3 වන පරිච්ඡේදය
මෙහිදී යම් බඳුවූ මහා සම්මත රාජවංශයට අයත් රාජ නාමාවලියක් වේද එය අසන්න. එම අතීත කල්පයේ රජුන්ගේ භවයෙන් භවය හැර සියළු රජුන්ගේ නම් පවසමි. එම රජුන්ගේ ජාතිය හා නාම ගෝත්‍රයන් ද, ආයුෂ ප්‍රමාණය හා අනුක්‍රමික පාලන සම්බන්ධතාවයන් යන සියල්ල මෙහි ලා පවසමි.
ඈත අතීතයේ එක් සමයෙක්හි මෙම මහාපොළව ආරක්ෂා කරන්නාව ජුතින්දර නම් රජෙකු පළමුවෙන් අභිෂේකය ලැබීය. ක්ෂත්රිය වංශිකයෙකුවූ ඔහු එම අභිෂේකය ලැබුවේ මහා සම්මත නමිනි. එසේම ඔහු ක්ෂත්රිය වංශිකයෙකි. මෙයින් පසු රෝජ නම් ඔහුගේ පුතෙකු රජවිය. මොහුගේ පුතාද රෝජ නමින්ම රජ වූයේය. මොවුන් දඹදිව රාජ්‍ය ගෙන යන ලදී. එයින් පසු කල්‍යාණ නැමැත්තා රජවූ අතර පසුව වරකල්‍යාණ රජ වූයේය. මේ දෙදෙනාට පසුව දඹදිව රජවූයේ උපෝසථ නම් රජතුමාය. මෙයට පසුව රජවන මන්ධාතු රජතුමා දිවයින් හතරකටම අධිපති විය. එසේම ඔහු එමපරපුරේ හත්වැන්නාවිය. මේ හැරුණු විට මෙයින් පසු වර හා උපවර නමින්ද චේතිය නමින්ද රජුන් කීප දෙනෙකු රජකරන ලදී. අනතුරුව රජවූයේ මුචලය. මොහුට පසු මහාමුචල මුචලින්ද යන රජුන් රජවී. මෙයින් පසු සාගර හා සාගරදේවත්, භරතත් රජු වූහ. පිළිවලින් රජ වූහ. අංගීස හා රුචි. මහාරුචි:යන තිදෙනා රජවූයේ මෙයින් පසුවය ප්‍රතාප: හා මහාප්රතාපත්: පනාද හා මහා පනාදත්. මොවුන්ගෙන් පසු පිළිවලින් රජවූහ. සුදස්සන හා මහාසුදස්සන රජවූයේ මෙයින් පසුවයි. මෙයින් පසු නේරු මහානේරු නමින් දෙදෙනෙක්ද වූහ. අච්චිමන්තු[1] යන නාමයෙන්ද රජෙකු විය. මේ අනුව රජවරු විසිඅටක් දඹදිව රජ කලාහුය. මොවුන්ගේ ආයුෂ ප්‍රමාණය අසංඛ්‍යයක් වේ. මෙම රජුන් විසි අටදෙනා කුසාවතී රජගහනුවර මිථිලා යන නගරයන්හි රජ කරවූහ.
| දසවරක් දහය | - | සීයකි |
| සියවරක් දහය | - | දහසකි |
| දස්වරක් දහය | - | නහුතයකි |
| නහුත දහය | - | ලක්ෂයකි. |
| ලක්ෂ දහයක් | - | කෝටියකි[2] |
| කෝටිදහය | - | කොටිපකෝටියකි. |
මේ හැරුණු විට තවද නහුතයද; නින්නහුත යද; අක්ෂෞහිනියද; බිංදුවද; අබ්බුදයද; නිබ්බුදයද; අහහයද; අබබයද; අටටයද; සොභන්දිකයද; උප්පලයද; කුමුදයද; පුණ්ඩරීකය; පදුමයද; කථානයද; මහාකථානයද; යනාදී වශයෙන් මෙතෙක් ගණන් වශයෙන් දක්වනු ලද සංඛ්‍යාවන් මෙම රාජ්‍යය; යන්හි ගුණිත ප්‍රමාණයන් වශයෙන් පිළිගන්නා ලදි. මෙහි වැඩිම සංඛ්‍යාව වශයෙන් හඳුන්වනු ලැබුයේ අසංඛ්‍ය යයි[3]
කපිලවත්ථු පුරවරයෙහි එක්සීයක් රජ දරුවෝ මහාරාජ්‍යය කළාහුය. මෙම එක්සීයක් රජ දරුවන් අච්චිම නැමැති රජ තුමාගේය. මොවුන්ගෙන් පසු අරින්දව නම් ක්ෂත්රිය රජු මෙහි රාජ්‍යය විචාරණ ලද්දේය. මෙම ක්ෂත්රිය රජුගේ දරු මුණුබුරන් පණස්හය දෙනෙකි. ඔවුහු අයෝධ්‍යා නගර ප්රවරයෙහි මහා රාජ්‍ය කළාහුය. පසුකාලයේ ඔවුන්ගේ ද මහා ඉසුරුමත් රජෙකුවිය. ඔහු දුප්පසහ නම් විය. මොහුගේ දරුමුණුබුරන් හැට දෙනෙකි. මොවුන් මහාරාජ්‍යය කරන ලද්දේ උතුම්වූ බරණනැස් නගරයෙහිය. මොවුන්ගේද පසුකාලීන ක්ෂත්රියයා අභීනිත්ත නම් රජු විය. කපිලවත්ථු පුරවරයෙහි මහා-රාජ්‍යය කලාවූ මොහුට පුත්‍රයන් අසූහාර දහසක් වූහ. මොවුන්ගේද අවසන් රජ මහා ඉසුර මතෙකු වූ බ්‍රහ්මදත්ත නම් රජුය. ඔහුද ක්ෂත්රිය වංශිකයෙකුවූ අතර ඔහුට දරු මුණු පුරන් තිස්හය දෙනෙකු විය. ඔවුන්ද උතුම්වූ හත්ථි පුරවරයෙහි මහාරාජ්‍යය කරන ලදී. කම්බල වසන නම් රජු ඔවුන්ගේ අන්තිම රජුවිය. දරු මුණුපුරන් තිස් දෙදෙනකුද සහිතව ඒකචක්ඛු...... නගරය පදනම්කරගනිමින් මොවුහු රාජ්‍යය විචාලෝය. මොවුන්ගේ පසු කාලීනයාවූ පුරින්දද රජතුමා දෙවියන් විසින්ද පුදන ලද්දෙකි. ක්ෂත්රියයෙකුවූ මොහුටද දරුමුණුපුරන් විසිඅටක් වී. වජිරා පුරවරයෙහි ඔවුහු මහාරාජ්‍යය කළාහුය. මෙයින් පසු අවසන් රජු වූයේ දරුමුණුපුරන් විසිදෙනෙකු සිටි සාධින නම් ක්ෂත්රිය රජ තුමායි. මධුරා පුරය පදනම් කර ගනිමින් ඔවුහු මහා රාජ්‍යය කළාහුය. අනතුරුව බලයට පත්වූ මහා ක්ෂත්රියයා වූයේ ධර්මගුප්ත රජතුමාය. අරිටඨ නගරය පදනම් කර ගනිමින් රජකලාවූ මොහුට දරුමුණුපුරෝ දහඅටක් වූහ. සිට්ටි රජු මොවුන්ගේ අවසානයා විය. දරුමුණුපුරන් දහහත් දෙනෙකුගෙන් සමන්විතව ඉදිපත්නුවර පදනම් කර ගනිමින් මෙම ක්ෂත්රියයන් රාජ්‍ය විචාරන ලදී. දරුමුණුපුරන් පහලොස් දෙනෙකුගෙන් සමන්විතව බ්‍රහ්මදේව ක්ෂත්රිය රජු මෙයින් පසු රජවිය. මොවුන් රජ කරන ලද්දේ එකචක්ඛු නගරය පදනම් කරගෙනය. එම රජපරපුරේ අවසන් මිහිපල්තෙම වූයේ බලදත්ත නම් ක්ෂත්රියාය. කොසඹෑනුවර මහාරාජ්‍යය කළාවූ මෙම ක්ෂත්රියාට දරුමුණුපුරෝ දහතරක් වූහ. දරුමුණුපුරන් නව දෙනෙකු සිටි බද්ධදේව ක්ෂත්රියයා කර්ණශෝත්ර නම් නගරය පසුබිම් කරගනිමින් රාජ්‍යය විචාරන ලදී.
මෙයින් පසුව උදාවන්නේ සියළුදේ දත් නරදේව ක්ෂත්රිය රජතුමාගේ රාජ්‍යය කාලයයි. ඔහු රෝජන නගරයේ රාජ්‍යය කළ අතර ඔහුට දරු මුණුපුරන්ද හත්දෙනෙකු විය. මෙම වංශයටම අයත් ඔහුන්ගේ පසු කාලීනයා ක්ෂත්රිය වංශික මහිද නැමැත්තෙකි. ඔහු චම්පා නගරයේ රාජ්‍යය මෙහෙයවූ අතර ඔහුට දරුමුණුපුරන් දොළොස් දෙනෙකි. අනතුරුව මුළු මහත් පොළෝතලයට අධිපතිව ක්ෂත්රිය වංශයේ නාගදේව රජවිය. දරුමුණුපුරන් විසිපස්දෙනෙකු සිටි ඔහු මිථිලා නගරය අරමුණු කර ගනිමින් මහාරාජ්‍යය මෙහෙයවන ලදී. මීළඟට රජවූයේ මෙම පරපුරේ පසු කාලීනයාවූ මහා බලවත් බුද්ධදත්ත රජතුමාය. ඔහුටද දරුමුණුපුරෝ විසිපහක් වූහ. මොවුන් රජගහනුවර මුල්කර ගනිමින් ස්වකීය මහාරාජ්‍යය ගෙනයන ලදී. මෙයට පසුව ක්ෂත්රීය වංශයේ දීපංකර නම් එම පරපුරේ අවසානයා රජවූයේය. තක්ෂිලාව අගනුවර කර ගනිමින් පාලනය කළාවූ මොහුට දරුමුණු පුරන් දොළොස් දෙනෙක් විය. මෙයින් පසු ක්ෂත්රීය වංශයේ නාලිස්සර රජතුමා රජවූයේය. ඔහුට දරුමුණුපුරන් දොළහක් වූ අතර උතුම්වූ කුසිනාරා නගරය අගනුවර කර ගනිමින් පාලනය මෙහෙය වන ලදී. මෙයින් පසු දරු මුණුපුරන් නවදෙනෙක් සිටි ක්ෂත්රීය වංශයේ සුදින්න රජු නාලිස්සර නගරය මුල්තැන තබමින් පාලනය ගෙනයන ලදී. ඔවුන්ගේද අන්තිම රජු වූයේ මහත් ඉසුරෙන් පිරී සාගරදේව රජතුමාය. එම රජුගේ පුත්‍රයා මඛාදේව නම් විය. මෙම මඛාදේව රජතුමා මහා දානපතියෙකු විය. ඔහුගේ දරුමුණුපුරෝ අසුහතර දහසකි.[4] මිථිලානගරය ඔහුගේ අගනුවරවිය. මෙම රජ පරපුරේද අවසන් රජු තේමිය නම් විය. දෙවියන් විසින්ද ඔහු පිදුම් ලද්දේය. මෙම රජතුමා සාගරය දක්වා වූ මහපොලව පාලනය කරනලද මහා බලවත් චක්‍රවර්ති රජ කෙනෙකි.[5] මෙම තේමිය රජුගේ පුත්‍රයා කලාජනක නම්විය. කලාජනක රජුට පසු ඔහු ගේ පුත් සමඞ්කර කුමරා රජවිය. අසෝච නම් ඔහුගේ පුත් ඔහු ඇවෑමෙන් රාජ්‍ය භාරගන්නා ලදී. මේ අනුව උතුම්වූ බරණැස් නුවර ඔහුගේ දරු මුණුපුරෝ අසු හතර දහසක් රජකළාහුය. එම පරපුරේද අන්තිම රජු විජය රජු නම්විය. ඔහුද මහ ඉසුරින්පිරී තැනැත්තෙකි. ඔහුටද විජිතසේන නම් ඉතා ලක්ෂණ පුතෙකු විය. ඔහු එයින් පසු රජවිය.
එයින් පසු පිළිවලින් ධර්මසේන: නාගසේන: සමථ: දිසම්පති: රේණු: කුස: මහකුස: නවරථ: දසරථ: යන රජවරුන්ද රජවිය. ඉනික්බිතිව රාම: විලාරථ: චිත්ත දස්සි: අත්ථදස්සි: සුජාත: ඔක්කාක: ඔක්කාමුඛ: නිපුර: චන්දිම: චන්දමුඛ: සිවිරාජ: සංජය: වෙස්සන්තර; ජනපති; ජාලි; සිහිවාහන යනාදී ක්ෂත්රිය රජවරුද පිළිවෙලින් රජ කළාහුය. මෙයින් පසු රජවූයේ සීහස්සර නම් ක්ෂත්රිය රජ කෙනෙකි. මොහුට දරු මුණුපුරන් අසූදෙදහසක් විය. මොවුන් කපිලවත්තුව අගනුවර කර ගනිමින් රාජ්‍ය කළඅතර ඔවුන් ක්ෂත්රිය වංශයේ රජුන් විය. මෙම පරපුරේ අවසානයා මහීපති ජයසේනය. මොහුට සීහහනු නමින් මහාශරීර ශෝභාවෙන් හා ප්‍රියංකර භවයෙන් යුත් පුතෙකු විය. ඔහු රාජ්‍යය විචාරන්නේ ඔහුට පුත්‍රයෝ පස් දෙනෙක් වූහ. එම පස් දෙනා “ඕදන” නාමිකයෝය. එම සොහොයුරන් පස් දෙනාගේ නම් මෙසේය. සුද්ධෝදන; ධෝතෝදන; සක්කෝදන; සුක්කෝදන; අමිතෝදන; යනුවෙනි. සුද්ධෝදන නරපති වරයාගේ පුතනුවන් වන්නේ අප ලෝක නායක බුද්ධත්වය දිනූ සිද්ධාර්ථ කුමාරයාණෝය. එම සිද්ධාර්ථ කුමරුවෝ රාහුල කුමරු බිහිවීමෙන් අනතුරුව ගිහිගෙය කලකිරී ගිහිගෙයින් නික්මුණාහ. මෙතෙක් කියන ලද පෘතුවි පාලක ක්ෂත්රිය රජවරුන් අප සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ රාජ්‍ය වංශයෙහි ඉපදුණාහුය.[6] මෙම මහේසාක්යය මහත්බල ඇති රජවරුන් තුන්ලක්ෂහතලිස් දහස් තුන්සිය දෙනෙකු වූ අතර ඔවුන් ක්ෂත්රිය වංශිකයන්ද විය.
“සියළු සංස්කාර ධර්මයෝ අනිත්‍යයහ. ඒ සංස්කාර ධර්මයෝ
ඉපිද නැතිවීයත්. ඇතිවීම හා නැතිවීම ස්වභාව කොට ඇත.
එම සංස්කාර ධර්මයන්ගේ සංසිඳවීම නම් නිවන අවබෝධ
කර ගැනීමයි. එම නිවන සැපවේමය.”
ඉහතින් සඳහන් කරන ලද සීහහනු රජුගේ පුත්‍රවූ සුද්ධෝදන නම් ශාක්‍යය රජු කපිලවත්ථු නගරය රාජධානිය කරගෙන රාජ්‍යය කරන ලදී. මේ කාලයේ පංචමහා[7] පර්වතයන්ගෙන් වටකරන ලදී උතුම්වූ රජගහ නුවර රාජ්‍යය මෙහෙයවන ලද්දේ “බෝධිශ”[8] නමින් සඳහන්වන ක්ෂත්රිය වංශික රජතුමාය. මෙම සුද්ධෝදන රජු හා, බෝධිශ යන රජුන් එකිනෙකාට සහෝදර සහායක යන්ය. ඔවුන් මෙම ප්‍රථම කල්පයේ රජවරුන්වේ. මෙම සුද්ධෝදන රජුට ඔහු ඉපදී අවුරුදු අටක් ඉක්මගිය කල්හි මෙවන් අදහස් පහක් පහළ විය. එම අදහස් පහ මෙසේ.
- මාගේ පිය රජතුමා මා රාජ්‍යයේ අභිෂේක, කරන්නේ නම් මැනවි.
- එසේ වූ කල්හි මට එම රාජ්‍යයෙන් මහත් ප්‍රයෝජන වන්නේය.
- කිසියම් බුදුවරයෙකු එසේම මාගේ විජිතයේ උපදින්නේ වේද එය ඉතාම යහපත්වේ.
- එසේම එම උත්තමයාණන් වහන්සේ මට ප්‍රථමයෙන් දක්නට ලැබෙන්නේ නම් එයද අතිශය යහපත්ය. නැත හොත් ඒ උත්තමයාණෝ මාගේ රාජ්‍යට පැමිණෙන්නාහු නම් යහපත්ය.
- ඒ උත්තමයාණන් දේශනා කරණු ලබන්නාවූ ධර්මය මට අවබෝධ කර ගැනීමට ලැබෙන්නේ නම් මැනවි.
මේ ආකාරයෙන් එම බිම්බිසාර මහරජතුමාට මෙවන් පස්විධ අදහසෙක් ඇතිවී.
බිම්බිසාර රජ ඉපදීමෙන් පස්වන අවුරුද්දේදී ඔහුගේ පියරජු මළ හෙයින් එම අභාවයෙන් පසු බිම්බිසාර රජු එම රාජ්‍යයෙහි අභිෂේක කරවීය. මෙම අවදියේදී මෙම රමණීය දිවයිනෙයි අප ලෝක නායක යාණෝ ඉපදුන සේක. ඒ තථාගත සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ පළමුවෙන්ම බිම්බිසාර රජතුමා දැකීමට[9] වැඩි සේක. උන්වහන්සේ බිම්සාර රජුට ධර්මය දේශනා කළ අතර රජතුමාට ධර්මාවබෝධය ඇතිවිය. මෙම සිද්ධාර්ථ කුමාරයන් නිත්‍ය වශයෙන් ම බුද්ධත්වය අවබෝධ කරනු ලැබුවේ ඔහු ඉපදීමෙන් තිස්පස්වැනි වසරේදීය. මේ වනවිට බිම්සර රජුගේ වයස අවුරුදු තිහක් පමණවිය. මේ නිසා සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේත් බිම්බිසාර රජතුමාත් අතර අවුරුදු පහක වෙනසත් ඇත. බිම්බිසාර රජතුමා අවුරුදු පණස්දෙකක් (52) රාජ්‍යය කළේය. මෙයින් තිස්හත් වසරක්ම බුදුරදුන්ගේ ජීවමාන කාලයෙහි රාජ්‍ය කෙරීය. මෙයින් පසු රජවූයේ ඔහුගේ පුත් අජාතසත්තුය.
අජාසත් රජතුමා රජගහනුවර අවුරුදු තිස්දෙකක් රජ කළේය. එම අජාසත් රජුගේ අටවන රාජ්‍ය වර්ෂයේ ඒ තථාගත බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පෑ සේක. ඒ ලෝක නායකයාණන් වහන්සේ පිරිනිවීමෙන් පසු අවුරුදු විසිහතරක් අජාසත්[10] රජතුමා රාජ්‍යය මෙහෙය වීය.
මෙම රජු පිළිබඳව ම: ව: නොදැක්වේ. රජුන් 28ක සංඛ්‍යාවක් ගැනෙන්නේද මෙම රජු සමගය. මෙහි එන ජුතින්දර නාමයද ම: ව: නොදැක්වේ. සාගර, නමින් හා දේව, ම: ව: නම් දෙකක් වෙන් කොට දක්වා ඇත. නමුත් මෙහි, සාගර දේව අයෙක් වශයෙන් දක්වා ඇත. ↑
එකල කොටිය කියනුවෙන් හඳුන්වා ඇත්තේ මෙකල දස ලක්ෂය බව මෙම චක්‍රයෙන් පෙනී යයි. ↑
මෙම ගණිත චක්රයන් පිළිබඳව මහාවංශයේ හෝ ථූපවංශය ඇතුළු වෙනත් වංශ කථාවක දක්නට නොලැබේ. ↑
ජාතක කථා අටුවාවේ මොහුගේ ළමාකාලයේ අවුරුදු 4000ක් වශයෙන්ද තරුණ, මැදිවිය මහළු විය, අවුරුදු 84000 දක්වා බැගින්ද තිබූ බව පෙන්වාදී තිබේ. ↑
ඍග්වේදයේ විශ්වශ්යා-භුවනශ්යා රාජා යනුවෙන් චක්‍රවර්තී රජු ගැන කියා ඇත. තවත් තැනක හිමාලයේ සිට සමුද්රයතෙක් චක්‍රවර්ති රජුට අයත් බව දක්වා ඇත. ↑
පූර්ව වෛදික යුගයේ හා අපර වෛදික යුගයන්හිත්, ආරණ්‍ය උපනිෂද් යුගවලදීත් වේදග්රන්ථයන්ගේ හා පුරාණ ග්රන්ථයන්ගේත් රාමායන ආදී ග්රන්ථයන්ගේත් සඳහන් වන ඉංදියාවේ ප්‍රාදේශීය රාජ්‍ය මේවා බව පෙනේ. ආර්යයින් ඉංදියාවට පැමිණීමෙන් පසු මෙම කුඩා රාජ්‍ය උතුරු ඉංදියාවේ සාරවත් ප්‍රදේශවල ඇතිවූ බව පෙනී යයි. ↑
වේභාර; වේපුල්ල; ගිජ්ඣකූට; ඉසිගිලි; පාණ්ඩව; යන පර්වත පහය. ↑
මෙම “බෝධිශ” නාමය ම: ව: නැත එහෙත් මෙය බොහෝ බෞද්ධ ග්‍රන්ථවල ඇත. ↑
සිද්ධාර්ථ තවුසාණන් බුදුවීමට යාමට පෙරද බිම්බිසාර රජු හමුවූ බව මහාවග්ගපාලියේ දක්වා ඇත. එසේම බිම්බිසාර රජු හා සිද්ධාර්ථ තවුසානන්ද කුඩා කල පටන්ම මිත්‍රයන් බවද මඃ වඃ දක්වා ඇති අතර ඔහුට මහානාරදකාශ්යප ජාතකය දේශනා කල බව ද දක්වා ඇත. (මඃ ව. 2 පරි) ↑
අජාත+සත්තු - පාලි ‘සත්තු’ ශබ්දයෙන් සතුරා ගැන කියයි. අජාත - නූපන්, සත්තු - සතුරා } නූපන් හතුරා. අජාසත් ඉපදීමට පෙරම දේවියට ඇතිවූ දොළදුක අනුව ඔහු පියා මරණ බව දෛවඥයින් ප්‍රකාශ කරන ලදී ඒ නිසාම ඔහුට උපන් පසු අජාසත්තු (අජාසත්) යන නාමය තැබින. ඒ අනුව ඔහු පසු කාලයේ පියා මරා දමන ලදී. දේවදත්ත වැනි නරක මිතුරෙකු ඇසුරු කිරීමට වීම නිසා ඔහු මෙවැනි තත්වයකට පත්වන්නට ඇත. මනෝවිද්‍යාව අනුවද තමා ඇසුරු කරන ශිෂ්‍ය අනුකරණය තුළින් ජීවිතය හොඳ හෝ නරක දෙසට ගමන් කරන බව පෙනේ. පසුකාලයේ බුදුන්වහන්සේ ඇසුරුකිරීම නිසා අජාසත් යහපත් විය. ↑