සිංහල දීපවංශය

2 වන පරිච්ඡේදය

ඒ සම්‍යක් සම්බුද්ධ රාජයාණන් වහන්සේ සවනක් බුදුරැස් විහිදුවමින් මෙම අවදියෙහි කොසොල් රටේ ප්‍රධාන නගරයවූ සැවැත් නුවර සුදත් මහා සිටුවරයාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ විසූ සේක. එසේ වැඩ වසන කල්හි උන්වහන්සේ ලෝකය දෙස බලන්නේ උතුම්වූ ලක්දිව දුටහ. මෙයට පෙර උන්වහන්සේ විසින් මෙම ලක්බිමෙහි විසුවා වූ චණ්ඩ, පරුෂ යක්‍ෂයන් පහකර දැමීම පිණිස පැමිණෙන ලදී. එසේ පැමිණ මෙය සැපදෙන්නාවූ දිවයිනක් බවටද පත් කෙරින. මෙයින් පසු ලක් පොළෝ තළයෙහි ගංගාධාරයන් හා මුහුදු වෙරළාසන්න පෙදෙස් උපනිශ්‍රය කර ගනිමින් ක්‍රෝධයෙන් නැගී සිටි දෙකොටසක්ව සටන් කිරීමට සටන් බිමට පිවිසියා වූ නාගයන් දමනය කිරීම පිණිස බුද්ධත්වයෙන් පස් මසක් ඉක්ම වීමෙන් තම්බපණ්ණි දේශයට වැඩිසේක.

එකල ලක්දිව මෙසේ සටන් වැදුනාවූ යක්‍ෂයෝ මහත් සෘද්ධිබලයෙන් යුක්ත වූවාහුය. එසේම මෙම නාගයෝද මහත්සේ විෂ ඇත්තෝය. සියල්ලෝම මහත්වූ ක්ලේශයන් ගෙන් ගහනවූවාහු වෙත්. තවද චණ්ඩ පරුෂ ගතිවලින් යුක්තය. මානය නමැති ජලයෙන් තෙමන ලද්දාවූ ඔවුහු ද්වේෂයෙන් අගතැන් පත්වූවෝ වෙත්. මහත් තේජෝ බලපරාක්‍රමයෙන් යුක්තව දෙකොටසක් ව මෙම නාගයෝ තම විරුද්ධවාදී නාගයන් විනාශ කිරීමේ අරමුණින් මහත් මානයෙන් මිරිකුණාවූ වෙත්. මෙයින් මහත් තේජසින් යුත් මහෝදර හා මහත් බලසම්පන්නවූ චූලෝදරද වෙත්. එම නිසා දෙදෙනාගේ ම බලපරාක්‍රමයන් පිළිබඳව මෙහිදී වර්ණනාකළ යුතුය. මහත්වූ තෙදවත් මානයෙන් ඉදිමුනාවූ මහෝදරයන් තමාට වඩා උසස් අනෙකෙක් නැතැයි සිතයි. තමා හා සමානයෙක් නැතැයි ද කල්පනා කෙරෙයි. ඔහු විසින් සියළු නාගයන් පමණක් නොව සියළු පර්‍වත ද මුළු දිවයිනද වනසන්නෙමැයි කල්පනා කෙරේ. එසේම බහුමානයෙන් අගතැන්පත්වූ චූලෝදර ද අනික් පස සිට ගර්ජනා කරනු ලබයි. ඔවුහු මෙසේ ගර්ජනා කරන්නාහුය.

“ලක්‍ෂ කෝටි සංඛ්‍යාත නාගයෝ මෙහි පැමිණෙත්වා මෙම යුධබිම මැදට පිවිසියාව සියළු නාගයන් මම විනාශ කරමි. තවද යොදුන් සියයක් ඇති මෙම දිවයින මම නාග මලසිරුරු වලින් ගොඩ කරමි.”

ආදී වශයෙනි.

මහත්සේ කුපිතවූ ඔවුහු විෂ වේගයෙන් අනූනවූවෝ වෙති. මහත් සෘද්ධි බලයන්ගෙන් ගහනවූ ඔවුහු ක්‍රෝධයෙන් දිලිසෙති. මෙසේ ක්‍රෝධයෙන් මුලාවූ නාගයෝ යුද්ධයක් කොට රට විනාශ කරන්නට උත්සාහ කෙරෙති. ලෝකාර්ථ චාරීවූ සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ මේ නාගයන්ගේ අදහස් හේතු විරහිත බව දැන ගත්සේක. ඔවුන් යුද්ධ කළහොත් යුද්ධයෙන් විනාශවන බව සිතා ඔවුනටද දෙවියන් සහිත ලෝකයාටද මහත් සැප ගෙන දෙන්නෙමැයි සිතුහ.

“අද මා ලක්දිවට යා යුතුය. එසේ නොයන්නේනම් ලක්දිව සියළු නාගයෝ වැනසෙත්. මම නාගයන් කෙරේ හිතානුකම්පාවෙන් ලක්දිවට යන්නෙමි” යි

ලක්දිවට යාමට සිතුසේක.

“ලක්දිව උතුම් බව නිසා මෙයට පෙර මා විසින් යකුන් පන්නා දැමිනි. ඒ අනුව එම දිවයිනට යහපතක්ද කරන ලදී. එම නිසා මේ අවස්ථාවේදී ලක්දිව නාගයෝ විනාශ නොකෙරෙත්වා.”

යනුවෙන්ද බුදුරජාණන් වහන්සේ සිතු සේක. මෙලෙසින් සිතු බුදුහිමියෝ හුන් අසුනින් නැගී ගන්‍ධකුටි විහාරයෙන් නික්ම විහාර දෙරටුව අසලට වැඩියහ. එම අවස්ථාවේ දෙව්රම අරක්ගෙන සිටි සියළුම දෙවිවරු උන්වහන්සේට උපස්ථාන පිණිස පැමිණියහ. බුදුහිමියෝ එම දෙවිවරුන්ට මෙසේ වදාළෝ.

“මාහට මෙම අවස්ථාවේ ඔබ සියල්ලන් අවශ්‍ය නොවේ. මට සමිද්ධි සුමන පමණක් ප්‍රමාණවත්වේ. අන් අය නවතින්න. කිරිපලු නුගරුක පමණක් රැගෙන සමිද්ධි සුමන මාපසුපස එන්න.”

යනුවෙනි.

බුදුරජාණන් වහන්සේගේ වචන ඇසූ. සමිද්ධි සුමණ[1] දෙවියන් කිරිපළු නුගරුක මුලින් ගලවා ගෙන තථාගතයන් වහන්සේ සමඟ ගියේය. මහත් සෘද්ධි බලයෙන් යුත් එම මහා සමිද්ධි සුමන දෙවියන් විසින් මිනිසුන්ට උතුම්වූ තථාගතයන් වහන්සේට සෙවන ගෙනදෙන ආකාරයෙන් එම කිරිපළු රුක ඔසවා ගෙන යනලදී. සියලු සත්වයන්ට ප්‍රධානවූ සියලු සත්වයන් කෙරේ දයානුකම්පා ඇති ඒ තථාගතයන් වහන්සේ යම්තැනක නාගයන් යුද්ධයට සූදානම්ව සිටියේ ද? එම ස්ථානයට වැඩි සේක. දෙපිරිස සටනට සැරසී සිටි ස්ථානයේ අහසෙහි මැද සිටි උන්වහන්සේ ඔවුන්ගේ මැද සිට මහත් අන්‍ධකාරයක් මැවූ සේක. ලෝක නාථයන් වහන්සේ ගේ ඉඳුබල මහිමයෙන් මැවූ එම අඳුර නිසා එම අවස්ථාවේ මුළු ලක්දිවම ඒකාන්‍ධකාරයෙන් වැසී ගියේය. දැන් නාගයන්ට ඔවුනොවුන් නොපෙනේ. ඔවුනොවුන්ගේ දුනු හී ද නොපෙනුනි. නාගයන් එම අවස්ථාවේ භයින් තැති ගත්හ. මෙම හේතුව නිසා කෙසේ නම් සටනක් කරන්න දැයි ඔවුහු සිතූහ. නැවත ඔවුනට ආලෝකයක් ලැබුණි. ඒ හා සමඟම ඔවුහු බුදුන් දුටුහ. ඒ අවස්ථාවේ සියල්ලෝම ආවුධ බිම හෙළුවෝ ය. එසේ ආවුධ බිම හෙළූ ඔවුහු බුදුන් වහන්සේට නමස්කාර කෙරෙන්නේ උන්වහන්සේ ඉදිරියේ ඇඳිලි බැඳ සිටියාහුය. නාගයින් බියෙන් බියපත්ව ලොමු ඩැහැගත් ගතින් යුතුව සිටිනු තථාගතයන් වහන්සේ දුටුසේක. ඔවුන් කෙරේ මෙත්සිත් පතුරුවාලූ ඒ ලෝකනාථයන් වහන්සේ ඔවුන් උණුසුම් කිරීම සඳහා උණුසුම් රශ්මියක් විහිදවූ හ. ඒ සමඟම මහත් ආලෝකයක් ඇතිවිය. එයින් ප්‍රීතිමත් ලොමු ඩැහැගැන්මක් ඇතිකිරීමට හේතුවක් වූයේය.[2] මෙම අවස්ථාවේ අහසේ චන්‍ද්‍රයා මෙන් බබලන බුදුරජාණන් වහන්සේ ඒ නාගයන් සියළු දෙනාටම පෙනේ. උන්වහන්සේ ගෙන් දසදිසාවන්හි සවනක් බුදුරැස් විහිදෙන්නටවූ. ඒ සමගම ඒ තථාගතයාණෝ මෙසේ වදාළෝ.

“මහරජ: මම නුඹලාගේ මෙම මහා කොළහලය දැක නුඹලා කෙරේ දයානු කම්පාවෙන් යුතුව දඹදිව සිට මෙහි පැමිණියෙමි.

කුමණ හේතුවක් නිසා නාගයන් අතර මෙම කොළහලය ඇතිවීද?”

“මේ දෙදෙන මාමාද බදනාද වේ. මේ සිටින්නේ ථූලෝදර නාගයායි. අනෙක් පසින් සිටින්නේ මහෝදර නාගයාය. දෙදෙනා අතර මේ සටන හටගෙන ඇත්තේ ධනය නිසාය.”[3]

ඒ දයාණු කම්පාවෙන් තොරවූ චණ්ඩනාගයන්ට බුදුහු මෙසේ වදාළහ.

“මෝඩයාට ක්‍රෝධය අල්පව ඇතිවේ. එසේ අල්පව ඇතිවූ ක්‍රෝධය පසුව මහත්බවට යයි.

“නාගයිනි! කුමක් නිසා තෙපි, මේ සුළුපළඟක් හේතුකොට ගෙනදුකට ව්‍යසනයට පත්ව විනාශ වන්නාහුද? මේ නිසා තෙපි විනාශ නොවව්. ඔවුනොවුන් හා ඔවුනොවුන්ගේ ජීවිතයන් විනාශ නොකරව්.”

යනුවෙන් වදාළ බුදුහිමි පාණෝ එම අවස්ථාවේ ඔවුන් අපායභයින් බියපත්කොට වදාළහ. සියළු නාගයෝ මෙයින් සංවේගයට පැමිණියාහුය. මේ අවස්ථාවේ තථාගතයනෝ බුද්ධ වචනයෙන් ධර්මය ප්‍රකාශ කරන්නාහු මනුෂ්‍ය ආත්මයේ ස්වභාවය පිළිබඳවද දිව්‍ය ආත්මය පිළිබඳවද, නිර්වාණයේ යථාර්ථ ස්වභාවය පිළිබඳවද ධර්මය දේශනා කළහ. එම ධර්මදේශනාවසානයෙහි දෙපිලක්ව සිටි නාගයන් එක්සත්ව සමගියෙන් යුතුව බුදුන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටුනි. එසේ වැඳ වැටුනාවූ ඔවුහු බුදුන් වහන්සේගෙන් සමාව අයැදියහ. මැණික් පුටුවක් නිසා සියල්ල දිවිදීමට පැමිණියත් සිදුවූයේ අනෙකකි. එම අවස්ථාවේදී නාගයන් සහිත අසූ කෝටියක් සත්වයෝ සියලු දෙන බුදුන් සරණ ගියාහුය. මෙසේ සමගි දහමෙහි පිහිටියාවූ එම නාගයන් විසින් මැණික් වලින් නිර්මාණය කරන ලද අසුන ඔසවාගෙන විත් බුදුන් වහන්සේ ඉදිරියේ තබා මෙසේ කියන ලදී.

‘ශ්‍රමණ බවත් තථාගතයන් වහන්ස. ඔබ වහන්සේ අප වෙනුවෙන් අනුකම්පා කරන සේක්වා. මෙම මැණික් ආසනය ඔබ වහන්සේ පිළිගනිත්වා.’ යනුවෙනි.

ඒ උතුම්වූ තථාගතයාණෝ නිහඬ භාවයෙන් යුතුව එය පිළිගත් සේක. එම අවස්ථාවේ දෙකොටසම අයත් නාගයෝ මහත් ප්‍රීති ප්‍රමෝද්‍යයෙන් ඉපිලුනාහුය. එම අවස්ථාවෙහි මනා ලෙස රැස් විහිදෙන්නාවූ නාගයන් මහත්සේ ලොබ බැඳගත්තා වූ එම මැණික් පළඟෙහි බුදුන් වහන්සේ වැඩ සිටිත්වා යි; නාගයෝ එම අසුන ගෙනවුත් එම දිවයින මැද තැබුවාහුය. ඒ දම්රජාණෝ එකල බුදුරැස්මාලා විහිදුවමින් එම අසුනෙහි වැඩ සිටි සේක. එදින බුදුරජාණන් වහන්සේ අසූ කෝටියක් පමණ නාගජනයා බුද්ධ ශාසනයෙහි පැහැදවූ සේක. එසේ පැහැදුනාවූ නාගයෝ එහිදී ඒ තථාගතයන් වහන්සේට නොයෙකුත් ආහාර පානාදියෙන්[4] සංග්‍රහ කළාහුය. වළඳා අවසන්වූ කල්හි ඒ අසුකෝටියක් නාග සමූහයා බුදුන් වහන්සේ පිරිවරා සිටියහ.

මෙම අවදියෙහි කැළණි ගඟ මුවදොර සමීපයෙහි දු දරුවන් හා මහා නාග පිරිස් සහිතව මණිඅක්ඛිත නම් නාග රජෙකු විසීය. එම නාගරාජයා ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් යුක්තවූ අතර යහපත් දැකීමක් ඇති අයෙකි. මොහුද එම නාග සංග්‍රාමයට නාගදීපයට ගොස් සිටියේය. මෙහිදී බුදුන් වහන්සේගේ බලය කෙරෙහි ඔහු මහත්සේ පැහැදී සිටියේය. ඔහු ක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේගේ ආසනය වෙත ළඟාවී බුදුන් වහන්සේ වැඳ උන්වහන්සේ ගෙන් මෙම ඉල්ලීම කළේය. ‘මහාමුනීන්‍ද්‍ර වූ භාග්‍යවතුන් වහන්ස: ඔබ වහන්සේ මෙම ලක්දිව කෙරේ අනුකම්පාවෙන් පළමුව යක්‍ෂ දමනයට වැඩි සේක. දෙවනුව මෙම අවස්ථාවෙහි නාගයන්ගේ බස අනුග්‍රහය සඳහා වැඩිසේක. එනිසා තෙවන වරටද අප කෙරේ අනුකම්පා කර අප සිටින කැළණියට වඩින්නේ නම් මැනවි. මම සියළු වතාවත් හා උපස්ථානද කරන්නෙමි’ යනුවෙන් කියා සිටියේ ය.

සියළු සත්වයන් කෙරේ අනුකම්පා දයා පර්වෂවූ බුදුරජාණන් වහන්සේ ලක් දනන්ගේ හිතසුව පිණිස එම මණිඅක් නාරජුන්ගේ පිළිගෙන වදාළහ. එතැනින් නැගී සිටි ඒ ප්‍රභාශ්වරවූ මහාමුනීන්‍ද්‍රයන් වහන්සේ ඒ නාගදීපය මධ්‍යයෙහි බද්ධ පර්යඞ්කයෙන් යුතුව දිවා කාලය ගත කළ සේක. මනුෂ්‍යයන්ට අගතැන්පත් උන්වහන්සේ එම නාගදීපය මැද පලක් බැඳගෙන බ්‍රහ්ම විහාරි සමාපත්ති සුවසෙන්[5] යුතුව එදින ගත කළහ. එදින සවස්යාමයේ ඒ ජිනෙන්‍ද්‍රවූ තථාගතයන් වහන්සේ නාගයන් අමතා මෙසේ වදාළ සේක.

‘සියළු නාගයිනි: ඔබ විසින් මට මෙහිදී පූජාකරනලද මෙම මිණිපළඟද කිරිපළු නුගරුකද මා විසින් පරිහරණය කරන ලදී. එහෙයින් තොප මෙම කිරිපලු නුගරුකටද මැණික් අසුනටද මාගේ පාරිභෝගික වස්තුවක් වශයෙන් නමස්කාර කරව්.’

මෙසේ නාගයන්ට අනුශාසනා කළාවූ උන්වහන්සේ ඔවුනට වන්‍දනාමාන කිරීමට චෛත්‍යයක්[6] ද දී නැවතත් දෙව්රම් වෙහෙරටම වැඩිසේක.

මණිඅක්ඛිත නාරජුගේ ඉල්ලීම අනුව බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයෙහි ඒ මහා වීරයාණන්වහන්සේ පන්සීයක් භික්‍ෂූන් වහන්සේ සමඟ සෘද්ධි බලයෙන් අහසට පැන නැගී මෙහි වැඩිසේක.[7] අනුක්‍රමයෙන් පැමිණියාවූ ඒ තථාගත සර්‍වඥයන් වහන්සේ (දැනට කැළණි විහාරය පිහිටි) කැළණිගඟ සමීපයට වැඩිසේක. මෙම අවස්ථාවෙහි නාගයෝ මහ පොළවෙහි රනින් කරනලද ආසන පැනවූහ. ඒවාට නොයෙක් ආකාරයේ දිව්‍ය වස්ත්‍රද එලූහ. එම ආසන නොයෙක් රත්නයන් ගෙන්ද, විවිධ අලංකාර මල්වලින්ද සැරසුහ. ඔවුන් විසින් විසිතුරු කොඩි වැල් ඇද අලංකාර කරන ලද මණ්ඩපයක් ද තනන ලදී. මේ ආකාරයෙන් ආසන පනවා ථවායෙහි නානාවර්‍ගයෙන් සැදුම් ලත් රෙදි අතුරුවා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සියළු භික්‍ෂු සංඝයා එහි වැඩමවා අසුන්ගත කරවූහ. එම අවස්ථාවේ බුදුන් වහන්සේ ඒ පන්සීයක් භික්‍ෂු සමූහයා සමඟ සමවත් සුවයට සමවන්සේක. එසේ සමාපත්තීන්ට සමවැදුනා වූ ඒ බුදුන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සියළු දිසාවන්ට මෙත් සිත් පැතිරවූ සේක. මේ ආකාරයෙන් ඒ සම්‍යක්සම්බුද්ධ රාජයාණන් වහන්සේ පන්සීයක් රහතුන් වහන්සේ පෙරදැරිව මෙත්සිත් පතුරුවමින් සත්වරක්[8] සමවතට සම වන්හ. එසේ එහි සමාපත්ති සුවයට පිවිසියේ එහි කැළණි මහාථූපය පිහිටතීයි උන්වහන්සේ දිවැසින් දුටු හෙයිනි. නාගයන්ගේ පළමු පූජා සත්කාරයෙන් අනතුරුව: බුදුන් වහන්සේ ඇතුළු මහසඟරුවනට මණිඅක්ඛික නාගරාජයාණන් විසින් මහාදානයක් පිරි නමන ලදී. මහසඟණ ඇතුළු බුදුන් වහන්සේ එම දානය පිළිගත්සේක. උන්වහන්සේ දන් වළඳා අවසානයෙහි භුක්තානුමෝදනාව[9] කළහ. එසේ භුක්තානුමෝදනාව කළාවූ භාග්‍යවතුන් වහන්සේ සිය ශ්‍රාවකයින් වහන්සේලාද සමඟ දීඝවාපියට[10] අහසින් වැඩිසේක. එහිදී අහසින් බැස දීගාවැව චෛත්‍යස්ථානයේ දැහැන් සුවය පිණිස සමවතට සමවන්සේක. ලෝක සත්වයන් කෙරේ අනුකම්පා පෙරදැරිවූ තථාගත බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලා සමඟ සමවතින් නැගී සිට අනුරපුර මහමෙවුනා උයනෙහි ශ්‍රීමහා බෝධීන් වහන්සේ පිහිටන ඒ ස්ථානයට වැඩියහ. මෙයට පෙරද මෙම ස්ථානයෙහි තුන් මහා බුදුවරයන් වහන්සේලාගේ[11] ශාසනය. මෙහි පිහිටි කාලයන්හි උන්වහන්සේලාගේ තුන්මහා බෝධීන් පිහිටියේ මෙහිය. මෙහිදී අනාගතයේ මාගේ බෝධියද මෙහි පිහිටන්නේ යයි උන්වහන්සේ වදාළෝ. එහිද සමවත් සුවයෙන් ගත කළ තථාගතයන් වහන්සේ ඉනික්බිතිව ශ්‍රාවකයන් වහන්සේලාද සමඟ සමාපත්තියෙන් නැගී සිට මහමෙවුනා උයන යම් තැනක වේද එතැනට පිවිසියහ. එහිදී ද පූජනීයස්ථාන පිහිටන තන්හි සමවත් සුවයෙන් ගත කළ සේක. එයින් පසු සමාපත්තියෙන් නැගීසිටි උන්වහන්සේ මෙසේ වදාළහ[12]

“පළමුවෙන් මෙහි මෙම ආසනය පිහිටි ස්ථානයේ කකුසඳ බුදුන් සමවත් සුවයෙන් ගත කෙරීන. දෙවනුව මනුෂ්‍යයන් ගේ නායකවූ කෝණාගම බුදුරදුන් මෙම අසුනෙහි සමවතට සම වදින ලදී. තෙවණුවද ලෝකනායකවූ කාශ්‍යප බුදුරජුන් මෙම අසුනෙහි සමවතට සම වැදින. සිව්වැනිව ගෞතම සාක්‍ය පුත්‍රවූ ජනනායකයින් වහන්සේ වන මම මෙම අසුනෙහි වැඩ හිඳ සමවතට සම වැදුනෙමි.”

යනුවෙන්ද වදාළසේක.

  1. සමිද්ධි සුමණ වෙනත් ආත්මයක නාගදීප වැසියෙක් බව ම: වං: දක්වයි (ම.ව.1) ↑

  2. මෙවන් විස්තරයක් ම: වං: දක්නට නොලැබේ. ↑

  3. ම: ව: මෙවැනි විවාදාත්මක ස්වරූපයක් දක්වා නැත. එහි ඇත්තේ බුදුන් වහන්සේ දම් දෙසූ බව පමණකි. ↑

  4. මෙහිදී ම: ව: නාගයන් දිව්‍ය ආහාර පිදූ බව දක්වා ඇතත් මෙම කතුවරයා යථාර්ථවාදීව කරුණු දක්වා ඇති බව පෙනේ. ↑

  5. මෙත්තා: කරුණා: මුදිතා: උපෙක්ඛා ඇතුලත්වන සතර බ්‍රහ්ම විහාරණයයි. ම: ව: මේ පිළිබඳවව නොදැක්වේ. ↑

  6. ශාරීරික: පාරිභෝගික: උද්දේසික: වශයෙන් චෛත්‍ය තුනකි. ↑

  7. ම: ව: වෙසක් මස පුරපසලොස්වක් දින වැඩි බව සඳහන් කර ඇත. (ම.ව. පරි. 1) ↑

  8. මඃ වඃ සත්වරක් සමවතට සමවත් බවක් සඳහන් නොවේ. ↑

  9. මෙහිදී නාගයන්ට දෙසූ ධර්‍මය පිළිබඳව සමන්තකූට වර්‍ණනාවේ සවිස්තරව දක්වා ඇත. (ස. කූ. ව. 705-716 ගාථා) ↑

  10. මඃ වඃ ඇතුළු වංශ කථා කීපයකම බුදුන් දීඝවාපියට වැඩීමට පෙර සමන්ගිරට වැඩ එහි සිරිපා පිහිටවූ බවත් එම පර්වත ප්‍රාන්තයෙහි දිවා විහරණය කළ බවත් සඳහන්වේ. ↑

  11. කකුසඳ: කෝණාගම: යන තුන් බුදුවරුය. ↑

  12. මහාවංශයේ මෙම සමවත් ස්ථානයන් පිළිබඳව දැක්වේ (ම: වං: පරි 79-83 ගාථා) ↑