සිංහල දීපවංශය

14 වන පරිච්ඡේදය

රජතුමා තෙරුන් වහන්සේගේ මෙම වචන අසා මහත්සේ සතුටට පත්විය. එයින් සතුටුසිත් පහළවූ වාවූ රජතුමා සපුමල් මිටක්ද ගෙන තෙරුන්වහන්සේට පිළිගැන්වීය. එම සපුමල්මිටද තෙරුන් වහන්සේ පොළවේ විසිරවූ සේක. එම අවස්ථාවේදී අටවන වරටත් පොළව කම්පාවිය. රාජසේනා වෝද රටවාසීහුද මෙම පුදුම සහගත සිදුවීම්ද දුටහ. ඔවුහු දෙදනින් ගමන් කරමින් මහත්සේ නාද කළාහුය. ඔවුහු තෙරුන් වහන්සේගෙන් මෙසේ විමසූහ.

“මහාවීරයාණන් වහන්ස: අටවන වරටත් පොළව කම්පාවීමට හේතු කවරේද? මහා නැණවතානන් වහන්ස අපි ඔබ වහන්සේගේ වදන් ශ්‍රවණය කරන්නෙමු. එහි අර්ථය අපට පවසනු මැනවි.”

එම අවස්ථාවේ මහාමහින්ද තෙරණුවෝ මෙසේ වදාළහ.

“මහරජ තුමනි: තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු ද්‍රෝණි අටක් විය. එයින් එක් ද්‍රෝණියක් මහා සෘද්ධිමතුන් විසින් ගෙනවුත්[1] මෙම ස්ථානයේ නිදන් කොට මහා අලංකාර සෑයක් කරවනු ලබයි. එම නිසා මෙම ස්ථානය බොහෝ දෙනා පහදවන්නාවූත් බොහෝ දෙනාගේ ප්‍රීතිය උපදවන්නාක් ස්ථානයක් බවට පත්වේ. මෙහි පොළව කම්පා වූයේ එම හේතුවෙනි.[2]

මෙසේ පොළෝ කම්පනයෙන් මහත්සේ සතුටු වූ රජුගේ සේනාවෝද රටවැසියෝ ද අවශේෂ ජනජනීහුද එහි රැස්ව අත්පොළසන් නාද පැවත්වූහ. මෙයින් පසු මහා මහින්ද තෙරණුවෝ තිස්සාරාමයෙහි වැඩ විසූ සේක. උන්වහන්සේ උදයෙන්ම පිබිද පාසිවුරහැඳ පොරවා අනතුරුව ඒ උතුම් අනුරාධපුර නගරයට වැඩිසේක. එසේ වැඩියාවූ උන්වහන්සේ පිඬුපිණිස හැසිරෙන්නේ පිළිවෙලින් රජමැදුරට ද වැඩිසේක. රජගෙදරදී පනවන ලද ආසනයෙහි වැඩහිඳ දන්වලඳා පාත්‍රය තමන් වහන්සේ අතින් සේදූ සේක.

මහා මහින්ද තෙරණුවෝ දන් වළඳා අවසානයේ අනුමෙවනිබණ වදාරා රජ මාළිගයෙන් නික්මුණහ. පසුව නගරයේ දකුණු පස පිහිටියාවූ නන්දන උයනට වැඩි උන්වහන්සේ එහිදී උතුම් වූ අග්ගිඛන්ධොපම[3] සූත්‍ර දේශනාව වදාළ සේක. මෙහිදි දහස් ගණන් සත්වයන්ට මාර්ගඵල ගමනයන් අවබෝධ විය. මෙසේ දහම් දෙසා සියළු සතුන් සසරින් මිදවූ උන්වහන්සේ නැවතත් හුනස්නෙන් නැගී සිට තිස්සාරාමයට වැඩ එහි විසූසේක. රාත්‍රී කාලයෙහි උන්වහන්සේ එම විහාරයෙහි වැඩ වසා නැවත උදයේ අඳන සිව්රු හැඳ පොරවා පාත්‍රය ගෙන නගරයට වැඩ පිළිවෙලින් පිඬු පිණිස හැසිරි රජගෙදරට වැඩිසේක.

රජතුමා උන්වහන්සේ මාළිගාවට වැඩමවා එහි වඩා හිඳුවා දානය වැළඳවීය. දානය වළඳා නිමකල උන්වහන්සේ ස්වකීය පාත්‍රය සෝදා දිවාවිහරණය පිණිස නන්දන උද්‍යානයට වැඩිසේක. මහා මහින්ද තෙරනුවෝ එහිදී ආසිවිසෝපම සූත්‍රය ගෙනහැර දක්වමින් දම් දෙසූහ. එම ධර්මදේශනාව අවසානයේ දහසක් දෙනා ධර්මාවබෝධය කළහ. මාර්ගඵලාවබෝධය කළහ. එසේ ශ්‍රී සද්ධර්මය දේශනා කළා වූ මහාමහින්ද තෙරනුවෝ බෙහෝ සත්වයන් පිණවා හුනස්නෙන් නැගී තිස්සාරාමයට වැඩියහ. අටවන වරටද පොළව කම්පාවීමෙන් මහත් ප්‍රීතියෙන් සතුටින් ඔදවැඩී ගියේ; තෙරනුවන් ගෙන් මෙසේ විචාළේය.

“ස්වාමීනි: මෙම අවස්ථාවේ මෙහි විහාරය පිහිටි සේක්ද? එම ඉතා අනර්ගවූ සංඝාරාමයෙහි භික්‍ෂූන් වහන්සේ ධ්‍යානයට සමවන්නේසේක්ද? කිනම් කරුණක් අරමුණකර ගණිමින් මහ පොළව අටවන වරටත් කම්පාවූයේද?” යනුවෙනි.

“නැත, මහරජතුමනි: මෙපමණකින් සංඝාරාමය පිහිටියේ නොවෙයි. එහි සීමා සම්මතය පමණක් අප තථාගත සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ අනු දක්නා සේක.”

යනුවෙන් උන්වහන්සේ වදාළෝ.

තුන්සිවිරින් යුතුව එකට වැඩ වාසය කරන සීමාව නම්වූ බද්ධ සීමාවන් සම්බන්ධව මෙම නිමිති වදාරන ලදී.

“එම නිමිති අට පරීක්‍ෂා කොට සියළු මහා සංඝ ස්ථවිරයන් වහන්සේලා රැස්ව සියල්ලෝම කර්ම වාක්‍ය ශ්‍රවණය කරත්. සීමාවන් මෙසේ බඳනා ලද කල්හි එක්ව වාසය කිරීම යයි කියනු ලැබේ. යම්කාලයකදී මෙසේ බද්ධසීමා සහිත විහාරය නිමකරවා ස්ථිරවූ කල්හිම ආරාමය මනාසේ පිහිටන්නේ වේ.” යනුවෙනි.

උන්වහන්සේ වදාළහ. මහින්ද මහා තෙරුන් වහන්සේ එසේ වදාළ කල්හි රජ නැවතත් මෙසේ විචාළේය.

“ස්වාමීන් වහන්ස: මාගේ ඇමතිවැන් හා පිරිවර ජනයා සහිත අඹුදරුවෝ ඇතුළු සියල්ලෝ දිවිහිමියෙන් ඔබ වහන්සේ සරණ ගියාවූ උපාසකයෝ වෙති. එසේම මහාවීරයානන් වහන්ස, මාකියන්නාවූ මෙවදන් ද අසනු මැනවි. මෙහි වැඩ වාසය කරන්නාවූ මෛත්‍රී කරුණාදියෙන් යුක්ත වූ සියළු භික්‍ෂූ සංඝයාට සෑම කල්හිම මෙම ස්ථානය ආරක්ෂා සහිත වන්නේය. එම නිසා මෙම මහජනයා ඇතුළු සියළු භික්‍ෂූ සංඝ සමූහයා මෙම සීමාව තුළ ඇති නිදහස් භූමිභාගයෙහි වෙසෙත්වා.” මම ඔබ වහන්සේගෙන් නමස්කාරයෙන් යුතුව ඉල්ලා සිටිමි.” යි කීය.

මෙම අවස්ථාවෙහි තෙරණුවෝ

“පින්වත් මහරජතුමනි; මෙම සීමාභූමියට ඔබට කැමැතිතාක් කල් පිළිදැගුම් කරන්න.” යනුවෙන් වදාළහ.

“එසේම මහරජතුමනි; මේ ආකාරයෙන් සිදුවූ විට පූජාකරන ලද මෙම භූමියෙහි මුළු මහත් මහා සංඝරත්නය එක්ව මෙම සීමාව සම්මත කරන්නේය.”

එම අවස්ථාවෙහි මඟුල් ඇතුන් ලෙස සම්මතව සිටි මහපදුමය; කුඤ්ජරය, යන ඇතුන් දෙදෙන පළමුවෙන්ම සීමා කොටු මළුවෙහි ගමන් ගත්තේය. පසුව සිව්රඟසේනාව ගමන්ගත් අතර ඒ සමඟ තෙරුන් වහන්සේ හා රජතුමාද මෙම භූමියෙහි එහා මෙහා ගියාහුය.

අරින්දම නම් ලද දේවානම් පියතිස්ස රජතුමා රන්වන් නඟුලෙන් හාන ලද භූමිය පෙන්වමින් එහි පුන් කලස් ද නොයෙක් වර්ණවත් කොඩිද සිටුවා මනාසේ අලංකාර කළේය. එසේම නොයෙක් මල් උපයෝගී කරගනිමින්ද කොඩි ඇද තොරණ බැඳ චන්ද්‍රපූර්ණ මල් ආදියෙන්ද අලංකාර කරන ලද්දාවූ මෙම සීමා භූමිය රන්වන් වූ නඟුලෙන් හෑවේය. දෙවන පෑතිස් රජතුමා තෙරුන් වහන්සේ සමඟ මහජන සතුට ප්‍රසාදය දනවන ආකාරයෙන් නුවර සිසාරා පැදකුණු කොට ගංතෙරට පැමිණියහ. මේ ආකාරයෙන් තුන්යොදුනකින්[4] යුත් සීමා රන්වන් නඟුලින් හාන ලදී. එම අවස්ථාවෙහි පොළවේ නොයෙක් නොයෙක් තැනින් කුන්තමාලා[5] පැන නැංගේය. මෙසේ සීමාවෙන් සීමාව එකට සම්බන්ධ විය. එම අවස්ථාව නැරඹීම සඳහා මහජනයා රැස්වූ අවස්ථාවේද මහපොළව කම්පා විය. එම සීමාවෙහි ඇතිවූ පළමුවන භූමිකම්පනය මෙයයි. එකල්හි එහි රැස්ව සිටියාවූ රාජසේනාවෝද රටවැසියෝද අවශේෂ සියලු ජනජනීහුද මෙම පුදුමය දැක “මෙහි අපගේ සීමාව සහිත සංඝාරාමය පිහිටන්නේය” යයි ඔවුනොවුන් සතුටුවූවාහුය.

මෙම භූමිය හා සම්බන්ධ සීමා මායිම් පිළියෙළ කිරීම මහා සීමාමාලකයෙහි ඒ ඒ දිසාවන් බඳනා ලද්දේ විවිධ නිමිති තීරණය කිරීමෙන් පසුවය. දෙවනපෑතිස් රජතුමා පහළවූවා වූ යම්තාක් නිමිති පැවතියේද ඒවා මනාව පැහැදිලිවනසේ විද්‍යාමාන කොට මහාමහින්ද තෙරුන් වහන්සේට මෙසේ දැන්වීය.

“ස්වාමින් වහන්ස: සියළු දෙනා කෙරේ අනුකම්පාවෙන් යුතුව බද්ධසීමා සහිත විහාරය ස්ථිරවීම පිණිසත් සීමාව හා මාලකය සම්බන්ධ කටයුතු මුළුමහත් භික්‍ෂූන් වහන්සේ උදෙසා නිමකර දීමසඳහාත් සීමා බන්ධනය කරන සේක්වා[6]” යනුවෙනි.

ලක්දිව බබුලුවන්නාවූ මිහිඳුමහරහතන් වහන්සේ රජතුමාගේ එම ඉල්ලීම ඉවසා වදාළ සේක. එම අවස්ථාවේ සියලු භික්‍ෂූන් වහන්සේ ඇමතූ මිහිඳු හිමියෝ මෙසේ වදාළහ.

“ආයස්මත් භික්‍ෂූනි, අපි මෙහි සීමාබන්ධනය කරමු.” යනුවෙනි.

මිහිඳු මහ රහතන් වහන්සේ තිස්සාරාමය නම්වූ විහාරය ස්ථිරකොට වදාරා දුර දක්නාවූ එම තෙරණුවෝ සියළු සංඝයා උතුරුසලු නම් නැකතෙහි[7] එම විහාරයට කැඳවා සියළු භික්‍ෂූන්ට එක්ව විසීම පිණිස සීමා බන්ධනය කළාහුය.

එදින තිස්සාරාමයෙහි වැඩවාසය කළාවූ මිහිඳු මහරහතුන් වහන්සේ උදැසනම මුවදොවා උතුම් වූ සිවුරු හැඳ පොරවා පාත්‍රය ද අතින් ගෙන අනුරාධපුර නගරයට පිවිසියහ. උන්වහන්සේ පිළිවෙළින් ගෙයින් ගෙට පිඬු පිණිස හැසිරෙන සේක් රජ ගෙදරටද වැඩිසේක. දෙවන පෑතිස් රජතුමා උන්වහන්සේ මාළිගය තුළට වැඩමවා පණවනන ලද ආසනයෙහි වඩාහිඳුවා දන්වැළඳීමට සලස්වන ලදී. තෙරුන්වහන්සේ එහි වැඩ දන්වැළඳු සේක. වළඳා අවසානයේ පාත්‍රය සේදූහ. අනතුරුව භුක්තානුමෝදනාව කළ උන්වහන්සේ දිවාවිහරණය පිණිස නුවරින් නික්ම නන්දන වනෝද්‍යානයට වැඩිසේක. එහිදී උතුම්වූ චරියා පිටකය උපයෝගී කරගනිමින් ආසිවිසෝපම සූත්‍රයත්, අනමතග්ගිය සූත්‍රයත් එහිමියෝ වදාළහ. උන්වහන්සේ මෙම නන්දන වනෝද්‍යානයේදී ගෝමය පිණ්ඩික සූත්‍රයද ධම්මචක්කප්පවත්තන සූත්‍රයද නැවත නැවතත් වදාළ සේක.[8] ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන්ම සත්දිනක් බණකීහ.

ලංකාදීපයට වැඩසලසන්නාවූ මිහිදුමහ රහතන් වහන්සේ මෙමධර්‍මයන් දෙසීම නිසා භික්‍ෂු සංඝයා සහිත විවිධ ජනයා අටදහසක්ද; නැවතත් පන්සියක් දෙනද සංසාර බැම්මෙන් මිදවූසේක. මේ ආකාරයෙන් උන්වහන්සේ එම තිස්සාරාම විහාරයෙහි මසකට අඩුකාලයක් වැඩවිසූ සේක. එසේම මහින්ද මහාතෙරණුවෝ ඇසල මස පුන් පොහෝ දිනයෙහි වස්වැසීම[9] සිදුවන බවත් එතැන් සිට වර්ෂාකාලය එළඹෙන බවත් සියලු භික්‍ෂූන් අමතා වදාළ සේක.

ලක්දිව බබුලුවා වදාරන්නාවූ මහින්ද තෙරුන් වහන්සේ ස්වසයනාසනය පිළියෙල කොට තැබූහ. අනතුරුව පෙර පරිද්දෙන්ම අඳනය ඇඳ සිවුරුපොරවා පා සිවුරුගෙන තිස්සාරාමයෙන් නික්මුණහ. පාත්‍රයද අතින්ගෙන පිණ්ඩපාතය සඳහා නගරයට වැඩි උන්වහන්සේ රජමැදුරට එළඹියහ. එහි පනවන ලද ආසනයෙහි වැඩහුන් මහින්ද තෙරණුවෝ එහිදී දානය වැළඳුසේක. පාත්‍රය සේදීමාදී කටයුතු අවසන් කළ උන්වහන්සේ මහාසමය සූත්‍රය අරමුණු කර ගනිමින් ධර්‍මදේශනා කළහ. ලක්දිවට වැඩදායක මිහිඳු මාහිමියෝ රජුට අවවාදානුශාසනාකොට අසුනින් නැගී රජුට කිසිත් නොකියාම වැඩිසේක. මහත් ශිෂ්‍ය සමූහයක් ඇති ඒ මහින්ද මහා තෙරුන් වහන්සේ නුවර නැගෙනහිර දොරටුවෙන් නික්මුණ සේක් මිස්සක පර්‍වතයට වැඩියහ. උන්වහන්සේ එහි වැඩියේ මහජනයාගේ පැමිණීමද වළකමිනි. මේ හේතුවෙන් රජුගේ ඇමතිවරු මහත්සේ දුක්වූහ. ඔවුහු රජතුමා වෙතට පැමිණ

“දේවයන් වහන්ස: සියලුම තෙරුන් වහන්සේලා මිහින්තලා කන්දට වැඩියාහුය.” යනුවෙන් දැන්වූහ.

මේ ඇසූ දෙවනපෑතිස් රජතුමා මහත්සේ උද්වේගයට පැමිණියේ වහාම රථය පිළියෙළ කරවාගෙන රජ බිසොවුන්ද[10] සමඟ රථයට නැගී පිටත්විය.

ඒ මහත් ශිෂ්‍ය සමූහයා ඇති මිහිඳුමහරහතුන් වහන්සේ මිහින්තලා පර්‍වතප්‍රාන්තයට වැඩිසේක. එසේ වැඩියාවූ උන්වහන්සේ එහි තිබූ ගලින් කරවන ලද විලට[11] බැස දියනා පැන්පානය කොට ඇඟ පිසදා ගෙන පර්‍වතය මුදුනට වැඩියහ. මෙම අවස්ථාවෙහි පර්‍වතය මුදුනෙහි වැඩසිටියාවූ මිහිඳුමහ රහතන් වහන්සේ දුරදීම රජතුමා දුටුවේය. කඳුපාමුලට පැමිණි රජතුමා සිය මහේසිකාවන් රථයෙහි නවතා තමා රථයෙන් බැස තෙරුන් වහන්සේ වෙත එළඹියේය. එසේ ගොස් උන්වහන්සේගෙන් මෙසේ විචාළේය.[12]

“මහාවීරයාණන් වහන්ස: මෙම අත්‍යාලංකාරවූ රටත්[13] මාත්, මගේ අවශේෂ රටවැසියනුත්, හැරදමා ඔබ වහන්සේ කුමන කරුණක් සඳහා මෙම පර්‍වතයට වැඩිසේක්ද?”

එවිට තෙරුන් වහන්සේ පිළිවදන් දෙනසේක්:

“මහරජතුමනි: අපි පූර්ණ තෙමසක කාලයක් මෙහි වැඩවාසය කරන්නෙමු. තවද පෙරසඳ හා පසුසඳ යනුවෙන් වස් එළඹීම් දෙකක් ගැන බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇත.”

මේ ඇසූ රජතුමා මෙසේ කීවේය.

“ස්වාමීන් වහන්ස: මම මුළුමහත් සංඝරත්නයේ පහසුව පිණිස උන්වහන්සේලාට වස් එළඹීමට අවශ්‍යය සියලු කටයුතු සූදානම් කරන්නෙමි. එම නිසා ඔබ වහන්සේ මා කෙරෙහි අනුකම්පා උපදවා වස් එළඹීම් කටයුතු පිළිබඳව මට අනුශාසනා කරනු මැනවි. එසේම මෙම අවස්ථාවේදී භික්‍ෂු සංඝයා වහන්සේට වස් එළඹීම පිණිස ආරණ්‍යය සුදුසුද? ගම සුදුසුද” යනුවෙන් විමසීය.

එම අවස්ථාවේදී මිහිදු මහරහතන් වහන්සේ මෙසේ වදාළහ.

“මහරජ තුමනි, ක්‍රමවත්ව වසන ලද දොරගුල් සහිත සේනාසනය වස් එළඹීම සඳහා සුදුසු යැයි බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇත. උන්වහන්සේ මෙවැනි අර්ථවත් දේ පෙන්වාදී ඇත්තේ සහේතුක වය.”

යනුවෙන් වදාළසේක.

පසුව රජතුමා,

“ස්වාමීන් වහන්ස: මම අදම සියලු භික්‍ෂූන් වහන්සේලාට වස් එළඹීමට සුදුසු ආවාස පහසු කම් පිළියෙළ කරන්නෙමි.”

යනුවෙන් කීවේය.

එයින් අනතුරුව රජතුමා කණ්ඨක චෛත්‍යය අවට පිහිටි ගල්ලෙන් හැට අටක් පිළියෙළ කරවීය. එසේ පිළියෙළ කරවා මෙසේ කීවේය.

“සියලු තෙරුන් වහන්සේලා අපකෙරේ අනුකම්පාවෙන් යුතුව මෙම ස්ථානයන්හි වස් එළඹෙන සේක්වා. ස්වාමීනි: ඔබ වහන්සේද මෙම ලෙන[14] ආරාමයක් වශයෙන් පිළියෙළ කරගන්නේ නම් මැනවි. මෙය ඉතා සුදුසුය. යහපත්ය.’

යනුවෙන් කියා මිහිඳු මහ තෙරනුවන්ට පවරා දුන්නේය. තවද මෙම විහාරය ස්ථිරවීම පිණිස මෙහි සීමා බන්‍ධනය කරණු මැනැවැයිද කීවේය. එයින් පසු ‘අරිට්ඨ’[15] නමින් ප්‍රසිද්ධව සිටි රජුගේ නැගනියගේ පුත්‍රයාද එසේම උසස් වංශයේ උපන් මහ ඉසුරුමත් ක්‍ෂත්‍රියන් පණස් දෙනෙකුද රජතුමා වෙත පැමිණියාහු මෙසේ කීවාහුය.

  1. “සම්බුද්ධ පත්තං පුරෙත්වා සුමනේනා හටා ඉධ” යනුවෙන් ම: ව: දක්වා තිබේ. මෙයින් පැහැදිලි වන්නේ සුමන සාමණේරයන් වහන්සේ මෙහි වඩින විට මෙම ධාතු ගෙනැවිත් තිබූ බවය. ↑

  2. මෙම පොළෝ කම්පාවන් පිළිබඳ දීර්ඝ විස්තරයක් ම: වංශයේත් ථූපවංශයේත් දක්නට ලැබේ. ↑

  3. ථූ: වං: දෙවන දිනයේ දන්වළඳ අනවතග්ගිය සූත්‍රයෙන් දහම්දෙසූ බව සඳහන්වන අතර මං: වං: එම සූත්‍ර දේශනාව කළ බව දැක්වෙන්නේ සිව්වන දිනය. මෙසේ පරස්පරයන් දැක්වෙන්නේ කාලපරතරයන්ගේ වෙනසමත විය හැකිය. ↑

  4. මෙම මහා සීමාව ම: ව: 15 වන පරිච්ඡේදයේ නම් වශයෙන් දක්වා ඇත. ඒ අනුව දැනට පවතින මහමෙවුනා උයනට වඩා විශාල වූ බව පෙනේ. ↑

  5. පාලි කුන්ත යන්නෙහි අදහස හෙල්ල යන්නයි. මෙහිදී සීමාව පෙන්වීම සඳහා හෙල්ලේ හැඩය ගත් සීමාලක්‍ෂණයන් ඇතිකරන්නට ඇතැයි සිතිය හැකිය. ↑

  6. සීමාබන්ධනය කිරීමේදී සියළු ස්ථවිරවරුන් එක්රැස්ව එක්තීරණයකට පැමිණ කළයුත්තකි. එය භික්ෂු විනය කර්මයන්ට අදාල ප්‍රශ්නයක්ද වේ. ↑

  7. භික්ෂූන් වහන්සේ නැකත් ශාස්ත්‍රයට අනුව වැඩ කළ යුතුයයි භික්ෂු විනයෙහි සඳහන් නොවේ. භික්ෂුවකගේ නැකත යථාර්ථවාදී පෙර අපර සන්ධි කාලයට අනුව ගැලපෙන සියලු ජීවීන්ට අර්ථසාධනය කරන්නාවූ වඩාත් යහපත් වේලාවයි. බුදුන්වහන්සේ ඉසිපතනයට පළමුව ධර්මය දේශනා කිරීමට වැඩීමේදී කරුනු නොපිළිගන්නා වූ උද්ධච්ච බමුණෙකු හමුවිය. උන්වහන්සේ එය බාධාවක් ලෙස නොසැලකූහ. එහිදී කාලය කුමක් වුවත් පරමාර්ථය උසස් කොට සලකන ලදී. ↑

  8. මඃ වඃ 15 පරි. දක්වා ඇත්තේ එක්එක් දිනට එක් එක් සූත්‍රය බැගින් වදාළ බවය. ↑

  9. ලංකාවේ භික්‍ෂු ශාසනය පිහිටුවීමෙන් පසු එළඹෙන පළමුවන වස්විසීම මෙයයි. මෙය ශාසන ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවකි. ↑

  10. ම: ව: සඳහන් වන්නේ රජ බිසොවුන් දෙදෙනෙක් සමඟ පැමිණි බවය. ↑

  11. ම: ව: මෙය නාගචතුෂ්ක පොකුණ යනුවෙන් දක්වා තිබේ. ↑

  12. ම: ව: රජුතෙරුන් වහන්සේ ඇමතීමට තෙරුන්වහන්සේ ‘මහරජතුමනි මෙම උෂ්ණවේලාවේ ක්ලාන්තව කුමට පැමිණියේදැයි’ විමසා ඇත. එසේම රජු උන්වහන්සේලා ගේ ගමන කෙරේ සැකයෙන් පැමිණි බවක් ද දක්වා ඇත. භික්‍ෂූන් කෙරේ සැක ඉපිදවීම වරදක්බව බුදුන්වහන්සේ වදාරා ඇත. ම: ව: මෙම යෙදීම නිසා භික්‍ෂූ ප්‍රතිරූපයට කිසියම් හානියක් වූයේ දැයි විමසිය යුත්තකි. තවද මෙම අවස්ථාවේදී වස්සුපනායිකබන්ධ සූත්‍රය දෙසූ බවක් ද දක්වා ඇත. ↑

  13. මෙහිදී ‘රට්ඨ’ යනුවෙන් සඳහන් කරන්ට ඇත්තේ මුළු රටම විය හැකිය. එහෙත් මෙයට පසු අවදියේ රුහුණු, මායා, පිහිටි බෙදීම් තුනක් පිළිබඳව දක්නට ලැබේ. එසේම මුල් යුගයේදීම ‘රටය’ යනුවෙන් ප්‍රාදේශීය පාලන කොටස් තිබූ බවද ‘රටික’ නම් නිලධාරියෙක් ඒවා පාලනය කල බවද පෙනේ. මේ හැරුණු විට පොළොන්නරු යුගය වන විට දොළොස් දහස් රට, අටදහස් රට ආදී වශයෙන්ද දක්නට ලැබේ. මධ්‍යකාලීන ලංකා සමාජය නම් ඇම්. බී. ආරිය පාල මහතාගේ කෘතියේ වැඩි විස්තර මේ පිළිබඳව දක්වා ඇත. ↑

  14. මහින්ද තෙරුන් වහන්සේට විශේෂිතවූ ලෙනක් පිදූ බව මෙයින් පෙනී යයි. ↑

  15. ‘තුම්බුරුමාලක’ නම් සීමාවේදී පැවිදි උපසම්පදා කළ බවත් එකට මහණවූ මහාඅරිට්ඨ ඇතුලු හැට දෙදෙනා සඳගිරියෙහි වස්විසූ බවත් මං: වං: 16 පරි. සඳහන්ය. ↑