“කම්මං සත්තේ විභජති යදිදං හිනප්පණිතතායාති”
මහා කාරුණික අසරණ සරණ ශාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි සත්වයන් හීන ප්‍රණීත ලෙස උසස් පහත් ලෙස බෙදනු ලබන්නේ කර්මය විසිනි. කර්මය පිළිබඳ සම්බුදු දහමේ දේශිත ධර්ම පාඨ බොහෝ ඇතත් මෙහිදි මා උත්සහ ගත්තේ සරල බසින් කථා පුවත් අනුසාරයෙන් කර්ම විපාක පැහැදිලි කිරීමට ය. කරන ලද කර්මයේ විපාකයෙන් ගැලවීමට හැකි කාන්තාවක් හෝ පුරුෂයෙක් හෝ මනුෂ්‍යයෙක් හෝ අමනුෂ්‍යයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ මේ තුන් ලෝකයේ ම නැත. මනුලොව සිට අකනිටා බඹලොව දක්වා මේ සක්වල පුරා අබ ඇට පිරවූයේ නමුදු ඒ අබ ඇට ගණනට වඩා විශ්වයේ තවත් සත්වයන් වාසය කරන සක්වලවල් ඇති බව ධර්මයේ සඳහන් වේ. නමුත් කර්මයේ විපාකයෙන් බේරීමට හැකි පුද්ගලයෙකු නම් මේ විශ්ව ලෝක ධාතුව තුළ ම නැත.
මෙම ධර්ම ග්‍රන්ථයේ කර්මය පිළිබඳ විස්තර ස්වල්ප නමුදු කර්ම විපාකය පිළිබඳ බොහෝ විස්තර ගැබ්කොට දක්වා ඇත. මුලින්ම කර්මය යන්න පැහැදිලි කොට පසුව මෙහි කුසල කර්ම විපාක දක්වන ලදි. කුසල කර්ම විපාක නම් කුසලානිසංසයෝ ය. ඒ යටතේ කුසල කර්ම හැටකට ආසන්න ප්‍රමාණයක් ද, කුසල විපාක හෙවත් ආනිසංස 354 ක් ද දක්වන ලදි. මේ තුළින් මා සත්පුරුෂ ඔබට කීමට බලාපොරොත්තු වූයේ, පැහැදුන සිතින් නුවණ යොදා තැම්පත් මනසින් කරන ලද කුඩා නමුදු පිංකම මහත් සැප විපාක ගෙන දෙන බව ය. එසේම මෙවැනි පිංකම් කරන සත්පුරුෂයින් ගේ සිත්වලට නව ජීවයක් ලබා දීමට ද අපේක්ෂා කළෙමු. එය එසේම සිද්ධ වේවා!
මේ ග්‍රන්ථයෙහි දෙවනුව පෙන්වා ඇත්තේ අඳුරු විපාක පිළිබඳව වේ. අඳුරු විපාක නම් අකුසල කර්මයක් හේතුවෙන් ගෙන දෙන දුක් විපාක වේ. ඒ යටතට අට මහ නිරයට යෑමට සිදුවන කර්ම හා ඉන් ගෙන දෙන දුක් විපාක දක්වා, නිමි රජු දුටු ඔසුපත් නිරයන් 15 ක් හා එහි යෑමට සිදුවන හේතු සහිතව දක්වන ලදි. ඉක්බිති සංවේග දනවන සුලු වූ අසරණ ප්‍රේත ප්‍රේතියන් ගේ කථා කිහිපයක් හා එහි ඉපදීමට හේතු වූ කර්ම සහිතව දක්වන ලදි.
මිනිස් ලොව විපාක දෙන පූර්ව කර්ම 56 ක් දක්වන ලද්දේ අපාය දුක් නොපිළිගන්නා මෝහයෙන් මුළා වී පැටලී සිටින අසරණයන්ට මනුලොවින් කරුණු පෙන්වීමට ය. ග්‍රන්ථයේ දෙවන කොටස වූ “අඳුරු විපාක” පිළිබඳව කළ දීර්ඝ විස්තරයෙන් මා බලාපොරොත්තු වූයේ, දූෂිත සිතින් කරන ලද ඉතා කුඩා පාපය නමුදු මහත් දුක් විපාක ගෙන දෙන බව කීමට වේ. එසේම අවිදු අඳුර හේතුවෙන් පාපයන්හි ඇලී වාසය කරන මිනිසුන් හට සංවේග පහළ වී සුමඟට යොමු වේවා යන මෛත්‍රී සිතිනි.
මෙයට, මෙතැති
රිදියගම සුධම්මාභිවංශ හිමි.
නිමලව ආරණ්‍ය සේනාසනය
කිරින්ද - තිස්සමහාරාමය.
දිනය - 2004-01-20