස් බණ භාවනා කරගන්නට පවා පරිසරයක් ඔවුන්ට එදා සේ ම අද ද හොඳින් ලැබෙන්නේ නැත. ලැබුණ ද එය දුෂ්කරතා මධ්‍යයේ ය. එම නිසා ස්ත්‍රියක් ලෙස සසරේ ගමන් කරන්නට සිදු වුව හොත් එය අවාසනාවන් ගොන්නකට තවත් අවාසනාවක් එක් වීමකි. ගහෙන් වැටුනු මිනිසාට ගොනා ඇන්නා වැනි සිදු වීමකි. එම නිසා දහමේ හැසිරෙන පින්වත් ශ්‍රාවිකාවන් ගේ සිත් තුළ ස්ත්‍රී භාවය කෙරෙහි යම් ඇල්මක් ඇත් නම් එය දුරු කොට ගෙන (සසරේ යන්නට සිදු වුවහොත්) ගෝපිකා උපාසිකා තුමිය මෙන් ස්ත්‍රී භාවයෙන් නිදහස් වී සසර දුකින් ඉක්මණින් ම නිදහස් වීමේ අවස්ථාව උදාකර ගැනීමට රුකුල් දීමක් වශයෙන් ද, මෙම ග්‍රන්ථය සකස් වී ඇත.

උන්මාදිනී හි ඇතුළත් කරුණු සෑම ස්ත්‍රියකට ම පොදු ද?

ඇත්තෙන් ම එය එසේ නො වේ. දිවි දෙවැනි කොට දහමේ හැසිරුනා වූ ද හැසිරෙන්නා වූ ද බුදු රජාණන් වහන්සේ ගේ මඟ-ඵල ලාභී ආර්ය ශ්‍රාවිකාවන්ට මෙම කරුණු කිසිසේත් ම අදාළ නො වේ. එසේ ම සිල් ගුණ දම් රකිමින් සිටිනා ශ්‍රාවිකාවන්ට ද මෙම කරුණු අදාළ නො වේ.

එම නිසා එම ආර්ය ශ්‍රාවිකාවෝ සියලු දෙනා ම අපහට සමාව භජනය කරන සේක් වා.

විශේෂ කරුණක්

විශේෂයෙන් ම මෙය කියවන්නා වූ ස්ත්‍රී පාර්ශවයට තමන් ගේ සිත තුළ බුදු රජාණන් වහන්සේ ගැන ඇති ශ්‍රද්ධාවේ තරම මැන ගැනීමට අඟනා අවස්ථාවක් හිමි වේ. මෙය කියවා බුදු රජාණන් වහන්සේ වත් ධර්මයත් අතහරින්නට යම් තැනැත්තියක් තැත් කරනවා නම් එය එම තැනැත්තිය ගේ අවාසනාව බව නො කිව මනා ය. තව ද බමුණු සමාජය තුළ පුරුෂාධිපත්‍යයට යටත් වහල් ජීවිතයක් ගත කළ ස්ත්‍රියට ඉන් නිදහස් වී පරම නිවහල් භාවය භුක්තිවිදීමේ වාසනාව උදාවූයේ ද මහා කාරුණික බුදු සමිඳුන් නිසා ම බව සිත තබා ගත යුතු කරුණකි. (ථේරී ගාථා කියවත් වා!)

තව ද ධර්මයට අනුව පුරුෂ උපතට වඩා ස්ත්‍රී උපත යම් කිසි අල්ප පුණ්‍යභාවයක් නිසා ඇතිවන එකක් බව ආදයෙන් ම පිළිගත යුතු කරුණකි.

එම නිසා ස්ත්‍රී භාවය ගැන ඇති ඇල්ම දුරු කොට සසර උපත කෙළවර කර ගනු කැමති පින්වත් ශ්‍රාවිකාවන් බුදු රජාණන් වහන්සේ ගේ උතුම් දේශනයක් වන අංගුත්තර නිකායේ ‘සංයෝග විසංයෝග ධම්මපරියාය සූත්‍රය’ කියවත්වා!

https://pitaka.lk/main?n=32148

https://tipitaka.lk/an-7-1-5-8/sinh

මෙය කියවන පින්වතියන්ට ද තමන් ගේ ජීවිත වඩ වඩාත් සිල්වත් කොට ගෙන ධර්මයේ හැසිරී උතුම් නිවනින් සැනසෙන්නට වාසනාව උදා වේවා !

සියලු දෙනාට ම ඉතා ඉක්මණින් සසර දුකින් නිදහස් වීමේ භාග්‍ය ලැබේවා !

තෙරුවන් සරණ යි !

ඝෝර කටුක සසරින් සදහට ම නිදහස් වූ උත්තම මහරහත් මෙහෙණිවරු ඇතුළු භාග්‍යවතුන් වහන්සේ ගේ ආර්ය ශ්‍රාවිකාවන්ට අප ගේ නමස්කාරය වේවා !

සෝමා මහරහත් මෙහෙණියට පාපී මාරයා මෙසේ කිව්වා :-

“ඉසිවරුන් විසින් ලැබිය යුතු දුලබ වූ යම් ඒ (අරහත්) පදවියක් ඇද්ද, එය දෑඟුල් නුවණ ඇති ස්ත්‍රිය විසින් ලැබිය නො හැකි යි.”

සෝමා මහරහත් මෙහෙණිය මාරයාට මෙසේ පිළිතුරු දී වදාළා :-

“සිත හොඳින් සමාහිත නම්, අවබෝධඥානය ත් තිබෙනවා නම්, ධර්මයන් මැනවින් විදර්ශනා ප්‍රඥාවෙන් දකිනකෙනාට ස්ත්‍රී භාවය කුමක් කරන්න ද?

යම් කිසි අයෙක් මම ස්ත්‍රියක්, මම පුරුෂයෙක්, මම කිසියම් කෙනෙක්, කියා සිතනවා නම් මාරයා විසින් ඔය කථාව කිව යුත්තේ එවැනි කෙනෙකුට යි.”

(සෝමා සූත්‍රය - සංයුත්ත නිකාය - සගාථ වර්ගය)