සිංහල දීපවංශය

4 වන පරිච්ඡේදය

ඒ සියළු මිනිසුන්ට අග්‍රවූ බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර උපවර්තන නම් සල් උයනේදී පිරිනිවන් පෑ සේක. ඒ තථාගත බුදුපියාණන් වහන්සේගේ ශ්‍රමණ බුද්ධ පුත්‍රයන් වහන්සේලා හත් ලක්‍ෂයක් වූහ. එම කරුණ ඇසූ එම බුද්ධ පුත්‍රයන් වහන්සේලා කුසිනාරා නුවරට එක්රැස් වූවාහුය. එම භික්‍ෂූන් අතර මහාකාශ්‍යප තෙරණුවෝද සිටියාහ. මෙම පොළෝ තලයෙහි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ අතර මහාකාශ්‍යප තෙරුන්වහන්සේට සමාන වෙනත් කෙනෙකු නොවීය. ඒ මහාකාශ්‍යප තෙරුන් වහන්සේ සුදුසු වූ උතුම් භික්‍ෂු ශ්‍රාවකයන් වහන්සේලා පන්සීයක් වැඩමවා[1] ගෙන ධර්මසංඝායනාවක්[2] පැවැත්වීමට සූදානම් කළ සේක. මෙම සංඝායනාව පැවැත්වීමට සූදානම්කරන ලද්දේ සියළු සත්වයන් කෙරේ දයානුකම්පාවෙන් බුද්ධ ශාසනය දිගුකලක් පවත්වාගෙන යාම සඳහාය. ඒ තථාගත සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පා තෙමසක් ඉක්මගිය කල්හි මෙම ධර්ම සංඝායනාව පවත්වන ලදී. එසේම මෙය ආරම්භ කරන ලද්දේ වස් අවසන් වන සිව්වන මාසයේ දෙවන දිනයෙහිය. මෙය පවත්වන ලද ස්ථානය මගධ වැසියන්ගේ කඳුවටය හෙවත් සප්තපර්ණී ගුහා දොර කඩය. මෙම ධර්මසංඝායනාව තෙමසකින් නිමවූයේ ය. ලෝක නායක බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් පවත්වන ලද මෙම පළමු සංගීතියට සහභාගිවූ භික්‍ෂූන් වහන්සේලා බුදුන්වහන්සේ දෙසූ සියලු ධර්මයන් පිළිබඳව පරතෙරට පත් අවබෝධයකින් යුක්ත වූවාහුය. මෙහි සිටි ධුතංගවාදී භික්‍ෂුන් අතරින් මහකසුප් තෙරුන් වහන්සේ[3] ප්‍රධානියා වූ සේක. එසේම බොහෝ ඇසූදේ රැස්කර ගෙන සිටි තෙරුන් වහන්සේලා අතුරින් ආනන්ද තෙරණුවෝ අග්‍රයහ. විනයෙහි අගතැන්පත් උපාලි තෙරණුවෝ විනය සංගීති කාරකයෙහි යෙදවූහ. මනා දුරදැක්මක් (දිවස්බැලීම) ඇති අනුරුද්ධ තෙරුන් එම කාර්‍ය්‍යයෙහි යෙදවූ අතර ප්‍රතිභානයෙන් ප්‍රධාන තැනගත් වංගීස තෙරුන්ද. ධර්‍මකථිකයන්ගේ ප්‍රධානියාවූ පුණ්ණ ස්ථවිරයන් වහන්සේද, අලංකාර කථා කීමේ මනා නිපුණත්වයක් ඇති කුමාරකාශ්‍යප තෙරණුවන්ද, සෑම දෙයක්ම සමානුපාතිකව බෙදාදීමේ මනා නිපුණත්වයෙන් යුත් ඒ පිළිබඳ ප්‍රධානියා වූ මහා කච්චායන තෙරණුවන්ද, ඒ ඒ ප්‍රධාන තන්හි පිහිටෙව්වාහුය. මේ අතර සිව්පිළිසිඹියා[4] පත් භික්‍ෂුන් අතර ප්‍රධානියෙකුද විය. ඒ කෝඨිත මහාතෙරුන් වහන්සේ ය. උන්වහන්සේ ද එම කාර්‍ය්‍යයෙහි ප්‍රධාන කළහ. මේ ආකාරයෙන් ඒ ඒ තෙරුන් වහන්සේලා මෙම ධර්‍මසංඝායනාවෙහි ප්‍රධාන තනතුරු ලාභීන්ව එයට සහභාගිවූහ.[5]

මෙම සංඝායනාවට සහභාගිවූ ඉතිරි සියල්ලෝම අරහත් භවයට පත් උතුමන් වහන්සේලාය. මෙය මහාස්ථවිරයන් වහන්සේලා විසින් කරන ලද ධර්‍මසංඝායනාවක් වූ හෙයින් මෙයට ථෙරියධර්‍මසංග්‍රහ යයි කියනු ලැබේ. මෙම සංඝායනාවේදී විනයප්‍රශ්න පිළිබඳව විමසන ලද්දේ උපාලි මහාස්ථවිරයන් වහන්සේගෙනි. සෙසු සියළුම ධර්‍මමය කරුණු පිළිබඳව ආනන්ද[6] මහාස්ථවිරයන් වහන්සේගෙන් විමසන ලදී. මේ ආකාරයෙන් මහත් ශිෂ්‍යය සමූහයා ඇති මහකසුප් තෙරුන් වහන්සේ හා අනුරුද්ධ[7] යන මහාස්ථවිරයන් වහන්සේලා මෙහි දී ධර්‍මයද විනයද සංඝායනා කළාහුය.

ප්‍රථම ධර්‍ම සංඝායනාවට සහභාගිවූ ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් සියල්ල අසා දැනගත්හ. උන්වහන්සේ සමීපයෙන්ම ධර්‍මය ඉගෙන ධාරණය කළහ. උපාලි තෙරුන්ගේද යම්යම් විනයමය හැකියාවන් පිළිබඳව බුදුන් වහන්සේ විසින්ම වර්ණනා කරන ලදී. මෙයට සහභාගිවූ ෂඩභිඥාලාභී මහාස්ථවිරපාදයන් වහන්සේලාද විවිධ හැකියාවන් ලත් බොහෝ භික්‍ෂුන් වහන්සේලාද ඒ භාග්‍යවත් ශාතෘවරයාණන්ගේ සමීපයෙන් ධර්‍මය ඉගෙන ධාරණය කළාහු වෙත්. එසේම මෙම බුද්ධපුත්‍රයන් වහන්සේලා නිර්භය වූවාහුය.

බුදුන් වහන්සේ විසින්ම ඒ ඒ තනතුරු ප්‍රධානය කොට අග්‍රස්ථානයේ තබන ලද මුන් වහන්සේලා උන්වහන්සේ ඉදිරියෙන් අභිමුඛයේදීම ශ්‍රේෂ්ඨතම බුද්ධ ධර්මය ධාරණය කළාහුය. මෙම ධර්‍ම සංඝායනාව කරන ලද්දේ එම බුද්ධ පුත්‍රයන් වහන්සේලා විසිනි.[8] ඒ සියල්ලෝම මෙම ථෙරවාදයට “අග්‍රවාදය” යයිද කියති. මෙම සෑම ප්‍රධාන තෙරුන් වහන්සේ නමක්ම පන්සීය බැගින් වූ භික්‍ෂු කණ්ඩායම්වල නායකයාණන් වහන්සේලා වූහ.[9]

මෙම ඝනනායක පන්සීයක් තෙරවරු මනාසේ සිත්කළු රමණීයවූ සප්තපර්ණී ගුහාදොර ඉදිරියෙහි රැස්ව තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් වූ ඒ ධර්‍මය ක්‍රමානුකූලව අංගනවයකට (නවංගසත්ථු සාසනය) බෙදුහ. එසේ බෙදා වෙන්කරලද අංග නවය මෙසේය. සුත්ත; ගෙය්‍ය; වෙය්‍යාකරණ; ගාථා; ඉතිවුත්ථක; ජාතක; අබ්බුතධම්ම; වේදල්ල; යන වේවායි. මෙසේ මෙම ධර්‍මය කොටස් වලට බෙදන ලද්දේ ශාසනය විනාශ නොවන පිණිසය. උන්වහන්සේලා විසින් එම ධර්‍මය මෙසේ කොටස්වලට බෙදනලදී.

මජ්ඣිම නිකාය

සංයුත්ත නිකාය

අඞ්ගුත්තර නිකාය

මෙය වර්ග පණහක් වන සේ නැවතත් බෙදන ලදී. මෙය සූත්‍ර සම්මත ආගම් පිටකය යයි ද ඔවුහු නම් කළහ.

මෙය

පරියාය; නිප්පරියාය; දේශනා; යනුවෙන් ද නැවතත් කොටස් කෙරිණ. එසේම:

නීතාර්ථ

නෙයාර්ථ

දේශනා යනුවෙන් ද නැවතත් කොටස් කර ඒ ඒ සූත්‍ර ධර්මයන්හි මනා කුශලතාවයක් දැක්වුවා වූ තෙරවරුනට ධාරණය කර ගැනීම සඳහා පවරා දුන්හ.[10] යම්තාක් කල් මෙම උතුම්වූ බුද්ධ ධර්මය පවතින්නේද, ඒතාක්කල් මෙසේ සංග්‍රහ කරන ලද මෙම ධර්මය විනාශ නොවන්නේය. මෙම ධර්ම සංගායනාව නිසා තථාගත බුදුරජාණන් වහන්සේගේ නෛර්යාණික ශාසනය මෙම නිසා බොහෝ කාලක් පවතීයයි කල්පනා කළ මෙම ස්ථවිරයන් වහන්සේ ලා මෙම ධර්ම විනය සංගායනාව අවසන් කළාහුය. එසේම මෙම ධර්මසංගායනාව අවසන්වනවාත් සමඟම ඉතා දැඩි හා නොවැළැක්විය හැකිලෙස මහපොළව කම්පා වූයේය. මේ අවස්ථාවේදී අන්‍යවාද මර්දනය කිරීමට සමත් වාලවේදී දුනුවායා හා සමානවූ යම් බහුශ්‍රුත බ්‍රාහ්මණයන් පැමිණ සිටියේ වේද,[11] ඒ සියල්ලෝම පැන ගියාහුය.

මෙම මහා පොළෝ තලයෙහි සිටියාවූ කිසියම් බ්‍රහ්මයෙකුට හෝ දෙවියෙකුට හෝ එසේත් නොවේනම් මාරයෙකුට හෝ මෙම බුද්ධ ධර්මය විනාශ කළ නොහැකිය. පෙරළා විකෘති කළ නොහැකිය. මෙම ධර්‍මය මහාමේරු පර්‍වතය මෙන් පිහිටියේය. ඒ නිසා මෙය සියළු අංගයන්ගෙන් සමන්විතවූ ධර්‍මය හා විනයමය සංඝායනාවකි. මෙම සංඝායනාව කිරීමේදී හෝ ඉන් අනතුරුව මෙහි යම් වරදක් කිසිවකු විසින් නොදක්නා ලදී. ඒ තථාගත සම්මාසම්බුදු රදුන් විසින් උපදෙස් දෙන ලද ආකාරයටම[12] සියළු විධීන් අනුගමනය කරමින් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ඇතුළු පන්සීයක් තෙරුන්වහන්සේ ලා විසින් මෙය සංඝායනා කෙරිණ. බුදුන්වහන්සේ හා සමානවූ මෙම ධර්‍මසබන්‍ධය හා විනය සංග්‍රහ කරන ලද්දේ ශාසනයාගේ[13] අවිනාශය පිණිසය. මහජන යාගේ සැකදුරු කිරීම හා අන්‍යදුර්මතයන් පහකිරීම පිණිසද ධර්‍මය අර්ථවත් කිරීම හා ආරක්‍ෂා කිරීම වෙනුවෙන්ද මෙම සංඝායනාව කරන ලදී. හේතු ඵලවාදී න්‍යාය. ධර්‍මයන්ට එකඟවූ මෙම ථෙරවාදී ධර්මය ඇතුලත්ව කෙරෙන ලද මෙම සංඝායනාව ශාසනයේ දිගුකල් පැවැත්ම සඳහා මහෝපකාරීවේ. එසේම මෙම ධර්‍මසංඝායනාව යම්තාක් මෙම ශාසනයේ ඉදිරියේදී ඇතිවන්නාවූ සියළුම ආර්‍ය්‍යයන් වහන්සේලාගේ හිතසුව පිණිසම හේතු වන්නේය. මෙය ශාසනයේ ස්ථිරභාවයට මූලනිධානය සේම ප්‍රථම දුර දක්නා ක්‍රියා පද්ධතියද වේ. එහෙයින්ද බොහෝ දෙනා මෙයට ‘ථෙරවාදයය’ යයි කියති. එනිසා මෙය ථෙරවාදයයි. මෙය ශත වර්ෂාධික කාලයක් පැවතියේ ය.

බුදුරදුන් පිරිනිවී අවුරුදු දසයක් ගතවිය. මෙම අවදිය වනවිට ඉංදියාවේ, අජාසත්ත රජුගේ රාජ්‍ය වර්ෂ ගණන අවුරුදු විසිහතරක් ගතවී තිබුණි. එසේම විජය රජු මේවනවිට ලංකාවේ රජකරන ලද වර්ෂ ගණන අවුරුදු දහසයකි[14] මෙම කාලය වනවිට

උපාලි ස්ථවිර පාදයන් වහන්සේගේ වයස අවුරුදු හැටක්විය. උන්වහන්සේගේ ශිෂ්‍ය භික්‍ෂු නමක් වූ දසක හිමියන් උපාලි ස්ථවිරයන් වහන්සේගෙන් මෙම අවදියෙදී උපසම්පදාව ලැබීය. මෙම උපාලි තෙරණුවෝ බුදුන් වහන්සේගේ නවංග සත්‍ථු ශාසනයට අයත් සියළුම ධර්මස්ඛන්ධයන් තම ශිෂ්‍ය තෙරුන් වහන්සේලාට ප්‍රගුණ කළාහුය. තවද උන්වහන්සේ බුදුන් වහන්සේගෙන් ඉගෙන ගත් ආකාරයෙන්ම ත්‍රිපිටකයේ එන සියළුම දේ කිසිදු ඌනතාවයකින් තොරව උගන්වන ලදී. එක් දිනක් බුදුන් වහන්සේ පිළිබඳව භික්‍ෂූන් අමතා මෙසේ ප්‍රකාශ කරන ලදී.

“මගේ ශාසනයේ උපාලි ශ්‍රේෂ්ඨතම වූත් ප්‍රධානවූත් විනයකාමී භික්‍ෂුව වන්නේය.” යනුවෙනි.

මෙසේ මහසඟ සන වැද විනයකාමිත්වයේ ප්‍රධාන තැනට පත්වූ උපාලි තෙරණුවෝ දසක තෙරුන් ඇතුළු දහසකට ත්‍රිපිටකය ඉගැන්වූහ. එසේම පණ්ඩිත මානී වූ දසක තෙරණුවන්ට සියළුම නවංගසත්‍ථු ශාසනයට අයත් ධර්මයන් ප්‍රගුණ කළාහුය.

එසේම ඒ දසක ස්ථවිරයන් වහන්සේද පසු කලෙක උපාධ්‍යාව එම ධර්මස්ඛන්ධය සිය ශිෂ්‍ය භික්‍ෂූන්ට ප්‍රගුණ කරවූ අතර උපාලි ස්ථවිර පාදයන් වහන්සේ තමන් වහන්සේ හා එක ආරාමයෙහි විසූ පාණ්ඩිත්‍යයෙන් හෙබි දසක තෙරුන් වෙත සියළු විනය පිටකය ඉතිරිකොට පිරිනිවන් පා වදාළහ. ක්‍ෂත්‍රීය වංශයට අයත් උදය රජු[15] දසය අවුරුද්දක් රජ කරන ලදී. උපාලී හිමියන් පිරිනිවන් පෑවේ ඔහුගේ හයවන රාජ්‍ය වර්ෂයේදීය.

උපාලි තෙරුන් වහන්සේ පිරිනිවන් පෑ කාලයෙහි බහු මානී වෙළඳ පුත්‍රයෙකු වූ සෝණක වෙළඳ කටයුතු සඳහා කසීරටට පැමිණියේය. ශාසනයෙහි පැහැදුනාවූ මෙම වෙළඳ පුත්‍රයා රජගහ නුවර වේළුවනාරාමයේදී බුදුසසුනෙහි පැවිදි විය. මෙකල මගධවාසීන්ගේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩවාසය කළේ දාසක ස්ථවිර පාදයන් වහන්සේ ය. මෙම සෝණක හිමියන් පැවිදි කරවන ලද්දේ දාසක තෙරුන්වන අතර සෝණක තෙරුන් පැවිදි වූයේ දාසක තෙරණුවන්ගේ තිස්හත්වන වර්ෂයේදීය.[16] මෙසේ ඒ දාසක තෙරණුවන්ට වස් හතලිස්පහක් ගෙවෙද්දී මගධයේ නාගදාස රජු අවුරුදු දහයක් රාජ්‍ය මෙහෙයවා තිබුණි. මේ වනවිට පණ්ඩු රජුගේ[17] රාජ්‍යය කාලය අවුරුදු විස්සක් විය. සෝණක තෙරුන් දාසක ස්ථවිරයාණන්ගෙන් උපසම්පදාව ලබාගන්නේ මෙම අවදියේදීය. නවඞ්ග සත්‍ථු ශාසනයට අයත් සියළු ධර්‍මකොටස් උන්වහන්සේ සෝණක තෙරුන්ට ද ඉගැන්වූහ. මෙසේ දාසක තෙරුන් උපාලි තෙරුන් ගෙන් ධර්‍මය ඉගෙනගත් අතර දාසක තෙරුන් සෝණක තෙරුන්ට ප්‍රගුණ කරන ලදී. මේ වනවිට සෝණක තෙරුන් සතලිස් වියෙහි පසුවී. සිය ඇඳුරුපාණන්ට මේ වනවිට අවුරුදු හැටහතරක් වූ අතර සෝණක තෙරුන් ප්‍රධාන විනය තනතුරට පත් කෙරින. දාසක තෙරුන් පිරිනිවන් පෑසේක් මෙම අවදියේදීය.

සෝණක තෙරුන් වහන්සේ උපසපන් වීමෙන් අවුරුදු දහහතක් ගතවීමේදී උන්වහන්සේ සියළු ත්‍රිපිටකය ප්‍රගුණ කර සිටියහ. මේ වනවිට කාලාශෝක රජුගේ රාජ්‍ය කාලයෙන් අවුරුදු දහයකුත් දින පහළොවක් ගතවී තිබුණි. කාලාශෝක යන්ගේ රාජ්‍යය කාලයෙන් වසර එකොළහකුත් මාසහයක් ගතවීමේදී භික්‍ෂුන්ගේ නායකත්වය දරුවාහු සෝණක තෙරණුවෝය. මේ කාලයේදී උන්වහන්සේ විසින් “සිග්ගව” හා චණ්ඩවජ්ජි[18] යන භික්‍ෂුන් තම ශිෂ්‍ය භික්‍ෂුන් ලෙස උපසපන් වීමට පත් කෙරින.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා අවුරුදුසීයක් ගතවී ගිය කල්හි උතුම්වූ ථෙරවාදී ශාසනයේ මහා භේදයක් ඇති කරන ලදී. මෙම අවදියේ විශාලාමහනුවර සිටි වජ්ජිපුත්‍රක භික්‍ෂුහු දශවස්තුවක් සම්මත කරගත්හ. එම දසවස්තුව මෙසේය.

සිංගිලෝණකප්ප
ද්වංගුලකප්ප
ගාමන්තරකප්ප
ආවාසකප්ප
අනුමතිකප්ප
ආචින්නකප්ප
අමථිතකප්ප
ජලෝගිපානකප්ප
ජාතරූප රජතකප්ප
නිසීදනකප්ප[19]

යනුවෙනි.

මේවා ශාසනයට හා ධර්‍ම විනයට විරුද්ධ මිත්‍යා මතයන්ය. මේවා වජ්ජි පුත්තක භික්‍ෂුන් විසින් පනවා ගෙන කටයුතු කරන ලදී. මෙම වජ්ජි පුත්තක භික්‍ෂුහු ධර්‍මමය කරුණු බිඳදමා ධර්‍මයෙහි අර්ථයට ද හානිවන සේ ධර්‍ම විනයටද විරුද්ධව මිත්‍යා මතයන් ඉදිරිපත් කළහ. මෙම කරුණු හෙළා දැකීමසඳහා බොහෝ බුද්ධ පුත්‍රයන් වහන්සේලා එක්රැස්වූවාහුය. මෙම අවස්ථාවට මහා තේජාන්විත භාවයෙන් යුත් මහත් වූ ශිෂ්‍ය භික්‍ෂු සමූහයාගෙන් සමන්විත වූ බුදුන් හා සමානවූ මහා තෙරවරු සමූහයක් පැමිණ සිටියාහුය. මෙයට විරුද්ධත්වයි ප්‍රකාශකිරීම සඳහා පැමිණ සිටි බුද්ධ පුත්‍රවූ භික්‍ෂු සංඛ්‍යාව දොළොස් ලක්‍ෂයකි. මෙහි පැමිණි මෙම භික්‍ෂුන්ගේ නායකත්වය දරණ ලද්දේ.

සබ්බකාමී; සාල්හ; රේවත; කුජ්ජසෝභිත; වාසභගාමී සුමන; යන මහාස්ථවිරයන් වහන්සේලා හා බුදුරජාණන් වහන්සේ ගේ ද මහත් ප්‍රසාද ගුණයට ලක්වූ කාකණ්ඩ පුත්තක[20] යස යන ස්ථවිරයන් වහන්සේලා අට නමය. මෙම අවදියේදී වාසභ ගිමී හා සුමන: යන තෙරුන් වහන්සේලා අනුරුද්ධ ස්ථවිර පාදයන් වහන්සේලාගේ අනුවර්තකයෝ වූහ. මෙම තෙරවරුද විශාලා නුවරට පැමිණියාහු එම පාපී භික්‍ෂුන් හෙළා දැක නිගාදීම පිණිසයය. ජීවමාන කාලයෙහි තථාගතයන් වහන්සේ නොදුටු අවශේෂ භික්‍ෂුහු නන්ද ස්ථවිරයන් වහන්සේ අනුගමනය කළාහුය. මේ අනුව එම සත්සීයක් පමණ භික්‍ෂුහුද විශාලා මහනුවරට රැස්වූවාහු ය. පාරිශුද්ධ භාවයෙන් හා දිවැස් බලයෙන්ද නිතර සමාපත්ති සුවයෙන් ගතකළාවූද; යුක්තවූ ද එහි පැමිණියාවූ සියළු භික්‍ෂුහුම මෙම සම්බුද්ධ ශාසනයෙහි උතුම්වූ විනය පිළිගනිති මෙහි රැස්වූ සියළු භික්‍ෂුහු කාම රාගාදියෙන් මිදුනාහුවෙත්. මේ සියල්ලෝ සියළු කෙළෙසුන් දුරු කළාහුය.

පාටලී පුත්‍රනගරයේ ක්‍ෂත්‍රිය වංශික කාලාශෝක රජවිය. කාලාශෝක සුසුනාග රජුගේ පුත්‍රයාය. ඒ මහා බලයක් ඇති තෙරුන් වහන්සේලා අට දෙනා මෙම අලජ්ජි භික්‍ෂුන් ශාසනයෙන් ඉවත්කර දැමීමට කැමති කරවා ගෙන ඒ භේද ඇති කරන්නාවූ පාපී භික්‍ෂුන් මර්ධනය කරන ලදී. මේ අනුව තහනම් කොට එය නැති කර දමන ලදී. ඒ පාපකාරී භික්‍ෂුහු ශාසනයෙන් එළවා දමන ලදහ. අනතුරුව මෙම මධ්‍යස්ථ තෙරවරු අට දෙන උතුම් රහත් භික්‍ෂුන් වහන්සේලා හත්සීයක් එක්රැස්කොට මෙම සංඝායනාව පවත්වන ලදහ. මෙසේ කරන ලද්දේ විභජ්ඣවාදය මර්ධනය කොට නැති කරදමනු සඳහාය. මෙම උතුම්වූ සංඝායනාව විශාලාමහනුවර කුඨාගාර ශාලාවේදී[21] පැවැත්විණ. මෙම සංඝායනාව අටමසකින් නිමාවට පත්විය. මෙය දෙවැනි වරට පවත්වන ලද ධර්‍මසංඝායනාවයි.

මෙම සංඝායනාවේදී ස්ථවිර වාදීන් විසින් වජ්ජි පුත්තක පාප භික්‍ෂුන් නෙරපා දමන ලදී. ඒ අධර්‍මවාදීන්ගේ පක්‍ෂයගත් ජනයාද අධර්‍මවාදී භික්‍ෂුන්ගේ පක්‍ෂය ගන්නා ලදී. මෙම අධර්‍මවාදී භික්‍ෂුහු දසදහසක් එක් රැස්ව වෙනත් ධර්‍ම සංඝායනාවක් කළාහුය. මේ නිසා එම ධර්‍ම සංඝායනාවට ‘මහාසංගීති’ යයි කියනු ලැබේ. ඒ මහා සාංගික වාදීන් ශාසනය භේදභින්න කෙරින. ස්ථවිර වාදීන්ගේ මූලික ධර්‍මවිනයට ප්‍රතිවිරුද්ධ වූ ඔවුහු අනෙක් ධර්‍මවිනයක් ගොඩ නගා ගත්තාහුය. මෙම වජ්ජිපුත්‍රක භික්‍ෂූන් ක්‍රමානුකූලව එක්තැනක සංග්‍රහකර තිබූ විවිධ සූත්‍ර වෙනත් තැන්වල තබන ලදී. විනය පිටකයේද සඟි පහේද ධර්‍මමය ලක්‍ෂණයක් හා අර්ථයන් ද වෙනස් කෙරින. තවද මෙම වජ්ජිපුත්‍රක භික්‍ෂූහු තථාගත භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද පරියාය: නිප්පරියාය: හා නීතාර්ථ දේශනාද, නෙය්‍යාර්ථ සූත්‍රද නොදන්හ. එක් නිත්‍යාර්ථයක් සඳහා දේශනා කරන ලද්දක් වෙනත් අනෙක් කරුණක් සඳහා එක්කරන ලද්දහ.[22] තවද එම භික්‍ෂූහු අක්‍ෂර ඡායාව පමණක් ගෙන[23] අර්ථ විනාශවනසේ ක්‍රියා කළහ. එසේම ඔවුන් බුදුන් වහන්සේ දේශනා කරන ලද ගැඹුරු සූත්‍ර අර්ථයන් හා විනය කරුණු කඩා එයට සමානව පෙනෙන වෙනත් සූත්‍රයන් හා විනය සංග්‍රහයක් ද කරනලදී[24] මෙම වජ්ජිපුත්‍රකයින් පරිවාරය: අත්‍ථුද්ධාරය: අභිධර්‍මය: ප්‍රකාරණය: පතිසම්භිදාව: නිද්දේශය: ඒකදේශ ජාතකයද යන මේවා හැර අනෙක් සියල්ල සංග්‍රහ කෙරින. එසේම ඔවුන් ඒ ඒ සූත්‍රයන්ගේ නම් වෙනස්කළ අතර සූත්‍රවල අන්තර්ගත පිළිවෙළද වෙනස් කරන ලදී. සූත්‍ර පරිවයාන්ද වෙනස්වී මේ ආකාරයෙන් පළමුවෙන් බෙදී ගියාවූ මහාසංඝික නිකායිකයෝ පසුව ඔවුනොවුන්ද ක්‍රමයෙන් බිඳී ගියාහුය. එසේ බිඳී ගිය ඔවුන් විසින් බොහෝ බෙදීගිය කණ්ඩායම් ඇති කරනලදී. එයට පසු කාලයේදී ඒ බෙදීගිය අයවලුන් අතරද බෙදීම් ඇතිවිය. ඒ මහා සංඝිකයන් පළමුවෙන් ගෝකුලික හා ඒකබ්බෝහාරික යයි කොටස් දෙකකට බෙදුනි. එයින් පසු ගෝකුලික නිකායිකයෝද කොටස් දෙකක් වූහ. එම කොටස් දෙක නම් වශයෙන් මෙසේය. බහුස්සුතික[25]

පඤ්ඤත්තිවාදී වශයෙනි.

මෙයට පසු මහාසාංඝික වාදීන්ගෙන් තරමක් වෙනස්වූ චේතියවාදීන් නමින්ද කොටසක් ඇතිවිය. මේ ආකාරයෙන් මහාසංඝිකයින් කොටස් පහක්විය. මොවුන්ද ඒ ගෞතම භගවත් ශාක්‍යය පුත්‍රයන් වහන්සේ ගේ ධර්‍මය හා අර්ථයන්ද වෙනස් කරන ලදී. සමහර ධර්‍මසංග්‍රයන් හි එක් කොටසක් ඉදිරිපත් කළ අතර ග්‍රන්‍ථාරූඪ කරන ලද ත්‍රිපිටක ග්‍රන්‍ථයන්හිද එක් කොටසක් වෙනස් කොට ධර්‍මයට පරිබාහිර වූ වෙනත් දෙයක්ම කෙරින. එම භික්‍ෂූන් මේ ආකාරයෙන් ඒ ඒ සූත්‍ර ග්‍රන්‍ථයන්හි නම්ද[26] වෙනස් කරන ලදී. එසේම එම ග්‍රන්‍ථයන්හි අන්තර්ගත පිළිවෙල, ලක්‍ෂණ යන්ද වෙනස් කෙරින. මේ ආකාරයෙන් බුදුන්වහන්සේ දේශනා කරනලද ධර්‍මයන්ගේ වෙනසක්ම ඇතිකළේය. මෙසේ කලක් ගතවිය. සංඝායනාවකින් පිරිසිදුවූ ථෙරවාදයෙහි නැවතත් භේදකාරී තත්වයක් උදාවිය. ඒ භේදය ඇතිවූයේ.

මහිංසාසික හා

වජ්ජීපුත්‍ර යන දෙකොටස ඇතිවීමෙනි.

මෙයින් පසු වජ්ජීපුත්‍රකයන් නිසා තවත් කොටස් හතරක් ඇතිවූයේය. ඒ කොටස් හතර මෙසේ වෙන්කර දැක්වේ.

ධම්මුත්තරික.

භද්ධයානික;

ඡන්නාගරික;

සම්මිතික; යනුවෙනි.

මෙයින් පසු මහිංසාසික යෝද කොටස් දෙකක් වූහ. ඒ කොටස් දෙකහි නම් මෙසේ ය

සබ්බත්ත වාදී

ධම්ම ගුත්තික වශයෙනි. මෙම සබ්බත්ති වාදීන්ද පසු කාලයේ අනුක්‍රමයෙන් සංකන්ති කස්සප: සුතවාද: යනු වෙන් බෙදී ගියේය. මෙසේ මෙයින් පසු ථෙරවාදය මෙම ආකාරයෙන් කොටස් එකොළහකට බිඳීගියේය. මෙසේ මෙම වජ්ජීපුත්‍රක භික්ෂූන් යථාර්ථ ථෙරවාදයේ අර්ථයන් ද ධර්මයද විවිධ කොටස් වලට බෙදන ලදී. ත්‍රිපිටක ග්‍රන්ථවලින් සුළු කොටසක් හැර අන් සියලුම ත්‍රිපිටක ග්‍රන්ථ විවිධ මත ඇති ග්‍රන්ථ සමූහයක් බවට පත් කෙරිනි.[27] මොවුහු මූලික බුද්ධ ධර්මයෙහි යථාර්ථ පාරිශුද්ධ අන්තර් ගතයන් වෙනස්කර පළමු ධර්මග්‍රන්ථවල ආකාරයද නමද අනුපිළිවෙළ ආදී සියල්ල වෙනස් කොට වෙනත් ධර්මමය පිළිවතක්ම ඇති කළහ. මෙසේ නොයෙක් ආකාරයෙන් බිඳීගියාවූ ධර්මමය අන්‍යවාද දහතක් ඇතිවිය. මේ ආකාරයෙන් නොබෙදුනේ එකම වාදයක් පමණි.[28] මෙසේ ඒ නොබෙදී ගියාවූ වාදය ද සමග ධර්මවාදයන් දහඅටක්වී. මෙයින් මහා නුගගසක් බඳුවූ ථෙරවාදය උතුම්ය. එයට පරිබාහිරව ඇතිවූ දෙයන් කිසිදු අඩුවීමක් හෝ වැඩිවීමක් නොමැතිව තිබූ නවංග සත්‍ථු ශාසනයට බාහිරව ඇතිවූ ඒවාය. ඒවා යම් ගසක් විනාශ කිරීමට ඇතිවූ පිළිලයක් මෙනි. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු සීයක් යනතෙක් පිරිසිදු බුද්ධ ධර්මයට විරුද්ධව කිසිදු වාදයක් ඇති නොවීය. නමුත් දෙවන අවුරුදු සීය ඇතුළතදී ථෙරවාදයට විරුද්ධ පරිබාහිර ධර්මවාදයන් දහතක බුද්ධශාසනයේ ඇතිවිය. පසු කාලයේ මෙම අන්‍යවූ බෙදීම් හයද ඇති වූයේය.

හේමවනික: අපර ශෛලික:

රාජගිරික: අපර රාජගිරික

පූර්වශෛලික: තධාර්ථ:[29]

යනුවෙනි.[30]

  1. මෙසේ 500 භික්‍ෂූන් ගෙන්වා ගන්නා ලද්දේ. රජගහනුවර සප්තපර්ණී ගුහා දොරටුවවටයි. සුභද්‍රගේ අභද්‍ර වචන මෙයට හේතුව බව ම.ව. දක්වා ඇත. (ම.ව. 3 පරි.) මහාවග්ගයේ මෙම හේතුව ආසන්න හේතුව වශයෙන් දක්වා ඇත. ↑

  2. මෙසේ සිදුකරන ලද්දේ ප්‍රථම ධර්මසංඝායනාවයි. අජාසත් රජුගේ රාජ්‍ය කාලයේදී මෙය සිදුකෙරිණ. ↑

  3. බුදුන් වහන්සේගේ සිවුර පෙරවීමට සුදුසු කම් ලැබුවේ උන්වහන්සේ පමණි. ↑

  4. අර්ථ: ධර්‍ම: නිරුක්ති: පතිභාන: යන දැකීම් සම්භාරය පිහිටියේ (කරුණු 4) නම් සිව්පිළිසිඹි ගුණයට පැමිණිය හැකිය. ↑

  5. මෙ ප්‍රධාන තනතුරු ලාභී භික්‍ෂුන් වහන්සේලා පිළිබඳව ම:ව: සඳහන් වේ. ↑

  6. මනා මතක ශක්තියක් ඇති මුන් වහන්සේ බුදුන්වහන්සේ දේශනා කරන ලද සියළුම ධර්‍මයන් තබාගනිමින් ධර්‍මභාණ්ඩාගාරික වූ සේක. ප්‍රථම ධර්‍මසංඝායනාවට මෙහිමියන් නැතිවම බැරිවිය. අවසන් මොහොතේ රහත්ව සංඝායනාවට සහභාගි වූහ. ↑

  7. ශිෂ්‍යයන් පුහුණු කිරීමේ මනා දක්‍ෂයෙකි. ↑

  8. මෙසේ එකම කරුණ කීප අවස්ථාවකදී දැක්වීම දීපවංශකතුවරයාගේ සම්ප්‍රදායකි. මෙය පුනරුක්තදෝෂ ලෙස බොහෝ නූතන පඬිවරු දකිති. එහෙත් නැවත නැවත සඳහන් කර අවධාරණය කිරීම එකල පැවති සම්ප්‍රදායක් විය හැකිය. සමාජ විද්‍යාව හා මනෝ විද්‍යාව උපයෝගී කරගත් නූතන ගුරුවරු ශිෂ්‍යයන්ට කරුණු අවබෝධ කරවීමේදී මෙම ක්‍රමය අනුගමනය කරනු පෙනේ. ↑

  9. ත්‍රිපිටක සාහිත්‍යයේ සංඝී; ඝනී; ඝනාචාරියො; යන සර්ව නාමයන්ගෙන් පෙන්නුම් කරන්නේ මුන්වහන්සේලාය. මේවා නිල නාමයන්ය. ↑

  10. මෙම තෙරුවන් මෙම ධර්මයන් පවත්වාගෙන එන ලද්දේ කටපාඩමින් මුඛ පරම්පරාවෙනි. ↑

  11. බෞද්ධ දර්ශනය ආරම්භයේ සිටම බ්‍රාහ්මණයන් එයට දැඩිසේ විරුද්ධවිය. බොහෝ පුහුදුන් භික්ෂූන් ලාභසත්කාරයෙන් ඔවුන් වෙතට නම්වා ගෙන බෞද්ධ ව්‍යාඛ්‍යාවන්ට ප්‍රතිවිරුද්ධ ව්‍යාඛ්‍යාවන්හි නිරත කරන ලදී. මැවීම් සංකල්පය, සහිත මහායාන වාදය ගොඩ නැගුනේ මේ අයුරිනි. මෙම අවස්ථාවේදීද මෙය විනාශ කිරීම සඳහා වාචාල තර්කයෙහි දක්ෂ බමුණන් පැමිණෙන්නට ඇත. ↑

  12. බුදුන්වහන්සේ ජීවමාන කාලයේදීම ශාසනය නොනැසී පවත්වා ගෙන යාම සඳහා සංඝායනාවක් පවත්වන ආකාරය, පිළිබඳව මහාස්ථවිරයන් වහන්සේලාට උපදෙස් දී තිබූ බව මෙයින් පෙනේ. මහා කාශ්‍යප හිමියන් නොබියව මෙයට ඉදිරිපත් වූයේ මේ නිසා විය යුතුය. ↑

  13. විනයොනාම සාසනස්ස ආයු ශාසනයේ චිරස්ථිතිය විනයයි. යනුවෙන් මහාවංශයේ සඳහන් වේ. ↑

  14. මෙම රජුන් රජ කරන ලද රාජ්‍ය වර්ෂයන් මහා වංශයේ සඳහන් නොවේ. එසේම විජය ලංකාවට පැමිණියේ නිත්‍ය වශයෙන් ක්‍රි. පූ. 543 දී බව මහාචාර්‍ය්‍ය කොඩ්රින්ටන් පිළිගන්නා අතර තවත් විද්වතුන් රාශියක් එය අනුමත කොට ඇත. මෙයින්ද බුදු රදුන්ගේ පිරිනිවීමත් විජයගේ ලංකා ගමනත් එකම දිනයක් බව පෙනේ. ↑

  15. අජාසත් රජුගෙන් පසු ඔහු මරා රජවූ ඔහුගේ පුත්‍රයාය. මහාවංශයේ මොහුගේ නමත් සඳහන් වන්නේ උදයිභද්‍ර ලෙසය. ඔහුගේ පුත් අනුරුද්ධ, ඔහු මැරූ අතර ඔහුගේ පුත් මුණ්ඩ තම පියා මැරූහ. ඔහුගේ පුත් නාගදසකද සිය පියා මැරූ නිසා ජනතාව පිතෘඝාතක රාජවංශය ඉවත්කොට සුසුනාග ඇමති රජකරවූ බව සඳහන් වේ. (ම: වං: 4පරි) ↑

  16. මේ පිළිබඳව ම: ව: කිසිත් සඳහන් නොවේ. ↑

  17. මේ කාලයේ ලංකාවේ පණ්ඩුවාසුදේව රජකල බව පෙනේ. මෙහි පණ්ඩු යනුවෙන් දක්වන්නේ ඔහු විය හැකියි. ↑

  18. මෙ තෙරවරුන් පිළිබඳවත් එම ශිෂ්‍ය භික්‍ෂුන් පිළිබඳවත් ම: ව: දක්වන්නේ තෙවන සංඝායනාව පිළිබඳ කරුණුවලදීය. ↑

  19. 1. ලුණු නැති ආහාර ලත්විට අවශ්‍ය ලුණු අඟක දමා තබා ගැනීම 2. ඉර අගල් දෙකක් අවරට යන තෙක් ආහාර ගත හැකිය. 3. වෙන ගමකට යමැයි අකැප ආහාර ගැනීම. 4. මහාසීමාවෙහි විවිධ ආවාසවල වෙනම විසීම. 5. විනය කර්මයන් කර නොපැමිණි භික්‍ෂුන්ගේ කැමැත්ත පසුව ගැනීම. 6. ගුරු පරපුරේ පුරුදු දැ කිරීම. 7. කිරිබවින් තොර දී බවට නොපැමිණි දැය නොකැපව ගැනීම. 8. නමුකල සුරාබීම. 9. අනුමත නැති නිසීදන පරිහරනය 10. රන් රිදී මසු කහවනු පිලිගැනීම. ↑

  20. වජ්ජි පුත්‍රක භික්‍ෂුන් මුදල් සම්මාදන් කරණු මෙම හිමියන් දැක ඇති බවත් එම අවස්ථාවේ එය වැරදි බව පෙන්වා දුන්විට ඒ අලජ්ජී භික්‍ෂුන් කකණ්ඩ පුත්තක හිමියන්ට පටිසාරනීය කර්මය කල බවත් සඳහන් වේ. ↑

  21. මෙම සංඝායනාව වාලුකාරාමයේදී කළ බව ම: ව: දැක්වේ. (ම: ව: 4පරි) වෙනත් බෞද්ධ ග්‍රන්‍ථවලින් ද දැක්වෙන්නේ වාලුකාරාමයේ කළ බවය. ↑

  22. මහායාන පිටකයේ බොහෝ තැන්වල මෙම විකෘති භාවය දක්නට ලැබේ. දී. ව. කතුවරයා මෙම යුගයේ යථාවබෝධය අතින් වඩාත් ඉදිරියෙන් සිටි බව පෙනී යි. ඔහු මහායාන ධර්මය හදාරා තිබූ බවද පෙනේ. ↑

  23. අලංකාරය සඳහා පමණක් අර්ථවිරහිතව වචන භාවිතා කළ බව පෙනී යයි. වණිභට්ටයන්සේ මිනිසුන් වර්ණනාවෙන් මුළාකොට ධනය ලබාගැනීම සඳහා පමණක් මෙම භික්‍ෂූන් ක්‍රියා කළ බව දෙවන සංගායනාවේ අන්තර්ගත හේතු ඇත. ↑

  24. මූලික බුදුදහම වෙනස්කිරීමට බමුණන්ට අවශ්‍යවිය. මෙය සංවිධානාත්මකව කරන ලද්දකි ↑

  25. මෙය සමහර තැන්වල බාහුලික යනුවෙන් දක්නට ලැබේ. ↑

  26. දී. ව. ලියන විට ථෙරවාදී ත්‍රිපිටක ග්‍රන්‍ථ සම්පූර්ණයෙන්ම ලියවි අතර මහායානිකයන්ද ඔවුන්ගේ ධර්‍මග්‍රන්‍ථයන් සකසා තිබූ බව මේ අනුව පෙනේ. ↑

  27. දි. ව. රචනා වන විට ලංකාවේ තිබූ තත්වයන්ම උපයෝගී කර ගනිමින් දි. ව. කතුවරයා මෙසේ අත්දැකීමක ආකාරයෙන් ලියන්නට ඇත. ↑

  28. මෙයින් ථෙරවාදය නොබෙදුන බවක් කතුවරයා සිහිගන්වයි. ↑

  29. හේමවත: රාජගිරිය: සිද්ධත්තික: පුබ්බසෙලීය: අපරසෙලීය: වාජිරිය: යනුවෙන් මහාවංශයේ දක්වා ඇත. ↑

  30. මේ පිළිබඳව ම: ව: එන තොරතුරු පිළිබඳ විමර්ශනයක යෙදීම වැදගත්ය. (ම: ව: 4,5, පරි) ↑