සිංහල දීපවංශය

21 වන පරිච්ඡේදය

කුටිකණ්ණ රජුගේ පුත්වූ අභය[1] රජතුමා දිනක් රමණීයවූ රුවන්වැලි මහාසෑය වැඳීමට පැමිණියේය. එම අවස්ථාවේ මහාසෑයේ ධාතුගර්භය තුළ නිර්මලවූ පිරිසිදු මනසින් හෙබියාවූ ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේලා නමස්කාර ගීතිකා කියමින් බුදුරදුන් පුදති. රජතුමා ඒ රමණීය වූ ධාතුගර්භය තුළින් නික්මුණාවූ ගායනා ශබ්දය අසා එය දැකීම සඳහා ථූපය වටා පැදකුණු කළද ශබ්දය නිකුත් කරන්නා වූ කිසි කෙනෙකුන් නොදැක්කේය. රජතුමා ඒ මහාසෑය වටාගොස් වැඳ උතුම්වූ එම සජ්ඣායනා ශබ්දය අසා මෙසේ සිතුවේය.

මෙම ධාතුගර්භය තුළ යම් කෙනෙකු මෙසේ ගායනා කෙරෙයි. එසේ වුවද උන්වහන්සේලා මෙම දොරටු හතර අසලද නැත්තාහ. ඉන් පිටතද නොවෙති. ඒ සුපේශල ශික්‍ෂාකාමී භික්‍ෂූහු මෙම ධාතුගර්භය තුළම ගායනා කෙරෙති. මේ උතුම් වූ ධාතු ගර්භය දැකීමට මමද කැමැත්තෙමි. එසේම එම භික්‍ෂූන් දකින්ටද කැමැත්තෙමි. ගායනා කරන්නාවූ පූජනීය ගීතිකා ඇසීමටද කැමැත්තෙමි.[2]

යනුවෙනි. භාතිකාභය රජුගේ මෙම අදහස සක්දෙව් රජු දැන ධාතුගර්භයෙහි පහළව ඒ තෙරවරුන්ට මෙසේ කීවේය. ස්වාමීන් වහන්ස: ධාතුගර්භයේ ඇතුලත දකිනු රිසියෙන් රජතුමා සිටී.’ යනුවෙනි.

තෙරුන් වහන්සේලා එකෙණෙහිම එම අභය රජුගේ ශ්‍රද්ධාව රැකීම පිණිස ඔහුව ධාතුගර්භය තුළට පැමිණවූහ. ධාතුගර්භය දුටුවාවූ රජතුමා ඉන් හටගත් සතුටින් සත්දිනක් ඇඳිලි බැඳගෙන ධාතූන වහන්සේලාට පූජාසත්කාර පැවැත්වීය. එසේම ඒ සත්දින තුළ සුදුසු පරිදි මධුභණ්ඩ නම් ඉතා රමණීය වූ පූජාවක්ද කළේය. එසේම තවද සත්දිනක් ඉතා අගනා පූජා භාණ්ඩ පිදීය. තමාට කැමති පරිදි සත්දිනක් අන්‍ය විවිධ පූජාද පැවැත්වීය. සත්වරක් නැවත නැවත උතුම් පහන් පූජාවක්ද පැවැත්වීය. එවැනිම මනරම්වූ මල්පූජාවක්ද සත්වරක් පැවැත්වී. තවද පූරිත ජනපූජා[3] නම් පූජාවක්ද එහිම සත්දිනක් පැවැත්වීය. මහාථූපය වැසෙන පරිදි රජතුමා විසින් දැලක්ද කරවන ලදී. එය මහාසෑයට පොරවන ලද සිව්රක් මෙන් විය. මහාසෑ පදනමෙහි ශක්තිමත් පහන් කණු කෙරවූ මෙම රජතුමා ඒවා ගිතෙල් වලින්[4] පුරවන ලදී. මේ ආදී වශයෙන් සත් ආකාරයකින් පහන් දැල්වීය. මහාසෑය පාදයෙහි අවට තලතෙල් හා මීතෙල් පුරවා යවමින් දහසය වරක් තෙල්පහන් දැල්වීය. මෙම භාතිකාභය රජතුමා මහාසෑ මලුව සුවඳ පැණින් පුරවා එය පිරිසිදු කරවා ඒ මත කලාල අතුරුවා අත්හි උපුල්මල් පුරවා විසුරුවමින් සත්වරක් පූජා පැවැත්වීය. තවද ජලයන්ත්‍ර[5] උපයෝගී කොට ගෙන මෙම ථූපයෙහි බටහිරින් තිබූ තිසාවැවින් ජලය ගෙන්වා ගෙන උතුම් ජලපූජාවක්ද පැවැත්වීය. තවද උතුම්වූ මහාසෑය අවට යොදුනක් පමණ ප්‍රමාණයේ නොයෙක් වර්‍ගයේ මල්ද සිටවීය.[6] මහාසෑයේ ප්‍රමාණයට මල් රැස්කරවූ රජතුමා මහාමල් පූජාවක්ද පැවැත්වීය.[7] තවද බොහෝ මල්කැකුළු ගෙන්වා ගෙන දහසය දිනක් මල්පූජාවක් පැවැත්වීය. සෑමළුයෙහි නොයෙක් මල් එක්රැස්කොට ආලින්දයක් සේ මල්වලින් ස්ථම්භයක් කරවා සත්වර බැගින් නැවත නැවතත් පූජා පැවැත්වීය. මහාසෑය වැඳීම පිණිස නොයෙක් නොයෙක් රූපයන්ද මල්වලින් කරවීය. මහාසෑයේ හුණුපිරියම් කරවා ප්‍රතිසංස්කරණයද කළේය. එම රජතුමා මහාසෑයට රාජ්‍යද පූජාකොට අභිෂේකයක්ද පැවැත්වීය.

යම් ඇසතු බෝධියක් සමීපයෙහි ශාක්‍ය පුත්‍ර වූ ගෞතම බුදුරජාණන් වහන්සේ ස්වකීය ධර්‍මය අවබෝධ කළ සේක්ද? එහි මනරම් වූ දක්‍ෂිණ බෝධි ශාඛාවක් මහමෙව්නා උයන්හි පිහිටියේද? භාතිය රජතුමා එම බෝධියටද රාජ්‍ය පුදා රාජ්‍යාභිෂේකය කළේය. භික්‍ෂු සංඝයාගේ සුඛවිහරණය පිණිස වස් පවාරණය කල කල්හි වස්පවාරණානුග්‍රහය පිණිස “පවාරණදාන” නම් මහාදානයක්ද දුන්නේය. එපමණක්ද නොව භික්‍ෂු සංඝයා වෙනුවෙන් තෙල් පැන් වස්ත්‍ර ආදියෙන් නිතිපතා පිරිකර සහිත දන්දීමද කළේය. පංචතූර්‍ය්‍ය නාදයෙන් උදේ සවස මහාසෑයට පූජා පැවැත්වීමට අණකලා පමණක් නොව ලක්දිව සිටි උසස්ම පෙළේ නළුවන් යොදා[8] නෘත්‍ය, ගීත, දාන ආදියද පැවැත්වීය. තවද මහාසෑය ප්‍රතිසංස්කරණයට ධනය වෙන්කලා පමණක් නොව අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළවූ වෙසක්පුන් පොහෝදිනය ඇති මාසය පිදීමක් වශයෙන් වෙසක් පූජා විසි අටක් ද පැවැත්වීය. රමණීය වූ මහ මෙවුනා උයනෙහි මහාවිහාරයද, ථූපාරාමයද යන උභය විහාරයන් අතර උපොසථාගාරයක්ද කරවීය. මෙ රජතුමා මෙපමණක්ද නොව වෙනත් බොහෝ පින්ද කළේය. මේ ආකාරයෙන් බොහෝ දන්දෙමින් විවිධ ලෝසසුන් ක්‍රියාවන්හි නිරතවෙමින් අවුරුදු විසිඅටක් රාජ්‍ය කළේය.

භාතිකාභය රජු ඇවෑමෙන් කූටකණ්ණතිස්ස රජගේ නාග[9] නැමැත්තා මෙයින් පසු රජවිය. මෙම රජතුමා රන්මය ගඩොලින් මහාසෑය ප්‍රතිසංස්කරණය කළේය. එසේම උතුම්වූ අම්බස්ථල[10] විහාරයෙහි හා අනෙකුත් සියළු විහාරයන්හි ධර්‍මාසන පූජාවක්ද කරවූ අතර “ගිරිභණ්ඩගහන”[11] නම් මහාපූජාවක්ද කරවීය. සුපේශල ශික්‍ෂාකාමී භික්‍ෂූන් ලක්දිව යම්තාක්වේද රජතුමා ගෞරව පුරස්සරව ඒ සියළු භික්‍ෂූ සංඝයා වහන්සේ වෙනුවෙන් සිවුරු පූජා කළේය. දොළොස් වසක් ඔහුද රාජ්‍ය පදවිය දැරීය.[12]

මහාධාඨීක මහානාග රජුට පසුව ඔහුගේ පුත් ආමණ්ඩගාමිණී අභය[13] ලක්දිව රජුවිය. අමණ්ඩ ගාමිණී රජු විසින්ද ළිඳක් හා ගාමෙණ්ඩි නම් විලක්ද කරවන ලදී. තවද මහාසෑය උදෙසා රජතලෙන නම් ලෙනක් ද රිදියෙන් කරවන ලදී. එසේම ඔහු ථූපාරාම චෛත්‍යයේ ඡත්‍රය මත නව ඡත්‍රයක්ද කරවීය.[14] මහා විහාරයේ හා ථූපාරාමයෙහිද ප්‍රසාද දෙකක් කරවීය. මෙම උභය විහාරයන්හි භාණ්ඩ තැන්පත් කිරීම පිණිස ලෙනක් ද ගෙයක් ද කරවන ලදී. ලක්දිව සතුන්මැරීම සම්පූර්ණයෙන්ම තහනම් කළ මෙම රජතුමා අවුරුදු නවයකුත් මාස අටක් රජය මෙහෙයවීය.

ආමණ්ඩ ගාමිණී අභය රජුගේ බාල සොහොයුරු කණිරජාණුතිස්ස[15] නමින් ප්‍රසිද්ධව සිටි මොහු මෙයින් පසු රජවිය. සම්පූර්ණයෙන්ම අවුරුදු තුනක් ඔහු රාජ්‍ය කළේය. ආමණ්ඩගාමිණී රජුගේ පුත් චූලාභය මෙයින් පසු රජවිය. ඔහුද, උතුම්වූ ගග්ගරාරාම[16] විහාරය කරවීය. ඔහු රාජ්‍ය ගෙනගියේ අවුරුද්දකි. ආමණ්ඩගාමිණී අභය රජුගේ දුවනිය වූ රේවතී නමින් ප්‍රසිද්ධව සිටි සීවලී රැජින මෙයින් පසු සිව්මසක් රාජ්‍ය කළාය. එකල සිටි ආමණ්ඩගාමිණී අභය රජුගේ බෑනා කෙනෙකුවූ ඉලනාග[17] නමින් ප්‍රසිද්ධව සිටි කුමාරයා සීවලී රැජින පහකොට රාජ්‍ය මෙහෙයවීය. සතුරන් මර්ධනය කළාවූ ඉලනාග රජතුමා කපිජාතකය අසා තිස්සධූර[18] නම් විලකරවීය. ඔහු ලක්දිව අවුරුදු හයක් රාජ්‍ය කළේය.

ශිව නමින් සඳහන් තැනැත්තා මෙයින් පසු චන්‍දමුඛශිව[19] නමින් රජවිය. මෙම රජතුමා ඉසුරුමුණි විහාරයෙහි මණිකාරාම නම් ආරාමයක් කරවීය. දෙමළ දේවිය නමින් ප්‍රසිද්ධව සිටි ඒ රජුගේ දේවිය එම ගමින් අයකල බදු ද ඉසුරුමුණි විහාරයට දුන්නීය. මෙම රජු අවුරුදු අටකුත් මාස හතක් පාලනය කරන ලදී. යසලාලකතිස්ස[20] එයින් පසු රජවිය. ඔහු අවුරුදු හතකුත් අටමසායක් රාජ්‍ය කළේය. එයින් පසු දොරටුපාලයාගේ පුත්‍ර සුභ[21] නැමැත්තා රජවිය. ඔහු සුභාරාමයත් විල්ලවිහාරයත් කරවීය. තම නමින් ඔහු පිරිවෙණක්ද කරවීය. ඔහුද සයාවුරුද්දක් ලක් රජය කරවීය.

  1. මඃ වඃ මොහු භාති කාභය යනුවෙන් දක්වා ඇත. මොහුගේ රාජ්‍ය කාලය ක්‍රි. පූ. 20 සිට ක්‍රි. ව. 9 දක්වාය. මෙමයුගයේ ඉංදියාවේ වයඹ හා බටහිරදිග ප්‍රදේශ ශකවරුන් යටතේ පැවති බව පෙනේ. කාලිංගයේ චේතවරුබලයේ සිටි බව පෙනේ. යුරෝපයේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත මෙම අවදියේදී සිදුවිය. ↑

  2. මොහු ඉතා භක්තිමත් රජකු බව මඃ 34 පරි. දක්වා ඇත. පබළුවලින් දැලක් කරවා සෑය වැසූ බවක්ද දක්වා ඇත. එහෙත් භාතිකාභය පිළිබඳ දී. ව. විස්තර වඩා වැදගත්ය. ↑

  3. ම: ව: මේ පිළිබඳව සඳහන් නොවේ. අබාවැවින් යන්ත්‍රයක් මාර්‍ගයෙන් ජලය ගෙන ජලපූජාවක් පැවැත්වූ බව දක්වා ඇත. නමුත් දී. ව. දක්වා ඇත්තේ තිසා වැවින් ජලය ගෙන පූජා පැවැත්වූ බවයි. මෙහි සඳහන් පූරිතජල පූජාව විවිධ ආකාරයේ සුවඳ කැවූ ජලය ගෙන එයින් සෑය තෙමමින් කල පූජාවක් වියහැකිය. ↑

  4. නූතන ගෑස්නල ආකාරයෙන් මේවා සෑදූ බව පෙනේ. ↑

  5. ක්‍රි. පූ. අවදියේදීම ලංකාවේ නූතන යන්ත්‍ර වලට සමාන යම් යන්ත්‍ර සුත්‍රතිබූ බව පෙනී යයි. ↑

  6. මේ ගැන ම: ව: දක්නට නැත. ↑

  7. මේ පිළිබඳව ථූ. ව. දීර්‍ඝ විස්තරයක් ඇත. ↑

  8. මෙරට මුල් අවදිවල සිටම චිත්‍ර මූර්ති වැනි කලා සම්ප්‍රදායන් පමණක් නොව රංගනතා ගීත කලාවද ක්‍රමානුකූලව පැවති බව මෙයින් පෙනේ. මේ වනවිට උසස් සරසවි අධ්‍යාපන පීඨ මහාවිහාරය හා අභයගිරිය පදනම් කරගෙන පැවති බව පෙනේ. ↑

  9. මෑ: වං: දැක්වෙන්නේ ‘මහදැලියාමාන’ යනුවෙනි. මොහු මහාදාඨිකමහානාගය ක්‍රි. ව. 9 සිට 21 දක්වාවේ. ↑

  10. අම්බස්ථල විහාරය නැවත ගොඩ නංවා කරවූ බව ම: ව: දක්වා තිබේ. ↑

  11. 1. සෑගිරිය අවට යොදුනක් සැරසවීම 2. මහාවීථි ඇති දොරටු 4ක් කරවීම 3. වීථිවල සල්පිල් පිහිටුවා තොරන් බැඳීම හා සැරසවීම 4. වීථිපහන් මාලාවන්ගෙන් ආලෝක කරවීම. 5. නැටුම්ගැයුම් පැවැත්වීම. 6. මල්වතුඹයේ සිට සෑගිරිය දක්වා පය දොවා පිරිසිදුව යාමට පාවඩ දැමීම 7. නුවර සතර දොරටුවලත් ලක්දිව සෑමතැනත් මහදන්දීම. 8. ලක්දිව සෑමතැන පහන්පූජා පැවැත්වීම 9. මුහුදේ යොදුනක් දුර හාත්පසද පහන් දැල්වීම 10. සෑය අවට පෙළහර දැක්වීම යන මේවා ගිරි භණ්ඩ පූජා නමින් ම: ව: 34 දැක්වේ. ↑

  12. මේ කාලයේ පාණ්ඩ්‍ය දේශයේ සිටි රජෙකු රෝමයට දූත පිරිසක් යැවූ බව ස්ට්‍රැබො කියයි. මෙකල පාණ්ඩ්‍ය දේශයේ අගනුවර මධුරාව වූ අතර නෙඩුම් වෙලියම් රජකල බව පෙනේ. ↑

  13. ක්‍රි. ව. 21 සිට 30 දක්වා පාලනය කල බව පෙනේ. භික්‍ෂූන්ට පලවැල දුන් නිසා ඔහුට මෙම නම දැමූ බව ම: ව: කියයි. ↑

  14. ම: ව: දැක්වෙන්නේ මහසෑයේ ඡත්‍රය මත ඡත්‍රයක් කලබවයි. ඡත්‍රසාද ඇත්තේ කුඩා චෛත්‍යවල හෙයින් ම: ව: පුවත පිළිගත නොහැකිය. ↑

  15. සෑගිරි විහාරයේ පෝය ගෙයිදී දුශ්ශීල භික්‍ෂූන් 60 නමක් රජු මැරීමට තැත්කල නිසා ඔවුන් කණිරනම් ප්‍රපාතයෙන් හෙලා මැරූ බව ම: ව: 35 පරි. දැක්වේ. මොහු සහෝදරයා මරූබව ද සඳහන්ය. ↑

  16. ම: ව: දැක්වෙන්නේ හුළුගල් විහාරය කරවූ බවය. ↑

  17. ඉලනාග ක්‍රි. ව. 37 සිට 43 දක්වා රජකල බව දැක්වේ. ලම්බකරණයන් මොහුට විරුද්ධවූ බවත් ඔවුන්ට දඬුවම් කලවිට ඔවුන් කිපී රජු රජගෙදර හිරකොට ඔවුන් පාලනය ගත්බවත් රජුගේ මගුල් ඇතා ඔහු මුදාගෙන මහතොටට ඇරලූ බවත් එයින් පසු ඉංදියාවෙන් හමුදාවක් ගෙනවිත් නැවත රාජ්‍ය ගත් බවත් ම: ව: 35 පරි. දැක්වේ. ↑

  18. ම: ව: දැක්වෙන්නේ කපි ජාතකය අසා පැහැදී නාගමහා විහාරය බන්‍ධනමුක්ත දුණු 100ක් කොට කරවූ බවය. ↑

  19. ක්‍රි. ව. 43 සිට 52 දක්වා මොහු රජ කරන ලදී. ශකවරුන් මෙකල ඉන්‍දියාවේ වයඹ හා උතුරේ වැඩි කොටසක් පාලනය කල බව පෙනේ. මෙම ශකවරු බෞද්ධයන් වූ බවද දැක්වේ. ↑

  20. යසලාලක තිස්ස සහෝදරයා තිසා වැවේ දිය කෙලියේදී මරා රජවූ බව ම: ව: 35 දැක්වේ. ↑

  21. සුභ කවට කමට ගොස් යසලාලක තිස් මැරූ බව ම: ව: දැක්වේ. එසේම වසභ නැමැත්තෙක් රජ වන බව ඇසූ ඔහු එම නම ඇසූ සියලු දෙනා මැරවූ බවද ම: ව: 35 පරි. දැක්වේ. ↑