මේ ස්වාමීන් වහන්සේ පෙර පසේබුදු කෙනෙකුට “මේ මුඩු ශ්‍රමණයා ඇඟ කුණු වී ඇති බැවින් ඇඟ වසා පොරවා යන්නෙ යැ යි” කියා දෝෂාරෝපණය කිරීම හේතුවෙන් බොහෝ කල් නිරයෙහි පැසී කාශ්‍යප බුද්ධ කාලයේ දී පිරිවැජියෙක් වී සිටිය දී සිල්වත් උපාසක මහතෙකුට “නුඹ කුෂ්ඨ රෝගියෙකු වන්නෙ හි ය” කියා ආක්‍රෝෂ කළේ ය. නාන තොටුපලෙ හි තබන ලද සුනු සබන් ආදිය ද විනාශ කර දමන ලදී. එහි විපාක ලෙස නිරයෙහි පැසී දුක් විඳ මනුලොව ඉපිද බුදු සසුනේ පැවිදි වී සිටිය දී මහා කුෂ්ඨ රෝගයක් වැළඳී ඇඟ කුණු වී දියවෙමින් වැගිරෙන්නට ගත්හ.
ගිලන් භික්ෂූන්ගේ සුවදුක් බැලීමට ගිය සැරියුත් මහරහතන් වහන්සේ මේ භික්ෂුව දැක “යාවතා ඛන්ධප්පවත්ති නාම සබ්බං දුක්ඛ මේව වේදනා දික්ඛන්ධේසු පන අසන්තේසු යේව නත්ථි දුක්ඛං” ඇවැත්නි යම්තාක් ස්කන්ධයන් ගේ පැවැත්ම වේ ද, ඒ තාක් මේ ස්කන්ධයෝ සියල්ලම දුක් ම ය, යම් විටක වේදනාදී ස්කන්ධයන් හි නො පැවැත්ම වූයේ ද එහි දුක ද නැත්තේ යැ යි වේදනා විදර්ශනා කමටහන වදාරා වැඩි අතර උන්වහන්සේ ඒ කමටහන වඩා රහත් විය.
(ථේරගාථට්ඨ කථා 175 පිට)