සිංහල දීපවංශය

16 වන පරිච්ඡේදය

එම අවස්ථාවෙහි ධර්මාශෝක මහරජතුමා චතුරංගනී සේනාවෙන් සමන්විතව ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයට උපකාරීවූ ශ්‍රී මහාබෝධීන් වහන්සේ ගේ දක්‍ෂිණ බෝධි ශාඛාවද රැගෙන සමුද්‍ර තීරයට පැමිණියේය. එම රජතුමා ‘මහණ්ණව’[1] නම් නැව්තොටට සම්ප්‍රාප්ත වූයේ රාජ්‍ය තුනක් හා වින්‍ධ්‍යාවනය ද පසුකරමිනි. භික්‍ෂුණී ශ්‍රාවිකා සඟමිත් තෙරණියද උතුම් වූ බෝධීන් වහන්සේද රැගෙන මහසමුදුර වෙත පැමිණියහ. ඒ බෝධීන් වහන්සේ මහාසාගරයෙන් වැඩම කළහ. ඒ අවස්ථාවේදී අහසේ දෙවියෝ පංචතූර්‍ය්‍යනාද පැවැත්වූහ. එසේම සිව්දිග මිනිසුන් විසින් ද පංචතූර්‍ය්‍යනාද පවත්වන ලදී. මෙසේ පංචතූර්‍ය්‍යනාද පවතිද්දී ධර්‍මාශෝක රජතුමා දොහොත් මුදුන්දී බෝධීන්වහන්සේට වන්‍දනාමාන කොට මෙසේ කීවේය.[2]

‘සෘද්ධි මතෙකු වූ මාගේ පුත් මහින්ද තෙරුන්වහන්සේ සිල්වතෙකු හා සමාධි ගතවූවෙකුද වෙයි. එවන් තෙරණුවන් මහජනයාද නොදැකීමෙන් කම්පාවට පත්ව ඇති හෙයින් නමට පමණක් අස්වසාලිය නොහැකිය.’ යනුවෙනි.

බෝධීන් වහන්සේ වැඩමවන අවස්ථාවෙහි එම ධර්‍මාශෝක රජතුමා ශෝකාකූලත්වයෙන් වැලපී එය නොපෙනී යන තෙක්ම බලා සිටියේය. රජු ස්වකීය මාළිගයට පැමිණියේ එය නොපෙනී ගිය කල්හිය. මෙම අවස්ථාවෙහි දෙවියෝද නාගයෝද මහසයුර මත විවිධ වර්ණවත් දේ නිර්මාණය කළාහුය. තවද යක්‍ෂයන් හා කුම්භාණ්ඩයන්ද, පිසාචයින් හා භූතයන්ද ලක්දිවට වැඩමවන්නාවූ උතුම් බෝධීන් වහන්සේ පිරිවරා සිටියාහුය. මෙය දුටුවාවූ යාම; තුසිත; තව්තිසා යන දෙව්ලෝවාසී දෙවිවරුන්ද නිම්මාණරතී දිව්‍ය ලෝකයේ දෙවිවරුන්ද; පරනිම්මිත දෙව්ලෝ දෙවිවරුද; වසවත්ති දිව්‍යලෝකයේ දෙවිවරුද සතුටින් පිනාගියාහුය. ප්‍රමුදිතවූවාහුය.[3] ඔවුහු මෙසේ සතුටින් ප්‍රමුදිතව අසල රාජ්‍යකට වැඩම වන්නාවූ බෝධීන් වහන්සේ පිරිවැරූහ. තවද ඉන්ද්‍රදිව්‍ය රාජයා පෙරටුකොටගත් තිස්තුන්කෝටියක් දිව්‍ය පුත්‍රයෝද සමීප රාජ්‍යකට ගෙන යන්නාවූ බෝධීන් වහන්සේ පිරිවරමින් සිටියාහුය. අත් පොලසන් දුන්නාහුය. මෙම අවස්ථාවේදී සිව්දිගට අධිපතිවූ, කුවේර; විරූඪ; විරූපාක්‍ෂ; දසරථ යන අධිපතීහු සිව් දිගින් පැමිණ සිටියාහුය. ඔවුන් බෝධිය පිරිවරන ලද්දේ මුඛපටාහාරබෙර හා, දීපල්ල; දින්දිම ආදී බෙරද[4] වාදනය කරමිනි.

තවද ලක්දිවට වැඩමවන ලද මෙම බෝධීන් වහන්සේ පිරිවරාගත් විවිධ දෙවිවරු ක්‍රීඩා කරති. ඔවුහු දේවානුභාවය පදනම්කර ගනිමින් දිව්‍යලෝකයේ පරසතු මදාරා මල්ද දිව්‍යමය සඳුන් කුඩද බෝධීන් වහන්සේට පූජෝපහාර පිණිස වර්ෂා කරති. එසේම දෙවිවරු එම මල්වලින්ම බෝධිය පුදත්. එපමණක්ද නොව මෙසේ වැඩමවා ගෙනඑන ලබන්නාවූ බුදුරජාණන්වහන්සේට බුදුවීමට සෙවන දුන්නාවූ එම බෝධීන් වහන්සේට සපු; බක්මී; කොහොඹ; නා; ගොඬවැටකේ; යන මල්වලින් දෙවියෝ පිදූහ.

එසේම නාගරජවරු නාගකණ්‍යාවන් හා ඔවුන් දරුවන්ද සමඟ ඔවුන්ගේ නිවෙස්වලින් පැමිණ උතුම් වූ බෝධීන් වහන්සේලාට පූජා පවත්වති. නොයෙක් වර්ණවත් ඇඳුම් ආයිත්තම්වලින් සැරසී අලංකාරවූ නාගයෝද මෙසේ සාගරයේ වැඩම වන්නාවූ බෝධීන් වහන්සේට වඳිති. නිලුපුල්: උපුල්: කුමුදු: හා කහ්ලාර: මනාසේ සුවඳ ඇති අවිමුක්තාදී, මල්ද තක්කාරී: කොබෝලීල: පලොල්, බිඹුදැල්: අශෝක: සල්: මිස්සක: පුවඟු: මල්වර්ගද ගත් නාගරජවරු හා නාග කන්‍යාවෝද මහත් සතුටින් යුක්තවූවාහු බෝධීන් වහන්සේ වඳිති. එය ඉතා අලංකාර බවින් යුක්තවිය. බෝධීන් වහන්සේ සිත්සේ වැඳපුදා, ගැනීමට කැමතිව නාග භවනයටද වැඩමවා ගෙන යන ලදී. එය වැඩමවන ලද්දේ මෙසේය.[5]

සමීප දිවයිනට වැඩම වන්නාවූ බුදුරජාණන් වහන්සේගේ බෝධිශාඛාව පිරිවරා ගන්නා ලද නාගයෝ සතුටින් ප්‍රමුදිතවූයේ නොයෙක් ක්‍රීඩා පවත්වති. එම නාග භවනයෙහි බිම මැණික් අතුරා ඇති අතර එහි මුතුලෑලි ද අතුරා ඇත. විවිධ ආරාමවලින් ගැවසීගත් එහි නොයෙක් මල්වලින් අලංකාරවූ පොකුණුද වූයේය. දෙවියන් සහිත මනුෂ්‍යයෝ එහි සත්දිනක් විසූහ.[6] එසේම දෙවිවරුද නාගයෝද නාගභවනින් නික්ම විවිධ මල්දම්වලින් බෝධීන් වහන්සේලා පූජා කෙරෙති. දෙවියෝ බෝධීන් වහන්සේ වටා රෙදි අතුරා වට කොට මහත්සේ ක්‍රීඩා කරති. දිව්‍ය ලෝකයේ මදාරා: පරසතු මල්ද සඳුන්කූඩද මල්වැසි වස්සවති. මේ ආකාරයෙන් දෙවියන් සහිත මනුෂ්‍යයෝද විවිධ භූතයන් හා යක්‍ෂයෝද නාගයෝද, සයුරෙහි වැඩමවන්නාවූ බෝධීන් වහන්සේ පිරිවැරුවාහුය. ඔවුහු වයමින්, ගයමින්, නටමින් සිනාසෙමින් මහත්සේ දෙගුණ තෙගුණකොට ගුණ ගායනා කරමින් අත්පොලසන් දෙති. යක්‍ෂයෝද නාගයෝද විවිධ භූතයෝද මනුෂ්‍යයෝද දෙවියෝද බෝධීන් වහන්සේගේ කීර්තිය වර්ණනා කරමින් මංගලවාක්‍ය කියත්.

දෙවන පෑතිස් රජතුමා හා බිසෝවරුන්ද බොහෝ ජනයාද බෝධීන්වහන්සේ පිළිගැනීම පිණිස රම්‍යවූ අනුරපුරයෙන් නික්ම දඹකොලපටුනට පැමිණියාහුය.

ශ්‍රී ලංකාවේ උතුම්වූ බෝධීන් වහන්සේ පිහිටුවීමෙන් පසු මනරම් කාන්තියෙන් යුත් නිල්වන් කොඩිගත් නාගජනීහු බෝධීන් වහන්සේ පිහිටවීම පිළිබඳව වර්ණනා කරන්නට වූහ. එසේම ක්‍ෂත්‍රිය වංශිකයෝ බෝධීන්වහන්සේ පිරිවරා සිටියහ. සුවඳ මල්මාලාවන්ගෙන් හා උතුම් සුවඳ විලවුන් වර්ගවලින් බෝධීන් වහන්සේට පූජාපැවැත්වූහ. නගරවාසීහු නගරයේ වීථි මනාසේ පිරිසිදු කරන ලදහ. බෝධීන්වහන්සේ මෙහි පිහිටුවීමෙන් පසුවද මහපොළව කම්පාවිය. බෝධීන්වහන්සේගේ ආරක්‍ෂාව පිළිබඳව සලකාබැලූ දේවානම් පියතිස්ස රජතුමා බෝධිගුප්ත[7] නම් ඇමතිවරයාගේ නායකත්වය යටතේ ක්‍ෂත්‍රියයන් අටදෙනා බැගින් අටතැනක ආරක්‍ෂක මධ්‍යස්ථාන පිහිටුවීය. එසේම නොයෙක් අලංකාරයෙන් යුත් බබලන බෝධිපරිහරණ උපකරණ ද[8] දුන්නේය. පොළවෙහි පිහිටියාවූ බෝධීන් වහන්සේ කෙරේ ගෞරවයෙන් මහාලේඛාවන්[9] දහසක් දුන්නේය. තවද මනාව පිළියෙල කරන ලද ඇතිරිලි ලේඛකස්ථානයේ ඇතිරීම පිණිස වෙන්කර තැබීය. එසේම බෝධීන් වහන්සේගේ රැකවරණය සඳහා කුලදාසයකින් ඥානවන්ත පාලකයින්[10] දහසක්ද පත්කෙරිණ.

දෙවන පෑතිස් රජතුමා රන්වන් බෙර අටක්ද අභිෂේකාදියේදී අවශ්‍යවන විවිධ මංගල වස්තූන්ද ජනපදයක්ද දී “චන්‍ද්‍රගුප්ත” නම් ඇමතිවරයෙකු බෝධීන් වහන්සේගේ ආරක්‍ෂාව සඳහා පත්කළේය. “දේවගුප්ත” නම් ප්‍රාසාදයක්ද ඔහුට දුන්නේය. එසේම ඒ ඒ කුලයන්ට සුදුසු ආකාරයට ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා වාසස්ථාන භූමිභාග හා අයබඳු ගන්නා ගම්ද පරිත්‍යාග කළේය.[11]

සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ සම්ප්‍රාප්තියෙන් පසු රජුගේ වංශවත් යස ඉසුරුමත් රාජකන්‍යාවෝ පන්සීයක් දෙනා පැවිදිවූහ. ඒ සියළුදෙනාම අරහත් භාවය ලැබුවාහුය. අනුලා දේවියගේ පිරිවර පන්සීයක් කුමාරිකාවෝද පැවිදිවූහ. එම කුමාරිකාවෝද අරහත් භාවය ලැබුවාහුය. අරිට්ඨ නම් ක්‍ෂත්‍රිය ඇමතිවරයාද සසර භයින් බියපත්ව පන්සීයක් දෙනා පිරිවරකොට ඇතිව ගිහිගෙයින් නික්මවුත් බුද්ධ ශාසනයෙහි පැවිදි බව ලැබීය. බුදු සසුනට අදාල සියළු අංගයන් ගෙන් පරිපූර්ණවූ ඔවුහු සියල්ලෝ රහත් වූහ. මෙ පොළෝතලයේ මනාව මල් ඵල හටගන්නාවූ හේමන්ත සෘතුවේ පළමුවන මාසයේ මෙම ලක්දිවට වැඩමවූ මෙම මහබෝධීන් වහන්සේ ලංකාවේ අනුරාධ පුර නගරයේ පිහිටියේය.[12]

  1. ම. වං. පරි 19 සඳහන්වන්නේ වින්ධ්‍යාවනය හරහා තාම්‍රලිප්තියට පැමිණි බවය. තාම්‍රලිප්ති නැව්තොට පිහිටියේ නැගෙනහිර දිග ඉංදියාවේ. පාටලීපුත්‍ර නගරයට වඩාත් ළඟ පිහිටි නැව්තොට ද එයයි. එයට පැමිණීමේදී වින්ධ්‍යාවනය හමු නොවේ. මහණ්ණව නම් ස්ථානය පිහිටා ඇත්තේ දකුණු ඉංදියාවේය. ද.ඉ. පැමිණීමේදී වින්ධ්‍යාකදුවැටිය තරණය කළ යුතු ය. මේ අනුව සඟමිත් තෙරණියෝ පැමිණ ඇති බව පෙනෙන්නේ ද. ඉ. හරහා පැමිණ දඹකොළ පටුනටය. මේ නිසා මැ: වං: පුවත විමර්ශනයට ලක්කළ යුතුය. ↑

  2. රොමිලා තපර් පවසන්නේ අශෝක බෞද්ධයෙකු නොවූ බවත් රාජ්‍ය පාලකයෙකු වශයෙන් සියළු ආගමිකයන්ට පොදුවේ සැලකූ බවත්ය. බොහෝ ඉතිහාසඥයෝද මේ බව කියති. ↑

  3. මෙම පොත ලියන අවදිය වනවිට ආතත; විතත; විතතාතථ; ආදියෙන් සැදුම්ලත් ක්‍රමානුකූල සංගීත ශාස්ත්‍රයක් පැවති බව පෙනේ. ↑

  4. බෝධි වංශයේ සඳහන් වන්නේ ‘බෝධීන්වහන්සේ ආරක්‍ෂා කරවයි කියා අටලොස් කුලෙකු දෙවියන් කැඳවා’ යනුවෙනි. මෙයින් ශ්‍රමදරිකයන් දෙවියන් වශයෙන් සැලකූබවක් පෙනේ. මෙම 18 කුල කාර්මිකයන්ගේ නම්ද මෙහිද දක්වා ඇත. (බෝ. වං. අලුවි ඉසිසැබ්හෙළ 224 වන පිට) මෙම පුවත පිළිබඳව සමන්තපාසාදිකාවේද, සාරාත්ථදීපනීයෙහිද සඳහන්ය. දී. ව. හා ම. ව. පුවත් සැමට ගැලපේ. නමුත් රාජාවලියේ පුවත් නොගැලපේ. විමතිවිනෝදනියෙහිද මේ ගැන දැක්වේ. බෝ. ව. සඳහන් දේවවාදී අදහස් ක්‍ෂත්‍රියන් හැඳින්වීම සඳහා යොදාගත් බව මහාචාර්ය ගෛගර් මහතා කියයි. ↑

  5. ම: ව: මේ පිළිබඳව මෙතරම් විස්තරයක් සඳහන් නොවූවද බෝධි වංශයේ සියළුම මූලාශ්‍රයන්ට වඩා විස්තර දක්වා ඇත. බෝධිවංශය ලියවී ඇත්තේ II පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ අවදියේය. මහායානවාදී හා අධිදේවවාදී අදහස් මේ තුළ ගැබ්ව ඇතිබව පෙනේ. ↑

  6. ම: ව: 19 පරි. නාගයන් මෙය බලහත් කාරයෙන් එහි තබාගැනීමට උත්සාහ කල බවත් සඟමිත් මෙහෙනිය ගුරුළුවෙසක් ගෙන ඔවුන් බිය ගැන්වූ බවත් දැක්වේ. බෝධිවංශයේද එය එයටද වඩා අතිශයෝක්ති විස්තරයන්ගෙන් යුක්තව දක්වා ඇත. කෙසේ වෙතත් ක්‍රි. පූ. 307-267 අතර කාලයේදී ශ්‍රීමහා බෝධි ශාඛාව ලක්දිවට වැඩමවූ බව පෙනේ. ↑

  7. මෙම බෝධිගුප්ත කුමාරයා, පිළිබඳ කතාව මඃ වඃ දක්නට නැති අතර බෝඃ වඃ දක්නට ලැබේ. එසේම ඔහු අශෝක විසින් එවන ලද 16 කුලයේ ප්‍රධාන කුමාරයා බවද දැක්වේ. මොවුන් බුදුන්වහන්සේගේ වංශයට අයත් ලම්භකරණ වංශිකයන් බව පසුකාලීන තොරතුරුවලින් පෙනේ. ඉලනාග මොවුන්ගේ කන් නාස කපා පහත් වැඩවල යොදවූ බවත්, පසුව වසභගේ සිටරජුන් මෙම වංශයේ බවත් පෙනේ. ↑

  8. මෙම බෝධි පරිහරණ උපකරණ පිළිබඳව මඃ වඃ හෝ බෝඃ වඃ හෝ ථූ. ව, හෝ වෙනත් වංශ කතාවක දක්නට නොමැත. මහාබෝධියේ පරිහරණය සඳහා සම්මත භාණ්ඩ සමූහයක් තිබූ බව මෙයින් පෙනේ. ↑

  9. මෙම මහාලේඛාවන් පිළිබඳව මඃ වඃ හෝ ථූ. ව. හෝ බෝධිවංශයේ දක්නට නොලැබේ. දේවානම්පියතිස්ස අවදියේ සිට රාජ්‍ය ලේඛන කටයුතු කරගෙන යන ලද්දේ ලම්බකරණ වංශික ලේඛයන් විසිනි. මේ ඔවුන් දැයි විමසිය යුතුය. ↑

  10. මෙහි දැක්වෙන්නේ ‘කෙතුජාදින්’ නම් පාලි වචනයයි. සමහරු මෙයට අර්ථදී ඇත්තේ කේතුවකින් වසන ලද යන අදහසයි. නමුත් මෙහිදී ඥානවන්ත යන අදහස වඩාත් වැදගත්ය. ↑

  11. මෙහි බෝධි ගුප්ත නම් ප්‍රාසාදයක් ගැන සඳහන් වුවද බෝ. ව. ඇත්තේ එනම් කුමාරයෙකුගෙ නමකි.. එසේම බෝධිගුප්ත: සුමිත්ත: චන්‍ද්‍රගුප්ත: දේවගුප්ත: සුරියගුප්ත: ගෝතම: ජුතින්දර: යන කුමාරවරුන් අට දෙනෙකු පැමිණි බවත් ඔවුන් විවිධ ප්‍රාදේශීය පාලකයන් බවට පත්කල බවත් දක්වා තිබේ. තවද ගම්වර දීමද මෙකල සිට පැවති බව පෙනේ. ↑

  12. ම: ව: හා ථූ. ව. බෝධිවංශය ආදි වංශ කතාවන්හි තිවක්ක බමුණුගම පිළිගැනීම පිළිබඳවත් කාවරගාම: චන්‍දනගාම ක්‍ෂත්‍රියන් පිළිබඳව සඳහන් වෙතත් මෙහි එය දක්නට නැත. ↑