22 වන පරිච්ඡේදය
වසභ[1] කුමරු එයින් පසු ලක්දිව රාජ්‍ය ලබාගත්තේය. ඔහු සිතුල්පව්ව ආරාමයෙහි චෛත්‍යයක් කරවූ අතර එයට නොයෙක් පූජාවන්ද පැවැත්වීය. එසේම මෙ රජතුමා විසින් ඉතා මනරම් ලෙස රමණීයාකාරයෙන් ඉසුරුමුණියෙහි ආරාමයක් හා විහාරයක්ද සිත් ඇදගන්නා ආකාරයේ උපෝසථාගාරයක්ද කරවන ලදී. එම උතුම් ආරාමයට පූජා පිණිස පංචතූර්ය්යනාදයන් උදේ සවස පැවැත්වීමටද අණ කරන ලදී. එසේම භික්ෂූන් වහන්සේට බොහෝ සිව්රු පිරිකර පූජාකල අතර සියළු ජරාවාසවූ ආරාමයන් පිළිසකර කරවා ඒ ඒ, සියළු ආරාමයන්හි මහා ධර්මපූජාවන්ද පැවැත්වීය. තවද මෙම රජතුමා උතුම් වූ ථූපාරාම චෛත්‍යය සඳහා චේතියගරයක්[2]ද කරවීය. මෙම රජතුමා මේ සඳහාම පූජා හතලිස් හතරක් පැවැත්වීය. තවද මහාවිහාරයේද ථූපාරාමයේද චේතියගිරියේද දහස බැගින් තෙල්පහන් දැල්වීය. මයන්තිවැව හා රාජුප්පලික වැවද කොළම්වැව හා මහානික්ඛවට්ටි වැවද මහාගාම වැව් දෙකද කේහාල හා කාම වැවද ජම්බුට්ඨි මංගන අභිවඩ්ඪමානක යන වැව් ඇතුලත් වැව් එකොලහක්ද, තවත් ඇලවල් දොළහක් ද රට සුරක්ෂිත කිරීම පිණිස මෙම රජතුමා විසින් කරවන ලදී.[3] එසේම මෙම රජතුමා නොයෙක් ආකාරයේ පුණ්‍ය කර්මයන්හි නිරතවූ අතර අනුරාධපුර නගරය වටකොට දිය අගලක් හා ප්‍රාකාරයක්ද කරවීය. ඔහු විසින් දොරටු අට්ටාලයක්[4] හා දර්ශනීය වූ වනෝද්යානයක්ද කරවූ අතර නගරයේ අවශ්‍යතන්හි මලින් ගැවසීගත් පොකුණු[5] ඉදිකරවන ලදී. තවද නගරයට ජලය ලබාදීම සඳහා ජලනල ක්රමයක්ද සම්පාදනය කෙරින. මෙසේ විවිධ කාර්‍ය්‍යයන්හි නිරතවූ මෙම රජතුමා හතලිස් හතර වසරක් රජසුව විඳීය.[6]
වසභ රජතුමාගේ පුත් වංකනාසිකතිස්ස කුමරු මෙයිනනතුරුව රජවිය. මෙම රජතුමා රාජ්‍ය ලබා ගැන්මෙන් පසු මංගල නම් ආරාමයක් කරවූ අතර අභය ගිරියෙහි රමණීයවූ මහාසෑයක්ද[7] කරවීය. මේ අවදියේදී ඔහු තම මවුතුමිය සිහිවීම පිණිස ගාමිණී විලද කරවීය. මෙම රජතුමා විසින් රම්මක නම් ආරාමයක්ද කරවන ලද අතර මෙසේ ලෝසසුන් වැඩූ ඔහු අවුරුදු විසිදෙකක් ලක්දිව රාජ්‍ය කළේය.[8]
ලක්දිව මෙයින් පසු රජවූයේ මහල්ලක නාගය. මෙම රජු විසින්ද සජිලකාදක ආරාමයක් ගොඨපබ්බත නම් අනුරාධපුර නගරයට දකුණින් ආරාමයකුත්, උදකපාෂාණ නම් ආරාමයකුත්, කරවූ අතර සොලීයපබ්බත හා තේනවේලි විහාරයන් කරවන ලදි. තවද රෝහණ දේශයෙහි නාගපර්වත විහාරයද එහිම හිරිහැල් නම් විහාරයද කරවින. මෙසේ පුණ්‍ය කර්මයන්හි නිරතවූ ඔහු අවුරුදු හයක් රාජ්‍ය ගෙන ගියේය.
එයින් පසුව මහල්ලක නාග රජුගේ පුත්‍ර භාතිය තිස්ස කුමරු රජවූයේය. මහමෙව්නා උයනේ ආරක්ෂාව සඳහා මෙමරජු ප්රාකාරයක් කරවූයේය. දොරටු බන්ධනයක්ද ස්වකීය නාමයෙන් ආරාමයක්ද කරවූ අතර මහාගාමිණී වැවද සාරවා භික්ෂු සංඝයාට පූජාකළේය. මොහු ථූපාරාම විහාරය සඳහා මනරම් වූ උපෝසථාගාරයක් කරවූ අතර රන්ධකරණ්ඩක නම් විලක්ද කරවීය. මහා සංඝයා වහන්සේ උදෙසා මහා දානයක්ද පැවැත්වූ මෙම රජතුමා අවුරුදු විසිහතරක් ලංකාවේ රාජ්‍ය කළේය.[9]
මෙයින් පසු රජවූයේ කණිෂ්ඨතිස්ස කුමරුය[10] ඔහු අභයගිරි විහාරයට මනරම්වූ උපෝසථාගාරයක්ද මහාවිහාරයට ප්‍රාසාද දොළහක්ද දක්ෂිණාරාම විහාරය වෙනුවෙන් සෑගෙයක්ද යන මේවා කරවීය. බුද්ධශාසනය වෙනුවෙන් බොහෝ පින්කම් කළ මෙම රජතුමා අවුරුදු විසි අටක් ලක්රජය ගෙන ගියේය.
කණිෂ්ඨතිස්ස රජුගේ අභාවයෙන් පසු ඔහුගේ පුත්‍රයන් වූ රාජ්‍යට සුදුසුකම් ඇති සහෝදරයන් දෙදෙනා ලක්දිව අවුරුදු තුනක් රාජ්‍ය කළේය. වංකනාසික තිස්ස රජු අනුරාධපුර නගරයෙහි සිට නොයෙක් පින්කම් ආදිය කරමින් තෙමසක් ලක්රජය කරවීය.
ගජබාහු ගාමිණී[11] නැමැති වංකනාසිකතිස්ස රජතුමාගේ පුත්‍රයා මෙයින් පසු රජවිය.[12] ඔහු අවුරුදු විසිදෙකක් රාජ්‍ය කළේය. පසුව මහල්ලකනාග අවුරුදු හයක් රජ කළේය. භාතිකතිස්ස නම්වූ මහල්ලක නාගරජුගේ පුත්‍රයා මෙයින් පසු රජවිය. මෙම රජතුමාද විසිහතර වසක් රජ කරවීය. පසුව මහල්ලකනාගරජු අවුරුදු හයක් රාජ්‍ය ගෙන ගියේය. භාතිකතිස්ස නම් මහල්ලක නාගරජුගේ පුත්‍රයා මෙයින් පසු රජවිය. විසිහතර වසරක් ඔහුද රාජ්‍ය ගෙන ගියේය. කණිෂ්ඨතිස්ස රජතුමා මෙයින් පසු රාජ්‍යට පැමිණියේය. මොහුගේ රාජ්යකාලයද අවුරුදු විස්සක් විය.
කණිෂ්ඨතිස්ස රජතුමා මියයාමෙන් ඔහුගේ පුත්‍ර ඛුජ්ජනාග[13] රාජ්‍ය ලබාගත්තේය. මොහු රාජ්‍ය ගෙනගියේ අවුරුදු දෙකකි. ඛුජ්ජනාගරජුගේ බාල සොහොයුරු කුඤ්චනාග තම සහෝදරයා මරා වසරක් ලක් රජය මෙහෙයවීය. උතුම් වූ අනුරාධපුරය මෙයින් පසු සිරිනාග රජු දිනා ගත්තේය[14] ඔහු අවුරුදු දහනවයක් ලක්රජය කරවීය. නාමයට අර්ථාන්විතව ක්‍රියා කළ මෙම රජතුමා රුවන්මය මල්දමින් රුවන්වැලිමහා සෑය පිදීය. එම සෑයෙහි නවතම ඡත්‍රයක්ද කරවීය. ඔහු විසින් මේ හැරුණුවිට ලෝවාමහාපාය උදෙසා උපොසථාඝාරයක්ද කරවන ලදී. මෙයින් පසු රජ වූයේ සිරිනාගගේ පුත්‍රයාවූ අභයනාගය[15] කහවණු දෙලක්ෂයක් වටිනා විවිධවස්ත්රගෙන්වූ මෙම රජතුමා භික්ෂු සංඝයා වෙනුවෙන් වස්ත්‍රමය මහා සාංඝිකදානයක් දුන්නේය. මහාබෝධීන් වහන්සේ වටකොට ශෛලමය වේදිකාවක්ද කරවීය. ඔහු අනුරාධපුර නගරයේ අවුරුදු අටක් රාජ්‍ය කළේය. ඔහුගේ බාල සොහොයුරු වෝහාරතිස්ස[16] මෙයින් පසු රජවිය. මෙ රජතුමා විසින්ද අභයගිරි විහාර මහාසෑයෙහි උතුම්වූ ඡත්රයක් කරවන ලදී. අත්‍යාලංකාර වූ මහමෙවුනා උයනෙහිද අභයාරාමයද යන උභය විහාරයන්හි මෙම රජතුමා චෛත්‍ය දෙකක් කරවීය. එසේම මොහු දේවස්ථවිරයන් වහන්සේ විසින් දේශනා කරන ලද ගිලානසුත්රාන්ත දේශනාව අසා ගිලන් භික්ෂූන් උදෙසා බෙහෙත් වර්ග පිළියෙල කරවා දුන් අතර ආවාස පහක්ද තනවා දුන්නේය. එසේම මහා බෝධීන් වහන්සේ අසල පහන් ගසක්ද පිළියෙල කෙරෙව්වේය. එකල අධර්මාවාදී භික්ෂූහු අකැපදේ කැපයයි පවසා පරිහරණය කරති. ඔවුහු විතණ්ඩවාදය දේශනාකොට පිරිසිදු බුද්ධශාසනය දූෂණය කළහ. කපිල නම් ඇමතිවරයෙකු සහාය කොටගත් එම රජතුමා ඒ පවිටු භික්ෂූන්ට නිග්‍රහ කළේය.
රජතුමා මෙම පාපතර භික්ෂූන් ජිනේන්ද්රයන් වහන්සේගේ ශාසනය විනාශකරනු දැක කපිල[17] අමාත්‍යවරයා ගෙන්වා එම භික්ෂූන්ට නිග්‍රහකොට එම විතණ්ඩවාදය මර්ධනය කරවා බුද්ධ ශාසනය බබලවීය. මෙම රජතුමා මහමෙව්නා උයනෙහි සාත්ති පණ්හිත[18] නම් ප්රාසාදයද කරවීය. මෙසේ මෙම රජතුමා අවුරුදු විසිදෙකක් රාජ්‍ය කළේය.
වෝහාර තිස් රජුට පසුව රජවූයේ ඔහුගේ පුතු වූ සිරිනාගය[19] මෙම රජතුමා සම්පූර්ණයෙන්ම අවුරුදු දෙකක් රාජ්‍ය කළේය. ඔහු මහාබෝධීන් වහන්සේ වටකොට සිත් අලවන්නාවූ මණ්ඩපයක් ඉදිකරවීය.
සංඝතිස්ස[20] නම් අය එයින් පසු රජවිය. ඔහු රුවන්වැලිසෑ කොත් මුදුන්හි උතුම්වූ රන්මය ඡත්රයක් කරවීය. එසේම එම සෑය මුදුනෙහි ඔහු විසින් මැණිකක් උපයෝගී කොට ගණිමින් මැණික්මය කුඩා ස්ථූපයක්ද කරවන ලදී. තවද එම පින් බලයෙන් තවත් මහා පූජාවන්ද කළේය. එසේම මෙම රජතුමා සතුරන්ද මැඩලීය. දේවතෙරුන් විසින් දේශනා කරන ලද අන්ධකවින්ද සුත්ත්රාන්තය ඇසූ මෙම රජතුමා මහාවිහාරයේ දොරටු හතරෙහි කැඳ පිළියෙල කරවා තැබ්බවීය.
සිරිනාග රජුගේ පුත් විජයකුමාර නැමැත්තා[21] මෙයින් පසු රජවිය. පියාගේ මියයාමෙන් පසු ඔහුද අවුරුද්දක් රාජ්‍ය මෙහෙයවීය. අනතුරුව රජවූ සංඝතිස්ස අවුරුදු හතරක් රජ කළේය. මෙම රජතුමා විසින් මහාථූපයේ ඡත්රයක් සවිකල අතර රන් කර්මාන්ත යද කරවීය. මෙම රජුගෙන් පසු සංඝබෝධි[22] නම් වූ ශීල සමාහිතවූ අය රජවීය. ඔහු අනුරාධපුරයේ වසර දෙකක් රාජ්‍ය මෙහෙයවීය. මෙම රජතුමා නිතිපතා කැඳබතක් පිළියෙළ කරවා අලංකාරවූ මහමෙව්නා උයනේදී ප්රදානය කරවූ අතර සලාක බතක්ද පිළියෙල කරවා මහාවිහාරයෙහි තැබ්බවීය.
මෙම රජුගෙන් පසු මේඝවණ්ණ නමින් ප්‍රසිද්ධව සිටි අභය[23] නම් තැනැත්තා රජවූයේය. මහාවිහාරයෙහි මොහු විසින් මණ්ඩපයක් කරවන ලද අතර මහාවිහාරයට බටහිර දෙසින් යෝගී භාවනාවට උපයෝගී කරගන්නා ගෙයක් ද (පධානඝර) ශ්‍රී මහාබෝධීන් වහන්සේ වටකොට ගල්වේදිකාවක්ද කරවී. එහිම ඉතා අගනා තොරණක් හා අලංකාරවූ දිය අගලක් ගලින්ම කරවන ලද අතර ගල් ආසනයක් ද කරවන ලදී. එසේම දක්ඛිණාරාමය තුළ උපෝසථාඝාරයක් කරවූ අතර භික්ෂූන් වහන්සේ වෙනුවෙන් මහාදානද පැවැත්වීය. අලංකාර රජමාළිගාවක් කරවූ මෙම රජතුමා එහිම මහා උයනක්ද කරවා පළමුව ශාසනය උදෙසා භික්ෂූන් වහන්සේට පූජාකොට පසුව තමා පරිහරණය කළේය. එම අවදියේ මහමෙවුනා උයනේදී වෙසක් පූජාවක්ද පැවැත්වීය. මේ ආකාරයෙන් නොයෙක් පින්දහම් කළ මෙම රජතුමා අවුරුදු දහතුනක් රාජ්‍ය විචාළේය.[24]
මෙයින් අනතුරුව මේඝවණ්ණතිස්ස රජතුමාගේ පුත්‍ර වූ ජෙට්ඨතිස්ස තෙමේ රජවිය.[25] මෙම රජතුමා උතුම් වූ මහාථූපයට ඉතා වටිනා මැණිකක් පූජා කළේය. මෙම රජතුමා ලෝවාමහා ප්‍රාසාදය ප්‍රතිසංස්කරණය කරවා එයටද ඉතා වටිනා මැණික් පූජා කොට එයට ද එතැන් පටන් “මණිප්රාසාද” යන නාමය ව්‍යවහාර කරවීය. එම දෙටුතිස් රජතුමා ප්රාචීනතිස්ස පර්වතයෙහි ආරාමයක් කරවා මහාසංඝයා උදෙසා පූජා කරවීය. අඹලගම වැව ද ඔහු විසින් කරවන ලදී. මෙම රජතුමා අවුරුදු අටක්ම තෙරුවන් වෙනුවෙන් මහාපූජාවන්ද පැවැත්වීය. මොහු දසවසක් රාජ්‍ය මෙහෙයවීය.
දෙටුතිස් රජතුමාට පසුව ඔහුගේ බාල සොහොයුරු මහසෙන් කුමාරයා රජවිය. විසිහත් වසරක්[26] ඔහු විසින් රාජ්‍ය විචාරණ ලදී. මෙකල භික්ෂු ශාසනයෙහි භික්ෂූන් අතර කවර භික්ෂූන් වහන්සේ නමක් ධර්මවාදීන්ද කවරෙක් අධර්මවාදීන් දැයි රජතුමා කල්පනා කළේය. මෙම කරුණ රජු පරීක්ෂාකර බැලීමේදී භික්ෂු ශාසනය දූෂණය කරන්නාවූ අලජ්ජි පාපභික්ෂූන් කොටසක් සිටින බව දිටීය. මෙකල මිත්‍ර-සෝණ හා අනෙක් අලජ්ජි පුද්ගලයෝද යහපත් භික්ෂූන් නොමග යැවීමට රහසිගතව මන්ත්‍රණය කරමින් සිටියහ. දුසිරිතෙන් දුගඳවූ; පිළිකුල් සහගතවූ පාපයෙහි නිරත වූ නොසන්සුන් ගති ඇති කුණු ගොඩවල් හා සමාන වූ ඒ ශ්‍රමණ බවක් නැත්තවුන් රජු දුටුවේය. පාප ක්‍රියාවන්හි නිරතවූ මිත්‍ර හා සෝණ[27] ප්‍රධාන කොට ඇති අනෙකුත් අලජ්ජි පුද්ගලයන් වෙත පැමිණි රජතුමා ඔවුන්ගෙන් අර්ථයද ධර්මයද විචාළේය.[28]
මෙම අලජ්ජි භික්ෂූහු ෂඩ්වර්ගීය භික්ෂූන් ප්‍රකාශිත නීතිරීතින්හි දක්නට ලැබෙන දුන්නිවත්ථාදී කරුණු මෙම අලජ්ජි භික්ෂූන් විසින් පිළිගන්නා ලදැයි පෙන්වූහ. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද නොයෙක් ධර්ම කොටස් ද අධර්මයම යයි මෙම අලජ්ජි භික්ෂූහු පෙන්නුවෝය. එකල්හි එම ධර්මය ඇසුවාවූ දෙපස සිටි ජාතීහු එක්ව මහා විහාර වාසීන්ට බුදුන් සතු දෙය අකැපයයි දැන්වූහ. මේ ආදී වශයෙන් අසත්පුරුෂයන් ඇසුරුකිරීම නිසා නොයෙක් යහපත් හා අයහපත් දේ කොට මහසෙන් රජු කම්වූ පරිදි මිය පරළොව ගියේය. එහෙයින් අසත්පුරුෂයන් හා එක්වීම විෂ ඇති නයින් ළඟතබා ගන්නා වැනියයි සලකා බුද්ධි වන්තයිනි; ඔවුන් දුරුකොට මෙලෝ පරලෝ වැඩ සිදුකර ගනිත්වා.
දීපවංශය නිමියේ ය.
ක්‍රි. ව. 65 - 109 ඉංදියාවේ වයඹදිග කොටස මේවනවිට පාතියන්වරු පාලනය කල බව පෙනේ. ගොන්ඩොපර්න්ස් මොවුන්ගේ වැදගත් රජෙකි. ක්‍රි. ව. 47 මොහුගේ ඛරෝෂ්ඨිපිය ඉතා වැදගත්ය. මධ්‍යම ආසියාවේ රජෙකු වශයෙන් සැලකෙන කණිෂ්කද මෙකල පාතියන්වරු අරද බලය ගත්බව පෙනේ. ක්‍රි. ව. 78-144 මොහුගේ රාජ්‍ය කාලය ලෙස ගැනේ. ශකවර්ෂය ගණන් ගැනෙන්නේ මොවුන්ගේ කාලයෙහිය. මොහු බෞද්ධ ධර්මදූතයන් මධ්‍යම ආසියාවටද චීනයටද යවා තිබේ. වසභ ලම්බකරණ වංශික රජෙකු වශයෙන් සලකන අතර මෙම රජ පරපුර දිගුකලක් ඉතා ක්‍රියාශීලී ආකාරයෙන් රාජ්‍ය කල බව පෙනේ. ↑
ලක්දිව චේතියඝර ආරම්භ වූ යේ මෙම යුගයේ යයි බොහෝ ඉතිහාසඥයන් කියයි. ↑
මඃ වඃ අනුව මෙම සමහර වැව්වල නම් වෙනස්ව දක්වා ඇත. තවද මඃ වඃ දීඃ වඃ අනුව ඇලවල් ප්‍රමාණය 12ක් වුවත් රාඃ වඃ 11ක් දක්වා ඇත. මඃ වඃ ජනප්රවාදකථාද කීපයක් දක්වා ඇත. ↑
මෙම අට්ටාලය පිළිබඳව මඃ වඃ දක්වා නැත. දොරටු තොරණ ආදී විශාල වැඩ කොටසක් කළ බව දැක්වේ. එසේම නගරාරක්ෂක බැම්ම රියන් 18ක් වූ බවද දැක්වේ. ↑
මෙම පොකුණුවල හංසයන් ඇතිකල බව මඃ වඃ දැක්වේ. (මඃ වඃ 35 පරි.) ↑
වසභරජු ලක්දිව සැම තන්හිම විහාර රාශියක් කළ බවද මඃ වඃ දක්වා ඇති අතර අධ්‍යාපන මධ්‍යස්ථානද ඉදිකල බව දක්වා ඇත. සෙල්ලිපි මගින්ද මේ බව තහවුරු වී ඇත. එසේම සියපුත් වංකනාසික තිස්සට උළුවඩුවකුගේ දියණියක් සරණපාවා දුන් බවද දක්වා තිබේ. ↑
මේ ගැන මඃ වඃ දක්වා නැත. ගාමිණී විල, රම්ම ආරාමයද දක්වා ඇත. ↑
මඃ වඃ හා රාඃ වඃ දක්වා ඇත්තේ මොහු අවුරුදු 3ක් රජකල බවයි. මොහුගෙන් පසු ගජබා රජවූ බව දැක්වෙතත් මෙහි ගජබා ගැන සඳහන් නොවේ. මෙහි දක්වා ඇත්තේ මහල්ලකනාග රජවූ බවය. එසේවුවත් මෙහිම පසු රාජනාමාවලී සාරාංශපෙළ දිස්වීමේදී ගජබා අවුරුදු 22ක් රජකල බව දක්වා ඇති අතර වංකනාසිකතිස්ස තෙමසක් රජකල බව දැක්වේ. මෙය පසු සංස්කරණයකදී සිදුවූ ප්‍රමාද දෝෂයක් විය හැකිය. ↑
ම: ව: මෙ රජු දෙවන භාතියතිස්ස යනුවෙන් දක්වා තිබේ. මෙම කාලය ක්‍රි. ව. 140 සිට 164 දක්වාවේ. මෙකල ද ඉංදියාවේ වාෂිෂ්ඨ පුලමායී රජවූ අතර චෝලමන්ඩල වෙරළ තෙක්ද මධ්‍යදේශයට අයත් ඇතැම් කොටස් තෙක්ද විහිදතිබූ බව දැක්වේ. මෙකල විවිධ දේවවාදී අදහස් ලංකාවට බලපෑ බව පෙනේ. මධ්යආසියාවේ තිබූ කණිෂ්කගේ රාජ්‍ය මෙකල අවසන්වූ බවද පෙනේ. ↑
මොහුගේ නම රාජාවලියේ සඳහන් නොවේ. එහෙත් එහි භාතිස්සරජුට පසු ‘කුඩා නාරජ’ නැමැත්තෙක් රජවූ බව කියයි. මොහු මා: ව: සඳහන් කුඩ්ඩනාග බව පෙනේ. නමුත් ම: ව: අනුව හා දී. ව. අනුව මෙයට පසු රජවන්නේ කණිෂ්ඨතිස්සය. මොහුගේ රාජ්‍ය කාලය ක්‍රි. ව. 164 සිට 192 දක්වා වේ. ම: ව: 36 පරි. 6 ගාථාව මොහුගැන දැක්වේ. ↑
මඃ වඃ අනුව වසභගෙන් පසු ඔහුගේ පුත් වංකනාසික තිස්ස රජවන අතර ඔහු පුත් ගජබා ගැමුණුත් ගජබා පුත් මහල්ලක නාගත්; ඔහුපුත් භාතිය තිස්සත් ඔහුගේ පුත් කණිෂ්ඨතිස්සත් රජවූ බව දක්වා තිබේ. ඉතිහාසඥයන් පිළිගත් ක්‍රමානුකූලත්වය ලෙස මෙය පිළිගනී. ↑
මෙම යුගයේ මහායානවාදය ඉතා දියුනුව පැවති බවත් පත්තිනි සලඹ පූජා භාන්ඩයක් වශයෙන් ඉංදියාවේ චේරරජුගෙන් ලද බවත් නිකාය සංග්‍රහයේ දක්වා ඇත. මඃ වඃ ඔහු පිළිබඳව එතරම් විස්තරයක් නැත. මොහු ගේ රාජ්‍ය යුගය ක්‍රි. ව. 112 සිට 134 වේ. ↑
මඃ වඃ චූලනාග යනුවෙන් දැක්වේ. මොහු සහෝදරයා මරා රජවූ බවත් රාජ්‍යකාලය අවුරුද්දක් සඳහන්ය. ක්‍රි. ව. 194-195 වේ. ↑
රාඃ වඃ අනුව මොහුගේ රාජ්‍ය කාලය අවුරුදු දෙකකි. මඃ වඃ අනුව අවුරුදු 19කි. එනම් ක්‍රි. ව. 194-214 දක්වාවේ. ↑
මඃ වඃ දැක්වෙන්නේ වෝහාරතිස්සට පසු අභයනාග රජවූ බවය. මඃ වඃ අනුව වෝහාර තිස්ස ගේ රාජ්‍ය කාලය ක්‍රි. ව. 214 සිට 236 දක්වාවේ. අභයනාගගේ රාජ්‍ය කාලය ක්‍රි. ව. 236 සිට 244 දක්වාවේ. පිළිගත් ක්‍රමානුකූලත්වය මෙම වර්ෂ නිසා මෙසේ දක්වා ඇත. ↑
මෙම රජ හිංසාවෙන් තොරවූ නීතික්රමයක් ඇතිකළ හෙයින් වෝහාරතිස්ස වූ බව ම: ව: 36 පරි. දක්වා ඇත. එසේම කපිල ඇමතිවරයා ලවා වෛතුල්‍යවාදීන් දමනය කල බවද රටේ විවිධ තන්හි විහාරවලට කළ සේවා වන්ද දක්වා තිබේ. ↑
මෙම කපිල අමාත්‍යවරයා ත්‍රිපිටක ධර්මය පිළිබඳ මනා දැනුමක් ඇති අයෙකි. මොහු එකල සිටි බුද්ධශාසන අමාත්‍යවරයායි. ශාසන කටයුතු පිළිබඳ සියළු තීරන ගන්නා රාජ්‍ය විධායක නිලධාරියා මෙම ඇමතිවරයාය. අනුරාධපුර යුගයේ පසු සෑම රජෙකුම බුද්ධ ශාසන ඇමති වශයෙන් පත්කොට ඇත්තේ ත්‍රිපිටකය පිළිබඳ මනා දැනුමක් ඇති අයය. ම: ව: මේ පිළිබඳව මෙතරම් කරුනු දක්වා නැත. නිකාය සංග්‍රහයේ අභයගිරිවාසී ධර්මරුචිකයන් මෙම වාදය ගත්බව දක්වා ඇත. ↑
ම: ව: මෙය දක්වා ඇත්තේ ‘සත්තපත්ත’ විහාරය නමිනි. ↑
මෙම රජු පිළිබඳව මෙයට පෙරද සඳහන් කර තිබිණ. දී. ව. පුනරුක්තදෝෂ බහුල ග්රන්ථයක් නිසා මෙයටද එය සිදුවූ බව පෙනේ. ඒ අනුව ම: ව: දින වකවානු හා මෙහි දිනවකවානු ගැලපේ. ↑
ම: ව: අනුව මෙයට පෙර ‘2 සිරිනාග’ ‘විජයිඳු’ නම්රජවරු දෙදෙනෙකු සිටි බව පෙනේ. මෙයින් සිරිනාග ක්‍රි. ව. 244 සිට 246 දක්වාද ක්‍රි. ව. 246-247 දක්වා විජයිඳු විජයකුමාර නමින් රජවූ බවද පෙනී යයි. දී. ව. කතුවරයා මොවුන් රජුන් වංශයෙන් නොසැලකුවා විය හැකිය. විජය කුමාර් අවුරුද්දක් රජකල බව ම: ව: කියතත් රා: ව: කියන්නේ අවරුදු 6ක් රජ කල බවයි. ම: ව: පෙන්නාදෙන්නේ සංඝතිස්ස, සංඝබෝධි: ගොඨාභය: තිදෙනා මහියංගන විහාරය අසල සිටි ලම්භකරණවංශිකයන් තිදෙනෙකු බවයි. මොවුන් විජය කුමරුට රාජ්‍යසේවය කිරීමට ගොස් ටික දිනකින් විජය කුමරා මරා රාජ්‍ය ගෙන වැඩිමහල් පිළිවලින් රාජ්‍ය කළ බවයි. මොවුන් යන ගමනේදී තිසාවැව අසලදී අන්ධ බමුනෙකු කී කථාවක් පිළිබඳවද දක්වා ඇත. සංඝතිස්සගේ රාජ්‍ය කාලය ක්‍රි. ව. 247-251 වේ. ↑
විජයකුමාර පිළිබඳව මෙහිදී සඳහන් වන්නේ මෙම ඡේදයේ එන අවුල් බව නිසා විය හැකිය. ↑
ක්‍රි. ව. 251 සිට 253 දක්වා රාජ්‍ය කරන ලදී. ම: ව: මෙරජුගේ ශීලගුණය පිලිබඳව දීර්ඝ වශයෙන් කරුණුදක්වා ඇත. මෙකල රක්තාක්ෂි නම් යක්ෂයෙකු මිනිසුන් විනාශ කල බවද රජුගේ ශීලගුණයෙන් ඔහු පලවා හැරී බවද ම: ව: දක්වා ඇත. අත්තනගලු වංශය සම්පූර්ණයෙන්ම ලියවී ඇත්තේ මොහු පිළිබඳව කීමටය. තවද මෙම යුගයේ ඉංදියාව මුල්කොට ගෙන වෙළඳ ආධිපත්‍ය පැතිරගිය බවත් ඉංදු: ග්‍රීක: සක: කුෂාණ: චේර චෝල: චීන ආදී පාලකයන් මෙම තරගයට සහභාගී වී තිබූ බව රොමිලාතපර් පවසයි. මෙකල ජෛනාගම ඉන්දියාව පුරා පැතිර ගිය බවද පෙනීයයි. ↑
ම: ව: මොහු ගොඨාභය නමින් සඳහන් කරන අතර මොහු සංඝබෝධි හා යුද්ධයට ගියබවද යුද්ධයෙන් මිනිසුන් විනාශ වෙතියි සැලකූ ඔහු දකුණු දිග දොරින් තපසට ගිය බවත් එයින් පසු මොහු රාජ්‍ය ගත් බවත් දැක්වේ. ↑
මොහුගේ රාජ්‍ය කාලය ක්‍රි. ව. 253 සිට 266 දක්වාවේ. ම: ව: යෙහි මහාවිහාරයටද ශෛලමණ්ඩපයක් කරවූ බවත්, ලෝවාමහා පායෙහි ගල්ටැම්තැබ්බවූ බවත් දොරටු තුනෙහි ගල්පිළිම 3ක් තැනූබවත් මෙයට අමතර විශේෂ කාර්ය්යන් කරවූ බව දැක්වේ. එසේම මෙම අවදියේ යකැදුරුකම් දන්නා සොලී භික්ෂුවක් පැමිණි බවද ම: ව: දක්වා තිබේ. සංඝමිත්‍ර නම්වූ මෙම භික්ෂුව ථූපාරාම වාසී සංඝපාල හිමියන්ගේ දුර්වලතාවයක් බලා රජු දිනා දරුවන්ගේ ඉගෙනීම් කටයුතු බාරගත් බව දැක්වේ. ↑
මෙ රජ ක්‍රි. ව. 266 සිට 276 දක්වා රජව සිටියේය. මොහු පියරජුගේ මරණයට සහභාගි නොවූ ඇමතිවරුන් කීප දෙනෙක් මරා උලහිඳුවූ බවද දෙටුතිස් රජ වූ පසු සංඝමිත්‍ර මහසෙන්ද රැගෙන ඉංදියාවට පලා ගිය බවද මඃ වඃ 36 පරි. දැක්වේ. ↑
රා.ව. අනුව අවුරුදු 24කි. මොහු ක්‍රි. ව. 276 සිට 304 දක්වා රාජ්‍ය කොට ඇත. ↑
මඃ වඃ සංඝමිත්තගේ නම සඳහන් වුවත් මෙහි එය දක්නට නැත. එසේම සංඝමිත්‍ර විසින් සෝණ නම් ඇමතියෙකු ලවා මහාවිහාරය විනාශකරවූ බවද සත්මහල් ලෝහ ප්රාසාදයද බිඳදැමූ බවද දැක්වේ. අවුරුදු 9ක්ම භික්ෂූන් ගෙන් තොරවූ බවද එහි දක්වා ඇත. මේ ආදී විස්තර රාශියක් මඃ වඃ 37 පරි. දක්වා ඇත. ↑
කිපිල නම් ඇමැතිවරයෙකු ලවා ධර්ම විනිශ්චයක් කරවූ බව නිකාය සංග්රහයෙහි දැක්වේ. ↑