තවත් කරුණු

කරත්ත රෝදේ වගෙ යි...

ඉතින් ඒ විදියට අතීත සිදු වීම් දේශනා කළ බෝසත් කුණාල රජතුමා තව දුරට ත් ස්ත්‍රී ජීවිතයේ යථාර්ථය හෙළි කොට වදාළා.

“යහලු පූර්ණමුඛ, මේ ස්ත්‍රීන් කුඩා දේට ත් තමන් ගේ ස්වාමිපුරුෂයා ව විනාශ කොට සොරුන් සමග පවා එක් වෙනවා. ස්ත්‍රීන් කියන්නේ වහා පෙරළෙන සිත් ඇති පිරිසක්, කෙළෙහි ගුණ නො දන්නා පිරිසක්, ද්‍රෝහී පිරිසක්, ඉතින් අන්න ඒ නිසා භූතාවිෂ්ට නො වූ කිසි ම පුරුෂයෙක් ස්ත්‍රීන් ව විශ්වාස කරන්නේ නැහැ.

ස්ත්‍රීන් කළ දේ දන්නෙත් නෑ. කළ යුතු දේ දන්නෙත් නෑ. මව හෝ පියා හෝ සහෝදර සහෝදරියන් හෝ දන්නෙත් නෑ. ලජ්ජා විරහිත, ඉක්ම වූ ගුණ දහම් ඇති ස්ත්‍රීන් තමන් ගේ ම සිතේ වසඟයට යනවා.

ප්‍රාණය හා සමාන ව තමන්ට අනුකම්පා කරන, බොහෝ දවසක් එකට වාසය කළ පුරුෂයන් ව පවා, අවස්ථාවක් ලැබුණොත් මැඩපවත්වනවා. අතහැර දමනවා. එම නිසා ස්ත්‍රීන් ව විශ්වාස නො කළ යුතු යි.

මේ ස්ත්‍රීන් ගේ සිත අත්තක් අල්ලාගෙන තවත් අත්තක් අල්ලන වඳුරන් වගෙ යි. සුළඟින් සෙළවෙන අතුපතර වගෙයි. උස් පහත් භේදයක් නො මැති ව වැටෙන ගස් සෙවන වගේ ස්ත්‍රීන් ගේ සිත එක තැනක පිහිටන්නේ නෑ. ඒ වගේ ම ස්ත්‍රීන් ට තිබෙන්නේ, වහා පෙරලෙන කරත්ත රෝදයක් වගේ නොයෙක් අරමුණු වලට පෙරළෙන සිතක්.

වදන් වලට රැවටෙන්න එපා...

ඉතින් යම් කිසි ස්ත්‍රියකට තමන් සොයා බලද්දී පුරුෂයෙක් සතු ව ලබා ගත යුතු වස්තුවක් හෝ යම් කිසිවක් තිබෙන බව දකින්නට ලැබුණොත්, එතකොට කාම්බෝජ දේශයේ මිනිසුන් දිය සෙවෙල් වලින් අශ්වයින් අල්ලා ගන්නවා වගේ, මෘදු වචන වලින් ඒ පුරුෂයා ව තමන් ගේ වසඟයට ගන්නවා.

ඉතින් සොයා බලද්දී පුරුෂයා තුළ ගත යුතු දෙයක් නැත්නම් එතකොට, ගඟ තරණය කළ විට පහුර අත හරිනවා වගේ පුරුෂයා ව අතහැර දමනවා.

සිලේසූපමා සිඛීරිව සබ්බභක්ඛා

තික්ඛමායා නදීරිව සීඝසෝතා

සේවන්ති හේතා පියමප්පියඤ්ච

නාවා යථා ඕරකුලං පරඤ්ච

මේ ස්ත්‍රීන් පුරුෂයන් ගේ සිත් අලවන නිසා ලාටු වගෙයි. රාග ගින්නෙන් හැම දෙයක් ම පුච්චා දමන නිසා ගින්න වගෙයි. වේගයෙන් ගලා යන ගංගාව වගේ මේ ස්ත්‍රීන් තියුණු මායා වලින් යුක්ත යි. ඒ වගේ ම මේ ස්ත්‍රීන් එගොඩ මෙගොඩ දෙක ම ඇසුරු කරන නැවක් වගේ ප්‍රිය අප්‍රිය හැම දෙනා ව ම සේවනය කරනවා.

න තා ඒකස්ස න ද්වින්නං

ආපණෝව පසාරිතෝ

යෝ තා මය්හන්ති මඤ්ඤෙය්‍ය

වාතං ජාලේන බාධයේ

මේ ස්ත්‍රින් එක්කෙනෙකුට විතරක් අයිති නෑ. දෙදෙනෙකුට විතරක් අයිති ත් නෑ. විවෘත කරපු සල්පිළක් වගෙයි. යම් කිසි කෙනෙක් ඒ ස්ත්‍රීන් ව මගේ කියල හිතනවා නම්, ඔහු දැළකින් සුළඟක් වළක්වන්න හදනවා වගෙයි.

යථා නදී ච පන්ථෝ ච පානාගාරං සභා පපා

ඒවං ලෝකිත්ථියෝ නාම වේලා තේසං න විජ්ජති

ගං තොටුපොළවල් වලට බොහෝ දෙනෙක් බැහැලා ස්නානය කරනවා. පැන් පානය කරනවා. ස්ත්‍රීනු ත් අන්න ඒ තොටුපොළ වගේ තමයි. රා මණ්ඩපයකට ත් කැමති කැමති කෙනා ගිහිල්ලා රා බොනවා. ස්ත්‍රීනු ත් අන්න ඒ රා මණ්ඩප වගේ තමයි. රැස්වීම් ශාලාවල කැමති කැමති කෙනා ගිහිල්ලා රැස් වෙනවා. මේ ලෝකයේ ස්ත්‍රීනුත් අන්න ඒ රැස්වීම් ශාලා වගෙයි. ඔවුන්ට සීමාවක් නෑ.

ඝතාසනසමාහේතා කණ්හසප්පසිරූපමා

ගාවෝ බහි තිණස්සේව ඕමසන්ති වරං වරං

මේ ස්ත්‍රින් ගින්නට සමාන යි. කලු සර්පයෙකු ගේ හිසකට උපමා කරන්ට පුලුවන්. අලුත් අලුත් තණ කොළ හොයා ගෙන යන හරක් වගේ ඔවුන් පුරුෂයන් අත හරිමින් අලුත් පුරුෂයන් සොයනවා.

කොච්චර දවසක් දැක්ක ත්, කොච්චර ළං වෙලා කාලය ගත කළ ත් මේ ලෝකයේ රජතුමා ත්, සර්පයිනු ත්, මත් වූ ඇතුනුත් විශ්වාස කරන්නට බැහැ. ඒ නිසා ඔවුන් ව ඇසුරු කළ යුත්තේ සිහියෙන් ම යි. ස්ත්‍රීනු ත් අන්න ඒ වගේ තමයි. කෙතරම් කාලයක් ඇසුරු කළ ත් විශ්වාස කරන්ට බැහැ. සැබෑ ස්වරූපය දැන ගන්ට ත් බැහැ.

මේ නිසා ගොඩාක් ලස්සන කාන්තාව ත්, බොහෝ දෙනාට ප්‍රිය තැනැත්තිය ත්, නැටුම් ගැයුම් වලට දක්ෂ ස්ත්‍රිය ත්, වෙනත් අයෙකු ගේ භාර්යාව ත් යන මේ ස්ත්‍රීන් ව සේවනය නො කළ යුතු යි. ධනය නිසා වත් ඇසුරු නො කළ යුතු යි.

මෙන්න මේ විදියට කුණාල රජතුමා සර්වඥයන් වහන්සේ නමක් මෙන් නොයෙක් ක්‍රම වලින් තමන් දැක්කා වූ ත් ලෝකයේ පැවත එන්නා වූ ත් ස්ත්‍රීන් ගේ නුගුණ කැටි වූ ධර්ම දේශනාවක් කළා. ඒ ධර්ම දේශනාවට සවන් දුන්නු එතැනට රැස් වෙලා සිටි දහස් සංඛ්‍යාත පිරිස දොහොත් මුදුනේ තබා සියදහස් ගණන් සාදුකාර දුන්නා.

ඒ සුන්දර ධර්ම දේශනාවට සවන් දුන්න ‘අනද’ කියන ගිජුළිහිණි රජතුමා ත් තමන් දන්නා වූ ස්ත්‍රීන් ගේ නුගුණ ඒ අවස්ථාවේ දී මේ විදියට ගාථා වලින් ප්‍රකාශ කළා.

මොනව දුන්නත් වැඩක් නෑ...

“මේ ලෝකයේ යම් කිසි මිනිසෙක් තමන් ගේ සත්පුරුෂකම නිසා නොයෙක් මාණික්‍ය රත්නයන් ගෙන් පිරුණු සතර මහා සාගරයෙන් වට වූ මේ මුලු මහත් පොලෝ තලයේ ම රාජ්‍යශ්‍රීය යම් ස්ත්‍රියෙකුට ලබා දුන්න ත්, ඒ ස්ත්‍රිය අවස්ථාවක් ලැබුණොත් ඔහු ඉක්මවා වෙනත් කෙනෙක් සමඟ අනාචාරයේ හැසිරෙනවා. ඒ නිසා ඒ වගේ සිහියක් නො මැති ස්ත්‍රීන් ගේ වසඟයට නම් නො යා යුතු යි.

දහයක් වැදුවත් විශ්වාස කරන්න එපා....

ඒ වගේ ම බොහෝ ම උත්සාහවත්, නො පසුබසිනා වීරියකින් යුක්ත, තරුණ අවදියේ පටන් එකට සිටි තමන් ගේ ප්‍රිය ස්වාමිපුරුෂයා යම් කිසි කටයුත්තක් පිණිස බැහැරට ගිය විට ත් විපතකට පත් වුන විට ත්, වෙනත් කිසියම් කටයුත්තක් ඇති වූ විට ත් ඔහු හැර දමා වෙන එකෙක් සමඟ ලගින එක තමයි මේ ස්ත්‍රීන් ගේ ස්වභාවය. ඒ වගේ ම මේ ස්ත්‍රීන් තමන් ගේ පුරුෂයා නැවත පැමිණි විට “අනේ ඔයා කොහෙද ගියේ...? ඔයා නැතිව මම මේ හරි ම දුකෙන් හිටියෙ.” ආදී වශයෙන් කියමින් සෙනෙහස හඟවමින් හඬනවා. නමුත් කිසි ලෙසකින් වත් විශ්වාස කළ නො හැකි යි.

න විස්සයේ ඉච්ඡති මන්ති පොසෝ

න විස්සයේ රෝදති මේ සකාසේ

සේවන්ති හේතා පියමප්පියඤ්ච

නාවා යථා ඕරකුලං පරඤ්ච

‘මැය මට ආදරෙයි’ කියා ස්ත්‍රිය ව විශ්වාස නො කළ යුතු යි. ‘මැය මං ළඟ හඬනවා’ කියා ස්ත්‍රිය ව විශ්වාස නො කළ යුතු යි. මක් නිසා ද යත්: එගොඩ මෙගොඩ දෙක ම සේවනය කරන නැව මෙන්, ස්ත්‍රීන් ද ප්‍රිය අප්‍රිය දෙදෙනා ම ඇසුරු කරන නිසයි.

න විස්සයේ සාඛපුරාණසන්ථතං

න විස්සයේ මින්තපුරාණචෝරං

න විස්සයේ රාජා සඛා මමන්ති

න විස්සයේ ඉත්ථී දසන්නමාතරං

(ඇතුළත සර්පයින් සිටිය හැකි නිසා) පරණ කොළ ඇතිරිය ගැන විශ්වාස කරන්නට බැහැ. ‘කලින් යාලුව නෙ’ කියා ගම්පහරන හොරා ගැන විශ්වාස කරන්නට බැහැ. මගේ හොඳ යාලුවෙක් කියා රජ්ජුරුවන් ව විශ්වාස කරන්නට බැහැ. පුතුන් දහයක් වදා සිටිය ත් ස්ත්‍රිය විශ්වාස කරන්නට ත් බැහැ.

ස්ත්‍රීන්ට ඇලෙන්නේ බාලයෝ යි...

ඇත්තෙන් ම බාලයන් විසින් ම ඇලුම් කරන, ඉක්මවාගිය සිල් ඇති, හික්මීමක් නැති, ස්ත්‍රීන් ගැන විශ්වාස නො කළ යුතු යි. ගොඩාක් ප්‍රේමයෙන් සිටියත් ඒ භාර්යාව ගැන ත් විශ්වාස නො කළ යුතු යි. මොකද? ස්ත්‍රීන් තොටුපොළවල් වගෙ යි.

හනෙය්‍යු ඡින්දෙය්‍යුම්පි ඡේදයෙය්‍යුං

කණ්ඨම්පි ඡෙත්වා රුධිරං පිබෙය්‍යුං

මා දීනකාමාසු අසඤ්ඤතාසු

භාවං කරේ ගංගාතිත්ථූපමාසු

සැමියා නසන, සිඳින, සිඳවන, බොටුව සිඳ ලේ බොන, ළාමක අදහස් ඇති, සංයමයක් නැති, ගංගා තොටුපොළවල් වැනි ස්ත්‍රීන් කෙරෙහි කැමැත්තක් නම් ඇති කරගන්නට එපා.

මුසා තාසං යථා සච්චං

සච්චං තාසං යථා මුසා

ගාවෝ බහි තිණස්සේව

ඕමසන්ති වරං වරං

මේ ස්ත්‍රීන් ගේ බොරුව ඇත්ත වගෙ යි. ඇත්ත බොරුව වගෙයි. තණ බිමෙන් පිට හොඳ හොඳ තණ කොළ සොයා යන ගවයන් වගේ ස්ත්‍රීන් වෙනත් පුරුෂයන් සොයා යනවා.

මේ ස්ත්‍රීන් ගමනිනුත් බැල්මෙනුත් මඳ සිනාවෙනුත් බාගෙට ඇඳුම් ඇඳීමෙනුත් මිහිරි වචන කීමෙනුත් පුරුෂයන් ව පොළඹවනවා.

චෝරියෝ කඨිනාහේතා වාළා ච ලපසක්ඛරා

න තා කිඤ්චි න ජානන්ති යං මනුස්සේසු වඤ්චනං

මේ ස්ත්‍රීන් කියන්නේ හොරු විශේෂයක්. තද සිත් තිබෙන චපල ජාතියක්. දුෂ්ට සිත් තිබෙන නමුත් හකුරු වගේ මිහිරි වචන ඇති පිරිසක්. මේ මිනිස් ලෝකයේ යම්තාක් වංචා තිබෙනවා නම් ඒවාගෙන් ස්ත්‍රීන් නො දන්නා කිසිවක් නෑ.

අසා ලෝකිත්ථියෝ නාම වේලා තාසං න විජ්ජති

සාරත්තා ච පගබ්භා ච සිඛී සබ්බඝසෝ යථා

මේ ලාමක වූ ස්ත්‍රීන් හැම විට ම රාගයෙන් ඇලිල යි ඉන්නේ. නුසුදුසු ඇවතුම් පැවතුම් වලින් යුතු ව යි ඉන්නේ. සියල්ල දවන ගින්න වගේ, හැම දෙයක් ම වනසනවා. ඔවුන්ට සීමාවක් නම් නෑ.

ප්‍රිය අප්‍රිය බේධ නො තකා...

ස්ත්‍රීන්ට ප්‍රිය කෙනෙකුත් නෑ. අප්‍රිය කෙනෙකුත් නෑ. එගොඩ මෙගොඩ දෙක ම ඇසුරු කරන නැව වගෙ යි. ගස වැළඳගෙන යන වැල වගේ ධනය හේතුවෙන් ස්ත්‍රීන් පුරුෂයන් ව වැළඳගන්නවා. උසස් පහත් භේදයකින් තොර ව ධනය ඇති පුරුෂයා කරා ම තමයි මේ ස්ත්‍රීන් ගමන් කරන්නේ.

ඉතින් මෙන්න මේ විදියට අනඳ නම් ගිජුළිහිණි රජතුමා ස්ත්‍රීන් ගැන පැවසූ පසු, නාරද නම් තාපසයන් වහන්සේ ත් තමන් වහන්සේ ගේ නුවණ බලයෙන් මේ විදියට ස්ත්‍රීන් ගේ නුගුණ ගාථාවලින් දක්වන්නට වුනා.

තෘප්තිමත් කළ නො හැකි කරුණු හතර...

මේ ලෝකේ කරුණු හතරක් පුරවා නිම කරන්නට බැහැ. ගංගා දහසක ජලය නො නැවතී ගලාගෙන ගියත් මහා සාගරය පුරවන්නට බැහැ. වේද හදාරන බමුණන් ඒ වේද හැදෑරීමෙන් කිසි දිනෙක තෘප්තියකට පත් වන්නෙ ත් නැහැ. නොයෙක් වස්තූන් ගෙන් යුක්ත මහ පොළොව ම ජය ගත්තත් රජවරු තෘප්තිමත් වෙන්නේ නැහැ. පිට සක්වළක් හෝ ප්‍රාර්ථනා කරනවා.

ඒවමේකාය ඉත්ථියා අට්ඨට්ඨ පතිනෝ සියා

සූරා ච බලවන්තා ච සබ්බකාමරසාරහා

කරෙය්‍ය නවමේ ඡන්දං ඌනත්තා හි න පූරති.

ස්ත්‍රීනුත් අන්න ඒ වගේ ම යි. හැම ස්ත්‍රියකට ම සූර වීර, මහා කාය බල, ඤාණ බල ඇති සියලු සැප සම්පත් ලබා දෙන්නට පොහොසත්, සියලු කාමාශාවන් සන්තර්පණය කරන්නට හැකියාව ඇති, ස්වාමිපුරුෂයන් අට දෙනා බැගින් දුන්නත්, නව වැනි හොර සැමියෙකුත් සොයනවා. ඌන භාවය නිසා ම පිරෙන්නේ නෑ.

සබ්බිත්ථියෝ සිඛිරිව සබ්බභක්ඛා

සබ්බිත්ථියෝ නදීරිව සබ්බවාහිනී

සබ්බිත්ථියෝ කණ්ටකානං ව සාඛා

සබ්බිත්ථියෝ ධනහේතූ වජන්ති

සියලු ස්ත්‍රීන් ගින්න වගේ හැම දෙයක් ම කා දමනවා. සියලු ස්ත්‍රීන් ගංගාව වගේ හැම දෙනෙක් ව ම උසුලාගෙන යනවා. සියලු ස්ත්‍රීන් කටු ගස්වල අතු වගෙ යි. සියලු ස්ත්‍රීන් ධනය නිසා පුරුෂයන් ව සේවනය කරනවා.

වාතඤ්ච ජාලේන නරෝ පරාමසේ

ඕසිඤ්චියා සාගරමේකපාණිනා

සකේන හත්ථේන හනෙය්‍ය ඝෝසං

යෝ සබ්බභාවං පමාදාසු ඔස්සජේ

යම් පුරුෂයෙක් කාන්තාවන්ට තමන් ගේ රහස් ප්‍රකාශ කොට ඒ රහස් පිටතට නොයා රකින්නට උත්සාහ කරනවා නම්, ඔහු දැළින් සුළං නවත්වන්නට උත්සාහ කරනවා වගෙ යි. එක අත්ලකින් මහ සමුදුරේ දිය හිස් කරන්නට හදනවා වගෙයි. තමන් ගේ එක ම අතින් අත්පුඩි ගසන්නට හදනවා වගෙයි.

මාලුවා ගිය පාර වගෙ යි...

ස්ත්‍රීන් අතර සත්‍ය ඉතා දුර්ලභ යි. හොර ස්වරූපයෙන් යුතු බහු බුද්ධික ස්ත්‍රීන් ගේ අදහස් වතුරේ ගිය මාලුන් ගේ මාර්ගය මෙන් දැන ගන්නට දුෂ්කර යි.

මෙපමණ යැයි කියන්නට බැරි නුගුණ ඇති, නමුත් මුදු මොලොක් වචන ඇති, කෙළෙස් රතියෙන් පිරවිය නො හැකි ස්ත්‍රීන් ගංගා වගෙයි. ස්ත්‍රීන් තමන් ව ඇසුරු කරන්නන් සතර අපායේ ගිල්වන බව දැන ගෙන ඔවුන් ව දුරින් ම දුරු කළ යුතු යි.

ආවට්ටනී මහාමායා බ්‍රහ්මචරියවිකෝපනා

සීදන්ති නං විදිත්වාන ආරකා පරිවජ්ජයේ

අනුන් මෝහනය කරන මහා මායා ඇති, බඹසර ජීවිතය විනාශ කොට දමන ස්ත්‍රීන් ව ඇසුරු කරන අය සතර අපායේ ගිල්වන බව දැන ගෙන ඔවුන් ව දුරින් ම දුරු කළ යුතු යි.

යම් ස්ත්‍රියක් ආදරය නිසා හෝ ධනය නිසා හෝ යම් කිසි පුරුෂයෙක් ව ඇසුරු කරනවා නම්, පහස ලැබූ ලැබූ තැන පුච්චා දමන ගින්න මෙන් ඉතා ඉක්මණින් ඒ පුරුෂයා විනාශ කොට දමනවා. පුළුස්සා දමනවා.

මේ විදියට නාරද නම් තාපස්වීන් වහන්සේ තමන් දන්නා ආකාරයෙන් ස්ත්‍රීන් ගේ නුගුණ දේශනා කළා.

ඒ අවස්ථාවේ දී බෝධිසත්ව කුණාල රජතුමා, නැවත ත් මේ විදියට පවසන්නට වුණා.

සිහියෙන් නො සිටියොත් නම් අමාරුවේ...

“මේ ලෝකයේ පණ්ඩිත මිනිසුන් සිටිනවා. ඔවුන් සියුම් මුවහතක් ඇති කඩුවක් අතින් ගත් සොරෙක් සමග වුනත් කථා බස් කරනවා. ඒ වගේ ම මීනි කන රාක්ෂයින් සමග කතා කරන්නට වුනත් ඔවුන් භය වන්නේ නැහැ. උග්‍ර විෂ තිබෙන විෂඝෝර සර්පයින් සමඟ කථා බහ කරන්නට වුනත් ඔවුන් ගේ සිතේ පැකිළීමක් නම් ඇති වන්නේ නැහැ. නමුත් හුදෙකලාවේ සිටින ස්ත්‍රියක් සමඟ නම් ඔවුන් කථා බස් කරන්නේ නැහැ.

නැටීම, ගී කීම, කථාව, සිනාව යන මේවා ආයුධ කරගෙන සිටින ස්ත්‍රීන් ලෝකයා ගේ සිත් යටපත් කරනවා. මිනිසුන් ව පොළඹවා කා දමන යක්ෂ දිවයිනේ රකුසියන් වගේ, සිහිය පිහිටුවා නොගත් පුරුෂයන් ව විනාශ කරනවා.

මේ ස්ත්‍රීන්ට හික්මීමක් නැහැ. සංවරයකුත් නැහැ. මත් පැන් වලට හා මස්වලට ගිජුවූ ඒ ස්ත්‍රීන් මහා සාගරයේ මෝරෙක් ගිලින තිමිංගල නම් මාලුවා වගේ පුරුෂයා දුකසේ උපයන ධනය විනාශ කරනවා.

මිහිරි ස්වරූපයෙන් යුක්ත පංචකාම සැපත ම ගොදුරු කරගෙන සිටින, උඩඟු වූ අස්ථීර සිත් ඇති, අසංවර ස්ත්‍රීන්, ගංගාවන් ඇද ගන්නා මහා සාගරය වගේ ප්‍රමාදී පුරුෂයා ව තමන් ගේ වසඟයට ගන්නවා.

යම් ස්ත්‍රියක් ප්‍රේමය නිසා හෝ පංචකාමයන් විඳීමට හෝ ධනයට ඇති ඇල්ම නිසා හෝ යම් පුරුෂයෙක් ළඟ නැවතුනොත්, ගුණයෙන් ගින්නක් වගේ බබලන පුරුෂයෙක් ව වුනත්, රාගද්වේශ වලට වසඟ වුන ඒ ස්ත්‍රීන් විනාශ කොට දමනවා.

එන්නේ නම් පණ පුදාගෙන...

මේ ස්ත්‍රීන්ට ධන ධාන්‍ය වලින් ආඪ්‍ය වූ පොහොසත් පුරුෂයෙක් ව දැක ගන්නට ලැබුණහොත් ජීවිතය පරිත්‍යාග කරන්නට එන කෙනෙක් වගෙයි ඔහු ළඟට යන්නේ. ඉන්පසු රාගයෙන් රත් වූ සිත් ඇති ඔහු ව, සල්ගසක් වෙලා ගන්නා මාලුවා වැලක් වගේ ඉතා දැඩි ව වෙලාගෙන පීඩාවට පත් කරනවා.

ලස්සනට සැරසීමෙන් අලංකාර කරගත් ශරීර හා මුහුණු ඇති, සියගණන් මායාවන් ගේ දක්ෂ ඒ ස්ත්‍රීන් සම්බර නම් වූ අසුරයා මෙන්, මායාකාරයෙකු මෙන් නොයෙක් ආකාරයෙන් පුරුෂයා ගේ සිත අලවනවා. හඬ නඟා සිනාසෙනවා. මදහස පානවා.

ඒ විතරක් නො වෙයි, මහා තේජසකින් යුක්ත ස්ථානෝචිතප්‍රඥාවෙන් යුක්ත, බොහෝ පිරිසක් විසින් සත්කාර සම්මාන ලබන්නා වූ ලෝක පූජිත වූ උත්තම පුරුෂයෙක් වුනත්, යම් යකින් ස්ත්‍රියක ගේ වසඟයට පත් වුනහොත් ඔහු රාහු ගේ ග්‍රහණයට හසු වූ සඳ දෙව්පුත් මෙන් තෙද රහිත භාවයට පත් වෙනවා. විනාශ වී යනවා.

කිපුණු දුෂ්ට සිත් ඇති සතුරෙක් තමන්ට අහුවුනු තමන් ගේ සතුරෙකුට කරන්නේ යමක් ද, ස්ත්‍රීන් ගේ වසඟයට පත් වූ තණ්හා සහිත පුරුෂයා ඊට වඩා විශාල විපතකට පත් වෙනවා.

තා කුලේසු විසිඛන්තරේසු වා

රාජධානිනිගමේසු වා පුන

ඔඩ්ඩිතං නමුචිපාසවාකරං

චක්ඛුමා පරිවජ්ජයේ සුඛත්ථිකෝ

මේ ස්ත්‍රීන් ගෙවල්වල ත්, මාවත් අතර ත්, නගර රාජධානිවල ත්, ගම් නියම්ගම් වල ත් මාරයා විසින් අටවන ලද මර උගුලක් වගෙ යි. දැලක් වගෙ යි. එම නිසා නුවණැස් ඇති, දෙලොව සැප කැමති පුරුෂයා ස්ත්‍රිය දුරින් ම දුරු කරනවා.

මෝඩ වෙළෙන්දෙක් වෙන්න එපා...!

යම් කිසි කෙනෙක් දෙව් මිනිස් සැපත උදා කරන බඹසර ජීවිතය අතහැර දමා අනාර්ය වූ කාමසේවනයේ යෙදෙනවා නම් ඔහු දෙව්ලොවින් පෙරළී නිරයට වැටෙනවා. වටිනා මැණිකක් දී නො වටිනා දෙයක් ගන්නා ළාමක වෙළෙන්දෙක් වගෙයි.

ස්ත්‍රීන් ගේ වසඟයට ගිය ඒ අනුවණ තැනැත්තා මෙලොව දී ත් පරලොව දී ත් ගැරහීමට ලක් වෙනවා. තමන් විසින් ම කරගත් කර්මයන් විඳවීමට, කාල නියමයක් නො මැති ව දෙව් මිනිස් ලෝකයෙන් ගිලිහී අපායට යනවා. කුළු අශ්වයෙක් යොදපු කරත්තයක් නො මඟ යනවා වගෙ යි.

ස්ත්‍රී වසඟයට ගිය ඒ තැනැත්තා අතිශයින් ම දුක් තිබෙන නිරයට ද යකඩ කටුවලින් යුතු කටුඉඹුල් වනයට ද වැටෙනවා. ඒ වගේ ම තිරිසන් ලෝකය ත් ප්‍රේත විෂය ත් කාලකඤ්ජක අසුර නිකාය ත් ඉක්මවා යන්නට ඔහුට පුලුවන් වන්නේ නැහැ.

මරාගෙන මැරෙන අය වගෙ යි...

ප්‍රමාදී භාවයට පත් වුනු කාන්තාවෝ, ප්‍රමාදී වූ පුරුෂයන් ගේ නන්දන උද්‍යානයේ දිව්‍ය ක්‍රීඩා කරමින් සැප විඳින්නට ඇති අවස්ථාව ත් මනුෂ්‍ය ලෝකයේ සක්විති රාජ සම්පත්තිය ත් නසා දමනවා. ඒ වගේ ම ඒ පුරුෂයන්ට දුගති ත් සලසා දෙනවා.

එම නිසා යම් කිසි කෙනෙක් ලැජ්ජා බය ඇති කරගෙන සත් පුරුෂ ධර්මයන් ගේ පිහිටා ස්ත්‍රීන්ට වසඟ නො සිටිනවා නම් ඒ තැනැත්තා සරත් කාලයේ අහසේ දිදුලන සූර්යයා මෙන් මේ දෙවිසිස් ලෝකය බබුලුවනවා.

දිබ්බඛිඩ්ඩරතියෝ න දුල්ලභා

චක්කවත්තිචරිතඤ්ච මානුසේ

සොණ්ණව්‍යම්භනිලයා ච අච්ඡරා

යේ චරන්ති පමදාහනත්ථිකා

යම් කිසි කෙනෙක්, ‘මට නම් ස්ත්‍රීන් ගෙන් වැඩක් නැහැ’ කියා ඇල්ම දුරු කොට හැසිරෙනවා නම්, ඔවුන්ට දිව්‍යමය ක්‍රීඩාවන් ගේ ඇල්ම ත්, විසිස් ලෝකයේ සක්විති සැපය ත්, රන් විමන් වල සිටිනා දිව්‍යාංගනාවනුත් දුර්ලභ වන්නේ නැහැ.

කාමධාතුසමතික්කමා ගති

රූපධාතුයා භවෝ න දුල්ලභෝ

වීතරාගවිසයූපපත්තියා

යේ චරන්ති පමදාහනත්ථිකා

යම් කිසි කෙනෙක් ‘මට නම් ස්ත්‍රීන් ගෙන් වැඩක් නැහැ’ කියා ඇල්ම දුරු කොට හැසිරෙනවා නම්, ඔවුන්ට කාම ධාතුව ඉක්මවීමෙන් ලැබෙන රූපභවයේ උපත ත්, වීතරාගී අනාගාමී උතුමන් උපදින සුද්ධාවාස බඹලොවේ උපත ත් දුර්ලභ වන්නේ නැහැ.

නිවන ඕනේ නම්, ස්ත්‍රීන් අතහරින්න...

සබ්බදුක්ඛසමතික්කමං සිවං

අච්චන්තං අචලිතං අසංඛතං

නිබ්බුතේහි සුචීහි න දුල්ලභං

යේ චරන්ති පමදාහනත්ථිකා

නිවන කියන්නේ කෙලෙස් ගිනි නිවී ගිය තැනක්. හැම දුකක් ම ඉක්මවා ගිය තැනක්. නිර්භය භාවය ඇති කරන තැනක්. කිසි දිනෙක වෙනස් නො වන දෙයක්. කෙලෙසුන් ගෙන් කම්පා නො වන දෙයක්. හේතු ඵල දහමින් සකස් නො වූ දෙයක්. පිරිසිදු අය විසින් ම ලබා ගත යුතු දෙයක්. යම් කිසි කෙනෙක් ‘මට නම් ස්ත්‍රීන් ගෙන් වැඩක් නැහැ’ කියා ඇල්ම දුරු කොට හැසිරෙනවා නම්, ඔවුන්ට අන්න ඒ අමා මහ නිවන අවබෝධ කර ගැනීම ත් දුර්ලභ වන්නේ නැහැ.”

ඉතින් මෙන්න මේ විදියට එදා හිමාල පර්වතයේ තුන් යොදුන් උසැති රන්සිරියෙල් ගල්තලාව මත වැඩ හිදිමින් කුණාල කියන බෝසත් රජතුමා, ස්ත්‍රීන් ගේ නුගුණ විදහා දැක්වෙන ආකාරයට තමන් ගේ ධර්ම දේශනාව පැවැත්වුවා.

ඒ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කළ, දෙව් බඹුන් ඇතුලු විශාල පිරිසක්, ඉතාමත් සතුටින් යුතු ව සාධුකාර නංවමින් ඒ දේශනාව අනුමෝදන් වුනා. ඉන් පසු ව කුණාල බෝසත් රජතුමාට ස්තූති කරල වන්ඳනා කරල පිටත් වෙලා ගියා.

අනද නම් ගිජුළිහිණි රජතුමා ත්, නාරද නම් තපස්වීන් වහන්සේ ත් ඵුස්ස නම් වූ කොවුල් රජතුමා ත් තම තමන් ගේ පිරිවර සමඟින් තමන් වාසය කරන ස්ථානවලට ම පිටත් වෙලා ගියා. කුණාල කියන බෝධිසත්වයන් වහන්සේ ත් තමන් ගේ පිරිවර ත් සමඟ තමන් ගේ වාසස්ථානය කරා ගියා.

සදහම් ඇසීමෙන් ම දෙව්ලොව ඉපදුනා..

මේ කුණාල රජතුමා ගේ ධර්ම දේශනාවට සවන් දුන්න සියලු දෙනා ම වගේ කාමයන් ගැන කළ කිරීමක් ඇති කරගෙන අප්‍රමාදී ව පින් දහම් දියුණු කරගෙන දිව්‍ය ලෝකවල ම ඉපදුනා.

මේ විදියට එදා භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, අලුතෙන් පැවිදි වූ ස්වාමින් වහන්සේලා පන්සිය නමට හිමාල පර්වතයේ තුන් යොදුන් උසැති රන්සිරියෙල් ගල්තලාව මත වැඩහිඳිමින් මේ දේශනාව පවත්වා වදාළා.

අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ කුණාල රජතුමා වෙලා හිටපු කාලේ, ඵුස්ස කියන කොවුල් රජතුමා වෙලා ඉපදිලා සිටියේ උදායි ස්වාමින් වහන්සේ යි. ඒ දවස්වල නාරද කියන තාපසයන් වහන්සේ වෙලා ඉපදිලා සිටියේ අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ යි.

හිමාල කන්ද වගේ දුකක් ගෙවා දැම්මා...

ඉතින් ස්ත්‍රීන් ගේ නුගුණ ඉතා හොඳින් කියැවෙන මේ සුන්දර ධර්ම දේශනාවට සවන් දුන්න ඒ ස්වාමින් වහන්සේලා පන්සියය ම මේ ධර්ම දේශනාව ඉතා සතුටින් සාධුකාර නංවමින් පිළිගත්තා. ඒ ධර්ම දේශනාව අවසන් වෙනකොට ඒ ස්වාමින් වහන්සේලා තමන් ගේ හිතේ පිළිවෙත් පුරන්න තිබුණු අකැමැත්ත දුරු කරගෙන, මේ දුක්ඛිත සංසාරෙන් හිමාල පර්වතය තරම් ම දුක් ගොඩක් කෙළවර කරල දමල, සෝතාපන්න ඵලයට පත් වුනා.

ඊට පස්සේ අප ගේ ස්වාමී වූ ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, අලුතෙන් පියාසර කිරීමට පුරුදු වෙන ගුරුළු පැටවුන් ව පිටුපසින් තබා ගෙන පියඹා යන යොදුන් එකසිය පණහක් පමණ විශාල මහා තේජාන්විත ගුරුළු රාජයෙක් වගේ, ඒ පින්වත් ස්වාමින් වහන්සේලා ත් තමන් වහන්සේ ගේ සෘද්ධි බලයෙන් කැඳවාගෙන නැවත කිඹුල්වත් නුවර මහාවනයට ම වැඩම කළා.

ඉන් පස්සේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ඒ ස්වාමින් වහන්සේලාට තව දුරට ත් බණ භාවනා කරන හැටි ඉතා සුන්දර විදියට කියල දුන්නා. ඒ ධර්මයට අනුව අප්‍රමාදී ව බණ භාවනා කරපු ඒ පින්වත් ස්වාමින් වහන්සේලා පන්සියනම ම ඉතා ඉක්මණින් ම හැම දුකක් ම කෙළවර කරල දාල, ශාන්ත නිර්වාණය අවබෝධ කරගත්තා.

එදා ඒ උත්තම මහරහතන් වහන්සේලා පන්සියයත් සමඟ බුදු රජාණන් වහන්සේ කිඹුල්වත්නුවර මහාවනයේ වැඩ ඉන්නකොට තමයි, දසසහශ්‍රී ලෝක ධාතුවෙන් අනන්ත අප්‍රමාණ දෙව් බඹ පිරිසක් බුදු රජාණන් වහන්සේවත් ඒ රහතන් වහන්සේලාවත් දැක බලා ගන්නට මහාවනයට පැමිණුනේ. අන්න ඒ දවසේ තමයි බුදු රජාණන් වහන්සේ ඒ මහරහතන් වහන්සේලා ඇතුලු දෙව් මිනිස් ප්‍රජාවට අති උත්තම මහා සමය සූත්‍ර දේශනාව දේශනා කොට වදාළේ.

සාදු! සාදු!! සාදු!!!