8 වන පරිච්ඡේදය
බොහෝ දුර දැක්මේ ඥාන සම්භාරයක් ඇත්තාවූ මොග්ගලීපුත්තතිස්ස තෙරුන් වහන්සේ අවට ප්‍රදේශයන්හි බුද්ධ ශාසනය පිහිටවන ආකාරය දුටු සේක. සියළු සත්වයන්ගේ මෙලෝ පරලෝ වැඩ පිණිස බුද්ධ ශාසනය පිහිටුවීමට තමන් වහන්සේ පස්වැනි කොට ඇති මජ්ඣන්ත ආදී තෙරවරු යැවූහ. (ඒ මොග්ගලීපුත්තතිස්ස තෙරුන් වහන්සේ උන්වහන්සේලාට මෙසේ වදාළහ.)
උතුම් වූ මහත් බලසම්පන්නවූ ඔබ වහන්සේලා පසල් දේශවාසී සියළු සත්වයන් කෙරේ අනුකම්පාවෙන් උතුම්වූ සද්ධර්මය දේශනා කරන්න. යනුවෙනි.
ඒ මජ්ඣන්ත තෙරුන් වහන්සේ (සිය පිරිස සමග කාශ්මීරයට හා ගන්ධාරයට වැඩිසේක.) එහිදි උන්වහන්සේට කුපිතව එක් නාරජෙකු පැමිණියේය. උන් වහන්සේ එම නාරජු පහදවා ධර්මය දේශනා කොට[1] බොහෝ දෙනෙක් සංසාර බැම්මෙන් මිදවූහ. මහත් සෘද්ධිබල ඇති මහාදේව තෙරුන් වහන්සේ මහිස රටට වැඩි සේක.[2] උන්වහන්සේ එහි වැඩීමෙන් පසු එහි ජනතාවට අපායේදී විඳීමට සිදුවන දුක්වල විඳීමට සිදුවන ආදීනව පෙන්වා එහි සිටි බොහෝ සංසාර බැම්මෙන් බැඳී සිටි සත්වයෝ සංසාර බැම්මෙන් මිදවූහ.
තවද මහා සෘද්ධි බල සම්පන්න මහා ස්ථවිර පාදයාණන් වහන්සේ නමක් ද වූහ. උන්වහන්සේ රක්ෂිත[3] නම් තෙරුන් වහන්සේය. උන්වහන්සේ අහසට පැනනැගී වනවාසී දේශයට වැඩි සේක. එහිදී උන්වහන්සේ අනවතග්ගිය සූත්‍රය දේශනා කොට බොහෝ දෙනෙක් පැහැදවූහ. එසේම මහාඥාණ සම්ප්‍රයුක්ත යෝනක ධම්මරක්ඛිත ස්ථවිරපාදයන් වහන්සේ අපරන්ත[4] දේශයට වැඩ එහි ජනයා පැහැදවූ සේක. එහිදී උන්වහන්සේ මහා අග්ගිඛන්ධොපම සූත්‍රය දේශනා කළහ. මහා සෘද්ධි බලමහිමයෙන් යුත් මහා ධම්මරක්ඛිත තෙරණුවෝ මහාරට්ඨ[5] දේශයට වැඩයෝ, උන්වහන්සේ එහිදී මහානාරදකස්සප ජාතකය දේශනා කළාහු; එහි වැසියෝ පැහැදවූ සේක. එසේම මහත් සෘද්ධිබල සම්පන්න භාවයෙන් යුක්තවූ මහාරක්ඛිත ස්ථවිර පාදයන් වහන්සේ යෝනක ලෝකයට[6] වැඩි සේක. උන්වහන්සේ එහිදී කාලකාරාම සූත්‍රයෙන් ධර්මය දේශනා කොට යෝනක දේශවාසීන් පැහැදවූහ. කස්සපගොත්ත ස්ථවිර පාදයන් වහන්සේද මජ්ඣිම තෙරුන්ද, දුන්දුභි තෙරුන්ද; මහාදේව තෙරුන්ද; අලකදෙව තෙරුන්ද හිමවත් දේශයට[7] වැඩියාහුය. එහි වැඩියාවූ උන්වහන්සේලා ධර්මදේශනා කොට එහි ජනයා පැහැදවූහ.
මේ හැරුණු විට සෘද්ධි ගුණයෙන් ගුණෝපේතවූ සෝනුත්තර නම් වූ මහා ස්ථවිර පාදයන් වහන්සේ ස්වණ්ණභූමියට[8] වැඩි සේක. එහි වැඩි උන්වහන්සේ එහිදී පිසාචයන් මර්දනය කළසේක. එසේ මර්දනය කොට බොහෝ දෙන භවබන්ධනයෙන් මුදවා නිවන් මගට යොමු කළහ. මෙයින් පසු තමා පස්වැනි කොට ඇති මිහිඳු මහ රහතන් වහන්සේ උතුම්වූ ලංකාදීපයට වැඩම වූ සේක. එසේ වැඩියාවූ උන්වහන්සේ එහි බුද්ධ ශාසනය ස්ථිරකොට වදාළ සේක. ලක්බිමට වැඩියාවූ උන්වහන්සේ බොහෝ ජනයා සංසාර බැම්මෙන් මිදුවූ සේක.
මෙහිදී ආරවාල නම් නාගරාජයෙක් තෙරුන්වහන්සේට පරුෂවචනයෙන් බැණ වදිමින් නාගපිරිස් පිරිවරාගෙන විවිධදේ කළත් තෙරුන් වහන්සේ එම නාරජු දමනය කොට ආශිර්විෂෝපම සූත්‍රය දේශනා කළ බව සඳහන් වේ. (මඃවඃ 12 පරි) කාශ්මීරය හා ගන්ධාරය ප්‍රධාන පැරණි රාජ්‍ය දෙකකි. මෙය වයඹ දිග ඉංදියාවේ පිහිටියේය. ක්‍රි. පූ. 750 දී මුස්ලිමුන් ඉංදියාව ආක්‍රමණය කරන විට ද මෙම ප්‍රදේශවල බහුල වශයෙන් බෞඩයන් සිටි බව පෙනේ. මොවුන්ගේ ජිහාඩ් යුද්ධ මගින් ඔවුන් මහමදිකයන් බවට පත් කොට ඇත. එම ආගම ඇදහීමට විරුද්ධවූ අය මරා දමන ලදී. ↑
මෙහිදී මහිසරට යනුවෙන් සඳහන් වෙන්නේ මහිසමණ්ඩලයයි. දේවදූත සූත්‍රය මෙහිදී දේශනා කරන ලදී. මෙම මහිස මණ්ඩලය ද. ඉ. මයිසූරය හෝ වින්ධ්‍යා කඳුවැටිය අසල රාජ්‍යයකි යි කියවේ. කෙසේ වෙතත් මෙය මයිසූරය බව ද. ඉ. ශාසන ඉතිහාසයෙන් පෙනේ. ↑
ද. ඉ. උතුරුකන්තරයේ ‘වනවාසී’ නමින් නගරයක් ඇත. ↑
ද. ඉංදියාවේ නව සෝපරා නගරය පිහිටා ඇත්තේ මෙහි බව කියයි. පැරණි සුප්පාරක පටුන මෙහි පිහිටියේය. ↑
මෙය වර්තමාන මහාරාෂ්ට්‍ර ප්රදේශයයි. ↑
මිසරය සිරියාව ඇතුළු මුස්ලිම් රටවල් රාශියක් මෙයට අයත්වේ. යෝනක ලෝකයයි මෙය නම් කළේ මුහුදුවලින් වෙන්ව රාජ්‍ය කීපයකින් සැදුම්ලත් නිසාය. මෙයට ග්‍රීසියද අයත්වූ බව සඳහන් කරන්නේ ඇලෙක්සැන්ඩර්ගේ අධිරාජ්‍ය මෞර්ය අධිරාජ්‍ය තෙක් විහිදී තිබූ හෙයිනි. ↑
ම: ව: සඳහන් වන්නේ මජ්ඣිම තෙරුන් වහන්සේ ඇතුළු 4 නමක් වැඩි බවය. මෙහි ඉතිරි 4 නමද සඳහන්වේ. කෙසේ වෙතත් සෑම ප්රදේශයකටම භික්ෂූන් 5 නමක් වැඩි බව මේ අනුව පෙනේ. හිමවත් දේශයට කසීරට නේපාලය අයත්ය. සාන්චි ස්ථූපයෙන් ලද ලිපිය කස්සප ගොත්ත හිමියන්ගේ නම සඳහන්ය. ↑
ස්වණ්ණභූමියට සොණ, උත්තර යනුවෙන් ප්‍රධාන හිමිවරු දෙදෙනෙකු යැවූ බව බෞද්ධ මූලාශ්රවල හා ම: වං: සඳහන්වේ. ස්වණ්ණ භූමිය යනුවෙන් සඳහන් වන්නේ බුරුමය, ලෙසද ඉ.හිරණ්‍ය වන ප්‍රදේශය බවද, මලයාව ලෙසද, බෙංගාලයේ ප්‍රදේශයක් ලෙසද විවිධාකාරයට විවිධ ඉතිහාසඥයෝ පෙන්වා දෙයි. ↑