18 වන පරිච්ඡේදය
මෙම අවදිය වනවිට විනයෙහි දක්ෂ වූ බෙදී නොගියාවූ මිහිඳු මහරහතුන් වහන්සේගේ පුදපූජා පැවත එන සම්බුද්ධ ශාසනය පාලනය කරන්නාවූ මධ්‍යස්ථ හා නවක භික්ෂූහු ද වූහ. බහුශෘත හා සිල්වත් වූ එම භික්ෂූහු මෙම දිවයින බැබලවූහ. ධුතාංගයන්ගෙන් පරිපූර්ණවූ ඔවුහු ශිෂ්ඨභාවින් යුක්තවූවාහුය. මේ අයුරින් මෙම ලක්දිවෙහි ශ්‍රී සද්ධර්මයෙහි දක්ෂවූ බොහෝ ශාක්‍ය පුත්‍රයෝ විද්යාමානවූහ. මෙසේ ලෝකයේ බුදුරජාණන් වහන්සේලා පහළවූයේ බොහෝ දෙනාගේ හිතසුව පිණිසමය.
බුදුරජාණන් වහන්සේ අන්ධකාරය පහකොට ආලෝකය පෙන්වූ සේක. තථාගතයන් වහන්සේ කෙරෙහි යමෙක් ආඪ්‍යවූ ශ්‍රද්ධාවෙහි පිහිටියේ නම් ඔවුහු සියළු දුගතීන්ගෙන් මිදී සුගතියේ උපදිත්. යමෙක් එසේම ඉන්ද්රිය බලය සහිත බොජ්ඣඞ්ගයන්[1] වඩත් නම් සතර සෘද්ධිපාදයන් හා යහපත් සිහියද; ආර්ය්යාෂ්ටාංගික මාර්ගයද යන මේ සියළු ගුණයන්ද වඩත් නම් ඔවුහු කෙලෙස් සිඳ දැමූ උතුමෝවෙති. ඔවුහු මාරසෙනග පහකොට ලෝකය ජයගත්තාහු පුද්ගලයෝ වෙති. තවද මහාමායා දේවියගේ මව්තුමියගේ කුසයෙන් එකට උපන් යම් දේවීන් කෙනෙකුන් වීද, ඇය ස්වකීය මැණියන් මෙන් අනුකම්පාවෙන් යුතුව සිදුහත් කුමාරයාණන්ට කිරිපෙවීද? එසේ වූවාවූ ඇයද සඩභිඥාලාභී මහත් සෘද්ධිබල ඇත්තියකි. ඇය මහා ප්‍රජාපතීගෝතමී නම් වන්නීය. සියළු භික්ෂූනීන් වහන්සේලාට අග්‍රස්ථානය ගන්නේද වේ. මේ හැරුණු විට ඛේමා උප්පලවන්නා යන මෙහෙණීන් වහන්සේලා දෙදෙනාද බුදුරජාණන් වහන්සේ ගේ අග්රශ්රාවිකාවෝය.
පටාචාරා: ධම්ම දින්නා: සොහිතා: විශාඛා: සෝණ: සුබලා: සංඝදාසි: යන තෙරණියෝද විචක්ෂණ වූහ. තවද නන්දා: ධම්මපාලා: යන මෙහෙණීහු දෙදෙනද විනයෙහි විසාරදවූහ. මේ හැරුණු විට දඹදිව මාර්ගඵලලාභී ඥානවත් තෙරණියෝ වද වූහ. සංඝමිත්තා ස්ථවිර තෙරණියන් වහන්සේ, උත්තරා ස්ථවිර තෙරණියන් බුද්ධිමත් තෙරණියෝය. මෙම තෙරණියන්ගෙන් උත්තරා: හේමා: මසාරගල්ලා: අග්ගිමිත්තා: දාසිකා: පෙග්ගු: පබ්බතා: මන්තා: මල්ලා: ධම්මදාසි: යන තෙරණීහු දඹදිවින් ලක්දිවට පැමිණියාහුය. මෙම සියලු තෙරණීන් වහන්සේලා[2] ධර්මය අවබෝධකරවීමෙහි සමත්වූහ. මොවුහු අනුරාධපුර මහා විහාරයෙහි වෙසෙමින් විනය ග්රන්ථ පසද: අභිධර්මය ඇතුළත් සප්ත ප්රකරණයන්ද ඉගැන්වූහ.
ලංකාවේදී මෙහෙණි සසුනේ උපසම්පදාව ලැබූ සද්ධම්මනන්දි: සාමා: ගිරිද්ධි: දාසිකා: ධම්මා: ධම්මපාලා: යන තෙරණීහු විනයෙහි විසාරද බුද්ධිමත් තෙරණියෝ වූහ. එසේම මහිලා: සෝභනා: ධම්මතාපසා ධුතංගවාදී භික්ෂුණීහු අතර ප්රමුඛවූහ. එසේම නරමිත්තා භික්ෂුණිය මහාඥානවත්වූ අතර විනය විශාරදත්වයටද පත්ව සිටියාය. මේ අතර සාතා: කාලිය: උත්තරා යන තෙරණියෝ ථෙරවාදී දහමෙහි දක්ෂවූවාහුය. සුමණා භික්ෂුණිය ධර්මදේශනා කිරීමෙහි අති දක්ෂවූවාය. මෙසේ තෙරණීන් වහන්සේලා එකල ලංකාවේම උපසම්පදාව ලැබූ තෙරණියෝ වූහ. සමාධිගතවූ පහකරන ලද රාගාදී චෛතසිකයන්ගෙන් විනිර්මුක්තවූ පාරිශුද්ධ සංකල්පයන්ගෙන් හෙබියාවූ ධර්මවිනයෙහි සම්ප්‍රයුක්ත මෙම තෙරණීන් වහන්සේලාද උත්තරා භික්ෂුණිය සහිත තවත් භික්ෂුණීහු විසිදහසක් මෙම මෙහෙණි සස්නට ඇතුළත්ව අනුරාධපුරයෙහි සියලුතන්හි විසූහ.
ලක්දිව රාජ්‍ය මෙකල ඉසුලූ උසස් වංශයෙහි උපන් මහත් යසස් ඇති අභය රජුගෙන්[3] උපස්ථාන ලබමින් මොවුහු පළමුවෙන්ම අනුරාධපුරයෙහි සිට විනය පිටකය සහ පස්මහසඟීන්ද අභිධර්මයද සප් ප්රකරණයන්ද[4] ඉගැන්වූහ.
කාවන්තිස්ස රජුගේ[5] මනාසේ ධර්මයේ දක්ෂවූ සියළු දියණියෝ[6] මේ වනවිට භික්ෂුණියෝ වී සිටියහ. එම භික්ෂූනීන් හා පෙරෙවි බමුණාගේ දියණිය වූ බොහෝ දේ දන්නා ගිරිකාලී භික්ෂුණියද ධුක්ත ඇමතිවරයාගේ දියණියන් වූ දසි හා කාලී තෙරණියන්ද සුබ්බා; පාපිකා; හා සබ්බපාලී යන ළඟානොවිය හැකි ආකාරයට තේජාන්විත වූ විනයකාමිත්වයෙන් යුක්තවූ පිරිසිදුවූත් භික්ෂුණියෝ වූහ.
රෝහණ නමින් ප්රසිද්ධවූ භික්ෂුණියක් මෙම අවදියේදී භික්ෂුණින් විසිදහසක් පිරිවරනු ලදුව ලක්දිවට පැමිණියාය. මේ අවස්ථාවේ රාජ්‍ය මෙහෙයවූ අභය රජතුමා ඔවුන්ටද උපස්ථාන කළේය. මහාදේවී; හේමා; පදුමා; යන තෙරණියෝ මහත් යසස් කීර්තියෙන් හෙබි අයවූහ. මොවුහු අනුරාධ පුරයෙහි සිට ශිෂ්‍ය භික්ෂුණීන්ට විනය පෙළ ඉගැන්වූහ. රජු විසින්ද පුද සත්කාර හා උපස්ථානද කරන ලදී.
අනුරාධපුර නගරයෙහි විනය පිටකය ඉගැන්වූ භික්ෂූනීන් අතර විචක්ෂණ හා බුද්ධිමත් මහාසෝණ නම් භික්ෂුණියත් දත්තා හා සීවලී යන භික්ෂුණී වරුනුත් වූහ. මේ හැරුණු විට නාගා නාගමිත්තා; ධම්මගුත්තා; දසිකා; යන මනාසුන්දරත්වයෙන් යුත් නොපමාවූදෙව් මිනිසුන්ගේ පුද සත්කාරයට ලක්වූ භික්ෂුණීහු ද වූහ. අර්ය්ය මාර්ගඥාණ අවබෝධ කලාහුය. එපමණක් ද නොව ධර්මදේශනා කිරීමෙහි මහත්සේ දක්ෂ වූ යහපත් භාවය නිසා ජනයාගේ ගෞරවාදරයට ලක්වූ සපත්තා; චන්නා; භික්ෂුණීහුද උපාලි, රේවතා යන භික්ෂුණීහුද වූහ. මේ හැරුණු විට බොහෝ දඹදිව ජනයා බුදුසසුනෙහි පහදවන ලද විසිදහසක් භික්ෂුණීහු දඹදිවින්ද මෙහි පැමිණියාහුය. අභය රජුගේ ආරාධනයෙන් පැමිණියාවූ එම භික්ෂුණීහු අනුරාධපුරයෙහි විනය පිටකය ඉගැන්වූහ[7]
මෙයින් සමුද්ධා; නාවා; දේවී; සීවලී; යන තෙරණීහු රාජදියණියෝ වූහ. මෙම භික්ෂුණීහුද නිකාය පහට අයත් ග්රන්ථයන් හා අභිධර්ම පිටකයට අයත් සප්තප්රකරණයන්ද ඉගැන්වූහ. මෙම භික්ෂුණීහු හැරුණු විට විනයෙහි විසාරද වූ තවත් භික්ෂුණියන් නාගමිත්තා, මහිලා, භික්ෂුණීපාලා; යන භික්ෂුණීහුය. චුල්ලනාගා චුල්ලනාගමිත්තා යන භික්ෂුණීහු ලක්දිව ධර්මය උගත් භික්ෂුණියෝ වූහ. මෙම වංශවත්වූ භික්ෂුණීහු එම අවදියෙහි භික්ෂුණී ශාසනයෙහි මහත්සේ ප්‍රකට වූහ. එම භික්ෂුණීන් දහසය දහස[8] අතුරෙන් උසස් තනතුරු දැරූ භික්ෂුණීයෝද වූහ. මෙ තෙරණියන් හටද කුටිකණ්ණ අභය[9] රජු[10] විසින් මහත්සේ පුදසත්කාර කරන ලදී. මෙම තෙරණියෝද අනුරාධපුරයෙහි විනය පිටකය ඉගැන්වූහ. තවද මනා වැටහීම් සහිත අභිඥාලාභී යහපත්වූ චුල්ලනාගා; දත්තා යන ස්ථවිරවරියෝද ධර්මයෙහි ඉතා දක්ෂවූහ.
මෙම භික්ෂුණීන් වහන්සේලා හැරුණු විට නැණවත් භාවයෙන් අගතැන්පත් විසාරදවූ භික්ෂුණීන් අතර ගටිකධිතා, තෙරණිය හා මහාතිස්සාවන් වූ අතර අභිඥානා තෙරණියත්, සණ්හා තෙරණියත් ධර්මයෙහි ඉතා දක්ෂ වූහ. මෙම තෙරණීහුද උසස් වංශවලට අයත් වූහ. එසේම මොවුහු අරහත් මාර්ගඵල ලාභීහුය. එසේම මෙ තෙරණීහු රෝහණයෙහි හා මුළු ලක්දිව ප්රසිද්ධවූ අතර යහපත් අය විසින් පිළිගත් තැනැත්තියෝ වූහ. මොවුහු සියල්ලෝ ශිලාදී ඥානයෙන් හෙබි මහාණැණ වන්තියෝය. සමුද්ධා භික්ෂුණීය ෂඩ් අභිඥාලාභීවූ අතර ධර්මයෙහි දක්ෂවූවාය. මෙම සියළු භික්ෂුණීහු විභජ්ජවාදීනොවූ විනයධර භික්ෂුණීයෝ වූහ. මොවුහු භික්ෂුණී සසුන බලවන්තියෝ වූහ. ධර්මවිනයෙහි ඇළුනාවූ, මනසින් පිරිසිදු වූ මෙම සියළු භික්ෂුණීහු ලක්දිව උපසපන් බව ලැබුවාහුය. බොහෝ ඇසූ පිරූතැන් ඇති පාපයෙන් මිදුනු යසසසින් හා තේජසින් පිරිපුන් මෙම භික්ෂුණීහු ලෝසසුන් වැඩවඩා පිරිවිසියාහුය.
බුද්ධ ශාසනය මනාසේ රකිමින් විනය පෙළධාරණය කර ගත්තාවූ විභජ්ජවාදයෙන් තොර බොහෝ දේ දත් සිල්වත් මෙහෙණි ස්ථවිර වරියෝද නවක හා මධ්‍යම භික්ෂුණීහුද මෙකල[11] විද්යාමාණවූ අතර මෙම තෙරණීහු ලක් පොළව බැබලවූහ.
මෙයින් පසු ‘ශිව’[12] නම් ක්ෂත්රිය කුමරු රජ විය. මොහු දසවසක් රාජ්‍ය කළේය. මෙම රජතුමා විසින් ඉතා සිත් ඇදගන්නාවූ ‘නගරංගන’ නම් ආරාමයක් කරවීය. මෙයින් පසු සුරතිස්ස රජවූයේය. මොහුද දසවසක් රාජ්‍ය කළේය. බොහෝ සේ පින්දම් කළ මෙම රජතුමා ආරාමයන් පන්සීයක්ද කරවීය. අනතුරුව සේන-ගුත්තික නම් ද්‍රවිඩයන් දෙදෙනා සුරතිස්සගෙන් රාජ්‍ය ගෙන දොළොස් අවුරුද්දක්[13] ධර්මයෙන් රාජ්‍ය කළාහුය. මුටශිවගේ පුත් අසේලකුමරු[14] සේනගුත්තික දෙදෙන මරා දසවසක් රාජ්‍ය කළේය. අසේල රජු මැරූ එළාර නැමැත්තා මෙයින් පසු රාජ්‍ය ලබාගත්තේය. මෙම රජතුමා ඡන්ද: ද්වේෂ: භය: මෝහ ආදියෙන් විනිර්මුක්තවූයේ අගතියට නොගොස් හතලිස් හතර අවුරුද්දක් ධර්මයෙන් රාජ්‍ය මෙහෙයවීය.[15] ඔහු තරාදියේ තුලා සමකයසේ දැහැමෙන් සෙමෙන් සමබරව රාජ්‍යානුශාසනා කළේය. මෙම රජුගේ රාජ්‍යානුශාසනා කාලයෙහි ග්‍රීෂ්ම: හේමන්ත වස්සාන යන කලත්රයෙහිම දිවාකල්හි වැසි නොවැස්සේය. මෙයින් පසු කඩොලැතු සහිත දසමහා යෝධයන් පිරිවරන ලද්දාවූ කාවන්තිස්ස රජතුමාගේ අභය නම් පුත්‍රයා සටන් මෙහෙයවා එළාර රජු මරා රාජ්‍ය එක්සේසත් කොට අවුරුදු විසිහතරක් රාජ්‍ය කළේය.[16]
බොජ්ඣංග පළමුව 7කට බෙදී එය 37 ක්වේ. සතරසතිපට්ඨානය -4- සතර සම්‍යක්ප්‍රධානය -4- සතර ඉද්ධිපාදය -4- පංච ඉන්ද්රිය -5- පංචබලය -5- සත්ත බොජ්ඣංගය -7- ආර්‍ය්‍ය අෂ්ටාංගි මාර්ගය -8- යනුවෙනි. ↑
මෙම මෙහෙණීන් වහන්සේලා පිළිබඳ විස්තර මඃ වංශයේ හෝ චූඃ වංශයේ හෝ බෝඃ වංශයේ හෝ වෙනත් වංශකථාවක සඳහන් නොවේ. මෙය දී. ව. ඓතිහාසිකත්වය වැඩිවීමට හේතුවක් බව බොහෝ ඉතිහාසඥයෝ පවසති. ↑
මෙහි අභය නමින් සඳහන් කර ඇත්තේ අසේල රජු විය හැකිය. අභය කෙනෙකු සිටින්නේ දේවානම් පියතිස්සට පෙරය. මේ දරුනුවිට සියලු රජුන්ටම අභය නාමය භාවිතා කළ බව පෙනේ. මේ හැරුණුවිට විට රුහුණු රාජ්‍යයෙහි අභයරාජ හෙවත් ගොඨාභය නම් රජෙක් සිටි බව පෙනේ. මඃ වඃ (මඃවඃ පරි 12) දුටුගැමුණුද අභය විය. ↑
භික්ෂුණීන් වහන්සේලා ඉගැන්වීමේ කටයුතුවල නිරතවූ බව මෙයින් පෙනේ. මෙකල උසස් අධ්‍යාපන පීඨයක් වශයෙන් පැවති මහාවිහාර අධ්‍යාපන පීඨයේ මෙම අධ්‍යයන කටයුතු කරන්නට ඇත. අරහත් භාවය ලැබූ භික්ෂුවකට හෝ භික්ෂුනියකට මිනිස්බව මිස ස්ත්‍රීපුරුෂ ලිංග භේදයක් නොපෙනෙන බව ත්‍රිපිටකයේ දැක්වේ. ↑
මෙම සටහන කාවන්තිස්ස අවදියේ විසූවකු ලියා තබා තිබියදීම කතුවරයාට ලැබෙන්නට ඇත. ↑
කාවන්තිස්ස රජුගේ දියණියන් සිටි බවක් වෙනත් වංශකතාවක හෝ සාහිත්යමූලාශ්රයක සඳහන් නොවේ. එසේම මුල්කාලයේ සිටම රජ පවුලේ හා ප්රභූවංශයේ ස්ත්‍රීන් පැවිදිවීමට පිවිසි බවද පෙනේ. මේ යුගයේ ඉංදියාවේ තක්ෂිලාව ග්‍රීකයන් විසින් පාලනය කල බව පෙනී යයි. මෞර්ය්ය අධිරාජ්‍ය පිරිහීගොස් තිබුණි. ක්‍රි. පූ. 146 පමණ කාලයේ රෝමය විසින් ග්‍රීසියද යටත් කෙරිණ. එහෙත් කතුවරයා මෙහිදී කියන්නේ උත්තිය රජුගේ අවසන් කාලය බව පෙනේ. (ක්‍රි. පූ. 295-7) ↑
මෙයින් පැහැදිලි වන්නේ දුටුගැමුණු අවදිය වනවිට (ක්‍රි. පූ. 161-119) භික්ෂුණීන් පමණක් කාන්තාවන් සඳහා ද උසස් අධ්‍යාපන ආයතන පැවති බවය. ↑
මෙසේ භික්ෂුණීන් පිළිබඳ තොරතුරු බොහෝ සෙයින් සඳහන් වන නිසා මෙම කෘතිය භික්ෂුණියක් විසින් කරන ලදැයි සමහර ඉතිහාසඥයෝ තර්ක කරති. ↑
මොහු භාතිකාභය විය හැකිය. ↑
කුටිකන්න අභය යනුවෙන්ද සඳහන් වන්නේ මොහුය. ↑
මෙහි මෙකල යනුවෙන් සඳහන් කර ඇත්තේ දී. ව. රචනා කරන ලද අවදිය වියහැකිය. ක්‍රි. ව. 4 සියවස වනවිටද භික්ෂුනී ශාසනයේ දියුණුව තිබූ බව පෙනේ. ↑
මඃ වඃ ආදී විවිධ වංශකථාවල මහාශිව නමින් සඳහන් වන්නේ මොහුය. මොහුගේ රාජ්‍ය කාලය ක්‍රි. පූ. 247 වේ. ඉංග්‍රීසි ග්‍රන්ථවල මෙම රාජ්‍ය නිර්ණ කාලයක් අවුඃ 25 පමණ වෙනසක් ඇති ලැබේ. මෙකල රුහුණේ ගොඨාභය රජවී සිටියේය. කතරගම ක්ෂත්රියන්ද හඳුන්ගමුව, ක්ෂත්රියන්දඃ ස්වාධීන රාජ්‍ය පිහිටුවා ගෙන සිටි අතර සේරුනුවරඃ ගිරිනුවරඃ සෝමනුවර හා ලෝණනුවර ආදී තන්හි ස්වාධීන රාජ්‍ය තිබූ බව දක්නට ලැබේ. මලය රට රාජ්‍යක් ද විය. ↑
මඃ වඃ අවුරුදු 22ක් ලෙස දැක්වේ. දී. ව. එන අවුරුදු 12 ඉතිහාසඥයන්ගේ පිළිගැනීමට ලක්ව ඇත. ථූ. ව. අස්නැව් පුතුන් ලෙස දක්වා ඇති අතර පූජාවලියේ අශ්වාචාරින්ලෙසත් රාජවලියේ අසරුදෙබෑ දෙනෙක් වශයෙන්ද දැක්වේ. ↑
මේ වනවිට රුහුණේ කාවන්තිස්ස රජවිය. මෙය ක්‍රි. පූ. 216 පමණ යැයි සැලකේ. මොහු රාජ්‍ය එක්සේසත් කිරීමට මහත් කාර්යයක් කළ බව මඃ වඃ ථූඃ වඃ හා අනෙක් වංශ කථාවල දැක්වේ. ↑
එළාරගේ ධාර්මික ක්‍රියා පිළිබඳව ම: ව: විශේෂ හැඳින්වීමක් කර ඇති අතර ඔහුට බෞද්ධ ඇමතිවරු සිටි බවද දක්වා ඇත. ↑
ම: ව: කතුවරයා එම කෘතියේ 22 පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම දුටු ගැමුණු කුමාරයාගේ උප්පත්ති කතාව වෙනුවෙන් යොදා ඇත. ↑