අප බුදු සසුනෙහි සතිමන්ත, ගතිමන්ත, ධිතිමන්ත, බහුශ්‍රැත, අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමීන් වහන්සේ ද පෙර එක් ජීවිතයක ධනවත් රන්කරුවෙක් ව සිටිය දී පරදාර සේවනයේ යෙදී බොහෝ දුක් විපාක වින්දේ ය. එදා රන්කරු කාලයේ කළා වූ පාප කර්මය අළුයට ගිනි මෙන් අවකාශයක් නො ලබා කුසල කර්මයක විපාක වශයෙන් සිටු පුත්‍රයෙක් ව උපන්නේ ය. එහිදී කල්‍යාණ මිත්‍ර ඇසුර ඇතිව බොහෝ කුසල කර්ම කළේ ය.
නමුදු පෙර රන්කරු කාලයේ කළා වූ පරදාර කර්මය අළුයට ගිනි මෙන් මතුවී එයින් චුතව රෞරව මහා නරකයේ බොහෝ කාලයක් පැසුණේ ය. බොහෝ දුක් විඳ එයින් චුතව පරදාර කර්මයේ විපාක වශයෙන් මහත් බල සම්පන්න (ගැල්වල) යානාවල යොදන්නා වූ උදුරන ලද බීජ ඇති එළුවෙක් වී උපන්නේ ය. එයින් ද මැරී ගොස් වනයේ වඳුරු යෝනියෙ හි ඉපිද උදුරන ලද ඵල ඇත්තේ දුක් වින්දේ ය. ඉන් මැරී ගොස් දසන්ත රට මහත් බලවත් වූ ගොනෙක් වී බීජෝද්ධාරණය කොට (දෙනුන් ගැබ් ගැන්වීමේ ශක්තිය නැතිකොට) ගැල් අදිමින් පරදාර කර්මයේ විපාක විඳ එම පරදාර කර්මය හේතුවෙන් නැවතත් ඉන් චුතව වැදෑ රට ස්ත්‍රියක් ද පුරුෂයෙක් ද නොවූ නපුංසකයෙක්ව උපන්නේ ය. පසුව මැරී ගොස් තව්තිසා දෙව්ලොව දෙවඟනක් වී උපන්නා ය.
මෙසේ නැවත තුන් වතාවක් ම සක් දෙවිඳුගේ පාද චාරිකාවක් වී ද නැවත දෙවරක් ම ජවන නම් දෙව් පුතුට අග මෙහෙසිය වී ද ඉන් චුත වී අංගාති රජු ගේ අග මෙහෙසිය ගේ කුස පිළිසිඳගෙන රූජා නම් රාජ කන්‍යාවක් වී ඒ ආත්මයෙන් අත මිදී තව්තිසා දෙව්ලොව මහත් ආනුභාව සම්පන්න දිව්‍ය පුත්‍රයෙක්ව උපන්නේ ය. මෙසේ පාරමී පුරන්නා වූ මහත් පුණ්‍යවන්තයන්ට පවා සසර පරදාර සේවනය හේතුවෙන් මහත් දුක් විපාක විඳින්නට සිදු විය. එබැවින් සසර සැප කැමති සත් පුරුෂයින් විසින් පර පුරුෂ, පර ස්ත්‍රී සේවනයෙන් තම ජීවිත ආරක්ෂා කර ගනිත්වා.
(නාරද කාශ්‍යප ජාතකය)