පෙර එක් දිවියක දඹදිව ධර්මාශෝක රජු ද ලංකාවේ දෙවනපෑතිස් රජු ද නීග්‍රෝධ සාමණේරයන් වහන්සේ ද මී පැණි විකුණා දිවි ගෙවන පවුලක ඉපදුනු අතර එහි පසේබුදු කෙනෙක් ගිලන්ව සිටින හෙයින්, ඒ සඳහා පසේබුදු කෙනෙකු මී පැණි සොයා ගෙන වැඩි සේක. බාල සොහොයුරා මී පැණි කලයක් ගෙන පාත්‍රය උතුරා යන තරම් පුදා දඹදිව අධිරාජ්‍ය කිරීමට පැතුවේ ය. සොයුරන් තිදෙනා හවුලේ කරන වෙළදාමක් බැවින් වැඩි මහළු සොයුරා මෙය අසා “හිස මුඩු කළ සැඩොලන් ද ඇත, එබැවින් මොහු මී පැණි කලය චණ්ඩාලයෙකුට දෙන්නට ඇතැයි” ගර්හා කළේ ය. මේ දානය ගැන දැනගත් දෙවැනි අයියා කීවේ, “නුඹේ ඔය පසේබුදුන් අපට අවශ්‍ය නැත. මුහුදින් එතෙර දමා පිය” යැ යි කී ය. පසුව ඔහු බාල සොහොයුරා ගේ පසේබුදු ගුණ වර්ණනාව අසා පින ද අනුමෝදන් විය. නමුදු මුලදී දොස් නැගි බැවින් එහි විපාක මෙසේ විය.
ශ්‍රද්ධාවෙන් මී පැණි පුදා දඹදිව අධිරාජ්‍යයා වීමට පැතූ බාල සොයුරා ඒ පිනෙන් ධර්මාශෝක අධිරාජ්‍යයා විය. පසේ බුදුන්ට නැති තැන නමුදු චණ්ඩාල වාදයෙන් බැන්න වැඩිමහල් සොයුරා එකල සැඩොල් ගමක් මැද නුග ගසක් මුල අනාථව ඉපිද පසුව පැවිදිව නීග්‍රෝධ මහ රහතන් වහන්සේ විය. “නුඹේ පසේ බුදුන් මහ මුහුදින් එතෙරට දමව යැ යි” කී දෙවන අයියා ඉන්දීය මුහුදින් වෙන් වූ ලංකා තලයේ දෙවන පෑතිස් රජු විය. එබැවින් සත් පුරුෂයනි, තමා කරන කියන දේ බොහෝ කල්පනා කොට ම කර කියත්වා.
(මහාවංශය සිංහල 21 පිට)