7 වන පරිච්ඡේදය
මෙම විහාර පූජෝත්සවයන්ට භික්ෂුහු අසුකෝටියක්[1] රැස්වූහ. භික්ෂුනීහුද අනූහය කෝටියක් වූහ. මෙම භික්ෂු භික්ෂූනීන් අතර බොහෝ ෂඩ්භිඥා ලාභිහුද වූහ. ඒ භික්ෂුහු සෘද්ධිබලයෙන් අහස පොළව සමකොට ලෝක විවරණ නම්වූ ප්රාතිහාර්ය්යක් පවත්වා මහාවිහාර පූජෝත්සවයන් රජුට පෙන්වූහ. අශෝකාරාමයේ සිට රජතුමා එම අවස්ථාවේදී මුළු දඹදිව ම බැලීය.[2] මේ සියල්ල රජු දකිනු ලැබුයේ භික්ෂූන්ගේ සෘද්ධිප්රාතිහාර්ය්යයෙනි. රජුතුමා එම අවස්ථාවේදී තමාගේ නියමයෙන් දඹදිවට අයත් සෑම තන්හිම ගොඩ නගන ලද සියළුම විහාරයන් සියැසින් දුටුවේය. එම විහාරයන් හි නොයෙක් තන්හි ඔසවන ලද කොඩි සමූහයද, මාලාදාමයන්ද මාලා චක්රයන්ද: මලින් කරවන ලද අලංකාර තොරණද, මලින් අලංකාර කරන ලද පුන්කළස් ද: තැන තැන සිටුවන ලද රඹකැන් සහිත ගස්ද, සිව් දිසාවන්හි බබලන පහන් සමූහයද අශෝක මහරජතුමා දුටුවේය. මෙම සියල්ල දුටු රජතුමා සතුටු ප්‍රමෝදයෙන් යුතුව සිටියේය. භික්ෂු භික්ෂූනීන්ද ස්වකීය ආරාමයන් කරා වැඩි කල්හි රජතුමා විසින් දුගී මගී යාචකාදීන්ට වස්තු පරිත්‍යාග කෙරින. තමා විසින් පූජාකරන ලද අසූහාරදහසක් විහාරයන් සියැසින් දුටු ධර්මාශෝක රජතුමා සතුට සිත් ඇත්ව භික්ෂු සංඝයාට මෙසේ ද දැන්වීය සියළු ලෝවැස්සන්ට ශාස්තෘවූ බුදුරජණන් වහන්සේගේ ශාසනයට මම ද භාරවෙමි. මා විසින් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් බොහෝ සෙයින් ධනපරිත්යාගන්ද කරන ලදී. එසේම අනූහය කෝටියක් ධනය වැය කොට විහාර අසූහාරදහසක් ද කෙරවින. ශ්‍රේෂ්ඨ වූ බුදුරජණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයට පූජා පැවැත්වීම පිණිස දිනපතා හාරලක්ෂයක් බැගින් ද, පරිත්‍යාග කරමි. එයින් එක් ලක්ෂයක් චෛත්‍ය පූජාවන්ට ද, එක්ලක්ෂයක් නිග්‍රෝධ තෙරුන් වහන්සේට ද, එක් ලක්ෂයක් ධර්ම කථිකයන් වහන්සේලාට ද. එක් ලක්ෂයක් ගිලන්පස පූජාවන් වෙනුවෙන් ද වෙන්කරන ලදී.”[3]
අශෝක රජු විසින් මෙසේ ද කියන ලදී.
“ස්වාමීනි; මහා ගඟක් ගලා බසින්නාක් මෙන් මා විසින් නිතරම මහා දන්දෙනු ලැබේ. ඒ සඳහා මට වැඩි ශක්තියක් ඇති කිසිවෙක් මේ ශාසනයෙහි පහළ නොවේ. එහෙයින් මාගේ ශ්රද්ධාවද ඉතාම දැඩිවන අතර මම ශාසන දායක යෙකුද වෙමි.”
ධර්මාශෝක රජතුමා විසින් කියන ලද මෙම වචන ඇසූ බොහෝ ඇසූ පිරූතැන් ඇති පණ්ඩිත වේදනීය වූ, ධර්ම විනිශ්චයෙහි දක්ෂවිචක්ෂණ, හා නිපුණ වූ, බුද්ධිමත් මොග්ගලීපුත්ත තිස්ස මහා ස්ථවිර පාදයන් වහන්සේ අනාගත ශාසන තත්වය දැන ඒ ඒ විහාරයන්හි භික්ෂූ සංඝයාගේ යැපීම පිණිස රජු විසින් අනුග්‍රහ කරන ලද්දේ යැයි අනුදැන වදාරා මෙසේ ප්‍රකාශ කළ සේක.
“මහරජ; ඔබ බුද්ධශාසනයෙහි පරිත්‍යාග කරුවෙකි. එහෙත් ඔබ ශාසන දායකයෙකු නොවේ. යමෙකු ශාසනදායක යෙකු වන්නේ නම් තමාගේ දුවක හෝ පුතෙකු ශාසනය වෙනුවෙන් පුදා පැවිදි කරවිය යුතුය. එවිට ඔහු නියම වශයෙන්ම ශාසනදායක යෙකු වෙයි.”
යනුවෙන් තෙරුන් වහන්සේ වදාළසේක. ධර්මාශෝක රජතුමා මෙම වචන අසා තම පුත්‍ර මහින්ද කුමරුද දුවවූ සංඝමිත්තා යන දෙදෙනාට කථාකළේය.
‘දරුවනි: නුඹලා දෙදෙන ශාසනයේ පැවිදිවන්න. මම ශාසන දායකයෙකු වෙමි යි.’ කීය.
පුතාද දුවද යන දෙදෙන පිය රජුගේ කථාවට සවන් දුන්හ.
‘දේවයන් වහන්ස: ඉතාම යහපති අපි ඔබගේ වචන ඉටු කරන්නෙමු. පැවිදි වන්නෙමු.’ යැයිද කීය.
මේ වනවිට විසිවයස් සපැමිණි අශෝක රජුගේ පුත් මිහිඳු කුමරු මෙසේ කීය.
‘පියරජ තුමණි: අප වහාම සම්බුද්ධ ශාසන යෙහි පැවිදි කරවනු මැනවි. එවිට ඔබ ශාසනදායකයෙකු වේයයි කීවේය.
මේ වනවිට සංඝ මිත්තාවන්ද දහඅට වන වියේ පසුවූවාය. ධර්මාශෝක රජුගේ අභිෂේකයෙන් අවුරුදු හයක් ගතවූ කල්හි පැවිදි වූහ. එසේම ඒ ලංකාදීපය බබලවන්නාට මිහිඳු හිමි උපසපන් බවටද සපැමිණියේය. සංඝ මිත්තාවන් ද එදිනම භික්ෂූනී ශික්ෂා සමාදන් වූවාය.
ථෙරවාදයේ ස්ථිරවූ මහත් ශිෂ්‍යය සමූහයා ඇති මොග්ගලී පුත්ත තිස්ස නම් යම් ස්ථවිර කෙනෙක් වීද? උන්වහන්සේගේ පණස් හතර වැනි වස් පූරණයේදී ධර්මාශෝක රජුගේ දෙවන අභිෂේකය[4] සිදුවිය. ධර්මාශෝකයන්ගේ දෙවන අභිෂේකය සිදුවූයේ යම් කලෙකද? එකල මොග්ගලී පුත්ත තිස්සහිමියන්ගේ හැට අටවන විය පසු විය. මෙකල මොග්ගලී පුත්තතිස්ස හිමියන් සමීපයේ දී මහින්ද තෙරුන් පැවිදි විය. මෙම මහින්ද කුමරු පැවිදි කරවන ලද්දේ මහාදේව තෙරුන්ය. මෙම මහින්ද තෙරුන් වහන්සේට ශික්ෂාපද සමාදන් කරවන ලද්දේ මජ්ඣන්ත තෙරුන් වහන්සේ විසිනි. මෙම ප්‍රධාන නායක ස්ථවිර තිදෙනා වහන්සේ මහින්ද තෙරුන් වහන්සේට අනුකම්පා කොට වදාළහ. එම තිදෙනා වහන්සේ අතුරින් මොග්ගලී පුත්තතිස්ස තෙරුන් වහන්සේ ලංකාව [?]ලවන්නාවූ මහා මහින්ද තෙරුන් වහන්සේගේ උපාධ්‍යාය වූ සේක. මහින්ද තෙරුන් වහන්සේට උන්වහන්සේ සියලු ත්‍රිපිටක ධර්මය අර්ථ සහිතව ඉගැන්වූහ. අශෝක රජුගේ දහවැනි රාජ්‍ය වර්ෂයේ තෙරුන්ගේ සිව්වන වස විය.
මහින්ද මහා තෙරුන් වහන්සේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති තෙරුන් වහන්සේ නමක් වූ සේක. පරියාප්ති ධර්මය මනාසේ උගත්හ. සමූහයකට ප්‍රධානියා වූ සේක. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට ක්‍රමානුකූලව කොටස් වශයෙන් බෙදන ලද විභංග දෙකද ඇතුළත් රකන ලද සූත්‍රද සෙසු ස්ථවිර වාදයන්ද උන්වහන්සේ මනාසේ උගත්හ. එම පැවිදි බව ලත් ධර්මාශෝක රජුගේ පුත් මිහිඳු හිමියන් මොග්ගලී පුත්තතිස්ස ස්ථවිරයන් වහන්සේ විසින්ද හික්මවන ලදී. මොග්ගලී පුත්ත තිස්ස තෙරුන් වහන්සේගේ ආරාමයෙහි විසූ මහින්ද තෙරුන් වහන්සේ ෂඩ් අභිඥාවන්හිද සිව්පිළි සිඹියාවන්හිද ත්රිවිද්යාවන්හිද පිහිට වූහ.
ධර්මාශෝක රජුගේ තෙවන රාජ්‍යය වර්ෂයේදී[5] නිග්‍රෝධ හිමියෝ පැවිදි වූහ. උන්වහන්සේ පැවිදි වූ, සිව්වන වර්ෂයේදී අශෝක රජු විසින් ස්වකීය සොයුරන් නසන ලදී. එසේම අශෝක රජුගේ හයවන රාජ්‍ය වර්ෂයේදී ඔහුගේ පුත් මිහිඳු කුමරු පැවිදි වූයේය. මහා සෘද්ධිබල සම්පන්න තිස්ස ස්ථවිරයන් වහන්සේත් සුමිත්ත ස්ථවිරයන් වහන්සේත් කොන්තිදේශ නම් කිඳුරියගේ[6] පුතුන්ය. උන්වහන්සේලා දෙනම ධර්මාශෝක රජුගේ අටවැනි රාජ්‍ය වර්ෂයේදී පිරිනිවන් පෑහ. මෙම තෙරවරු දෙදෙනා බුද්ධ ශාසනයෙහි පැවිදිව පිරිනිවන් පෑහයි දැනගත්තාවූ බොහෝ ක්ෂත්රියවංශිකයෝ හා බ්‍රාහ්මණ වංශිකයෝ බුද්ධ ශාසනයේ උපාසකයන් බවට පත්වූහ. මෙම නිසා මේ අවදියේ දී බොහෝ දෙනා බුදුදහම කෙරේ පැහැද මහත් පුද සත්කාර ප්‍රධානය කරන ලදී. මේ සමගම මෙකල විසූ මිත්යාමතවාදී අන්‍යතීර්ථකයෝ සියලු ලාභ සත්කාරයන්ගෙන් පිරිහුනාහුය. ලාභසත්කාරයෙහි ගිජුවූ නිරුවත් නිගණ්ඨයෝත් පණ්ඩර ජටිලයෝත් ලාභසත්කාර අපේක්ෂාවෙන් බුද්ධ ශාසනයට ඇතුළුව පැවිදි වූහ. එම නිසා එයින් සත් වසක් ගිය කල්හි වර්ග උපෝසථය[7] ඇති විය. බුද්ධ පරිනිර්වානයෙන් අවුරුදු දෙසියතිස්හයක් ඉක්ම ගියේය. මේ වනවිට අන්‍යය අමතයවාදීන් බුද්ධශාසනයට ඇතුළුවීම නිසා සුපේශල ශික්ෂාකාමී ආර්ය්යන් වහන්සේලා පොහොය පවුරුණු කිරීම සඳහා නොවැඩිසේක. ඒ හැට දහසක් අන්තවාදී භික්ෂූහු අශෝකාරාමය ගොදුරුකර ගනිමින් සිටියාහුය. ආජීවකාදී නොයෙක් මතයන්හි පිහිටියාවූ ඔවුන් ශාසනය දූෂණය කරන ලදී. මෙසේ ශාසන දූෂණයෙහි යෙදෙන ලද්දේ කසාවත් දරමිණි.
මෙම කාලයෙහි මහාගුණවත්වූ, අන්‍ය මිත්‍යා මතිකයන් මර්ධනය කරන්නාවූ මොග්ගලී පුත්තතිස්ස තෙරුණුවෝ මහත් සෘධිබල සම්පන්න ෂඩභිඥාලාභී භික්ෂූන් දහසක් පිරිවරා ගෙන ථෙරවාදය විනාශ නොවන සේ එහි ස්ථිර පැවැත්ම සඳහා තෙවැනි සංඝායනාව කළහ. විවිධ වාදගත්තාවූ අලජ්ජීතීර්ථකයන් උන්වහන්සේ විසින් මර්ධනය කරන ලදී. තෙවන ධර්මසංඝායනාව කලාවූ උන්වහන්සේ ශාසනයේ බැබලවීම පිණිස කථාවත්ථු පකරණය කළසේක. මෙකල මොග්ගලී පුත්තතිස්ස තෙරණුවන්ගේ ශිෂ්‍ය මහින්ද තෙරුන්වහන්සේ සිය උපාධ්‍යයන් සමීපයෙහි ධර්මය පුහුනුවූ සේක. නිකාය පහද ප්රකරණ හතද විභංග දෙකද පරිවාර බන්ධක යන විනයන්ද යනාදී නොයෙක් ධර්මයන් මහින්ද තෙරුන් වහන්සේ ප්‍රගුණ කළහ. උපාධ්‍යයන් වහන්සේ සමීපයෙන් මේ මහින්ද තෙරුන් ඉගෙන ගන්නා ලදී.
අවුරුදු දෙසිය තිහක් මෙසේ ඉක්ම ගියේය. උතුම් ථෙරවාදී බුද්ධ ශාසනයෙහි නැවතත් භේද ඇතිවිය. බුද්ධ ශාසනයෙහි පැහැදුනාවූ ක්ෂත්රියකු වූ ධර්මාශෝක රජතුමා මෙකල පාටලී පුත්‍ර නගරයෙහි රාජ්‍ය කළේය. එසේම එකල්හි එම රජතුමා උතුම්වූ සංඝයා උදෙසා එක්දිනයකදී හාරලක්ෂයක් වියදම් කොට ප්‍රසන්නවූ මහා දානයක් දුන්නේය. චෛත්‍ය පූජාවන් සඳහා ලක්ෂයක්ද, ධර්මශ්රාවකයන් වහන්සේලාගේ යහපත සඳහා වැය කිරීමට ලක්ෂයක්ද, භික්ෂූන්ට දන්දීම සඳහා තවත් ලක්ෂයක්ද, වශයෙන්[8] මෙසේ කොටස් කොට මෙම ධනය පූජා කෙරින.
මෙකලද බුද්ධශාසනයට මහත් වූ ලාභ සත්කාර ලැබිණ. එය දැක මිත්‍යාලබ්ධික අන්‍යතීර්ථකයෝ හැට දහසක් පමණ දෙනා තමාම සිව්රු පොරවාගෙන පැවිදි වූවාහුය. මෙම නිසා අශෝකාරාම විහාර භික්ෂූන් පාමොක් දෙසීම සර්වසම්පූර්ණයෙන්ම අත්හරින ලදී. මෙය ඇසූ අශෝක රජතුමා ප්‍රතිමෝක්ෂය දේශනා කරන්නැයි නියෝගයක් ඇමතියෙකු අත යවන ලදී[9]. ඒ අවස්ථාවේ විහාරයට ගිය ඇමතිවරයා ආර්ය්යන් වහන්සේලා මැරීය. මේ නිසා හැට දහසක් පමණ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ එම තීර්ථකයන්ට නිගාදීම පිණිස අශෝකාරාමයට එක් රැස්වූවාහුය. එකල මෙසේ රැස්වූ භික්ෂූන් අතර මොග්ගලීපුත්ත තිස්ස තෙරුන්වහන්සේ තරම් ශ්‍රේෂ්ඨයෙකු මේ මිහිපිට නොවීය. අශෝක රජතුමා, ඇමතිවරයා භික්ෂූන් මැරීමේ පාපය පිළිබඳව උන්වහන්සේගෙන් විමසීය. මොග්ගලී පුත්තතිස්ස තෙරණුවෝ රජු ඉදිරියේ ප්‍රාතිහාර්‍ය්‍ය පා රජුගේ සැකය දුරුකළහ.
අශෝක රජතුමා මොග්ගලීපුත්තතිස්ස තෙරුන්ගේ සමීපයෙන් ධර්මය ඉගෙන ගත්තේය. එසේ ධර්මය ඉගෙනගත් රජතුමා ඒ තමා විසින්ම සිව්රු පොරවාගත් අන්‍යතීර්ථක භික්ෂූන් සම්පූර්ණයෙන්ම ශාසනයෙන් පන්නා දැම්මේය. එකල සිටි ථෙරවාදයට විරුද්ධ වූ සියළු භික්ෂූහු ථෙරවාදයෙන් පරිබාහිර වූවාහුය. බුද්ධ ශාසනයට අනර්ථකාරී වූ ඔවුහු නිර්මල වූ බුද්ධ ධර්මය විනාශ කිරීම සඳහා තීර්ථක ශ්‍රාවකයන්ගේ අවවාදයෙන් පැවිදිව ශාසනය භේදකරන ලදී. මේ නිසා ඔවුන්ට ඔවුන්ගේ වාදය අවබෝධව නිග්රහවීම පිණිස මොග්ගලීපුත්තතිස්ස තෙරුන්වහන්සේ කථාවත්ථුපකරණය දේශනා කළ සේක. මෙය අන්‍යවාද මර්ධනයටම අනන්‍යවූ සංග්‍රහයකි. එම මොග්ගලී පුත්තතිස්ස හිමියෝ අභිධර්ම කථාවත්ථු පකරණය දේශනා කළහ. ස්වකීය වාදයන් ශෝධනය කලාවූ බුද්ධශාසනය දිගුකලක් පවත්වාගෙන යාමට ඉවහල් විය. සියළු භික්ෂූන්ගේ නායකත්වය ගත් උන්වහන්සේ රහතුන් වහන්සේ දහස අතර නැගී සිට ඉතා පූජනීය ආකාරයෙන් සකසා ධර්මසංඝායනාව කළ සේක. රජු විසින් කරවන ලද අශෝකාරාමයේදී මෙම ධර්මසංඝායනාව නව මසකින් නිම කරන ලදී.[10] මේ තෙවන සංඝායනාවයි.
මේවා අද තිබෙන සංඛ්‍යා විද්‍යාවට අදාල නොවේ. සමහර විට මෙහි මුලදී සටහන් කරන ලද සංඛ්‍යා චක්‍රයට අදාල විය හැකිය. ↑
විද්‍යාත්මක මනෝසංකල්පයක් එකල තිබෙන්නට ඇතැයි මේ අනුව සිතා ගත හැකිය. අද රූපවාහිනියෙන් බලන චිත්රමය අදහසක් මෙයින් විද්‍යාමාන වෙයි. ↑
මෙවැනි අවස්ථාවක විද්‍යාත්මක ස්වරූපයක් ඇතිවීම හා හැඟීම් ජනනය වීම ස්වභාවිකය. නමුත් මහාවංශයේ මෙම ස්වාභාවිකත්වය දක්නට නැත. එසේම දී. ව. කතුවරයා එවක තුලනාත්මක අධ්‍යාපනයේ මනා දක්ෂතාවයක් තිබූ අයෙකු බවද මෙයින් පෙනේ. ↑
අශෝකගේ රජවීම පිළිබඳ අවුරුදු 4ක පරතරයක් ඉතිහාසඥයන් පෙන්වයි. බෙහෝ අය පවසන්නේ රාජ්‍ය පිළිබඳ තිබූ අවුල විසඳීමට යාමේදී මෙය සිදුවූ බවයි. එහෙත් මෙයින් පසු අශෝකගේ නියම අභිෂේකය ලෙස ගණන් ගත්තාදැයි විමසිය යුතුවේ. ↑
මෙය දෙවනවර රජවීමේ රාජ්යවර්ෂය විය හැකිය. බොහෝ ඉතිහාසඥයන් දක්වන්නේ ක්‍රි. පූ. 268 හෝ 269 වර්ෂයේ අශෝක රජවූ බවය. එසේම නිග්‍රෝධ හිමියන්ගේ පැවිද්ද පිළිබඳව නිශ්චිත වර්ෂයක් හෝ අශෝක සොහොයුරන් මැරූ වර්ෂයත් පිළිබඳව මං: වං: සඳහන් නොවේ. ඒ අනුව දී. වං. ඓතිහාසික පදනමේ වැදගත් කමක් ඇති බව පෙනේ. ↑
කිඳුරියන් මනුෂ්යගනයට නොගැනේ. එසේ නම් කිඳුරියගේ දරුවන්ද මනුෂ්‍ය නොවිය හැකිය. බෞද්ධ විනය පිටකය අනුව මෙවැනි අය මහණ කළ නොහැක. මෙහිදී කිඳුරිය යනුවෙන් අදහස් කරන්නට ඇත්තේ ලක්ෂණ කාන්තාවක නිසා විය හැකිය. ↑
වෙන්ව විනයකර්ම කිරීම. ↑
තවත් තැනක නිග්‍රෝධ සාමනේරයන් වහන්සේ වෙනුවෙන් ලක්ෂයක් දුන් බව දක්වා ඇත. ↑
මේ පිළිබඳව ම: ව: දීඝී විස්තරයක් දැක්වේ. මෙහිදී ඇමතිවරයා භික්ෂූන් මැරූ බවත් රජුගේ සොහොයුරු තිස්ස තෙරුන්ගේ ඉදිරිපත් වීම නිසා ඇමතිගේ ක්‍රියාව නතරවූ බවත් දක්වා තිබේ. ↑
මෙම ධර්ම සංඝායනාව පාටලී පුත්තනගරයේ දී ක්‍රි. පූ. 250 දී පවත්වන ලද බව ඉතිහාසඥයන්ගේ මතයයි. ඒ සමගම මෞර්ය අශෝක ක්‍රි. පූ. 269 සිට 231 දක්වා පාලනය කල බවද පෙන්වා දෙයි. ථෙය්‍ය සංවාස:- මෙම තීර්ථකයන් පෙන්වා ඇත්තේ ථෙය්යසංවාස යන නාමයෙනි. මොවුන් සංවාස නේතක: ලිංගනේතක: උභයනේතක: වශයෙන් කොටස් තුනකි. ලිංගනේතක ගණයට මොවුන් වැටේ. ලාභසත්කාර සඳහා මහණවුනේ මොවුන්ය. ↑