පිංගියානි බිසවගේ කථාව

මේ විදියට කුණාල රජතුමා තමන් දැකපු ඒ සිදුවීම ත් පූර්ණමුඛ නම් වූ ඵුස්ස කෝකිල රජුට ප්‍රකාශ කළා. ඊළඟට තවත් සිදුවීමක් විස්තර කළා.

යහලු පූර්ණමුඛ, බොහෝ ම ඉස්සරකාලේ බ්‍රහ්මදත්ත කියන රජ්ජුරුකෙනෙකුට පිංගියානි කියලා අග බිසවක් සිටියා. ඉතින් මේ බිසව දවසක් සීමැදුරු කවුලුව ඇරල බලනකොට මඟුල් අස් ගොව්වා දැක්කා. දැකලා ඔහු කෙරෙහි රාගය ඇති කරගෙන, රජ්ජුරුවන් නිදා ගත් සීමැදුරු කවුලුවෙන් බැස ගොස් ඔහු සමඟ අනාචාරයේ යෙදෙන්නට පුරුදුවුනා. ඉන්පසු ව නැවත රජ මැදුරට පැමිණ සඳුන් සුවඳ තවරාගෙන රජතුමා සමඟ සැතපෙනවා.

ඉතින් එක දවසක් රජතුමාට මධ්‍යම රාත්‍රියේ දී බිසවුන් ගේ ශරීරය සීතල බව තේරුනා. ඒ ගැන පරීක්ෂා කළ යුතු යැයි රජතුමා සිතා ගත්තා. පසුවදා බොරුවට නිදා ගෙන සිටියා. රජතුමා ඇත්තට ම නිදා ගෙන සිටිනවා යැයි සිතූ බිසව හිමීට නැගිටලා පිටත් වුනා. රජතුමා ත් නො දැනෙන විදියට පිටුපසින් ගියා. මේ විදියට ගියපු රජතුමාට තමන් ගේ බිසව අර අස්ගොව්වා සමඟ අනාචාරයේ හැසිරෙනවා දකින්නට ලැබුණා. රජතුමා ආපසු පැමිණිලා නිදාගත්තා. බිසව ත් ආපසු පැමිණ සුළු යහනේ නිදා ගත්තා.

පසුව දා රජතුමා ඇමති මණ්ඩලය මැද ම ඇගේ මේ වරද ප්‍රකාශ කළා. ස්ත්‍රීන් කියන්නේ මේ වගේ නුගුණ තිබෙන පිරිසක් කියා, කළකිරී දඬුවම් දිය යුතු වරදට සමාව දී ඇය ව අගබිසෝ තනතුරෙන් පහ කොට වෙනත් බිසවක් පත් කොට ගත්තා....