සිංහල ප්‍රතිමාවේ ප්‍රවෘත්ති

බුදුන් පිරිනිවීමෙන් අවුරුදු සත්සියයක් ඉක්මි කල්හි ලක්දිව රහත් තෙරවරු විසිනමක් වූහ. එකල සිංහල රජ බුද්ධ රූපය දකිනු කැමතිව විහාරයකට ගොස් “අපේ බුදුරජ ජීවත්ව සිටියදී තුන්වරක් මේ ලක්දිවට ආයේ යයි කියති. යමකු විසින් එතුමා දක්නා ලද්දේ නම් එවැන්නෙක් දැනුත් ඇද්දැ”යි සංඝ ස්ථවිරයන්ගෙන් විචාළේය. එකෙණෙහි රහතන්ගේ ආනුභාවයෙන් නාරජෙක් මිනිස් වෙසින් අවුත් සිංහල රජුගේ සැකය දුරුකිරීම පිණිස බුද්ධ රූපය මැවීය. රජ දින සතක් මුළුල්ලේ ඒ රූපය පිදී. එකල රජ ප්‍රතිමා සාදන්නන් ගෙන්වා නාරජු මැවූ පිළිරුව අනුව මීඉටි පිළිමයක් ද පිටත සටහන ද මනාසේ කරවා එහි උණු කළ ලෝකඩ-ඊයම්-රන්-රිදී මිශ්‍රණයක් වත් කරවිය. ඒ පිළිමය මැදීම් ඔපදැමීම් ආදිය නිමි කල්හි ජීවමාන බුදුන් මෙන් මනොඥ ද පැහැ විහිදුවන්නක් ද විය. සිංහල රජ එය නොයෙක් පූජාවලින් මනාසේ පිදී. ඔහුගේ දරුමුනුබුරු පරම්පරාවේ වූවෝ ද එය පිදූහ. බුදුන් පිරිනිවීමෙන් අවුරුදු එක්දහස් අටසියයක් ඉක්මි කල්හි හත්සිය අටළොස්වෙනි ශක වර්‍ෂයේ දී දඹදිව ගිනිකොණ දෙසැ පිහිටි සියම් රටේ සුඛෝදය නුවර රෝචරාජ නමැත්තෙක් රජය කරවිය. (එකල ගෝගාම නම් තැන උපන් බලසම්පන්න රූපවත් එක් මිනිසෙක් වනයෙහි හැසුරුණි. ඔහු දුටු එක් දෙව්දුවක් ඔහු හා සංවාසය කැමතිව ස්ත්‍රී මායම් දැක්විය. හෙතෙම ඇය හා සංසර්‍ගයෙහි යෙදුණි. ඒ සංවාසයෙන් පුතෙක් උපණි. හෙතෙම ශක්තියෙන් හා රූප සම්පතින් යුක්ත විය. එබැවින් සමගි වූ සියලු ගම්වැසියෝ ඔහු අභිෂේකයට පත්කළහ. හෙතෙම රෝචරාජ යයි ද පසුකලක රුද්‍රරාජ යයි ද ප්‍රකට විය.

එක්කලක රෝචරජ මහමුහුද දකිනු කැමතිව නොයෙක් දසදහස් ගණන් සේනාව විසින් පිරිවරන ලදුව නාන් ගංගාව අනුව පහතට ගොස් සිරිධම්ම නුවරට පැමිණියේය. එනුවර සිරිධම්ම නමැති රජෙක් විය. හෙතෙම රෝච රජුගේ ඒම අසා පෙරගමන්කොට පිළිගෙන සත්කාර කරවා ඔහුට ලක්දිව තිබෙන සිංහල ප්‍රතිමාවේ ආශ්වර්‍යයන් තමා ඇසූ සැටියෙන් කීය. එයැසූ රෝචරජ “අන්‍යයන් විසින් එහි යාම හැකිදැ”යි විචාළේය. සිරිධම්ම රජ “එහි යාම නොහැකිය; කුමක් හෙයින්ද? සුමන-රාම-ලක්‍ෂ්මණ-කතරගම යන තේජස් ඍද්ධි ඇති දෙවිවරු සතර දෙනෙක් ලක්දිව රකිති”යි කීය. ඉක්බිති රජවරු දෙදෙන එක්ව දූතයකු ලක්දිවට යැවූහ. එසේකොට රෝචරජ සුඛෝදයට ගියේය. රාජ දූතයා සිංහල ද්වීපයට ගොස් සිංහල රජුට ඒ ප්‍රවෘත්ති කීය. එයසා රජතෙමේ සත්දිනක් ඒ පිළිමයට පූජා පවත්වා රාජ දූතයාට බාර දුණි. රාජදූතයා පිළිමය නැවක නංවාගෙන ගියේය. ඒ නැව චණ්ඩ වාතවේගයෙන් දුවගොස් මූදේ ගලක හැපී විනාශ විය. ඒ ප්‍රතිමාව ලෑල්ලක රැඳුණි. ඒ ලෑල්ල නා රජකුගේ ආනුභාවයෙන් තෙදිනක් ගමන්කොට සිරිධම්ම නුවර සමීපයට පැමුණුණි. එකල සිරිධම්ම රජ දේවතාවක් දැක්වූ සිහිනයෙන් බුදුපිළිමයේ පැමිණීම ප්‍රත්‍යක්‍ෂයෙන් මෙන් දැක උදෑසනම නොයෙක් දිශාවන්ට නැව් පිටත් කොට යවා තෙමේද නැවක නැග සිංහල ප්‍රතිමාව සොයන්නේ දෙවිරජුගේ ආනුභාවයෙන් ඒ ලෑල්ල දැක ගෙනවුත් පූජා පැවැත්විය. ඉක්බිති සිරිධම්ම රජ පිළිමය ලැබුණු බව රෝච රජුට දන්වා යැවීය. එයසා රෝචරජ සිරිධම්ම නුවරට පැමිණ පිළිමය සුඛෝදය නුවරට ගෙන ගොස් පූජා පැවැත්විය.

99. ඒ රජ ගලින් හා ගඩොලින් තනා සුණු බදාම ගෑ මහත් චෛත්‍යයක් ද රන් අලේප කළ තඹ තහඩුවලින් දිව්‍ය විමානයක් වැනි පිළිම ගෙයක් ද සජ්ජනාලයපුරයෙහි කරවිය. එසේ කරවා සජ්ජනාලය-වජිරපාකාර-සුඛෝදයාදි නගරවලින් රැස්වූ මහජනයා සමග අතිවිශාල වූ විහාර පූජාවක් කෙළේය. රෝචරජ නොයෙක් පින් රැස්කොට පරලොව ගියේය.

ඔහු ඇවෑමෙන් ඔහු පුත් රාමරජ සුඛෝදයෙහි රාජ්‍යය කරවිය. ඒ රජ ද පෙරසේම සිංහල ප්‍රතිමාව පිදීය. ඔහු ඇවෑමෙන් පාල රජ රාජ්‍යයට පැමිණ ඒ පිළිමය පිදී. ඔහු ඇවෑමෙන් ඔහු පුත් උදක්‍ඛජෝතත්‍ථ රජ රාජ්‍යයට පැමිණ ඒ පිළිමයට සත්කාර කෙළේය. ඔහු ඇවෑමෙන් ලිදෙය්‍ය රජ එහි රාජ්‍යය කරවිය. හෙතෙම ත්‍රිපිටක බුද්ධ වචනය ඉගෙන ධර්‍මරාජ යයි ප්‍රකට විය. එක්කලක ජයනාදපුරයෙහි දුර්භික්‍ෂයක් විය. රාමාධිපති නමැති අයෝධ්‍ය රජ කාම්බෝජයෙන් අවුත් ධාන්‍ය විකුණන්නා සේ හඟවා ඒ නුවර අල්වා ගත්තේය. එසේ ගෙන සුවර්‍ණ භූමියෙහි රාජ්‍යය කරවූ, තමාගේ මහාමාත්‍ය වූ වත්තිතේජ නමැත්තා ජයනාද පුරයෙහි නවත්වා තෙමේ අයෝධ්‍ය පුරයට ගියේය. ඉන්පසු ධර්‍මරාජ තෙමේ රාමාධිපති රජුට බොහෝ පඬුරු යවා ඒ ජයනාදපුරය ඉල්විය. රාමරජ එය දුණි. වත්තිතේජ තෙමේ සුවර්‍ණ භූමියටම ගියේය. ධර්‍මරාජ තෙමේ සුඛෝදය නුවර තමාගේ බාලසොහොයුරිය වූ මහාදේවිය ද වජිරපාකාර නුවර තිපඤ්ඤ ඇමතියාද තබා තෙමේ සිංහල ප්‍රතිමාව රැගෙන ජයනාදපුරයට ගොස් එහිදී එය පිදීය.

කාම්බෝජ රටට ද අයෝධ්‍ය පුරයටද අධිපති වූ රාමාධිපති රජු මරණ මඤ්චයෙහි හොත්විට වත්තිතේජ තෙමේ සුවර්‍ණ භූමියෙන් අවුත් කාම්බෝජ රට අල්වා ගත්තේය. ඉක්බිති ජයනාද පුරයෙහි ධර්‍මරාජයන් දිවංගත කල්හි වත්තිතේජ තෙමේ අයෝධ්‍ය පුරයෙන් අවුත් ජයනාද පුරය රැගෙන සිංහල පිළිමය අයෝධ්‍ය පුරයට ගෙනවුත් පිදී. බ්‍රහ්මජෙය්‍ය නමැති මහඇමතියා සුඛෝදය නුවර අල්ලා ගත්තේය. තිපඤ්ඤ ඇමතියා වජිරපාකාර පුරයෙහි රාජ්‍යය කරවීය. හෙතෙම තමාගේ මව අයෝධ්‍ය රජු වෙත යැවීය. ඕතොමෝ ඒ රජුට ප්‍රිය ද මනාප ද විය. එක්දිනක් ඕතොමෝ රජුට ප්‍රියකථා කියා තඹලෝ පිළිමයක් ඉල්ලීමෙන් සිංහල ප්‍රතිමාව රැගෙන වහා නැවක පටවා වජිරපාකාරපුරයට යැවී. තිපඤ්ඤ රජ තුටුපහටු වූයේ මහත් පූජා විධානයෙන් මනාකොට සිංහල පිළිමය පිදී. ඉක්බිති එක්දිනක් ජංරාය පුරාධිපති මහාබ්‍රහ්මතෙමේ පහත රටින් ආ එක් භික්‍ෂු නමකගෙන් සිංහල පිළිමයේ ආනුභාවයන් අසා ඒ භික්‍ෂුව සෑදු ඒ පිළිමයේ මී ඉටි ආකෘතිය දැක සතුටු වූයේ ඒ පිළිමය දකිනු කැමති චිත්තවේ ඇත්තේ බලසෙනඟ පිරිවරාගෙන නබ්බිසි පුරයට අවුත් දෙටුසොහොයුරු කිලනා රජුගෙන්ද භටසේනා ඉල්වාගෙන අසූදහසක් භටයන් ඇතිව ක්‍රමයෙන් ගොස් වජිරපාකාරපුරය අසල කඳවුරු බැඳ තිපඤ්ඤ රජුට හසුන් යැවීය. එවිට තිපඤ්ඤ රජ අයෝධ්‍ය පුරයේ රජු වෙත හසුන් යැවී. එයසා වත්තිතේජ රජ වහා සේනාව සන්නද්ධ කරගෙන අවුත් මහාගංගාවේ මුවදොරට පැමුණුණු. මහාබ්‍රහ්ම රජ පඬුරු සහිත දූත ඇමතියෙකු සුගන්‍ධ නම් මහතෙර ද යැවීය. ඔවුහු නුවරට ඇතුල්ව මිහිරි පිළිසඳර කථා කළහ. සුගන්‍ධ මහතෙර දෙපක්‍ෂයටම පෙනෙන සේ මැද නැවක සිටියේය. රජවරු දෙදෙන දෙපැත්තේ නැව්වල සිටියාහ. දෙරජුන් සමගි කරවීම සඳහා සුගන්‍ධ තෙර මෙසේ කීය:-

100. ඔබ දෙදෙනම මහපිනැත්තෝය, මහනුවණැත්තෝය, මහබල ඇත්තෝය; සත්‍යයෙහි පිහිටියාහු සත්‍ය ධර්‍ම ඇත්තාහු බුද්ධ ශාසන මාමකයෝය. (101) රටවැසියන්ට පිහිට වූ ශීලවන්තයෝය, ජනප්‍රියයෝය; එබැවින් දෙදෙන සමගි වුව මැනවි, අන්‍යොන්‍ය විරුද්ධත්‍වය දුරුකළ මැනවි. (102) මේ වජිරපාකාර නුවරයි, අර නබ්බිසි පුරයයි; ඒ දෙක මෛත්‍රී යොතෙන් බඳින ලද්දේ එකක්ම වේවා, වෙන් නොවේවා”යි. එතුමාගේ වචන අසා රජවරු දෙදෙන පිළිගත්හ. තිපඤ්ඤ රජ උපරාජ වූ මහාබ්‍රහ්මයන්ට ඇත් පඬුරු ආදි පඬුරු යැවීය. මහාබ්‍රහ්මතෙමේ තිපඤ්ඤ රජුට අශ්වාදීන් ද අභිෂේකොපකරණයන්ද යැවී. එසේ යවා මහාබ්‍රහ්මතෙමේ තිපඤ්ඤ රජුගෙන් සිංහල පිළිමය ඉල්වී. ඒ රජ ඉල්වූ පරිදි එය දුණි. වත්තිතේජ තෙමේ තිපඤ්ඤ රජු වෙත දූතයෙකු යවමින් “දැන් මහා බ්‍රහ්ම රජු ඉවත්ව ගියා හෝ නොගියා හෝ ඉදිරියට ගොස් ඔහු හා යුද්ධ කරන්නෙමි”යි දන්වා යැවී. එයැසූ තිපඤ්ඤ රජ සුගන්‍ධ මහ තෙරුන්ට මෙසේ කීය: “ස්වාමීනි, මේ රජවරු දෙදෙනම ශූරයෝය, මහාබල ඇත්තෝය, වළක්වන්ට නොහැකිය; එබැවින් ඔබවහන්සේ මහාබ්‍රහ්ම රජු දුරට ඉවත් කරවා තාක්කපුරයෙහි නවත්වනු මැනවැ”යි. තෙරනම දූතයකු යවා මහාබ්‍රහ්ම රජුට ඒ කාරණය දැන්විය. එයසා හෙතෙමේ “වත්තිතේජ රජ මා ලුහුබැඳ ඒවා; ඔහු හා යුද්ධ කරන්නෙමි”යි කියා වජිරපාකාර පුරයෙන් ඉවත්ව තාක්කපුරයට ගොස් යුද්ධයට සැරසී සිටියේය. තිපඤ්ඤ රජ (මහාබ්‍රහ්ම රජු) ඉවත්ව යන බව වත්තිතේජයන්ට දැන්විය. තිපඤ්ඤ තෙමේ සුගන්‍ධ තෙරුන්ට මිහිරි වචනයෙන් කථාකොට සිංහල පිළිමය දුණි. තෙරනම එය නැවක නංවාගෙන උඩුගං බලා අවුත් තාක්කපුරයට පැමිණියේය. මහාබ්‍රහ්මතෙමේ අමෘතයෙන් අභිෂේක ලැබුවා සේ රන්සිවි ගෙයකින් ඒ පිළිමය ගෙනවුත් ක්‍රමයෙන් නබ්බිසි පුරයට පැමිණ ඇතුළු නුවර මහාවිහාරයෙහි එය තැබී. ඉක්බිති දෙටු සොහොයුරු රජ ඒ මහාවිහාරයෙහිම මහසෑයට නිරිත කොණෙහි සිංහල පිළිමය තැබීම සඳහා අලුත් ගුහාවක් සාදවන්ට ආරම්භ කෙළේය. ඒ ගුහාව නොනිමි කල්හි මහාබ්‍රහ්මතෙමේ ඒ සමාන වූ ලොහොමුවා අන් පිළිමයක් කරවීම සඳහා සිංහල ප්‍රතිමාව ජංරාය පුරයට ගෙන ගොස් එතැනින් ජයසේන පුරයට ගෙනවුත් පල්ලංකදීපයේදී එයට මහාපූජා විධානයෙන් අභිෂේක දුණි. නැවත ජංරාය පුරයට ගෙන ගොස් මහාබුද්ධ රූප විහාරයෙහි තබා ප්‍රමාණයෙන් ද ආකාරයෙන් ද සිංහල ප්‍රතිමාවට සමාන වූ බුද්ධ රූපයක් ලෝකඩ-ඊයම්-රන්-රිදී මිශ්‍රණයකොට වත්කරවා මහෝත්සවයක් පැවැත්විය.

සිංහල පිළිමය පැමිණි කාලයයි.