12 වන පරිච්ඡේදය
ධර්මාශෝක රජතුමා දෙවන පෑතිස් රජතුමා වෙත එවන ලද පඬුරු මෙසේය. උතුම් වූ වල්විදුනාව. රන්වන් නලල් පටය. මඟුල් කඩුව; සුදු කුඩය; රන්මය වූ පාවහන් සඟල; හිස්වෙළුම, ඉනේ දවටන රන්මය වූ හවඩිය; රන්කොතලය; නන්දිවෘත්තය; රන්සිවිය; අභිෂේකය සඳහා ගන්නාවූ ගංගා නම් ගඟේ ජලය. දක්ෂිණාවෘත්ත සංඛය හෙවත් දකුණට කැරකුන හක්ගෙඩිය; උතුම් වස්ත්‍රය; රන්තලිය; හා රන්හැන්ද, අත්පිස්න; හා පිළිකුඩය; අනෝතප්ත විලේ ජලය; හිමාලය පර්වතයේ හට ගන්නා, රත් සඳුන්; අරනුවන් මැටි; දිව්යඅඳුන්; හිමාලයේ හටගන්නා අරළු, හිමාලයේ නෙල්ලි හා වටිනා දිව්‍ය ඖෂධ; අමු ඉඟුරු; හිමාලය පර්වතයෙන් ගිරවුන් විසින් ගෙන එන ලද සුවඳ රත්හැල් ගැල් සීයක් ද[1] මේවා ධර්මාශෝක රජුගේ පෙරපිං බලයෙන් උපදින ලද්දේය. දෙවන පෑතිස් රජතුමාට ධර්මාශෝක රජතුමා විසින් පඬුරු එවන ලදී. තවද එම ධර්මාශෝක රජතුමා විසින් මෙසේද කියා එවන ලදී.
‘අසල්වැසි රජතුමනි; මම බුදුරජාණන් වහන්සේද උන්වහන්සේගේ ධර්මයද, සංඝයා වහන්සේද සරණ ගියෙමි. මම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි උපාසකයෙකුද වෙමි. මෙම බුද්ධ, ධම්ම, සංඝ, යන ත්‍රිවිධ රත්නය කෙරෙහි ඔබද සිත පහදවනු මැනවි. ඔබගේ සිතද එම සසුන වෙත යොමු කෙරේවා.’
මහා කීර්තිමත් ධර්මාශෝක රජතුමා ලංකාවෙන් ගිය දූතපිරිසට මෙකී පුදපඬුරු දී දෙවනපෑතිස් රජතුමා වෙත එවීය.[2]
එම අවදියෙහි අශෝකාරාමයෙහි වැඩවාසය කලාවූ සෘද්ධිමත් තෙරණුවන් වහන්සේලා. ලක්දිව වැසියන් කෙරේ අනුකම්පාවෙන් මිහිඳු මහතෙරනුවන්ට මෙසේ වදාළාහුය.
“මෙම අවදිය ලංකාවේ ශාසනය පිහිටුවීමට සුදුසු කාලයයි. මහා පින්වතාණන් වහන්ස: ඔබ වහන්සේ ලංකාදීපයට වඩින සේක්වා. එසේ වැඩමවා ලක්දිව් වාසීන් ධර්මයෙන් පහදවන සේක්වා.”[3]
පණ්ඩිත වේදනීයවූ බොහෝ ඇසූපිරූතැන් ඇති, ලක්දිව බබලවන්නාවූ ඒ මහින්දමහා තෙරුන් වහන්සේ ඒ මහාසංඝයාගේ වචනය පිළිගෙන ස්වකීය පිරිසත් සමඟ වඩින බව පිළිගත්සේක. එකල්හි ඒ මහින්ද මහා තෙරණුවෝ එම මහා සංඝයා වහන්සේලාට සිවුරු ඒකාංශකොට දොහොත් මුදුන්දී ඇඳිලිදිබැඳ වැඳ ලක්දිවට වඩිමියි කීහ. එකල්හි ලංකාදීපයට වැඩියාවූ දූත පිරිසෙහි ප්‍රධානියා වූසේක්, මහින්ද මහා තෙරණුවෝය. ෂඩ්භිඥාලාභි ඉට්ඨිය තෙරණුවන්ද, උත්තිය, සම්භල, භද්දසාල යන තෙරවරුන්ද; මහත් සෘද්ධිමත් සුමණ සාමනේරයන් වහන්සේ ද ආදී කොට ඇති මෙම මහාස්ථවිරයන් වහන්සේලා එම අශෝකාරාමයෙන් නික්ම ගම් නියම්ගම් පසු කරමින් අනු පිළිවෙලින් වේදිස ගිරියට වැඩියාහුය. එහි උන්වහන්සේලා උන්වහන්සේලාට අවශ්‍ය තරම් කාලයක් වැඩ විසූ සේක. එහිදී මිහිඳු මහා රහතන් වහන්සේ තම මව් දේවියට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කොට ඇය තිසරණ පන්සිල් සහිත අට්ඨාංගික ශීලයෙහි පිහිටවූ සේක. හෙළදිව් වැසියන් ධර්මයෙහි පිහිටුවන ලද්දේ මෙයින් අනතුරුවය.
එදින සවස් යාමයෙහි (මව්බිසව අටසිල්හි පිහිටවූ දින) ධ්‍යානයෙන් නැගී සිටි ඒ මහාසන නායකවූ මහින්ද මහා තෙරුන් වහන්සේ ස්වකීය මනස සමාහිත කොට පිහිටුවා ගණිමින් මේ ලක්දිවට වැඩීමට කල් නොකල් දැයි මෙනෙහි කළ සේක. එම අවස්ථාවෙහි සක්දෙව්රජ තෙරණුවන්ගේ අදහස දැන උන්වහන්සේ සමීපයෙහි පහළවී උන්වහන්සේට මෙසේ ආයාචනා කළේය.
“මහා වීරයන් වහන්ස මේ ඔබට ලංකාදීප වාසීන් පැහැද වීමට කාලයයි. එහි සත්ත්වයන් කෙරෙහි අනුකම්පාව උපදවා උතුම් වූ එම සිරි ලක්දිවයිනට වඩින්න. එහි සත්ත්වයන්ට ධර්මය දේශනා කරන්න. චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කරන්න. එහි සත්ත්වයන් සංසාර බැම්මෙන් මුදවාලන්න. තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනය ලක්දිව් තලයෙහි බබුලුවාලන්න.”[4]
එම ශ්‍රේෂ්ඨ වූ අප තථාගත බුදුරජාණන් වහන්සේ විසින් මෙම කාරණය දේශනා කරන ලදී. එසේම එය භික්ෂු සංඝයා විසින්ද සම්මත කරන ලද්දේය. තවද
“ඔබ වහන්සේ ලංකා දීපයට වඩින්නේ නම් එම ගමනේදී මම සියළු වත්පිළිවෙත් හා උපස්ථානද කරන්නෙමි. අන් සියලු කටයුතුත් කර දෙන්නෙමි. එහෙයින් මෙම කාලය ඔබ වහන්සේ විසින් ලක්දිවට වැඩිය යුතු කාලයයි.”
ලක්දිව බබුලුවාලන්නාවූ මහා මහින්ද තෙරුන්වහන්සේ ශක්‍රයාගේ වචන අසා මෙසේ සිතූසේක.
“මම බුදු රජාණන් වහන්සේ විසින් අනු දක්නා ලද්දේ වෙමි. එසේ හෙයින්ම බුදු රජාණන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයන් වූ භික්ෂු සංඝයා වහන්සේ විසින්ද එම අනු දැනුම සම්මත කරන ලද්දේද වෙමි. දැන් ශක්‍ර දිව්‍ය රාජයාද මට ආයාචනා කරන ලදී. මම ලක්දිව් තලයෙහි බුද්ධ ශාසනය පිහිටුවාලන්නෙමි. ලංකාදීපවාසී ජනතාවද ධර්මාවබෝධයට සමර්ථයෝය. එම නිසා මම ලංකාදීපයටම යන්නෙමි.[5] සියලු සසර දුක් නැති කරන්නාවූ යහපත් සේ වචන කතා කරන්නා වූ ඒ ලක්දිව් වැසියෝ දැනට ධර්ම මාර්ගයක් නොලබති. එනිසා මම ලක්දිවට වැඩ ඔවුන්ට ධර්ම දේශනා කරන්නෙමි.”
මෙසේ සිතුවාවූ ඒ අශෝක රජුගේ පුත්‍ර මහා මහින්ද තෙරුන් වහන්සේ ලංකාවට වැඩිය යුතු කාලය මේ යයි සලකා ස්වකීය පිරිස ඇමතුසේක. ඒ මහින්ද තෙරණුවෝ එම පිරිසේ නායකයානෝ වූහ. උන් වහන්සේ හා සමාන උපාධ්‍යායයන් වහන්සේලා සිව් දෙනෙකුද සුමන සාමනේරයන් වහන්සේද භන්ඩුක[6] උපාසක තැනද යන ෂඩ් අභිඤ්ඤා ලාබී සයදෙන වහන්සේ හට මෙසේ වදාළ සේක.
“අද අපි බොහෝ ජනී ජනයාගෙන් සැදුම් ලද්දාවූ උතුම් වූ ලක්දිවට යන්නෙමු. එහි වෙසෙන බොහෝ ජනයා පහදවා, එහි තථාගත බුදු රජාණන් වහන්සේගේ ශාසනයද පිහිටුවන්නෙමු.”
එම කරුණු ඇසූ එම පිරිසේ සියල්ලෝම එය යහපතැයි කියා පිළි ගත්හ. මෙම අවස්ථාවේදී වාසවින්ද නම් වූ ශක්‍ර දිව්‍ය රාජයා මහත්සේ සතුටු වූයේය. එසේම ඵල සමාපත්තියට සම වැදුනාවූ ඒ මහින්ද මහා තෙරුන් වහන්සේ ඉදිරියේ පෙනී සිටි. ශක්‍ර දිව්‍ය රාජයා, මෙසේ ආයාචනා කළේය.
“ස්වාමිනි මේ ලක්දිව මිස්සක පව්වට වැඩම වීමට සුදුසු කාලයයි. ලක්දිව රජතුමාද අද මුව දඩයම පිණිස මිස්සක පව්වට පිටත්ව යයි.”
ඒ මහින්ද මහා තෙරුන් වහන්සේ ඒ වේදිසගිරි නම් විහාරයෙහි තිස් රැයක් වැඩ වාසයකොට ස්වකීයයන් අමතා මෙසේ වදාළ සේක.
“දැන් උතුම් වූ ලංකාදිප ගමනට සුදුසු කාලය පැමිණ ඇත. දැන් අපි පිටත්ව යමු.”
මෙසේ දඹදිවින් පිටත්වූ එම තෙරුන් වහන්සේලා අහස් කුසට නැංගාවූ හංසයන්සේ අහසින් අවුත් උතුම් වූ ලක්දිවට වැඩියාහුය. ඒ තෙරුන් වහන්සේලා අනුරාධපුරයට පෙරදිගින් පිහිටි නිල්වන් වළාකුලක් බඳු වූ මිස්සක පර්වත මුදුනට පැමිණ හංසයන්[7] මෙන් එහි සිටියාහුය.
එකල්හි එසේ පැමිණි තෙරුන් වහන්සේලා අතර මහා මහින්ද නම් සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් වූහ. උන්වහන්සේ සමඟ පැමිණි, ඉට්ඨිය, උත්තිය, බද්ධසාල, සම්බල යන ස්ථවිරයන් වහන්සේලාද සුමණ සාමනේරයන් ඇතුළු හිමිවරුන්ද, භණ්ඩුක උපාසක තුමාද යන මේ සෘද්ධිමත්හු සියළු දෙනා ලක්දිව් වැසියන්ගේ සිත් පහද වන්නෝ වූහ. සපිරිවරින් සමන්විතව දඹදිවින් අහසට වන් මිහිඳු මහරහතන් වහන්සේ අහසින් ගමන් ගන්නා හංසයකු මෙන් වූ සේක. එසේම උතුම්වූ ඒ තෙරනුවෝ අනුරපුරයට පෙරදිගින් අහසෙහි බබලන වළාකුලක් මෙන්ද, හංසරාජයෙකු මෙන්ද සිටියහ.[8] එසමයෙහි ලක්දිව් අධිපති රජතුමා වූයේ මුඨශිව රජුගේ පුත් දේවානම් පියතිස්සයන්ය. මේ වන විට ඔහුට ධර්මාශෝක රජතුමාගේ අභිෂේකයෙන් අවුරුදු දහ අටක් ගතවී තිබුණි.[9] මෙයින් පසු දෙවන පෑතිස් රජතුමාගේ අභිෂේකයෙන් සත් මසක් ඉක්ම ගිය කල්හි මිහිඳු මහ තෙරුන්වහන්සේගේ උපසම්පදාවෙන් දොළොස්වෙනි අවුරුද්දේ මිහිඳුමහ තෙරුන් වහන්සේ ලක්දිවට වැඩිසේක. උන්වහන්සේ මෙසේ ලක්දිවට වැඩියේ කිනම් සෘතුවකද? කිනම් මාසයකද?
ග්‍රීෂ්ම සෘතුවේ අවසන් මාසයේ එනම් පොසොන් මස පුර පසලොස්වක දින උන්වහන්සේ වැඩිසේක. ඒ ඝනාචාර්ය වූ මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලා පව්වට වැඩිසේක. එදින අවුත් මිස්සක පව්වට පැමිණියේය. එම අවස්ථාවේ ගෝන වෙස් ගත් දෙවියෙකු රජු ඉදිරියේ පෙනී සිටියේ ය. එම අවස්ථාවේ රජතුමා ගෝනෙකු පමණ වූ එම මුවා දැක මුවා ඇල්ලීම පිණිස ඉතා වේගයෙන් දිව ගියේ ය. රජුමුවා පසු පසින් පැමිණ පර්වතයේ මැදට පැමිණියේ ය. ඒ මුව රූපයගත් දෙවියා තෙරුන් වහන්සේ සමීපයට දුවගොස් එහිම අතුරුදහන් විය. එම අවස්ථාවේ දෙවනපෑතිස් රජතුමා එහි වැඩිසිටියා වූ තෙරුන් වහන්සේ දුටුවේ ය. ඒ අවස්ථාවේ දී රජතුමා එහි එසේ සිටින්නේ යකෙකු යයි බිය විය. තෙරුන් වහන්සේ එම අවස්ථාවේ මෙසේ සිතූසේක.
“රජු කිසිවෙකින් බිය නොවේවා. මමම දකිම්වා. එයින් පසු රජතුමාගේ බල පිරිස පැමිණි කල්හි ඔවුන්ට මා සමග සිටින භික්ෂූන්ගේ දැකීම සිදුවේවා.”
ක්ෂත්රිය වංශික ඒ දෙවනපෑතිස් රජතුමා අපැහැදුන සිතින් මුව දඩයම සඳහා ඇවිදින්නේ මිහින්තලා පර්වතයේ දී මිහිඳුමහ රහතන් වහන්සේ දුටුවේ ය. මහා මහින්ද තෙරුන් වහන්සේ ඔහුට නම කියා කථාකළ[10] සේක. මිහිඳු මහ තෙරුන් වහන්සේ
“එන්න, තිස්ස” යයි කියන ලදී.
රජුට එම අවස්ථාවේ මෙසේ සිත්විය.
“සඟල සිව්රක් පොරවා කසාවතක් ඇන්දා වූ ද හිස මුඩුකළා වූ ද මේ තැනැත්තා කවරෙක්ද? දෙවැන්නෙකු නැති මොහු මිනිසුන් විසින් නොකියන ලද වචනයක් මට කියයි.”
එම අවස්ථාවේ ඒ මහින්ද මහා තෙරුන් වහන්සේ රජුට මෙසේ කී සේක.
“මහරජ! අපි ධර්මරාජයාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වෙමු. ඔබ කෙරෙහිම අනුකම්පා උපදවා මෙහි පැමිණියෙමු.” මෙසේ කී කල්හි රජතුමා ආයුධ බිමදමා එකත් පසෙකටවී සිටියේය. රජතුමා එසේ සිට තෙරුන් වහන්සේ සමඟ බොහෝ අර්ථවත්දේ කථා කළේය. තෙරුන්වහන්සේගේ වචන අසා පසුව ආයුධබිම තැබූ රජතුමා උන්වහන්සේගේ සමීපයට ගොස් කථාකොට ඉඳ ගත්තේය. අනතුරුව ක්‍රමයෙන් ස්වකීය බලසෙනඟද ඇමතියෝ ද පැමිණියහ. මෙසේ හතලිස් දහසක්[11] පමණ තෙරුන් පිරිවරා ගත්හ.
එසේ පැමිණියාවූ රජුගේ පිරිස තෙරවරුන් දැක
“ස්වාමීනි: තවත් බුද්ධශ්‍රාවකයින් වහන්සේලා දඹදිව ඇද්දැයි පිළිවිසීය.
මෙවිට තෙරුන් වහන්සේ
“මහරජ: ත්‍රිවිද්‍යාවන්හි කෙළවරට පැමිණායාවූ එසේම මහා සෘද්ධිබල ඇත්තාවූ පරසිත් දැන ගැනීමේ හැකියාවක් ඇත්තාවූ කාමාදී ආශ්‍රවයන් දුරු කළාවූ ඉතා දක්ෂ වූ බොහෝ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා දඹදිව ඇත.” යනුවෙන් තෙරුන් වහන්සේ වදාළ සේක.
මහින්ද තෙරණුවෝ මෙයින් පසු අඹ උපමා කථාවෙන්[12] රජු පණ්ඩිතයෙකැයි දැනගත්හ. එහිදී තෙරුන් වහන්සේ චූලහත්ථිපදොපම සූත්‍රයෙන් දහම් දෙසූ සේක. ඒ උතුම් ධර්මදේශනාව ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ජනතාව ඇසීය. ඒ ධර්මය ඇසූ හතලිස් දහසක් පමණ ජාතීහු[13] තෙරුවන් සරණ ගියාහුය. එයින් පසු රජතුමා මහත්සේ සතුටු වූයේය. ප්‍රමුදිත මනසින්ද යුක්තවූයේය. රජතුමා අනුරාධපුරයට වඩින ලෙස භික්ෂු සංඝයාට ආරාධනා කළේය. මිහිඳුමහ රහතන් වහන්සේ මේ ආකාරයෙන් මනා පැවතුම් ඇති, එසේම බලවාහන ඇති ඤාණ සම්පන්න වූ පණ්ඩිත මානීවූ දෙවනපෑතිස් රජතුමා පැහැදවූ සේක.
මහින්ද තෙරනුවෝ රජුගේ වචන අසා මෙසේ වදාළහ.
“මහරජ: තොප යන්න අප මෙහි ඉන්නෙමු.”
ලංකාව ආලෝකමත් කරන්නාවූ ඒ මහින්ද මහා තෙරුන්වහන්සේ රජුට පිටත්වීමට සලස්වා භණ්ඩුක උපාසක තෙම මහණ කරන්නෙමුයි, භික්ෂු සංඝයා ඇමතූ සේක. සියල්ලෝ මහාමහින්ද තෙරුන් වහන්සේගේ වචන කෙරෙහි අවධානය යොමු කළහ. එම භික්ෂූන් වහන්සේලා මෙම අවස්ථාවේදී ඉතා ඉක්මනින් ගම් සීමාව විමසා දැන[14] එහිදී භණ්ඩුක කුමරුගේ පැවිද්ද හා උපසම්පදාව කර නිම කලාහුය.[15] ඒ තෙරුන් වහන්සේ එම අවස්ථාවෙහිදීම අරහත්වයටද පැමිණි සේක. මෙම අවස්ථාවේදී දේවානම් පියතිස්ස රජතුමා විසින් තම රාජකීය රථය තෙරුන්වහන්සේලාට නගරයට වැඩීම සඳහා එවා තිබුනි. එම අවස්ථාවේ මිහින්තලා පර්වතයේ සිටි මහා මහින්ද ස්ථවිරයන් වහන්සේ රථාචාර්‍ය්‍ය වරයාට මෙසේ කී සේක.
“රථාචාර්‍ය්‍ය වරය: අපට නගරයට යාම සඳහා වාහන අවශ්‍යය නැත. එය අපට කැප නොවයි. අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නීරෝගී අවස්ථාවන්හිදී එසේ නොකරන්නැයි, අනුදැන වදාරා ඇතැයි.”[16]
රියදුරු තැන පිටත්කර යවා මහත් බල ඇති මහින්ද මහාතෙරුන් වහන්සේ නැවතුන සේක. එයින් පසු උන් වහන්සේලා අහසින් ගමන් කරන හංසයන් මෙන් අහසින් ගමන් ගත්හ. එසේ වැඩියාවූ උන්වහන්සේලා රාජාංගනය අසල භූමියෙහි වැඩ සිටියහ. එසේ බිමට බට උන්වහන්සේලා සිව්රු පොරෝනා ආදිය මනාසේ සකසා පොරවා ගත්හ. එය දැක සතුටු සිත් ඇති රථාචාර්‍ය්‍ය වරයා මෙම පුවත රජුට දන්වා සිටියේය.
රජතුමා අනතුරුව රියදුරු තැන පිටත් කොට යවා ඇමතිවරුන්ට ආමන්ත්‍රණය කොට මහාමණ්ඩපයක් පිළියෙළ කිරීමට අණකොට මෙසේද කීය.
“තෙරුන් වහන්සේ දැකීමට කැමති කුමාරවරුන්ද, කුමරියන්ද, අන්තඃපුර වාසී සියළු දේවීන්ද, යන සියල්ලන්ම මෙහි පැමිණියාවූ තෙරවරුන් දකීවා:” යනුවෙනි.
වංශවත්වූ ඒ ඇමතියෝ දේවානම් පියතිස්ස රජතුමා ගේ වචන ක්‍රියාවට නගන්නාහු ඇතුල් රජමාලිගයෙහි රෙදි උපයෝගී කර ගනිමින් මණ්ඩපයෙහි උඩුවියන පිරිසිදු සුදුවන් සළුවලින් වසන ලද්දේය. මණ්ඩපය අවට සුදුවත් වලින් හා කොඩිවලින්ද මනාසේ තබන ලද සක්ගෙඩිවලින් ඉතා අලංකාරව සකස් කළේය. එසේම එහි මනාසේ සුදුමල් අතුරුවන ලදී. බිම සුදුවැලිද විසිරවීය. මෙසේ නිමවන ලද මණ්ඩපය හිම මෙන් අලංකාර වූයේය.[17] ඒ ඇමතිවරු විවිධ සළුවලින් මණ්ඩපය අලංකාර කොට ඇතුලතද මනාසේ පිළියෙල කරවා රජුට දැන්වූහ.
“මහරජ තුමනි: මනාව සකසන ලද එම මණ්ඩපයේ සියළු කාර්ය්යන් නන් අයුරින් අවසන් කොට ඇත. මහරජ තුමනි: එසේම මෙහි පනවන ලද ආසන පැවිදි භික්ෂූන් වහන්සේට ඉතාම සුදුසු සේ පිළියෙල වී ඇති බවද සලකන්න.[18] යනුයි.
එම අවස්ථාවෙහි රජු ඉදිරියට පැමිණි රජුගේ රථාචාර්‍ය්‍ය වරයා රජුට කරුනු දක්වමින්
“මහරජතුමනි: නොගිලන් භික්ෂූන්ට වාහන කැප නොවේයයි” කීය.
“එසේම දේවයන් වහන්ස: මෙම සියලු ස්ථවිරයන් වහන්සේලා ආශ්චර්‍ය්‍ය අද්භූත ජනකය. සෘද්ධි සම්පන්නයහ. උන්වහන්සේලා මා පළමුව පිටත්කර එවා මා පැමිණීමට පෙර මෙහි පැමිණියාහුය. එසේම මහරජතුමනි; උස් ආසනද මහාසනද, භික්ෂූන් වහන්සේට කැප නොවේ.[19] බුමුතුරුණු ආසන උන්වහන්සේලාට වැඩ සිටීමටය. උන්වහන්සේලා දැන් මෙහි වඩිති.”
රථාචාර්‍ය්‍ය වරයාගේ වචන ඇසූ රජතුමා පහන් සිතින් යුතුව තෙරවරුන් ගේ ඉදිරියට ගමන් කොට වැඳ නමස්කාරයෙන් යුතුව පාත්‍රය ගෙන උන්වහන්සේ සමඟ සතුටු සාමීචියේ යෙදින.
රජතුමා අනතුරුව උන්වහන්සේලාට සුවඳ මලින් පුදමින් ගමන් කරන්නේ රජ දොරටුව අසලට පැමිණියේය. ඇතුළු නුවර රාජගෘහයෙහි ඉදිකරන ලද; සුදු පිළිවලින් අත්‍යාලංකාරයෙන් සරසවනලද්දාවූ බිම තනවන ලද මණ්ඩපයට වැඩමවා පණවන අසුන්වල තෙරවරුනට වැඩ විසීමට සැලැස්වූහ. එසේ පණවන ලද්දාවූ ඉතා අනර්ඝවූ අසුන්වල ඒ තෙරුන් වහන්සේලා වැඩ හුන්හ. එසේ වැඩ සිටි මහාසංඝ රත්නයට දේවානම් පියතිස්ස රජතුමා විසින් පැන් පිළිගන්වන ලදී. එසේම උන්වහන්සේලාට ප්‍රණීත ආහාරපානාදියද; කැඳද, වැළඳිය යුතු වෙනත් කැවිලි වර්ගද, රජතුමා අතින්ම පිළිගැන්වීය. මෙසේ එම තෙරුන් වහන්සේලා වළඳා අවසන්වූහ. ඒ දුටු රජතුමා අනුලා දේවිය[20] ඇතුළු රජගෙයි සිටි අනෙකුත් සියලුදෙනා අමතා මෙසේ ප්‍රකාශ කළේය.
“දේවිය: ඔබට කැමතිසේ තෙරුන් වහන්සේලා වැඳපුදා ගැනීමට මේ සුදුසු කාලයයි. කැමතිසේ අභිවාදනයෙහි යෙදෙන්න.”
එකල්හි අනුලාදේවී ඇතුළු පන්සීයක් ස්ත්‍රීහු තෙරුන් වහන්සේලා සමීපයට පැමිණ වැඳ එකත්පස්ව හිඳගත්තාහුය. එකල්හි මහත් ශිෂ්‍ය සමූහයා ඇති ඝනාචාර්ය්ය මහින්ද මහාතෙරුණුවෝ මහත් බිය ජනනය කරන්නාවූ පෙතවත්ථු; විමානවත්ථු; සච්ච සංයුක්ත; ආදී සූත්‍රයන්ගෙන් එම ස්ත්‍රී සමූහයාට ධර්මය දේශනා කළහ. භක්තියෙන් හා ශ්‍රද්ධා සම්පන්න ගුණයෙන් පිරුනාවූ ඒ අනුලාදේවිය ඇතුළු පන්සීයක් කාන්තාවෝ එම උතුම් ධර්මදේශනාව අසා සෝවාන් ඵලයෙහි පිහිටියාහුය. මෙය ලක්දිව පළමුවැනි මාර්ගඵල මෙනෙහි කර ගැන්මයි[21]
ම: වංශයේ මෙය අමුණු හයදහක් යනුවෙන් දක්වා ඇත. ↑
ම: වංශයේ නැවත බෞද්ධයෙකු ලෙස අභිෂේකය කරන ලෙස ඉල්ලූ බවත් දූත පිරිස තාම්රලිප්තියෙන් නැව් නැගී දඹකොළ පටුනට පැමිණි බවත් දෙවනපෑතිස් රජු නැවත වෙසක් මස පුරපසළොස්වක්දින අභිෂේක කළ බවත් දැක්වේ. ↑
ම: ව: සඳහන් වන්නේ සංඝයාගේ ඇරයුම පිට මිහිඳු හිමියන් ලක්දිවට පැමිණීමට සුදුසු කාලය පරීක්ෂා කරමින් සිටි මුටසිව රජුගේ කාලය අවසන් වනතෙක් බලා උපාධ්‍යාය මොග්ගලීපුත්ත තිස්ස හිමියන්ගෙන් අවසර ගෙන ලක්දිවට පැමිණීමට පෙර පියරජුගෙන්ද අවසර ගෙන සුමණ සාමණේරයන්ද සමඟ දක්ඛිණගිරි ජනපදයට හා මව වසන වේදිස ගිරියට වැඩි බවයි. (ම: ව: 13 පරි.) ↑
මෙපමණ විස්තරයක් මහා වංශයේ දක්නට නැත. එහි ඇත්තේ “අපිදු ඊට උපකාර කරන්නෙමු” යන්නය. ↑
මහා වංශයේ මෙවැනි විස්තරයක් දක්නට නැත. ↑
මෙම භන්ඩුක කුමාරයා පිය මව් බිසවගේ සොහොයුරියකගේ පුතකු බවත් මිහිඳු හිමි මවට දේශනා කළ ධර්මය අසා අනාගාමී ඵලයට පැමිණ මිහිඳුමහ රහතන් වහන්සේ ලඟම වාසය කළබව මහාවංශයේ දක්වා ඇත. ↑
මෙහි හංස උපමාව ගෙන ඇත්තේ යථාර්තවාදී බුදුදහමේ සංකේතය වශයෙන් සූත්‍ර දේශනාවල හංසයා දක්වා ඇති නිසාත් පිරිසිදු බවේ සංකේතය වශයෙන් සමස්ත සමාජය තුල පිළිගෙන තිබූ නිසාත් විය හැකිය. ↑
මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට පැමිණීමට පෙර වේදිස ගිරියෙහි මාසයක් වැඩසිටි බව මහා වංශයේ දක්වා තිබේ. එසේම මිහිඳු හිමියන් ලක්දිවට වඩින බව බුදුන් වහන්සේ දක්වා තිබූ බවද එහි සඳහන් වේ. ↑
කාශ්මීරය මෞර්ය අධි රාජ්‍යයට ඇතුළු වූ අතර මධ්‍ය ආසියාවේ බෝටාන්ද ඉන්දියාවට අයත් වූ අතර වෙනත් බාහිර රාජ්‍යය රාශියක්ද මෞර්ය අධිරාජ්‍යයට එක්ව තිබූ බව තිබ්බත හා ග්‍රීක් වාර්තාවල දැක්වේ. කෙසේ වෙතත් ඇසෑමය බුරුමය වැනි රාජ්‍යයන් හා පැවති සම්බන්ධතාවයට සමාන සම්බන්ධ කමක් ලංකාව අතරද පවතින්නට ඇත. ↑
මිහිඳු හිමියන් උවමනාවෙන්ම තමන් වහන්සේ පමණක් පෙනෙන්ට සැලසූ බවත් ‘තිස්ස තිස්ස’ යැයි කීවිට යක්ෂයෙකැයි සිතා වඩාත් බියට පත්වූ බවත් ම: ව: 14 පරි: දැක්වේ. එසේම ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවකයන් යැයි කී කල්හි අශෝක රජු තමාට ප්‍රථමයෙන් එවන ලද ලිපියද මතක් වූ බව දක්වා තිබේ. ↑
40,000 ක පිරිවරක් පිළිබඳව මඃ වඃ නොදැක්වේ. කෙසේ වෙතත් මෙම යුගය වනවිට සැලකිය යුතු බලසේනාවක් සිටි බව පෙනී යයි. පණ්ඩුකාභය සංවිධිත ලෙස බලසේනාවක් මෙහෙයවූ බව පෙනී යන හෙයින් පසුව මූටශිව එය වඩාත් සංවිධාන කරන්නට ඇති අතර දේවානම් පියතිස්ස එය වඩාත් දියුණු කරන්නට ඇතැයි සිතාගත හැකිය. ↑
මඃ වඃ 14 පරි. රජුගෙන් තෙරුන් වහන්සේ අසන ලද ප්‍රශ්න හා රජුගේ පිළිතුරු දක්වා තිබේ. එසේම දේශනා කරන ලද විවිධ සූත්‍ර හා වෙනත් සවිස්තර තොරතුරු දැක්වේ. ↑
රජුගේ හමුදාවේ හතලිස් දහසක් සිටි බව පළමුව සඳහන්විය. මේ අනුව ඔවුන් විවිධ ජාතීන්ගෙන් සමන්විත වූ බව පෙනී යයි. මොවුන් යක්ෂ නාග හා ද්‍රවිඩ යන අයගෙන්ද සමන්විත වන්නට ඇත. ↑
ගම් සීමාවේ පැවිදි උපසම්පදාව කල යුතුබව භික්ෂු විනය සංග්‍රහයේ පැවති බව මෙයින් පෙනේ. මෙය මඃ වඃ සඳහන් වී නැත. ↑
මඃ වඃ සුමණසාමනේරයන් වහන්සේගේ කාලඝෝෂාව පිළිබඳවත් දෙවියන්ට සමචිත්ත දේශනාව කිරීම පිළිබඳවත් දැක්වෙන අතර විවිධ බෞද්ධ කටයුතු පිළිබඳව සඳහන් වේ. ↑
භික්ෂු විනය හා සම්බන්ධ මෙම සටහන මහා වංශයේ දක්නට නොලැබේ. විනය පිටකය සකස් වීමේදී යම් යම් මහාස්ථවිරයන් විසින් බුද්ධානුබුද්ධක ශික්ෂාපද ඉවත් කර ඇති බව මෙයින් පෙනේ. මඃ වඃ ලියන අවදියේ මෙය නොතිබෙන්නට ඇත. ↑
බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිතකට හෝ වෙනත් ආගමික ක්‍රියාවක් සඳහා වැඩම වීමේදී මණ්ඩපයක් සැකසූ ආකාරය පිළිබඳව කියවෙන වඩාත් පැරණිම ඓතිහාසික සටහන මෙයයි පිළිගෙන ඇත. ↑
මිහිඳු හිමියන්ගේ උපදෙස් අනුව මෙය කරන ලද බව මෙයින් පෙනේ. ↑
ක්‍රි. ව. 4වන සියවස පමණ වනවිටත් භික්ෂූන් අල්පේච්ඡ විනය කාමී ජීවිතයක් ගත කළ බවට මෙය හොඳම නිදසුනකි. ↑
ම: ව: සඳහන් කරන්නේ අනුලා දේවිය මහානාග ගේ බිසොව බවයි. එසේ වුවත් දී. ව. අනුව ඇය දේවානම් පියතිස්ස රජුගේ බිසොව බව මෙයින් පෙනේ. ඓතිහාසික තොරතුරු සැසඳීම් අනුව පෙනී යන්නේ මේ වනවිට මහානාග සිය බිසොව සමඟ රුහුණට පලා ගොස් සිටි බවයි. ↑
මේ වනවිට ලක්දිව උසස්ය සම්මත කාන්තාවන් වඩාත් බුද්ධිමත්ව සිටිබව පෙනීයයි. බෞද්ධ දර්ශනය වැනි ගැඹුරු දර්ශනයක් වඩාත් ඉක්මණින් මෙනෙහිකර ගන්නේ එහෙයිනි. ↑