20 වන පරිච්ඡේදය
කාවන්තිස්ස රජුගේ පුත් ‘තිස්ස’ නමින් ප්‍රසිද්ධව සිටි කුමාරයා මහාථූපයෙහි ඡත්‍ර කර්මාන්තාදී සෙසු සියලු කටයුතු කරවීය. ඔහු විසින් දක්ඛිණගිරි විහාරයද කල්ලක ලෙන ද කරවන ලදී. මේ හැරුණු විට සද්ධාතිස්ස රජු බොහෝ විහාරද කරවීය.[1] අසූහාර දහසක් ධර්මස්කන්ධයන් සිහිකරවූ මෙම රජතුමා ඒ ඒ, දහම් කොටස් වෙනුවෙන් එක් එක් පූජාව බැගින් පැවැත්වීය. එම සද්ධාතිස් රජතුමා ලෝවාමහාපාය නැවත සිත් ඇදගන්නා අයුරින් සත්මහල් කොට[2] සැකසීය. මෙයට සෙවිලි කරවන ලද්දේ ලෝහයෙන් කරවන ලද උළුය. එම නිසා මුල් අවදියේ සිටම එයට ‘ලෝහප්‍රාසාදය’ යැයි කියන ලදී. එසේම මෙ රජතුමා මහාසෑය හාත්පස වැසී යන ආකාරයට තිරයක්ද සෑදවීය. චෛත්‍යය වට ඇත්පවුරක් දකරවීය. සද්ධාතිස් රජතුමා විසින් මෙහි තාවකාලික හතරැස් පොකුණක් කරවන ලදී. සද්ධාතිස් රජු මේ අයුරින් අවුරුදු දහඅටක් රාජ්‍ය කළේය. අනල්පව දන්දී බොහෝ පුණ්‍ය කර්මයන්හි නිරතව මෙම රජතුමා[3] මරණින් මතු තුසිත දෙව්ලොව දෙවියන් සමීපයට ගියේය.
සද්ධාතිස් රජුගේ පුත් ථුලත්ථන[4] මෙයින් පසු රජවිය. ඉතා අලංකාර ලෙස අලකන්දර විහාරය කරවන ලද්දේ මොහුය. මොහු මසකුත් දින දහයක්[5] රාජ්‍ය කළේය. මෙයට පසු සද්ධාතිස්ස රජුගේ තවත් පුතෙකු වන ලජ්ජිතිස්ස නැමැත්තා රජවූයේය. මොහුගේ රාජ්‍යානුශාසනා කාලය නව අවුරුදු හයමසකි.[6] උතුම් වූ රුවන්වැලිසෑයට ඕහුමල් ආසන තුනක්ද කරවීය.[7] මේ හැරුණුවිට ඔහු විසින් ගිරිකුම්බල නම් විහාරයද කරවන ලදී. ථූපාරාම විහාරයේ නැගෙනහිර පසින් ‘දීඝථූප’ නම් ස්ථූපයද කරවූ මොහු ථූපාරාම විහාරයට ගල් ආවරණයක් ද සෑදවීය. ලජ්ජිතිස්ස රජතුමාගේ මරණයෙන් පසු ඔහුගේ කණිටු සොහොයුරු බල්ලාටනාග රජවිය. ඔහු හයවසක් රාජ්‍ය මෙහෙයවීය.
අකෘතඥවූ මහාරත්ථක නම් සෙනෙවියා ඔහු මරණයට පත්කොට එක් දිනක් රාජ්‍ය කළේය. බල්ලාටනාගගේ බාල සොහොයුරු වට්ටගාමිණී අභය[8] කුමරා එම නපුරු සෙනෙවියා මරණයට පත්කොට රාජ්යගෙන පස්මසක් රාජ්‍ය කළේය.
පුලහත්ථ[9] නම් ද්‍රවිඩයෙකු ඔහු නෙරපා දමා රාජ්‍යය ගෙන ගියේය. ඔහු මැරූ බාහිය අවුරුදු දෙකක් රජකළ අතර පනයමාර ඔහු මරා හත්වසරක් රාජ්‍ය මෙහෙයවීය. එයින් පසු පිළයමාර ඔහු මරා සත්මසක් රාජ්‍යානුශාසනා කළේය. එයින් අනතුරුව ඔහු මැරූ ධාඨිය නැමැත්තා අවුරුදු දෙකක් රාජ්‍ය ගෙනගියේය. ද්‍රවිඩ ජාතිකයන් වූ මෙම අතුරු රජුන් පස්දෙනා අවුරුදු දහහතරකුත් සත් මසක් රජකම් කළහ.
මහායසස් ඇති වට්ටගාමිණී අභය රජතුමා එම ධාඨිය නම් ද්‍රවිඩයා මරාදමා තමාම රාජ්‍ය විචාළේය. වලගම්බා රජු පළමුවෙන් මෙසේ පස් මසක්ද අවුරුදු දොළහක් දෙවනුවද රාජ්යගෙන ගියේය. මහාණැනවත් භික්ෂූන් වහන්සේලා මෙ රජුගේ කාලයට බොහෝ පෙර සිටම ත්‍රිපිටක පාලිය හා එහි අර්ථකථාවද මුඛපරම්පරාවෙන් රැගෙන ආවාහුය. මෙම කරුණ පිළිබඳව එකල්හි රැස්වූ භික්ෂු සමූහයා අනාගතයෙහි වන්නාවූ හානිය දැක ධර්මය බොහෝ කලක් ප්‍රතිෂ්ඨාපනය කරවීම පිණිස පොත්වල ලියා තැබූහ.[10] වලගම්බාගෙන් පසු මහාචූලිමහාතිස්ස රජතුමා අවුරුදු දහහතරක් දැහැමෙන් සෙමෙන් රාජ්‍ය කළේය.[11] සද්ධාසම්පන්න එම රජුද විවිධ ආකාරයේ පින්කම් කොට දහහතර වසක් රාජ්‍ය මෙහෙවීමෙන් පසු දෙව්ලොව ගියේය.
වට්ටගාමිණී අභය රජුගේ පුතෙකු වන චෝරනාග නමින් පතලවූ තැනැත්තෙකු දොළොස්මසක්[12] හොරෙකු වශයෙන් රජකම කළේය.
මහාචූලි මහාතිස්ස රජුගේ “තිස්ස”[13] නමින් ප්රකටව සිටි පුත්‍රයා මෙයින් පසු වසර තුනක් රාජ්‍ය මෙහෙවීය. අනතුරුව අවුරුද්දකුත් මාස දෙකක් ශිව නැමැත්තා සමඟ අනුලා රාජ්‍යානුශාසනා කළාය. එයින් පසු අනුලා බිසොව තවද අවුරුද්දකුත් මාස දෙකක් වෙනත් දේශයකින් පැමිණි වටුක නම් ද්‍රවිඩ රජෙකු හා රාජ්‍ය මෙහෙයවීය. දරුභාතිකතිස්ස නැමැත්තා අනුරාධපුර රාජ්‍ය මධ්‍යස්ථානයේ තබාගෙන අවුරුද්දකුත් මාසයක් රජ කරන ලද්දේ මෙයින් පසුවය. බ්‍රාහ්මණ නිලිය නැමැත්තා මෙයින් පසු රාජ්යානුශාසනාවෙහි තබාගත්තාය. නිලිය මාසහයක් රජකරවීය. නිලියද මරා දැමූ අනුලා තවත් හාරමාසයක් ලක්දිව රාජ්‍යානුශාසනා කළාය. මේ කාලයේදී මහාචූලි මහාතිස්ස රජුගේ පුත් ‘කුඨකණ්ණතිස්ස’[14] නැමැත්තා අනුලා දේවියට බියෙන් පැනගොස් පැවිදිවිය. එසේ පැවිදිව සිට සුදුසු කාලයෙහි බලසෙනග පිරිවරා ගත්තාවූ ඔහු අනුරාධපුරයට පැමිණ පවිටු අනුලාව මරා රාජ්‍යබලය ලබා ගත්තේය. එසේ රාජ්‍ය බලය ලබාගෙන සඳගිරියෙහි උපෝසථාගාරයක්ද කරවීය. මෙනයින් ඔහු ලක්දිව රාජ්‍ය ගෙන දැහැමින් රාජ්‍ය කළේය. එම රජතුමා උපෝසථාගාරය ඉදිරියෙහි ගලින් නිමකරන ලද අලංකාර චෛත්‍යයක්ද කරවන ලදී. තවද බෝ රුකක්ද රෝපණය කළේය. මෙපමණක්ද නොව මල් පල ලතා ආදියෙන් හෙබි උයනක්ද කරවීය. මෙම රජතුමා භික්ෂුණීන් පිළිබඳවද මනස මෙහෙයවා භික්ෂුණී අවශ්‍යතාවය සඳහා ගිණිහල් ගෙයක්ද[15] කරවීය. එසේම වනෝද්‍යානය සඳහා පදුමස්සර නම් පවුරක්ද කරවීය. නගරයේ ආරක්ෂාව උදෙසා දිය අගලක් කරවූ ඔහු සත්රියන් උස් පවුරක්ද බැන්දවීය. මේ රජතුමා විසින් ඉතා අලංකාරවූ බෙමදුර්ගා[16] නම් මහවැවක්ද කරවන ලදී. ස්වේත-උත්පල ආදී වැව්ද[17] වර්ණක නම් මහ ඇලක්ද කරවන ලදී. මේ ආකාරයෙන් ඔහු අවුරුදු විසිදෙකක් රාජ්‍ය කළේය.
මඃ වඃ ඔහු විසින් කරවන ලද විහාර රාශියක් පිළිබඳව දක්වා ඇත. ↑
මෙය පහණක් ගිනි ගැනීම නිසා 9 හා 8 වන මහල් විනාශ වූයෙන් සද්ධාතිස්ස රජු එය සත්මහල් කරවා සැකසූ බව මඃ වඃ 38 පරි. දැක්වේ. ↑
මඃ වඃ සද්ධාතිස්ස පුවත කීමට පෙර සාලිය කුමරු ගැන තොරතුරු දක්වා ඇත. ↑
ක්‍රි. පූ. 119 මොහු රජවූ බව දක්වා ඇත. ↑
මඃ වඃ අනුව දුටුගැමුණු රජුට අසනීපවූ විට ථූලත්ථන අනුරපුර රජගෙදරට කැඳවාගෙන යන ලද බවත් වැඩි මහල්කුමරු ලජ්ජිතිස්ස දීඝාවැව නවතා ගිය බවත් මෙයින් පසු ථූලත්ථන රජගෙදරම සිටි බවත් සද්ධාතිස්ස මිය යාමෙන් පසු ඇමතිවරුන් එක්ව ථූලත්ථන රජකරවූ බවත් රාජ්‍ය හිමි ලජ්ජිතිස්ස පැමිණ රාජ්යගත් බවත් දැක්වේ. ↑
මඃ වඃ අවුරුදු 9 කුත් මාස 8 බව දක්වා ඇත. ↑
මඃවඃ දක්වන්නේ මුලදී සංඝයාට පරිභව කළ වරදට දඬුවමක් වශයෙන් මෙය කළ බවය. මෙයින් සංඝයාගේ අවශ්‍යතාවය සඳහා ථූලත්ථන රජකරවූ හෙයින් ලජ්ජිතිස්ස කෝපයෙන් සිටි බව පෙනේ. මොහුගේ රාජ්‍ය යුගය ක්‍රි. පූ. 119-110 වේ. ↑
මොහු බල්ලාට නාගගේ දේවිය වන අනුලා පාවාගත් බවත් ඔහුගේ පුත්‍රයා වන මහාචූලික කුමරා පුත්‍රස්ථානයේ තබා ඇතිදැඩි කල බවත් එම නිසා ඔහු පිතුරාජ නමින් සඳහන්වූ බවත් මඃ වඃ පවසයි (පරි. 33) මෙකල රුහුණු ජනපදයෙහි තිස්ස නම් බමුණෙක් රජකම ගැනීමට සැහැසිකම් කරමින් සිටි බවද මඃ වඃ 33 පරි දක්වයි. ↑
ද්‍රවිඩයන් 7ක් පැමිණිබව මඃ වඃ දැක්වේ. එයින් 5කගේ නම් පමණක් දැක්වේ. ↑
මේ පිළිබඳ - ධර්මසංගායනාව මාතලේ අළුවිහාරයේදී කළ බව ම: ව: 33 දක්වා ඇත. මෙම යුගයේ වලගම්බා රජු විසින් කරන ලද වැඩ රාශියක් පිළිබඳව ම: ව: දක්වා ඇත. එසේම නිකාය සංග්‍රහයේ හා පූජාවලියේද දක්වා ඇත. දී. ව. 19 පරි. මේ පිළිබඳ කෙටි විස්තරයක් පමණක් ඇත. ↑
ක්‍රි. පූ. 76 සිට 62 මොහුගේ රාජ්‍ය කාලයයි. මෙකල කාන්ව වංශයේ වාසුදේව ඉංදියාවේ පාලනය ගත් බව පෙනී යයි. රාජ්‍යකාලය අවු: 45 කි. මෙම කාලයේ කුජුලකැඩ්පයිසෙස් කාබුල් හා කාශ්මීරය අල්ලාගන්නා ලදී. ම: ව: අනුව මොහු මහාචූලි වෙස්වලා ගෙන ගොස් කුලිකොට ලද මුදලින් දන්දුන් බවද සඳහන්වේ. ↑
සමහර තැනක ‘රජ්ජං කාරෙසිදීම්හි තීනි වස්සානි ඛත්තියො’ යනුවෙන් තෙවසක් රජකළ බවක් පෙන්වයි. ම: ව: කියන්නේ මහාචූලි මහාතිස්සරජුගේ කාලයේ සිට දාමරික කම් කොට රාජ්‍ය ලද පසු විහාර 18ක් කඩා අපාගතවූ බවයි. ↑
ම: ව: කුඩ්ඩ තිස්ස (කුඩාතිස්ස) නමින් දැක්වේ. චෝරනාගගේ බිසොව වන අනුලා මොහු බිසොව වශයෙන් තබාසිටි බව පෙනේ. අනුලා මොහුට වසදී මරවා ශිව නැමැත්තෙකු සැමිකමට තබා රජය දුන් බව දැක්වේ. මේ අයුරින් ඇය පුරුෂයන් 32 තබාගෙන සිටි බවද ම: ව: 34 පරි. දක්වයි. ↑
මඃ වඃ මකලන්තිස්ස නමින් දැක්වේ. මොහුගේ රාජ්‍ය කාලය ක්‍රි. පූ. 42-20වේ. ජිනකලමාලිනියේ ‘කණ්ණතිස්ස’ නමින්ද දැක්වේ. ↑
මඃ වඃ දැක්වෙන්නේ දන්ත ගෙහ නම් මෙහෙණවරක් කරවූ බවය. මේ හැරුණුවිට ඔහු විසින් කරවන ද තවත් බෞද්ධ ගොඩනැගිලි රාශියක් දක්වා තිබේ. ඒවා දී. ව. තොරතුරුවලට වඩා වෙනස්ය. ↑
මඃ වඃ මෙය දැක්වෙන්නේ ‘ආමදුර්ග’ නමිනි. ↑
මඃ වඃ හයොලුප්පල නමින් දැක්වේ. ↑