මෙතුමිය පෙර කාශ්‍යප බුදු සසුනටත් අප බුදු සසුනටත් අතර කාලය තුල එක් ජීවිතයක කිරීටවච්ජ ගේ දුව උන්මාදන්ති නම් දාසියක් විය. දිනක් කුඹුරෙහි කුරුල්ලන් එළවමින් සිටිය දී පසේබුදු කෙනෙක් දැක පැහැදී විළඳ හා නෙළුම් මලක් පුදා පැතුමක් කළා ය. මේ විළඳ ගණනට දරුවන් ලැබෙන්නත් ඒ අය පසේබුදුන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය අවබෝධ කරගන්නෝ වෙන්නත්, මතු තමා සියළු ස්ත්‍රීන්ට වඩා රූමතියක් වී ඉපදෙන්නත් පැතුවා ය. නෙළුම් මල පිදූ පිනෙන් තබන පියවරක් පාසා නෙළුම් මල් පිපේවායි ද පැතුමක් කළා ය. පසුව පසේ බුදුන් වඩිද්දී පසේ බුදුන්ට නෙළුම් මලින් කවර ප්‍රයෝජනයක් ඇද්දැ යි සිතා දුවගොස් නැවත නෙළුම් මල ඉල්ලා ගත්තී ය.
පසුව නැවතත් සිතන්නී, පසේ බුදුන් නෙළුම් මල අනවශ්‍ය නම් ගෙන නො යනු ඇත, ඒ ගෙන ගියේ ප්‍රයෝජන ඇති බැවිනැ යි සිතා නැවත දුවගොස් ඒ මල දී සමාව ගන්නා ලදි. මෙතුමිය කළ පැතුම් සියල්ල පද්මාවතිය නමින් උපන් ජීවිතයේ ඵල දුන් අතර රාජ මහේෂිකාවක් ද වූවා ය. ඇය තබන පියවරක් පාසා නෙළුම් මල් ද පිපුණේ ය. පසු කලෙක ඇය රජුට එපා වී යැවූ අතර තබන පියවරක් පාසා නෙළුම් පිපෙන බව ද නැති විය. මෙසේ වීමට හේතුව එදා ඒ නෙළුම් මල පුදා නැවත ගත් බැවින් බව දත යුතු ය. පසු කලෙක නැවත ඈ රජ මෙහෙසිය වූ අතර පෙර තිබූ ඉසුරුමත් දිවිය නැවත ලැබුවා ය. ඊට හේතුව ගත් නෙළුම් මල නැවත පිදූ බැවින් යැයි ද දත යුතු ය.
(සද්ධර්මාලංකාරය 172 පිට)