සිංහල දීපවංශය

13 වන පරිච්ඡේදය

මහත් ජනජනීහු මෙයට පෙර නොවූ විරූ එම භික්‍ෂු පිරිස බැලීම සඳහා රාජ දොරටුව අසල රැස්ව මහත්සේ ශබ්ද කළාහුය. රජතුමා එම මහා ශබ්දය අසා කුමණ හේතුවක් නිසා මෙසේ ජනයා පැමිණියේ දැයි පිළිවිසීම පිණිස ඇමතිවරුන් යෙදවීය. ඇමතිවරු කියන්නාහු

“දේවයන් වහන්ස: මෙසෙනග පැමිණ ඇත්තේ මහා සංඝරත්නය දැකීම සඳහායි.”

“ඔවුහු එම භික්‍ෂු සංඝයා දැකීමට නොහැකිව මහත් සේ ශබ්ද කෙරෙති.”

රජතුමා එය අසා

“අන්තඃ පුරය ඇතුළත මහජනයාට භික්‍ෂූන් වහන්සේ දැකීම බාධා සහිතය. එම නිසා අපහසු තාවයකින් තොරව සියළු ජනයාට තෙරුන් වහන්සේ දැකීම සඳහා ඇත්හල පිළියෙල කෙරේවා” යයි කීය.

තෙරුන් වහන්සේලා වළඳා අවසානයෙහි භුක්තානු මෝදනාව කොට අසුන්වලින් නැගී රජගෙයින් නික්ම ඇත්හලට වැඩියහ. ඇත්හලෙහිද ඉතා මනරම් අයුරින් අසුන් පනවා තිබුනි. එහි වූ උතුම් වූ ආසනයක ලක්දිව බබුලුවන්නාවූ මහින්ද මහාතෙරුන් වහන්සේ වැඩ සිටිසේක. සෙසු මහා සංඝ රත්නයද එහි පනවන ලද උතුම්වූ ආසනවල වැඩහුන්හ.

දේවදූත සූත්‍රයත් චතුරාර්‍ය්‍ය සත්‍යත්[1] එහිදී වදාළ සේක. දේව දූතසූත්‍ර අවසානයෙහි පූර්‍වකර්මය පිළිබඳ ඉතා භයානක විස්තර ඇතුලත්වේ. ඒවා අසා අවබෝධකරගත් සියළු දෙන නිරය භයින් බියපත්ව දුක්ඛසත්‍ය ප්‍රධාන කොට ඇති චතුරාර්‍ය්‍ය සත්‍යය වදාළ සේක. මෙම දෙවන ධර්‍මදේශනාවසානයෙහි දහස් ගණනකට මාර්‍ගඵලාවබෝධවිය. මෙයින් පසු මහාමහින්ද රහතන් වහන්සේ ඇත්හලින් නික්ම වැඩිසේක.[2]

කෙසේදයත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වැඩ ඇත්හලින් නික්ම වැඩියාක් බඳුය. මහජනයාට මහත්සේ ප්‍රිය උපදවන්නාවූ උන්වහන්සේ මහජනයා පිරිවරා වැඩිසේක. එම අවස්ථාවෙහි මහජනයා නුවර දකුණු දොරටුවෙන් නික්ම එහි දකුණු පස පිහිටි මහානන්දන වනෝද්‍යානයෙහි මහත් අගනා ආසනයක් පැනවීය. සියළු ධර්‍මයන්හි අගතැන් පැමිණියාවූ මිහිඳුමහ රහතන් වහන්සේ එම අසුනෙහි වැඩහිඳ උතුම්වූ බාල පණ්ඩිත සූත්‍රය වදාළ සේක. මෙම ධර්‍මය ඇසීමට නන්දන වන උයනට මෙම අවස්ථාවෙහි මහත් ජනකායක් රැස්වූහ. මෙහිදී දෙසෙන ලද තෙවන දම්දෙසුමෙහිදී දහස් ගණන් සත්වයන්ට මාර්‍ගඵලාවබෝධය විය.

මෙම අවස්ථාවෙහි මිහිඳු මහ තෙරුන් වහන්සේ දැකීම සඳහා විවිධ කුලකාන්තාවන්ද; කුලකුමාරිකාවන්ද, වංශවත් රාජ රාජමහාමාත්‍යාදීන්ගේ යහළු යෙහෙළීන් හා කුලස්ත්‍රීහුද, සමූහ වශයෙන් තෙරුන් වහන්සේ දැකීමට පැමිණියහ. මෙසේ ඔවුන් සමග කථාකරමින් සිටියදී කාලය ඉක්ම ගියෙන් හවස් යාමය එළඹියේය. මෙම අවස්ථාවෙහි රජතුමා

“මහානන්දන වනෝද්‍යානයෙහිම තෙරුන්වහන්සේලා වෙසෙත්වා.” යයි සිතීය.

මේ අවස්ථාවෙහි මිහිඳුමාහිමි මෙසේ වදාළ සේක.

“මහරජතුමනි: මේ ඉතා සවස් භාගයෙහි අපි අසල කඳුගැට වලින් පිරිවරන ලද මිස්සක පර්‍වතයට යන්නෙමු.[3] මෙම උයන ගමට ඉතා ආසන්නව පිහිටියේවෙයි. විශේෂයෙන්ම මහජනයා නිතර ගැවසෙන අතර රාත්‍රී කාලයෙහි මෙහි මහත් ශබ්ද පවතී.[4] මෙය කෙසේදයත් ශාක්‍යයන් රැස්වන ශාලාව නැතහොත් ලිච්ඡවීන්ගේ කූටාගාරශාලාව බඳුවෙයි.[5] එහෙයින් මිහින්තලා පර්වතය සමාපත්ති සුවයෙන් විසීමට ඉතාම යෝග්‍යවෙයි. එනිසා අපි මිහින්තලා පර්වතයට යන්නෙමු.”යි තෙරුන් වහන්සේ වදාළ සේක.

එවිට රජතුමා මෙසේ කීය.

“ස්වාමීන් වහන්ස: මාගේ මහමෙවුනා නම් උයන ගමනාගමනාදියට ඉතාම පහසුය. එය නගරයට ඉතා දුරද නෙවෙයි. ළඟද නොවෙයි. මිනිසුන්ට ඔබ වහන්සේලා දැකීමට කැමැති ආකාරයට පහසුවෙන්ද පැමිණිය හැකිවෙයි. එහි ජනයාද විශාල වශයෙන් නොගැවසෙයි. දිවාරෑ ශබ්දයන්ගෙන්ද තොරය. එසේම සමවත් සුවයෙන් විසීමටද එය ඉතාමත් යෝග්‍ය වේ. පැවිද්දන්හට සුදුසු හැඟීම් ඇතිකරවන එය මනරම් මල් හටගන්නේද වෙයි. මනාසේ පවුරකින් වටකරන ලද්දේය. දොරගුළු ආදියෙන් ආරක්ෂා කරන ලදී. මනාසේ බෙද වෙන්කරන ලද දෙරගුළු සහිත මගේ මේ උද්‍යානය ඉතා රමණීය වූවකි. මෙසේ වෙන්කරන ලද ඒ ඒ ස්ථානයන්හි සිසිල් ජලය පිරි පොකුණුවල මහනෙල් මලින් ගැවසී ගත්තේද වෙයි. මනාසේ සුවඳවත්වූ නෙලුම්දවේ. අත්‍යාලංකාරයෙන් හෙබියාවූ මාගේ මෙම උයනෙහි ඔබ වහන්සේට හා මහා සංඝයා වහන්සේට මහත් පහසුකම් ඇත්තේය. එනිසා ඔබ වහන්සේ මාකෙරේ අනුකම්පා කොට මාගේ අර්ථසිද්ධිය සලසනු පිණිසත් මෙහි වෙසෙත්වා” යයි රජතුමා කිවේය.

රජුගේ වචන ඇසූ මිහිඳුමහතෙරුන් වහන්සේ ඇමති සමූහයාද සහ පිරිවරද සහිතව මහමෙවුනා උයනට වැඩිසේක. මහත් ශිෂ්‍ය සමූහයා ඇති මිහිඳු මහරහතන් වහන්සේ රජුට අයත් මහ මෙවුනා උයනෙහි එදින රාත්‍රිය ගත කලසේක[6] දෙවනදින පහන්වූ කල්හි රජතුමා තෙරවරුන්ගේ සමීපයට පැමිණ උන්වහන්සේලාට සිරසින් නමස්කාර කොට මෙසේ විචාළේය. ඒ කෙසේදයත්

“ඔබ වහන්සේලා සැපෙන් සැතපුන සේක්ද? පහසු විහරණයක් වූසේක්ද?”

යනුවෙනි.[7]

“මහරජ තුමනි; මෙම සෙනසුන[8] සෑම කාලයකම විසීම පිණිස සුදුසුය. එසේම මිනිසුන්ගේ රහස් කතාදියට යෝග්‍යවූ මෙය විශේෂයෙන්ම උතුම්වූ ඵලසමාපත් සුවයෙන් වෙසෙන්නට සුදුසු වූත් උසස් වූත් විවේකස්ථානයකී’යි උන්වහන්සේ වදාළෝ. ඉන් අනතුරුව රජුගේ සිත්හි ප්‍රීති ප්‍රමෝද්‍ය ඇතිවිය. රජතුමා අතිශයින්ම සතුටට පත්විය. මහත් ප්‍රසන්න සිතින් යුක්තවූ රජතුමා තෙරුන්වහන්සේට දොහොත් මුදුන්දී වැඳ මෙසේ කීවේය.

දේවානම් පියතිස්ස රජතුමා රන්කෙන්ඩිය අතට ගෙන මෙසේ කීය.

“ස්වාමීන් වහන්ස: මෙම මනරම්වූ මහමෙවුනා උයන මම සිව්දිගින් වඩිනා මහාසංඝරත්නයට පූජාකරමි[9] ඔබවහන්සේ එය පිළිගන්නා සේක්වා.”

රජතුමා එය අතපැන් වත්කොට තෙරුන් වහන්සේට පූජා කළේය. ලක්දිව බබුලුවන්නාවූ මිහිඳු මහරහතුන් වහන්සේ දෙවන පෑතිස් රජතුමාගේ මෙම වචන පිළිගෙන එම සංඝරාමය හා මහමෙවුනා උයන පිළිගත්සේක. මෙය මහාසංඝ රත්නයට පිළිගන්වන අවස්ථාවේ නොයෙකුත් ගිගිරීම් සහිතව මහපොළොව කම්පාවිය. මෙසේ සිදුවූයේ මෙම ශ්‍රේෂ්ඨ රජතුමා මහමෙවුනා උයන පූජාකිරීම නිසාත්, එහි සංඝාරාමය පිහිටුවීමත් හේතුකොට ගෙනය. අනතුරුව මහමෙවුනා උයනෙහි අත්‍යාලංකාරයෙන් යුත් තිස්සාරාමය[10] ද කරවන ලදී. මෙසේ දෙවන පෑතිස් රජතුමා තමා විසින්ම මහමෙවුනා උයන පූජාකොට පළමුවෙන්ම එහි තිස්සාරාමය කරවන ලදී. එම උතුම් වූ මහමෙවුනා උයන ශ්‍රී සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහාසංඝරත්නය වෙත පිරිනමන කල්හි ලොමු ඩැහැගන්නා ආකාරයෙන් මෙම මහා පොළොව කම්පා විය. රජතුමා ඇතුළු පිරිස ලොමුඩැහැගත් ගතින් යුක්තවූයේ එයට හේතු කවරේදැයි තෙරුන් වහන්සේ පිළිවිසීය. එවිට තෙරණුවෝ වදාළාහු “ඉතා උතුම්වූ ලංකාදීපයෙහි පළමුවන විහාරය මෙහි පිහිටවන්නේය.” මෙම පළමුවන භූමි කම්පනය ලක්දිව බුදුසසුන මුල්බැස ගැනීමටද හේතුවේ.” යනුවෙන්ද වදාළසේක[11]

ඒ ලොමුඩැහැගන්වන ආශ්චර්‍ය්‍යාත්මක සිද්ධිය දුටු සියල්ලෝම මෙයට පෙර මෙබඳු සිදුවීමක් විද්‍යාමාන නොවී යයි ප්‍රීති වූවාහුය. එසේ ප්‍රීති වෙමින් විවිධ පුදපූජා පැවැත්වූහ. දෙවපෑතිස් රජතුමා ඇඳිලි බැඳ වැන්දේය. එසේම එම අවස්ථාවෙහිදී ලක්දිව බබලවන්නාවූ මහා මහින්ද තෙරුන් වහන්සේගේ අතට නොයෙක් මල්වර්ග පිළිගැන්විය. උන්වහන්සේ ඒ මල් අහසෙහි විසිරවූ සේක. එම අවස්ථාවෙහිද මහපොළොව කම්පාවිය. රට වාසීන් සහිත සියළුසේනාවෝද මෙවර භූමිකම්පාව දුටහ. ඒ දැක මහත්සේ සිත් පහදවා ගත්හ.

“ස්වාමීන් වහන්ස: ඔබ වහන්සේ මාගේ සිත සනසන සේක්වා: දෙවනවර භූමිකම්පාව කුමක් අරමුණු කරගනිමින් සිදුවීද?”

රජ තෙරුන් වහන්සේගෙන් විචාළේය.

“මහරජ තුමනි: මෙහි පිහිටුවන ලද මෙම ශාසනයෙහි මෙතෙක් මෙහිදී විනය කර්‍ම නොකරන ලද්දේය. එම විනය කර්‍මයන් භික්‍ෂූහු මෙහිදී කරන්නාහුය.” යයි උන්වහන්සේ මෙහිදී වදාළෝ. තවදුරටත් උන්වහන්සේ මෙසේද වදාළහ.

“මහරජතුමනි: මෙහි දක්නට ලැබෙන එළිමහන් ස්ථානයෙහිදී භික්‍ෂූන් වහන්සේලා ගේ සීමා මාලකයද[12] පිහිටන්නේය.”

එයින් අනතුරුව වඩාත් තුටු පහටු සිතින් යුත් රජතුමා තවත් මල්මිටක් ගෙන තෙරුන් වහන්සේට පූජා කළේය. ඒ මහින්ද මහා තෙරුන් වහන්සේ එම මල්ගෙන වෙනත් ස්ථානයක විසිරවූසේක. එම අවස්ථාවෙහිද මහ පොළව කම්පා විය. ඒ තෙවන වර පොලෝකම්පා වීමයි.

“මහාවීරයන් වහන්ස: තෙවනවරට පොළව කම්පා වූයේ කුමක් අරමුණු කොට ගෙනද? ඔබ වහන්සේ මෙය අපට පවසනු මැනවි. අප සියල්ල කෙරේ පවතින්නාවූ සැකය දුරුකරනු මැනවි.” යයි

රජතුමා ඉල්ලා සිටියේය. එම අවස්ථාවෙහිදී මහින්ද මහා තෙරණුවෝ මෙසේ වදාළහ.

“මහරජතුමනි: භික්‍ෂූ සංඝයා වහන්සේලාට ඉතා ප්‍රයෝජනවත් වූ ගිණිහල්ගෙය හා පොකුණ[13] මෙ ස්ථානයේ පිහිටන්නේය. මෙම ගිණිහල් ගෙය හෙවත් දානශාලාව දිනපතාම භික්‍ෂූන්ගෙන් පිරී ඉතිරී යන්නේය.”

මෙය ඇසූ දේවානම් පියතිස්ස රජතුමා ප්‍රීතියෙන් ඉපිල ගියේය. එයින් අනතුරුව මනාව පිපුනාවූ දෑසමන් මල්මිටක් ගෙන තෙරුන්වහන්සේට පිළිගැන්වීය. උන්වහන්සේ එම මල්මිටද ගෙන අනෙක් එළිමහන් ස්ථානයක විසිරවූ සේක. එම අවස්ථාවේදී සිව්වන වරටද පොළෝතලය කම්පාවිය. මෙම පුදුමය දුටුවාවූ මහජනයා ඒ ආනුභාවය සම්පන්න මහින්ද මහා තෙරුන් වහන්සේට ඇඳිලිබැඳ නමස්කාර කළේය.

රජතුමා එයටද වඩා තුටු පහටු සිතින් යුක්ත වූයේය. එසේ සතුටු සිතින් ඉපිල ගියාවූ හෙතෙම

“ස්වාමීන් වහන්ස. සිව්වන වරටත් කුමන කරුණක් සඳහා පොළොව කම්පා වීද?”

යනුවෙන් විමසීය.

“මහරජ තුමනි: ඒ ශාක්‍යපුත්‍රවූ මහාවීරයන් වහන්සේ ඇසතු බෝරුක් මුල්හිදී සියලු ධර්‍මය අවබෝධකර ගත් සේක. ඒ සමගම අනුත්තර වූ සම්‍යක් සම්බුද්ධ පදවියද ලැබූසේක. ඒ උතුම්වූ බෝධි රාජයාණන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව ලක්දිව්හි මෙම ස්ථානයේ පිහිටන්නේය.” යයි

යනුවෙන් උන්වහන්සේ වදාළ සේක. අනතුරුවද දෙවනපෑතිස් රජතුමා උතුම්වූ තවත් දෑසමන් මල් මිටක් ගෙන මහින්ද මහ තෙරණුවන්ට පිළිගැන්වීය. එයද අතින්ගත් තෙරණුවෝ එය වෙනත් තැනක විසුරුවූහ. මෙම අවස්ථාවෙහිද මහපොළොව කම්පාවිය. පස්වන වරටද භූමිකම්පාව දුටු රාජසේනාවෝද රටවාසීහුද පුදුම සහගත සිතින් සතුටු වූවාහුය. මෙම අවස්ථාවේ මිනිසුන් අඩදණින් ගමන් කරමින් සාධුනාද පැවැත්වූහ.

“මහා ප්‍රඥාවන්තයාණන් වහන්ස: කුමන කරුණක් අරමුණු කර ගනිමින් පස්වන වරටද භූමිකම්පාව ඇතිවූසේක්ද? එම කරුණු අනාවරණය කිරීම ඔබ වහන්සේට කළහැකිය. එනිසා එය වදාළ මැනවි” යයි.

රජතුමා ඉල්ලා සිටියේය.

“මහරජතුමනි: මෙහි වස්වසන්නාවූ භික්‍ෂූන් වහන්සේලා සෑම අඩමසකට වරක් ප්‍රාතිමොක්‍ෂය දේශනා කරන්නාහුය. එම ප්‍රාතිමොක්‍ෂය දේශනා කරන්නාවූ පෝයගෙය පිහිටන්නේ මෙහිය.[14]”

යනුවෙන් තෙරුන්වහන්සේ වදාළසේක.

රජතුමා උතුම්වූ මල්මිටක් නැවතත් ගෙන එවැනි ඉඩ ඇති ස්ථානයක ඉසීම සඳහා තෙරුන් වහන්සේට පිළිගැන්වීය. මහාමහින්ද තෙරණුවෝ ඒ මල්මිටද ගෙන එක් අවකාස ස්ථානයක විසිර වූහ. එම සවැනි අවස්ථාවේද මහපොළොව කම්පාවිය. මෙම පුදුම එළවන ආශ්චර්‍ය්‍ය දැක ගැනීමට බොහෝ ජනීහු පැමිණියාහුය. ඔවුහු එහිදීද එයට කාරණා විමසූහ.

“මහාප්‍රඥයන් වහන්ස: සවන වරටත් පොළව කම්පා වූයේ කුමක් නිසාද?”

මහත්සේ සිත් පහදවාගත් රජතුමා තෙරුන් වහන්සේගෙන් විමසීය.

“මහරජතුමනි, මෙහි මහාවිහාරය පිහිටන්නේය.” යයි තෙරණුවෝ වදාළහ.

“එසේම මහරජතුමනි: සාංඝික දානමානාදිය සඳහා භික්‍ෂූන් වහන්සේලා යම්තාක් මෙහි පැමිණෙන්නාහුද, එසේම අනාගතයේද පැමිණෙත්ද ඒතාක් එම භික්‍ෂූහු තම අවශ්‍යතාවය පරිදි මෙම සඟසතු ලාභය ලබත්”

යයි වදාළහ.

තෙරුන් වහන්සේගේ වචන අසා සතුටුසිත් ඇතිකර ගත්තාවූ රජතුමා නැවතත් උන්වහන්සේට මල්මිටක් පිළිගැන්වීය. තෙරණුවෝද එම මල් රැගෙන අනෙක් ඉඩ ඇති ස්ථානයක විසිර වූ සේක. එකල්හි සත්වන වරටද පොළව කම්පාවිය. සතරදිගින් පැමිණ සිටියාවූ සියල්ලෝද, රජුගේ රාජසේනාවෝද, මෙම පුදුමයද දැක අඩදනින් සිට ගත්තාහු සාදුනාද පැවැත්වූහ. ඔවුහු පොළොව කම්පාවන අවස්ථාවෙහිම ඒ කම්පාවන්නාවූ පොළොව මත සිට එහා මෙහා යාම් ඊම් ආදියද කළහ. රජතුමා නැවතත් තෙරුන් වහන්සේ විචාරන්නේ

“මහානැණවතුන් වහන්ස: සත්වන වරටත් කුමක් අරමුණුකර ගනිමින් මහ පොළොව කම්පාවීද? ඔබ වහන්සේ අපගේ සැක දුරුකරන සේකවා.” යනුවෙන් පිළිවිසීය.

‘මහාරජතුමනි: මෙම විහාරයෙහි යම්තාක් සුපේශල ශික්‍ෂාකාමී භික්‍ෂූන් වහන්සේලා වැඩ වෙසෙත්ද? උන්වහන්සේලාගේ අනුභෝජනය උන්වහන්සේලාට අවශ්‍ය පරිදි මෙම දන්ශාලාවෙන් සැපයෙන්නේය.’

යැය තෙරහු වදාළෝ.[15]

  1. චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනා කිරීම පිළිබඳව මඃ වඃ නොදැක්වේ. එසේම නිශ්චිත වශයෙන් දහසක් සෝවාන් වූ බව එහි දක්වා ඇත. ↑

  2. ම: ව: දක්වන්නේ ඇත්හල ඉඩමදි වූ හෙයින් නන්දන නම් රාජ උයනට වැඩිබවයි. ↑

  3. නිදහස් මානසික සුවය පැරණි භික්ෂුව අගයකල බව මෙයින් පෙනේ. මෙහිදී ම:ව දක්වා ඇත්තේ අම්බස්තලයට වඩින බවකි. ↑

  4. මඃ වඃ මෙම නැවතුන ස්ථානය කොළොම්හොය (මල්වතුඔය) අසල නිවත්තකචේතිය යයි සඳහන් කොට ඇත. ↑

  5. මේවනවිට අනුරාධපුරයෙහි දියුණු නාගරික ලක්ෂණ තිබූ බව මෙයින් පෙනේ. මඃ වඃ කතුවරයා මෙම අදහස් ඉදිරිපත් කොට නැත. ↑

  6. මඃ වඃ මෙම නැවතුන ස්ථානය කොළොම්හොය (මල්වතුඔය) අසල නිවත්තකචේතිය යයි සඳහන් කොට ඇත. ↑

  7. පැරණි පුරෝහිතයෙකු උදෑසන රජුහමුව පිළිවිසින ආකාරයට රජු තෙරුන් හමුව කථාකරන ලදී. මෙයින් රජකමට වඩා භික්ෂුව උසස්කොට සැලකුව බව පෙනේ. ↑

  8. ම: වං: සඳහන් කරන්නේ මහ මෙවුනා උයනේ රම්‍යවූ රජමාලිගාවක් තිබූ බවයි. භික්ෂූන්ට ලැගුම් ගැනීමට එය දුන් බවයි. ↑

  9. ‘අගත අනගත චතුදිස සගස දිනෙ, යනුවෙන් ක්‍රි. පූ. අවදිවලට අයත් මිහින්තලා වෙස්සගිරි ලිපිවල මෙය දක්නට ලැබේ. යම්දෙයක් පිළිගන්නේ පුද්ගලිකව නොව මුළු භික්ෂු සමාජයම වෙනුවෙන් බව පෙනේ. ↑

  10. මේ පිළිබඳව මඃ වඃ දක්නට නැත. එහෙත් මහායානවාදී විස්තර රාශියක් එහි දැක්වේ. ↑

  11. මඃ වඃ අනුලා දේවියගේ පැවිදිවීම පිළිබඳ පුවත් දක්වන්නේ මෙම අවස්ථාව පදනම් කරගෙනය. එසේම මඃ වඃ මේ පිළිබඳව දීඝ විස්තරයක් දක්වා තිබේ. ↑

  12. මෙම සීමාමාලකය පසු කාලයේ දුටුගැමුණු රජතුමා විසින් ලෝවාමහා පාය හා සම්බන්ධ කොට තැනවූ බව ඓතිහාසික පුවත්වල දක්නට ලැබේ. ථූපවංශයේද මේ පිළිබඳ තොරතුරු රාශියක් දක්නට ලැබේ. ↑

  13. මෙම ගිනිහල්ගෙය හා පොකුණ රජමාලිගයට උතුරින් පිහිටි බව ම: ව: දක්වා තිබේ. මෙහි ගිනිහල්ගෙය යනුවෙන් දානශාලාව හැඳින්වෙන බව දැක්වූවත්. ම: ව: එසේ දක්වා නැත. ↑

  14. වස්වසන්නාවූ භික්‍ෂූන් වහන්සේ අඩමසකට වරක් පෝයගෙට රැස්ව ප්‍රාතිමෝක්‍ෂ ශික්‍ෂාපද දේශනා කිරීම භික්‍ෂු ශාසනයේ ආදිකාලීන සම්ප්‍රදායකි. මෙහිදී ප්‍රමාද දෝෂයකින් භික්‍ෂුවක් අතින් යම් ශික්‍ෂාපද හානියක් ඇතිවුවහොත් වැඩිහිටි භික්‍ෂූන් ඉදිරියේ එය අවංකව ප්‍රකාශ කොට ක්‍ෂමාකරගත යුතුය. අද දක්වාද මේ සම්ප්‍රදාය පවතී. ↑

  15. ම:ව: මෙම ස්ථානයන්ගේ සීමාවන් පිළිබඳවත් ඒවායේ ජනප්‍රවාදයන් පිළිබඳවත් දීර්ඝ වශයෙන් තොරතුරු දක්වා ඇත. එසේම එකල ඉදිකරන ලද අධ්‍යාපන ආයතන රාශියක් පිළිබඳවද සඳහන් කොට ඇත. තවද ඒ ඒ ස්ථානයන්හි ද දේශනා කරන ලද ධර්මයන් පිළිබඳවද විස්තරවේ. ↑