සිංහල දීපවංශය

6 වන පරිච්ඡේදය

ප්‍රියදර්ශී ධර්‍මශෝක රජතුමා[1] සම්බුද්ධ පරිනිර්වාණයෙන් 218 වන වර්‍ෂයේ රාජ්‍යාභිෂේකය ලැබීය. එයින් පසු ඒ ප්‍රියදර්ශී කුමාරයාට මහත් යස ඉසුරු ලැබිණි. මුළුමහත් දඹදිව් තලයෙහිම ඔහුගේ අණසක පැතිරිණි. අනවතප්ත විල ඇතුළු විල් සමූහයට අරක්ගත් දෙවිවරුන්ද අනෙකුත් පර්‍වත ආදියෙහි විසූ දෙවිවරුන් ද ප්‍රිය දර්ශී රජුගේ වසඟයට ගියේය. එකල්හි එම දෙවිවරු සියලු බෙහෙත් සම්මිශ්‍රණය කරන ලද පැන් කළ දහසක් රජුට ගෙන එති. එපමණක් ද නොව හිමාලයෙහි හටගත් ඉතාම සුවඳවත්වූ මොළොක්වූ නාලිය දැහැටි ද ඔහුට දෙවිවරු නිරන්තරයෙන් ගෙන එති. එසේම මෙම කාලයෙහි හිමාලය පව්වේ හටගනු ලබන්නාවූ මනාසේ මෘදුවූ සුවඳින් හා රසයෙන් හෙබි බෙහෙත් අරළුද දෙවියෝ ගෙන එති. සුවඳින් සුවඳවත් වූ රසයෙන් රසවත්වූ දෙවියන්ගේ මිහිරි පානය හා සමානවූ ඉදුණු අඹ ගෙඩිද නිරන්තරයෙන් ගෙන එති. තවද මෙම දෙවිවරු ඡද්දන්ත විල අසලින් හඳනා පොරවනා දිව්‍යමය වස්ත්‍ර ද නිතිපතා ගෙන එති. එසේම නාලොව නා රජවරු ස්නානය පිණිස යන විට ඇඟේ ගෑමට ගෙන යන සුවඳ සුණුද සුවඳ විලවුන්ද ගෙන එති. තවද ඇඳීමට පෙරවීමට ගන්නාවූ සමන් මලින් ගෙතුවාක් වැනි මෘදු වස්ත්‍රද ගෙන එති. මේ ආකාරයෙන් ඉතා අනර්ඝවූ දිව්‍ය අඳුන් යන සියල්ලද එකල ඔහුට ගෙනාහ. තවද මෙම දෙවිවරුන් විසින් පුවක් ගස් සමාන උක්ගස් ගෙන එන ලද අතර අත් පිසීම පිණිස මෙම දෙවියන් විසින් කසාවන් පිළිකඩද මෙම රජතුමාට ගෙන එනු ලබයි.

මෙම අශෝක රජු වෙනුවෙන් දිනපතා ගිරව් ඡද්දන්ත විල අසලින් ඇල්වී නව දහසක් ගෙන එති. මීයන් විසින් එම ඇල්වී කැඩෙන කුඩු නොවනසේ මහා ලෙස ශුද්ධ කරන ලදී. එසේම මී මැස්සන් ඔහුට මී බැඳ දෙන ලදී. තවද ඔහුගේ කම්මල්වල කුළු ගසන ලද්දේ වලසුන්ය. මෙම අශෝක රජුගේ පුණ්‍ය මහිමයෙන් මනාව සැදුම් ලද්දවූ කුරවි කෙවිල්ලෝ සෑමකල්හිම තම මිහිරි නාදයෙන් මිනිසුන්ගේ කන් පිනෙව්වාහුය.[2] මහාකාල නම් නාරජු විසින් කකුසඳ; කෝණාගම; කාශ්‍යප; ගෞතම යන සිව් බුදුවරයන් වහන්සේලාට නිතර මහ පිරිස් සහිතව පැමිණ උපස්ථාන කරන ලදී. මෙම අශෝක රජුගේ පින් මහිමය නිසා රන් හැකිල්ලෙන් සැරසීගත් එම මහාකාල නාරජු රජ ගෙදරට පැමිණියේය ඒ මහායසස් ඇති නා රජතුමා විසින් අශෝක රජුට රන්මලින් පුදන ලදී. මෙම අශෝක රජතුමා එක් ආත්මයෙක්හි වෙළඳ කුලයෙහි ඉපිද සිටියදී පසේ බුදුවරයෙකුට පාත්‍රය ඉතිරී යනසේ මී පිළිගැන්වීමේ මහානිසංසයේ ඵල විපාක වශයෙන් මෙකල මෙසේ නොයෙක් දෑ ලැබීමට හේතුවිය.[3] රාජපුත්‍ර ධර්මශෝක රජතුමා චන්ද්‍ර ගුප්ත රජතුමාගේ මුණුපුරාය. බිංදුසාර රජතුමාගේ පුත්‍රයාය. මෙම අශෝක රජතුමා කුමාර අවදියේ දීම උදේනී රට අධිපතී බවට පත්විය. මෙහි වාසය කරන ලද ඔහු ක්‍රමයෙන් වේදිසගිරියට ගියේය. එහිදී බොහෝ ඇසූ පිරුතැන් ඇති[4] දේවී නම් සිටු දියණියක් හා එක්ව විසීමෙන් උතුම්වූ පුත්‍රරත්නයක්[5] ඇතිවිය.

මෙම දේවී නම් සිටු දියණියගේ දරුවන් වූ මහින්ද කුමරුන් සංඝමිත්තා කුමරියත් පැවිදි වීමට කැමති වූහ. මෙසේ ඒ දෙදෙනාම පැවිදිව සංසාර බැම්මෙන් මිදී නැවත ඉපදීම නැති කොට නිවන්සුව අත්කර ගැනිණ.

අශෝක රජතුමා උතුම්වූ පාටලීපුත්‍ර නගරයේ සිට රාජ්‍යය මෙහෙයවීය. අශෝක රජගේ අභිෂේකයෙන් තෙවන රාජ්‍යය වර්ෂයේදී ඔහු බුදු සසුනේ පැහැදුනේය.[6] බුදුරජාණන් වහන්සේ උපවර්තන නම් සල්වනයෙහි පිරිනිවන් පෑ කාලයත් එයින් පසු මහින්ද කුමරු මෞර්‍ය වංශයෙහි ජනිතව ඉපදීමත් අතර වර්ෂ ප්‍රමාණය අවුරුදු දෙසිය හතරකි. අශෝක රජුගේ පුත්‍රවූ මිහිදුකුමරු උපදින්නේ මේ අතර කාලයේදීය. අශෝක විසින් තම සොහොයුරන් මරවන විට[7] මහින්ද කුමරුගේ වයස අවුරුදු දහසකි.[8] එයින් පසු මුළු දඹදිවම රාජ්‍යානු ශාසනා කරමින් අවුරුදු හතරක්[9] ඉක්මවන ලදී. ඔහු විසින් මරණ ලද සහෝදරයන් ගණන එකසිය එකකි. මේ අයුරින් සොයුරන් මරාදමා පාලනය එක්සේසත් කිරීමෙන් පසු ඇමතිවරුන් විසින් දේවානම් පියතිස්ස රජුගේ දෙවන අභිෂේකය කරන ලදී. තේජාන්විත භාවයෙන් හා පුණ්‍ය මහිමයෙන් අසහාය නායකයාණන් වූ ධර්මාශෝක රජතුමා මේ අයුරින් අභිෂේක කෙරින. මුළුමහත් ඉංදියාවේ රාජ්‍ය ලාභයද ඔහු විසින් ලබන ලදී. මේ වනවිට දෙවන පෑතිස් රජවී අවුරුදු විස්සක් ඉක්මගොස් තිබුණි. මෙම අවදියේදී දෙවන පෑතිස් රජතුමා ප්‍රියදර්ශීනාමයෙන් (දෙවන වරට) අභිෂේක[10] ලැබීය. මෙකල ලක්දිව පැවති පාෂාණ්ඩමය මිත්‍යාමතික මතයන් ගනිමින් වසර තුනක් ඉක්මවීය.

මේ කාලයේ දෙසැටක් මිත්‍යාවාද ගත්තවුන් ද, ගින්නෙන් කෙළෙස් තවන වුන්ද; පාෂාණ්ඩ යන්ද; සාස්වත; හා උච්ඡේදවාදී දෙකොටසද මෙකල ලක්දිව වූහ. අජේලකවෘතරැකියවුන් සිටි අතර නිගණ්ඨයන්ද; සෙසු පරිබ්‍රාජකයන්ද; බ්‍රාහ්මණයන් හා අනෙක් සුළු ලබ්දි ගත්තවුන්ද මෙකල ලංකාවේ සිටියහ. මේ හැරුණු විට බුද්ධාගමෙන් පරිබාහිරවූ ශාස්වත උච්ඡේද වාදාදියෙන් හා වෙනත් හීනදෘෂ්ටි කෙරේ ඇළුනවුන්ද ආදී විවිධ මිත්‍යාමතයන්ගෙන් මුළාවූ පාෂාණ්ඩ, කීර්තක ආදීන්ද; මේ ආකාරයෙන් වූ නොයෙක් නොයෙක් විවිධ ලබ්දීන් ගත්තවුන් රජමැදුරට පැමිණෙන්නාහුය.

ධර්මාශෝක රජතුමා සියළු ආගම්වල සරු නිසරු බව සෙවීම පිණිස සියළු ආගම් අදහන්නවුන් කැඳවා ඔවුන් ඇමතීමට අදහස් කොට මහාදානයක් සූදානම් කරවා සියළුතීර්ථකයන් රජ මැඳුරට කැඳවා ඔවුන්ට දානයදී ඉතා උණුසුම් ලෙස ඔවුන් ගෙන් ප්‍රශ්න විචාරණ ලදී. අසන ලද ප්‍රශ්න ඔවුන්ගේ ඥාණශක්තියෙන් විසඳීමට නොහැකි බව රජු අවබෝධ කර ගත්තේය. අසන ලද ප්‍රශ්නවලට අඹ විචාලවුන්ට දෙල් කියන්නා සේ ඥාණහීනවූ ඔවුහු ප්‍රශ්නයෙන් පරිබාහිර දෙයක්ම කීවාහුය. නිත්‍යය වශයෙන්ම කියන්නේ නම් ඒ සියල්ලන්ගේ ම දේශනාවලින් අල්පමාත්‍රය කුදු ප්‍රයෝජනයක් නොවීය.[11] අශෝක රජතුමා එම මිත්‍යාලබ්දික පාෂාණ්ඩකයින් සසුනින් බැහැර කොට මෙසේ සිතීය.[12]

“මෙම ප්‍රශ්නය විසඳීමට කෙනෙකු කෙසේ නම් ලැබිය හැකිද? ලෝකයේ යම් රහතුන් වහන්සේ නමක් සිට උන්වහන්සේ මෙය දකින්නේ නම් උන්වහන්සේට මෙය විසඳිය හැකිය. එවැන්නෙකු කෙසේ ලබන්නේද?”

යනුවෙනි. මෙවැන්නක් අශෝක රජතුමා බලාපොරොත්තුවෙයි. තවද

“මෙම ලෝකය රහතුන්ගෙන් හිස් නොවේ. ලෝකයේ කොතැනක හෝ රහත්හු විද්‍යාමාන වෙති. මම කවදා කොතැනකදී එවැනි තෙරුන් වහන්සේ නමක් දර්ශනය කෙරෙම්ද?”

යනුවෙන් ද රජතුමා සිතීය.

අශෝක රජතුමා මෙසේ ද කල්පනා කළේය.

“යමෙකු මට අරහත් මාර්ගය කියයිද? ඔහු විසින් කියන ලද එම යහපත් වචන අසා මගේ ජීවිතයද මෙම රාජ්‍ය ද ඔහුට දෙමි.”

රජ මෙම ආකාරයෙන් සිතුවද රජුට රහතුන්වහන්සේ නමක් දක්නට නොලැබුණි.[13]

ඒ ධර්‍මාශෝක රජතුමා නිතරම සුපේශල ශික්‍ෂාකාමී සිල්වන්තයින් පිළිබඳව මෙනෙහි කරමින් සිටියේය. දිනක් රජතුමා ස්වකීය රජමැදුරේ උඩු මහල් තලයෙහි ඒ මේ අත සක්මන් කරමින් සිටින්නේ පිඬු පිණිස හැසිරෙන නීග්‍රෝධ සමනේරයන් වහන්සේ දුටුවේය. පහතට හෙලන ලද ඇස් ඇති උන්වහන්සේගේ ශාන්තවූ ගති ලක්‍ෂණයන් ගෙන් උන්වහන්සේ අරහත් භාවයට පත්වූවෙකැයි රජු සිතීය. උන්වහන්සේ දුටුවන් සිත්ගන්නාසුළුය. ඉදිරියට ගමන් ගැනීමේදී ද ආපසු හැරී බැලීමේදීද, ඉතාම සැලකිලිමත් ලෙස කරයි. එසේම තෙරුන්වහන්සේට දමනය කරනලද ඉන්ද්‍රියන් ඇත. උතුම් තීරණයන්ට එළඹුණ ලක්‍ෂණ ඇත. දමනය කරන ලද්දාවූ චක්‍ෂුරාදී ඉන්‍ද්‍රියන් ඇත. මනා පෝෂණය කරන්නාවූ උපස්ථායක කුලයක නොගෑවේ. එසේ හෙයින් ඒ තෙරුන් වහන්සේ අහසේ චන්‍ද්‍රයා මෙන් නිර්මලය. තවද එහිමියන් ස්ථිර සාර ගමනින් ගමන් ගන්නාවූ සිංහරාජයෙකු බඳුය. ගිනිකඳක් මෙන් තේජසින් බැබළේ. ළංවිය නොහැකිවූ ප්‍රඥාවූ සමාධිගත වූ උතුම්වූ ශාන්ත පැවතුම් උන්වහන්සේට ඇත්තේය. මෙම නිග්‍රෝධ සාමනේරයන් වහන්සේ සියළු කෙළෙස් කසට සෝදා හැරී සියලු ආශ්‍රවයන් ප්‍රහීන කළාවූ උතුම් වූ පුරුෂ රත්නයකි. ඒ ශ්‍රමණයන් වහන්සේ උතුම්ව ශිලාචාර ගුණයෙන් යුක්තයහ. බ්‍රහ්ම විහරණයෙන් යුක්තයහ. මෙසේ සියළු ගුණයෙන් යුක්තවූ පෙර ආත්මයේ[14] තමාගේ සහායකවූ පෙර කරනලද කුසල් බලයෙන් අනූන වූ ආර්‍ය්‍ය මාර්‍ගය හෙවත් නිවන්මගට පිවිසියාවූ පිඬු සිඟා වඩින්නාවූ ඒ නිග්‍රෝධ තෙරණුවන් ගැන රජතුමා මෙසේත් සිතීය.

“මෙම ශ්‍රමණයන් වහන්සේට ස්ථිරවූ ගුණ ඇත්තේය. උතුම් ආචාර පැවතුම් ඇත්තේය. එසේම ලෝකෝත්තර ඵලයෙහි පිහිටි දුක්ඛාදී චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළාවූ එක්තරා බුද්ධශ්‍රාවක උතුමෙකු විය හැකිය.” යනුවෙනි.

මෙම නිසා අශෝක රජු නිර්ධනයෙකු නිධානයක් ලැබ සතුටුවන කලක් මෙන්ද; සිතින් මෙනෙහි කළ පමණින් කැමති දෙයක් ලබන ශක්‍රයා මෙන්ද, උදාර ප්‍රීතියට පැමිණෙන්නේය. පිබිදුන මනසින් යුක්තවූ රජතුමා පස්වනක් ප්‍රීතියෙන් ප්‍රමුදිතවූයේය. අශෝක රජතුමා වහාම අමාත්‍ය වරයෙකු ඇමතීය.

“මිත්‍රය, අර වීථියෙහි පිඬුපිණිස වඩින බබලන්නාවූ ප්‍රසාද ජනකවූ ශාන්ත පැවතුම් ඇතිව ගමන් කරන්නාවූ; ලාබාල තෙරණුන් වහන්සේ කැඳවා ගෙන එන්න.”[15] යයි කීය

මෙසේ තෙරුන් වහන්සේ කෙරෙහි වහන්සේ පැහැදුන රජතුමා. උදාර මනසින් යුතුව මෙසේ සිතීය.

“නොදුටු විරූ මේ උතුම් පුරුෂයා ඒකාන්තයෙන්ම උතුම්වූ රහත්ඵලයට පැමිණියෙකු විය යුතුය.” යනුවෙනි.

එම ඇමතිවරයා විසින් නීග්‍රෝධ සාමනේරයන් වහන්සේ රජ මැදුරට කැඳවා ගෙන එන ලදී. රජතුමා නැවතත් එම තෙරුන් විමසනු කැමතිව මෙසේ විචාළේය.

“ශ්‍රමණයන් වහන්ස, මනාසේ පිළියෙළ කරනලද ආසන රැසක් මෙහි ඇත. එයින් ඔබ වහන්සේ යම් ආසනයක් කැමති වන්නේද; එය මම අනුමත කරමි යයි කීය.

උන්වහන්සේ රජුගේ වචනය පිළිගත්තේය. දකුණට හැරී ගමන් කළ උන්වහන්සේ නොබියව රජුගේ අත අල්ලාගෙන සිංහාසනයට නැග සක්දෙව් රජ පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි සිටින්නාසේ එහි වැඩ උන්හ. රජු මෙය දැක නැවතත් මෙසේ සිතීය.

“මෙම ළදරු ශ්‍රමණයන් වහන්සේ නොබියව නොසෙල් වී මේ සිංහාසනයෙහි වැඩහිඳී. උන්වහන්සේ එසේ වැඩ සිටින්නේ අද මෙම රජ මැදුරේ නායකයා වන හෙයිනි. එසේ හෙයින් උන්වහන්සේ තුළින් ලොව්තුරු දහම් විද්‍යමාන වෙයි. එසේම උන්වහන්සේට බුද්ධාදී උතුමන්ගේ පැවතුම් ඇත්තේය.”

නිර්භයවූ තරුණ කුමරෙකුගේ සවරූපය ඇත්තාවූ ශාන්ත ගුණයට නිවාසයක් බඳුවූ ධර්මයෙන් හා විනයෙන් මනාසේ හිත් මවන ලද්දාවූ හැඳීම් පෙරවීම් ආදියෙන් ක්‍රමවත්වූ[16] බුදුන් වහන්සේ අනුගමනය කරන නිග්‍රෝධ, හිමියන් දැක පැහැදුන සිතින් යුත් රජ තුමා නැවතත් මෙසේ කීය.

“මහාමුනීන්ද්‍රයන් වහන්ස: ඔබ වහන්සේ විසින් පුහුණු කරන ලද ධර්මය මට දේශනා කරන සේක්වා. ඔබ වහන්සේ මගේ අනුශාසකයාණන් වන්නේය. එසේම ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයක් මම පිළිගනිමි. ඔබ වහන්සේ ධර්මය දේශනාකරන සේක්වා! අපි අසන්නෙමු”.

එම අශෝක රජුගේ තේජාන්විත වූ වචන අසා ප්‍රතිසම්භිදා ඥානයෙහි පිහිටියාවූ ඒ නිග්‍රෝධ තෙරණුවන් වහන්සේ මහත් අනගි නවංග සත්‍ථු ශාසනයේ සියළු ත්‍රිපිටක ධර්මය පරීක්ෂා කර බලා බුදුන් මහත් නොපමාව ගැන දේශනා කරනලද්ද වූ දේශනාව දුටු සේක. එය රජුට දේශනා කළහ.

එය මෙසේය.

“නොපමාව නිවනට මාර්ගයයි. ප්‍රමාදය මාරයාගේ මාර්ගයයි. අප්‍රමාද වූවෝ නොමැරෙත්. ප්‍රමාද වූවන් මලා හා සමානය”[17]

විශේෂයෙන් රජු වෙනුවෙන් ඒ නිග්‍රෝධ තෙරණුවන් දේශනා කරනලද ධර්‍මය ඇසූ රජතුමා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සියළුම ධර්‍මයන්ට මෙම අප්‍රමාදයම මුල්වන්නේ යයි සිතුවේය.

“ස්වාමිහි: මම අදම ඔබ වහන්සේ සරණයමි. එසේම බුදුන් වහන්සේද. සංඝයාද සරණයමි. එසේම බුදුන් වහන්සේගේ ශාසනයෙහි මගේ අඹු දරුවන්ද ඥාතීන්ද මම ද උපාසකයන් වන බව අයදිමි.”

ඒ කල්‍යාණ මිත්‍රවූ නිග්‍රෝධ තෙරුන් වහන්සේගේ පැමිණීම නිසා ධර්‍මාශෝක රජුද ඔහුගේ අඹුදරුවන්ද තිසරණ සහිත පංචශීලයෙහි පිහිටියහ.

“තෙරුන් වහන්ස: ඔබට රිදීමිළසාර ලක්‍ෂයකින්ද[18] දිනපතා ලහබත් අට බැගින්ද පුදන්නෙමියි රජු කීවේය. එවිට තෙරුන් වහන්සේ මෙසේ වදාළේය.

“මහරජ, ත්‍රි විද්‍යාධාරී කාමාදී ආශ්‍රවයන් දුරුකලාවූ තමා විසින් ඉතා දක්‍ෂව ධර්‍මය අවබෝධ කලාවූ ඍද්ධිබල ඇති තවත් බොහෝ වෙති. යනුවෙනි.

එවිට ස්ථිර ගුණයෙන් හෙබියාවූ උන් වහන්සේට රජු මෙසේ නැවතත් කීය.

“පින්වතුන් වහන්ස: මම ආර්‍ය්‍ය සංඝරත්නය දැකීමට කැමැත්තෙමි. යම් පමණ භික්‍ෂුහු මෙහි රැස්වෙත්ද? ඒ සියල්ලන්ම මම ඉමහත් භක්තියෙන් වඳිමි දහම්ද අසමී,ය යනුවෙනි.

තෙරුන් වහන්සේ මේ සියළු පවත් අසා රජුගේ මනදොළ පිරවීම සඳහා භික්‍ෂුන් කැඳවූ සේක. එම ආරාධනයට හැට දහසක් පමණ භික්‍ෂුහු රැස්වූවාහුය. රජුගේ දූතයෝ ඒ අවස්ථාවේදී සතුටින් පැමිණ සිටිනු දැක්කාහුය. රජුවෙත ගියාවූ ඔවුන් එම ස්ථානයට සන්නිපතිතවූ භික්‍ෂූන් දැකීමට රජු කැමති නම් පැමිණෙන ලෙස කියන ලදී. දූතයන්ගේ වචන කෙරේ සවනත යොමුකළ ධර්මාශෝක රජ තුමා ස්වකීය ඥාති සමූහයා හා මිත්‍රාමාත්‍යයින්ද ඇමතීය.

අපි උතුම්වූ මහා සංඝරත්නය වෙත දන් දෙන්නෙමු අපේ ශක්තියේ හා බලයේ ප්‍රමාණයට මහාසංඝරත්නයට උපස්ථානද කරන්නෙමු. අප කැප කරුවන් වූ හෙයින් පරිහරණය සඳහා මණ්ඩපයක් හා වැඩ සිටින අසුනක් ද දානයට අවශ්‍යය අන්න පානාදියද භික්‍ෂූන්ගේ පරිහරණය සඳහා අවශ්‍ය ජලයද ආදී සියල්ලද මේ සියල්ලෝම විසින් පිළියෙළ කරත්වා. එසේම මා හට දන්දීම සඳහා බත් පිළියෙල කරන්නෝ බත්ද, ව්‍යංජන පිළියෙල කරන්නෝ ඒවාද, මනාව පිළියෙළ කරන ලද කැඳ බතක් ද ආදී ඉතාම රසගුණයෙන් යුත් භෝජන පිළියෙල කර දෙත්වා. එසේම මා ශීලාදී ගුණයෙන් යුත් මහසඟරුවනට මහදන් දෙන බව පවසා නුවර බෙර හසුරුවත්වා. තවද නගරවාසීන් නගරය ඉතාම අලංකාරයෙන් පිරිසිඳු කරත්වා. මහමග සුදුවැලි අතුරුවා පස්වනක් මල්[19] අතුරුවා මල්මාලා වලින් සැදුම් ලත් තොරණද පිළියෙළ කරත්වා. කෙසෙල්ගස් සිටුවා පුන් කලස් තබත්වා. ස්ථූප සමූහයද මනාව පිළියෙල කොට ඒ ඒ තැන කොඩි ඔසවා තබත්වා. රෙදිවලින් තනන ලද කොඩි ඒ ඒ තන්හි බඳිනු ලබත්වා. මෙසේ නගරය මල්මාලා වලින් මනාසේ සරසවා ක්‍ෂත්‍රිය: බ්‍රාහ්මණ; වෛශ්‍යය; ශුද්‍ර;[20] යන කුලවල ජනයාද මනාසේ සියළු වස්ත්‍රාභරණාදියෙන් සැරසී, ගන්ධමාලාදීන්ගෙන්ද ආලෝකය විහිදුවන පහන්ද රැගෙන මහා සංඝරත්නය දැකීමට පැමිණෙත්වා. ක්‍රමානුකූලව සංගීත ශාස්ත්‍රය හදාලවුන්ද. නානා කුලවලට අයත් පංචතූර්‍ය්‍ය වාදනය කරන්නන් ඒවාද රැගෙන පැමිණිය යුතු අතර විශේෂයෙන්ම කර්ණ රසායන කරවූ වස්, කුලල් හා මිහිඟුබෙර, ආදීයෙන් සැදුම් ලද්දෝ ඒවායින්ද යුතුව පැමිණ සියල්ලෝම ඒවා වාදනය කරත්වා. එසේම සිත් සතුටු කරවන නොයෙක් අලංකාර දෑද රැගෙනෙත්වා. බ්‍රාහ්මණයන් නැට්ටුවන් යනාදී සියල්ලෝම මහා සංඝයාවෙත පැමිණ ඒ රැස්වූ සියලු දෙනාගේ සිත් සතුට කරත්වා. එපමණක්ද නොව ජනයා ඒ ඒ තැනට ද පුන් කළස් තබා නානාවර්‍ග මල් ගෙනවුත් තෙරුවන් පුදත්වා! එසේම සියල්ලෝම තම තමන් කැමති පරිදි ඇතුල් නගරය තුළට දන වස්තුට පිළියෙළ කරෙත්වා.”

යනු වෙන් රජු විසින් ඉල්ලා සිටින ලදී.

අශෝක රජතුමා උදයෙන්ම නැගිට ප්‍රණීත සම්පන්න ලෙස රජ මාළිගාවේ බත පිළියෙල කෙරෙව්වේය. ඉන්පසු පිරිවර සහිත ඇමතීන්ට මෙසේ අණ කළේය.

“මෙම නගර වැසියෝ බොහෝ මල්පුරවන ලද කළද[21], මල්කූඩාද, කොඩි සහ දවල්කාලයෙහි බබලන පහන්ද, රැගෙන පැමිණිය යුත්තාහ. මා විසින් යම්තාක් ගෙන ඒමට අණ කරන ලද්දේද, ඒතාක් ගෙනා යුත්තාහ. එසේම මේ නගරයේ සියළු වැසියෝද, සතර දිසාවන්හි වෙසෙන ගම් නියම්ගම් වැසියෝද, රාජකීය පිරිස් ද තම තමනට සුදුසුසේ යාන වාහනාදියද ගෙන මෙහි වැඩ සිටින මහාසංඝ රත්නය මා හා එක්ව දැකීම පිණිස පැමිණිය යුත්තාහ.”[22]

යනුවෙනි.

මේ ආකාරයෙන් පිළියෙල වූ අශෝක රජ නැමැති හස්තියා මහත් රාජානුභාවයෙන් යුක්තව භික්‍ෂූන් දැකීම පිණිස නික්මුණේය. නානා විභූශිතාලංකාරයෙන් අලංකාරවූ රජතුමා නන්දන උයනට සැපත්වන සක්‍රයා මෙන් බබලමින් මහා සංඝයාගේ සමීපයට පැමිණියේය. එසේ පැමිණ හටගත්තාවූ සතුටින් යුක්ත වූයේ යථාධ්‍යාසයෙන් ඇඳිලි බැඳ වැන්දේය. වැඳ සතුටුව එකත් පස්ව සිටියාවූ රජතුමා භික්‍ෂු සංඝයාට මෙසේ කීවේය.

“මහා සංඝයා වහන්ස; මෙලෝ පරලෝ වැඩ පිණිස මට අනුකම්පා කරණ සේක්වා”

කිවූ ධර්‍මශෝක රජතුමා බොහෝ වූ මලින් උතුම්වූ සංඝරත්නය වඳිමින් නුවරට පිවිසියේය. එයින් පසු එහි සිටි සියළු භික්‍ෂුහු රජගෙට වැඩියහ. එකල් හි රජතුමා ඒ භික්‍ෂුන් වහන්සේලා ඒ ඒ ස්ථානයට කැඳවාගෙන ගොස් වඩා හිඳුවා සංඝ නායක තෙරුන් වහන්සේගේද පාත්‍රය ගෙන උන්වහන්සේගේ අසුනෙහි වඩා හිඳුවා දන් පිළිගන්වා, අනෙක් භික්‍ෂු වහන්සේටද උන්වහන්සේලා කැමති පරිදි කැඳවා ඉතා අගනා කැවුම් පෙවුම් සියල්ලෙන් සිත් පිනා යන සේ ඉතා පිරිසිඳු අත් ඇතිව පූජා කළේය. මහා සංඝයා මහත්සේ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇත්තේ, වළඳා අවසන්වූ සේක්, එක් එක් භික්‍ෂුවට සළු දෙක බැගින් ද පූජා කළේය. එසේම පා පිරිමදින තෙල්ද, කුඩ හා මිරිවැඩි සඟල්ද[23] උක් සකුරු හා මී පැණිද ආදී භික්‍ෂුන්ට අවශ්‍යය සියළු පිරිකරද පූජා කළේය.

ධර්‍මශෝක රජතුමා ඇමතිවරුන් සමග මෙසේ මහ දන් පිළිගන්වා පිරිවර සමඟ එහි උන්නේය. එසේ සිටින්නේ උන්වහන්සේලාට සිව්පසය පිළිගැන්වීය. රජු එවා පිළිගැන්වූයේ මෙසේය.

“ඔබවහන්සේලා යම්තාක් කැමති වෙත් ද; මම ඒ තාක් දෙමි.”

මෙසේ රසවත් ආහාර පානාදියෙන් මනාසේ සත්කාර කොට මනාසේ සිව්පසයෙන් සතප්වා පැවරීය. එයින් පසු වළඳා අවසානයේ මනාව දේශනා කරන ලද ගැඹුරු ධර්මය රජතුමා විසින් අසන ලදී. එයට පෙර රජ තුමා මෙසේ ද විමසන ලදී.

“ඒ ඒ සූත්‍රයන්ගේ පිළිවෙළ ද බෙදීම් ආදිය ඇද්ද? සංඛක, අසංඛක ආදී භේදයන් ඇද්ද? ඒ ඒ ධර්මස්කන්ධයන් මෙතෙකැයි සංඛ්‍යාවන් ඇද්ද?” යනුවෙනි.

“මහරජ, බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකරනලද ධර්මය මෙතෙකැයි ගණන් බලා ඇත්තේය. එසේම එය ක්‍රමානුකූලව බෙදන ලද්දකි. බුදුන් වහන්සේ විසින් පනවන ලද ශික්ෂාපද ප්‍රඥප්ති වශයෙන් නිර්දේශ කොට ඇත. ඒ නිසාම මනාව දේශනා කරන ලද බව පෙනීයයි. එසේම තථාගතයන් වහන්සේගේ ධර්මය අර්ථාන්විත වන අතර හේතෝදාහරණ වලින්ද පිරී ඇත. එහි කිසිදු දොසක් දක්නට නැත. එම දහම මෙසේ බෙදා ඇත. එය මේ ආකාරයෙන් කොටස් හතකට බෙදී ඇත.

ආර්‍ය්‍යාෂ්ටාංගික මාර්ගයේ ද මෙසේ බෙදීම් හතක් ඇත. එසේම මනාසේ බෙදන ලද බෝධිපාක්ෂික[25] ධර්ම තිස් පහක්ද ඇත. මෙසේ ක්‍රමානුකූලව කොටස් වශයෙන් බෙදන ලද උතුම්වූ බුද්ධ දේශනාව නවාංගයකට කොටස් කොට බුදුන්වහන්සේ වදාළ සේක.[26] මහරජ; එසේම බුදුරජාණන් වහන්සේ විසින් සියළු සත්වයන් කෙරේ අනුකම්පාවෙන් පතල මහා කරුණාවෙන් යුතුව සම්පූර්ණ ධර්‍මස්කන්ධයෝ අසූ හතර දහසක් දේශනා කළාහුය. එසේම කාය සංඛ්‍යාත සියළු දුක් නැති කරන දිව ඔසුවක් බඳු සියළු සතුන් සංසාරයෙන් මුදවන්නාවූ උතුම් අමෘත සංඛ්‍යාත නිවන් මගට සම්බන්ධ නිර්වාණ ධර්‍මයන් බුදුරජාණන් වහන්සේ දේශනා කළසේක. ඒ උතුම් ධර්‍මාශෝක රජතුමා ප්‍රමෝදයෙන් ඉපිල ගියේ මහත්සේ සිනා පහළ විය. සොම්නස් සහගත ඥාණයෙන් පුමුදිතව රජතුමා රජපිරිස සහිත රාජ සභාවේද මෙසේ ප්‍රකාශ කළේය.

‘ඒ අතිශ්‍රේෂ්ඨ වූ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ කිසිදු අඩුවකින් තොරව වටිනා අසූහාරදහසක් ධර්‍මස්කන්ධයන් දේශනා කරනලද සේක. ඒ ධර්‍මස්කන්ධයන් උදෙසා මම අසූහාරදහක් විහාර කරවන්නෙමි. එක් එක් ධර්‍මස්කන්ධයට එකඑක විහාරාරාමය බැගින් පුදමි.’

උතුම් වූ ධර්‍මාශෝක රජතුමා එදවස් එම වේලාවෙහිම අනූහයකෝටියක්[27] ධනය යොදවා තත් විහාරයන් කරවීමට අණකළේය. දඹදිව මෙකල අසූහාර දහසක් නගරවිය. එම නගරයකට එක බැගින් විහාරාරාම කරවීය. ධර්‍මාශෝක රජු අවුරුදු තුනක් ඇතුලත මෙසේ විහාර අසූහාර දහසක් කරවා, ඒවා නිම කිරීමේ පූජාමහෝත්සව දිනහතක්[28] පවත්වන ලදී.

  1. ක්‍රි. පූ. 273 අශෝක රජ වූ බව පෙනේ. සමහර ග්‍රන්ථ ක්‍රි. පූ. 325 දක්වන අතර සමහර ග්‍රන්ථ ක්‍රි. පූ. 300 දක්වයි. අශෝක නියම වශයෙන්ම රජවූයේ ක්‍රි. පූ. 269 දී බව සඳහන්වේ. ↑

  2. ම: වංශයේ 5 වන පරි: එන මේ පිළිබඳ විස්තරය බලන්න. ↑

  3. මෙම විස්තරය මහාවංශයේ වඩාත් විස්තර සහිතව ඇත. (5 පරි) ↑

  4. නුවණින් මුහුකුරා ගියසෑම දෙයක් පිළිබඳවම අවබෝධයක් ඇත. ↑

  5. මේ මහින්ද කුමරුය. පසුව මහාමහින්ද තෙරුන් බවට පත්ව ලංකාවේ බුද්ධසසුන බැබලවීමට පැමිණෙන ලදී. සංඝමිත්තා කුමරියද මෙම කුමරුගේ සොහොයුරියයි. පසුව මෙහෙනි සස්නේ පැවිදිව ලක්දිව මෙහෙනිසස්න පිහිටුවන ලදී. ↑

  6. මෙම තෙවන රාජ්‍ය වර්ෂය මතභේද සහිතය. ක්‍රි. පූ. 270 ද ක්‍රි. පූ. 266: ද 297ද යනු ප්‍රශ්නයකි. ↑

  7. සොහොයුරන් අනූනවයක් මැරවූ බව ම: ව: සඳහන් වේ. (ම:ව: 5 පරි-20 ගාථා) ↑

  8. මෙම කාලනිර්ණ සැපයීම ඓතිහාසික වැදගත් කමක් දරණ අතර ම:ව: මේ ගැන නොදැක්වේ. ↑

  9. මෙම අවුරුදු 4 පිළිබඳව කිසිදු ඓතිහාසික මූලාශ්‍රයක සඳහන් නොවේ. නමුත් මෙහි මෙම අවු: 4 වෙන් කොට දැක්වීමෙන් අභිෂේකය පිළිබඳ ප්‍රශ්නයක් තිබූ බව පෙනේ. ↑

  10. ම: ව: දැක්වෙන්නේ අවුරුද්දකට පෙර දෙවනපෑතිස් දෙවන අභිෂේකය වූ බවකි. නමුත් දී. ව. පෙන්වන්නේ පළමු අභිෂේකය වී අවුරුදු 20කට පසුවූ බවය. දෙවනපෑතිස්ගේ පුතා මිය යාමත් අනුලා දේවියගේ මහණවීමත් මහානාගගේ කථා පුවතත් බලන විට දී.ව. පුවත ඓතිහාසිකය. ‘ද්විජාභිසෙකො සංජාතා’ යනුවෙන් මෙය සඳහන්වේ. ↑

  11. ම: ව: දක්නට ලැබෙන්නේ සිවුරු පොරවා සිටි තීර්ථකයන් කැඳවූ බවය (පරි.5) ↑

  12. ම: ව: දැක්වෙන්නේ සියළුම භික්‍ෂූන් අශෝකාරාමයට කැඳවා ඔවුන් ‘ශාස්වත’ වාදීන් ද ‘විභජ්ජ’ වාදීන්ද යනුවෙන් ප්‍රශ්න කළ බවය. එසේ ප්‍රශ්න කොට 60,000 ක් භික්‍ෂු වෙස් ගෙන සිටි අන්‍යතීර්ථයින් සසුනෙන් පන්නා දැමූ බවයි. මෙකල පාලකයින් නාම මාත්‍රික, රජවරුන් නොව සියළු සාමාජික ප්‍රශ්නවල යථාර්ථය තේරුම් ගෙන සමාජයට අදාලසේ විසඳුබව මෙයින් පෙනේ. ↑

  13. කතුවරයා ඉතා තාත්වික ලෙස සිතුවිලි නිර්මාණය කර ඇති හෙයින් ම:ව: වඩා ඓතිහාසික බවක් නිර්මාණය කරයි. ↑

  14. පෙර ආත්මයෙහි රජුගේ සොහොයුරෙකු වශයෙන් සිටි බව ම: ව: පෙන්වා දෙයි. එසේම ම: ව: වර්ණනාත්මක විස්තරයක් ද දක්වා ඇත. ↑

  15. සාකච්ඡා ස්වරූපයෙන් දක්වාතිබීම නිසා පාඨය පහසුව සැලසී ඇත. මෙම කතුවරයා එකල සිට ඉගැන්වීමේ ක්‍රම පිළිබඳ මනා අවබෝධයක් ඇති අයෙකු බව මෙම ඉදිරිපත් කිරීම් තුළින් පෙනීයයි. ↑

  16. ‘අප්පසන්නානං පසාදය: පසන්නානං භීයොභාවාය’ යනුවෙන් විනය පිටකයෙහි හා සූත්‍ර පිටකයෙහි බොහෝ තැන්වල ‘නොපහන්අයගේ පහන්භාවය පිණිසද පැහැදුන අයගේ වැඩි ප්‍රසාද ගුණය සඳහාද’ යනුවෙන් බෞද්ධ භික්ෂුවක් හැසිරිය යුතු අයුරු දක්වා ඇත. මෙයින් එය අන්වර්ථවේ. ↑

  17. අප්පමාදො අමත පදං - පමාදො මච්චුනෝ පදං අප්පමත්තා න මීයන්ති - යෙ පමත්තා යථා මතා - අශෝක රජුට දම්දෙසා ඇත්තේ ධම්මපදයේ අප්පමාදවග්ගයේ මෙම ගාථාවෙනි. ↑

  18. ම: වං: රිදීමිළ දීමක් ගැන සඳහන් නොවේ. ආචාරීන් වහන්සේට, භික්‍ෂු සංඝයාට දී අවසන් වරට තමන් වහන්සේගේ කොටස පිළිගත් බව පෙනේ. දි. ව. ලියන යුගය වන විට කාසි භාවිතා කලබවත් ඒවා පන්සල්වල පරිහරණය සඳහා දුන් බව පෙනේ. ↑

  19. ලද පස්මල් විසිරවූ බව මෙයින් කියවේ: සමන් පිච්ච විළඳ, රිතණ, එළඅඹ: පොරි ආදිය ලද පස්මල් වේ. ඈත අතීතයේ රාජකීය උත්සව අවස්ථාවන්හිදී මේවා නගරවල විසුරුවා උත්සව පැවැත්වූ බව පෙනේ. මෙය පිරිසිදු බවේ සංකේතයකි. අද ද බෞද්ධ පිරිත් සජ්ඣායනා අවස්ථාවන් හිදී පිරිත් මණ්ඩපයේ මේවා අතුරුවනු ලබයි. ↑

  20. කුලවාදී සංකල්පය මේ වන විටද බ්‍රාහ්මණයන් පවත්වා ගෙන ආ බව පෙනේ. ↑

  21. නූතන නිවෙස්වල ඇති මල්වාස්වලට සමාන මල්දැමීම සඳහා පිළියෙල කරන ලද කළ වර්ගයක් විය හැකිය. ↑

  22. රජුගේ ආගම වැසියාද පිළිගත යුතුය යන සම්ප්‍රදායක් මෙකල තිබූ බව පෙනේ. 1505 ලංකාවට පැමිණි පෘතුගීසීන්ද කෙසේ හෝ කතෝලික රජෙකු ලංකාවේ ඇති කිරීමට උත්සාහ ගන්ට ඇත්තේ මේ නිසා විය හැකිය. ↑

  23. මෙය නුදෙක් අනුරාධ පුර යුගයේ දී. ව. ලියන අවදිය වනවිට දනයක් දීමේදී පූජාකළ පිරිකර භාණ්ඩ විය යුතුය. තවද මෙහි සඳහන් සළු දෙපට සිවුර හා තනිපට සිවුර විය යුතුය. එසේම පා පිරිමදින තෙල් අවශ්‍ය වන්ට ඇත්තේ භික්‍ෂූන් මහජන යහපත වෙනුවෙන් සැරිසැරූ නිසා හවස්යාමයේ පාරුද ගෙන දෙන හෙයින් මෙසේ තෙල් ප්‍රධානය කරන්ට ඇත. ↑

  24. මෙම දී. ව. කතුවරයා බුද්ධ ධර්මය පිළිබඳ හොඳ අවබෝධයකින් පසුවූ භික්ෂුවක් බව විවිධ ධර්ම කොටස් ඉදිරිපත් කිරීමෙන් පෙනී යයි. ↑

  25. බෝධිපාක්ෂික ධර්ම තිස්හතකි. මෙම ඉහත සඳහන් හතම එයින් දෙකක් ඇතුලත් නිසා මෙසේ ලියන්නට ඇත. ↑

  26. ම: වං: මෙසේ නිරවුල්ව දක්නට නැත. ↑

  27. මෙම මුදල්වල වර්ගය නම් කොට නැත. මෙකල ලංකාවේ භාවිතාවූ මුදල් වලින් කතුවරයා මෙම ගණන් ඉදිරිපත් කරන්නට ඇත. ↑

  28. විහාරයක වැඩ නිමවූ කල්හි දින 7ක් උත්සව පවත්වා දොරකඩද අසන්නද කියවීම මෙකලද සිරිතයි. එම ලංකාවේ පැවති සම්ප්‍රදාය අද දක්වා ගෙන එන්නට ඇත. දී.ව. ලියූ අවදියේ පූජාවන් වන්නට ඇත. ↑