5 වන පරිච්ඡේදය
අවුරුදු එකසිය දහඅටක් ගිය කල්හි අනාගත කාලයෙහි බුද්ධ ශාසනය විනාශ කරන්නාවූ ශ්‍රමණ ප්රතිරූපික භික්ෂූන් උපදින්නේය. මෙම අවදියේදී බ්‍රහ්ම ලෝකයෙන් චුතවන ජාතියෙන් බ්‍රාහ්මණ වංශිකයෙක්ව ත්‍රිවේදයේ පරතෙරට ගියාවූ මොග්ගලී නම් බමුණෙකුගේ පුත්‍රයෙකුට තිස්ස නම් කුමාරයෙකු මිනිසත් බව ලැබ උපදින්නේය. එම බමුණු දරුවා සිග්ගව හා චණ්ඩවජ්ජි[1] ස්ථවිරයන් වහන්සේ ලා පැවිදි කරණු ලබත්. එම දරුවා එම පැවිද්දේ දී මොග්ගලී පුත්ත තිස්ස නාමය ලබන්නේය. එම පැවිද්ද ලබන්නාවූ ඔහු විසින් සියළු පර්යාප්ති ධර්මයන් අවබෝධ කරනු ලබන්නේය. එසේම එම තෙරණුවෝ අන්‍යය තීර්ථක මතයන් බිඳදමා නැවතත් පිරිසිදු බුදු සසුන පිහිටු වන්නාහ. මෙම කාලයෙහි පාටලීපුත්ර නගරයෙහි රාජ්‍යය මෙහෙයවනු ලබන්නේ අශෝක නැමැත්තාය. ඔහු ධර්මානුගත භාවයෙන් යුතුව රට පාලනය කෙරෙයි.
මෙම අවදියේදී මොග්ගලී පුත්ත තිස්ස බ්‍රාහ්මණ කුමරු බ්‍රහ්ම ලෝකයෙන් චුතව මිනිස් ලොව ඉපදුනේය. එසේ උපන් ඔහු දහසය වැනි වියේදීම සියලුම වේද මන්ත්රයන් හදාරා එහි පරතෙරට ගියේය සෘග්; යජුර්; සාම; අතර්වන්[2] ආදී වේද කාණ්ඩයන් නිගණ්ඩු කරන ලද්දේ සියළු ශාස්ත්‍රයන්ද හදාළේය; මෙම තරුණ බ්‍රාහ්මණයාට දිනක් සිග්ගව තෙරුන් මුණ ගැසුනි.[3] එම අවස්ථාවේදී
“ශ්‍රමණයන්වහන්ස: මම ඔබවහන්සේ ගෙන් ප්‍රශ්නයක් විචාරමි. එය විසඳන්න.” යනුවෙන් කීය. උන්වහන්සේ ලද අවසරයෙන් එය විසඳූ සේක. අනතුරුව එම බමුණු පුත්‍ර යා තවද ප්‍රශ්න අසන ලදී. එම ප්‍රශ්නද උන්වහන්සේ විසඳූ සේක. පසුව එම තෙරුන් වහන්සේ ඔහුගේ නුවණ මුහුකුරා ගොස් ඇති බව දැන ඔහු ගෙන් මෙසේ විචාළහ.
තරුණය: බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනලද ප්‍රශ්නයක් මම ඔබගෙන් විචාරමි ඔබට හැකි නම් එම ප්රශ්නය ඒ ආකාරයෙන් ම විසඳන්න.”
එම තරුණයා ප්රශ්නය විචාරන්නේ මෙසේ පිළිතුරු දුන්නේය.
“බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද එම ප්රශ්නය[4] මාවිසින් අසා හෝ දැක නැත.[5] මම ඒ බුද්ධ මන්ත්‍රය දැනගැනීම පිණිස පැවිදිවීමට කැමැත්තෙමි.”
එම තරුණයා සම්බාධ සහිත ගිහිගෙයින් නික්ම ශාන්තිය අපේක්ෂා කරන්නේ අනගාරික වූ තථාගත සර්වඥයන් වහන්සේගේ ශාසනයෙහි පැවිදි විය. බොහෝ දේ දත් චණ්ඩවජ්ජි ස්ථවිර පාදයන් වහන්සේ උතුම් සිතුවිලි හා මනා ශික්ෂාකාමිත්වයක් ඇති ඒ තිස්ස සාමනේරයන් වහන්සේට නවංග සත්ථු ශාසනයට අයත් සියළුම ධර්මකොටස් පුහුණු කළ සේක. වේදත්‍රයේ පරතෙරට ගියාවූ එම මොග්ගලී පුත්ත තිස්ස හිමියන්ට මනා ලෙස නවංග සත්ථු ශාසනයට අයත් සියල්ල පුහුණු කල චණ්ඩවජ්ජි හිමියෝ පිරිනිවන් පෑහ. එසේම මොග්ගලී පුත්තතිස්ස හිමියන්ට යහපත් ලෙස අනුශාසනාද කෙරින. එසේම සිග්ගව තෙරුන් වහන්සේගේ හැටහතර (64) වන විය පසුවන විට මෞර්ය්ය චන්ද්‍රගුප්තයන්ගේ දෙවන රාජ්‍ය වර්ෂය[6] විය. තවද මේ වනවිට පකුණ්ඩක[7] රජුට අවුරුදු පණස් අටක් ඉක්ම ගොස් තිබුණි. මොග්ගලී පුත්තතිස්ස තෙරුන් වහන්සේ සිග්ගව මහාස්ථවිරයන් වහන්සේ වෙතින් උපසපත් බවට පත්වූ සේක. අනතුරුව මොග්ගලී පුත්තතිස්ස තෙරහු චණ්ඩවජ්ජි මහා තෙරුන්ගෙන් විනය පිටකයද ඉගෙන සියළු උපධීන් ගෙන් විනිර්මුක්ත වූ නිවන් සුවය ළඟාකර ගත්හ. මේ ආකාරයෙන් මහත්වූ ඤානසම්පත් ඇති මොග්ගලී පුත්ත තිස්ස හිමින්ට සිග්ගව. චණ්ඩවජ්ජි මහාස්ථවිරයන් වහන්සේලා විසින් උභය සංග්‍රහය ඇතුලත් සියළු ත්‍රිපිටකය උගන්වන ලදී.
මහත් ඤාණ සම්පත්තියෙන් හෙබි සිග්ගව මහතෙරණුවෝ හැත්තෑ හයවසක් ආයුසුව්වළඳ මොග්ගලී පුත්තතිස්ස හිමියන් විනයෙහි හා ප්රාතිමොක්ෂයෙහි ප්‍රධානියා කොට තබා පිරිනිවියහ. සිග්ගව හිමියන් පිරිනිවන් පාන ලද්දේ අවුරුදු විසිහතරක් රාජ්‍ය බලය හෙබවූ මෞර්ය්ය චන්ද්‍රගුප්ත රජුගේ දහහතරවන රාජ්‍ය වර්ෂයේදීය. එම මොග්ගලී පුත්ත තිස්ස තෙරුන් වහන්සේ වනය ප්‍රිය කළ සේක. සුළු දෙයින් යැපුනසේක. ධුතංගවාදී වූ සේක. ශාන්ත අදහස් කෙරේ ඇලුනසේක. ඉඳුරන් දමනය කරන ලද සේක. මනාලෙස සසුනෙහි ඇලුනාවු උන්වහන්සේ මේ ආකාරයෙන් ශ්‍රී සද්ධර්මයෙහි පර තෙරට ගියහ. තවද දක්ෂවූ උන්වහන්සේ දෙවැන්නකුගෙන් තොරව රමණීය වනසෙසුනට පිවිස හුදකලාවූයේ ගිරි කඳුරෙක වසන සිංහයෙකු මෙන් නිර්භීත වූ සේක. ධර්මාශෝක රජතුමාගේ හයවන රාජ්‍යය වර්ෂය[8] වනවිට මොග්ගලී පුත්ත තිස්ස ස්ථවිරයන් වහන්සේට හැටවසක් සපිරුනි. මේ කාලයේ ලංකාවේ රජ කරන ලද මුටසිව රජ තුමාට අවුරුදු හතලිස් අටක් විය[9] මේ කාලයේ මහින්ද තෙරුන් වහන්සේ මොග්ගලී පුත්ත තිස්ස මහතෙරුන් වහන්සේ ළඟ උපසම්පදා වූහ.
මෙතැන් සිට නැවතත් උපාලි තෙරුන් වහන්සේගේ සිට එම ආචාර්ය්ය පරම්පරාව දක්වනු ලැබේ. එය මෙසේය. උපාලි තෙරුන් වහන්සේ පළමුවෙන් බුදුරජාණන් වහන්සේ ගේ සමීපයෙන් සූත්‍ර අභිධර්මය සහිතව විනය පිටකය ඉගෙන ගත් සේක. පසුව උපාලි තෙරුන් සමීපයෙන් දසක තෙරුන් වහන්සේ සියළු විනය පිටකය ඉගෙන, මෙම බුද්ධ ශාසනයේ උපාධ්‍යාය වහන්සේ කෙනෙක් බවට පත්ව තම ශිෂ්‍යයන්ට ඉගැන්වූහ. එම තෙරණුවෝද ස්වකීය ශිෂ්යයාන කෙනෙකුවූ සෝණක තෙරුන්ට තමන් වහන්සේ විසින් ධර්මවිනය පුහුනු කරන ලදී. ධර්ම විනය ග්රහනයෙහි මහත් දක්ෂයෙකු වූ ද එසේම බුද්ධිමත් වූ ද සෝණක තෙරණුවෝ තමා විසින් ඉගෙන ගන්නා ලද එම ධර්ම විනය සිය උපාධ්‍යායන් වහන්සේගෙන් වනපොත් කෙරවූහ. මෙසේ බුද්ධිමත් වූ ධර්මවිනයෙහි මනා දක්ෂවූ එම සෝණක තෙරුන් වහන්සේ විසින් ස්වකීය ශිෂ්යවූ සිග්ගව තෙරණුවන්ට සියලු විනය පිටකය පදයක් පදයක් පාසා උගන්වන ලදී. මේ ආකාරයෙන් සිග්ගව හිමියන්ද: චණ්ඩවජ්ජි හිමියන් ද සෝණක හිමියන්ද එකම සද්ධිවිහාරකයෝ වූහ. ඒ සිග්ගව හා චණ්ඩවජ්ජි තෙරුන් වහන්සේලා සිය විහාරයෙහි වැඩ විසූ ස්වකීය අන්තේවාසික ශිෂ්‍ය භික්ෂූන්ට ධර්ම විනය ඉගැන්වූ සේක. මෙසේ මොග්ගලී පුත්ත තිස්ස තෙරණුවෝද ස්වකීය ආචාර්ය වූ චණ්ඩවජ්ජි ස්ථවිර පාදයන් වහන්සේගේ සමීපයෙන් ධර්ම විනය හදාරා උපධි සහිත නිවන් සුවය අවබෝධ කරගත් සේක. මෙයින් පසු උපාධ්‍යාය තනතුරින් පිදුම් ලද මොග්ගලී පුත්තතිස්ස තෙරහු එකම ආරාමයෙහි විසූ ස්වකීය ශිෂ්‍ය තෙරණුවන් වන මහා මහින්දස්ථවිර පාදයන් වහන්සේට සියළු ධර්ම විනය හා පිටකත්රයද ථෙරවාදී න්‍යායද පුහුණු කළහ.[10]
මහා කරුණාගුණයෙන් සමන්විත වූ උපාලි මහාස්ථවිරයන් වහන්සේද පළමුවෙන් ම බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු තිහක් (30) යනතෙක් ස්වකීය පැවිද ශිෂ්‍ය භික්ෂූන් වහන්සේට විනය පිටකය ඉගැන්වූහ. එම තෙරුන් වහන්සේ තම ශිෂ්යවූ දසක තෙරුන් විනයපිටකයේ ප්‍රධානියා කොට පිරිනිවන් පෑ සේක. අනතුරුව දසක හිමියන් සෝණක හිමියන්ටද විනය පිටකය උගන්වන ලදී. උන්වහන්සේ හැටහතර වසරකින් පිරිනිවි සේක්, සෝණක තෙරුන් විනය ප්‍රාති මොක්ෂයෙහි ප්‍රථම ස්ථාන යෙහි තබනලදී. ඒ ෂඩ් අභිඥාලාභී සෝණක තෙරුන්වහන්සේ ගේ ශිෂ්‍යය රත්නයක් වූ ආර්‍ය්‍ය පුත්‍ර සිග්ගව තෙරුන් වහන්සේ සමස්ථ විනය පිටකයෙහි ප්‍රධානියා කොට අවුරුදු හැටහයකින් ආයු සංස්කාරය අත්හලහ. අනතුරුව ඤාණයෙන් අගතැන් පත් සිග්ගව තෙරණුවෝ තම ශිෂ්‍යය මොග්ගලී පුත්ත තිස්ස හිමියන් විනය ප්රතිමෝක්ෂයේ ප්‍රධානියා කොට හැත්තෑ හය වසක් ආයුවළඳා පිරිනිවි සේක. අනතුරුව මොග්ගලී පුත්ත තිස්ස තෙරණුවෝද තම ආරාමයෙහි වාසය කළාවූ තම ශිෂ්‍යය මහාමහින්ද තෙරුන්ට විනයෙහි ප්‍රධානත්වය දී තමන් වහන්සේ අසූහය වැනි වියෙහිදී පිරිනිවියහ. මේ ආකාරයෙන් උපාලි තෙරුන් අවුරුදු හැත්තෑ හතරක්ද: දසක ස්ථවිරයන් වහන්සේ අවුරුදු හැටහතරක්ද: සෝණක ස්ථවිරයන් වහන්සේ අවුරුදු හැටහයක්ද, මොග්ගලී පුත්ත තිස්ස තෙරුන් අවුරුදු අසූහයක්ද, වශයෙන් මෙසේ උපසපත්වස් ප්රමාණයන්වේ. මෙම තෙරවරුන්ගේ මූලික කාල ප්‍රමාණයන් බලනවිට පණ්ඩිත මානි උපාලි තෙරුන් වහන්සේ අවුරුදු පණහක් ද, දසක තෙරුන් අවුරුදු හැටහතරක් හා සෝණක තෙරුන් අවුරුදු හැටහයක්ද ජීවත්වූහ. මෙසේ මොග්ගලී පුත්ත තිස්ස තෙරුණුවන්ට හැට අටවසරක්ද විය.[11] මේ වනවිට රජගහනුවර රාජ්‍යය ගෙන ගිය උදයභද්‍ර රජු[12] අවුරුදු දහසයක් රාජ්‍ය මෙහෙයවා තිබුණි.
උදයභද්‍ර රජුගේ හයවන රාජ්‍යය වර්ෂයේ උපාලි මහාස්ථවිරයන් වහන්සේ පිරිනිවි සේක. එයට පසු රජවූ සුසුනාග මහේසාක්ය ලීලාවෙන් අවුරුදු දහයක් රජ කළේය. දසක ස්ථවිරපාදයන් වහන්සේ පිරිනිවියේ සුසුනාග ගේ අටවන රාජ්‍යය වර්ෂයේ දීය. සුසුනාග ගෙන් පසු ඔහුගේ සොහොයුරන් දස දෙනා පිළිවෙළින් රජවූහ.[13] ශාක්යවංශයෙන් පැවත එන්නාවූ ඔවුන් සියළු දෙනා අවුරුදු විසිදෙකක් රජ කරන ලදී. මෙම රජුන්ගේ හයවන රාජ්‍ය වර්ෂයෙහි සෝණක තෙරණුවන් පිරිනිවියහ.[14]
මෞර්ය චන්ද්‍රගුප්ත[15] රජු අවුරුදු විසිහතරක් රාජ්‍යය කළේය. ඔහුගේ දහතුන් වැනි රාජ්‍ය වර්ෂයෙහි සිග්ගව තෙරුන් වහන්සේ පිරිනිවන් පෑසේක. මෙයින් පසු බිංදුසාර රජවිය. එම බිංදුසාර රජුට මහත් යසස් ඇති පුතෙකු විය. මෙම ක්ෂත්රිය වංශික බිංදුසාර රජතුමා තිස්හත් වසක් රාජ්‍ය කළේය.[16] ඔහුගේ පුත් ධර්මාශෝක රජුගේ විසිහය වන රාජ්‍ය වර්ෂයේදී මොග්ගලීපුත්ත තිස්ස රහතන් වහන්සේ සම්බුද්ධ ශාසනය බැබලවූ සේක. එසේ බබුලුවා වදාළ උන්වහන්සේ ආයු කෙළවර පිරිනිවන් පෑ සේක.
මහත් ශිෂ්‍ය සමූහයා ඇති උපාලි තෙරුන්වහන්සේ උපසම්පදාවෙන් හැත්තෑ හයවැනි වියෙහිදී ස්වකීය සද්ධිවිහාරික වූ පණ්ඩිතමානී, දසක තෙරුන් විනයෙහි ප්‍රධානත්වයේ තබා පිරිනිවීහ. එයින් පසු දසක තෙරුන් වහන්සේ සියළු ත්‍රිපිටකය ස්වකීය ශිෂ්‍ය වූ සෝණක තෙරුන්ට උගන්වා උන්වහන්සේ එහි අග්‍රකොට හැටහතර වන වියෙහිදී පිරිනිවන් පෑ සේක. ෂඩ් අභිඥාලාභී සෝණක තෙරණුවෝ ආර්ය පුත්‍රවූ සිග්ගව තෙරුන් විනයෙහි අග්‍රකොට හැට හයවන අවුරුද්දෙහි පිරිනිවන් පෑසේක. ඥානයෙන් අගතැන්පත් සිග්ගව තෙරුන් වහන්සේ ස්වකීය ශිෂ්‍යය වූ මොග්ගලීපුත්ත තිස්ස හිමියන්ට විනය උගන්වා ඔහු ප්‍රාති මොක්ෂයෙහි ප්‍රධානියා කොට හැත්තෑ හයවැනි වියෙහිදී පිරිනිවි සේක. මෙයින් අනතුරුව මොග්ගලී පුත්ත තිස්ස තෙරුන් වහන්සේද එකම විහාරයෙහි විසූ තම ශිෂ්‍ය මහින්ද තෙරුන් වහන්සේ විනයෙහි ප්‍රධානියා කොට අසූවැනි වියෙහිදී පිරිනිවන් පෑ සේක.[17]
මෙම තෙරවරුන් ඉංදියාවේ මෞර්ය චන්ද්‍ර ගුප්තගේ රාජ්‍යය අවදියේ මොගලී පුත්ත තිස්ස හිමියන් පැවිදි කල බව පෙනේ. ක්‍රි. පූ. 324 අවදියේදී ඔහු රජවිය. ↑
නියම බමුණෙකු වීමට මෙම බමුණු දහමේ කරුණු හතරම කට පාඩමින් ප්‍රගුණ කළයුතුයි. නිගණ්ඩුකිරීම යනුවෙන් සඳහන් වන්නේ එයයි. ↑
ම: ව: දැක්වෙන්නේ පළමුවෙන් සිග්ගව හිමියන් ප්‍රශ්න ඇසූ විට එම කුමාරයා එයට පිළිතුරු නොදී පෙරළා එහිමියන් ප්‍රශ්න කළ බවය. මෙහි එන (දී: ව:) තොරතුරු සංක්ෂිප්ත වුවද ම: ව: පූර්ණ විස්තරයක් ගෙනඑයි. එනිසා මහාවංශය බලන්න. (5 පරිච්ඡේදය) ↑
තරුණය: සියළුධර්මතාවන් අනුව පැහැදිලි වන එක් ධර්මතාවයක් ඇත. සියලු ධර්මයෝ එය අරමුණු කර ගනිති. ඒ ධර්මය කුමක්ද? (මං:වං:5 පරි) ↑
“දැක නැත” යන්නෙන් පැහැදිලි වන්නේ අත්දැකීමට හසුනොවූ බවයි. ↑
ක්‍රි. පූ. 322 විය යුතුය. ↑
මෙම නමින් දී. වං. හඳුන්වන්නේ ලංකාවේ රාජ්‍ය කළ පණ්ඩුකාභය රජුය. මේ අනුව පණ්ඩුකාභය රජවී ඇත්තේ ක්‍රි. පූ. 380 දීය. පකුණ්ඩක නාමය. “හොරා” යන අදහස දීමටද යෙදේ. දී: වං. මෙම දිනවකවානු සැසඳීම ඉතිහාස ගවේසකයන්ට මහත් පහසුවූවක් වී ඇත. ↑
මෙකල මෙම දිනවකවානු ස්ථිර ව ප්‍රකාශ කරන්නට තරම් ස්ථිරසාර ලේඛණ සටහන් තිබූ බව පෙනී යයි. පැරණි ත්‍රිපිටක ග්රන්ථයන්හි අග කොටසේ ඓතිහාසික සටහන් ගොනු කොට තැබූ බව සඳහන්වේ. ↑
මෙය ක්‍රි. පූ. 265 වර්ෂය විය හැකිය. කාලිංග මහා යුද්ධය ඇතිවී විශාල මිනිස් ඝාතනයක් සිදුව අශෝක දුකින් සිටියේ මෙකලය. ↑
ම: ව: මහින්ද තෙරුන් පිළිබඳ දීර්ඝ විස්තරයක් ඇත. * බෞද්ධ ඉගැන්වීම් ක්රමානුකූල ඇගයීම හා නැවත ඇගයීම බහුලව තිබී ඇති බව ලේඛණ කාර්යයන් තුලද පුනර්පෝෂණය ඇති කිරීමෙන් පෙනී යයි. බුදුන් වහන්සේද වැඩිම ශිෂ්‍යන් ප්‍රමාණයක් ඇති හොඳම ගුරුවරයා ලෙස ලෝක අධ්‍යාපන දර්ශනිකයන්ද පිළිගෙන ඇත. නූතන අධ්‍යාපන විද්‍යාඥ ගින්ස්බර්ග් ද මේ බව පෙන්වා දී ඇත. පියාජේ සිග්මන් ෆ්‍රොයිඩ් ද දක්වා ඇත. ↑
මෙහිදී එකම නාම ලේඛනය තෙවරක් ඉදිරිපත් කර ඇත. ප්‍රථම අවස්ථාවේදී පූර්ණවිස්තරයක්ද දෙවන අවස්ථාවේදී එයට අඩු සාරාංශයක්ද තෙවන අවස්ථාවේ එයින්ද සම්පිණ්ඩනයක් වශයෙන් දක්වා ඇත. මේ අනුවද එවක තිබූ අධ්‍යාපනයේ ප්‍රතිපෝෂණයේ ලක්ෂණයක් බව පිළිගත හැකිය. ↑
මෙම උදය භද්‍ර පිතෘඝාතක පරපුරට අයත් රජ කෙනෙකි. මෙහි ආරම්භකයා අජාසත්ය. අජාසත් බුදුන්වහන්සේ කරා එළඹ තමන් කළ පාප ක්‍රියාවට පසුතැවිලි වන ආකාරය ක්‍රි. පූ. දෙවන සියවසේ මැදභාගයට අයත් භාරුත්කැටයමකින් සනාථ කරයි. ↑
මෙම කතුවරයා සඟපරපුර හා රජ පරපුර එකට සසඳා දක්වා තිබීම ඓතිහාසික වටිනාකම වැඩි කරන්නකි. ම: ව: මෙසේ දක්නට නැත. ↑
භද්‍රසේන: කෝරණ්ඩ, මංගුර: සර්වඥජන: ජාලික: උපසක: සඤ්ජය: කෝරව්‍යය: නන්දිවර්ධන: පංචමක: ඒ දස දෙනාය. ↑
මොහුට පෙර නන්ද රජුන් 9ක් විය. උග්රසේන නන්ද: පණ්ඩකනන්ද: පණ්ඩුගති නන්ද: භූතගලනන්ද: රට්ඨපාලනන්ද: ගොවිසාණ: දසසිද්ධක: කේවට්ටක: ධනපාලනන්ද යනුවෙනි. ↑
ම: ව: අවුරුදු 28ක් රජකළ බව දක්වා ඇත. ↑
මෙම පරිච්ඡේදය තුළ මෙවැනි ප්‍රතිපෝෂණ අවස්ථා හතරක් යොදා තිබිණ. මෙයින් පළමු අවස්ථා තුන අර්ථාන්විතව යොදා ගතහැකි වුවත් මෙය එතරම් ගැලපෙන බවක් නොපෙනේ. ↑