17 වන පරිච්ඡේදය
හාත්පසින් මහසමුදුරින් වටවූ වටප්රමාණය යොදුන් සීයක් පමණවූ දිගින් යොදුන් තිස් දෙකක් හා පළලින් යොදුන් දහඅටක් වූ[1] මෙම උතුම් ලක්පොළවෙහි සෑම තන්හිම රත්නයන් ඇත. මෙය ගංගා, පොකුණු පර්වතාදියෙන් සැදුම් ලද්දේය. මෙම දිවයිනෙහි රජුද නගරයද වෙනත් උද්දේසික ධාතුහුද විද්යාමානවෙති. තවද මෙහි චෛත්‍යය පර්වත හා උයන්දවේ. බෝධීන් වහන්සේ හා භික්ෂූන් වහන්සේලාද භික්ෂූනීහුද සිටිති. එකම දේශයක පිහිටියාවූ මෙම වස්තූන් පිළිබඳ විස්තර මා සමීපයෙන් අසන්න.
මෙම අවදියේදී ලක්දිවට ඕජදීප; වරදීප; මණ්ඩදීප; තම්බපණ්ණි යනුවෙන් හඳුන්වනු ලැබීය. දැන් මෙය උතුම් වූ ලංකාදීපය නමි. එසේම මෙහි අභයපුරය; වර්ධමාන පුරය; විශාලාපුරය; අනුරාධපුරය; යන නගරයන් ඒ ඒ සිව්බුදුවරයන් වහන්සේලාගේ අවදීන්හි තිබූ නගරයන්ය. තවද මෙම බුදුවරයන් වහන්සේලා මෙම දිවයිනට වඩින කාලයන්හිදී අභය. සමිද්ධි; ජයන්ත; දෙවනපෑතිස් යන රජවරු රජකළාහුය. ජයන්ත රජුගේ කාලයේදී ස්වකීය කණිටු සොයුරා හා තිබූ භයානක යුද්ධය සංසිඳවීමට එකල විසූ බුදුවරයන් වහන්සේ වැඩි අතර අප තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ කාලයේදී යක්ෂයන් දමනය කිරීම යන මෙම උපද්‍රවයන් මෙම සිව් බුදුවරයන් වහන්සේලා පහකර දමන ලදහ. මෙහි ථූපයන්හි කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ධාතූන් පිහිටවී. කහධාණ චෛත්‍යයේ කෝණාගම බුදුරදුන්ගේ ධාතුවිය. ජලසාටික චෛත්‍යයේ කාශ්‍යප බුදුන්ගේ ධාතූන් වහන්සේ විය. එයින් පසු මෙහි පහළවූ අසිරිමත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ දෝණියක්[2] පමණ ශාරීරික ධාතූන් මෙහි පිහිටියේය. එකල අභපුරයෙහි “පාටියාරාම” නම් ආරාමයක් විය. කෝණාගම බුදුරජාණන් වහන්සේගේ කාලයේ වර්ධමාන නගරයේ “උත්තර” නම් ආරාමයක්ද විය.
කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මෙහි පිහිටි විශාල නුවර. “පාචීනාරාම” නම් විහාරයක් විය. අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයෙහිදී අනුරාධපුර නගරයේ ථූපාරාම[3] නම් ආරාමයක් විය. මෙසේ සිව්බුදුවරයන් වහන්සේලාගේ කාලයන්හි අනුරාධපුර නගරයෙන් දකුණුපස චෛත්‍යය සතරක් විය. එසේම අතීතයේ කොළොම්හොය සමීපයෙහි අභයපුර නම් නගරය පිහිටියේය. වර්ධමානක චෛත්‍යය පිහිටා තිබුණේ තිසාවැව සමීපයෙහිය. විශාල නම් නගරයෙ ක්ෂේමතලාක විල අසල පිහිටියේය. මෙම කාලයේදී මෙහි පිහිටා ඇත්තේ අනුරාධපුර නගරයයි. මේ සිව්බුදුවරයාණණ් වහන්සේලාගේ කාලයන්හි නගර පිළිබඳ විස්තරයයි. දේවකූඨ, ශීලකූඨ, ශුභකූඨ, යන නම්වලින් ඒ ඒ අවධීන්හි හඳුන්වන ලද්දේ “සුමණකූඨ” පර්වතයයි. ඒ සිව්බුදුවරුන්ගේ කාලයන්හි හඳුන්වන ලද නාමයන්ය.
මෙහි පිහිටියාවූ මහාතිත්ථ, මහානාම, සාගර, මහාමෙව්නා යන වනෝද්‍යානයන් සිව් ඉරියාපථයන් පැවැත්වීමට යෝග්‍යවේ. සිව් බුදුවරයන් වහන්සේලාගේ සෙනසුන් හතර පිහිටියේ මෙහිය. මෙයින් පළමු බුදුවරයාණන්වූ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ සිරිස නම් උතුම්වූ බෝධියක්ද විය. එවකට “ඕජදීප” නම්වූ ලක්බිමෙහි එම බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව මහත් බල ඇති රුචිනන්දා නම් භික්ෂුණිය මහාතිත්ථ ආරාමයෙහි පිහිටෙව්වාය. උතුම්වූ කෝණාගම බුදුරදුන් බුදුවූ දිඹුල්බෝධි වෘක්ෂයේ දක්ෂිණ ශාඛාව මහත් සෘද්ධිබල ඇති කන්ධනන්දා[4] භික්ෂුණිය. එය වඩමවා එකල වරදීප නම්වූ ලක්බිමෙහි මහානාම වනාරාමයෙහි පිහිටවින. උතුම්වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බුදුවූයේ නුගරුක් බෝමුලය. එහි දක්ෂිණ ශාඛාව මහත් සෘද්ධිබල සම්පන්නවූ සුධර්මා නම් තෙරණිය මෙහි වඩම්වා සාගරවනාරාමයෙහි පිහිටවින. එසේම ගෞතම බුදුරදුන්ගේ ඇසතුබෝධිවෘක්ෂයේ දක්ෂිණ ශාඛාව මහා සෘද්ධි බලසම්පන්නවූ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ මෙහි වඩමවා ඉතා මනරම්වූ මහමෙව්නා මහාවනෝද්යානයෙහි පිහිටවූ.
විචක්ෂණ වූ ෂඩ් අභිඥාලාභි බහුශෘත වූ මහත් සෘද්ධි සම්පන්නවූ රුචිනන්ද[5] කනකනන්ද, සුධම්මා; සංඝමිත්තා යන තෙරණියෝ මෙම සියළු බෝධීන් ගෙනාවාහුය. එම බෝධීන් වහන්සේලාගෙන් සිරීස බෝධීන් වහන්සේ මහාතිත්ථ උයනෙහිද දිඹුල් බෝධීන් වහන්සේ මහානාම උයනෙන්ද, නුගරුක් බෝධීන් වහන්සේ සාගර උයනෙහිද, ඇසතු බෝධීන් වහන්සේ මහමෙවුනා උයනෙහිද ඒ ස්ථරවූ සිව් ආරාමයන්හි පිහිටියහ.
මෙම සිව්බුදුවරයන් වහන්සේලාගේ ශාසනයෙහි රමණීයවූ සෙනසුන් මෙහි පිහිටියේය. එසේම මෙම ලක්දිව්හි ෂඩභිඥාලාභී මහාදේව තෙරුන්ද, සිව්පිළිසිඹියාපත් සුමන තෙරුන් වහන්සේද මහාසෘද්ධිමත් බහුශෘතවූ සබ්බනන්ද තෙරුන් හා මිහිඳු මාහිමියන්ද යන මහාස්ථවිර පාදයන් වහන්සේලා ප්‍රසාද ජනක උත්තමයෝ වූහ. මෙම යුගයේ පහළවූ පළමුවන බුදුවරයන් වහන්සේ වූ ඉදිරිය දක්නාවූ කකුසඳ ලෝකනායකයන් වහන්සේ මුළු ලොව බලා වදාරන්නාහු ‘ඕජදීප’ නම් වූ ලක්දිවට වැඩිසේක. එම අවදියෙහි ලංකාවේ පුණ්ණතරක නම් නපුරු උණ වසංගතයක් ඇතිවිය. මුළු ලක්දිව් වැසියෝ එම රෝගයෙන් පෙළුනාහ. මෙම රෝගය හටගත් මිනිස්සු ජලයෙන් ගොඩගන්නා ලද මසුන් මෙන් වෙව්ලන්නට වූහ. ඔවුහු දුකින් පරිපීඩිතව නොසතුටුව, භයින් තැතිගන්නාහු සැපයක් නොමැතිව ශෝක කළාහුය. එම කකුසඳ බුදුරජාණෝ රෝගයෙන් පෙළී දුක් විඳින්නාවූ එම සත්වයන් දුටහ. ලෝකනායකවූ කකුසඳ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් හතලිස් දහසක් පිරිවරාගෙන මෙහි සත්වයන් රෝගයෙන් මිදවීම පිණිස දඹදිව සිට මෙහි පැමිණියහ. අහසෙහි තරුපිරිවරාගත් සඳ මෙන් කකුසඳ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් පිරිවරා වැඩියහ. එම ලෝකනායකයන්, වහන්සේ අහස බබලවමින් තම ශ්‍රාවක පිරිස සමඟ දේවකූඨ පර්වතයට වැඩිසේක. දේවකූඨය බබුලුවමින් සිටියාවූ උන්වහන්සේට ලක්වැසියන් පිදුම් කරන ලද්දේ දෙවියෙක් යයි සලකමිනි. ඔවුහු ඒ තථාගතයන් වහන්සේ යයි නොදත්හ. එම පුන්පොහෝ දිනයෙහි අරුණාලෝකය සහිත සඳමෙන් ඒ කකුසඳ ලෝකනාථයන් වහන්සේ වනය සහිත ඒ පර්වතය බැබලවූ සේක.
පර්වතය, සිව්දිගින් බැබලිණ. එය දුටු අභයපුරයෙහි රජු සහ ජනීජනයෝ ප්‍රීතියෙන් ප්රමුදිතවූහ. මෙම අවස්ථාවේදී කකුසඳ බුදුරජාණන් වහන්සේ “ඕජදීප” වැසියන් මා හා මාගේ ශ්‍රාවකයන් දකීවායි අධිෂ්ඨාන කළසේක. මහජනයා බලාපොරොත්තු වූ එම පර්වතය එකල “දේවකූට” නම් විය. මෙම අවස්ථාවෙහි එම නපුරු රෝගය හටගත්තාවූ රජු හා ජනී ජනයෝ බලවාහන සහිතව අභය පුරයෙන් නික්මුණාහ. ඔවුහු එම පර්වතයට ගොස් සියළු මිනිසුන්ට නායකවූ කකුසඳ බුදුන් නැමැදියාහුය. ඔවුහු බුදුන් නැමද දෙවියෙකු යයි සිතා ආවාහුය.
එම බුදුරජාණන් වහන්සේ වෙත එළඹි රජතුමා මෙසේ කීය.
“භාග්‍යවතුන් වහන්ස: භික්ෂූ සංඝයා සමඟ මාගේ ඉල්ලීම පිළිගන්න. අද දින මාවිසින් දානය සූදානම් කර ඇත. එය ඉවසා වදාරන්න. අපි නුවරට යන්නෙමු.”
බුදුරජාණන් වහන්සේ නිහඬතාවයෙන් රජුගේ ඉල්ලීම ඉවසාවදාළ සේක. එම ඉල්ලීම පිළිගත් බව දැනගත් රටවාසීහු සහිත රාජසේනාවෝ ප්‍රත්‍යය සම්පාදනය පිණිස නුවරට පැමිණියහ. රජතුමා එම අවස්ථාවේදී මෙසේ කීවේය.
“මෙහි භික්ෂූ සංඝයා හා බොහෝ ජනයාද වෙති. එනිසා මෙම මහා පිරිසට මෙම නගරය කරදර සහිතය. මෙයට අවශ්‍ය භූමියක් මා පිළියෙළ කර නැත. ඉතා රමණීය වූ මාගේ මහාතිත්ථ නම් වනෝද්‍යානයක් වෙයි. එය නගරයට ආසන්නයේද පිහිටියේය. එය සම්බාධවලින්ද තොරය. විශේෂයෙන්ම එය
පැවිද්දන්ට යෝග්‍ය වූ විවේක සුවයෙන්ද යුක්තය. ඒ නිසා අප කකුසඳ බුදුරජාණන් වහන්සේට මෙය ඉතා සුදුසු වෙයි.”
බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සංඝයාට එහිදී දන්දෙන්නෙමියි සිතා රජතුමා ඒ උතුම්වූ සර්වඥයන් වහන්සේත් මහාසංඝයා වහන්සේත්, සියලු මහජනයා මනාසේ දකිතීයි සිතීය.
එකල්හි කකුසඳ ලෝකනාථයන් වහන්සේ හතලිස් දහසක් භික්ෂු සංඝයා පිරිවර කොටගෙන මහාතිත්ථ වනෝද්‍යානයට වැඩිසේක. උන්වහන්සේ එහි වැඩි කල්හි අකල් මල්වලින් එහි ගස් පිරීගියේය. රජතුමා එම අවස්ථාවේදී දියපිරවූ රන්කෙණ්ඩිය ගෙන බුදුරජාණන් වහන්සේගේ දකුණු අතට පැන්වත්කොට එම උයන බුදුරජාණන් වහන්සේට පූජාකළේය. එසේ කළ රජතුමා
“ස්වාමීනි; මෙම උයන බුදුන්වහන්සේ ප්‍රධාන මහා සංඝයාට පූජාකරමි”යි කීවේය.
කකුසඳ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාගේ පහසුව පිණිස ඒ සෙනසුන සහිත රමණීයවූ වනෝද්‍යානය පිළිගත්සේක. මෙම පළමුවන සෙනසුන් පූජාවේදී පොළව මහත්සේ කම්පා විය. පොළෝකම්පනය දුටු ලෝකනාථයන් වහන්සේ මගේ සසුනෙහි ශ්රාවිකාවකවූ රුචිනන්ද තෙරණිය දක්ෂිණ බෝධි ශාඛාව ද රැගෙන මෙහි පැමිණෙන්නේ නම් මැනැවයි සිතූසේක. රුචිනන්ද භික්ෂුණිය කකුසඳ බුදුරජාණන් වහන්සේගේ සිතුවිලි සිතින් දැන සිරිස බෝධිමූලය වෙත එළඹ කකුසඳ බුදුරජාණන් වහන්සේ මෙහි දකුණු ශාඛාව ඕජදීපයෙහි පිහිටුවීමට කැමැතිවන සේකැයි සිතුවාය. මහජනයාද මේ ගැන සිතා බෝධීන් වහන්සේ වැඩම වීමට පැමිණියේය. ශ්‍රේෂ්ඨවූ බුදුරජාණන් වහන්සේ සත්වයන් කෙරේ පතල මහා අනුකම්පාවෙන් එය අනුමත කළසේක. මෙම අවස්ථාවේ රුචිනන්දව
“මගේ තේජානුභාවයෙන් මෙහි දක්ෂිණ ශාඛාව මිදේවා.”
යන වදන් කියමින් ඇඳිලි බැඳගෙන සිටියාය. මෙම අවස්ථාවේ දක්ෂිණ බෝධි ශාඛාව ඉන් මිදී රන්සැලියෙහි පිහිටියේය.
රුචිනන්ද තෙරණියෝ අනතුරුවරන්සැලියෙහි පිහිටි බෝධි ශාඛාවද රැගෙන පන්සියයක් භික්ෂූනීන් වහන්සේද පිරිවරාගෙන මෙහි පැමිණියාහ. මෙම අවස්ථාවේද පොළව මුහුද හා පර්වතයන්ද කම්පා විය. ඒ සමඟම මහත් ආලෝකයක් ඇතිවිය. අද්භූත ජනකාකාරයෙන් සියලු දෙනාගේ ශරීරයන් ලොමුඩැහැගත්තේය. රාජසේනා ඇතුළු සියලු රට වැස්සෝ එය දැක සතුටු සිත් ඇත්තාහු ඇඳිලි බැඳ බෝධීන් වහන්සේ නමස්කාර කළාහුය. මේ අවස්ථාවේ සියලු දෙවියෝද සතුටු වූවාහුය. උතුම් බෝධීන් වහන්සේ දැක සමහරු අත්පොළසන් දුන්හ. මහා යසස් ඇති ලෝක පාලක සිව්වරම් දෙවිවරුද අවශේෂ අනෙක් දෙවිවරුද, දෙව්මහ රජදරුවන් ද අවශේෂ දෙවිවරුන්ද මෙම ශ්‍රී මහාබෝධිය ආරක්ෂා කළාහුය. එපමණක් ද නොව වසවත් තව්තිසා දේවලෝකයන්හි දෙවිවරුන්ද, යාමය, සක්‍රය, සුයාමය, සන්තුසිතය, සුනිම්මිතය යන සියලු දිව්‍ය ලෝකයන්හි දෙවිවරුද මෙම බෝධීන්වහන්සේ පිරිවැරූහ. මෙසේ සතුටට පත්වූ දේවසමූහයා හා රුචිනන්ද තෙරණියද ඇඳිලි බැඳගෙන උතුම්වූ බෝධීන් වහන්සේ පිදීමෙන් අනතුරුව භික්ෂූනීන් පිරිවර කොටගත් එම රුචිනන්ද භික්ෂූණිය එම සිරිසබෝධීන් වහන්සේ වැඩමවා ගෙන ඕජදීපයට පැමිණියාහුය.
මෙම බෝධීන් වහන්සේ ඕජදීපය නම්වූ ලක්දිවට වැඩමවන කල්හි බෝධීන් වහන්සේ පිරිවරාගත් දෙවිවරු සතුටට පත්ව නටත්, ගයත් දෙගුණ තෙගුණ වන ආකාරයෙන් අත්වරසන් දෙත් මෙසේ දෙවියන් විසින් පිරිවරන ලද බෝධිශාඛාව රැගත් සෘද්ධිමත් රුචිනන්ද තෙරණිය එම බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියාය. මහාවීර වූ කකුසඳ බුදුරජාණන් වහන්සේ මෙම අවස්ථාවේ එම බෝධීන් වහන්සේ මහාතිත්ථ වනෝද්‍යානයෙහි පිහිටවූ සේක. බබලන්නාවූ එම බෝධීන් වහන්සේ රුචිනන්ද තෙරණිය විසින් රෝපනය නොකරන ලදී. එයදුටු බුදුරජාණන් වහන්සේ දකුණු අත දිගුකළ සේක. එම අවස්ථාවේ රුචිනන්ද තෙරණිය එම දක්ෂිණ බෝධි ශාඛාව බුදුරජාණන් වහන්සේගේ දකුණත තබා වැන්දාය. උන්වහන්සේ එය පරාමර්ෂණය කොට එය පිහිටවිය යුතු ස්ථානය වදාරා අභය රජු අත තැබූ සේක. බුදුරජාණන් වහන්සේ එය රෝපනය කිරීමට යම් තැනක් අනුදැන වදාලසේක්ද, අභය රජතුමා එම ස්ථානයේම එය රෝපනය කළේය. මෙම මනරම් භූමිභාගයෙහි බෝධීන් වහන්සේ පිහිටි කල්හි චතුරාර්‍ය්‍ය සත්‍යය අරමුණු කරමින් බුදුරජාණන් වහන්සේ දහම්දෙසූසේක. මෙම ධර්මදේශනාව නිසා මෙම ශාසනයෙහි මනුෂ්‍යයන් එක්ලක්ෂ හතලිස් දහසක්ද දිව්‍ය බ්‍රහ්මාදීන් තිස්කෝටියක්ද මාර්ගඵල අවබෝධ කෙරින. මෙසේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ සිරිස බෝධීන් වහන්සේද, කොණාගම බුදුරජාණන් වහන්සේගේ නුගරුක් බෝධීන් වහන්සේද යන තුන්මහා බෝධීන් වහන්සේලා මෙහි වඩමවන ලද්දාහ. අසමසමවූ ශාක්‍ය බුදුරජාණන් වහන්සේ ගේ ඇසතු බෝධීන් වහන්සේද එකල මෙහි වැඩමවා මහමෙවුනා උයනෙහි රෝපනය කරන ලදී.
මුටශිව[6] රජතුමාට ඔවුනොවුන්ට හිතවත්වූ සහෝදරත්වයක් ඇති පුත්‍රයෝ දස දෙනෙක් වූහ.[7] ඔවුහු නම් අභය: තිස්ස:[8] නාග: උත්තිය: මත්තාභය: මිත්ත: ශිව: අසේල: තිස්ස: කිර යනාදීහු වෙති. එසේම මුටශිව රජුට සීවලී: අනුලාවතී: නම් දූවරු දෙදෙනෙක්ද වූහ. මෙයින් පසු මුටශිවගේ පුත් දෙවනපෑතිස් ලක්දිව අභිෂේක කරන ලදී. මේවනවිට ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා තිබුණි. දෙවන පෑතිස් රජු මෙකල අභිෂේක වූයේය. ඔහුට රාජ්‍ය ලැබෙනවාත් සමඟම මහත් සැප සම්පත් පහළවිය. මෙම නිසා ලක්දිව නොයෙක් අයුරින් ඔහුගේ පුණ්‍ය මහිමය පැතිර ගියේය. එකල මෙම දිවයින රුවන් ආකාරයක්[9] මෙන් විය. මෙම රත්නයන් පහළවූයේ දෙවනපෑතිස් රජුගේ පින්මහිමයෙනි. රජතුමා ඒවා දැක මහත්සේ සතුටුවිය. ඒ සියළු රත්නයන් ස්වකීය මිත්‍රවූ ධර්මාශෝකයන් වෙත[10] පඬුරු වශයෙන් යැවීය. ධර්මාශෝක රජ මෙම පඬුරු ලැබ දෙවපෑතිස් රජතුමා දෙවන අභිෂේකයකට අවශ්‍යය විවිධ රත්නයන් පඬුරුකොට එවීය.
එම පඬුරු මෙසේය. වල්විදුනා: රන්වන් නලල්පට: සුදුකුඩය: මඟුල් කඩුව: රන්මිරිවැඩි සඟල : අනවතප්ත විලේ ජලය: ස්වණ්ණභිංකාරය: හිස්වෙළුම: රන්හවඩිය: නන්ද්යාභිවෘතය: රන්සිවිකාව: දකුණට කැරකවුන හක්ගෙඩිය: කෝටිකවස්ත්රය: අනගි රන්තලිය: රන්හැන්ද, අත්පිස්නාව, කසාවත් පිළිකඩ: අනවතප්ත විලෙන් ගෙනා පැන් කළ දෙකක්. හරි පර්වතයේ හටගන්නා රත්සඳුන්: අරුණුවන් මැටි: නාගයන් ගෙනෙන ලද උතුම් දිව අඳුන්: හිමාලයේ හටගන්නා දිව්‍යමය අරළු: හා එම නෙල්ලි: මහත් අනගි අමාඔසු: ගිරවුන් හිමාලයෙන් ගෙනෙන ලද සුවඳ ඇල්හාල් ගැල්හැටක්: යන මේවාය. පෙර කරන ලද පින් මහිමයෙන් හටගන්නා ලද මෙම පුදපඬුරු ධර්මාශෝක රජු විසින් ලක්දිව රජුගේ දෙවන අභිෂේකය සඳහා එවන ලදී.
ලංකාවේ දෙවනපෑතිස් රජතුමා දෙවන වරට අභිෂේකකර මසක් ගිය කල්හි භික්ෂු සංඝයා සහිත මහින්ද තෙරනුවෝ ලක්දිවට වැඩිසේක.[11] මහින්ද තෙරුන් වහන්සේට වාසය කිරීමට රජු විසින් තිස්සාරාම නම් විහාරය කරවන ලදී. ශ්‍රීමහා බෝධීන් වහන්සේ මහමෙවුනා උයනේ පිහිටවන ලද්දේ මෙකලය. එසේම රජු විසින් අලංකාර චෛත්‍යයක්ද කරවන ලදී. තවද වෙනත් ආරාමයක්ද ථූපාරාමයද, චේතිය ගිරියෙහි මිස්සක නම් ආරාමයක්ද කරවන ලදී. තවද වෙස්සගිරියද චෝලකතිස්ස විහාරයද කරවීය. මේ හැරුණු විට යොදුනක යොදුනක් පාසා ආරාම කරවීය. ඔහු කැමති පරිදි මෙම චෛත්‍යයන්හි ධාතූන් වහන්සේලාද පිහිටවන ලදී. මෙසේ නොයෙක් පින්දහම් කල දෙවපෑතිස්ස රජතුමා හතලිස් අවුරුද්දක් රාජ්‍ය කළේය.[12]
මුටසිව රජුගේ පුත්‍රයන් වූ දෙවන පෑතිස්ස රජුගේ වෙනත් සහෝදරයන් හතර දෙනෙක්[13] වූහ. ඔවුන් අතරින් උත්තිය රජතුමා දස අවුරුද්දක් රාජ්‍ය කලේය. උත්තිය රජතුමාගේ අටවන රාජ්‍යවර්ෂයේ දී ලක්දිව බැබලවූ මිහිඳු මහ රහතන්වහන්සේ පිරිණිවන්පෑහ. ඒ හිමියන්ගේ ආදාහනෝත්සවය තිස්සාරාමයෙන් නැගෙනහිර පස කරවන ලදී. දොලොස් වසක් පිරුණ කල්හි[14] මහින්ද තෙරුන් වහන්සේ මෙහි වැඩිසේක. සැටවයස් පිරුණු කල්හි උන්වහන්සේ සඳගිරි විහාරයෙහිදී පිරිනිවි සේක. මෙමලක්දිව බැබලවූ මහින්ද තෙරුන් වහන්සේ පිරිනිවි කල්හි මෙහි සියලු තැන් මල් සහිත තොරණ ආදියෙන් සරසවන ලදී. එසේම උත්තිය රජතුමා දල්වන ලද පහන් සහිත රන්සිවි ගෙයක්ද කරවීය. උත්තිය රජතුමා විසින් මනාසේ මහින්ද තෙරුන් වහන්සේ පුදන ලදී. එසේම මෙහිදී දෙවියන් විසින්ද මනුෂ්‍යයන් විසින්ද නාග හා ගාන්ධර්වයන් සියල්ලන් විසින්ද සුවඳ මල් දුම් ආදියෙන් රහතුන් වහන්සේ පිදූහ. සත්දිනක් මෙසේ චේතියගිරි විහාරයේ පූජා පැවැත්වීමෙන් අනතුරුව අනුරාධපුර නගරයට ගෙන යමු යයි සමහරෙක් කීවාහුය. ඒ පූජා පවත්වන අවස්ථාවේ දී මෙසේ කී කල්හි මහින්ද තෙරුන් වහන්සේ මෙම ස්ථානයේම දවන්නෙමුයි මහත් භයානක ශබ්ද හට ගැනින. දේවානම් පියතිස්ස රජතුමා ජනතා වචනය ශ්‍රවණය කර තිස්සාරාම විහාරයෙන් නැගෙනහිර පසෙහි මහාචිතකයක් කරවීය. එයින් අනතුරුව රජතුමා හා ජනතාව රන්සිවිගෙය ඔසවා ගෙන නැගෙනහිර දොරටුවෙන් නගරයට පිවිසියහ. ඔවුහු ඒ මැදින් නගරයට ගොස් නැවතත් දකුණුපසින් නික්ම සත්දිනක් මහාවිහාරයේ තබා පූජා පැවැත්වූවාහුය. එසේම මෙම දෙව්මිනිස් දෙපිරිස සුවඳවත්වූ චිතකය වෙත පැමිණ තෙරුන් වහන්සේගේ දේහය රාජෝද්‍යානයෙහි පූජා පිණිස තබා පසුව දේහය සහිත රන්සිවිගෙය රැගෙන චෛත්‍යය වටා පැදකුණු කොට රැස්ව සිටි සියල්ලෝම උතුම්වූ නරෝත්තමයන් වහන්සේගේ දේහය වැන්දහ. නැගෙනහිර දොරටුවෙන් එම අවස්ථාවේ මහජනයා නික්මුණි. එසේ නික්මුණාවූ ඔවුහු එ මනරම්වූ භූමිභාගයෙහි ආදාහනෝත්සවය කළාහුය. සියල්ලෝම අඬමින් චිතකය වටා සිට චිතකයට ඇඳිලි බැඳ නමස්කාර කොට ගිණිදැල්වූහ. උත්තිය රජතුමා එයින් පසු පණ්ඩිතවූ මහින්දතෙරුන් වහන්සේගේ ධාතුගෙන තමා කරවන ලද ආරාමයන්හි චෛත්‍යන් හා සමාන බොහෝ සොහොන් කොත් කරවන ලදී. මෙම මහින්ද තෙරුන් වහන්සේගේ ශරීරිය ආදාහනය කළ ස්ථානයට “ඉසිභූමි”[15] යන නාමය පළමුව ව්යවහාරවිය.
ගව්වකට සැතපුම 4ක් තිබෙන බවත් යොදුනකට ගව් 4ක් තිබෙන බවත් බොහෝ දෙනා පවසති. එසේ වුවහොත් ලංකාවේ උතුරේ සිට දකුණට දුර ප්‍රමාණය සැතපුම් 512 හා පළල ප්‍රමාණය සැ. 288 කි. නූතන ලංකාවේ දුරප්‍රමාණය (දිග) සැ 270 කි. පළල 140 කි. එසේනම් ක්‍රි. පූ. 307 සිට මේ වනවිට ලංකාව විශාල ප්‍රමාණයක් කුඩා වී ඇති බව පෙනේ. ↑
මෙය “ලාහ” යයි සමහරු කියන අතර සේරුව” යයි තවත් සමහරෙක් කියති. ↑
මෙම ථූපාරාමය පිහිටුවන ලද්දේ බුදුන් වහන්සේ පිරිනිවීමෙන් අවුරුදු 307 කට පමණ පසු දෙවන පැතිස් අවදියේය. ↑
ම: ව: කනකදත්තා නමින් සඳහන්වේ. ↑
ම: ව: ‘රූපනන්ද’ යනුවෙන් දැක්වේ. ↑
මහාමෙව්නා උයන මුටශිව රජු කරවූ බව ම: ව. 11 පරි දැක්වේ. මෙම උයනට බිම් නියම කරන දිනයේ අකල් වැස්සක් ඇතිවූ හෙයින් මහාමේඝ වනෝද්‍යාන නමින් නම්කල බවද දැක්වේ. මුටශිවගේ රාජ්‍ය කාලය අවු: 60ක් බවද දැක්වේ. එහෙත් රාජාවලිය කියන්නේ පණ්ඩුකාභයට ගණතිස්ස නම් තවත් පුතෙකු සිටි බවත් ඔහු 13 වසක් රජකල බවත්ය. සමහර විට මෙම ගණතිස්ස-අභයට පසු සිටි තිස්සවිය හැකිය. ↑
ම: ව: දැක්වෙන්නේ (පරි. 21) උත්තිය, මහාශිව: සුරතිස්ස: අසේල යන 4 ගේ නම් පමණි. බෝධි වංශයේ ‘මත්තාභය’ කුමරු මහණ වූ බව දක්වා ඇත. ↑
මෙහි සඳහන් තිස්ස දෙවන පෑතිස්සය. ඔහු ක්‍රි. පූ. 301 රජවූ බව ම:ව: සඳහන්වේ. දී. ව. සඳහන් වන්නේ එම වර්ෂයයි. එසේ වුවත් කොඩ්රිංටන් මහතා කියන්නේ දෙවනපෑතිස් ක්‍රි. පූ. 247 රජවූ බවයි. රාජාවලිය අනුව රජවී ඇත්තේ ක්‍රි. පූ. 251 දීය. සමහර විට කොඩ්රිංටන් රාජාවලිය හා පූජාවලිය ප්‍රකාශයන් පටලවා ගත්තාවිය හැකිය. ↑
අතීත ලංකාවේ විදේශවලට යවන ලද ප්‍රධාන වෙළඳ භාණ්ඩයක් වශයෙන් මැණික් පැවතුනි. යක්ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන වෙළඳ භාණ්ඩය මෙය වූ බව දේශීය හා විදේශීය වාර්තාවන්ගෙන් පෙනේ. නමුත් මඃ වඃ කියන්නේ මූදේ තිබූ රත්නයන්ද වෙරළට පාවී ආ බවය. එසේම ජාතපර්වත යෙහි පහළවූ ලතා යෂ්ටී කුසුම යෂ්ටීඃ සකුණ යෂ්ටීඃ තුනක් ගැනද දැක්වේ. ↑
මඃ වඃ 11පරි. දෙවනපෑතිස් රජුට හමුවූ රත්නයන් නම් වශයෙන් දක්වා ඇත. එහි මුතුවර්ග 8ක් නම්කොට ඇති අතර මැණික් වර්ගද නම් කොට ඇත. ↑
මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩීමට පෙර දෙවනපෑතිස් රජුගේ දෙවන අභිෂේකය සිදුවූ බව දී. වංශයෙන් හා මඃ වඃ 11 වන පරි. පෙනේ. මේ අනුව සමහර ඉතිහාසඥයන් පෙන්වන පරිදි අශෝක ධර්මයෙන් රාජ්‍ය දිනූ ආකාරයක් දක්නට ලැබේ. දී. වං. අභිෂේකයෙන් මසක් ගිය කල්හි මිහිඳුහිමි වැඩි බව සඳහන්වෙතත් මඃ වඃ 11 පරි. දැක්වෙන්නේ පස් මසක් ගියකල ආබවය. ↑
දෙවනපෑතිස් රජතුමාගේ සොහොයුරෙකු වූ මහානාග රුහුණට පලාගොස් මාගම රාජ්‍ය පිහිටුවීම පිළිබඳව මඃ වඃ ඇතුළු වංශකතා කීපයක සඳහන් වෙතත් මෙහි දක්නට නොලැබේ. මෙම පලායාම මහින්දාගමනයට පෙර සිදුවූ බව පෙනේ. ↑
මෙහිම මෙයට පළමු ඡේදයකදී දෙවනපෑතිස් ඇතුළු සහෝදරයන් දසදෙනෙකු ගැන දක්වා තිබේ. මේ අනුව මෙයින් පැහැදිලි වන්නේ වඩාත් ක්රියාශීලීවූයේ සහෝදරයන් 4 දෙනෙකු බවයි. ↑
මෙහිදී දොළොස් වසක් යන්නෙන් අදහස් වන්නේ අවුරු 32 දී මහින්දතෙරුන් මෙහි පැමිණි බවයි. ↑
මෙය අද මිහින්තලේ ඉදිකටුසෑය යන නමින් හැඳින්වෙන ස්ථානය යයි කියනු ලැබේ. ↑