අප සම්මා සම්බුද්ධ සාසනයෙ හි මහා පිනැති තේජවන්ත මහ රහතන් වහන්සේ නමක් වැඩ සිටිය හ. උන්වහන්සේ නමින් උත්තර නම් විය. මේ උත්තර මහ රහතන් වහන්සේ මීට කල්ප තිස් දාහකට පෙර දී කරන ලද පිංකමක ආනිසංස බලයෙන් සාංසාරික ජීවිතය සුවපත් විය. කල්ප තිස්දහසකට පෙර සුමේධ නමින් සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වූහ. උන් වහන්සේ විවේක සුවයෙන් ගසක් මුල වැඩ සිටින අවස්ථාවේ එක්තරා තරුණ ළමයෙක් ලඟ තිබූ ගසකින් කිණිහිරියා මල් තුනක් කඩා ගෙන බොහො ම ගෞරව භක්තියෙන් දොහොත් මුදුනේ තබා බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී පාද මූලයේ තබා පූජා කළේ ය. මේ පූජාමය පින ඔබ වහන්සේ යම් ධර්මයක් අවබෝධ කළේ ද? එම ධර්මය මට ද අවබෝධ කර ගැනීමට ලැබේවා යි ප්‍රාර්ථනා කරන ලදි.
එදා පටන් මේ බුදු සසුන දක්වා කාලය වර්ෂ ගණනින් නොව කල්ප ගණනින් තිස් දහසක් විය. මේ කාලය තුළ මල් පූජා කිරීමේ පුණ්‍ය බලයෙන් සතර අපා දුකින් අත් මිදුනේය. දෙව් මිනිසුන් අතර ලබන්නට තිබෙන සකල සම්පත් ලබන ලදි. දීර්ඝායුෂ, නිරෝගි බව, දර්ශණීය ජීවිත, පරිවාර සම්පත් ඇති ජීවිත, උසස් කුල සම්පත්, මහා ධන සම්පත්, දිව්‍ය මාලිගා, පිනැති දරු සම්පත්, මහා ප්‍රඥාවන්ත ජීවිත, මහේශාක්‍ය මහානුභාව සම්පන්න ජීවිත ලැබූ අතර දීප චක්‍රවර්ති රජකම වරක් ද සක්විති පදවිය වරක් ද ලබන ලදි. එසේ ම රටවල් පාලනය කරන රජකම්, ඇමතිකම් ලැබූ වාර ගණන සීමාවක් නො මැත.
මෙතරම් අනුසස් රාශියක් උත්තර මහ රහතන් වහන්සේ සසරදී ලැබුවේ මල් තුනක් පූජා කිරීමේ ආනිසංසයෙනි. අවසානයේ දී උත්තර කුමරුවා මේ බුදු සසුනේදී පැවිදි වී සිව්පිළිසිඹියා ඤාණ, ෂඞ්අභිඤ්ඤා, ත්‍රිවිද්‍යා ලබා උතුම් අරහත්වයට පත් වූ සේක. අරහත්වය දක්වා ම එම පිංකම උත්තර මහ රහතන් වහන්සේට හේතු උපනිශ්‍රය විය. “කුසල් වූ හෝ අකුසල් වූ හෝ යම්කිසි කර්මයක් කරන්නේ නම් එයට උරුමකරු වන්නෙමි යි නිරතුරු නුවණින් මෙනෙහි කළ යුතු ය” යනු ඒ බුද්ධ වචනයේ තේරුම යි.
ඉමහත් ශ්‍රද්ධාවෙන් නුවණින් මේ දහම් පොත සම්පාදනය කළ පූජ්‍ය රිදියගම සුධම්මාභිවංශ ආයුෂ්මතුන් වහන්සේට තව තවත් උදාර ලෙස ධර්ම දානයන් සපිරීමට නිරෝගි සුව, දීර්ඝායුෂ, රත්නත්‍රයානුභාව බලයෙන් අභිවර්ධනය වේවා.
“සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා”
මෙයට පිනැති
නාඋයනේ අරියධම්ම ස්ථවිර,
නාඋයන ආරණ්‍ය සේනාසනය,
පන්සියගම.