දම් සෙනෙවි සැරියුත් මහ රහතන් වහන්සේ ගේ ශිෂ්‍ය නමක් වූ උන්වහන්සේ දිනක් සැරියුත් මහ රහතන් වහන්සේ ලෙඩ වී ඊට බෙහෙතක් සෙවීම සඳහා වැඩියේ ය. මඟ දී දිය කඩිත්තක් දැක මුව දෝවනය කරද්දී ගම් දරුවන් විසින් ලුහු බඳිනා හොරු පිරිසක්, මුදල් පොදියක් පාත්‍රයට දමා ගියේ ය. ගම් දරුවන් පාත්‍රයේ තිබූ මුදල් පොදිය දැක සාමණේරයන් වහන්සේට පහර දී වස්සකාර බමුණාට පෙන්වා ඔහු අණ පරිදි උල තියන්නට නියම විය. වස්සකාර බමුණා ගේ දුව පෙර විවාහ කරගන්න කියද්දී විවාහ කර නො ගත් බැවින් ද මෙසේ නො විමසා උල තැබීමට නියම කළ බව දත යුතු ය.
දූෂිත නීතියෙන් උල තබන ලද මුන් වහන්සේ සැරියුත් හිමිට බෙහෙත කෙසේ ගෙන යනුයේ දැ යි සිතීය. මෙය නුවණින් දුටු සැරියුත් මහ රහතන් වහන්සේ සුගතයන් වහන්සේට මෙය දන්වා පිරිස හා එතනට වැඩි සේක. එහිදී මෙසේ විපාකදීමට කළ අතීත කර්මය වදාළ අතර උත්තර හිමියෝ දෙසුම කෙළවර රහත් විය. පෙර මුන් වහන්සේ කුඩා ළමයෙකුව සිටිය දී කොහොඹ කූරක් ගෙන මැස්සෙකු උල තැබූ කර්මය හා තම මෑණියන්ට පෙර එක ජීවිතයකදී තරහ ගෙන “ඔබ දවසක් උල තබාවා යැයි” කළ ශාපය ද යන මේ කර්ම දෙක හේතුවෙන් පන්සිය වාරයක් මෙසේ කොහොඹ උල් උඩ දිනක් මුළුල්ලෙ හි තබන ලද බව වදාළ සේක.
(සද්ධර්මාලංකාරය 197 පිට)