සිංහල දීපවංශය

1 වන පරිච්ඡේදය

ඒ අරහත් සම්‍යක් සම්බුදුරාජාණන් වහන්සේට නමස්කාරවේවා.

පාලි දීපවංශය ඇසුරු කරමින් එහි එන කිසිදු අදහසකට බාධාවක් නොවනසේ සමහර කරුණු සවිස්තරවද සමහර කරුණු සංක්ෂිප්තවද ඉදිරිපත් කර ගනිමින් සිංහල දීපවංශය රචනා කරමි.

පළමුවෙන්ම මෙහිදී අප සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ ලංකාවට වැඩි ආකාරය විස්තර කරමි. අනතුරු උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩම කරවීම පිළිබඳ කථාවද; උන්වහන්සේට බුදුවීමට ආධාර වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැඩම වීම පිළිබඳ කථාවද ගෙනහැර දක්වමි. එසේම විජය කුමරු මෙහි පැමිණ ලක්බිම සිය නිජබිම කර ගැනීම පිළිබඳ විස්තරය ද; ලක්පොළවෙහි බුදුසසුන ස්ථිරව පිහිටුවීම පිළිබඳ විවිධ සිද්ධීන්ද මෙහිදී ගෙනහැර දක්වමි.[1]

ලක් ජනතාවගේ ප්‍රීති ප්‍රමෝද්‍ය උපදවන්නා වූ එම අසිරිමත් සිද්ධීන් පිරුණු හද තුළ සනිටුහන් කර ගනිමින් මහත් සතුටු සිතින් අසන්නේ නම් මැනවි. එසේම මනාකොට සකස්කරන ලද මෙය නිවැරදි යහපත් මනසින් හා ඔදවැඩී ගිය ස්ථිරසාර සිතින් යුතුව පිළිපදින්න.

මෙහිදී විචිත්‍රාකාරයෙන් වර්ණනා කරනු ලබන්නේ බොහෝ දෙනා විසින් විවිධ අලංකාර මල් උපයෝගී කර ගනිමින් අත්‍යලංකාර කරන ලද මල්දමකට සමාන වූ විවිධාලංකාර කතාවන්ගෙන් සමුච්චින්න වූ අවිච්චින්නව ගලා එන වංශකථාවයි. එනිසා සියල්ලන්ගේ සිත්සතන් හා මනෝ භාවයන් එදෙසට යොමුකර අසන්න. එය ඉතා වැඩදායකය. තවද මෙය උපමා උපමේයන්ගෙන් ගහනය. එසේම මෙය උතුම් වූ විචිත්‍ර දේශකවරුනට විසීම සඳහා පවිත්‍ර වූ නිවහනකි. මෙහි අසත්‍ය බිඳකුදු නැත. සියල්ල සත්‍යයෙන් යුතුය.[2] ආර්යයින්ගේ ගමන පිළිබඳ විස්තර ද මෙහිදී දක්වනු ලැබේ. මනා සැකැස්මකින් හා උසස් ආකාරයෙන් වර්ණනා කෙරෙන්නා වූ එම කථාව ඉතා යහපත් ලෙස ශ්‍රවණය කරන්න.

අප තථාගත සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ උසස් අධිෂ්ඨාන ශක්තියකින් යුක්ත වූ සේක. ලෝකයේ බොහෝ මනුෂ්‍යයින් හා සත්වයින් කම්පාවන විවිධ දේ පිළිබඳව කිසි ලෙසකින් හෝ කම්පා නොවන්නේය. එසේම ලෝකයේ සියළු උතුම් පුරුෂයන්ට වඩා උන්වහන්සේ උතුම් වූ සේක. මාර දිව්‍ය පුත්‍රයා දසබිම්බරක් ස්වකීය වූ මාර පිරිස පිරිවරාගෙන උන්වහන්සේ වෙත පැමිණෙන අවස්ථාවෙහි බෝරුක් මුල පිහිටියා වූ වජ්‍රාසනයෙහි උන්වහන්සේ නොසෙල්වී වැඩ සිටි සේක.[3] බද්ධ පර්යංකයෙන් යුතුව විසූසේක. කේශර සිංහයෙකු බඳු උන්වහන්සේ තමන් ඉදිරියට දිව එන වසවර්ති මාරයා සහිත පිරිස දැකද පලා නොගිය සේක. උන්වහන්සේ සමඟ විවිධ උපක්‍රමයන් අනුගමනය කරමින් සටනට පැමිණි ඒ වසවත් මාරයා සහිත පිරිස උන්වහන්සේ පළවා හැරි සේක. සතුටු සිත් ඇත්තා වූ උන්වහන්සේ ජයග්‍රාහී ලීලාවෙන් යුතුව සියලු රාගාදී කෙළෙසුන්ගෙන් මිදී සමාධි ගත වූ සේක. භාවනාදී කර්මස්ථානයද මෙනෙහි කළහ. එසේම යෝනිසෝ මනසිකාරයද; ඇසුරු කළ යුතු බොහෝ ධර්මස්කන්ධයන්ද ඇසුරු කළ සේක. මේ ආකාරයෙන් පූර්වේනිවාසානුස්මෘති ඥානයද, දිව්‍යචක්ෂු ඥානයද; ලබාගෙන තුන්යම් රාත්‍රිය ගත කළ සේක. එයින් අනතුරුව පසුයම් කාලයෙහි තමන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ප්‍රත්‍යය ධර්මයන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළ සේක. ධර්මය මනාසේ අවබෝධ කොට මාර්ග භාවනාදියද වැඩූ සේක. ඒ අනුව නිවන් සුව පසක් කළ සේක. මෙසේ උන්වහන්සේ සර්‍වඥතාඥානය ලැබ බුදු වූ නිසා “බුද්ධ” යන නාමයෙන් පළමුවරට ප්‍රකට වූ සේක.

අප මහා තථාගතයන් වහන්සේ සියලු ධර්‍මයන් හි මනාසේ පිහිටා උදාන වාක්‍ය[4] ප්‍රකාශ කළහ. එසේ උදාන වාක්‍ය ප්‍රකාශ කළා වූ උන්වහන්සේ එම පර්යංකයෙහිම සත්දිනක් විසූ සේක. සියළු ආශාවන් ගෙන් මිදුනා වූ උන්වහන්සේ සිදුකරන ලද කටයුතු ඇති වූ සේක. සියළු ආශාවන්ගෙන් විනිර්මුක්ත වූ සන්තානයක් ඇති එම බුදු රද හු තුටු පහටු ඔද වැඩියා වූ සිතින් යුතුව බොහෝ දෙනාට වැඩ සලසන ආකාරය සිතූ සේක. සියලු ලෝසතුන්ට වැඩ සලසන්නා වූ ඒ සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ සියළු සත්වයන් කෙරේ පතළ කරුණාවෙන් යුතුව ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා ලෝකය බලන්නාහ. තවද පසැසින් සියළු සතුන් බැලූ සේක.

පතළ ඤැනින් යුතු ඒ සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ සියළු සතුන් කෙරේ කරුණාගුණෙන් යුත් ඤාණාලෝකය විහිදුවා දසත බලන කල්හි අතිශය උතුම් වූ ලක්දිව දුටුසේක. එසේ ලක්දිව දුටු උන්වහන්සේ ලංකාවේ පිහිටි යහපත් දේශගුණයන්ගෙන් හෙබි ප්‍රදේශත්; නොයෙක් මහාර්ඝ රත්නයන්ගෙන් පිරී ඇති බවත්; පෙර බුදුවරයන්ගේ පාදස්පර්ශය ලැබීමෙන් මනාසේ පිරිසිදුව ඇති සැටිත්; දානමානාදිය මනාසේ ලැබෙන ආකාරයත් දුටහ. එසේම මෙය ආර්‍ය්‍ය ගණයාගෙන් සැදුම්ලත් දිවයිනකි. කලට වේලාවට පැසෙන කෙත්වතු ද ඇත. ඒ සියළු ගුණාංගයන් ගෙන් හෙබි ලක්දිව කෙරෙහිත් එහි වසන්නාවූ සියළු සත්වයන් කෙරෙහිත් පතළ මහාකරුණාවෙන් යුතුව බැලූ උන්වහන්සේ මෙහි පැමිණීම සඳහා කල් නොකල් බලමින් සිටිසේක. මෙකල මෙම ලක්දෙරණ මත යක්‍ෂ රාක්‍ෂස අමනුෂ්‍යයින්ගෙන් හෙබි භූත වර්‍ගයෝ විසූහ. මෙම භූතයන් භාග්‍යවතුන් වහන්සේ විසින් පිළිකුල් කරන ලදී. එම නිසා මෙවැනි යහපත් දිවයිනක ඔවුන්ගේ බලය වනසා ලන්නට සිතූ උන්වහන්සේ මේ එයට සුදුසු කාලය යැයි සිතූ සේක. මේ යක්‍ෂයන් පිසාචයන් පැන්නීමට සුදුසු කාලයයි. අන්‍යය චණ්ඩ පරුෂ අමනුෂ්‍යයින් ද ලක්දිවින් බැහැර කළ යුතුය. තවද මෙම ලක්දිව මනුෂ්‍ය වර්ගයාට ආවේනික වූ ක්‍ෂෙම භූමියක් කොට මනුෂ්‍යයන් ගේම වාස භූමියක් කරවීම උන්වහන්සේගේ එකම අදහස විය. එසේම මෙහි මෙම පාපතර වූ යක්‍ෂයන් සිටින විට බුද්ධ ශාසනයටද අන්තරාය කර වන්නේය. යනුවෙන්ද කල්පනා කළ තථාගතයන් වහන්සේ ඔවුන් පලවා හැර සියළු සත්වයන්ගේම ප්‍රසාදය පිණිස ලක්දිව් වැසියන්ට ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්‍ගය දේශනා කරන්නෙමි යි, සිතූ සේක.

ඒ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඉන් අනතුරුව මෙසේද මෙනෙහි කළ සේක. අහස් කුසේ ඔබලන්නා වූ සූර්‍ය්‍යයා අවර දිගට යන්නේ යම්සේද? එසේම මම ද අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාන්නෙමි. එසේ මා පිරිනිවන්පා සාර මසකින්[5] ප්‍රථම සංඝායනාව සිදුවන්නේය. එයින් පසු ශාසනය බොහෝ කලක් පවත්වා ගෙන යාමට මෙය උපයෝගී වන්නේය. නැවත අවුරුදු සීයක් ඉක්මයාමෙන් පසු දෙවන ධර්‍ම සංඝායනාව[6] සිදුවේ. තවද ධර්‍මාශෝක රජුගේ දහ අටවන රාජ්‍යය වර්ෂයේ[7] තෙවන සංඝායනාව සිදුවන බවත් උන්වහන්සේ දුටුසේක.[8]

දඹදිව් තලයෙහි මහා තෙදවත් බවින් හා පිණින් අගතැන්පත් බොහෝ ඇසු පිරු තැන් ඇති; එසේම මහත් පතල වූ කීර්ති නාමයක් ඇති ධර්‍මාශෝක නම් රජෙකු අනාගතයේ උපදී. ඒ ධර්මාශෝකයනට පණ්ඩිත මානී වූ සියළු දේ දැනීමෙන් අගතැන් පැමිණියා වූ මහින්ද නම් වූ පුතෙකු ද උපදී. ඔහු පැවිදිව ලක් දිවට වැඩ ලක්දිව් වැසියන්ගේ හිත් පහදවන බවද උන් වහන්සේ දුටහ. උන්වහන්සේ බොහෝ දෙනාගේ හිතසුව පිණිස වූ මෙම කරුණු කෙරේ අවධානය යොමු කොට ලක්දිව ආරක්‍ෂා කොට වදාළහ. ඒ තථාගතයන් වහන්සේ ශ්‍රී මහා බෝධි මූලයෙහි පළමු සත්දින ගෙවූ සේක. ඉනික් බිතිව එයින් නැගී සිටි උන්වහන්සේ ශ්‍රී මහා බෝ සමිඳුන්ට මුහුණලා එයට උපහාර දැක්වීමක් වශයෙන් අනිමිස ලෝචන පූජාවෙන් දෙවන සත්දින ගතකළ සේක. තෙවැනි සත්දින දෙවියන් විසින් සකසා දුන් රුවන් අසුනෙහි වැඩ සිටියහ. අනතුරුව සිව්වන සත්දින උන්වහන්සේ ගතකළේ රුවන්ගෙහිය. පස්වනුව අජපල් නුගරුක මුලට වැඩි ඒ තථාගතයන් වහන්සේ ඊළඟ සත්දින එහි විසූහ. එම සත්දින අවසානයෙහි මහාවැස්සක් ඇතිවිය. එම අවස්ථාවේ එම ස්ථානයට පැමිණි මුචලින්ද නා රදහු උන්වහන්සේ සිය දරණ තුළ සඟවමින් වැසි සුළඟින් ආරක්‍ෂා කළහ. සයවන දිනහත ම ගතකරන ලද්දේ මුචලින්ද නාදරන සෙවනෙහිය. හත්වන සත්දින ඒ තථාගතයාණෝ වැඩ විසූ සේක් කිරිපලු නුගරුක් මුලය. මේ ආකාරයෙන් උන්වහන්සේ සත්සතිය ගෙවූ සේක. මෙසේ සති හතක් තුළ නොයෙක් ඵලසමාපත්තීන්ට සමවැදුනු, එයින් සමාපත් සුව විඳි ඒ මහා සර්වඥ වීරයාණන් වහන්සේ ස්වකීය පළමු දම්දෙසුම දෙසීමට කල්යල් බැලූහ.[9] අවසන් වශයෙන් පළමු දම්සක් පැවතුම් සූත්‍රය පස්වග මහණුන්ට දේශනා කිරීමට අදහස් කළ උන්වහන්සේ එම ධර්මය දේශනා කිරීම සඳහා බරණැස ඉසිපතනාරාමයට වැඩි සේක.

බරණැස ඉසිපතනයට වැඩි බුදුහිමිපාණෝ උතුම් වූ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළහ. එම ධර්ම දේශනයෙන් දෙවියන්; බ්‍රහ්මයන් මිනිසුන් සහිත දහඅට කෝටියකට පමණ ධර්මාවබෝධ වූහ. මෙහිදී අනාත්ම ලක්‍ෂණ සූත්‍රය දේශනා කරන ලදී. එම ධර්ම දේශනාව අවසානයෙහි කොණ්ඩඤ්ඤ; වප්ප; භද්දිය; මහානාම; අස්සජී යන පස්වග තවුස් හු රාගාදී කෙලෙසුන්ගෙන් මිදුනාහ. එයින් පසු තථාගතයන් වහන්සේ බරණැස ඉසිපතනයෙහිම වැඩ විසූ සේක. උන්වහන්සේගේ පළමුවන වස්විසුම සිදුවූයේ මෙම බරණැස ඉසිපතන යෙහිය. යසකුලපුත් ඇතුළු ඔහුගේ මිත්‍රයන්[10] සිව්දෙනා සසර භයින් මුදවන ලද්දේ ද මෙහිදීය. එම මිත්‍රයින් සිව්දෙනා ඇසුරු කළ ඒ අයගේ තවත් මිත්‍රයන් පණහක්ද උන්වහන්සේ සසර දුකින් එතර කළහ.[11] ඉසිපතනයේදී වස් පවාරණය කළ බුදුහිමියෝ කප්පාසික වනයට වැඩියහ. උන්වහන්සේට භද්දවග්ගිය කුමාර වරුන් තිස්දෙනා හමුවූයේ එහිදීය. ඔවුන්ටද දහම් දෙසා ඔවුන් ද සසර භයින් මිදවූ සේක.

කෙළෙසුන් දුරුකළා වූ ඒ තථාගතයන් වහන්සේ පිළිවෙලින් ගම් නියම් ගම් පසු කරමින් උරුවෙල් දනව්වට වැඩිසේක. එහිදී උරුවෙල් කාශ්‍යප දුටහ.[12] උන්වහන්සේට නැවතීමට හමුවූයේ එම උරුවෙල් කාශ්‍යප ජටිල වරයාගේ ගිනිහල් ගෙයයි. එහි මහා බලවත් නාගරාජයෙකු විය. බුදුහු එම නාගරාජයා දමනය කළහ. ආශ්චර්‍ය්‍ය ජනක වූ පුදුම සහගතවූ මෙම සිදුවීම දුටු බොහෝ දෙනා[13] “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස. මේ ශීත සිව්මස මෙහි වැඩ වසන සේක්වා; නිතිපතා අපි සියල්ලෝ ඔබ වහන්සේට බතින් සංග්‍රහ කරන්නෙමුයි කීහ.[14] ඒ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඔවුන්ගේ ආරාධනය පිළිගෙන එම ශීත සෘතුවෙහි උරුවේලාවෙහි වැඩ විසූ සේක. මෙම කාලයේදී උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිසට[15] අඟු, මගධ, දෙරට වැසියෝ මහායාගයක් සූදානම් කළාහු ය. මෙය මහා ලාභ සත්කාර ගෙන දෙන මහායාගයකි. බුද්ධියෙන් හීන වූ උරුවෙල් කාශ්‍යප තෙමේ ඒ මහා ලාභ සක්කාර දැක මෙසේ සිතී.

“සියළු කෙළෙසුන්ගෙන් මිදුනා වූ භගවත් තථාගත ගෞතමයෝ කෙළෙස් රහිත, හා කෙළෙස් සහිත තැනැත්තන්ගේ චරිත දනිති. ඔවුන්ගේ දසාකාර චිත්තවීථි ගමන්කරන ආකාරයද දනිති.” අන්සිත් - විමසීමෙහි නුවණක් ඇත්තා වූ බුදුරජාණන් වහන්සේ සිතින් සිත විමසා බලා උරුවෙල කාශ්‍යපගේ අදහස දැක එහිදී උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිසට දම් දෙසා ධර්‍මහි හික්මවූසේක.

ඉනික්බිතිව භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස අහසින් කුරු දිවයිනට වැඩ අනවතප්තවිල අසලදී පිණ්ඩපාත දානය වළඳා බොහෝ සත්වයන්ගේ හිතසුව පිණිස සමවතට සමවන්සේක. එයින් පසු ඒ ලෝකනාථ මුනීද්‍රයන් වහන්සේ ප්‍රබුද්ධ වූ බුදු ඇසින් මුළුමහත් ලෝතලය බලා වදාළහ. එම අවස්ථාවෙහි නිර්මලවූ ඒ ශාස්තෘන් වහන්සේ උතුම් වූ ලක්දිව දුටුසේක.

මෙම අවදියෙහි ලංකාදීපය දෙස දිවැසින් බැලූ උන්වහන්සේට මහ රුදුරු දැක්මෙක්වී. එනම් ලක්දිව මහමෙවුනා උයනෙහි[16] මනුෂ්‍යයන්ගේ මස් ලේ බුදින යක්‍ෂයන් රැස්වී සිටීමයි. මොවුන් චණ්ඩය: පරුෂය මොවුහු නිතරම හිස් වාචාල බස් දොඩවති. විවිධ මතයන්හි එල්බ ගත්තාවූ මොවුන් විවිධ අදහස්වලින් යුක්තය. මොවුහු සියල්ලෝ පරුෂ වදන් බෙණෙමින් මහා මේඝවන උයනට රැස් වෙමින් සිටිති. ඒ සම්මා සම්බුදු රදහු මෙසේ සිතූහ. “මා මෙම රකුසන් මැදට ගොස් එහිදී ඔවුන් වෙහෙසට පත්කොට ඒ සියලු අමනුෂ්‍යයන් ලක්දිවින් පළවා හැර මනුෂ්‍යයන්ට මෙහි ප්‍රධාන තැන දිය යුතුය. එවිට මනුෂ්‍යයන් මෙහි ප්‍රධාන ජන කොටස වේ.” යනුවෙනි. සියලු ජනයාගේ යහපත දකින්නාවූ බුදුරදහු බොහෝ දෙනාගේ යහපත පිණිස ඒ ගැනම මෙනෙහි කරමින් දඹදිවින් අහසට පැනනැගී ලක්දිවට වැඩිසේක. මෙසේ පැමිණියාවූ බුදුරජාණන් වහන්සේ යක්‍ෂයන් රැස්ව සිටි ස්ථානයෙහි අභ්‍යවකාශයෙහි යක්‍ෂයන්ට පෙනෙනසේ සම්කඩ[17] එලා එහි වැඩසිටි සේක. දැන් බුදුරජාණන් වහන්සේද සම්කඩද ඔවුන්ට පෙනේ. ඒ යකුන් සමූහයාට මෙසේ වැඩ සිටින්නාවූ බුදුරජාණන් වහන්සේ පෙනෙන්නේ ඒ වෙනත් බලවත් යකෙක් යයි ඔවුහු සිතූහ. උන්වහන්සේ කවරෙක්දැයි ඔවුහු නොදනිති. මහියංගන මහාසෑය පිහිටි ස්ථානයේ, මහවැලි ගඟ බඩ සුදුවැලිතලා සමීපයේ අහසෙහි වැඩසිටි උන්වහන්සේ දැහැන් සුවයට සමවන්සේක. මොහොතින් මොහොත එක් ධ්‍යානයකින් තවත් ධ්‍යානයකට එළඹෙමින් ඒ බුදුරදහු සෘධි ප්‍රාතිහාර්‍ය්‍යය දක්වති. ක්‍ෂණයෙන් ක්‍ෂණය, ඒ ඒ භවයන්ට අයත් චිත්තවීථින්ට සිය ධ්‍යානය යොමු කළහ. සමාධි චෛතසිකයන් ගෙන් පරතෙරට පැමිණියාවූ ඒ ධර්‍ම රාජ්‍යාණන් වහන්සේ වහවහා ධ්‍යානයන් ගෙන් මිදෙති. ඉවත්වෙති. මහත් සෘද්ධිබල ඇති උන්වහන්සේ මහත් සෘද්ධිප්‍රාතිහාර්‍ය්‍යය පාමින් සිටියදීම මහා වර්ෂාවක් ඇතිවිය. එයින් සිසිල් සුළඟ හැමතැන පැතිර ගියේය. මෙම අවස්ථාවේ බුදුන් වහන්සේ සිය මුව පියුම විවර කළ සේක. උන්වහන්සේ මෙසේ වදාළෝ.

“යක්‍ෂයිනි! මට මෙහි වැඩ සිටීමට ඉඩදෙව්. තොප සියල්ල උණුසුම් කිරීමට මට පුළුවන. එසේම තොපගේ මෙම උත්සාහය දුරුකිරීමේ බලයක්ද මට ඇත.”

යක්‍ෂයෝ මෙම අවස්ථාවෙහි මෙසේ කීහ.

“ස්වාමීනී; ඔබ වහන්සේට අපගේ වෙහෙස දුරුකිරීමට හැකිනම් ඔබවහන්සේම කැමතිසේ මෙහි වැඩ සිටින්න.[18] ඔබවහන්සේ ගේ තේජෝ ගුණය පහළ කරනු මැනවයි” ද සියල්ලන් විසින් කියන ලදී.

එම අවස්ථාවෙහි බුදුරදහු මෙසේ වදාළහ.

“මගෙන් පීඩාවට පත් තෙපි; මගෙන් උණුසුම ඉල්ලන්නාහුය. තොප මහත්සේ කැමති වන්නාවූ එම උණුසුම තොපට අවශ්‍ය පරිදි ඉතා ඉක්මනින් දෙමි.”

යම්සේ ග්‍රීෂ්ම මාසයන්හි මැදභාගයේ සූර්‍ය්‍යයා මුදුන්වූ කල්හි යම් උෂ්ණත්වයක් දැනේද? එබඳුවූ රශ්මියක් ඒ යක්‍ෂ සමූහයන්ගේ[19] කයෙහි පතිත විය. එසේම බුදුරජාණන් වහන්සේ සිටිතැන සිරස්පථයෙන් කල්පවිනාශ කාලයෙහි පායන්නාවූ සූර්‍ය්‍යයන් දෙදෙනෙකුගේ රශ්මියබඳු රශ්මියක් විද්‍යාමාන විය. අහසෙහි නැගුනාවූ සූර්‍ය්‍යයාගේ රශ්මිය වලකාලන්නට කිසිවකු නැත්තාසේ බුදුන් වහන්සේ අහසේ සිට විහිදුවන ලද්දව මෙම රශ්මිය වැලකීමට හෝ ආවරණය කිරීමට කිසිදුක්‍රමයක් නොවීය. බුදුන් වහන්සේ වැඩ සිටින සම්කඩ තුළින්ද කල්ප විනාශ කාලයේ ගින්නක් මෙන්ද, සූර්‍ය්‍යයාගේ රශ්මිය බඳුවූද තේජසක් පැතිර ගියේය. එසේම එයින් මහත් පීඩාදායකට ගිනිදැල් පැතිරෙන්නට විය. බුදුන්වහන්සේ වැඩහිඳි එම සම්කඩගිනිගෙන දිළිසෙන අඟුරු රැසක් බඳුය. තද රත්පැහැයෙන් දිළිසෙන සැඳෑ වලාකුලක් සේ පැන නැගේය එසේම එයින් අතිශය, පීඩාකරවූ දැඩි රශ්මියක්ද මතුවෙයි. එය නියම වශයෙන්ම ගිනිගෙන දැවෙන්නාවූ යකඩ පර්‍වතයක් සේ විය. මේ අවස්ථා වේදී නැගෙනහිර හා බටහිර දිසාවන්හිද: උතුරු දිග හා දකුණු ප්‍රදේශයන්හිද උඩ, යට දිසා හා විවිධ අනු දිසාවන්හිද බුදුරජාණන් වහන්සේගේ තේජෝ ගුණය මනාසේ පැතිර ගියාහුය. එසේම උන්වහන්සේ බැබලුන සේක. එය දුටු යක්‍ෂයෝ ‘මේ මහානුභාව සම්පන්න උතුමෙකැයි’ සිතූහ. තවද ඔවුන් මෙසේද සිතී.

‘කවදා අපි මේ භයින් මිදෙන්නෙමුද? කිසිදු අනතුරකින් තොරව කෙලෙසකින් අපි මෙතෙනින් යන්නෙමුද? යක්‍ෂයන් වන අප මහාසැඩ සුළඟකට අසුවූ බොල් රොදක් මෙන් විනාශවී යන්නේය.’

ඉනික් බිතිව සෘෂීන්ට සෘෂිවරයෙක් බඳුවූ මේ ලෝකයේ සියළු සත්වයන්ට සැප ගෙන දෙන්නාවූ ඒ සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ දුකින් පීඩිතව සිටියාවූ යක්‍ෂයන් දැක ඔවුන් කෙරේ අනුකම්පා සහගත පතළ කරුණා දයාව පතුරුවා ඔවුන්ට යහපතහා සැප ගෙන දෙන්නාවූ ආකාරය පිළිබඳව මෙනෙහි කළ සේක. මෙසේ සිතූ උන්වහන්සේට ඒ යක්‍ෂ වර්‍ගයාට අවශ්‍යය: ගංගා:වල, ගොඩැලි, පර්‍වත, පොකුණු, ආදියෙන් සමන්විත වූ, ලක්දිව හා සමානවූ, උතුම්වූ අන්‍ය දිවයිනක්වූ, ගිරිදිවයින දුටුසේක. එය දුටු බුදුරදහු මෙසේ සිතූහ.

‘මෙම දිවයිනෙහි නිර්භයව ජීවත්විය හැකිය. මෙය අලංකාරය. මුහුද අවසන් කොට ඇත. ඇල්වී ආදියෙන් හා විවිධ බොහෝ කෑම් බීම් ආදියෙන්ද මෙම දිවයින සැදුම් ලද්දේය. එසේම නොයෙක් දේශගුණයන්ගෙන්ද සමන්විතය. ඒ උතුම්වූ ගිරි දිවයින මම මේ සමීපයට ගෙන්වමි. එසේම මෙම දිවයිනෙහි දුටුදුටුවන්ගේ සිත් ඇදගන්නා වූ සිසිලසක් ඇත. නිල්වන් තණ බිම්ද ඇත. එපමණක් ද නොව අරණ්‍යායතනයන්ගෙන්ද වනාරාම, ආරාම ආදියෙන්ද සැදුම් ලද්දේය. තවද විවිධ ගස් වැල්වලින් සමන්විත වූ මෙහි විවිධ ඵලපල්ලවයන්ගෙන්ද ගැවසී ගත්තේය. ජනයාගෙන් ශූන්‍යවූ මෙය මනා විවේකස්ථානයකි. මෙහි කිසිදු අධිපතියෙකුද නැත. එහෙයින් ඔවුන්ට මෙය යෝග්‍යය භූමියකි.

උන්වහන්සේ සිතූසේක. එසේම ඒ මුණිරදතෙම මෙසේද සිතී.

‘මෙකල ලක්දිව අවට සාගරයෙහි අවට මෙන්ම සාගරය මැද ද මහත් රෞද්‍ර හා භයානක ලෙස රළගෙඩි බිඳිණු ලබයි. එහෙයින් ඔවුනට වෙනතක යාමද අපහසුය. පර්වත ආදියෙන් පිරිගත් මෙහි ඔවුනට කැමති දේ ලෙහෙසියෙන් කළ නොහැකිය.’

යනුවෙනි.

‘මෙකල මෙහිසිටි මෙම යක්‍ෂයෝ මානයෙන් අගතැන් පැමිණියෝවෙති. කිසිදු වරදකින් තොරව අනුනට ක්‍රෝධ කරති. ඔවුහු අකාරුණික වූවාහුය. අනුන් පෙළීමේ ආශා ඇත්තාවූ ඔවුහු අනුන්ගේ මස් කනු ලබති. දයාවෙන් තොරය; චණ්ඩය, පරුෂය, වාචාලය; ඔවුහු මහා ආඩම්බරයෙන් යුතුව ජීවත් වෙති.[20] එනිසා මේ බොහෝ කලකසිට වාස භූමිය කරගෙන සිටියාවූ එම රකුසන් හා යකුන්, මෙම දිවයිනෙන් ඉවත්කොට මම ඔවුනට සියළු ගිරිදිවයින දෙමි. එයින් පසු මෙහි වෙසෙන්නාවූ සියළු මනුෂ්‍යයෝ සතුටින් වෙසෙත්වා!’

යනු උන්වහන්සේගේ පැතුම වී. එසේම ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද සිතූහ.

“ඈත අතීතයේ පටන් ලක්දිව මිනිසුන්ගේ වාසභූමියක් විය. ඒ අනුව ලක්දිව වරදීප, ඕජදීප: ආදී කාලවල සිටම මනුෂ්‍යයන් ජීවත්විය. එනිසා ඔවුන් නිදුකින් වෙසෙත්වා!”

යනුවෙනි. තවදුරටත් උන්වහන්සේ තුළ මෙවැනි අදහසක් ද ඇතිවූ සේක.

“මෙම ලක් බිමට මාගේ ශාසනය පැමිණි කල්හි මාගේ ගුණයන්ගෙන් හා අන්‍යවූ යහපත් ගුණයන් ගෙන්ද සංයුක්තවූ ඉතා යහපත් මනුෂ්‍යය වාසයක් මෙම ලක්පොළව තුළ ඇතිවන්නේය. එසේම මෙම ලක් ධරණී තළයෙහි මනුෂ්‍යයෝද යක්‍ෂයෝදැයි දෙකොසක් වෙති.”

යනාදී වශයෙනි.

එම තථාගත සර්‍වඥයන් වහන්සේ එම දෙකොටසටම සමානව සැප ගෙනදුන් සේක. සියළු ලෝකයන් පිළිබඳව දන්නාවූ එම බුදුරදහු උගුලකට අසුවූ ගොන් බානක් මුදාලන්නා සේ ඔවුන් යම් සැපයක් අපේක්‍ෂා කරන්නේද එයම ලබාදුන්සේක. තවද එම තථාගත භගවත්හු රැහැණි බැඳි ගොනකු තමා වෙතට ඈදගන්නාසේ එහිමින්ගේ ඍද්ධි බලමහිමයෙන් ගිරිදිවයින උන්වහන්සේ වෙතට යොමුකර ගත්හ. එසේම ධර්‍මයෙන් පිරිපුන්වූ එතුමා ඝෝර යුග්ම නෞකාවකට අඟුලක් ළඟාකර ගන්නාක් මෙන් ගිරිදිවයින ලක්දිව වෙත ළඟා කළහ. සියළු සත්වයන්ට සැප ළඟාකරන්නාවූ තථාගතයන් වහන්සේ ලක්දිව විසූ සියළු යක්‍ෂයන් පළවා හැර ගිරිදිවයින ඔවුන්ගේ සතුටුසිත් දනවන්නාවූ උත්සාහයන් දිරි ගැන්වෙන අත්‍යන්තයෙන් නිරන්තරයෙන්ම ඔවුන්ට ප්‍රීති ප්‍රමෝද්‍යය ගෙන දෙන්නාවූ නිත්‍යය, වාසස්ථානයක් වේවා යයි ද සිත්හි සනිටුහන් කොට එය එක්කොට වදාළසේක.

පිපාසිතවූ මුවන් ග්‍රීෂ්ම සමයෙහි ගඟට දිවෙන්නේ යම්සේද ඒ ආකාරයෙන් සියළු යක්‍ෂයෝ එකෙකුද ඉතිරි නොවන සේ සියල්ලෝම ගිරිදිවයිනට ගියාහුය. මෙසේ තථාගතයන් වහන්සේ ලක්දිව අමනුෂ්‍යයන් ගෙන් නිදහස් කළ සේක. තමා බලාපොරොත්තු වූ අයුරින්ම දිවයිනක් ලැබුහයි එම යක්‍ෂයෝ ප්‍රීති ප්‍රමෝදයෙන් ඉපිල ගියාහුය. යහපත් දිවයිනක් ලැබුවාවූ ඔවුහු එයින් පසු කිසිවකට හෝ බියනොවූහ. සතුටින් උත්සව පැවැත්වූ හ. ඒ පතළ මහා කරුණා ගුණයෙන් හෙබි තථාගතයන් වහන්සේ එම අවස්ථාවේ ඒ අමනුෂ්‍යයන් සුවපත් වූ බව දුටු සේක. ඒ දුටු තථාගතයාණෝ ඔවුන් තවත් සැපවත් කිරීම පිණිස මෙත් පිරිත වදාළහ.[21] අනතුරුව තෙවරක් ලක්බිම පැදකුණු කොට අමනුෂ්‍යයන් දුරු කොට ලක්බිම ආරක්‍ෂා කළ සේක.

තථාගතයන් වහන්සේ උතුම් පිරිත දෙසා ලක්ධරණී තලය රැක අමනුෂ්‍යයන්ගේද භය දුරු කොට සැනසීමට පත්කොට ඔවුන් ගෙන් මනුෂ්‍යයන්ට වන භයද දුරුකළහ. එසේ කළාවූ උන්වහන්සේ නැවතත් උරුවෙල් දනව්වට වැඩි සේක.

  1. ම: ව: පළමුවෙන් දක්වන්නේ සිද්ධාර්ථ තවුසානන් බුද්ධත්වයට පත්වීම පිළිබඳ කථාවයි. තවද බුදුපිරිස 1000 ක් දක්වා දැඩි කරගත් අවස්ථාද දක්වා ඇත. ↑

  2. තමාලියන කරුණු පිළිබඳව මඃ වඃ මෙවැනි විස්තරයක් නැත. ↑

  3. මාරයාගේ පැමිණීම පිළිබඳව මඃ වඃ දක්වා නැත. ↑

  4. යදාහවේ පාතු භවන්ති ධම්මා - ආදී ගාථාවන්ය. ↑

  5. මඃ වඃ 3 වන පරිච්ඡේදයේ පළමුවන සංඝායනාව තුන් මසකින් පැවැත්වූ බව දක්වා ඇත. මහාවග්ග පාලියේද දක්වා ඇත්තේ තුන් මසකින් පැවැත්වූ බවයි. ↑

  6. කාලාශෝක රජුගේ දහවන රාජ්‍ය වර්ෂයේ මෙය සිදුවූ බව මඃ වඃ කියයි. බුදුන් පිරිනිවී හරියටම අවුඃ 100 මෙම 10 වන රාජ්‍ය වර්ෂය බවද කියයි (මඃවඃ 4 පරි) ↑

  7. මෙම සංඝායනාව ධර්මාශෝක රජුගේ 14 වන රාජ්‍යවර්ෂයේ සිදුකල බව මඃවඃ එයි. ↑

  8. ප්‍රථමඃ දෙවනඃ තෙවන සංඝායනා මෙහි දක්වා ඇත්තේ බුදුන් වහන්සේ දකින අනාගත දැක්මක් ආකාරයෙන් වුවත් මඃ වඃ එය අතීත සිදුවීමක් ලෙස ඉදිරිපත් කරයි. ↑

  9. ම: ව: බුදුවීම පිළිබඳ හා සත්සතිය ගෙවූ ආකාරය පිළිබඳව දක්වා නැත. ↑

  10. විමල; සුබාහු; පුණ්ණජි; ගවම්පති යන සිව් දෙනාය. මෙම මිත්‍රයන් පිළිබඳවත් මිත්‍රයන් 50 පිළිබඳවත් ම: ව: දක්වා නැත. ↑

  11. මෙහිදී සැටනමක් ධර්ම ප්‍රචාරයේ යැවූ බව ම.ව. දක්වා ඇත. (ම:ව: 1 පරි) මේ පිළිබඳව මහාවග්ග පාලියේ සවිස්තරව කරුණු දක්වා ඇත. ↑

  12. මෙහිදී බුදුන් වහන්සේ හා උරුවෙල් කාශ්‍යප අතර ඇතිවූ සංවාදයක් මහවග්ගයේ දැක්වේ. ↑

  13. මෙහි බොහෝ දෙනා යනුවෙන් සඳහන් වන්නේ උරුවෙල් කාශ්‍යපයන්ගේ අනුගාමික ශිෂ්‍යයන් ඇතුළු උරුවෙල් වැසියන්ය. ↑

  14. මෙම ආරාධනය හෝ මේ පිළිබඳ කිසිදු විස්තරයක් මහාවංශයේ දක්නට නොලැබේ. ↑

  15. උරුවෙල් කාශ්‍යප, නදීකාශ්‍යප, ගයා කාශ්‍යප යන තිදෙන ගැනේ. ↑

  16. මෙය අනුරාධපුරයේ පිහිටි මහ මෙවුනා උයන නොවේ. මෙය පිහිටා තිබුණේ මහවැලි ගඟබඩ මහියංගන චෛත්‍ය අසලය. මෙය මහාවංශයේ සඳහන් වන්නේ මහානාගවන නමින් (පරි1) මෙම උයන තුන් යොදුනක් දිග යෙදුනත් දීපවංශයේ එසේ නැත. ↑

  17. භික්ෂූන් වහන්සේ වන්දනා මාන කිරීම සඳහාත්: භාවනා කිරීම සඳහාත්: ඉඳගැනීම සඳහාත් භාවිතා කරන සම්න්කල පත්කඩකි. ↑

  18. මුළු ලක්දිවම ඔබ වහන්සේට දෙමැයි මඃ වඃ දැක්වේ. (මාඃ වඃ 1 පරි) ↑

  19. මෙවැනි විස්තරයක් මඃ වංශයෙහි දක්නට නැත. ↑

  20. ගෛගර් පඬිතුමාගේ අදහස අනුව බලනවිට එතුමා ගිරිදිවයින වශයෙන් සඳහන් කරන්නේ ලංකාවේ මැද පිහිටි කඳුකරයි. එහි සිටින ජනයාගේ (පාරම්පරික පදිංචිකරුවන්) අදහස් ගැන සමාජවිද්‍යාත්මක පර්යේෂණ ඇසින් විමර්ශනයක යෙදුනහොත් ගෛගර් මහතාගේ අදහස්හි නිරවද්‍යතාවයක් දක්නට ලැබේ. ↑

  21. ම: වං: සඳහන් වන්නේ මෙහිදී ධර්ම දේශනා කළ බවකි. එහිදී සමන්තකූට වාසී මහාසුමන දිව්‍යරාජයා සෝවාන් වූ බවක් එම දිව්‍ය රාජයා උන්වහන්සේ ගෙන් පූජාවක් සඳහා කිසිවක් ඉල්ලා සිටි බවත් එහිදී උන්වහන්සේ හිසපිරිමැද කේශධාතු මිටක් දුන් බවත් එය රන් කරඬුවකින් පිළිගෙන බුදුන් වහන්සේ වැඩ සිටි තැන 21 රියන් උස ඉඳුනිල චෛත්‍යක් කරවූ බවත් සඳහන් වේ. මේ හැරුණු විට මහියංගන චෛත්‍ය පිළිබඳ දීඝ විස්තරයක්ද එයි. (ම.ව.1 පරි) ↑