මංරාය රාජ කථාව

දැන් ලාව වංශකථාව කිය යුතුය. පෙර වනාහි කළ පිනැති එක් පුද්ගලයෙක් යාංග නුවර අසල රම්‍ය ස්ථානයක පිහිටි ඩෙබර ගසක් මුල ඕපපාතිකව උපන්නේය. හෙතෙම කළ පිනැති බැවින් තේජස් ඍද්ධි ඇත්තේ, ශක්තිය ජවය පරාක්‍රමය යන මෙයින් යුක්ත වූයේ පිළිගත යුතු වචන ඇති තවුසෙක් විය. මෙසේ ගුණ සතකින් යුක්ත බැවින් මහජනයාට අධිපති වූයේ යාංග පුරයට අවුත් එනුවර ප්‍රථම රජව රාජ්‍යය කෙළේය. හෙතෙම ලාවචංග රජ යයි මුළු යොත් රටෙහි ප්‍රකට විය. ඒ රජුගේ දරු මුණුබුරු පරම්පරාවෙහි වූ රජවරු විසිතුන් දෙනෙක් ක්‍රමයෙන් එනුවර රාජ්‍යය කළාහුය. ඒ රජුගේ අන්තිමයා වූ මංරාය රජ ශක වර්‍ෂයෙන් හයසිය එක්වෙනි කුඤ්ජර වර්‍ෂයෙහි උපන්නේය. දෙවිසි වයස් ඇති හෙතෙම පියාගේ ඇවෑමෙන් අභිෂේකයට පත්විය. එයින් දෙවෙනි වර්‍ෂයෙහි හෙවත් හයසිය සූවිසිවෙනි ශක වර්‍ෂයේදී තෙවිසි වයස් ඇති මංරාය රජ ජංරාය නුවර ගොඩනැංවිය. ඒ වර්‍ෂයේදී ගේරිං නමැති ඔහුගේ පුත්‍රයා උපන්නේය. එයින් සිව්වෙනි වෘෂභ වර්‍ෂයෙහි ග්‍රාම රජ උපන්නේය. හෙතෙම ශක වර්‍ෂ හයසියතිස් එකේදී ජයපුරය අල්ලා ගත්තේය. ඉන්පසු හයසිය තිස් පස්වෙනි ශක වර්‍ෂයේදී කුස නගරය පිහිටෙව්වේය. ඒ වර්‍ෂයේදී ඔහුගේ පුත්‍ර වූ ත්‍රෙජ නමැත්තා උපන්නේය. එයින් දෙවෙනි වර්‍ෂයේදී කාව රජු හා යුදකොට දදරපුරය අල්ලා ගත්තේය. ඉක්බිති ශක වර්‍ෂයෙන් හයසිය හතළිස් නවවෙනි කුඤ්ජර වර්‍ෂයෙහි මංරාය රජ ද පුරච්ඡාදන රජ ද රෝව රජ ද යන මිත්‍ර වූ මේ රජවරු තිදෙන ජයඉග්ඝ නමැති තැනදී හමුවී අන්‍යොන්‍ය මිත්‍රභාවය දැඩිකොට ස්වකීය නුවරවලට ගියාහු යයි පරණ පොත්වල ප්‍රකටව තිබේ.

එයින් දෙවෙනි වර්‍ෂයෙහි මංරාය රජ සමීපයෙහි සිටි ආයදේවයා හරිපුඤ්ජය නුවරට යැවී. ඉක්බිති තෙපණස් වයසැති මංරාය රජ ශක වර්‍ෂයෙන් හයසිය සිව්පණසක් වූ මහොරග වර්‍ෂයෙහි දොළොස් ලක්‍ෂයක් භටයන් විසින් පිරිවරන ලදුව හරිපුඤ්ජයට අවුත් ඤීපා රජු සමග යුදකොට ඔහු පලවාහැර ලැබූ ජය ඇත්තේ මුළු යොන් රටෙහි ද හරිපුඤ්ජය දේශයෙහි ද එක් සේසතක් එසවිය. එයින් පසු හයසිය පණස්අටවෙනි වානර වර්‍ෂයෙහි ඉක්‍ෂු පර්‍වතයටද බිංග නදියටද අතරෙහි නබ්බිසිපුරය ගොඩනැංවිය. මංරාය රජු ඤීපා රජු සමග යුද්ධකොට ජයගත් කල්හි පිරිවර සහිත ඤීපා රජ පලාගොස් ඛෙලාංග පුරයට පැමිණියේය. එහි ගියේද එහි සිටින්ට නොහැකිව තමාගේ බාලසොහොයුරු ඛෙලාංග පුරාධිපති රජු හා දකුණු දෙසට පලා ගියේය. දෙදෙනම දකුණු දෙසට ගිය කල්හි මංරායතෙම එක් මිලේච්ඡ ජාතිකයෙකු ඛෙලාංග පුරයෙහි අධිපති කරවිය. ඒ මිලේච්ඡ අධිපතිතෙමේ සියලු නුවර වැසියන් රැස්කොට පුරාණ ඛෙලාංග පුරය හැරදමා අලුත් ඛෙලාංග පුරය ගොඩනැංවිය. ඒ කාලයේ පටන් අටසිය අටසැත්තෑ වන ශක වර්‍ෂය දක්වා ඒ නුවර රජවරු පණස් පස්දෙනෙක් අනුක්‍රමයෙන් රාජ්‍ය සම්පත් අනුභව කළහ. අවුරුදු දෙසිය පසළොසක් ද ගතවිය. ඉන්පසු හයසිය පණස් පස්වෙනි ශක වර්‍ෂයේදී කුමාම නුවර ගොඩනංවා එහි බුද්ධරූප සැටකින් යුත් රන් අලේප කළ චෛත්‍යයක් කරවිය. දෙසැත්තෑවක් වයස් ඇති මංරාය තෙමේ දෙවිසි වසක් රාජ කුමාරව සිට යෝන රටෙහි තිස්එක් වර්‍ෂයක්ද යෝන-බිංග දෙරටෙහි දහනවසක් ද රාජ්‍යශ්‍රීය විඳ ශක වර්‍ෂ හයසිය සැත්තෑ තුනේදී පරලෝක ප්‍රාප්ත විය.

මංරාය රාජ කථාව නිමි.