සිංහල දීපවංශය

15 වන පරිච්ඡේදය

මිහිඳුමහ රහතුන් වහන්සේ විසින් රජතුමාට මෙසේද කියන ලදී.

“මහරජතුමනි: ග්‍රීෂ්ම සෘතුව පටන් ගන්නා පළමුවන පොහෝ දිනයෙහි අපි දඹදිවින් අවුත් ලක්දිවට පැමිණියෙමු. එසේ පැමිණීමෙන් පසු එදින අපි මිස්සක පර්වතයෙහි වාසය කෙළෙමු. ඉන් පස් මසක් තිස්සාරාමයෙහි හා ඒ අසල පර්වතයෙහිද විසුවෙමු. දැන් අපි දඹදිව යාමට සූදානමින් සිටින්නෙමු. ඒ සඳහා අපට කැමැත්ත දෙන්න.”

යනුවෙන් වදාළහ.

ඒ ඇසූ රජතුමා මෙසේ කීවේය.

“ස්වාමීන් වහන්ස: අපි ආහාරපානාදියෙන්ද, සිවුරු, පිරිකර හා සෙනසුන්වලින්ද ඔබවහන්සේලාට නිති සංග්‍රහ කරන්නෙමි. මෙහි සිටින මේ සියළු ජනයා ද තෙරුවන් සරණ ගියේය. කුමණ කරුණක් නිසා ඔබ වහන්සේලා මෙහි විසීමට අකමැති වන්නාහුද?”

එවිට තෙරුන් වහන්සේ මෙසේ පිළිවදන් දුන්හ.

“මහරජතුමනි: බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීමක්: වැඳීමක්: ඇඳිලිබැඳ වැඳීමක්, අපට මෙහි සිටීමෙන් සිදුනොවන්නේය. මෙහි වැඩසිටින්නාවූ භික්ෂූන් වහන්සේලාද සර්වඥයන් වහන්සේ බොහෝ කලකින් නොදක්නා ලද්දේ වෙයි.”

මේ අවස්ථාවේ රජතුමා නැවතත් පිළිවදන් දින.

“තෙරුන් වහන්ස: එම කරුණ මා විසින් මනාසේ වටහා ගන්නා ලදී. එම නිසා මම ඔබවහන්සේලා වෙනුවෙන් උතුම් ස්ථූපයක් කරවන්නෙමි.[1] එහි ධාතුන්වහන්සේලාද තැන්පත් කරන්නෙමි. එය කරන පිළිවෙළ දැනගනු කැමැත්තෙමි.

මහින්ද මහා තෙරණුවෝ මෙම අවස්ථාවේ සුමණතෙරුන් වහන්සේ අමතා මෙසේ වදාළහ.

“සුමණ මෙහි එන්න[2] ඔබ උතුම් වූ පැලලුප් නුවරට ගොස් එහි රාජ්‍ය, විචාරන්නාවූ ධර්මාශෝක රජතුමාට මෙසේ සැලකරන්න.”

“මහරජතුමනි; ඔබගේ නොදුටු මිතුරු දෙවනපෑතිස් රජතුමා බුද්ධ ශාසනයෙහි පැහැදුනේය. ඔහු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් චෛත්‍යයක් කරවනු කැමැත්තෙන් පසුවෙයි. එම නිසා එහි නිදන් කරවීම පිණිස උතුම්වූ සර්වඥධාතු ලබා දෙන්න.

යනුවෙනි.

ඒ සෘද්ධිමත්වූ, නිශ්චලවූ, බහුශ්‍රැතවූ; කීකරුවූ, අවවාද අනුශාසනාවන්හි මනාසේ පිහිටියාවූ සුමණ තෙරුන් වහන්සේ එම අවස්ථාවේදී පාසිවුරු ගෙන මිහින්තලා පව්වෙන් පිටත්ව දඹදිව් තලයට වැඩිසේක. එසේ වැඩම කළාවූ උන්වහන්සේ මිහිඳු මාහිමියන් වදාළ පරිදි එම තොරතුරු එපරිද්දෙන්ම ධර්මාශෝක රජුට[3] දැන්වූහ. එතෙරෙනුවෝ එය මෙසේ වදාළෝ.

“මහරජතුමනි. මගේ උපාධ්‍යායන් වහන්සේගේ වචන අසන්න.”

“ඔබතුමාගේ නොදුටු මිත්‍රයා බුදුසසුනෙහි පැහැදින. ඔහු බුදුරජාණන් වහන්සේ උදෙසා චෛත්‍යයක් කරවනු කැමැත්තේවෙයි. ඒ සඳහා ඔහුට උතුම්වූ සර්‍වඥධාතු දෙන්න.”

ධර්‍මාශෝක රජතුමා එම වචන නිසා සතුටු සිත් ඇත්තේ ප්‍රීතියෙන් ප්‍රමුදිතවූ දෙවන පෑතිස් රජතුමාට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් චෛත්‍යයක් කරවීම සඳහා අවශ්‍යය සර්‍වඥධාතු පාත්‍රය පුරවා දුන්නේය. ඒ සුවච කීකරුවූ සුමණ තෙරුන් වහන්සේ එම ධාතුද රැගෙන අහසට පැනනැගී සක්‍ර දේවේන්‍ද්‍රයා සමීපයට වැඩියහ. උන්වහන්සේ ශක්‍රදේවේන්‍ද්‍රයා වෙතට පැමිණියේ මෙසේ වදාළහ.

“සක්දෙව් රජතුමනි; මාගේ උපාධ්‍යායන් වහන්සේගේ වචන ශ්‍රවනය කරන්න. ලක්දිව දේවානම් පියතිස්ස රජතුමා බුදුසසුනෙහි පැහැදුනේය. එම රජතුමාට චෛත්‍යයක් කරවීම සඳහා සර්‍වඥධාතු ලබාදෙන්න.”

සක් දෙව්රජ එවදන් අසා සතුටුසිත් ඇතිව බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුව සුමණ තෙරුන් වහන්සේට දී මෙසේද කීවේය.

“මනා පැවතුම්වලින් යුක්තවූ තෙරුන්වහන්ස; ඉක්මනින් වඩින්න.”

යනුවෙනි.

එම අවස්ථාවේ සුමණ තෙරුන් වහන්සේ සක්‍ර දේවේන්‍ද්‍රයා සමීපයට වැඩ සක්දෙව් රජුගෙන් බුදුරජාණන් වහන්සේගේ උතුම්වූ අකුධාතුව ලබාගෙන මිස්සක පර්‍වතයට වැඩිසේක. ලජ්ජාභයින් යුක්තවූ ගෞරවනීයවූ පණ්ඩිත බවින් යුක්තවූ සුමණ තෙරණුවන් මිහිඳුමාහිමියන්[4] විසින් සක්දෙව් රජතුමා වෙත යවන ලදී. උන්වහන්සේ ධාතූන් වහන්සේලා ලබාගෙන මිස්සක පර්‍වතයට වැඩ සිටියහ. දෙවන පෑතිස් රජතුමා සිය සහෝදරයන්ද එක්ව තම සේනාවද පිරිවරා ගෙන ඒ ශ්‍රේෂ්ඨවූ සර්වඥධාතුන් වහන්සේලා ලබාගැනීමට ගමන් කළහ. සුමණ තෙරුන් වහන්සේ සර්වඥධාතුන් වහන්සේලා ගෙන මෙහි වැඩියේ ග්‍රීෂ්ම සෘතුවෙහි සිව්වන මාසයේ පළමුවන දිනයෙහි පිපුණ කුමුදු මල් සහිත සඳ ඇති රාත්‍රියේය. රජතුමා[5] එම ධාතූන් වහන්සේලා ඇතුගේ කුම්බස්තලයෙහි තැබීය. එම අවස්ථාවේ ඇත්රජු හිස ගින්නෙන් තැවූ කලෙක මෙන් කුඤ්චනාද කළේය. සර්වඥධාතුන් වහන්සේලා මෙසේ තැන්පත් කළ කල්හි මහපොළව කම්පාවිය. එසේම මෙම අවස්ථාවේදී සක්බෙර: පනාබෙර ආදී භෙරිනාදයන්ගෙන් හා විවිධ අනෙකුත් තූර්‍ය්‍යනාදයන්ගෙන්ද එකණින් සැදුම්ලද්දේය. සහ පිරිවරින් පැමිණි දෙවනපෑතිස් රජතුමා ධාතූන් වැඳපුදා ගන්නා ලදි. එයින් පසු ඇත්රජු රජුගේ පාබලසෙනග සමීපයෙන් අවුත් නැගෙනහිර දොරටුවෙන් නගරයට පිවිසියේය. එම අවස්ථාවේ ස්ත්‍රී පුරුෂ ජනී ජනීහු නොයෙකුත් මල් හා විවිධ සුවඳ විලවුල් ගෙනවුත් ධාතූන් වහන්සේට පූජා පැවැත්වූහ.[6] ඇත් රජු එයිනනතුරුව දකුණු දොරටුවෙන් නික්මුණි. එසේ නික්මුණා වූ ඇතුන් අතරින් උතුම් වූ ඒ ඇත්රජ කකුසඳ: කෝණාගම, කාශ්‍යප: යන තුන්බුදුවරයාණන් වහන්සේ ලාගේ ධාතු පිහිටුවන ලද්දාවූ යම් ප්‍රදේශයක් වේද එම භූමි ප්‍රදේශයට පැමිණියේය. එම නරශ්‍රේෂ්ඨවූ දෙවනපෑතිස් මහරජාණෝ අප ගෞතම ශාක්‍ය පුත්‍රයාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා එහි පිහිටවූහ. එසේ ධාතූන් වහන්සේලා පිහිටවූ කල්හි සියලු දෙවියෝ ප්‍රමුදිතවූහ. එම අවස්ථාවේ ලොමුඩැහැගන්වන ආකාරයෙන් කුඩා ප්‍රමාණයේ භූමිකම්පාවක්ද ඇතිවිය. මේ ආකාරයෙන් සුමණ තෙරණුවෝ එහි සිටි සියලු දෙනා පැහැදවූ අතර ගඩොලින් චෛත්‍යයක්ද නිර්මාණය කරවන ලදී.[7] පසුව මෙය මැණික් වලින් නිරාවරණය කරන ලදුව එම සර්‍වඥධාතූවලින් හෙබියා වූ චෛත්‍යය ක්‍ෂත්‍රියයෝ වැදුම් පිදුම් කළාහුය. මෙම ස්ථානය එම අවස්ථාවේම සුදු කුඩවලින් හා වෙනත් ආකාරයේ කුඩවලින්ද ආවරණය කරන ලදී. තවද වල්විදුනා හා නොයෙක් දර්‍ශනීය සැරසිලිවලින් ද විසිතුරු කරන ලද්දේ විය. ඒ ඒ දිසාවන්හි කරන ලද චෛත්‍යයන්[8] විවිධ පහන්වලින් ආලෝකමත් විය. එය හිරුඋදාව කල හාත්පස ආලෝකමත් වන්නාක් මෙන් වූයේය. එසේම හාත්පස අහස්කුස විවිධ වර්‍ණවත් වලාකුල්වලින් අලංකාරවූයේය. තවද මෙම චෛත්‍යය භූමියෙහි රන්වැලි අතුරන ලදී. එපමණක්ද නොව අවට අහස රන්මලින් ගැවසීගත්තේ ඒ කෙසේදයත් රන්මය වියන් බඳනා කලෙක මෙන් විය.

කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළවූ කාලයේදී උන්වහන්සේ හතලිස් දහසක් භික්‍ෂූන් වහන්සේලා පිරිවරන ලදුව ලක්දිවට වැඩිසේක. මහාකරුණාවෙන් ලතෙත්වූ ඒ සර්‍වඥයන් වහන්සේගේ කාලයෙහි ලංකාදීපය ඕජදීප නම්විය. එකල්හි උන්වහන්සේ ලක්දිවෙහි වූ අභය පුරයෙහි විසූ මිනිසුන් හා අවශේෂ අනෙකුත් සත්වයන්ගේද හිත සුව පිණිස ලක්දිව බලා වැඩවදාල සේක. උදාගිරි පර්‍වතයෙන් නැගුණාවූ සූර්‍ය්‍යයා පද්මයන් පුබුදු කරන්නාක් මෙන් එම සර්‍වඥයන් වහන්සේ උන්වහන්සේගේ බුද්ධ රශ්මියෙන් බොහෝ සත්වයන් පුබුදු කලසේක. එම කකුසඳ බුදුරජාණන් වහන්සේ අහසෙහි පැනනැගි බබලන සූර්‍ය්‍යයා මෙන් හතලිස් දහසක් භික්‍ෂූ සංඝයා ද පිරිවර කොට ගෙන ඕජදීපයෙහි වැඩසිටි සේක. එකල කොළොම්තොටින්[9] වෙන් කරන ලද මෙම මනරම් වූ අභයපුරය මනාව බෙදන ලද අලංකාර වීථිවලින්ද යුක්ත විය. එම කාලයෙහිදී ලක්දිව පුණ්නක[10] නම් ඉතා භයානක දරුණු උණ රෝගයක් හට ගත්තේය. මෙම හේතුව නිසා මිනිසුන්ගේ ජීවිත කෙමෙන් අලසව සිටි මසුන්ගේ ජීවිත මෙන් අස්ථිර විය. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ පැමිණීමත් සමඟ උන්වහන්සේගේ අනුභාවයෙන් එම රෝගාපද්‍රවය දුරුවිය. එසේම එම බුදුන් වහන්සේ ධර්මය නැමැති අමෘතය දේශනා කළ කල්හි මෙම ලක්දිව් තලයෙහි බුද්ධ ශාසනයද පිහිටියේය. උන්වහන්සේගේ ධර්‍මදේශනයෙන් අසූහාර දහසකට ධර්‍මාවබෝධය විය. එසේම මෙම අභය නගර ප්‍රදේශයෙහි ‘පාටියාරාම[11] නම් ආරාමයක්ද පිහිටියේය. එසේම එකල ධම්මකාර[12] නම් චෛත්‍යයක්ද මෙහි පිහිටියේය. කකුසඳ බුදුරජාණන් වහන්සේ සමඟ මෙහි වැඩි මහත් සෘද්ධිබලසම්පන්නව මහාදේව තෙරණුවෝ දහසක් භික්‍ෂු සංඝයාද සහිතව මෙහි වැඩ සිටියාහ. අනතුරුව කකුසඳ බුදුරජාණන් වහන්සේ පමණක් දඹදිවට වැඩි සේක.

එයින් පසු කපෙහි මහාමුනීද්‍රවූ කෝණාගම බුදුරජාණන් වහන්සේ මෙලොව පහළවූ සේක. උන්වහන්සේද තිස්දහසක් භික්‍ෂු සංඝයා පිරිවරා මෙම ලක්දිවට වැඩියහ. දසදහස් සංඛ්‍යාත ජනතාව කෙරේ උන්වහන්සේ පතලමහා කරුණාව පැතිරවූසේක. එම බුදුරජාණන් වහන්සේ අවදියෙහි ලක්දිව පතල වූයේ ‘වරදීප’ නමිනි. සසර දුකින් පෙළෙන්නා වූ මිනිසුන් දෙස බැලුවාවූ උන්වහන්සේ සූර්‍ය්‍යයා නෙළුම්මල් පුබුදුවන්නාක් මෙන් මෙම වරදීප භූමිය බුද්ධ තේජෝ මහිමයෙන් පහදවා ප්‍රමුදිත කළහ. එම කෝණාගම සර්‍වඥයන් වහන්සේ මෙම වරදීප නම්වූ ලක්පොළව මත පැන නැගුණාවූ සූර්‍ය්‍යාමෙන් සමන්කුළු පව්වට වන්සේක. එකල මෙහි වර්ධමාන නම් නගරයක් විය. එම නගරයෙහි සමිද්ධි නම් රජකෙනෙකු රාජ්‍ය විචාලේය. උන්වහන්සේ වඩින සමයෙහි මෙහි වාසය කලාහු අයහපත් පැවතුම් ඇත්තෝවූහ. ඔවුහු දුර්භික්‍ෂ භයින් පෙළුනාහුය. සිඳීගිය වලක දුකට පත්ව සිටි මසුන් මෙන් උන්වහන්සේ එකල ලක්වැසියන් දුටුසේක. උන්වහන්සේ මෙහි වැඩිසේක් ඔවුන්ගේ දුක්දුරුකිරීම පිණිසය. උන්වහන්සේ මෙහි වැඩි අවස්ථාවේ මහා වැසි හට ගත්තේය. එයින්ම සියළු ජනයින්ගේ සැපත උදාවිය. සියළු දෙනාගේ දුක් පහව ගියබව දුටු උන්වහන්සේ සියළුම ජනපද වාසීන් අස්වැසූ සේක. එම කාලයෙහි නගරයෙහි දකුණු පස එනම් තිසාවැව[13] සමීපයෙහි ‘උත්තරාරාම[14] නම් විහාරයක් කායබන්ධන³ නම් චෛත්‍යයක් පිහිටියේය. උන්වහන්සේ සූර්‍ය්‍යයා මෙන් බබලමින් ධර්මය දේශනා කලසේක. එම ධර්මය ශ්‍රවනය කිරීමෙන් අසූහතර දහසකට මාර්ගඵලාවබෝධ විය. අනතුරුව කෝණාගම බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ සුමණ තෙරණුවෝ දහසක් භික්ෂූන් පිරිවරාගෙන මෙම ලක්දිවෙහි නතරවූහ. එම කෝණාගම බුදුහු පමණක් දඹදිව වැඩිසේක.

තෙවැනි කල්පයෙහි ලෝක නායකවූ කාශ්‍යප සම්මා සම්බුදු රජාණෝ ලොව පහළ වූහ. එම කාශ්‍යප බුදුහු විසිදහසක් භික්ෂුසංඝයා පිරිවරා ලක්දිවට වැඩිසේක. තුන්ලොව බලාවදාරන්නාවූ උන්වහන්සේ දෙව්මිනිසුන් දෙස බැලූසේක. දෙව්මිනිසුන්ගේ පුදසැලකිලි ලත්සේක. එකල මහා කරුණාවෙන් යුත් උන්වහන්සේ උතුම්වූ පිරිසිදු බුදු ඇසින් ලක්දිව පුහුදුන් ජනයාවෙත බලාවදාළහ. සූර්‍ය්‍යයා පද්මයන් පුබුදු කරන්නාක් මෙන් ලක්දිව පුහුදුන් ජනයා පැහැදවූසේක. එම බුදුරදහු මෙසේද සිතූහ.

‘මම ‘මණ්ඩදීපය’ නම්වූ ලංකාදීපයට යන්නෙමි. එහි වැඩ මාගේ ශාසනය බබුලුවා ලන්නෙමි. පූර්ණචන්ද්‍රයා ගණඳුර පහකරන්නේ යම්සේද එසේම සියලු දෙනාගේ මෝහාන්ධකාරය දුරුකොට මාගේ ශාසනය මෙහි පිහිටුවන්නෙමි.

යනුවෙනි. භික්ෂු සංඝයා පිරිවරන ලද්දවූ එම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අහසින් ලක්දිවට වැඩියහ. උන්වහන්සේ ලංකාදීපයට වැඩියේ අහස්කුස මැද සිට සූර්‍ය්‍යයා බබලන්නාක් මෙනි. එම කාශ්‍යප සර්වඥයන් වහන්සේ මෙහි වැඩියේ සබ්බනන්ද[15] නම් අගසව් තෙරණුවන්ද සමගය. ඒ කාලයේ මෙම මිහින්තලා පර්වතය සුභකූට නමින් ප්‍රසිද්ධවිය. එසේම මෙම ප්‍රදේශයේ ‘විශාල’ නම්වූ නගරයක්ද විය. එහි රාජ්‍ය විචාරණ ලද්දේ ‘ජයන්ත’ නම් රජ විසිනි. මෙම විශාලත්වයෙන් පිරි නගරය පිහිටියේ ඛේම තඩාග නම් විලසමීපයේය. එහි පැල දොර අසල ‘ප්‍රාචීනාරාම’ නම් විහාරයක් වූ අතර ‘ජලසාටික’[16] නම් චෛත්‍යයක්ද වූයේය.

අප කාශ්‍යප බුදුරජාණන් වහන්සේ යුද්ධයේ නිමග්නව සිටි සහෝදරයන්[17] සමඟි කරවා, සියලු මිනිසුන් සනසා ධර්‍මය දේශනා කොට මෙහි උතුම් වූ ශාසනය පිහිටවූ සේක. මෙම ධර්‍මය දේශනා කළ කල්හි එය වටහා ගත් අසූහාර දහසක් මාර්‍ගඵල අවබෝධ කරගත්තාහුය. එයින් පසු සම්බනන්ද අගසව් තෙරුන් වහන්සේ හා පැමිණි විසිදහසක් භික්‍ෂූන් වහන්සේලා මෙහි නතරවූහ. කාශ්‍යප බුදු රජාණන් වහන්සේ පමණක් තනිවම දඹදිව වැඩිසේක.

මෙම කල්පයෙහි අපගේ ලෝකනායකවූ ගෞතම සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ මෙළොව පහළවූ සේක. සියලු සත්වයන් කෙරේ පතළ මහා කරුණාවක් ඇති උන්වහන්සේ සියලු සත්වයන් කෙරේ අනුකම්පා උපදවා උතුම් වූ ශ්‍රී සද්ධර්‍මය දේශනා කළ සේක. ඒ නර ශ්‍රේෂ්ඨවූ සම්මා සම්බුද්ධ වූ ලෝක නායකයාණන් වහන්සේ පළමු වරට මෙහි වැඩියේ චූලෝදර හා මහෝදර යන නාගවංශිකයන් දෙදෙනා යුද්ධය සඳහා සැරසුන අවස්ථාවේදීය. එසේ යුදබිමට පිවිසියාවූ එම නාගයෝ වෛරය නැමැති ගින්නෙන් රත්ව දුම් පිටකරමින් උන්නාහුය. එම නිසාම සියල්ලෝ මහත් භයින් සමුච්චින්න වූහ. ඔවුහු ලංකාව වැනසීමට සැරසී සිටියහ. මෙම මාමා හා බෑනා යන නාගයෝ තම තමන්ගේ සේනා පිරිවරනු ලදුව ඉදිරියටම ආහ. එම අවස්ථාවේ එම ගෞතම සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ මෙසේ සිතූ සේක.

‘මම මෙලොව පහළවූ ගෞතම සම්‍යක් සම්බුදුරදුන් වෙමි. මම ඒ උතුම් වූ දිවයිනට ගොස් නාගයන් ද සනසන්නෙමි. එසේම මම පිරිනිවීමෙන් පසු රමණීයවූ අනුරාධපුර නගරයෙහි දෙවන පෑතිස්ස නම් වූ ක්‍ෂත්‍රීය රජෙකු පහළ වන්නේය. තවද මාගේ ශ්‍රාවකයාණන් වහන්සේ නමක් වන මහාමහින්ද තෙරුන් වහන්සේ මිහින්තලා පර්‍වතයේදී එම දෙවනපෑතිස් රජතුමා පහදවා බුදුදහම පිහිටු වන්නේය.’ යයි වදාළ සේක.

ඒ මහින්ද මහා තෙරණුවෝ රජුට මෙසේ ද කීහ.

“එම භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර මල්ලරජදරුවන්ගේ උපවර්තන නම් සල්වනයෙහි දී සියලු උපධීන්ගෙන් මිදී අනුපදිශේෂනිර්වාණධාතුවෙන් පිරිනිවන්පෑ සේක. උන්වහන්සේ පිරිනිවන් මඤ්චකයේ වැඩ සිටිමින් මෙසේද වදාළෝ. ‘මගේ පිරිනිවන් පෑමෙන් අවුරුදු 236ක් ගතවූ කල්හි මහින්ද නම් භික්‍ෂූන් වහන්සේ ලංකාව බබුලුවන්නේය.’ යනුවෙනි.

තවදුරටත් රජතුමා ඇමතූ උන්වහන්සේ

“මහරජතුමනි, අනුරාධපුර නගරයට දකුණුපසින් පිහිටි මනෝරම්‍යවූ භූමිභාගයක් ඇත. එහි ථූපාරාම[18] නමින් ව්‍යවහාර වන ආරාමයක්ද කෙරෙන්නේය. එම කාලයේදී මෙම දිවයින තම්බපන්නි යන නාමයෙන් ව්‍යවහාර වන්නේය. මනාසේ මාගේ ශාරීරික ධාතූන් එහි පිහිටන්නේය. තවද දෙවනපෑතිස් රජුගේ අග්‍රමහේසිකා ක්‍ෂත්‍රිය වංශයේ අනුලා නම් බිසොවුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහිද: ධර්‍මය කෙරෙහිද: සංඝරත්න කෙරෙහිද ඍජු දැකීමක් ඇතිව පැහැදී මෙම බවකතරින් එතරව බබලන්නීය.”

යනුවෙනි. අනුලාදේවිය පිළිබඳ තෙරුන් වහන්සේගේ වදන් ඇසූ රජතුමා එම අවස්ථාවේදී තෙරුන් වහන්සේට මෙසේ කීවේය.

“ස්වාමීන් වහන්ස: මනාදැක්මක් ඇති අනුලාදේවිය[19] බුද්ධ: ධම්ම: සංඝ: යන ත්‍රිවිධරත්නයෙහි පැහැදුනේ වෙයි. භවාශාව ඇයගෙන් දුරුව ඇත. එනිසා ඇය පැවිදි කරවන්න.” එය ඇසූ මහාමහින්ද තෙරුන් වහන්සේ මෙසේ වදාළ සේක.

මහරජතුමනි: භික්‍ෂූන්වන අපට ස්ත්‍රීන් පැවිදි කරවීම අකැපය. මාගේ නැගණිය වූ සංඝමිත්තා[20] තෙරණිය මෙහි පැමිණ කල්හි අනුලා දේවියට පැවිදිව සියළු සංසාරබැම්වලින් මිදීමට හැකිවන්නේය. මෙම සංඝමිත්තා තෙරණියන් නැණවත් බවින් අගතැන්පත්ව ඇති අතර ඒ සමග ඇති උත්තරා තෙරණිය විචක්ෂණ භාවයෙන් ප්‍රධානය. එසේම එහි සිටින හේමා තෙරණිය හා මාසගල්ලාව යන තෙරණිහු ඉතා තියුණු ලෙස අදහස් ඉදිරිපත් කරන්නාහුය. එසේම පිරිසිදු චෛතසිකයන්ගෙන් යුක්තවූ, ධර්මවිනයෙහි ඇලුණු සියළු ආශ්‍රවයන් පහකලාවූ ත්‍රිවිද්‍යාධර සෘද්ධිමත් වූ අග්ගිමිත්තා: තප්පා: පබ්බතච්ඡින්නා මල්ලා: ධම්මදසිකා: ආදී තෙරණියෝද වූහ. රහත්බවින් යුක්තවූ එම භික්‍ෂූනීහු[21] මෙහි පැමිණෙන්නා හුය.

තෙරුන් වහන්සේ මෙසේ වදාරණලද කල්හි මහ ඇමතිවරුන් පිරිවරන ලද්දවූ රජතුමා ඒ දෙස බලා සිටියේය. එසේ බලා සිටියාවූ දෙවන පෑතිස්ස රජතුමා ඒ පිළිබඳව අදහස් දැක්වීම සඳහා අමැතිවරුන් ඇමතීය. රජුගේ, අරිට්ඨ ඇමතිවරයා රජුගේ එම වචන කෙරේ අවධානය යොමු කළේය. තෙරුන්වහන්සේගේ අනුශාසනය පිළිගත්තාවූ රජතුමා අරිට්ඨ ඇමතිවරයා හට මෙසේ කීවේය.

“අරිට්ඨය: මම පැවිදිවීමට කැමැති වන්නාවූ තැනැත්තියන්හට ඒ සඳහා අවසර දෙමි. එම නිසා ඔබ මෙම පණිවුඩයද රැගෙන දඹදිව යන්න.”

නිහඬ බවින් අරිට්ඨ ඇමතිවරයා එම කැපකරුදායකත්වය පිළිගත්තේය.[22]

පැවිදි බව අපේක්ෂාවෙන් සිටි අනුලා බිසොව ප්‍රධාන කොට ඇති ඒ පන්සීයක් පමණ වංශවත් ස්ත්‍රීහු අනුලා බිසොව පිරිවරන ලදුව නගරයේ එක් පසෙක ගෙයක් සාදවාගෙන දශසිල් සමාදන්ව උන්නාහුය. එහි පැමිණියාහු ඔවුනට උදේසවස උපස්ථාන කළාහුය. මෙම අවදියේ දී මහත් බලයෙන් යුත් අරිට්ඨ ඇමති තෙම නැවින් ගොස් දඹදිව ගොඩ බැස්සේය. ඔහු පාඨලීපුත්‍ර නගරයට පිවිසියේ වින්ධ්‍යාවනය[23] පසුකරමිනි. අනතුරුව ධර්මාශෝක මහරජු වෙත ගියේ රජුට මෙසේ කීවේය.

‘මහරජතුමනි, මා ඔබතුමා වෙත පමුණුවන ලද්දේ ඔබතුමාගේ පුත් මහින්ද මහරහතුන් වහන්සේ විසිනි. එසේම බුදු සසුනෙහි පැහැදුනාවූ ප්‍රියදර්ශී වූ දෙවන පෑතිස් රජතුමන්ද මට ඔබතුමන් වෙත පැමිණෙන ලෙස අනුදැන වදාරණ ලදී.’

අරිට්ඨ ඇමති තෙම එයින් පසු තමාදෙස යොමුකරන ලද පණිවුඩය කියා[24] මෙසේද කියා සිටියේ ය.

‘මහසෘෂිවූ මහින්ද මහා තෙරණුවෝ සංඝමිත්තා මෙහෙණින් වහන්සේට සැලකර සිටීමට මෙසේද වදාළහ. ක්ෂත්‍රියවංශයේ අනුලා නම් රාජකන්‍යාව බුද්ධශාසනයේ මහත්සේ පැහැදී සිටින්නීය. එසේම අනුලාදේවිය ඇතුළු ඒ සියළු ස්ත්‍රීහු පැවිදිවීමේ ආශාවෙන් වෙසෙති.’ යනුවෙනි.

විචක්ෂණවූ එම සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ස්වකීය සහෝදරයාගේ පණිවිඩය අසා ඉක්මනින් රජුවෙත එළඹ මෙසේ සැළකළහ.

‘මහරජතුමනි; මම ලක්දිව යන්නෙමි. ඒ සඳහා මට අවසර දෙන්න. තවද මට මාගේ සොහොයුරාගේ වචන ඉවතලිය නොහැක.’ යනුවෙනි.

එම අවස්ථාවේදී අශෝක රජතුමා මෙසේ කීවේය.

“මාගේ පුත් ඔබගේ දෙටු සොහොයුරු, මාගේ “සුමණ” නම් බෑනණුවන්ද සමඟ ලක්දිවට ගියහ. එනිසා මාගේ එකම ප්‍රිය දියණිය වූ ඔබගේ ලක්දිව් ගමනට මට එකඟවිය නොහැක.” යනුවෙනි.

නැවතත් තෙරණියන් වහන්සේ මෙසේ කීහ.

“මහරජාණන් වහන්ස; මාගේ සොහොයුරාණන්ගේ ඉල්ලීම ඉතා බලවත්ය. තවද අනුලාදේවිය ඇතුළු පන්සීයක් ක්‍ෂත්‍රීය රාජකුමාරිකාවෝ පැවිද්ද ලබාගැනීමේ අපේක්‍ෂාවෙන් මා පැමිණෙන තෙක් පෙරමඟ බලා සිටිති. එහෙයින් මම යායුතු වන්නෙමි.”[25] යනුවෙන්ද කීහ.

  1. ම: ව: 17 වන පරි. සර්වඥයින් වහන්සේ පිරිනිවියා නොවේදැයි රජු අසන අතර ධාතුන් දැකීම බුදුන් දැකීමක් සේ රජුට පෙන්වා දුන් බව දැක්වේ. ↑

  2. ම: ව: පරි: 17 සඳහන් කරන්නේ රජ සුමණ සාමනේරයන් ඇමතු බවයි. එහෙත් භික්ෂු ශාසන න්‍යායට පටහැනිව ම: ව: කතුවරයා ඉදිරිපත් කර ඇත්දැයි විමසිය යුතුය. දී. ව. සාම්ප්‍රදායික ශාසනික ලක්ෂණය ඒ ආකාරයෙන්ම ඇත. ↑

  3. ලංකාව සමඟ පැවති මෞර්ය සම්බන්ධතා ඉතාමත් ම කුළුපගව පැවති බවත්, ඒ පිළිබඳව පැවසීමට විශාල සාධක ඇති බවත් අශෝක පුත් මහින්ද තෙරුන් ධර්මදූතයෙකු වශයෙන් ලංකාවට පැමිණීමත් ලංකාවේ රජු දෙවන පෑතිස් අශෝක ආදර්ශයක් කොට ගත්තේ මෙම කුළුපගකම නිසා බවත් රොමිලාතපාර් මහතා පවසයි. විවිධ තානාපතිවරුන් බොහෝ විට හුවමාරු කරගත් බවත් ශ්‍රීමහා බෝධියේ ශාඛාවක්ද ලංකාවට එව්වේ ඒ නිසා බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. ↑

  4. මඃ වඃ 17 පරි. සඳහන්වන්නේ සුමණ හිමියන් දෙවනපෑතිස් රජුගේ ඉල්ලීම මත ගිය බවය. එය බෞද්ධ සම්ප්‍රදයට පටහැනිය. ↑

  5. ම: ව: 17 පරි. සඳහන් වන්නේ ධාතූන්වහන්සේලා මිහිඳු මහරහතුන් වහන්සේ අත තැබූ බවය. උන්වහන්සේ සඳගිරියට පැමිණ එය දුන් බවය. එහි දැක්වෙන්නේ. එය චේතියගිරිය වූයේ එම ධාතු එහි තැබීමෙන් පසුබවද දැක්වේ. ↑

  6. ම: ව: 20 පරි. දැක්වෙන්නේ ධාතූන් වහන්සේ ඇත්කුඹමත තබාගෙන එන්නේ මෙයට පසු වෙනත් අවස්ථාවකදීය. ↑

  7. ම: ව: හා ථූ. ව. යන ග්‍රන්ථයන්හි දෙවන පෑතිස් රජු අබාවැවේ කිරිමැටි ගෙන්වා ඒ තුළ අකුධාතුව රඳවා ඇතු එහි ආරක්‍ෂාවට තබා තවත් ආරක්‍ෂකයින් යොදවා චෛත්‍යය සෑදීමට ගඩොල් සුදානම් කරවූ බව සඳහන් වේ. ↑

  8. පරිවාර චෛත්‍යයන් විය හැකිය. ↑

  9. කදම්බනදී; මල්වතුඔය යන නම්වලින් සඳහන්වන්නේද මෙයයි. ↑

  10. මෙම උණරෝගය දීපවංශය ලියන අවදියේ හෝ ඊට අර්ධ ශතකයකට පමණ පෙර සංඝබෝධි (සිරිසඟබෝ) අවදියේ සැදුනාවූ රෝගය දැයි විමසිය යුතුය. ↑

  11. මෙය අනුරාධපුරයුගයේ තිබූ පාචීනාරාමයට භාවිතා කරන ලද වෙනත් නමක් බව පෙනේ. ↑

  12. මෙහි ධම්මකාරක, යන අදහසින් ගත් විට, ධර්‍මය කරවන්නා පතුරුවන්නා යන අදහස ගෙන දෙයි. එසේම ධම්මකාර යනුවෙන් වතුරඅදින දබරාවට ද කියයි. ↑

  13. මෙම කායබන්ධන චෛත්‍ය පිළිබඳවත් තිසාවැව හා උත්තරාරාමය පිළිබඳවත් ම: වං හෝ ථූ. ව. දක්නට නොලැබේ. ↑

  14. මෙම කායබන්ධන චෛත්‍ය පිළිබඳවත් තිසාවැව හා උත්තරාරාමය පිළිබඳවත් ම: වං හෝ ථූ. ව. දක්නට නොලැබේ. ↑

  15. කනකදත්ත හා සුධම්මා නම් රහත් මෙහෙණියක්ද පැමිණි බව ම: ව: 17 පරි. දැක්වේ. ↑

  16. ම: ව: සඳහන් වන්නේ ‘ජලසාටික’ හෙවත් නානකඩ වන්දනාමාන සඳහා දී ගිය බවය. තවද නිග්‍රෝධ බෝධියේ දක්ෂිණ ශාඛාව ගෙනා බවද දැක්වේ. ↑

  17. එකල සිටි ජයන්ත රජු හා ඔහුගේ මලණුවන් වූ ‘මන්ඩ’ කුමරු අතර මෙම බිහිසුණු යුද්ධය කෙරුණ බවත් එය සංසිඳවීමට කාශ්‍යප බුදුන් පැමිණි බවත් ම: ව: 17 පරි දැක්වේ. ↑

  18. ම: වං: ථූපාරාමය ගැන වෙනත් අවස්ථාවකදී සඳහන් කරන අතර දේවානම් පියතිස්සරජු රුවන්වැලි සෑය එම අවස්ථාවේදී කිරීමට සැරසුන බව සඳහන් කරයි. ↑

  19. අනුලාදේවිය පිළිබඳ කතාව මෙහිදී ස්වාභාවික ලෙස ඉදිරිපත් කර ඇතත් ම: වං: 15 පරි. පෙන්වන්නේ විශාකා සිටු දේවිය ඇතුළු පිරිස ස්ත්‍රීන් 500ක් සමඟ පැවිද්ද ඉල්ලීම සඳහා බුදුන් දකින්නට ගිය ආකාරයෙන් අනුලා බිසොවද 500ක් ස්ත්‍රීන් පිරිවරාගෙන ගිය ආකාරයකි. ↑

  20. අශෝකරජු දෙවනපෑතිස රජු කෙරේ තිබූ පැහැදීම නිසා ලක්දිවට තම දරුවන් වන සංඝමිත්තා හා මහින්ද යන තෙරවරුන් එවූ බවත් සඳහන් කරන රොමිලා තපර් මහතා අශෝකගේ තවත් දියණියක් නේපාල කඳුවලින් පැමිණි රදළයෙකු හා විවාහවූ බවද පෙන්වා දෙයි. ↑

  21. ම: ව: හා ථූ: ව: ආදී අනෙක් වංශකථාවල මෙම තෙරණින් පිළිබඳව සඳහන් නොවේ. ↑

  22. ම: ව: මෙය 18 පරි. සඳහන් වන්නේ සුද්ධෝදන රජතුමා බුදුන්හමුවීමට කාලුදයි ඇමතිට මහණවීමට අවසරදී යැවූ ආකාරයට මෙහිදී අරිට්ඨ ඇමතිවරයාද ගොස් ඇත්තේ මහණවීමට අවසරදීමෙන් පසුවය. ↑

  23. ම: වං: සඳහන් වන්නේ අරිට්ඨ ඇමති දඹකොළපටුනින් නැව්නැග මිහිඳු හිමියන්ගේ අධිෂ්ඨාන බලයෙන් පැලලුප් නුවරට වැඩිබවය. එහෙත් මෙම පුවත අනුව වින්ධ්‍යා කඳුවැටිය තරණය කොට මහත් දුෂ්කර ගමනක් ගිය බව පෙනීයයි. මෙය වඩාත් ඓතිහාසිකය. ↑

  24. ම: වං: 18 පරි. සංදේශයක් යැවූ බව දැක්වේ. ↑

  25. මහාබෝධීන් වහන්සේගේ ශාඛාවක් ගෙනයා යුතු බව එම සංදේශවල සඳහන්වී තිබූ බවක් ම: ව: පරි. දැක්වේ. එසේම අනුරාධපුරයෙහි රෝපනය කරන ලද මෙ මහාබෝධි ශාඛාව පසුකාලෙක, ආගම්විරෝධී උම්මන්තකයෙකු විසින් කපා දමන ලදැයි ඉතිහාසඥයෝ දක්වති. ↑