19 වන පරිච්ඡේදය
දුටුගැමුණු රජතුමා විසින් තිස්කෝටියක් ධනය වියදම් කොට දොරටු සතරකින් යුත් ඉතා උස් වූ නවමහල් පහයක්[1] කරවන ලදී. එයින් පසු මහාසෑය පිහිටුවන බිම ස්ථරවීම සඳහා ක්රමාණුකූලව පොළව මතුපිට ගල්අතුරුවා එහි වෙඬරුමැටි ආලේප කරන ලදී. එයට පසු එම බිම බොරළුයොදා දැඩි ලෙස තදකොට නැවතත් ඒ මතුපිට වෙඬරු මැටි ආලේප කරන ලදී. එයින් පසු ඒ මතුපිට වටිනා ගඩොලින් බිම පිරිසිදු කෙරිනි. අනතුරුව ඒ මතුයෙහි යකඩ දැලක් දැමූ අතර ඒ මතුයෙහි කුරුවින්ද නම් පාෂාණ වර්ගයද අතුරුවන ලදී. අනතුරුව මෙ රජතුමා වර්ග අටක කැටගල්ද ඇතිරවීය. රජතුමා මේ ආකාරයෙන් බිම පිළියෙළ කරවා භික්ෂු සංඝයා රැස්කරවීය. එසේ භික්ෂූන් වහන්සේ රැස් කොට චෛත්‍යය කරවන ස්ථානයේ බිම හාත්පස මැන්නේය. මෙහිදී මෙම කාර්ය්ය සඳහා මෙම තෙරවරු සහභාගිවූහ.
ඉන්ද්‍රගුප්ත තෙරුන් වහන්සේ මෙයට සහභාගිවූ අතර ධම්මසේන තෙරුන්වහන්සේ; මහාකපි තෙරුන් වහන්සේ හා පියදස්සී; බුද්ධ රක්ඛිත; ස්ථවිරයන් වහන්සේලාද බුද්ධිමත් හා විසාරදභාවයෙන් යුත් මිත්තින්න තෙරුන් වහන්සේද උත්තින්න; මහාදේව; මූලධම්මරක්ඛිත; උත්තර; චිත්තගුප්ත; චන්ද්‍රගුප්ත යන ස්ථවිර වරුන්ද වූහ. මෙම තෙරුන් වහන්සේලා මහා පාණ්ඩිත්‍යයෙන් හෙබියාහු ය. සියල්ල දැරීමේ විශේෂ හැකියාවක් ඇත්තාහු ය. මෙම තෙරවරු දහහතර දෙනා වහන්සේ මෙම චෛත්‍ය කර්මාන්තයට සහභාගිවීම සඳහා දඹදිව සිට ලක්දිවට වැඩියාහ[2] තවද සිද්ධන්ත මංගල; සුමන යන තෙරවරුන්ද, පදුම: සීවලී: චන්ද්‍රගුප්ත: සුරියගුප්ත තෙරුන් වහන්සේලා හා ඉන්ද්‍රගුප්ත: සාගර: මිත්තසේන: ජයසේන: අචල ආදී තෙරවරුද ඉන්දියාවේ සිට මෙහි වැඩියාහු ය. මෙම උත්සවය පිණිස සුප්පතිට්ඨික නම් බ්‍රාහ්මණයාද සුමනා නම් ඔහුගේ බිරිඳද: නන්දසේන නම් ඔහුගේ පුත්‍රයාද යන මව්පිය පුත්හු උතුම් වූ මහා විහාරයේ ස්ථූපයක් කරවූහ[3] ඔවුන් විසින් අගනා මුතුමැණික් විස්සක්ද පරිත්‍යාග කරන ලදී.
එක්දිනක් ආගන්තුක භික්ෂූන්ගේ වත් පිළිවෙත් පිළිබඳව අසා දැනගත් මෙයට පසුකාලයක රජවූ වලගම්බා රජතුමා[4] මෙහි භික්ෂූන් වහන්සේලාගේ සැපවිහරණය උදෙසා අවශ්‍යය බෙහෙත් වර්ග භික්ෂූන් සඳහා පූජා කළේය. භික්ෂූනීන්ගේ යහපත් වචන ශ්‍රවණය කල මෙම රජතුමා භික්ෂූනීන්ටද අවශ්‍ය අවස්ථාවන්හිදී ප්‍රයෝජනය ගැනීම සඳහා කැමැති පරිදි පරිහරණය කිරීමට බෙහෙත් ආදී නොයෙක් ප්‍රත්‍යය සම්පාදනය කර දුන්නේය. මෙම රජතුමා රාමචේතිය පර්වතයෙහි ශෛලමය චෛත්‍යක්ද කරවීය. තවද ජලක නම් උතුම් වූ ආශන ශාලාවක්ද කරවීය.[5] මෙම වලගම්බා රජතුමා විසින් ගිරිනිගණ්ඨයා විසූ ස්ථානයේ ස්ථූපයක්ද කරවන ලදී. එම ස්ථූපය අභයගිරි නමින් සඳහන්වේ.
මේ කාලයේ ලක්දිව බලය ලබාගත් පුලහත්ථ බාහිය: පනයමාර: පිළයමාර: දාඨිය: යන දවිඩයන් පස් දෙනා අවුරුදු දහතරකුත් මාස හතරක් රාජ්‍ය කළහ.[6] මෙයින් පසු සද්ධාතිස්ස රජුගේ පුතෙකු වූ අභය නැමැත්තා[7] දාඨිය නම් ද්‍රවිඩයා මරා හොඳින් රාජ්‍ය කළේය. මෙම රජතුමා රුවන්වැලිසෑය අසල අභයගිරි විහාරය පිහිටුවීය. එසේම ඔහු අවුරුදු දොළහකුත් මාස පහක් රාජ්‍ය කළේය. මෙම අවදියේ වලගම්බා රජතුමාගේ යෝධයෝ හත් දෙනෙකු ආරාම පහක්[8] කරවූහ. උත්තිය: සාලිය: මුල: තිස්ස: පබ්බත: දේව: උත්තර යන සත්දෙනා මොවුහු වෙති. මෙයින් උත්තිය නැමැත්තා දක්ඛිණගිරි විහාරය කරවීය. සාලිය, සාලිය ආරාමය ද: මුල, මූලාසය නම් විහාරයද: පර්වතයෝධ තෙම පර්වත ආරාමයද, තිස්ස: තිස්ස ආරාමයද දේව උත්තර: යන මොවුහු දේවවිහාරය ද යන මෙම විහාරයන් කරවූහ.
කාවන්තිස්ස රජතුමාගේ පුත් මහාතිස්ස රජතුමා මිනිසුන් ලවා ඉතා අලංකාරවූ හැල්කෙතක් කරවා ධ්‍යානලාභී ශාන්තවූ සුම්ම තෙරුන්ට පූජා කළේය. එසේම භික්ෂු සංඝයා සමග කථිකා කරගෙන පූර්ණ තෙමසක් දහස් ගණන් භික්ෂු සංඝයා වෙනුවෙන් මහ දන් දෙවීය. මෙසේ මහා නැණවත්වූ පුණ්යලාභී වූ දුට්ඨගාමිණී අභය රජතුමා මරණින් මතු මහත් දිව්‍ය සමූහයා ඇති තුසිත දෙව්ලොව උන්නේය.[9]
මඃ වඃ දුටුගැමුණු කුමාරයාගේ උපත ගැන කීමට 22 පරිසම්පූර්ණයෙන්ම යොදගෙන ඇත. එහි රුහුණු රජ පරපුරේ ආරම්භයද දක්වා තිබේ. එසේම මෙහි සඳහන් නවමහල් ප්‍රාසාදය ලෝවාමහාපායයි. මෙය ඉතා දර්ශනීය ආකාරයෙන් නිමකල බව මඃ වඃ දක්වා තිබේ. මෙය රියන් දහසක් උස්වූ බව දක්වා ඇති අතර දිග පලලද රියන් දහසක් බව දක්වා ඇති අතර මෙහි මහල් 9ක් බවද දක්වා ඇත. මෙහි විවිධ වටිනා දේ තිබූ අතර ඇත්දතින් කළ විජිනි පතක් ගැනද දක්වා ඇත. මෙය පිළිබඳව හියුංසියැන්ගේ වාර්තාවේද ඇත. මෙහි පියස්ස තඹ ලෝහයෙන් කරන ලද උළුවලින් වසන ලද බවද මඃ වඃ 27 පරි දක්වා ඇත. මහාථූපය (රුවන්වැලිය) කරවීමට පෙර මෙය කැරවූ බව පෙනේ. ↑
ම: ව: දැක්වෙන්නේ මෙම තෙරුන්වහන්සේලාගේ නායකත්වය යටතේ රහතුන් වහන්සේලා අනූහය කෝටියක් වැඩි බවය. එය අතිශෝක්තියක් වන අතර ඓතිහාසිකත්වයෙන් තොරය. ක්‍රි. පූ. 161 දුටුගැමුණු රාජ්‍ය කාලය වන අතර මේවනවිට ඉංදියාව පුෂ්යමිත්ර සුංගයින්ගේ පාලනයට යටත්ව පැවති බව පෙනේ. බ්‍රාහ්මණ බලය මෙහි දැඩි ලෙස පැවති අතර බෞද්ධාරාම වැනසූ බවද පෙනේ. එම නිසා ඉංදියාවේ විසූ බොහෝ භික්ෂූන් වහන්සේ එහි බෞද්ධාරාම වැනසූ බවද පෙනේ. එම නිසා ඉංදියාවේ විසූ බොහෝ භික්ෂූන් වහන්සේ මෙහි බෞද්ධයන් නැන්වීම සඳහා පැමිණෙන්ට ඇතැයි සිතිය හැකිය. රොමිලා තපර්මහතා ක්‍රි. පූ. 180-28 සුංග පාලකයේ දක්වන අතර සමහර ඉතිහාසඥ එම පාලනකාලය ක්‍රි. පූ. 187-151 දක්වන අතර සමහරු ක්‍රි. පූ. 187-75 දක්වති. මෙකල බමුණන් පොල්ල බිම තබා කඩුව අතටගත් යුගය සේද සලකති. ↑
මොවුන්ද ඉන්දියාවේ සිට පැමිණි බව පෙනේ. මොවුන් පිළිබඳව ම: ව: කිසිදු සටහනක් නැත. ථූපවංශයේ දක්නට ලැබෙන මෙම සැදැහවතුන් උළුසෙවිලිකල බවකි. ම: ව: කතුවරයා මහාථූප කතාව ගැනකීමට 28: 29: 30: 31 යන පරිච්ඡේද සම්පූර්ණයෙන්ම වැය කොට ඇත. ↑
මොහු පළමුවර ක්‍රි. පූ. 104 රජවූ බව දැක්වෙන අතර දෙවන වර ක්‍රි. පූ. 89 සිට 77 දක්වා රජකල බව කියයි. ම: ව: දෙවන වර රාජ්‍යකාලය දක්වන්නේ ක්‍රි. පූ. 88-76 වශයෙනි. මේ අනුව ඔහු මහා විහාරයට සැලකූ බවද පෙනේ. ↑
ම: ව: භික්ෂුනීන් පිළිබඳව සඳහන් නොවන අතර වලගම්බා රජු විසින් කරන ලද මෙම බෞද්ධ කටයුතු පිළිබඳවද සඳහන් නොවේ. එහෙත් බෞද්ධස්ථානවලට සැලකූ බව සඳහන්වේ. ↑
ම: ව: දැක්වෙන්නේ අවු: 14 මාස 7ක් මොවුන් රජකල බවයි. ද්‍රවිඩයන් 7 පැමිණිබවද ම: ව: දක්වා ඇත. නිකාය සංග්රහයෙහි ඉතිරි දෙදෙනා සෝමා දේවිය හා පාත්රාධාතුව ගෙනයන ලදී. තවද මෙය යුරෝපයේ ජූලියස් සීසර් ගේ යුගයයි. ↑
මෙහි අභය යනුවෙන් දැක්වෙන්නේ වලගම්බාය. ↑
එකිනෙකා විහාරය බැගින් කරවූ බව ම: ව: දැක්වෙන අතර එහි එන්නේ අමාත්යන් වශයෙනි. එසේම 6 දෙනෙකුගේ නම් පමණක් එහි දැක්වේ. දේව: උත්තර, දෙදෙනාගේ නම ම:ව: දක්නට නොමැති අතර දී: ව: මූලව ගේ නම සඳහන් නොවේ. එසේම ම: ව: එම විහාරය ‘තිස්ස’ හිමියන්ට පූජාකල බව දක්වා ඇත. මෙසේ දි. ව. මුලදී විහාර 5ක් යැයි සඳහන් කලත් විහාර කල යෝධයන් කරවන ලද විහාර සඳහන් කිරීමේදී 6ක් කරවා ඇතිබව පෙනේ. ම: ව: එම විහාර නම් දක්වා නැත. ↑
මෙම පරිච්ඡේදය සැකසීමේදී දී. ව: කතුවරයා ව්‍යාකූලත්වයකට පත්ව ඇතිබව පෙනේ. එසේ වුවත් ම: ව: කතුවරයා එය ක්රමාණුකූලව සකසා ඇත. ↑