සංසාරය

“නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස”

ස්කන්ධයන්ගේ ද ධාතූන්ගේ ද ආයතනයන්ගේ ද පරම්පරා වශයෙන් නො සිටී පැවැත්ම සංසාරය යැයි කියනු ලැබේ. සංසාරය කුමක් දැ යි තවත් ක්‍රමයකින් කියතහොත් ජාතියෙන් ජාතිය නැවත නැවත උපදනා සත්වයන් ගේ ජාති පරම්පරාව හෙවත් භව පරම්පරාව සංසාරය යැයි කිව යුතු ය. ලෝකයෙහි අනන්ත සත්වයෝ ඇත්තා හ. ඔවුන්ගේ සංසාරයේ පටන් ගැනීමක් නැත්තේ ය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් “අනමතග්ගොයං භික්ඛවේ සංසාරො පුබ්භාකෝටි න පඤ්ඤායති” යි වදාරන ලද්දේ ය. “මහණෙනි මේ සංසාරය නො දක්නා ලද අගක් ඇත්තේ ය, එහි මුල පටන්ගැනීම නො පෙනෙන්නේය” යනු එහි තේරුම ය. එසේ වදාරන ලදුයේ සංසාරයා ගේ පටන් ගැනීම වූ මුල් කොන තිබියදී ම තථාගතයන් වහන්සේට එය නො පෙනෙන නිසා නොව සංසාරයා ගේ මුල් කොනක් නැති නිසාය. නැති දෙයක් කෙසේ පෙනිය හැකි ද? නො හැකි ම ය.

මුල් කොණක් නැත්තා වූ මේ සංසාරය ඉතා දීර්ඝ බැවින් එක් එක් සත්වයෙකු විසින් අතීතයේ නූපන් ජාතියක් නැත. එක සත්වයෙකු එක් එක් ජාතියක උපන් වාරයන් ගේ ප්‍රමාණයක් ද නැත. සංසාරය අති දීර්ඝ බැවින් මේ මහ පොළොවෙ හි එක් එක් සත්වයෙකු විසින් නූපන් තැනක් ද නො සිටි තැනක් ද නොමළ තැනක් ද මළ සිරුර නො දැමූ තැනක් ද නැත.

තමා මළ කල්හි, මළ සිරුර දැමීමට අනෙකකු ගේ මළ සිරුරක් නො දැමූ ශුද්ධ ස්ථානයක් වශයෙන් තැනක් නියම කරගෙන සිටියා වූ උපාසාළ්හක නම් බමුණා හට තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක. මේ ප්‍රදේශයේ උපාසළ්හක යන නම ඇතියවුන් ගේ මළ සිරුරම තුදුස් දහසක් (14,000) මෙහි දවා තිබේ. ලෝකයේ නො මළ තැනක් නම් නැතය යනු එහි අදහසයි. ඉතා දීර්ඝ වූ මේ සංසාරයෙහි එක් එක් සත්වයෙකු ගේ මව නො වූ සත්වයෙක් ද පියා නො වූ සත්වයෙක් ද සහෝදරයෙකු නො වූ සත්වයෙක් ද සහෝදරියක නො වූ සත්වයෙක් ද පුත් නො වූ සත්වයෙක් ද දූ නො වූ සත්වයෙක් ද සුලභ නො වෙත්, යැයි බුදුන් වහන්සේ වදාළ සේක. තව ද අනවරාග්‍ර සංසාරයෙහි එක් සත්වයෙකු බිව් මව් කිරි ද හැඩූ කඳුලු ද අනුන් විසින් හිස කපනු ලැබීමෙන් ගැලූ ලේ ද යන මේ එක එකක්ම සාගර ජලයට අධික බව තථාගතයන් වහන්සේ වදාළ සේක.

තව ද සංසාරය ඉතා දීර්ඝ බැවින් දිළිඳු වූ විරූප වූ කෙනෙකු දුටු කල්හි මම ද මේ දීර්ඝ වූ සංසාරයෙහි මෙසේ විසූයේ මැ යි ද අලංකාරයෙන් සැරසී සිටින සැප ඇති කෙනෙකු දුටු කල්හි මම ද පෙර මෙබඳු සැප ලැබූ වෙමි යි ද නිශ්චයට පැමිණිය යුතු බව ද තථාගතයන් වහන්සේ වදාළ සේක.

සසර සැරිසරන්නා වූ සත්වයන් සුගතියෙ හි ද උපදින නමුත් බොහෝ සෙයින් උපදින්නේ දුගතියෙ හි ය. එබැවින් ඔවුනට සතර අපාය සිය නිවෙස බඳු ය. එක් එක් සත්වයෙකු විසින් වර්ෂ සිය ගණනකට වරකදු පිපාසාව සංසිදෙන පමණට පැනක් හා කුසගින්න සංසිදෙන පමණට අහරක් ද නො ලැබ ඉතා දුකසේ කල් යවන, ප්‍රේතව අතීතයෙහි උපන් වාරයන් ගේ ප්‍රමාණයක් ද නැත්තේ ය. භයානක රූප ඇති යම රකුසන් විසින් වෑ පොරෝ වලින් කපමින් යහුල් වලින් අනිමින් ගිනියම් වූ ලෝහ ගුලි ලෝ දිය මුව බහාලමින් අපමණ දුක් දෙන සංජීව ආදී නරකවල උපන් වාරයන් ගේ ප්‍රමාණයක් නැත්තේ ය. නිවනට නො පැමිණ සසර රැදුනහොත් සත්වයාට මතු ද එසේම කටුක දුක් බොහෝ විඳින්නට සිදුවන්නේ ය. කරුණු මෙසේ හෙයින් සසර රැදී සිටීමේ භයානකත්වය නිම කල නො හේ. ඒ බව දත් බුද්ධාදී උත්තමයෝ සංසාර බන්ධනය සිඳ සසරින් එතෙරව නිවන් පුරයට පිවිසුනා ය. දුකින් මිදුණු කැමැත්තෝ ඒ නිවනට පැමිණීමට උත්සහ කරත්වා.